IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පෞද්ගලික බස් කප්පම් මාෆියාව

  PRIVATE-BUS_P16

 

 

වේලාව උදේ 10.30 පසුවෙමින් තිබුණි. කොළඹ අහස ගිනියම්ය. ගතට විඩාව ඇති කරවන දැඩි අව් රශ්මියක් පොළොවට පතිත වෙමින් තිබුණි. අතෝරක් නැතිව එහේ මෙහේ ඇදෙන රථ වාහන පෙළ අතරේ අපි පිටකොටුව බැස්ටියන් මාවතට ප්‍රවේශ වූයෙමු. මගීන්ගෙන් හිස් වූ බස් රථ තැනිත් තැනය. ගමන් වෙහෙසින් පීඩාවට පත්වූ රථවල සේවකයෝ තැන තැන වැතිර සිටිති. සිතට මඳ චකිතයක් ඇති වුවද අපි පැමිණි ගමනේ අරමුණ සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් සමඟ කතා බහකට එක් වූයෙමු. 


මෙවර ගවේෂණයේ අපගේ අරමුණ වූයේ වත්මන්  පෞද්ගලික බස්රථ සේවාවේ ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව විමසුමක යෙදීමයි. මන්දයත් තව නොබෝ දිනකින් සංශෝධනය වෙතැයි අපේක්ෂා කෙරෙන බස් ගාස්තු යන්න මේ දිනවල වැඩි සමාජ කතාබහකට ලක්වන මාතෘකාවක් වී  ඇති බැවිනි. 
දෛනිකව අපේ රටේ මාර්ගවල ධාවනය කෙරෙන පෞද්ගලික බස්රථ සංඛ්‍යාව විසි දාහක් පමණ වේ. එයින් අපේ රටේ ජාතික ආදායමට 12%කින් පමණ සක්‍රීය මූල්‍ය දායකත්වයක් සපයයි. 


මෙරට පෞද්ගලික බස්රථ සේවාවේ පැවැත්මට විවිධ ගැටලුකාරී තත්ත්වයන් පවතින බවට බස්රථ හිමිකරුවන්ගේ සංගම් හා බස්රථ සේවකයෝ නිරන්තරයෙන්  අනාවරණය කරති. ගාල්ල සිට කොළඹට එන පෞද්ගලික බස් රථයක් සිය ආදායම ලෙස රුපියල් 15,000 ඉපයුවහොත්  එයින් රුපියල් 7000 පමණ මුදලක් යන එන අතරමගදී විවිධ තැන්වල නැවතී බස් කප්පම් ලබා ගන්නා අයට දැඩි අකමැත්තෙන් වුව පිදීමට සිදුවන බව ඔවුන්ගේ අදහසයි. මෙම ගවේෂණයේදී අදාළ ගැටලුව පිළිබඳව අදහස් දැක්වූ ජාතික ගමනාගමන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ අදහස්වලට අනුව බස්රථ සේවකයින් කප්පම් ලබා දෙන්නේ ස්ව කැමැත්තෙන්ය.


දිනකට බස් කර්මාන්තය තුළ සංසරණය වන රුපියල් මිලියන 200 පමණ  මුදලින්  මිලියන 10-20ක් අතර ප්‍රමාණයක් බස් රථ හිමියන්ගේ අතට පත් නොවී එම මුදල් මහමඟ ගසාකෑම්වලට ලක්වීම කලක සිට පවතින අර්බුදයක් වී තිබේ. මෙලෙස කප්පම් ගැනීමේ සිදුවීම් කොතෙකුත් අනාවරණය කළ ද ඒවායේ අඩුවක් දක්නට නොමැත. මෙරට පෞද්ගලික බස්රථ සේවාව ප්‍රබල අර්බුදයකට ඇද දැමීමට තරම් මෙම ගැටලුව හේතුවී තිබෙනවාද? පෞද්ගලික බස් රථ සේවාවේ ගැටලු විසඳීමට ඇති නව යෝජනා මොනවාද? යනාදී ප්‍රශ්නාර්ථයන් හමුවේ අපි කළ ගවේෂණය මෙසේ පෙළගස්වන්නෙමු. 


ගවේෂණයේදී අපට හමුවූ කොළඹ-මහනුවර බස් මාර්ගයේ පෞද්ගලික බස්රථ හිමිකරුවකු රියදුරු  මහතකු සහ කොන්දොස්තර මහත්මයකු මහමග මුදල් ගසා කෑම පිළිබඳව දැක්වූ අදහස් මෙසේය. 


“දැන් නම් මේ බස් රස්සාව හොඳටම පාඩුයි. වෙන කරන්න දෙයක් නැති නිසා බස්එක දුවවනවා. අද උදේ කොළඹට ආවේ සීට් (ආසන) 37ක් හිස්ව තබාගෙන. පේරදෙණිය, පිළිමතලාව හරියේ ඉඳල පටන් ගත්තාම වරකාපොළ, බැලුම්මහර කිරිබත්ගොඩ ඒ වගේම කොළඹ කොටුවට ආවාම එතනදිත් තුන් හතර තැනකින් විවිධ අයට කප්පම් දෙන්න සිදු වෙනවා. මේවා නවත්වලා දෙන්න පුළුවන්නම් ඒක අපට (පෞද්ගලික බස් රථ කර්මාන්තයට)  කරන ලොකු උදව්වක්. නිල ඇඳුම් අඳින රජයේ මහත්වරුන් වගේම මහ මග රැඳී ඉන්න රනර්ස්ලා පෞද්ගලිකව මැදිහත්වී බස්යාම් ඒම් පිළිබඳව රියදුරන්ට  ඔත්තු සපයන්නන්ටද සන්තෝසම නොදී මේ බස් රස්සාව කරගෙන යන්න බැහැ. 


මධ්‍යම ආණ්ඩුවේ නිලධාරීන්, පළාත් සභාවේ  නිලධාරීන්, වේලාසටහන්කරුවන් වගේම පොලිසියේ නිලධාරීන්ටත් කප්පම් දෙන්න සිදු වෙනවා. ඊට අමතරව හදිස්සියෙවත් මගියෙකුට ඉතුරු රුපියලක් දෙන්න කොන්දොස්තර මහත්තයාට බැරි වුණොත් ඒ පිළිබඳව ගමනාගමන කොමිසමට මගියකු පැමිණිල්ලක් යොමු කළහොත් රුපියල් 5000ක දඩ ගහනවා. ගමන් බලපත්‍රය අලුත් කරන්න ගියාම රුපියල් 3000 ගන්නවා. ලොග් ෂීට් එකක් ගන්න ඒවායේ ලිපිගොනුව හොයන්න වෙනම රුපියල් 200ක් දෙන්න වෙනවා. කොළඹ ලොග් සීට් එකට රුපියල් 175ක් ගන්නවා. බස් එක ගාල් කරන්න ආවාම බැස්ටියන් මාවතෙන් රුපියල් 150ක් ගන්නවා. අවුරුද්දේ අන්තිමට ජාතික ගමනාගමන මණ්ඩලයට රුපියල් 3000ක් ගෙවන්න වෙනවා. කොන්දොස්තර ලයිසන් එකේ කාලේ ඉවර වුණාම රුපියල් 1000ක් ගන්නවා. රියදුරු මහත්තයාට වෛද්‍ය  සහතිකයක් දෙන්න ඕනෑ. අධ්‍යාපන සහතික, ග්‍රාමසේවා සහතික ඔක්කොම ඉල්ලනවා. මදි වුණොත් තව පුහුණුවීම් සඳහාත් යොදවනවා. මේ ඔක්කොම පාඩු දරා ගන්නත් අන්තිමට බස්රථ සේවකයින්ට කිසිම පහසුකමක් සැලසෙන්නේ නැහැ. 


බැස්ටියන් මාවතේ බස් එක නතර කරලා පැය ගාණක් ඉන්න වෙනවා. අඩුම තරමේ වතුර ටිකක් බොන්නවත් තැනක් නැහැ. ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ට නම් දුරගමන් ගිහින් බස් එක  කොටුවේ නැවැත්තුවාම විවේකාගාර තිබෙනවා. තමන්ගේ මුදල් පසුම්බි ආරක්ෂාව සහිතව තබා ගන්න ස්ථාන වෙන් කරලා තිබෙනවා. මේ පහසුකම් එකක්වත් පෞද්ගලික බස් සේවාවේ කොන්දොස්තර, රියදුරු මහත්වරුන්ට නැහැ. බස්එක  ඇතුලෙම තමයි ජීවිතේ. අපි විඳින දුක් පීඩාවන් කාටවත්  පෙනෙන්නේ නැහැ. 


බස් හිමියාටත් හුඟක් මුදල් වියදම් කරන්න සිදුවෙනවා. බස් එකේ ෆිනෑන්ස් ගෙවන්න දුම් වාර්තා හදන්න එන්ජිම ඇතුළු අනෙකුත් කොටස් වරින්වර අලුත්වැඩියා කරන්න සිදුවෙනවා. මේවායේ අමතර කොටස්වල මිල දැන් වැඩිවෙලා තිබෙනවා. නමුත් අපට ලැබෙන ආදායම අල්පයි. වියදම නම් උපරිමයි. බස්රථ සේවාව මගින් කෙරෙන්නේ ජනතා සේවයක්.  ඒනිසා අපට මේක අතහැර දාලා යන්නත් බැහැ. 


මහනුවර-කොළඹ බස් මාර්ගයේ බස්රථ හැට  දෙකක් ධාවනය වීමට නියමිතයි. නමුත් මූල්‍ය ගැටලු නිසා දැනට ධාවනය වෙන්නේ බස් 32යි. සමහර දවස්වලට උදේ 5.45 ගමන් ආරම්භ කරාම එන ගමනේදී ආසන තිහක්වත් සම්පූර්ණ නොවන අවස්ථා තිබෙනවා. එ ගමනේ ආදායම රුපියල් 7000යි. තෙල් වියදමත් රුපියල් 8000ට වැඩියි. කන්න බොන්න දවසට රුපියල් 1000ක් වියදම් වෙනවා. සඳුදා, සිකුරාදා වගේ දවස්වලට නම් සෙනඟ ටිකක් ඉන්නවා. ඒත් සතියේ දවස්වල අපට හුඟාක් පාඩුයි. 


පෞද්ගලික බස්රථ ගමනා ගමනයේදී මහමග රැඳී සිටින පොලිස් නිලධාරීන්ට ඔවුන් නිරන්තර ගොදුරක් වන බව බස් සේවකයින්ගේ ප්‍රධාන ගැටලුවකි. මහමග නීති කැඩීම් සම්බන්ධ විවිධ චෝදනා කරමින් සන්තෝසම් ලබා ගැනීමට පොලිසිය කටයුතු කරන බව ඔවුහු පවසති. ඒ අනුව මහමගදී පොලිසියට ගෙවන කප්පම් වශයෙන් දහසක් වැනි මුදලක් ගෙවීමට සිදුවන බව බස් සේවකයින්ගේ අදහසයි. විවිධ ස්ථානවලදී සිදුවන මෙම ගැටලුව සම්බන්ධයෙන් කොළඹ-කතරගම මාර්ගයේ ධාවනය වන බස් රථයක කොන්දොස්තරවරයකු දැක්වූ අදහස් මෙසේය.


පොලිසියේ මහත්වරුන් නම් අපිව දකිද්දී නැති වැරදිත් නිර්මාණය කරනවා. ඒවාගේ අවස්ථාවලදී ගමන් බලපත්‍රය පොලිස් භාරයට ගැනීමට ඔවුන් කටයුතු කරනවා. නිතර පොලිස් හා උසාවිවල රැඳී සිටීමට නොහැකි නිසා අපිත් පොලිස් නිලධාරීන්ට සන්තෝසමක් දෙනවා. උසාවියේ නඩුවක් ගොනු කළොත් රුපියල් 4000 වැනි මුදලක් වැය වෙනවා. මේ හේතුව නිසා අපි දැඩි දුෂ්කරතාවයකට මුහුණ දෙන්නේ. සමහර අවස්ථාවල  එම ගාස්තුව බස් අයිතිකරුගෙන් ලැබෙන්නේ නැහැ. මෙම හේතුව නිසා පොලිස් නිලධාරීන්ට රුපියල් 100ක් 200ක් වැනි මුදලක් සන්තෝසම් වශයෙන් ලබා දෙන්න සිදු වෙනවා. සමහර පොලිස් නිලධාරීන් ඉහත හේතුව නිසාම වැරදි නිර්මාණය කරමින් සන්තෝසමක් ලබා ගන්න කටයුතු කරනවා. 


මහනුවර සිට කොළඹට ප්‍රවාහන ගාස්තුව රුපියල් 143යි. මගියෙක් රුපියල් 150ක් දුන්නාම ඉතුරු රුපියල් හත දෙන්න මාරු කාසි නැහැ. අපි රුපියල් තුනක් ඉල්ලනවා. මගියෝ ළඟත් මාරු කාසි නැහැ. අන්තිමට මගියාට රුපියල් 10 දීලා අපි රුපියල් තුනේ පාඩුව අතින් දරා ගන්නවා. අතරමගදී බස් එකට නගින අයගෙන් යම් සහනයක් සැලසෙනවා. නමුත් දුරගමන් බස්වලට සෙනග  නංවා ගන්නවාට නගරාන්තර බස්වල කොන්දොස්තර මහත්වරු කැමති නැහැ. මහ පාරේ ගැටුම් ඇතිකර ගන්නවාට වඩා ඇඟ බේරාගෙන යන එක  ඊට හොඳයි.  


කොළඹ පිටකොටුව බැස්ටියන් මාවතේ සංචාරයක නිරතවන අපට බස්රථ ගාල්කොට තබා ගන්නා ස්ථාන ආශ්‍රිතව ගැවසෙන කප්පම්කරුවන් කිහිප දෙනකුද දැකගත හැකිවිය. ඔවුන් සිදු කරන මෙම ක්‍රියාවලිය අපි කිසි ලෙසකත් අනුමත නොකරන්නෙමු. නමුත් මෙහිදී අප පැවසිය යුතු යමක් තිබේ. මරදාන, පිටකොටුව වැනි ප්‍රදේශවල ගැවසෙන සොරුන්ගෙන් බස්රථ ආරක්ෂා කර ගැනීමට මේ අයගෙන් යම් දායකත්වයක් සැපයේ. බස්රථයක කණ්ණාඩියක් හෝ අතට හසුවන යමක් ගලවාගෙන ගොස් මුදලක් උපයා ගන්න බලා සිටින පිරිස් බොහෝය. 


දිනකට බස්රථ 1200ක් 1500 පමණ බැස්ටියන් මාවත පර්යන්තයේ තැනින් තැන නැවැත්වීම සිදුවේ. මෙවැනි අවස්ථාවල මහ මග හරස් කරමින් බස් නවත්වා ඇති බවට චෝදනා කරමින් පොලිස් නිලධාරීන් රියදුරු මහත්වරුන්ට නිතර බැණ වැදීම සිදුවේ. බැස්ටියන් මාවතේ දැනට ඇති සිීමිත ඉඩකඩ ප්‍රමාණය බස් නැවතුම් සඳහා ප්‍රමාණවත් නැත. බැස්ටියන්  මාවත  ඉඩකඩ  මදිවූ අවස්ථාවල බස් රථය මරදානට ගෙන යෑමට සිදුවන අතර එම ස්ථානයේ බස් රථය රඳවා තබා ගැනීමට  රුපියල් 200 වැනි මුදලක් ලබාදීමට සිදුවේ. මෙම තත්ත්වය පිළිබඳව රියදුරු මහත්මයෙකු දැක්වූ අදහස් මෙසේය. 
“ඉස්සර බැස්ටියන් මාවතේ බස් නවත්වන්න හොඳට  ඉඩකඩ තිබුණා. පාවෙන වෙළඳ සංකීර්ණය හැදුවාට පස්සේ බස් නවත්වන්න  තැනක් නැහැ. මේවා මහ පිස්සු වැඩ. අඩුම තරමේ අපිට තිබහට වතුර ටිකක් බොන්න තැනක් නැහැ. නමුත් මෙතන කෝටි ගණන් වියදම් කරලා පාවෙන වෙළඳ සංකීර්ණ හදනවා” යනුවෙන් ඒ මහතා  අප සමග පැවසුවේය.


ගවේෂණයේදී අපට හමුවූ ත්‍රිකුණාමලය කොළඹ බස් මාර්ගයේ රියදුරු මහත්මයකු හා කොන්දොස්තර මහත්මයකු දැක්වූ අදහස් මෙසේය. 


“මේ දවස්වල අපිට බලපාන ප්‍රධානම ගැටලුම වෙලා තියෙන්නේ ඒකාබද්ධ කාල සටහනකින් බස් ගමනාගමනය සිදු නොවීමයි. මේ හේතුව නිසා බස් රස්සාව පාඩු පිට පාඩු වැටෙන තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. අපේ බස්වලට ආපු සෙනග කැඩිලා ගියා.  නියමිත වෙලාවට බස් දුවන්නේ නැති වුණාම ජනතාව පෞද්ගලික බස්රථ සේවාව ප්‍රතික්ෂේප කරනවා. නියමිත කාලසටහන තිබුණු කාලේ ආසන 20-25 පිරුණා. නමුත් දැන් ගමනාන්තය දක්වා යෑමට පැමිණෙන්නේ දෙන්නයි. තුන්දෙනයි. මේ තත්ත්වය මත මහමග තරගයකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. ඩීසල් වියදම රුපියල් 15,000 විතර වෙනවා. කොළඹ-නුවර  පාරට බස්එක යද්දී තදබදයට මුහුණ දෙන්න සිදුවෙන එක පොදු ගැටලුවක්.  සමහර අවස්ථාවල විනාඩි 25 විතර එකතැන බස්එක රඳවාගෙන ඉන්න සිදු වෙනවා. 


ත්‍රිකුණාමලයේදී බස් නැවතුම් පොළට රුපියල් 200 දෙන්න සිදු වෙනවා. ආසන වෙන්කර ධාවනය වන බස් රථයක් නම් රුපියල් 350ක් ගෙවන්න සිදු වෙනවා. රෑ 8.30, 10,30 හා 12.15 බස්රථ ආසන වෙන් කරන්නේ පළාත් සභාවේ නිලධාරීන්. ඒ සල්ලි ඔක්කොම යන්නේ ඒ මහත්වරුන්ගේ අතට. බුකින් බස්වලට මගියාගෙනුත් රුපියල් 20ක් ගන්නවා. අපේ බස් එක යන වෙලාවටම ලංගම බස් එකකුත් ධාවනය වෙනවා. ඉතින් බස් දෙක ‘මාරාන්තික’ සටනක තමයි පාරේ යන්නේ.  ලංගම බස් එක අපේ පිටිපස්සෙන් එනවද? දැන් බස් එක තියෙන්නේ කොතැනද කියලා දැනුම් දෙන්න අය ඉන්නවා. ඒ අයටත් සන්තෝසමක් දෙන්න සිදු වෙනවා. ඒ අයත් සමහර වෙලාවට රුපියල් 200-300 වගේ මුදලක්  කඩා  ගන්න අවස්ථාවන් තිබෙනවා. 


නමුත් මේ ඒකාබද්ධ කාලසටහනක් නැතිවීමේ ගැටලුව නිසා එවැනි අයගේ සහයෝගය  කෙසේ හෝ ලබා ගැනීමට අපට සිදුවෙනවා.  කිරිබත්ගොඩ බැලුම්මහර පසුවන ප්‍රදේශ ගණනාවකදී කප්පම් ගන්න අය අනිවාර්යෙන්ම ඉන්නවා. 


මේ කප්පම් දීමට සිදුවීම අපේ භාෂාවෙන් හඳුන්වන්නේ නාඩියන් දෙනවා කියලා. නාඩිකාරයාට හොඳ  මතකයක් තිබෙනවා. බස් අංකයේ ඉඳලා අපට ඉදිරියෙන් යන්නේ මොකක්ද පස්සෙන් එන්නේ මොකක්ද කියලා Hot News එක දෙන ගමන් ඒකට හිලව් වෙන්න අපෙන් ගාණකුත් කඩා ගන්නවා. දැන් අතට 50, 100 දෙනවාට අමතරව ෆෝන් එකට රිචාර්ජ් කාඞ් පවා දාන්න සිද්ධ වෙනවා. බොරු කියන්න ඕනෑ නෑ අපෙන් කප්පමක් ගත්තත් ඒ මිනිසුන්ගේ භෑඋී එක නිසා තමයි අපි අනිත් බස් එක්ක මරා ගන්නේ නැතුව යන්නේ.


කොහොම වුණත් දවසකට පහළොස් දෙනකු විතර මේ බස් වලින් ගන්න කප්පම්වලින් ජීවත් වෙනවා. 50, 100 බස් කීපයකින් මේ විදිහට කප්පම් ගන්නවද? වගකිවයුතු උදවියත් මුදලට යටවෙද්දී මේවා කියන්න තියෙන්නේ  උඩ ඉන්න දෙවියන්ට තමයි. 


ඒ විතරක් නෙමෙයි ඇයි මාර්ග අනතුරු වැඩි කහ ඉරි උඩ මිනිස්සු යට කරගෙන යන්නේ බල්ලෝ බළල්ලු ගාණට මේ අපරාධය කරලා තියෙන්නේ රජය විසින්මයි. 


හැම බස් රථයකටම තියෙන්නේ විනාඩි දහයයි. පහළොවයි. මේ යන්නේ විනෝද ගමනක් නෙමෙයි. මේ කරන්නේ  ජීවිත එක්ක ලොකු සටනක්. විනාඩි දහයෙන් දහයට ළඟ ළඟ බස් දැම්මම රේස් යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. දැන් මනුස්සකම බල්ලට ගිහිල්ලා.  රුපියල් ශත රජ වෙච්ච කාලයක් මේ. රුපියල් ශත ඉස්සර වෙනකොට කහ ඉරි බලන්නේ නෑ. පේමන්ට් පේන්නේ නෑ. මිනි මරණ බස්රථ සේවාවක් බිහි කළේ මේ රජයෙන්මයි. 
පසුගිය රජය සමයේ හිටපු ප්‍රවාහන අමාත්‍යවරයා අත්තනෝමතික විදිහට කටයුතු කරලා බස් මෙරටට ගෙන්නුවා. එයාලා ඒවා කළේ කොමිස් ගහන්න උවමනා නිසා. නැතුව මිනිස්සුන්ට ආදරේට නෙවෙයි. නමුත්  මේ තත්ත්වය හේතුවෙන් ලංගම බස් වැඩි වුණා. බස් වැඩිවුණා කියලා ප්‍රවාහනයේ අර්බුදය විසඳෙන්නේ නැහැ. බස් ගෙනැත් වට්ටක්කා වැල් දුවවන්නද? ඉතින් ඒවත් අපේ පස්සේ එනවා. 


අපිත් අමාරුවෙන් මේ රස්සාව කරනවා. අපි අවුරුදු 13ක් තිස්සේ මේ රස්සාව කරනවා. බස් රැකියාවේ අපට තිබෙන අත්දැකීම් බොහෝමයි. වෙනදා රුපියල් 15,000 විතර ආදායමක් ගන්නවා. දැන් සමහර දවස්වලට රුපියල් 2000, 3000 දක්වා ආදායම පහළ බහින තත්ත්වයටත් පත්වෙලා තිබෙනවා” යනුවෙන්  ඔවුහු  අප සමඟ අදහස් දැක්වූහ.


දුර ගමන් බස්රථවලට බලපාන ප්‍රධාන ගැටලුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ කාලසටහනක් නොමැතිව ධාවනය කිරීමට සිදුවීමයි. නමුත් මෙහිදී හඳුනාගත හැකි අතුරු කාරණා රාශියක් තිබෙනවා. ඒවායින් සමහර කරුණු ඔවුන් මාධ්‍යයට හෙළිදරව් නොකර සිටීමට උත්සාහ කරනවා. එවැනි එක් සිදුවීමක් මෙසේය. 


“ඉකුත් සතියේ දඹුල්ල සිට කොළඹ බලා ධාවනය වන  බස් රථයක රියදුරුට අඹන්පොළ  මංසන්ධියේදී එම මංසන්ධියේ මාළු වෙළඳාම් කරන තැනැත්තකු දරුණු ලෙස පහරදී තිබෙනවා. එම පුද්ගලයාද කලක සිට පෞද්ගලික බස් සේවාවක් පවත්වාගෙන යන අතර ඔහු  යටතේ ධාවනය  වන  බස්රථ මාර්ගයේදී ඉස්සර  කිරීමට වෙනත් අයකු උත්සාහ දැරුවොත් ඔහුට පහරදී මර්දනය කිරීමට කටයුතු  කිරීම මෙයට හේතුවයි. 


පහරකෑමට ලක්වූ පුද්ගලයා මේ වනවිට කුරුණෑගල  ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. මේ සම්බන්ධයෙන්  අනෙකුත් බස් රථ හිමියන් හා රියදුරන් ගොකරැල්ල පොලිස් ස්ථානයට පැමිණිලි කළ ද ඒ පිළිබඳව කිසිදු පරීක්ෂණයක් පවත්වා නොමැති බව සඳහන් වේ. දඹුල්ල කොළඹ බස් මාර්ගයේ  ධාවනය වන බස් රථ තම අණසක යටතේ ධාවනය කිරීමට මෙම මාළු වෙළඳාම් කරන පුද්ගලයා තම මැර බලය භාවිතා කරන්නේ ගොකරැල්ල පොලිසියේ දැනුවත්භාවය ඇතිව යැයි එම මාර්ගයේ ධාවනය වන බස්රථ රියදුරෙක්  චෝදනා කරයි. මෙම සිදුවීම්වලට අදාළව කිසිදු පොලිස් පරීක්ෂණයක් සිදු නොවීම නීතිය හෑල්ලුවට ලක් කිරීමක් ලෙස එම පිරිස පෙන්වා දෙයි. 


“කුරුණෑගල සිංදු  කියන අලියා නමින් හඳුන්වන දේශපාලකයකුගේ උදව්වෙන් මේ දේවල් කරගෙන යනවා කියලා අපට හෙළිදරව්වෙලා තිබෙනවා.” 
“ඉස්සර අපි ත්‍රිකුණාමලයෙන් කොළඹ ආවේ යුද්ධයේ මර බිය සමගයි. කොටි ගහන කාලේ ඔය කියන ලංගම බස්රථ උතුරේ ධාවනය වුණේ නැහැ. මරණ බියෙන් හරි බස්රථ ධවානය කළේ අපි විතරයි. අද ලංගම බස්රථ ධාවනය වෙද්දී පොලිසියටත් ගමනාගමන කොමිසමට හෝ අදාළ රජයේ  බලධාරීන් කිසිවෙකුටවත් ලංගම බස්රථවල වැරදි පේන්නේ නැහැ. හැම වැරැද්දකදීම දඬුවම්  ලබන්නේ  දඩ නියම කරන්නේ පෞද්ගලික බස් ධාවනය කරන අපම විතරයි. රජයේ හැම ආයතනයක්ම ක්‍රියා කරන්නේ ලංගම බස් සේවාවේ පාර්ශ්වයට සාධාරණය කරලයි. මේක මොන තරම් අසාධාරණද?” යනුවෙන් ඔවුන් අප සමග අදහස් දැක්වූහ. අපි සාධාරණයි කියනවා නොවෙයි. ඒත් ඕනම දේක සාධරණයක් තිබිය යුතුයි නේද? 


බස් රථ කර්මාන්තයේ මේ පවතින ගැටලු සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස්රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දැක්වූ අදහස්  මෙසේය. 

9
“බස් රථවලින් කප්පම් ගැනීම සාම්ප්‍රදායික කරුණක්. අද වෙද්දී බස් නැවතුම්පොළට පොලීකාරයෝ කියලා අලුත්ම  කප්පම් ගැනීමේ ක්‍රමවේදයකට ඇවිත් තිබෙනවා. සමාජයේ බොහෝ දෙනා බස් කර්මාන්තකරුවා දිහා බලන්නෙත් වපර ඇහින්. ජූලි මාසයේ බස් ගාස්තු සංශෝධනය දැන් ප්‍රබලව කතාබහකට ලක් වී  තිබෙනවා. නමුත් අපි ඉන්ධන සේවක පඩිනඩි ගෙවීම ටයර් ටියුබ් වායුසමනය අලුත්වැඩියා  කටයුතු  දෛනික වියදම් බස් රථය ක්ෂයවීම වාර්ෂිකව වියදම් අප විසින් දැරිය යුතු වගකීම යනාදියට විශාල මුදලක් වැය කළයුතු වෙනවා. ආණ්ඩුව ඩීසල් මිල අඩුකළා. පසුගිය කාල සීමාවේ ඇති තරම් වාහන ගෙන්නුවා. මේ තත්ත්වය නිසා පෞද්ගලික බස්සේවාව අනතුරට ලක්වී තිබෙනවා. 


වාහන ලීසිං පොලිය වැඩිවෙලා. ලිහිසි තෙල් 6%, 7% අතර ප්‍රමාණයකින් වැඩිවෙලා. බැටරි මිල රුපියල් 2000කින් වැඩිවෙලා. ක්ලච් පේට් 750කින් වැඩිවෙලා. ඩීසල් ලීටර් 750ක් වැඩි වෙලා. එයාර් ෆිල්ටර් 1000කින් වැඩිවෙලා. රක්ෂණාවරණවලට 4% වැඩිවෙලා. 48,00,000ති තිබූ බස් රථය 5,000,000 (ලක්ෂ 50) දක්වා වැඩිවෙලා. මේ සියල්ලම අතරේ ඒකාබද්ධ කාල සටහනක් නොමැතිවීම ගැටලුවක් ප්‍රධාන වශයෙන් බලපා  තිබෙනවා. පසුගිය වසරේ (2015) අයවැයේ ලංකා ගමනාගමන මණ්ඩලයට බිලියන 4.7 මුදල් යෙදව්වා.  දුම්රිය සේවාවට 7.7ක් යෙදෙව්වා. නමුත් ඒවායේ  මගී ධාරිතාව සියයට 6%ක පමණයි. පෞද්ගලික  බස් සේවාව මේ සියලු කුඩාම්මාගේ සැලකිලිවලට ලක්විය යුතුයි. ඒ කොහොම වුනත් අපෙන් කප්පම්  ගැනීම අනෙකුත් ක්‍රම වලින් මුදල් ලබා ගැනීම අවසන් වෙන්නේ නැහැ. 


මේ සියල්ලම නිරාකරණය කිරීමට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙනවයැයි ගැමුණු විජේරත්න මහතා අවධාරණය කළෙය. 


සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් ප්‍රධාන ලේකම්  අංජන  ප්‍රියන්ජිත් මහතා දැක්වූ අදහස් මෙසේය. 

SLD_20160515_A016
‘බස්රථ සේවය ක්‍රමවත් කිරීමට විද්‍යානුකූල ඒකාබද්ධ කාල සටහනක් අවශ්‍යයි. වසර ගණනාවක සිට ගමනාගමනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය අලුත් වී නැහැ. නව සංශෝධන ගමනාගමන ප්‍රතිපත්තිය සැලසුම් කිරීමට මහාචාර්ය  අමල්  කුමාරගේ, ආචාර්ය ඩී.එන්. ජයවීර, ආචාර්ය ලලිතසිරි ගුණරුවන් යන මහත්වරුන්ගෙන් සංයුක්ත කමිටුවක් පත් කරන ලෙස අප ඉල්ලා සිටියා. මේ වගේ කමිටුවලට එන බොහෝ අය උත්සාහ කරන්නේ  ඒවායින් මුදල් ගසා කන්න. එවැනි   දේවල්වලට  නම්‍යශීලී නොවන සැබෑ මහත්වරුන් ලෙස ඉහත නම් සඳහන් තිදෙනා හැඳින්විය හැකියි. රජය ඊට සහයෝගය ලබාදෙනු ඇතැයි තම සංගමය විශ්වාස කරන බව ඒ මහතා සඳහන් කළේය.


ජාතික ගමනාගමන කොමිසම වෙනුවෙන් අප සමඟ අදහස් දැක්වූ එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෙසේ සඳහන් කළේය. 


“පෞද්ගලික බස්රථ වලින් කප්පම් ලබා ගැනීමට උත්සාහ  කරන කිසිවකුට මුදල් ලබා නොදෙන්න කියලා අපි බස්රථ සේවකයින්ට දිගින් දිගටම දැනුවත් කොට  තිබෙනවා. නමුත් පෞද්ගලික බස්රථ රියදුරන් කොන්දොස්තරවරුන් එයට එකඟ වන්නේ නැහැ. බැස්ටියන්  මාවතේ කප්පම්කරුවෝ වටලන්න ගියාම කොන්දොස්තර මත්වරු කප්පම්කරුවන්ට ටෙක්නිකල් හන්දියට එන්න කියලා කප්පම් මුදල් ගෙවනවා. දැනට පවතින ගමනාගමනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති යල් පැන ගිය එකක් බව අපි පිළිගන්නවා. එය සංශෝධනය කිරීමට අපගේ පූර්ණ සහාය ලබා දෙනවා යැයිද එම නිලධාරියා පැවසුවේය.

 
පෞද්ගලික  බස්රථ ප්‍රවාහන සේවාවේ මතු අනාගත සුබසිද්ධිය පිණිස රජයට මෙන්ම බස්රථ හිමිකරුවන්ටද  විශාල වගකීමක් පැවරේ. ලෝකයේ බොහෝ රටවල ප්‍රවාහන සේවාවන්හි විධිමත්භාවය සඳහා විදුලි දුම්රිය නගරාන්තර බස්සේවා විධිමත් දුරගමන් බස්රථ සේවා ක්‍රියාත්මක වෙන බවද මෙහිදී අපි සිහිපත් කළ යුත්තෙමු. ඒවායේ ආදර්ශයන් අපට ලබාගත හැකිය. 

m

 



අදහස් (0)

පෞද්ගලික බස් කප්පම් මාෆියාව

තුසිත Tuesday, 24 May 2016 11:25 AM

පොඩි උප්පරවැට්ටියක් නම් තියෙනවා. කන්නාඩියට පිටිපස්සෙන් ඉදිරියට එල්ල කරලා පොඩි කැමරාවක් හයි කරගත්තනම් හරි. එතකොට බොරුවට නවත්තල දඩ ගහන්න හදන පොලිස් රාළහාමිලට පාඩමක් උගන්නන්න පුළුවන් උසාවි දාන්න කියල වීඩියෝ එක පෙන්නුවාම. හැබැයි ඉතින් ඉස්සෙල්ලම තමුන් හරියට නීතියට අනුව එලවල තියෙන්න ඕනේ. (බ)

:       0       0

විජේ Monday, 16 May 2016 05:44 PM

වහාම මෙම අක්‍රමිකතා නැවතීමට පියවර ගතයුතුයි (නි)

:       0       0

ජනක Monday, 23 May 2016 10:55 AM

මොකක්ද මේක මේ කියන්නේ සම්ප්‍රදික දෙයක් කියල කප්පම් ගන්න එක. ඒවා නවතන්ට ඕනෙකමක් නැද්ද ? (අ)

:       0       0

කුමුදු Saturday, 21 May 2016 05:47 AM

කොටියට බිලිවෙන හාවට කොටියගෙ කුසගිනි දැනේද... මොවුන්ට ගොදුරුවන මඟියට බස් ගැමුණුගෙ දුක දැනේද? (නි)

:       0       0

හිමාල් Thursday, 19 May 2016 10:59 AM

ඒකාබද්ධ කාල සටහනෙන් මගීන්ට වෙන සෙතක් නෑ. මෙතන මගීන්ට වෙන ප්‍රශ්න ගැන හරියට කතා කරලා නෑ. (ර)

:       0       0

සංජය Tuesday, 17 May 2016 02:38 PM

අමාරු නම් නවත්වන්න (බ)

:       0       0

සෑම් Tuesday, 17 May 2016 09:55 AM

(පුද්ගලික) බස් රථ මගින් කෙරෙන්නේ ජනතා සේවයක් මම දන්නා තරමට මේක ව්‍යාපාරයක් . ජනතා සේවයක් නම් මොකටද ඔච්චර සල්ලි මත්තේ නැහෙන්නේ ? අතේ වියදමෙන් ජනතාවට සේවය කරන එකනේ ජනතා සේවය කියන්නේ ? (ර)

:       0       0

කමනි Wednesday, 18 May 2016 08:03 AM

සම්පුර්ණයෙන් කියෙව්වේ නැහැ. පුද්ගලික බස් මාෆියාවෙන් මගීනට වෙන කරදර ගැන ලිපියක් ලිව්වා නම් හොඳ නැද්ද? (ර)

:       0       0

චතුරි Friday, 20 May 2016 01:17 PM

අසරණ මිනිස්සු බස් එකට ගන් විදිය දැක්කම, ඒ අතර රුපියල් 100 ක් දුන්නොත් එක අරගෙන. කතා නැතිව ඉදිරියට හෝ පස්සට යනවා කොන්දොස්තර ඉතුරු සල්ලි ගන්න දහපාරක් කියන්න ඕන. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 2412 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 330 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 959 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 84 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 232 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38903 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site