IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පැරණි මෝටර් රථ හා රේඩියෝ එකතු කරන පොලිස් පවුල

පොලිස් පරීක්ෂක මනතුංගගේ චන්ද්‍රදාස ජයවීර සිල්වා මහතා සේවය කරනුයේ කළුතර පොලිස් අධිකාරී කාර්යාලයේය.

හදිසි අවශ්‍යතාවක් සඳහා කළුතර හීනටියන්ගල අභය මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසට ගිය අපට ඇස් අදහාගත නොහැකි විය.

ඔහුගේ නිවස වටා මිදුල පුරා පැරණි වර්ගවලට අයත් මෝටර් රථ රැසක් ගාල් කර තිබූ අතර නිවස තුළ පැරණි වර්ගවලට අයත් ගුවන් විදුලි යන්ත‍්‍ර, ග‍්‍රැමෆෝන් යන්ත‍්‍ර, ටේප් රෙකෝඩර් සියයක් පමණ දැක ගත හැකි විය.

මෙවන් ගුවන් විදුලි යන්ත‍්‍ර එකතුවක් මින් පෙර අප දැක තිබුණේ ගමේ ගිනි පොලී කාරයකුගේ නිවසේදීය. ගුවන් විදුලි යන්ත‍්‍ර පමණක් නොව බිත්ති පුරා ඔරලෝසුද කාමරයක් පුරා බයිසිකල්ද එම නිවසේ තිබුණි. ඒ පොඩි පොඩි ණය මුදල් ලබා ගැනීමට ආ ගම්වැසියෝ සුරැකුම් ලෙස තැබූ ඒවාය. ඒ භාණ්ඩ වල අයිතිකරුවන් ආපසු නොපැමිණි නිසා ඒවා ඔහුටම සින්න වූ ඒවාය.

එහෙත් පොලිස් පරීක්ෂක ජයවීර මහතා එවැන්නකු නොවන බව අපි හොඳින්ම දැන සිටියෙමු. මේ අරුම පුදුම භාණ්ඩ එකතුව පිළිබඳව අපි ඔහුගෙන් විමසුවෙමු.

මේක විනෝදාංශයක්. මට මේක පුරුදු කළේ අපේ තාත්තා. අපේ තාත්තා හොඳ බාස් උන්නැහේ කෙනකු වගේම හොඳ මූර්ති හා කැටයම් ශිල්පියෙක්.
පොලිස් පරීක්ෂක ජයවීර මහතා එවකට කළුතර, ඇතගම පදිංචිව සිටි මනතුංගගේ වයිමන් සිල්වා සහ දියගුආරච්චිගේ අයිරින් පෙරේරා යුවලගේ ¥ පුතුන් සිව් දෙනාගෙන් වැඩිමලාය.

කළුතර කටුකුරුන්ද ශාන්ත පිලිප්නේරි දෙව්මැදුර දේශීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සාදා නිම කර වූ එවකට කලමුල්ල මීසම් පාලකව සිටි හෙන්රි රුද්‍රිගු පියතුමා දිනක් බෞද්ධයකු වූ වයිමන් බාස් උන්නැහේ සොයාගෙන ඇතගම ගෙදරට ආවේය.

වයිමන් උන්නැහේ මට පල්ලියෙ ඉස්සරහ බිත්තියේ කළු ගල් පෙළයි, පුන් කළස් ටිකයි ඔහේ අතින්ම කොරන්න  ඕන.

මහනුවර සිරි දළදා මැදුරේ ගෘහ නිර්මාණ ශිල්පය ඇසුරු කර ගනිමින් සඳකඩ පහන්ද සහිතව දේශීය ඌරුවට ශාන්ත පිලිප්නේරි දේවස්ථානය නිර්මාණය කරමින් සිටි හෙන්රි රුද්‍රිගු පියතුමා එහි විශාල වැඩ කොටසක් වයිමන් බාස්උන්නැහේට පැවරුවේ දැඩි විශ්වාසයකින් යුතුවය. වයිමන් බාස් උන්නැහේද එම කටයුතු පියතුමා සතුටු වන ආකාරයෙන්ම කර දුන්නේය.

වයිමන් බාස් උන්නැහේ දක්ෂ මූර්ති ශිල්පයකු සේම අමුතු ආකාරයේ විනෝදාංශ කෙරෙහි යොමුවූ අයකුද විය.

ඔහු පැරණි මෝටර් රථ කීපයක් මිලට ගෙන ඒවා අඩුපාඩු සකස් කර සංරක්ෂණය කරන්නට පටන් ගත්තේය. පැරණි ගුවන් විදුලි යන්ත‍්‍ර මිලට ගෙන ඒවා පරෙස්සම් කර තබා ගත්තේය. එමෙන්ම හොඳින් ගී ගැයීමේ හැකියාවද ඔහු සතු විය.

”පුතා මේ බඩු විකුණන්න එපා. කාලයක් ගියාම මේවා හුඟාක් වටිනවා.” වයිමන් බාස් උන්නැහේගේ ලොකු පුතා වූ ජයවීර තුළ තාත්තා කී කතාව නිදන්ව පැවතියේය.

ජයවීර ද තම පාසල් මිතුරන්ගෙන් ලද හෝඩුවාවල් ඔස්සේ ගොස් පැරණි ගුවන් විදුලි යන්ත‍්‍ර එකතු කරන්නට පටන් ගත්තේය.

තාත්තාගේ අඩිපාරේ යමින් තාත්තාගේ විනෝදාංශය තම විනෝදාංශ කරගත් ජයවීර සිසුවා තාත්තා කරන කියන දෑ බලා සිටියේය.

”1978 විතර තාත්තා හලාවතින් ෆෝඞ් කොන්සල් මාක් - 1 මෝටර් රථයක් ගෙනාවා. ඒකෙ අංකය EY-6249.ඒ වාහන වල අඩුපාඩු හදන්න බාස් උන්නැහේලා ආවා. මටත් ඒවා හදන හැටි කියා දුන්නා.

 

පොලිස් පරීක්ෂක ජයවීර මහතා බිරිඳ තිලකා ද සිල්වා, පුතුන් වන සඳුන් දිල්හාන් හා පසන් තිවංක දියණිය වත්සලා ලක්මාලි ශිරෝමාලා නිවස අසල දී

 

EL නොම්මරය තියන පර්ජෝ - 203 වර්ගයේ රථයක් තාත්තා ගෙනාවා. ”ගොළු හදවත” චිත‍්‍රපටයේ තියෙන්නේ ඒ වගේ රථයක්. ඉස්සර ඒ වගේ කාර් පාවිච්චි කළේ මිනින්දෝරුවෝ, නීතිඥයෝ වැනි අය.

ඔය අතරෙදි අපි ඇතගමින් පදිංචිය වෙනස් කරලා කළුතර, නාගොඩ ප‍්‍රදේශයට ආවා. පාරේ වාහන පදවාගෙන නොගියාට වයස අවුරුදු 15 පමණ කාලයේ ඉඳලා මට වාහන පදවන්න පුළුවන්. අපේ ගෙදර ඒ වෙනකොටත් වාහන කීපයක් හා ගුවන් විදුලියන්ත‍්‍ර කීපයක් තිබුණා. ඒ කාලයේ විදුලිය නොතිබුණු නිසා මේවා ක‍්‍රියාත්මක කලේ බැටරි වලින්. ලොකු බැටරියක් ඒ කාලේ රුපියල් 18/= විතර වුණා. අපේ අනික් සහෝදර සහෝදරියෝ මේ විනෝදාංශය ගැන ඒ තරම් උනන්දුවක් නැහැ. තාත්තා මට හැම තිස්සෙම කිව්වෙ මේවා වටින්නෙ තව ඉදිරියට විකුණන්නේ නැතිව තියාගන්න කියලයි.

තාත්තා වැඩ කටයුතු ඉවර වෙලා ඇවිත් සිංදු කියනවා. ”සුව දේ මට සීතල සුළඟ පවා” ගීතය තාත්තා ලස්සනට කියනවා. මාත් තාත්තා එක්කම සිංදු කියනවා.
ඉස්සර ඡන්ද කාලෙට ඡුන්දෙ අහන්න අපේ ගෙදරට හුඟාක් සෙනඟ ආවා.

තාත්තා මට දවසක් පැරණි ”මර්ජ්” රේඩියෝවක් රුපියල් 100/=කට අරන් දුන්නා. ඊට පස්සෙ මට  ඕන වුණා එක් එක් හැඩ තල තියෙන රේඩියෝ එකතු කරන්න.

මචං නියම රේඩියෝවක් තියෙනවලූ. හැබැයි ටිකක් දුර යන්න වෙයි. දිනක් තම පාසල් මිතුරකු වූ පියසේන ජයවීරට කීවේය.
මෙය අහපු මොහොතේ සිට ජයවීරට ඉස්පාසුවක් නැත.

”අම්මේ ළඟට ගිහින් එන්නම්” කියා බයිසිකලය ගත් ඔහු මිතුරා සමග ගමන පිටත් විය.

කළුතරින් අළුත්ගමටත්, අළුත්ගමින් මතුගමටත් මාරුවෙන් මාරුවට බයිසිකලය පැදගෙන ගිය ඔවුන් අවසානයේ නතර වූයේ යගිරල ප‍්‍රදේශයේය.
එහි නිවසකින් පැරණි රේඩියෝව මිලට ගත් ඔවුන් ආපසු ගෙදර එන විට රැ බෝ වී හමාරය. කෝපාවිෂ්ට වී සිටි පියා ගෙදරට ගොස් එන විටම ”කොහෙද ගියේ?” යැයි කෑ ගසාගෙන ඉදිරියට ආවේය.

 

ඉතා දුර්ලභ රථයක් වන රෙනෝල්ඞ් ඩෝපින් වර්ගයේ රථයක්
ග‍්‍රැමෆෝන් තැටියක්

 

ජයවීර කිසිත් නොකියා තමා මිලට ගත් රේඩියෝව තුරුළු කරගෙන නිහඬව සිටියේය. පුතා අත වූ රේඩියෝව දුටු තාත්තාගේ සැර බාල විය.
”ආයෙත් එහෙම රැ වෙන කල් එහෙ මෙහෙ යනවා නොවෙයි” කියාගෙන තාත්තා ගෙට ගියේය.

”මචං හොඳ රෙඩිෆියුෂන් සෙට් එකක් වරකගොඩ පැත්තෙ ගෙදරක තියෙනවා.”

ඒ ඇසූ සැණින් ජයවීර මිතුරා සමග එක්ව බයිසිකලයෙන් වරකාගොඩට ගියේය. රුපියල් 100/= ක් දී රෙඩිෆියුෂන් යන්ත‍්‍රය මිලට ගෙන ආපසු එමින් සිටියදී එක් වරම බයිසිකලේ හුළං බැස්සේය. රැ බෝ වෙලත් පුතා ගෙදර නොපැමිණීම නිසා ගෙදර අය බොහෝ කලබලවී සිටියහ. එදත් තාත්තාගේ කේන්තිය නිවී ගියේ පුතා අතවූ රෙඩිෆියුෂන් යන්ත‍්‍රය දුටු විටය.

”ඔය අතරෙදි තාත්තා රට ගියා” මොනවද  ඕනෑ? කියලා මගෙන් ඇහුවම මම ඉල්ලූවේ වෙනස් වර්ග වල රේඩියෝ. තාත්තා රට ගිහින් ආවාම ගෙදර අන් අය ඉල්ලපු ඒවා ඔක්කොම ගෙනල්ලා තිබුණා. මම ඉල්ලූ ඒවා ගෙනල්ලා නැහැ. මට සූට්කේස් එකක් දුන්නා. මම නොසතුටෙන් යුතුව ඒක ඇරලා බැලූවා. ඒක සූට් කේස් හැඩයේ ”ත‍්‍රී ඉන් වන්” එකක්.

පයාගල බණ්ඩාරනායක විදුහලේ ආදි සිසුවකු වූ ජයවීර පාසල් වොලිබෝල් කණ්ඩායමේ නායකයා මෙන්ම දක්ෂ මලල ක‍්‍රීඩකයකුද විය. පාසලෙන් උසස් පෙළ සමත් වූ ඔහු හොරණ විද්‍යාරත්නයට ඇතුළු වී බාහිර උපාධිය ලබාගත්තේය. පොලිස් නිලධාරියකු වීමට තිබූ ආශාව නිසාම පොලිස් කොස්තාපල්වරයකු වශයෙන් පොලිස් සේවයට එක් වූ ඔහු අද වන විට පොලිස් පරීක්ෂකවරයෙකි.

හෙදි නිලධාරිණියකවූ රමණි තිලකා ද සිල්වා මහත්මිය සමග 1979 වසරේදී විවාහ වූ ජයවීර මහතා පුතුන් දෙදෙනකුගේ හා එක් දියණියකගේ පියෙකි. තිලකා ද සිල්වා මහත්මිය මේ වන විට විශ‍්‍රාම සුවයෙන් පසු වෙයි.

මාගේ බිරිඳ හා දරුවන්ගෙන් මේ කටයුතු වලට සහාය ලැබෙනවා. නැත්නම් ගේ පිරෙන්න මේ බඩු තියෙන කොට බැණුම් අහන්න වෙනවා. මගේ ලොකු මස්සිනා වූ මිල්ටන් සිල්වා මහතාගෙන්ද මට හොඳ සහයක් ලැබුණා යැයි ජයවීර මහතා කීය.

පරණ රේඩියෝ එකක්, පරණ කාර් එකක් තියෙන තැනක් දැන ගත්තොත් මෙයා දැන් වුණත් හොයාගෙන යනවා යැයි තිලකා ද සිල්වා මහත්මිය කීවේ සිනාසෙමිනි.

වසර 50-60කට වඩා පැරණි ගුවන් විදුලි යන්ත‍්‍ර 70ක් පමණ ද, පැරණි ග‍්‍රැමෆෝන් යන්ත‍්‍ර, ස්පුල් රෙකෝඩර් විශාල ප‍්‍රමාණයක්ද සිංහල, හින්දි හා ඉංග‍්‍රීසි ගී තැටි දහසක් පමණ ද ඔහු සතුව ඇත.

එංගලන්තයේ නිෂ්පාදිත ”පයි” ( Pye) වර්ජි, පිලිප්ස්, සියෙරා, එන්ස්ටි, මලාඩි, එකෝ ජර්මනියේ නිෂ්පාදිත ටෙලිෆන්කන්, ගෘන්ඩිග්, ආදි වර්ග වලට අයත් මෝස්තර රැසක ගුවන් විදුලි යන්ත‍්‍ර ඒ අතර වෙයි.

ප‍්‍රංශයේ නිෂ්පාදිත පර්ජෝ - 203 රෙනෝල්ඞ්  ඩෙපින්, එංගලන්තයේ නිෂ්පාදිත ඔස්ටින් කේම්බි‍්‍රජ්, වූස්ලි, මොරිස් මයිනර්, ෆෝඞ් ඇන්ග්ලියා, හිල්මන්, මැරීනා ආදී වර්ග වලට අයත් මෝස්තර රැසක මෝටර් රථද ඔහු සතුව ඇත.

ඊට අමතරව රූපවාහිනී යන්ත‍්‍ර මෙරටට ආ මුල් යුගයේ පැරණි කළු සුදු රූපවාහිනී යන්ත‍්‍ර කීපයක්ද ඔහු සතුව පවතී.

කවුරු හරි හිතන්න පුළුවන් මේ පරණ රේඩියෝ කෑලි ටිකක් කියලා. නැත්නම් පරණ කාර් ටිකක් කියලා. මේ හැම එකක්ම හොඳට වැඩ කරනවා. මා ළඟ තියෙන සමහර මෝටර් රථ ඉතා දුර්ලභ ගණයේ ඒවා යැයි කී ජයවීර මහතා ගුවන් විදුලි යන්ත‍්‍ර කීපයක් ක‍්‍රියාත්මක කර පෙන්වීය.

මගේ තාත්තා ආරම්භ කළ මෙම විනෝදාංශය මා ඊළඟ පරපුරට ගෙන යාම සඳහා මගේ වැඩිමහල් පුත් සඳුන් දුල්ෂාන්ට භාර දුන්නා. ඔහු උනන්දුවෙන් කටයුතු කර පැරණි වර්ග වල කාර් 3ක් හොයා ගත්තා. ඉන් පසු ඔහු විශ්වවිද්‍යාලයට තේරුණා. ඊට පස්සේ මම මේ කටයුතු භාර දුන්නේ බාල පුතා වන පසන් තිවංක ද සිල්වාටයි. ඔහු තාම උසස් පෙළ සිසුවෙක්. ඒ වුණත් අපේ පරම්පරාවේ දේ හොඳට කරගෙන යනවා. මම පරණ වාහන ගැන තියෙන පිටරට සී.ඞී. ගෙන්වාගෙන ඒවා ගැන අධ්‍යයනය කරනවා. මට අවශ්‍ය වාහනයක් ගැන තොරතුරක් ලැබුණොත් ගෙයක් දොරක් විකුණලා හරි මම ඒක ගන්නවා. මගේ එකම දියණිය වන වත්සලා ලක්මාලි ශිරෝමාලනි දැනට විශ්වවිද්‍යාලයට යාමට බලාපොරොත්තුව සිටිනවා. ඇයත් මේ කටයුතු වලට හැකි අයුරින් සහාය දෙනවා.

මගේ තාත්තා කලාකරුවෙක්. අප තුළත් ඒ ගතිය තිබෙනවා.  මම බොහෝ රාත‍්‍රී වන තුරු සිංදු අහනවා. සිංදු කියනවා. මම රංජිත් එදිරිසිංහ මහතාගේ හින්දි චිත‍්‍රපට ගී සංගමයේ සාමාජිකයෙක්.

මේවා අදට නොව තව ඉදිරියටත් හුඟක් වටිනවා. පාසල් ළමුන්ට මේ පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා අවශ්‍ය නම් මුදල් අය නොකරන ප‍්‍රදර්ශන සඳහා මේවා ඉදිරිපත් කරන්න මම කැමැතියි. ඒ සඳහා මගේ පුතාගේ අංක 0757052755 දරණ දුරකතන අංකයට කතා කර විමසීමක් කළ හැකි යැයිද පොලිස් පරීක්ෂක ජයවීර මහතා කීය.
 

 

සටහන හා ඡායාරූප කළුතර - සුනිල් එස්. තන්ත‍්‍රිආරච්චි

 



අදහස් (0)

පැරණි මෝටර් රථ හා රේඩියෝ එකතු කරන පොලිස් පවුල

ජගත් Friday, 05 July 2013 09:06 AM

මම සුබ පතනවා.අති විශිෂ්ටයි (නි)

:       0       0

නසාර් Friday, 05 July 2013 07:30 PM

මෙයා පොලිස් පරික්ෂක වෙන්නේ කොහොමද? ඒ.එස්.පී නිල ඇදුමක් ඇදගෙන ඉන්නේ.(නදී)

:       0       0

සෑම් Sunday, 07 July 2013 09:53 AM

හැම පොලිස්කාරයාම හොරු නෙමේ සෝමා අක්කේ. අක්කගේ මොනවද බලෙන් ගත්තේ. ඒ නිලදාරියා කරන්නේ අගය කළ යුතු දෙයක්. විනෝදාංශයක් (නි)

:       0       0

සමන් Monday, 01 July 2013 02:25 AM

මාරු විනෝදාන්ශයක්නේ. සුභ පැතුම්! (නි)

:       0       0

අ.ද.ම.කරුනාතිලක Wednesday, 03 July 2013 03:32 PM

මගේ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

කුරුවිට Sunday, 07 July 2013 05:01 PM

ෂෙරීෆ්, සෝමට කේන්ති ගිහින් තියෙන්නේ පොලිසිය එක්ක නෙමෙයි. බඩු පරණ නිසා (නි)

:       0       0

රන්මුතුගල Sunday, 07 July 2013 11:57 AM

නියමයි. සුපිරියි (නි)

:       0       0

ෂෙරිෆ් Saturday, 06 July 2013 10:34 PM

සෝමා අක්කට කේන්ති ගිහින් වගේ. පොලිසියේ නිලධාරීන් එක්ක එච්චර ඇයි හොඳයිකම් නැහැ වගේ. ඇත්ත කියන්න සෝමා අක්කේ, හැබෑටම මොකද වුනේ? (නි)

:       0       0

මනෝජ් Friday, 05 July 2013 10:40 PM

අනේ හොදට බලන්න තරු 2යි තියෙන්නේ.(නදී)

:       0       0

ප්‍රියන්ත Thursday, 04 July 2013 08:20 AM

හරිම සතුටුයි ඔබ තුමන්ලා ලංකා දීපය තුලින් දකින්න ලැබීම. සුභ පැතුම්. (ස)

:       0       0

ෂෙරිෆ් Saturday, 06 July 2013 11:27 PM

මට පරණ කතාවක් මතක් වුනා රෙනෝල්ඩ් ඩොල්පින් වර්ගයේ රථය දැක්ක ගමන්. එම කාරයේ ඇන්ජිම සවිකර තියෙන්නේ රථයේ පිටුපස. දිනක් පීටර් නමැති පුද්ගලයා මෙවැනිම කාරයක් පදවාගෙන යනවිට පොලිස් මාර්ග බාධකයක් අසලදී රථය පරික්ෂාවට ලක්විය, එහිදී ඔහුට පොලිස් නිලධාරියා අණ කලේ රථයේ ඩිකිය අරින ලෙස. එවිට පීටර් කාරයේ ඉදිරිපසට පැමිණ ඩිකිය අරින්න උත්සාහ කලවිට පොලිස් නිලධාරියා කියා සිටියේ ඩිකිය පිටුපස ඇතිබවයි. පසුව පීටර් නැවත පැමිණ කාරයේ පිටුපස විවර කළේය. එවිට පොලිස් නිලධාරියා කියා සිටියේ තමුන් මෙම රථයට එන්ජින් දෙකක් සවි කර බැවින් යමු ,පොලිසියේදී බලාගමු යනුවෙනි. (නි)

:       0       0

සෝමා Saturday, 06 July 2013 01:00 PM

පොලිසියේ ඉන්නෙ මේ වගේ පිස්සෝ තමයි. ඔය භාණ්ඩ බලෙන් ගත්තු ඒවා වෙන්න ඇති. පිස්සු යක්කු.(නදී)

:       0       0

රිෂාන් Thursday, 04 July 2013 11:30 AM

ඉතා හොද දෙයක්. මම සුබ පතනවා මහත්මයා (නි)

:       0       0

ලකී ජයසූරිය ලන්ඩන් Wednesday, 03 July 2013 06:20 AM

වැඩේ හොඳයි අපෙන් උදව්වක් ඕන උනොත් කියන්න .(අ)

:       0       0

මහීල් Tuesday, 02 July 2013 01:06 PM

අති විශිෂ්ටයි. ඔබ සැබෑ දක්ෂයෙකි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 228 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 44 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 92 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 185 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 226 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 873 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 501 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site