IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


'පාඩු ලබන ආයතන විකුණන්න ඕනෑ' - ඇමැති ඩිලාන් කියයි

ප‍්‍රශ්නය - ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නේ කොතැනද?

පිළිතුර - ව්‍යවස්ථා ක‍්‍රියාවලිය ආරම්භ කිරීමට අගමැතිවරයා පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවලියට අප එකඟවුණේ සංශෝධන නවයක් සහිතවයි. අපි ඉන්නෙ ඒ සංශෝධන එක්කයි. මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා මණ්ඩලයක් වීම, ස්ථාවර නියෝග අදාළ වීම, එම ක‍්‍රියාවලිය වර්තමාන ව්‍යවස්ථාවට අනුකූල වීම, සිදුකරන්නේ නව ව්‍යවස්ථාවක් ගෙනඒමද සංශෝධනයක් ද යන්න එම ව්‍යවස්ථා මණ්ඩලය විසින්ම තීරණය කරනු ලැබීම, එම මණ්ඩලයට මෙහෙයුම් කමිටුවක් හා අනුකමිටු හයක් ඇතුලූවීම ආදිය දැක්විය හැකියි. අපි ඉන්නෙ මේ ක‍්‍රියාවලිය එක්කයි. 

ප‍්‍රශ්නය- විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් එජාපය පෙනී සිටියත් ශ්‍රීලනිපය ඊට වෙනස් මතයක් දරන බවට වාර්තා පලවෙනවා. මෙහි ඇත්ත නැත්ත කෙසේද?

පිළිතුර- විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හෝ නොකිරීම තීරණය කළයුත්තේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් හැටියට ක‍්‍රියාත්මක වන පාර්ලිමේන්තුව මගිනුයි. ඒකට මෙහෙයුම් කමිටුව මගින් කෙටුම්පතක් ඉදිරිපත් කළයුතුයි. අප සිටින්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම අනෙක් කාරණා අත්හැර තනිව සැලකීමට නොහැකිය යන මතයෙයි. එය බලය බෙදීම හා මැතිවරණ ක‍්‍රමය යන කාරණා සමඟ සම්බන්ධයි. හොඳම උදාහරණය වන්නේ 13 වැනි සංශෝධනය යටතේ මේ තාක් දුරට බලය බෙදලාත් ඒකීයභාවය රඳවාගැනීමට හැකිවන්නේ විධායක ජනාධිපති ධූරය නිසා බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් මතයයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කරගැනීමට හැකි ජනතාවට දුන් පොරොන්දු පමණක් පළමුව කරගත යුතු බව අපි කියන්නේ ඒ නිසයි. එහෙම නැතිව ශ්‍රීලනිපය විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට විරුද්ධව කතාකරනවා නෙවෙයි. අපි හිතන්න  ඕනේ ප‍්‍රධාන කාරණා තුනෙන් දෙකක්ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් කරගන්න හැකියාව තිබෙද්දී ජනමත විචාරණයකට යෑම හරහා තුනම නැතිකරගන්නවද කියලයි.

ප‍්‍රශ්නය- පාර්ලිමේන්තුවෙ සරල බහුතර කැමැත්ත නැතිවුණොත් අනුකමිටු මෙහෙයුම් කමිටු අහෝසි වෙනවා. දැන් ඒකාබද්ධ විපක්ෂය කියන්නෙ අනුකමිටු තුළ සිය අදහස් නියෝජනයට ඉඩ ලැබුණෙ නෑ කියලයි. ඔවුන් අනුකමිටුවලින් ඉවත්වීමේ ප‍්‍රතිපලය කුමක්ද?

පිළිතුර- ඒක හරියට කවුරු හරි මැච් එකක බැට් කරන්න ගිහින් අවුට් වෙලා ආයෙ නම් බැට් කරන්නේ නෑ කියනවා වගේ කතාවක්. අනුකමිටුවල වාර්තා දැන් පාර්ලිමේන්තුවට දීලා ඉවරයි. ඒවා පාර්ලිමේන්තුවට දැම්මෙ මෙහෙයුම් කමිටුවට දැම්මට පසුවයි. මෙහෙයුම් කමිටුවෙ ඒකාබද්ධ විපක්ෂෙ අයත් ඉන්නවා. ගැටලූ තිබුණු ඒවා මෙහෙයුම් කමිටුවලදි සාකච්ඡා වෙලා එතැන ඒකමතිකභාවයෙන් තමයි පාර්ලිමේන්තුවට දැම්මේ. මේක කිසි තේරුමක් නැති පුහු හිස් කතාවක්. 

ප‍්‍රශ්නය- ශ්‍රීලනිපය මැති ඇමැතිවරුන්ට මීගමුවෙදි වැඩමුළුවක් තිව්වා. මොනවද වුණේ? ව්‍යවස්ථාව ගැන කතා වුණේ මොනවද?

පිළිතුර - ඒක රටේ ආර්ථිකය ගැන වැඩමුළුවක්. මහබැංකු අධිපතිතුමාත් ඊට සහභාගී වුණා. සභාතොමෝ සතුටින් විසිර ගියා. අගමැතිතුමා සහ ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් තමයි ව්‍යවස්ථා ක‍්‍රියාවලිය පාර්ලිමේන්තුවේ දියත්වෙන්නේ. නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමාගේ නායකත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා. අනුකමිටුවල නිර්දේශ හා ඉදිරිපත් කිරීමට යන කෙටුම්පත ගැන අපේ අදහස් ඉදිරිපත් කිරීම එහි කාර්යයයි. ඒ වාර්තාව තාම අවසන් කර නෑ. එහි සාමාජිකයකු හැටියට මා කියන්නේ ජනමත විචාරණයකට යන ව්‍යවස්ථා සංශෝධනයකට යා යුතුදැයි අපි එහිදී සාකච්ඡා කෙරෙනවා. ප‍්‍රධාන පක්ෂ දෙක අතර සමගියකින් වැඩක් කිරීමට ගත් දෙවැනි උත්සාහය මෙයයි. මොන මතවාද තිබුණත් ප‍්‍රධාන පක්ෂ දෙක සම්මුති ආණ්ඩුවේ ඉන්න නිසා මැතිවරණ ක‍්‍රමය වෙනස් කර පළාත් සභා තවත් ශක්තිමත් කරමින් බලය බෙදීමේ ව්‍යවස්ථා සම්පාදනයකට යෑමට අපට අවස්ථාව තිබෙනවා. අපට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක තිබෙනවා.

ප‍්‍රශ්නය - ශ්‍රීලනිපය ජනමත විචාරණයකට යන්න බයද?

පිළිතුර - ජනමත විචාරණයකදී ජනතාව උත්තර දෙන්නේ අහන ප‍්‍රශ්නවලට නෙවෙයි. එංගලන්තෙදි කොලොම්බියාවෙදි ඉතාලියෙදි අපි ඒක දැක්කා. එවැනි අවස්ථාවක ජනතාවගෙ මතය හරිහැටි උරගා බැලෙන්නේ නෑ. ඒ මොහොතේ බැලෙන්නේ ආණ්ඩුවට පක්ෂ හෝ විරුද්ධ යන මතවාදය අනුවයි.

ප‍්‍රශ්නය - එතකොට ඔබ කියන්නේ නව ව්‍යවස්ථාව සාදා අවසන් බවටත් මේ ක‍්‍රියාවලිය අමු බොරුවක් බවටත් ඒකාබද්ධ විපක්ෂය දක්වන අදහස වැරැදි බවද?

පිළිතුර- ලාල් විජේනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් හරහා ජනතා අදහස් ලබාගත්තා. අනුකමිටුවලින් ගත්තෙත් අදහස්. ඒකෙ ටී.එන්.ඒ, ජේ.වී.පී, යූ.එන්.පී හා අපේ අදහස් ඔක්කොම තිබෙනවා. මැතිවරණ ක‍්‍රමය, බලය බෙදීම හා විධායක ජනාධිපති ධූරය යන තේමා අයිතිවුණේ මෙහෙයුම් කමිටුවටයි. ඒ ගැන ස්ථිර තීන්දුවක් අරගෙන නෑ. හැබැයි එක වචනයක්වත් නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් කෙටුම්පත් වෙලා නෑ. පට්ටපල් බොරුවක් මේ මවලා කියන්නෙ. බිල්ලො මවලා මෙහෙම කරන එක වැරදියි. මොකද එජාපයේ කවර වැරදි තිබුණත් මෙහෙයුම් කමිටුවෙ සභාපති හැටියට අගමැතිතුමා ඉතාම නම්‍යශීලීව සියලූ දෙනාම ඒකරාශි කරගෙන ක‍්‍රියා කරන බව අපිට ඉතාම හොඳින් පේනවා. යක්ෂයාට වුණත් හරි වැඬේට ගෞරවය දෙන්න  ඕනෑ. ලංකා ඉතිහාසයේ ඒකපාක්ෂිකව තිබූ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය බහුපාක්ෂික කරපු අවස්ථාවෙයි අපි මේ ඉන්නෙ. මේ රටේ ප‍්‍රධාන පක්ෂ දෙකට තමන්ගෙ වගකීම ඉටුකරන්න තිබෙන අන්තිම බස් එක මේකයි. බිල්ලො මවලා ඒක මිස් කරන්න එපා කියලයි අපි කියන්නේ.

ප‍්‍රශ්නය - රාමනාදන් කන්නන් මහතා මහාධිකරණයට පත්කිරීමේ තීන්දුව ආපස්සට හරවන්නැයි අධිකරණ සේවා සංගමය ඉල්ලද්දී ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරන්නේ එමගින් අධිකරණ ස්වාධීනත්වයට හානි කළ බවයි. නීතිඥවරයකු හැටියට මේ සිද්ධිය දකින්නේ කොහොමද?

පිළිතුර - එතුමාත් චන්ද්‍රිකා මැතිණියගෙ කාලෙ තමන්ගෙ ශිෂ්‍යාවක් වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මියව කෙලින්ම ගෙනැත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්දවපු කෙනෙක්. නලල මැද්දෙ පොහොට්ටුවක් ගහගෙන ලොරිය ඉස්සරහින් බුදු සරණයි බෝඞ් එක ගහගෙන හොර හරක් අදිනවා වගේ වැඩක් එතුමා කරන්නෙ. අද ඒකීය වචනෙ අල්ලන් කෑගහනවා. හැබැයි තුන් පාරක්ම ව්‍යවස්ථාවෙන් ඒකීය වචනෙ අයින් කරපු මිනිහෙක් තමයි ජී.එල්.පීරිස් කියන්නෙ. එනිසා දේශපාලන වාසි ගැනීමට මේවා ගැන කතාකිරීමට ඔහුට අයිතියක් ඇත්තෙම නෑ. නීතිඥයකු හැටියට මා කියන්නෙ මෙවැනි පත්වීම් අභියාචනාධිකරණයට කෙරිලා නෑ. හැබැයි ජනාධිපතිතුමා කරල තිබෙන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය කළ ඉල්ලීමකට ප‍්‍රතිචාර දැක්වීමක්. ඒ ක‍්‍රියාව ගැන ජනපතිතුමා මතය ඉදිරිපත් කළා. නීතිඥ සංගමයේ සාමාජිකයකු හැටියට අපි නීතිඥ සංගමයේ මතය දැනගැනීමට කැමැතියි.

ප‍්‍රශ්නය - පෞද්ගලික විශ්ව විද්‍යාල රට තුළ ඇතිවිය යුතු යැයි මතයක් හැදෙද්දී සයිටම්හි පියා මහින්ද රාජපක්ෂ යැයි ආණ්ඩුවෙන් චෝදනා නැගෙනවා. මේ ප‍්‍රශ්නයේදී ආණ්ඩුවට කෙලින් තීන්දුවක් ගන්න බැරි ඇයි?

පිළිතුර - උසස් පෙළ රේස් එකෙන් විශ්ව විද්‍යාල යන්න ලැබෙන්නේ ඉතාම සුළුතරයකටයි. මේ නිසා මධ්‍යම පාංතික මවුපියන් ගේ දොර ඉඩකඩම් විකුණලා හෝ තමන්ගෙ දරුවන් සිංගප්පූරුවට, මැලේසියාවට,  ඕස්ටේ‍්‍රලියාවට යවනවා. මේ රටට පෞද්ගලික විශ්ව විද්‍යාල මෙන්ම වෛද්‍ය විද්‍යාලත් අවශ්‍යයයි. හැබැයි සයිටම් වගේ හොර කඩ නෙවෙයි. වෛද්‍ය විද්‍යාල හැදෙන්න  ඕනෑ වෛද්‍ය සභාවේ ප‍්‍රමිතියට අනුවයි. හොඳ උදාහරණයක් දෙන්නම්. අපි නීතිඥයො වුණේ ආණ්ඩුවෙ නීති විද්‍යාලෙන් නෙවෙයි. හැබැයි අපි නීතිඥයන් හැටියට ලියාපදිංචි කළේ නීති සභාවෙනුයි. ජී.එල් පීරිස් මහත්තයා දේශපාලනයේදි පිස්සු කෙලියට නීති විභාග පාස් වෙන්න අපි පාඩම් කළේ එතුමා ලියපු පොතුයි. මහාචාර්යවරයකු නීති විශාරදයකු වුණත් එයාට ලංකාවෙ උසාවියේ නීතිඥයකු හැටියට කටයුතු කරන්න බෑ. ඔහු නීති විද්‍යාලයේ අවසාන විභාගයට පෙනීසිටියේ නෑ. ලංකාවෙ නීතිඥ ප‍්‍රමිතිය නීති සභාව තීරණය කරනවා වගේ වෛද්‍ය ප‍්‍රමිතිය තීරණය කරන්නේ වෛද්‍ය සභාවයි.  මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ සයිටම් එකේ විවෘත කිරීම්වලට පවා ගියපු එකට ශිෂ්‍යත්ව පවා දීපු කෙනෙක්නෙ. දැන් ඒකට විරුද්ධ යැයි එතුමාත් කියනවා. එතුමා පවා ලැජ්ජාවට පත්කරලා තිබෙනවා. සයිටම් එක හිටපු ජනාධිපතිතුමාත් රවට්ටලා. දැන් මේ අය හොර ගල් අහුලන්නැතිව කරන්න  ඕනෑ ඇත්තටම තමන්ගෙ ළමයින්ට වගකීම දරනවා නම් වෛද්‍ය සභාවේ ප‍්‍රමිතියට අනුකූලව ආයතනයේ කටයුතු මෙහෙයවීම විනා දොස්තරලා කොන්දොස්තරලා කරලා කොන්දොස්තරලා දොස්තරලා කරන එක නෙවෙයි.

ප‍්‍රශ්නය - සයිටම් හරහා ආණ්ඩු පෙරලන්න හදනවා යැයි ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා කියනවා. එවැනි උත්සාහයක් ඔබටත් පේනවද?

පිළිතුර - එතුමාට ස්වාධීනව මතයක් දැරීමට අයිතියක් තිබෙනවා. මට නම් එවැන්නක් පේන්න නෑ. සයිටම් එකට විරෝධය එන්නේ තුන් පැත්තකින්. ජවිපෙ පෙරටුගාමී වැනි අය සයිටම් එකට විරුද්ධ ප‍්‍රතිපත්තියක් හැටියටයි. දොස්තරවරු කියන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල හා වෛද්‍ය විද්‍යාලවලට තමන්ට විරුද්ධ නැතත් වෛද්‍ය සභාවෙ ප‍්‍රමිතියට අනුකූල විය යුතු බවයි. ශ්‍රීලනිපයේ අපිත් ඉන්නෙ ඒ මතයෙයි. මේ නඩු තීන්දුව අවසානාත්මක නෑ. ඒ නිසා තමයි දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් දාලා තිබෙන්නේ. උසාවියට අපහාස කළා යැයි කියලා කිරිඇල්ල ඇමැතිතුමාටවත් මටවත් නඩු දාන්න කාටවත් බෑ. එවැනි දෙයක් කළයුත්තේ අධිකරණයෙන්මයි.  

ප‍්‍රශ්නය - ඉදිරියේදී ලංකාවට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව මහ බැංකු අධිපතිවරයා කිව්වා. ශ්‍රීලනිප  වැඩමුළුවෙදි මේ ගැනත් කතා වුණාද?

පිළිතුර - ඊට ගතයුතු ක‍්‍රියාමාර්ග ගැන මහ බැංකු අධිපතිතුමාගෙ පැත්තෙනුත් අපේ පැත්තෙනුත් යෝජනා වුණා. ඒක ඉතාම හොඳ පුළුල් ආර්ථික සංවාදයක් බවට පත්වුණා. හැම දේ දිහාම  ඕනෑවට සාධනීයවත් නිශේධනීයවත් බැලිය යුතු නෑ. අපි මධ්‍යස්ථ විය යුතුයි. චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණියගේ කාලේ අපේ ආර්ථිකේ සෘණ වුණා. අපි ඒකෙනුත් ගොඩ ආවා. ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ තීරණත් එක්ක ලෝකයේම ආර්ථිකයේ යම් යම් පිළිවෙත් වෙනස්වෙන්න පුළුවන්. මේ නියං තත්ත්වයත් අපේ ආර්ථිකයට බලපානවා. ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල ඉහළ යන්න පුළුවන්. මෙවැනි අවස්ථාවක ව්‍යවස්ථාදායකය ලෙස අප කළයුතු වන්නේ එකතු වෙලා මහ බැංකුව සමඟ සාකච්ඡුා කර විසඳුම් සොයාගැනීමයි.  විගණකාධිපතිටයි මහ බැංකු අධිපතිටයි චෝදනා කරමින් බැඳුම්කර හොරුන් ආරක්ෂා කරන්න හදනවා කියන්නෙ රෙදි ඇඳගෙන ඔළුවෙන් හිටගැනීමක්. එතකොට ජනතාවට හෙළුව පේනවා. ඒකාබද්ධ විපක්ෂෙන් ඇහෙන බැරිබැරියාවයි බිරිල්ලයි වෙනුවට අවශ්‍ය තැනදි තීන්දු ගත යුතුයි. මේ රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා. එකේක දිස්ත‍්‍රික්කවලින් බලයට පත් වූ අයට තමන්ට උඩින් තීන්දු ගන්න ඉඩ නොදී ජනාධිපතිවරයා දැන් තීන්දු ගත යුතුයි.

ප‍්‍රශ්නය - පාඩු ලබන ආයතන විකිණීම හෝ පෞද්ගලික අංශයට පවරාදීමක් කළ යුතු බව මහබැංකු අධිපතිවරයා පැවසුවා. ශ්‍රීලනිපය මේ මතයට එකඟද?

පිළිතුර - පෞද්ගලීකරණය චන්ද්‍රිකා කුමාරණතුංග පාලන සමයේදීත් මහින්ද රාජපක්ෂ පාලන සමයේදීත් සිදුවුණා. එතුමාගේ මතයට අපි එකඟවන්නේ සංශෝධන සහිතවයි. පාඩු ලබන ආයතන රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධතාවයකට ගෙන ආ යුතුයි. එහෙම නැතිව විකුණලා දාන්න  ඕන නෑ. 

ප‍්‍රශ්නය - ශ්‍රීලනිපයේ මීළඟ ජනපති අපේක්ෂකත්වය ගැන ඔබ විවිධ අදහස් පළ කළා. ඒත් ජනාධිපතිවරයා තවම නිහ`ඩයි. පාක්ෂිකයා පක්ෂ මතය දැනගන්නෙ කොහොමද?

පිළිතුර - මම තමයි මුලින්ම මීළඟ ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා මෛත‍්‍රීපාල සිරිසේන මහතා විය යුතුයි කියලා කිව්වෙ. මම කිව්ව මතයම පක්ෂයෙ මහලේකම්තුමාත් ළඟදි කිව්වා. සන්ධානෙ මහලේකම්තුමත් කිව්වා. මැති ඇමැතිවරු ගණනාවක්ම ඒ මතයට ඇවිත් ඉන්නෙ. රට ජාතිය වගේම සම්මුතිවාදය පැත්තෙන් ගත්තත් ඊට සුදුස්සා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බව මම යළිත් කියනවා. හැබැයි මේකට විරුද්ධ වෙන චන්ද්‍රිකා රනිල් මහින්දට තිබෙන්නේ දේශපාලන ප‍්‍රශ්නයකින් එහා ගිය පංතිමය ප‍්‍රශ්නයක් බව කිවයුතුයි. මේ තුන්ගොල්ලො නියෝජනය කරන්නෙ දේශපාලන ධාර තුනක්නෙ. කවදාවත් එකඟ නොවන, එක තැනකට ගේන්න බැරි තුන් දෙනෙක්නෙ. හැබැයි අද කියන්නෙ එක කතාවක්. මෙතැන තියෙන්නේ අප‍්‍රකාශිත පංතිමය සමගියනෙ. පේ‍්‍රමදාස මහත්තයටත් දෝෂාභියෝග මගින් පක්ෂෙ ඇතුලෙන්ම කැරැල්ල මෙහෙයවුණේ මේ පංති ප‍්‍රශ්නෙ නිසයි. අන්තිමේදි එතුමන්ව මහපාරෙ මරල දැම්මා. මේ නිසාම ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව හැටියට ඊළඟ ජනාධිපතිවරණයට මෛත‍්‍රීපාල සිරිසේන මහතාම ඉදිරිපත් කරන්නට යෝජනා කරගත යුතු යැයි මා හිතනවා. එතැනදි එතුමාගෙ පෞද්ගලික කැමැත්තට එහා යන පක්ෂ මධ්‍යම කාරක සභා තීරණය ගැන සලකා බලන්න සිදුවෙනවා.

ප‍්‍රශ්නය - හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයට ජැක්සන් ඇන්තනි දුන් අර්ථකතනය ජනමූල නායකත්වයයි. මහින්ද රාජපක්ෂ මහත්තයගෙයි මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයාගෙයි වෙනස මොකද්ද?

පිළිතුර - මහින්ද රාජපක්ෂ මහත්තයා ජනමූල නායකයා කියල හැඳින්නුවේ මොන පදනමකින්ද කියලා එතුමගෙන් අහන්න  ඕනෑ. ජනමූල නායකයකුට වඩා අපි එතුමාව රජෙක් කළානෙ. ඊටපස්සෙ රජ පවුලෙ අය පිස්සු කෙළපු නිසා එතුමා පැරදුණා. මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා කියන්නෙ ගොවියෙක්ගෙ පුතෙක්. සොල්දාදුවෙක්ගෙ පුතෙක්. ඈත එපිට දුප්පත් තැනක උපන් කෙනෙක්. එවැනි කෙනෙක් ලංකාවෙ රාජ්‍ය නායකයත්වයට පත්වුණේ දෙවැනි වතාවට. ඊට පෙර පේ‍්‍රමදාස මහත්තයා. අනෙක් හැම රාජ්‍ය නායකයකුම වාගේ උපන් ගෙයි රදළ පවුල්වල. එහෙම නැත්තන් රදළ පවුලක වෙන්න හදපු ඩුප්ලිකේට් වලව්වක. එහෙම නැත්තන් ධනපති පවුලක. මම කතා කරන පංතිය තිබෙන්නෙ එතැන. එහෙම නැතිව ජැක්සන් ඇත්තනි මහත්තයා චිත‍්‍රපටියක කියන පංති පදනමේ නෙමෙයි.



අදහස් (0)

'පාඩු ලබන ආයතන විකුණන්න ඕනෑ' - ඇමැති ඩිලාන් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 844 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 120 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1061 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 133 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 228 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 449 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 727 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site