IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ප්‍රකාශන අයිතියෙන් ගැරහීම

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන සේපාල්  අමරසිංහ දළදා මාළිගාව සම්බන්ධයෙන් ඔහුගේ යුටියුබ් විඩියෝවක දැක් වූ අදහස් මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇති කොට ඇතුවා පමණක් නොව වැදගත් කාරණා දෙකක් ද සමාජයේ සංවාදයට ලක්කොට ඇත.

එකක් නම් ආගම්වලට අපහාස කිරීම පිළිබඳ කාරණයයි. දෙවැන්න සමාජ මාධ්‍ය භාවිතයට සීමා අවශ්‍ය ද යන කාරණයයි.

සේපාල් අමරසිංහ දන්ත ධාතුව සහ දළදා මාළිගාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ දී භාවිත කළ වචන ඉතා පැහැදිලිවම අපහසාත්මකය. මතභේදයකට ලක්වී ඇති මත්තල ගුවන්තොටුපොළ හෝ නෙළුම් කුලුන හෝ එවැනි වෙනත් දෙකක් සම්බන්ධයෙන් කෙනකු එම චචන භාවිත කළේ නම් එය කෙහෙත්ම අපහාසයක් වන්නේ නැත. එහෙත් දන්ත ධාතුව හා දළදා මාළිගාව රටේ බහුතරයක් වූ බෞද්ධයන් විසින් පූජනීය වස්තූ ලෙස සලකන, ගරු කරන  වඳින, පුදන පූජනීය වස්තුවකි. ඔහු භාවිත කළ වචන අපහාසාත්මක වන්නේ ඒ නිසාය.

මෙවැනි ප්‍රකාශයකින් දළදා මාළිගාවට ගරු කරන, වඳින පුදන ජනතාවගේ සිත් පෑරීම අනිවාර්යයෙන්ම සිදුවන්නකි. මෙතැන ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ එයයි.

තමන්ගේ ප්‍රකාශය ආන්දෝලනාත්මක වන බවත් එය බොහෝ දෙනකුගේ සිත් වේදනාවට හේතු වන බවත් ඔහු දැන සිටි බව එම ප්‍රකාශයෙන්ම පෙනේ. ‘‘අපි බය නෑ’’යි ඔහු එහිදී පවසන්නේ ඒ නිසාය.

ප්‍රශ්නය නම් ඔහු එසේ කළේ මන්ද යන්නයි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම රටකම පාහේ ආගම් පිළිගන්නා, ඒවායේ ඉගැන්වීම් පිළිපදින හෝ පිළිපදින්නට උත්සාහ කරන  හා ඒ කුමක් නැතත් යම් ආගමක් තමන්ගේ ආගම යැයි සිතන පිරිසක් සිටිති. එසේම කිසිදු ආගමක් නොපිළිගන්නා කිසිදු ආගමකවත් පිළිවෙත් නොපිළිගන්නා පිරිසක් ද සිටිති. එය ඔවුනොවුන්ගේ අයිතියකි.

එසේම කෙනකුට ආගමක් විවේචනය කිරීමේ අයිතිය ද ඇත. අනෙක් අතට ආගම් පිළිගන්නා අයට ආගම් නොපිළිගන්නා අය විවේචනය කිරීමේ අයිතිය ද ඇත. එහෙත් ආගමකට, ආගමක ශාස්තෲවරයකුට, ආගමක ඉතිහාසයේ වැදගත් චරිතවලට, ආගමක ඉගැන්වෙන කරුණකට ප්‍රසිද්ධියේ අපහසා කිරීමේ ඇති ප්‍රයෝජනය කුමක්ද?

අප යම් ආගමක් හෝ මතවාදයක්  විවේචනය කරන්නේ නම් එසේ කළ යුත්තේ එය වරදක් යැයි අප සිතන නිසාය. ඒ අනුව අප එය විවේචනය කළ යුත්තේ ඒ ආගම හෝ මතවාදය පිළිගන්නා පිරිස වැරැදි මාර්ගයෙන් යහ මඟට ගැනීම සඳහාය. එහෙත් අපහාසයෙන් මේ අරමුණ ඉටුකර ගත හැකි නොවේ. අපහාස කොට වෙනත් ආගමක් හෝ මතවාදයක් දරන අයකු තමන්ගේ මතවාදයට දිනාගත් අයකු ලොව කොහිවත් නැත.

බටහිර ලෝකයේ බොහෝ දුරට මෙසේ අපහාසයට ලක් වන්නෝ ඉස්ලාම් ධර්මය හා ඉස්ලාම් ආගමික ප්‍රධානීහුය. 2012 දී ප්‍රංශ කාටුන් ශිල්පියෙක් ඉස්ලාම් ආගමේ ශාස්තෲවරයා වන මුහම්මද්තුමාගේ රුව යැයි කියමින් නිරුවත් රුවක් ඇද තිබිණි. 2005 දී ඩෙන්මාර්කයේ පළ වූ තවත් කාටුනයක මුහම්මද් තුමාගේ රුව යැයි බෝම්බයක හැඩයෙන් යුත් ජටාවක් බැඳි මිනිස් රුවක් ඇඳ තිබිණි. මේවා බටහිර ලෝකයේ විශාල මතභේද ඇති කළේය. ඒ නිසා ප්‍රචණ්ඩ ක්‍රියා ද ඇති විය.

මෙහිදී බටහිර නායකයන් හා ජනමාධ්‍ය මෙම කාටුන් දකින්නේ ප්‍රකාශන නිදහස වශයෙනි. මුහම්මද් තුමාගේ බිරියන්ගේ නම් ගණිකාවන්ට යොදා සල්මාන් රුෂ්දි සැටනික් වර්සස් නම් නව කතාව ලියූ විට එයද ඔවුන් හැඳින්වූයේ ප්‍රකාශන නිදහස ලෙසය. බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනි මාග්‍රට් තැචර් මෙම නවකතාව ප්‍රකෝපකාරී අපහාසයක් යැයි හඳුන්වන අතරම ප්‍රකාශන නිදහස ගැන ද කතා කළාය.

මේ ආකාරයටම ලොව ප්‍රකට ඉන්දීය චිත්‍ර ශිල්පීයකු වූ  එම්.එෆ්. හුසේන් හින්දු ආගමේ දෙවිවරුන් ලෙස සැලකෙන සරස්වතී ඇතුළු කාන්තාවන්ගේ නිරුවත් රූප ඇඳ ප්‍රසිද්ධ කළේය. මෙය දැනට දශක ගණනාවකට පෙර ඉන්දියාවේ විශාල ආන්දෝලනයක් ඇති කළේය. දැනුදු අන්තර්ජාලයේ හුසේන් ගැන තොරතුරු සෙවීමේ දී ප්‍රධාන වශයෙන්ම මතුවන්නේ මෙම මතභේදයට අදාළ පුවත්ය.

මෙහිදී ද හුසේන්ගේ ක්‍රියාව අනුමත කළ පිරිස් ඉදිරිපත් කළ තර්කය වූයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසයි. එහෙත් මේ සෑම තැනකදීම මතුවන නොවිසඳුණු ප්‍රශ්නය නම් දශ ලක්ෂ ගණන් ජනතාවගේ සිත් පාරවන අයුරින් ප්‍රකාශන නිදහස ප්‍රයෝජනයට ගැනීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්නයි. අනෙක් අතට ප්‍රකාශන නිදහස  සීමාවකින් තොර දෙයක් ද යන ප්‍රශ්නය ද මතුවේ. 

තමිල්නාඩුවේ පළ කෙරෙන ජුනියර් විකටන් සඟරාවේ මෙම කාරණය සම්බන්ධයෙන් වසර විස්සකට පමණ පෙර ඉතා වැදගත් පුවතක් පළවිය. බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී තමිල්නාඩුවෙන් බ්‍රිතාන්‍යයට රැගෙන යනු ලැබූ සිවනටරාජ පිළිමයක් නැවත තමන්හට ලබා දෙන ලෙස ඉල්ලා තමිල්නාඩුවේ ආයතනයක් බ්‍රිතාන්‍යයේ අධිකරණයක නඩුවක් පවරා තිබිණි. නඩු දිනයේ දී අධිකරණ සේවකයකු නඩු භාණ්ඩයක් වූ එම පිළිමයේ දෙකකුලෙන් එල්ලාගෙන එනු දුටු විනිශ්චයකාරවරයා ඔහුට ඒ ගැන අවවාද කළේය. ඔබටත් මටත් මෙය නිකම්ම නිකම් පිළිමයක් වුවත් කෝටි පහක ජනතාවකට (එකල තමිල්නාඩුවේ ජනගහනය කෝටි පහකට) මෙය පූජනීය වස්තුවකි. එහෙයින් එම කෝටි පහක ජනතාවගේ හැඟීම්වලට ගරු කරන්නට අප ඉගෙන ගත යුතුයි, යනුවෙන්  විනිශ්චයකාරවරයා කී බව එම සඟරාවේ පළ වී තිබිණි.

ඇමැතිවරයකුගේ අපහාසාත්මක් ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයක් අවසානයේ දී පසුගිය 3 වැනිදා එහි තීන්දුව දෙමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බී.වී. නාගරත්න ‘‘වෛරී ප්‍රකාශයක අන්තර්ගතය කුමක් වුවත් එය ගරුත්වය සඳහා වූ මිනිසුන්ගේ අයිතිය අහිමි කරයි.’’ යනුවෙන් පැවසුවාය. ගරුත්වය, සමාජයේ සාමුහික සමඟිය හා යහපත පිළිබඳ හරය ගොඩනගන පුද්ගල අයිතීන්ගේ කොටසකියිද ඇගේ තීන්දුවේ සඳහන් වී තිබිණි. මෙම විනිසුරුවන් දෙදෙනාගේ අදහස් ප්‍රකාශන නිදහසේ සීමා රේඛා ඇද පෙන්වයි.

දේශපාලනයේ දී අපහාසය, උපහාසය, අවඥාව ආදිය විවේචනයේ අනිවාර්ය අංග ලෙස අන්‍යොන්‍ය වශයෙන් යොදා ගැනීම නිසා එය ගැටලුවක් වන්නේ කලාතුරකිනි. එහෙත් ආගම ඉතාමත් සංවේදීය. එහෙයින් ආත්මාරක්ෂාව සඳහාවත් ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන ආගමකට අයත් කෙනකු වුවද අපහාසයක දී ප්‍රචණ්ඩ විය හැකිය. ආගම කොතරම් ප්‍රබල ලෙස මිනිසුන්ගේ හදවත් තුළ කිදා බැස ඇත්ද යත් වසර 70කට ආසන්න කාලයක් පුරා පරම්පරා ගණනාවකට භෞතිකවාදි අනාගමික පදනමකින් අධ්‍යාපනය දුන්න ද පැරැණි සෝවියට් සංගමයෙන් ඕතොඩොක්ස් කිතුනු දහම ඉවත් කිරීමට එහි පාලකයන්ට නොහැකි විය. එහෙයින් මිනිසුන් තව තවත් තමන්ගේ මතවාදය වෙතටම තල්ලු කරන අපහාසවලින් එවැනි අරමුණක් කොහෙත්ම ඉටු නොවේ.

විවේචනය හා අපහාසය එකක් නොව දෙකකි. යහපත් අරමුණකින් කෙරෙන විවේචනයක අරමුණට වුවද අපහාසය බාධාවක් වීමට ඇති ඉඩකඩ ඉතා විශාලය. ආගම සම්බන්ධයෙන් මෙය වඩාත් සත්‍යවේ.

සමාජ මාධ්‍ය, ප්‍රධාන දහරාවේ ජනමාධ්‍යයකට වඩා මේ වනවිට අතිශයින්ම ජනප්‍රියය. එසේම ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය ඉහළ යාමත් සමග සමාජයේ බහුතරයක් සමාජ මාධ්‍ය භාවිතයට යොමු වී සිටිති. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ අප කවුරුත් අපගේ අදහස් ප්‍රසිද්ධ කරන්නට ආශා කිරීමත් ඊට සමාජ මාධ්‍ය, විශේෂයෙන්ම ෆේස්බුක්. වට්ස්ඇප් හා යු ටියුබ් යන මාධ්‍ය විශාල උපකාරයක් වී තිබීමත්ය.

ලෙනින් වරක් පුවත්පත ඉතා ප්‍රබල ප්‍රචාරකයකු සංවිධායකයකු හා උද්ඝෝෂකයකු ලෙස හැඳින්වීය. එය සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් වඩාත් සත්‍ය වේ. 2011දී අරාබි රටවල පැතිර ගිය මහජන නැඟිටීම්වල දී මෙන්ම පසුගිය වසරේ මෙරට පැවැති ‘‘අරගලයේ දී’’ ද සමාජ මාධ්‍ය කොතරම් දුරට පැතිර ඇතිද යන්න හා එය කොතරම් ප්‍රබලද යන්න  පෙනෙන්නට තිබිණි.

එහෙත් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතර ඉතා උගත්, විනීත, වගකීමෙන් කටයුතු කරන පිරිස් මෙන්ම ඉතා අගතිගාමී, දූෂිත, ජාතිවාදී හා පරපීඩත පිරිස් ද සිටින හෙයින් එය විටෙක ආශීර්වාදයක් වනවා සේම තවත් විටෙක  සමාජයට ශාපයක් ද වේ. ප්‍රධාන දහරාවේ ජනමාධ්‍යයනට වඩා සමාජ මාධ්‍ය ඉතාමත් වේගවත්ය. බොහෝ විට පාර්ලිමේන්තුවේ පුවත්, පුවත්පත් සාකච්ඡා අප මුලින්ම දකින්නේ ෆේස්බුක් හෝ වට්ස්ඇප් මාධ්‍ය මගිනි. අප අවට සිටින අති විශාල පිරිසක් සමාජ මාධ්‍ය මගින් යාවත්කාලීන වන තත්ත්වය යටතේ එම පිරිස අතර සාමානයන් ලෙස ජීවත්වීමට දරන උත්සාහයේ දී අපට සමාජ මාධ්‍යයෙන් ඈත්වී සිටිය නොහැකිය.

මේ අතර අති විශාල දැනුමක් ඇති, ඉතා ගැඹුරු මතකයක් ඇති විශාල දත්ත ගබඩාවක් පවත්වාගෙන යන ඇතැම් පුද්ගලයන් එම දැනුම මතකය හා තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කරන්නේ අප්‍රසන්න ලෙස වහසි බස් දොඩමින්, වෙනස් මත දරන්නනන්ට අපහාස කරමිනි. නැත්නම් ජාතිවාදය මිශ්‍ර කරමිනි. ඔවුන්ගේ දැනුම, මතකය ආදිය නිසා සමාජ මාධ්‍යවල අපගේ මිතුරු ලැයිස්තුවෙන් ඔවුන් ඉවත් කිරීම ද අපහසු වේ.

 බොහෝ විට සමාජ මාධ්‍යවල ඉතා හරවත් සංවාද ආරම්භ වේ. එහෙත් ඒවා ඉතා පහත්  මඩ ගසා ගැනීම්, අපහාර හා තර්ජන බවට පත්වන්නට ගත වන්නේ විනාඩි දෙක තුනකි. ඒ සංවර බුද්ධිමය. සංවාද සමාජයේ අති බහුතරයකට නුහුරු නිසාත් වෙනස් මත ඉවසීමට ඇති නොහැකියාව නිසාත්ය. වෙනස් මත ඉවසීමට ඇති නොහැකියාවේ අවසානය ප්‍රචණ්ඩත්වයයි. මේ දුබලතාව අප අතර කොතරම් පැතිර ඇත්ද යත් පසුගිය කාලයේ ඇතැම් දේශපාලනඥයන්ට හා ප්‍රකට පුද්ගලයන්ට කොවිඩ් 19 රෝගය වැළඳුණු විට ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ ඔවුන්ගේ මරණය ප්‍රාර්ථනා කළහ. එසේ මරණය ප්‍රාර්ථනා කරන්නේ තමන්ට ඔවුන් මරා දැමීමට නොහැකි නිසාය. ඒ ඔවුන් වෙනස් මත දරන්නන් වීම නිසාය.

අපහාසය වැනි සමාජ මාධ්‍ය අවභාවිතය වැළැක්වීම සඳහා පිළියමක් වශයෙන් ආණ්ඩුව දකින්නේ නීති ගෙන ඒමයි. එහෙත් මර්දන නීති බොහෝ විට ප්‍රයෝජනවත් වන්නේ සමාජයේ ප්‍රබල පිරිස්වලටය. එසේම ඒවා බොහෝ විට යොදා ගැනෙන්නේ ආණ්ඩු විරෝධීන්ට එරෙහිවය. මෙරට සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) ඊට උදාහරණයකි.

තමන් අකැමැති පුද්ගලයන්ට හා ආයතනවලට පහර ගැසීම වහසි බස් දෙඩීම බිය ගැන්වීම් වැනි පරපීඩක උපක්‍රම ආදියට පමණක් නොව අධ්‍යාපනය, සන්නිවේදනය, ප්‍රචාරණය, මුදල් ඉපයීම මිතුරන් හා ඥාතීන් අතර සබඳතා පවත්වාගෙන යාම ආදියට ද සමාජ මාධ්‍ය යොදා ගැනෙන නිසා එම මාධ්‍යය පාලනය කිරීම සඳහා වූ නීතිරීති ඇතැම් විට මේවායින් යහපත් අරමුණුවලට බාධකයක් විය හැකිය. එහෙත් සමාජ මාධ්‍ය අවභාවිතය ඉහළ යන්නේ නම් බලධාරීන් එම තත්ත්වය සීමා පැනවීම සඳහා යොදා ගැනීමට ඇති ඉඩකඩ ද වැඩිය. එක්තරා දුරකට එය සාධාරණ ද වේ.

දැනට සමාජ මාධ්‍ය පවත්වාගෙන යන ආයතන ද ඇතැම් අවභාවිතාවන් සීමා කිරීම සඳහා තාක්ෂණික උපක්‍රම යොදාගෙන තිබේ. ඇතැම් පුද්ගලයන්ගේ නම් ඇතැම් මාධ්‍යවල ලිවිය නොහැකිය. එහෙත් එවැනි බාධක මැඩගෙන තම භාවිතය හෝ අවභාවිතය ඉදිරියට කරන්නට බොහෝ දෙනා උපක්‍රම සොයා ගෙන සිටිති.

දැනටමත් ආචාර් ධර්ම පිළිබඳව උනන්දුව ඇති පිරිස් මෙම තත්ත්වය ගැන සමාජ මාධ්‍ය තුළම විටින් විට සාකච්ඡා කරති. එම සංවාදය පුළුල් වුවහොත් නීතිරීතිවලට වඩා ප්‍රයෝජනවත් විය හැකිය.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (8)

ප්‍රකාශන අයිතියෙන් ගැරහීම

මැක්ස් Sunday, 15 January 2023 07:04 PM

ලිබරල් මතධාරියකුටත් සේපාල් අමරසිංහ නමැත්තාගේ ක්‍රියාවේ ඇති පහත් බව වැටහුණි නම්, මෙයා හිරබත් කෑම පිළිබඳ සාමාන්‍ය ජනයා සතුටු වීමත්, හිර ගෙදර දී මොහු හිරකරුවන් අතින් ගුටි කෑමත් අරුමයක් නොවේ....

:       11       59

asitha Sunday, 15 January 2023 08:56 PM

බුදු දහමෙන් අපගේ සංස්කෘතියට ලැබුණේ අපමණ ආභාෂයක්. අවමයෙන් පංච සීලය රැකීමෙන් පමණක්, සමාජයට යහපත් පුද්ගලයෙක් බිහි විය හැකියි. දළදා මාලිගාවේ තැන්පත් කර ඇති දන්ත ධාතුව ඒ සංස්කෘතියේ සලකුණකි. අද භාෂණයේ නිදහස ඇති දියණු රටවල ඒ සඳහා උසිගැන්වීම, අපහාස කිරීම, වංචාව, අසභ්‍ය බව, සටන් වචන, තර්ජන වැනි දේ සඳහා වාරණ පනවා ඇත. නමුත්, භාෂණයේ නිදහස යනු කුමක්ද නොදත්, වාචාලයින් සිටින රටක එවැනි පුද්ගලයින් යහමගට ගැනීම සඳහා දඬුවම් පැනවීම කළයුතුම දෙයක්...

:       5       60

sisira Monday, 16 January 2023 03:45 AM

සේපාල් අමරසිංහගේ දේශපාලකයන් සහ දේශපාලන විවේචන සහ මත පිලිබදව සමාජයට ගැටලුවක් නොමැති උවත් දළදා මාළිගාව සහ දළදා වහන්සේට අපහස කිරීම කිසි සේත්ම සිදු නොවිය යුතු දෙයකි. ආචාර් ධර්ම පැනවීම පිළිබඳව පමණක් නොව සමාජ මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පුද්ගලයන් උපයනාවූ අදායම් සදහා විශේෂිත High Tax ක්‍රමයක් රජය මගින් හදුන්වා දිය යුතුවේ. මසකට $ 1.000 ( R.370000)සදහා, R. ලක්ෂයකට 30% හෝ tax ලබාගැනීමට කටයුතු කලයුතුවේ

:       8       38

mewan Monday, 16 January 2023 01:35 PM

බුදුදහමට මුවා වී එය ව්‍යාජ සිල්වතුන් සහ සිවුරුධාරින් විසින් බඩජාරි ව්‍යාපාරයක් කරගැනීම ගැන කතාකළ සේපාල්, එය විවේචනය කළේ සෑහෙන කලක සිටයි. නමුත් මේ මිථ්‍යා දෘෂ්ටිකයින් විසින් 'බුදුදහම' සහ 'ධාතු පිළිම අටපිරිකර මල් පලතුරු, පූජා ආගම' පටලවා ගැනීම අරුමයක් නොවන අතර, ව්‍යාජ සිල්වතුන් සහ සිවුරු ධාරීන්ට රසකර කර කෑමට ඡන්ද කාලයේ යමක් හමුවී ඇති බවක් පෙනී යයි. මනුෂ්‍යයින්ට වඩා නොපෙනෙන ධාතුවල වටිනාකම් වැඩිවීම කණගාටුවට කරුණකි. මේ චින්තනයේ හරය අන්තවාදී එකකි... මෙය නිවැරැදි නොකළොත් එය අවුරුදු කීපයකින් එය 'තලෙයිබාන් කරණය' වීම වැළැක්විය නොහැකි වනු ඇත.

:       41       15

JayamannaMonday, 16 January 2023 10:49 PM

මෙයා මොන වගේ මිනිහෙක්ද?.

:       6       6

Santhu Monday, 16 January 2023 04:38 PM

ඇට නැති වචාල දිව ඩොලර් කුට්ටියට - කරකැවෙයි කිසි චාරයක් නොමැති දස අතට...

:       7       36

chandima Monday, 16 January 2023 09:47 PM

යු ටියුබ් වීරයෝ වෙලා ඉන්න සේරම වාචාලයින්ට කවදාහරි ඔයදේම වෙනවා.

:       7       34

මහමොලකරු Sunday, 22 January 2023 01:09 AM

යු ටියුබ් කාරයෝ හිතාගෙන ඉන්නේ මුන් විතර උගත් පඬිවරයෝ නෑ කියලා. අනේ මෝඩ ගොබ්බයෝ. දැන්වත් උන්ගේ උඩුබිරිම අඩුවෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 105 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 774 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1309 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 178 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 413 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 580 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2037 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site