IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පාතාලය වැඩ පටන් අරන් පොලිසියත් සීරුවෙන්

 13_SLMA_P6_Back  

 

දිනය ඉකුත් 5 වැනිදා ය. වේලාව සවස 3.45 පමණ වී තිබිණි. බොරැල්ල බේස්ලයින් මාවතේ බන්ධනාගාරය ඉදිරිපිට ප්‍රධාන මාවත සුපුරුදු පරිදි ජනී ජනයාගෙන් හා වාහන තදබදයෙන් පිරී පැවැතිණි. විශේෂ යමක් සිදුවේයැයි කිසිවකුට හෝ නොසිතෙන්නට ඇත.


එසේ නොසිතුණ අය අතර විතානගේ සංජීවනීද සිටියාය. විසිතුන් හැවිරිදි ඇය දෙමස් ගැබිනියකි. දෙහිඕවිට මාගම්මන පදිංචිකාරියකි. ඒ මොහොතේ ඈ රැඳී සිටියේ වැලිකඩ මහඋළුගෙදර ඉදිරිපිට බස් නැවතුමේය. ඇය සමග ඇගේ සොහොයුරියද වූවාය. බන්ධනාගාරගතව සිටින ඥාති සහෝදරයකු බලා නිවෙසට යාම ඔවුන්ගේ අරමුණ විය.

6
 මුහුණ ආවරණය වන පරිදි හෙල්මට් පැළඳි තරුණයන් දෙදෙනකු ඔවුන් ඉදිරිපිට යතුරුපැදිය නතර කරනු ලැබුවේ ඒ මොහොතේය.“උඹ සමයංගේ ගෑනි නේද?” යතුරුපැදියෙන් පැමිණි තරුණයකු එසේ විමසුවේ සංජීවනී සමග සිටි සොහොයුරියගෙනි.“මොන සමයංද? මම දන්න සමයං කෙනෙක් නෑ. ඇගේ ක්ෂණික පිළිතුර එය විය. එහෙත් තරුණයෝ පසුබා නොගියහ. ඔවුහු තව තවත් ප්‍රශ්න කරන්නට වූහ.


“අපිට කරදර කරන්න එපා. අපි පොලිසියට කියනවා.” සංජීවනී කීවාය.


ගතවූයේ නිමේෂයකි.


එතෙක් සඟවාගෙන සිටි මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලය එළියට ගත් තරුණයෙක් සංජීවනීගේ සොහොයුරිය ඉලක්ක කර උණ්ඩයක් මුදාහැරියේය.


ඉලක්කය වැරදිණි.


දෙමස් ගැබිනියක වන සංජීවනී ඒ උණ්ඩයේ ගොදුර බවට පත්විය. කුස අල්ලාගෙනම ඇය තාර පාරේ වැටුණාය. වෙඩි තැබූ තරුණයෝ සැණෙකින් වාහන ගංගාවේ නොපෙනී ගියහ.


ලෙයට ලෙය ඉල්ලන මරණයට මරණය ඉල්ලන පාතාලයේ ම්ලේච්ඡත්වය වැලිකඩ මහ උළුගෙදර ඉදිරිපිටම ප්‍රදර්ශනය වූයේ එසේය. අනූ අංකයක් නැති මූනිස්සම් සමග හරඹ පාන පාතාලයන්ගේ කියුම් කෙරුම් එපරිදිය.


එහෙත් ඒ පාතාලයන්ට ඔත්තුව වැරදී තිබිණි. මහඋළුගෙදර කල්දේරම් බතෙහි රස බලන අරුණ උදයංග පතිරණ හෙවත් සමයංගෙ බිරිය සමයංට කෑම රැගෙන එන බවට තොරතුරු ඔහුගේ ප්‍රතිපාර්ශවයට  ආරංචි වී තිබිණි. වෛරයේ තරම කොතෙක්ද යත් සමයංගෙන් පළිගැනීමට ඔහුගේ බිරිය වුව මරා දැමීමට ඔවුහු තීරණය කළහ. දෙහිඕවිට සංජීවනීට වෙඩි කා රෝහල්ගත වීමට සිදුවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.


සංජීවනීට වෙඩි තැබූ පාතාලයෝ කිසිදු සාක්ෂියක් ඉතිරි නොකරම පලා ගියහ. එහෙත් පොලිස් පරික්ෂණ ඇරැඹිණි. එම පොලිස් පරික්ෂණවලින් අනාවරණය වූයේ සමයංගේ බිරිය මරා දැමීමේ උත්සාහය කඹුරුපිටියේ හර්ෂගේ ඝාතනයත් සමග ගැට ගැසී ඇති බවය.


කඹුරුපිටියේ හර්ෂ යනු දකුණ හොල්ලන පාතාල කල්ලි නායකයකු වන ධනුෂ් ලක්ෂිත හෙවත් මධුක්ෂගේ ප්‍රධාන ගෝලයාය. දක්ෂිණ අධිකාරියේ සභාපතිව සිටියදී මීට වසර කිහිපයකට පෙර ඩැනී හිත්තැටියගේ මහතා මහ දවාලේ වෙඩි තබා මරා දමනු ලැබුවේ මධුෂ්ක හා කඹුරුපිටියේ හර්ෂගේ මෙහෙයවීමෙන් බව අනාවරණය විය. දකුණේ බොහෝ මිනීමැරුම් බැර වූයේ මධුෂ්ක හා කඹුරුපිටියේ හර්ෂගේ ගිණුමටය. එයට හේතුව කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මැරීම ඔවුන්ගේ එක් ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්වී තිබූ හෙයිනි.


 කඹුරුපිටිය ගෝදාව නඳුන් උයනේ පදිංචි ජයසේකර ගමාච්චිගේ හර්ෂ යසස් ශ්‍රී හෙවත් කඹුරුපිටියේ හර්ෂ හා අරුණ උදයංග පතිරණ හෙවත් සමයං අතර මිත්‍රත්වයක් දලු ලා වැඩෙන්නේ මහ උළුගෙදරදීය. ඒ මෙයට වසර කිහිපයකට ඉහතදීය.


 ගහට ගහක් මොරටුවේදී මුණගැසෙන්නාක් මෙන් පාතාලයන්ට පාතාලයන් මුණගස්වන කෙම් බිම බවට බන්ධනාගාරය පත් වේ. ගෝල බාලයන් සහිත සේනාංක පිරිවරා සිටින පාතාල නායකයන්ට බන්ධනාගාරයේ සිට ඕනෑම මෙහෙයුමක් බොහෝ පහසුවෙන් කළ හැකිය. ඊසි කෑෂ් මුදල් හුවමාරු ක්‍රමය යටතේ කප්පම් ගැනීම, පුද්ගලයන් පැහැර ගෙන ගොස් කප්පම් ගැනීම, පුද්ගලයන් මරා දැමීම, බන්ධනාගාර ගත පාතාලයන්ට “ටොයිෂ්” වැඩය. පාතාල නායකයන්ගේ මනා සම්බන්ධීකරණයෙන් ඒවා සිදුවේ. තම තමන්ට අයත් පළාත් බෙදා වෙන්කර ගනිමින් ඒ පළාත්වල සිය අනුගාමිකයන්ගේ මාර්ගයෙන් අණසක පතුරුවා හරිමින් ඔවුහු එම පළාත් පාලනය කරති.


 කඹුරුපිටියේ හර්ෂ හා සමයං අතර පැවැතියේ එබඳු බලගතු සම්බන්ධතාවයකි. එහෙත් මෙයට වසර එක හමාරකට පමණ ඉහතදී එම බැඳීම පුපුරා ගියේය. විශ්වාසය කඩවීම තරම් මාරාන්තික වැරැද්දක් පාතාල ලෝකයේ තවත් නැත. එහි කෙළවර ඒකාන්ත මරණයම වේ.


 හර්ෂ හා සමයං අතර මිත්‍රත්වය බිඳී වෛරය දළුලා වැඩෙන පරිසරය තුළ හර්ෂ ඇප ලබා එළියට ඒම සිදුවිය. එතැන් පටන් දෙපාර්ශවයේම මූලික අරමුණ වූයේ තම ප්‍රතිවාදියා මරා දැමීමය.

dgug
එහි බිහිසුණුම ජවනිකාව ක්‍රියාත්මක වූයේ ඉකුත් සැප්තැම්බර් මාසයේ 23 වැනිදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදීය. එදින නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා සමයං කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමියට බන්ධනාගාර බසයකින් රැගෙන එනු ලැබීය. සමයංට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර තිබිණි. එසේ වුවද හර්ෂගේ නියෝගය මත ඔහුගේ ගෝලයෙක් අධිකරණ භූමියේ රැඳී සිටියේය. ඔහුගේ අත වෙළුම් පටියකින් වෙලා තිබුණද ඒ තුළ වූයේ මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයකි.


බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව මැද සමයං ගමන් කරමින් සිටියේය. සුදුසු මොහොත එය යැයි සිතූ පාතාලයා ඉලක්ක කර වෙඩි වැලක් මුදාහැරියේය. එහෙත් ජීවත්වීමේ වාසනාව සමයංට තිබිණි. වෙඩි උණ්ඩ අහක ගියේය. අවාසනාව හර්ෂටම විය. හර්ෂගේ අණින් සමයං මරා දැමීමට පැමිණි හර්ෂගේ ගෝලයා දෙතුන් දිනකට පසු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.


තමා මරා දැමීමට සැලසුම් කළේ කවුදැයි සමයංට තවදුරටත් රහසක් නොවීය. පාතාලයේ තාවකාලික ජයග්‍රහණය බවට හෝ පත්වන්නේ “ඉස්සර වන්නාය.” පාතාලයේ න්‍යාය එය ය.


උසාවි බිමේ ඉලක්කය වැරදී ගියද ඊළඟට ලැබෙන පළමු අවස්ථාවේදීම සමයං මරා දැමීම හර්ෂගේ ඉලක්කය විය. සමයංගේ ඉලක්කයද එයම වූ බවට සැකයක් නැත.


 ඉස්සර වූයේ සමයං හා ගෝලබාලයන්ය. ඒ ඉකුත් 3 වැනිදාය. රාජගිරිය, ඔබේසේකරපුර අරුණෝදය මාවතේ නිවෙසක හර්ෂ දිවා ආහාරය ගනිමින් සිටියේය. ඒ  සිරිපාදේ වන්දනා ගමනක් ගොස් නැවත එම නිවෙසට පැමිණි දිනය විය. එම නිවසේ සිටියේ හර්ෂගේ අනියම් බිරිය බව ද කියවේ.


හර්ෂ දිවා ආහාරය ගනිමින් සිටියේ එම නිවසේ මැද සාලයේ සිටය. නිවසේ ඉදිරිපස දොර අඩවන් කර තිබිණි. සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකුගෙන් එක් අයෙක් පොළොවට බර නොදැනෙන සේ ගෙමිදුලට ආවේය. එතෙක් සඟවාගෙන සිටි මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවිය අතට ගත් පාතාලයා අඩවන් දොර අතරින් ගිනි අවිය නිවෙස තුළට දැම්මේය. වෙඩි උණ්ඩ පිට විය. ඉලක්කය ටක්කෙටම විය. හර්ෂගේ පපුව හා උදරය විනිවිද වෙඩි උණ්ඩ ගියේය.


සැණෙකින් පාතාලයෝ අතුරුදන් වූහ. නිවැසියෝ හර්ෂ වහාම රෝහලට රැගෙන ගියහ. රෝහලේදී හර්ෂ සැත්කමකටද ලක්කෙරිණි. එහෙත් ‘අබ වපුරා මුං නෙළිය නොහැකිය. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති’ ඒ දහම සනාතනිකය. සදාතනිකමය. හර්ෂගේ ඉරණම විසැඳුණේ ඒ අනුවය.දකුණේ ගම්බිම් පුරා නාඳුනන තුවක්කුකරුවාගේ භීතිය පතුරුවා හළ කඹුරුපිටියේ හර්ෂගේ මරණයෙන් දකුණේ පාතාලය සැළුම් වෙවුළුම් කෑවේය. “ලෙයට ලෙය, මරණයට මරණය” ඒ පාතාලයේ භාෂාවය. “දතට දත, ඇසට ඇස” ඒ පාතාලයේ දර්ශනය ය. හර්ෂගේ අකල් මරණයෙන් මුසපත් වූ හර්ෂගේ අනුසේනාංකයේ අනීතික සාමාජිකයෝ “නුඹේ මරණයේ පලිය ගන්නවා” යැයි ශපථ කළේ හර්ෂගේ නිසල මළ සිරුර මත දෑත් තබා ය.


නාඳුනන වෙඩි උණ්ඩයක් වුවද එය කාගෙදැයි හර්ෂගේ ගෝල බාලයෝ හොඳින්ම දැන සිටියහ. හර්ෂ ඒ මොහොතේ නිවසේ සිටින බවත්, නිවසේ මැද සාලයේ දිවා ආහාරය ගනිමින් සිටින බවත් පාතාලයන් දැන ගත්තේ කෙසේද? ඒ සඳහා නිවැසියකුගේ පූර්ණ සහයෝගය අවශ්‍ය බවට විවාදයක් නොවීය. ඒ අනුව හර්ෂගේ ගෝල බාලයන්ගේ තීරණය වූයේ සිය අනුත්තර නායකයා ඝාතනය වූයේ අනියම් බිරියගේ පාවාදීමකින් බවය. එහෙත් පළිගත යුත්තේ අනියම් බිරියගෙන් නොව නියම බිරියගෙන් බවට ඔවුහු තීන්දු කළහ.බේස්ලයින් මාවතේ බන්ධනාගාරය ඉදිරිපිටදී සමයංගේ බිරිය යැයි සිතා වෙනත් කාන්තාවකට වෙඩි තැබුවේ ඒ අනුවය.


දෙහිඕවිට, මාගම්මන සංජීවනී වෙඩි තැබූ පාතාලයන් කෙළින්ම ගියේ හර්ෂගේ නිසල මළ සිරුර තැන්පත් කර තිබූ ස්ථානයටය. හර්ෂගේ මළ සිරුරට ආචාර කළ එක් පාතාලයෙක් හර්ෂගේ කණට මුව ළංකර “ඔන්න බොස් අපි බොස්ගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කළා” යැයි පැවැසීය. එහෙත් තමන් වෙඩි තබා තිබෙන්නේ වෙනත් කාන්තාවකට බව ඔවුන්  දැනගත්තේ එදින රාත්‍රියේ රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති ප්‍රකාශනයෙනි.


ඒ මොහොතේ ඒ පාතාලයන්ගේ ඇස්වලට කඳුළු ඉනුවේයැයි  අපි විශ්වාස නොකරමු. මන්ද යත් කඳුළු වපුරා මරණය අස්වද්දන පාතාලයන්ට එබඳු සංවේදී හදවත් තිබිය නොහැකි හෙයිනි.


අනුඅංකයක් නැති වෙඩි උණ්ඩවලින් හරඹ පාන පාතාලයන් ඉදිරිපිට දණින් වැටී  අභය දානය ඉල්ලා සිටීමට සිදුවන තරමට පාතාලය යළිත් වරක් හිස ඔසවා තිබේ. ඒ බව පසක් කරවන සිදුවීම් එකක් පසුපස එකක් වශයෙන් ගෙවී ගිය දවස්වල වාර්තා විය.


කදිම උදාහරණය බන්ධනාගාර බසයකින් බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටියදී මාලිගාවත්තේදී දෙමටගොඩ චමින්ද ඉලක්කර කර වෙඩි වැලක් මුදාහැරීමය.


 චමින්ද රවී පියනාත් හෙවත් දෙමටගොඩ චමින්ද ඉකුත් සමය පුරා පුවත් මවන්නෙක් විය.


 භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතන සැකකරුවකු වන දෙමටගොඩ චමින්ද කොළඹ පාතාලයේ එක් සේනාංකයකට අණ දෙන්නකු බව පොලිසිය කියයි. කොළඹ පාතාලයේ තවත් පාර්ශවයක් නියෝජනය කරන ආමි සම්පත් හා බ්ලූමැන්ඩල් සංඛ සමග දෙමටගොඩ චමින්ද ආරෝවක් ඇතිකර ගෙන තිබුණේ මෙයට වසර කිහිපයකට ඉහත සිටය. එහෙත් එළිපිට මරා ගන්නා තරමට ඔවුහු නිර්භය නොවූහ. එයට හේතුව පාතාලයට එරෙහිව එසමයෙහි මහා මෙහෙයුමක් ක්‍රියාත්මක වී තිබූ හෙයිනි. එම තත්ත්වය කෙතරම්ද බරපතළ වීද යත් පාතාලයන්ම එය හැඳින්වූයේ “සුනාමියක්” ලෙසය.


එහෙත් ඉකුත් සමයේ දෙමටගොඩ චමින්ද හා ප්‍රතිවාදීන් අතර වෛරය වේගයෙන් ඇවිලී ගියේය. ඉකුත් මහ මැතිවරණ සමයේ දී ද දෙමටගොඩ චමින්ද ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කළ ද ඔහු අනූනවයෙන් දිවි ගලවා ගත්තේය.


පසුව දෙමටගොඩ චමින්ද රිමාන්ඞ් බන්ධනාගාර ගත කෙරිණි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට පෙනී සිටීමට ඉකුත් 2 වැනිදා දෙමටගොඩ චමින්ද කොළඹ මහාධිකරණය වෙත ගෙන එනු ලැබීය. පසුව ඔහු යළිත් බන්ධනාගාරය වෙත බන්ධනාගාරයට අයත් බස් රථයකින් ආරක්ෂක විධිවිධාන සහිතව රැගෙන යමින් සිටිය දී මාලිගාවත්ත ප්‍රදේශයේ දී  චමින්ද ඉලක්ක කර වෙඩි වැලක් මුදාහැරිණි. එයින් බරපතළ තුවාල ලැබූ චමින්ද කොළඹ මහ රෝහලේ තවමත්  ප්‍රතිකාර ලබයි.


 සංසුන් සංහිඳියාවෙන් පිරීගත් සමාජයකට පාතාලය මාරාන්තික ය. ඒ අනුව හිස ඔසොවන පාතාලය හමුවේ මුළු මහත් සමාජයම තිගැස්මට ලක්වීම ස්වභාවිකය. පාතාලයේ ලේ හළන අත්දැකීම් සහිත සාමාජිකයෝ යළිත් එබඳු අඝාත අඳුරට ඉඳුරාම බියවෙති. එහෙත් පාතාලය නව ජවයකින් රළ ගසා පෙරට ඒමට පටන් ගෙන තිබිණි.


පාතාලය මැඩලීම අංක එක බවට පත්වූයේ මෙම පරිසරය තුළය. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් එකවර ක්‍රියාත්මක වූහ. පාතාල කල්ලි මර්දනය කිරීමට නීත්‍යානුකූලව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමටත්, ඒ සඳහා ඒකාබද්ධ සැලසුමක් මත ක්‍රියාත්මක වන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියටත් හමුදාවටත් උපදෙස් දුන්නේය. පොලිස් ස්ථානවල පිහිටුවා තිබූ රහස් තොරතුරු රැස්කරන බුද්ධි අංශ ඒකක වහාම යළි ක්‍රියාත්මක කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට නියෝග කළේය.


 පාතාලය මර්දනය කිරීමේ වගකීම බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ දෙවුර මත පැටවිණි. ඒ සම්බන්ධ හසල අත්දැකීම් ඇති ඒ මහතා වහාම ක්‍රියාත්මක විය. පූජිත ජයසුන්දර මහතා පළමුව කළේ දරුණු ගණයේ අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා බස්නාහිර පළාතේ විසිහතර පැය පුරා විශේෂ ආරක්ෂක මෙහෙයුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමය. ඊට අමතරව අපරාධ හා මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා ඇති සියලුම ඒකකවල ප්‍රධානීන් කැඳවූ පූජිත ජයසුන්දර මහතා පාතාල මර්දනය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කළේය. පොලිස් විශේෂ කාර්ය බළකායද මෙම සාකච්ඡාවට එක් විය.


පූජිත ජයසුන්දර මහතා පළමුව කළේ පාතාලය හා මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් හි නියුක්ත නිලධාරින්  තුළ විශ්වාසවන්තභාවය තහවුරු කිරීමය. අවබෝධය ඔවුන් තුළ ඇති කිරීමය. අන්තර් සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමය. එහෙත් එකම එක උපදෙසක් පමණක් ඔහු ලබා දුන්නේය.


“ඔබ ස්වාධීනව වැඩ කරන්න. බලපෑම්වලට යට වෙන්න එපා. ඔබ ඔබට හිමි බලය පාවිච්චි කරන්න. නමුත් නීතියට පිටින් කිසිවක් කරන්න එපා. ඒ වගේම පෞද්ගලික න්‍යාය පත්‍රවලට  කටයුතු කරන්න යන්න එපා” බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා එසේ කීවේය.


පූජිත ජයසුන්දරගේ උත්සාහය විසි හතර පැයක් ගතවීමට මත්තෙන් ඵල දරුවේය. බොරැල්ල බේස්ලයින් මාවතේදී විතානගේ සංජීවනීට වෙඩි තැබූ ඝාතකයා අත්අඩංගුවට පත් විය. ඒ වැලිගම මිදිගම ප්‍රදේශයේදීය. දෙමටගොඩ චමින්දට මාලිගාවත්තේදී වෙඩි තැබූ ඝාතකයාද අත්අඩංගුවට  පත් විය. ඔවුන්ගෙන් බොහෝ තොරතුරු අනාවරණය කරගත හැකි බව පොලිසියේ විශ්වාසය වේ. විශේෂයෙන්ම කොටි සංවිධානය සතුව තිබූ අවි කොළඹ පාතාලයට ලැබෙන මාර්ගය ඒ අතර ප්‍රධානය.


පොලිසිය සීරුවෙන් නම් පාතාලය මැඩලීම අසීරු නොවේ. පාතාලයට සම්බන්ධ යැයි දැනට හඳුනාගෙන ඇත්තේ 193 ක් පමණ වන පිරිසකි. ඒ පාතාලයන්ට ඉඩ දී බලා සිටිනවාද යන්න තීරණය කළ යුත්තේ පොලිසියම වේ.

m



අදහස් (0)

පාතාලය වැඩ පටන් අරන් පොලිසියත් සීරුවෙන්

චානක Sunday, 20 March 2016 12:27 AM

අපේ රටේ ඉන්න පොලිසිය ඉන්නතුරු මැරයෝ හොඳින්. අහිංසක මිනිසුන්ට තමා කරදර කරන්නේ. තේ බොන්න සල්ලි ඉල්ලනවා නැති වැරදි හද හදා (නි)

:       0       0

ගුණවර්ධන Sunday, 20 March 2016 12:31 AM

පාතාලේ අය අල්ලන්න පොලිසියත් බයයි. එයාලා දන්නේ අහිංසක මිනිසුන්ට නිල ඇඳුමේ බලය පෙන්වන්න. එයාලටම ගැළපෙන පරණ නීති පොතකුත් තියනවා. (නි)

:       0       0

රනිල් Tuesday, 15 March 2016 03:09 AM

ගෝඨාභය නැති පාඩුව දැනෙනවා දැන්. තව ටික කලකින් අයෙත් කොටිත් හිස ඔසවාවි දන්නෙම නැතුව. එතකොට අපිට හිතෙයි අයියෝ අපි මේ මොන මෝඩකමද්ද කරගත්තේ කියලා (නි)

:       0       0

රුචිර Saturday, 19 March 2016 08:17 AM

ආරක්ෂක බුද්ධි අංශයේ සේවය කරන්නන් දෙන දේ කා වෙන දේ බලා සිටිනවා හැර අලුත් මෙහෙයුම් වලට සම්බන්ධ වී ඉල්ලන් කෑමට අකමැති තත්වයක් උදා වී ඇතිබවක් අපිට වැටහේ. (නි)

:       0       0

ඉමේෂ් Tuesday, 15 March 2016 08:00 AM

ඉස්සර ඉතින් නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ නිසා මෙහෙම එළිපිට ගහ ගත්තේ නැහැ. දැන් පාතාලයන්ට තැනක් නැති නිසා ගහ ගන්නව. ඉක්මනින්ම මේ 193 මරාගෙන ඉවර වුනා නම් හොඳයි. (බ)

:       0       0

විපුල Tuesday, 15 March 2016 07:59 AM

පොලිසිය 193 දෙනා හොයනකොට තව කීදෙනෙක් අලුත් සමාජිකය වෙලා ඇත්ද ? දවසින් දෙකෙන් කලයුතු වැඩක්.(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 2956 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 355 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 988 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 87 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site