IMG-LOGO

2025 පෙබරවාරි මස 28 වන සිකුරාදා


පාතාලය වර්ධනය වුණේ ඇයි?

මේ වනවිට සමස්ත සමාජය කතාකරන ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ ‘අපරාධ’ ය. පොදු සමාජය අතර එතරම් ජනප්‍රිය මාතෘකාවක් බවට මෙය පත් වූයේ ඇයි? මෙරට ඉතිහාසය පුරාම අපරාධ පිළිබඳව යම් යම් සාක්ෂි ඇතත් අද වන විට එය ප්‍රධාන කේන්ද්‍රීය මාතෘකාවක් දක්වා වර්ධනය වී තිබේ.

අපරාධ සිදුවීමත් ඒවාට දඬුවම් ලබා දුන් ආකාරය පිළිබඳවත් ඉතිහාසයේ නොයෙකුත් කතා ප්‍රවෘත්ති අප අසා ඇත. අපරාධ පිළිබඳව සමාජ විද්‍යාත්මකව ඉදිරිපත් වූ නිර්වචනද බොහොමයක් දැකිය හැකිය. එහෙත් ලංකාවේ අද පවතින්නේ එදා සිදුවූ අපරාධවලට සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වූ සංකීර්ණ අපරාධ රැල්ලකි.

පරිණාමයට නවීකරණයට පත්ව තිබෙන වත්මන් සමාජය පශ්චාත් කාර්මික සමාජයක් ලෙස අපි හඳුනා ගනිමු. එය මාධ්‍ය විසින් හසුරුවනු ලබන සමාජයකි. ඇත්තේ තාක්ෂණික මෙවලම් සංස්කෘතියකි. එම සංස්කෘතිය මීට පෙර පැවැති වැව දාගැබ ගම පංසල සංස්කෘතියට වඩා බොහෝ සෙයින් වෙනස්ය. අද රටේ අපරාධ ශීඝ්‍ර ලෙස වර්ධනය වීමට මේ තාක්ෂණික මෙවලම් සංස්කෘතිය විශේෂයෙන් බලපා තිබේ.

මූලිකව සලකා බැලු‍වොත් අපරාධයකට දඬුවමක් තිබේ. ඒ දඬුවම පදනම් වන්නේ නීතියක් මතය. රටක නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ පවතින නීතිවලින් රිංගා යාමට හැකි ඉඩප්‍රස්ථා බහුලවීම අපරාධ ඇතිවීමට දුරස්ථ හේතුවක් ලෙස බලපානු ඇත. අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබා දීම, දුටු තැන මරා දැමීම ආදී තද නීති ක්‍රියාත්මක කෙරෙන රටවල් තිබේ. ආගම මූලික කරගෙන එම රටවල්වල එම නීති පණගන්වා තිබේ. එබඳු රටවල අපරාධ අහන්නට දකින්නට ලැබෙන්නේම නැති තරම්ය. ඊට හේතුව වන්නේ එම නීතිවල පවත්නා අතිප්‍රබල සාහසික උද්වේගකර ස්වරූපයයි. රටක නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන්නේ නම් නීතිය ඇතුළට රිංගා යාමේ හැකි‍යාව තිබේ නම් එම රටේ අපරාධ වැඩිවීම සඳහා එය බලපෑ හැකිය.

එසේ වූ විට සිදුවන්නේ නීතිය පිළිබඳ මහජන විශ්වාසය ක්‍රමිකව බිඳවැටීමය. ‘ඒ ගැන කතා කිරීමෙන් පලක් නොවේ. අපි අපේ වැඩක් බලාගනිමු’ යන මහජන මතය එයින් ගොඩ නැගේ. මේ වටපිටාව වක්‍රව බලපාන්නේ අපරාධ වර්ධනය වීම යන කාරණය මතය.

රොබට් චෙම්බර්ස් නම් අපරාධ විද්‍යාඥයා සඳහන් කරන පරිදි සමාජයේ විලීනතා උගුලක් පවතී. අධ්‍යාපන ක්‍රමය පිළිබඳ පවතින ගැටලු‍ව ඒ සඳහා එක් උදාහරණයකි. අපේ රටේ බැලු‍වත් වර්තමානයේ මිනිසා ඉහළට ගමන් කිරීමට යොදාගන්නා ප්‍රධාන සාධකයක් වන්නේ අධ්‍යාපනයයි. අසීමාන්තිකව දැනුම සොයා යන විශාල තරගයක් වත්මන් සමාජයේ පවතී. එයින් ජයගෙන ඉහළ තැනකට යා හැක්කේ සීමිත පිරිසකට පමණි. අනෙක් පැත්තෙන් කෙතරම් අධ්‍යාපනය ලැබූවත් මිනිසාගේ ආකල්ප සංවර්ධනයක් සිදු නොවන විට ඔහු එක්තරා හුදෙකලාභාවයකට පත් වේ. මෙම පුද්ගල හුදෙකලාභාවය විලීනතාව ලෙස රොබට් චෙම්බර්ස් හඳුන්වා දෙයි. හුදෙකලාභාවය නිසා ජීවිතය පිළිබඳ ඇතිවන කලකිරීමත් සමග ඇතැම්හු සුළු සුළු අපරාධවලට පෙළඹන ප්‍රවණතාවක් දැකිය හැකිය. අල්ලස් දීම් අල්ලස් ගැනීම් වැනි සුළු අපරාධවලින් පටන්ගෙන පසුව ඔවුහු බිහිසුණු මාවත්වලට අවතීර්ණ වෙති. එසේ අවතීර්ණ වූ විට කුමන පැත්තකින් බැලු‍වත් මේ අපරාධ උගුලට ඔහු හසුවේ. අපරාධ විද්‍යාවේදී එය දිළිඳුබවේ විසම චක්‍රයට සමාන කර දැක්වෙයි.

දුප්පත්කම පිළිබඳව සංස්කෘතියක් ඇති බව ඔස්කා ලිවිස් නම් සමාජ විද්‍යාඥයා පෙන්වා දෙයි. ඔවුන්ගේ හැසිරීම් රටාව දුප්පත්කම විසින් නිර්ණය කරනු ලැබේ. විලීනතා උගුලද මීටම සමාන වේ. පාතාලය නමින් හඳුන්වනු ලබන සංස්කෘතික කණ්ඩායම බිහිවීමට බලපාන සමාජවිද්‍යාත්මක කාරණයක් නම් බිඳුණු පවුල සංකල්පයයි. එය අපරාධ විද්‍යාවේදී ද පැහැදිලිව පෙන්වා දෙයි. පාතාල සාමාජිකයන් ගොඩනැගෙන්නේ ද පවුල්වලිනි. ඔවුන්ටද මවුපියෝ සිටිති. දරුවෝ සිටිති. බිරින්දෑවරු සිටිති. මීට දින කිහිපයකට පෙර ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජිවගේ අවමඟුල සිදුවූ ආකාරය මාධ්‍ය මගින් අපි දුටුවෙමු. ඔහු අපරාධකරුවකු වුවත් පාතාල සාමාජිකයකු වුවත් ඔහු වෙනුවෙන් හඬා වැළපීමට, දෙණ රැගෙන යාමට, වළ කැපීමට පිරිසක් සිටියහ.

බිඳුණු පවුල්වල ස්වභාවය නම් අපරාධකරුවන් බිහිවීම, මවුපියන් වෙන්ව සිටීම, මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලින් එම පවුල ව්‍යාකූල කර තිබීම, අවිධිමත් රහසිගත ආදායම් මාර්ගවලට යොමුවීම ආදිය වේ. මේ ඇසුරින් ඔවුහු යම් ඉගැනීමක් ලබති. එනම් ඔවුන් ආයුධ පිළිබඳ සාක්ෂරතාවක් ලබාගැනීමය. විවිධ ආයුධ වර්ග හඳුනාගැනීමය. ඒවායේ ශක්‍යතා පිළිබඳ වටහාගැනීමය. ආයුධ ලබාගත හැකි තැන් මොනවාද යන්න දැන සිටීමය. ඒ සඳහා ඔවුන්ට ගැළපෙන මිනිසුන් හා සමාජයක් ඔවුන් වටා නිර්මාණය වන බවද පෙනේ. එහි ප්‍රතිඵලය වන්නේ ඔවුන් කාණ්ඩ වශයෙන් එකතු වී සංවිධානය වීමය. පාතාලය බිහිවන්නේ මෙම කාණ්ඩ ගැසීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

දේශපාලන සාක්ෂරතාවයේ ඇති දුප්පත්කමද මේ සඳහා බලපා තිබේ. අපේ සාක්ෂරතාවත් තාක්ෂණික සාක්ෂරතාවත් ඉහළ මට්ටමක ඇතැයි අපි උදම් අනමු. එහෙත් දේශපාලන සාක්ෂරතාවද රටක ඉතා වැදගත් කාරණයකි. සමාජයක මතුවන ප්‍රශ්න හමුවේ ඒවාට දේශපාලන විසඳුම් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂාවෙන් සිටිමු. ඒ අනුව පුද්ගලයකු ඉදිරියේ තබාගෙන අපි ලෝකය තේරුම් ගැනීමට උත්සාහ දරමු. දේශපාලන සාක්ෂරතාව යනු රටක අතීතය වර්තමානය සහ අනාගතය යන තුන් කාලයම පදනම් කරගෙන ඒ රට පිළිබඳ ඇතිකරගන්නා දැනුමයි. මේ කියන දේශපාලන සාක්ෂරතාව නොමැතිවීමෙන් විවිධ පුද්ගලයන් කෙරෙහි අසීමිත විශ්වාසයන් තබාගෙන ඔවුන් පසුපස දිව යාමට අපි පුරුදු වී සිටිමු. සමස්ත ඉතිහාසය පුරාම අපි ක්‍රියාකර ඇත්තේ මේ අන්දමටය. අප එසේ පෙරමුණේ තබාගෙන සිටින අය සයිබර් අවකාශය, පාතාල ලෝකය ආදිය සමග සමීප ගනුදෙනුවක යෙදෙති. අපේක්ෂා භංගත්වයට පත්වූවන් සමග සමීපව ඇසුරු කරති. මෙම සබඳතා අවසානයේ පාතාලය හා අපරාධ දක්වා වර්ධනය වේ.

මේ පශ්චාත් නූතන කාර්මික සමාජයේ පාතාලය හා අපරාධ මේ තරම් වර්ධනය වීමට තවත් වැදගත් කාරණයක් වේ. මේ සමාජය සියල්ල ස්වයංක්‍රීයව සිදුවිය යුතුය යන මතයේ සිටින එකකි. සයිබර් අවකාශයේ ප්‍රධාන තැනක් හා ඒකෙරෙහි දැඩි විශ්වාසයක් මේ සමාජයට ඇත. දේශසීමා විරහිතව ඕනෑම දෙයක් කිරීමට ඉඩකඩ ඇතැයි මේ පරිසරය තුළ බොහෝ දෙනා කල්පනා කරති. මිනිසාගේ මැදිහත්වීමකින් තොරව සියල්ල ස්වයංක්‍රීයව සිදුවන තැනට අද සමාජය තාක්ෂණික වශයෙන් පැමිණ තිබේ. අද කෘත්‍රිම බුද්ධිය නිසා මිනිසා අභියෝගයට ලක්ව ඇත. කෘත්‍රිම බුද්ධියට හැඟීම්, ආශාවන්, ආකල්ප, කුසලතා කිසිවක් අවශ්‍ය නොවේ. සයිබර් අවකාශය පුළුල් ලෙස ව්‍යාප්ත වීම තුළ එය අප‍රාධකරුවෝ තම ප්‍රබල තෝතැන්නක් බවට පත් කරගෙන සිටිති.

පසුගිය කාලයේ පාතාල සිද්ධිත් අපරාධත් නිරීක්ෂණය කරන විට ඒ සියල්ලට සයිබර් අවකාශයේ කුමන හෝ අංශයක සබඳතාවක් ඇති බව පැහැදිලිය. කාම අපරාධ, ලිංගික දුරාචාර ආදිය බැලු‍වත් ඒ සියල්ල පිටුපස සයිබර් අවකාශය භාවිත කිරීමේ පසුබිමක් දැකිය හැකිය. වත්මනේ මතුවී තිබෙන කාමුක සංස්කෘතියට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ මේ පරිසරයයි. ඊට සම්බන්ධ බොහෝ ව්‍යාපාර කටයුතු පවා ක්‍රියාත්මක කෙරෙන බව පෙනේ.

අපරාධකරුවන් හා පාතාලය පිළිබඳ තොරතුරු අද බොහෝ දෙනාගේ අවධානයට ලක්වන්නේ සමාජ මාධ්‍ය තුළය. ඔවුන්ගේ ඝාතනවලට තුඩු දුන් පසුබිම බොහෝ දෙනා විපරම් කරති. මේ තොරතුරු ජනතාව තුළ බහුල වශයෙන් සාකච්ජාවට ලක්වන විට අපරාධ සම්බන්ධ උපසංස්කෘතියක් වර්ධනය වී තිබේ. සිග්මන් බහුවාන් නම් සමාජ විද්‍යාඥයාගේ ද්‍රවශීල නූතනත්වය නම් කෘතියේ 2000-2025 දක්වා කාලයේ ලෝකයේ සිටින තරුණ ජනගහනයත් 2025න් එහා සිටින  තරුණ ජනගහනයත් පිළිබඳ අගනා නිර්මිතයක් ඉදිරිපත් කරයි. අපරාධ පිළිබඳ උපසංස්කෘතිය නිර්මාණය වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට මේ පැහැදිලි කිරීම හොඳ පසුබිමකි. ඔහු දක්වන අන්දමට 2000-2025 දක්වා සිටින්නේ ඇල්ෆා කණ්ඩායමකි. 2025 සිට ඉදිරියට සිටින්නේ බීටා කණ්ඩායමකි. මේ දෙපිරිසේම ප්‍රධාන ලක්ෂණයක් නම් ද්‍රවශීල නූතනත්වයයි. ජලය ඕනෑම තැනකට හැරවූ පසු එම ස්ථානයේ හැඩය ලබාගන්නා මෙන් මේ දෙපිරිසද පවත්නා සමාජයේ දක්නට ඇති දේ අනුව හැඩ ගැසෙති. අද සිටින්නේ ජංගම දුරකතනයේ ඇළී ගැළී සිටින එයින් ජීවිතය සොයන අවශේෂ සබඳතා අනවශ්‍ය යැයි කල්පනා කරන පිරිසකි. 2000-2025 යුගයේ සිටින්නේ එබඳු කණ්ඩායමකි. සිග්මන් බහුවාන් දක්වන අන්දමට 2025න් පසු සිටින පිරිස විශ්වාසය තබන්නේ කෘත්‍රිම බුද්ධිය කෙරෙහිය. ඔවුහු ඕනෑම වෙලාවක ජීවිතය මරණය ආදිය ඉතාම සුළුවෙන් හෝ සැහැල්ලු‍වෙන් සලකති.

මෙවන් තරුණ පිරිසක් සමාජයේ නිර්මාණය වන විට අපරාධ හා පාතලය වර්ධනය වීමට ඇති ප්‍රවණතාව ඉතාමත් වැඩිය. අපරාධය කළ ඝාතකයා සමාජ මාධ්‍ය තුළ අපරාධ රංගධරයකු වන පසුබිමක් නිර්මාණය වීමේ ප්‍රවණතාවක් පවතී. අවසානයේ ඔහු චරිතයක් බවට පත් වේ. එයින් අනවශ්‍ය ආස්වාදජනක රැල්ලක් අපරාධ පසුබිම් කරගෙන නිර්මාණය වේ. එයින් වන්නේ අපරාධ රසික අනුගාමික පිරිසක් නිරායාසයෙන් සමාජය තුළ බිහි වීමය. මේ අනවශ්‍ය පිළිගැනීම සහ ප්‍රසිද්ධිය නිසා අපරාධකරුවෝ උත්තේජනයක් ලබති. එබැවින් සමාජ මාධ්‍ය මගින් අපරාධ රසිකයන්ට අපරාධ පාතාලයන්ට යම් අනුබලයක් ලැබෙන බව පෙනේ. එම නිසා සමාජයක අපරාධ මර්දනය කිරීමට කෙටිකාලීනව මෙන්ම දිගුකාලීනව යොදාගත හැකි විකල්ප කෙරෙහි අවධානය යොමුවිය යුතුය.

අපරාධකරුවකු නිර්මාණය වීමේ මූලයන් හඳුනා ගැනීම ඒ ඉතා වැදගත් කාරණයකි. කාල්මාක්ස් ප්‍රකාශ කළ පරිදි අවසානයේ  ආදරය දයාව කරුණාව සංවේදී හැඟීම් ධනය බවට පත් වී වාෂ්ප වී යනු ඇත. තමන්ට ලැබෙන්නේ කොපමණ මුදලක්ද යන සාධකය පමණක් පුද්ගලයාට වැදගත් බව කල්පනා කරන පසුබිමක් නිර්මාණය වී ඇත. මුදල යනු මිනිස් ජීවිතයක වටිනාකම තීරණය කරන සාධකය බවට මේ වනවිට පත්ව තිබේ. මුදලට මිනිසුන් ඝාතනය කරන පසුබිමක් නිර්මාණය වී ඇත්තේ මේ නිසාය. ගණේමුල්ලේ සංජීව ඝාතනය පිටුපස කතාවත් මෙයින් වෙනස් නොවේ. මේ පරිසරය පිළිබඳ මනා නිරීක්ෂණයකින් අධ්‍යයනය හා අවධානය යොමු නොකර ඝාතන රැල්ල පාතාලය හා අපරාධ නීතියෙන් පමණක් නවතා දැමීම දුෂ්කර වේ.

(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දෙපොළ)



අදහස් (0)

පාතාලය වර්ධනය වුණේ ඇයි?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

විදේශ සේවාවත් ක්ලීන් කරමුද?
2025 පෙබරවාරි මස 27 64 0

විදේශ තානාපති සේවය දේශපාලනීකරණය කිරීම නවත්වා ඒ උදෙසා වෘත්තිය ප්‍රවීණත්වයත්, කුසලතාවත් පිළිගැනීම වෙනුවෙන් පෙනී සිටිමින් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය


​තඹ - පිත්තල සමාගමේ බැර ලෝහ කැලණි ගඟේ?
2025 පෙබරවාරි මස 27 75 0

ලබුගම සහ කලටුවාවේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන කැලණි ගඟට මේ වෙන විට තඹ සහ පිත්තල නිස්සාරණ සමාගමක බැර ලෝහ එක් කරන බවට චෝදනාවක් එල්ල වෙයි. කැලණිය පෙතියාගොඩ ප්‍


පාතාලය වර්ධනය වුණේ ඇයි?
2025 පෙබරවාරි මස 27 110 0

මේ වනවිට සමස්ත සමාජය කතාකරන ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ ‘අපරාධ’ ය. පොදු සමාජය අතර එතරම් ජනප්‍රිය මාතෘකාවක් බවට මෙය පත් වූයේ ඇයි? මෙරට ඉතිහාසය ප


සිව දෙවි මහිමයෙන් මුක්තිය ලැබෙන සිව රාත්‍රිය
2025 පෙබරවාරි මස 26 237 0

හින්දු ජනතාව මහත් භක්තියෙන් සමරනු ලබන මහා සිව රාත්‍රිය අදට (26) යෙදී ඇත. ඒ නිමිති කරගෙන පහත ලිපිය පළ වේ.


එජාප - සජබ එකමුතුවක් ඇතිවේද?
2025 පෙබරවාරි මස 26 590 0

දෙදහස් විසිපහ වර්ෂයට අදාළ අයවැය ලේඛනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හා දිනෙන් දින වර්ධනය වන මිනිමැරීම් ඇතුළු පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් රටේ සමහර විව


ශ්‍රී.ල.නි.ප.ය ගොඩනැගූ රාජ නීතීඥ එච්. ශ්‍රී නිශ්ශංක
2025 පෙබරවාරි මස 26 161 0

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගොඩනැඟූ රාජ නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතාගේ 71 වැනි ගුණ සමරුව අදට (26) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 33 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 333 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 475 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site