IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


පිටකොටු බිහිසුණු මිනීමැරුම සමස්ත සමාජයම බියවැද්දීමක්

මුළු සමාජයේම අවධානය බඩු මිල ගැන ය. ඉන්ධන හා ගෑස් පෝලිම් වෙත ය. අරගල බිම වෙත ය. ඒ අතරවාරයේ අණක් ගුණක් නැති පාතාලයෝ බියක් සැකක් නොමැතිව මහ දවාලේ මහ පාරේ වෙඩි තබා මිනිසුන් මරා දමති. කොටුව මහේස්ත්‍රාත් සංකීර්ණයේ නඩුවකට පෙනී සිට ආපසු යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු ඉලක්ක කරමින් පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම් පොළේදී ඉකුත් 30 වැනිදා සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදුවීමේ පුවතක් අප පුවත්පත වාර්තා කළේ ය.

අතීතයේ ගම්වල චණ්ඩි සිටියහ. කට ගොන්නක් බීගෙන ඇඳිවත ඔසොවමින් කාට හෝ පරුෂ වචනයෙන් බැණ වැදීම චණ්ඩින්ගේ සිරිත ය. නගරවල සිටි චණ්ඩි බැංකු රොබරි, වැටුප් මුදල් කොල්ලකෑම් ආදී කටයුතුවල නිරත වූහ. කාලයාගේ ඇවෑමෙන් මෙම චණ්ඩි වඳවී ගියහ. පාතාලය මතු වූයේ ඒ පරිසරය තුළ ය.

පාතාලය මතුවීමටත් රටේ පැවැති දේශපාලන පරිසරය බලපෑවේ ය. විශේෂයෙන් දේශපාලනඥයා පසුපස නාඳුනන තුවක්කුකරුවා පන්නන විට දේශපාලනඥයාට දී තිබූ සීමිත ආරක්ෂාව දේශපාලඥයාගේ ජීවිත ආරක්ෂාවට ප්‍රමාණවත් නොවීය. 87-89 යුගයේ දී තත්ත්වය බෙහෙවින් බියකරු විය. ඒ වනවිට යුද්ධය ද දරුණුවට ඇවිළී යමින් තිබූ අතර යුද බිමෙන් පලා එන සෙබළු ද සුලභ වූහ. එසේ පැමිණෙන සෙබළුන්ට මැති ඇමති නිවාස ඉතා ආරක්ෂිත විය. දේශපාලනඥයා හා පාතාලය අතර සහසම්බන්ධතාව ගොඩනැගෙන්නේ එසේය. එකකින් තව එකක් පෝෂණයවීමේ දාමය ගොඩනැගෙන්නේ එසේය. පාතාලයේ නාඳුනන තුවක්කුකරුවා එල්ල කරන සෑම මූනිස්සකටම ඒ සඳහා අවශ්‍ය පරිසරය සෑදූ සෑම පාර්ශ්වයක්ම වගකිව යුතුය.

අවියේ බලයෙන් කප්පම් ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම පාතාලයන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග වේ. ඒ කුලියට මිනී මැරීමට අමතරවය. පාතාලයේ භාෂාව ‘‘ලෙයට ලෙය ය, ඇසට ඇස ය, මරණයට මරණය ය.’’ පාතාලයේ කෙරුමා වීමේ දොළ සන්සිඳුවා ගැනීමට අවශ්‍ය කරන මිනිස් බිලි ප්‍රමාණය කොතෙක් වුවද එම බිලි ප්‍රමාණය ගැනීමට පාතාලයෝ අතපසු නොකරති. අනුඅංකයක් නැති මූනිස්සම් ඉදිරිපිට අභය දානය ඉල්ලා හඬා වැටීමට සමාජයට සිදු වූයේ එහෙයිනි.

පාතාලයේ වර්ධනයට දේශපාලනඥයන් මෙන්ම පොලිසියද වග කිව යුතුය. සියල්ලන්ම නොවුණත් සැලකිය යුතු ප්‍රමාණයක් පාතාලයන් සමග යහන්ගත වෙති. ඒ පාතාලයන් සතු දේශපාලන සබඳතා දන්නා හෙයිනි. මාරුව අවලංගු කරවා ගැනීමට, තමන්ට අවශ්‍ය ප්‍රදේශයට මාරුව සකස් කර ගැනීමට පමණක් නොව උසස්වීම් ලබා ගැනීමටද පොලිස් නිලධාරියාට පාතාලයේ උපකාරය අවශ්‍ය වේ. අතු ඉති රිකිලි පුරවා වැඩුණු මහා වෘක්ෂයක් මෙන් පාතාලය වර්ධනය වූයේ මෙම පරිසරය තුළ ය.

සමාජ පැවැත්මේ ප්‍රධානම සාධකය ආරක්ෂාව වේ. ජීවිත ආරක්ෂාව මෙන්ම දේපළ ආරක්ෂාව ද එයට ඇතුළත් ය. මනුෂ්‍ය ගරුත්වය රැකගෙන භීතියකින් තොරව කල් ගෙවීම පුරවැසියා සතු අනුල්ලංඝනීය අයිතියකි. එම අයිතිය අහිමිව යන්නේ නම් එතැන ජීවිතය නැත. එබඳු ශාපලත් ඉරණමකට පුරවැසියා ඇද දැමීමට කිසිවකුට අයිතියක් ද නැත.

මෙරට නීතිය සම්බන්ධයෙන් බරපතළ විසංවාදයක් පවතී. විශේෂයෙන්ම නීතිය සමානව ක්‍රියාත්මක නොවන බවට චෝදනාවකි. මෙබඳු චෝදනා ගොඩනැගී තිබෙන්නේද යම් යම් සිද්ධි ආශ්‍රය නිශ්‍රය කරගෙනය. මෙම චෝදනා නීතියේ ගරුත්වයට බරපතළ තර්ජනයකි. නීතියේ ගරුත්වය බිඳී යාම තුළ නීතියට අවශ්‍ය නොවීමේ මානසිකත්වයට පදනම වැටේ. එනිසා පළමුව කළ යුත්තේ නීතියේ ගරුත්වය ආරක්ෂා කර ගැනීමට කළමනා කටයුතු සංවිධානය කිරීමය. නීතියේ ආධිපත්‍යයට සමාජය යටත් කර ගැනිමට හැකි වන්නේ එමගින් පමණි.

නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණු විට ආදේශ වන්නේ කැලෑ නීතියයි. 87-89 යුගයේදී මෙරට සමාජය ඒ බව හොඳාකාරව තේරුම් ගත්තේය. මිනිස් ජීවිතවල අගය පිච්චියට ගිය විට කිසිවකුට තම ජීවිතයේ පැවැත්ම සම්බන්ධයෙන් අපේක්ෂාවක් හෝ විශ්වාසයක් ඇතිකර ගත නොහැක. සමාජයකට අත්වීමට ඊටත් එහා ගිය තවත් විපතක් නැත.

මීට දෙතුන් මසකට ඉහතදී පානදුර රෝහල ඉදිරිපිටදී මෙවැනිම පාතාල ප්‍රහාරයක් එල්ල විය. අලුත්ම සිදුවීම පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම් පොළ ඉදිරිපිටදී සිදු කළ වෙඩි තැබීමය. මේ අපරාධකාරයන් කවුදැයි සොයා ගැනීමට පොලිසියට වැඩි කාලයක් ගත නොවේ. මන්දයත් සංවිධානාත්මක අපරාධ කල්ලි සම්බන්ධයෙන් පොලිසිය නිරන්තරයෙන් සෝදිසියෙන් සිටිය යුතු හෙයිනි. එහෙයින් මෙම අපරාධකරුවන් වහා අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණ විය යුතු ය.

(***)



අදහස් (0)

පිටකොටු බිහිසුණු මිනීමැරුම සමස්ත සමාජයම බියවැද්දීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 107 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 384 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 118 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 116 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 289 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 550 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 108 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 393 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site