1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අහෝසි කළ යුතුය. එහි ඇතුළත් නීති දරදඬු වන අතර ඒවා අවභාවිත කිරීමට ඇති ඉඩ ඉහළය. එම පසුබිමේ නව පනතක් කෙටුම්පත් කිරීමට පසුගිය යහපාලන ආණ්ඩුව කටයුතු කළ අතර දැන් වර්තමාන ආණ්ඩුව ද ඒ වෙනුවෙන් මුලපුරා තිබේ.
කෙසේ වෙතත් සංකල්පයක් ලෙස සලකා බලන කල්හි මේ දක්වා බලාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන එන ලද්දේ ත්‍රස්තවාදය මර්දනය කිරීමටය. එහෙත් එය ක්‍රියාත්මක වූ කාලය විමසීමේදී පෙනී යන දෙය නම්, ත්‍රස්තවාදය වැඩි වූවා මිස අඩු නොවු බවය. 1979 දී මෙම පනත ගෙන එන විට එල්.ටී.ටී.ඊ. සංවිධානය පැවතියේ ළදරු අවධියේය. එහෙත් පසුව එය ක්‍රමයෙන් වැඩුණේ මෙකී පනත ක්‍රියාත්මක වෙද්දීය. විවිධ හේතු මත 2009 දී එම සංවිධානය පරාජය විය.
අලුත් පනත් කෙටුම්පත ගෙන තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීම සඳහාය. ත්‍රස්තවාදය මර්දනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සංවිධාන තිබේ. ත්‍රස්තවාදී සංවිධාන වශයෙන් හැඳින්විය හැකි සංවිධාන ලෝකයේ විවිධ රටවල එළිපිටම ක්‍රියාත්මක වේ. එහෙත් දැන් එවැනි තත්ත්වයක් ලංකාවේ නොමැත. මෙම පනත් කෙටුම්පත සම්බන්ධ විවේචනවලට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුව පවසන්නේ ජාත්‍යන්තර වශයෙන් ද මේ ආකාරයේ පනත් ක්‍රියාත්මක වන බවය. කෙසේ වෙතත් එය පිළිගත හැකි කාරණයක් නොවේ. මන්ද, ශ්‍රී ලංකාවේ තත්ත්වය හා ජාත්‍යන්තර සන්දර්භය එකිනෙකට වෙනස් වන හෙයිනි.
ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ ප්‍රධාන ත්‍රස්ත ක්‍රියා දෙකක් සිදු විය. එකක් නම්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත්‍රස්ත කටයුතුය. එම සංවිධානය වෙනම රාජ්‍යයක් අවශ්‍යය යන පදනමින් ත්‍රස්ත කටයුතු සිදු කළේය. දෙවැනි අවස්ථාව නම්, 2019 අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරු දින සිදු කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයයි. එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සැලකුව ද එම ප්‍රහාරය පසුපස නිශ්චිත දේශපාලන අරමුණක් තිබූ බවට මෙතෙක් හෙළිව නොමැත. එම ප්‍රහාරය මෙහෙය වූයේ කවුද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
යම් නීතියක් ගෙන ඒමේ දී ඒ පිටුපස නිශ්චිත අරමුණක් තිබේ. මෙම ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගෙන ඒමෙන් ආණ්ඩුව අපේක්ෂා කරනවා විය හැක්කේ ත්‍රස්තවාදය වැළැක්වීම සහ මර්දනය කිරීමය. පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු වුවත් ඒ වෙනුවට අලුත් පනතක් අවශ්‍යද? යන ප්‍රශ්නය පැන නගියි. මගේ මතය අවශ්‍ය නොවන බවය. මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයාට හදිසි නීති තත්ත්ව ප්‍රකාශයට පත් කිරීමට පිළිවන. එය ප්‍රමාණවත්ය.
ඊට දැක්විය හැකි නිදසුනක් නම්, 1971 ජනතා විමුක්ති පෙරමුණේ පළමු සන්නද්ධ නැගිටීම සිදු වූ අවස්ථාව වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හඳුන්වා දී නොතිබීමත් මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කරමින් එවකදී බලයේ සිටි ආණ්ඩුව එම කැරැල්ල මැඬපැවැත්වීමත්ය. එහිදී ද යම් ප්‍රමාණයකට නීතිය අවභාවිත වුවත් කැරැලිකරුවන් පුනරුත්ථාපනය කර ඔවුන් යළි සමාජගත කෙරිණි. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය වැනි ප්‍රහාරයක් වුව ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තිබූ පමණින් වළක්වා ගත නොහැකි විය. එහෙත් හදිසි නීති තත්ත්ව පනවමින් පසුව එම තත්ත්වය පාලනය කිරීමට හැකි විය.
මහජන ආරක්ෂක ආඥා පනත ප්‍රකාරව පළමුව ජනාධිපතිවරයා හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතුය. ඉන්පසු ඊට අදාළ රෙගුලාසි සකස් කළ යුතු අතර ඒවා සඳහා මාසයක් පාසා පාර්ලිමේන්තුවේ අනුමතය ලබා ගත යුතුය. එවිට ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වේ. එසේම පාර්ලිමේන්තුවට හැඟී ගිය හොත් තවදුරටත් රටේ හිදිසි නීති තත්ත්වයක් පැවතීම අනවශ්‍ය යැයි එය අහෝසි කළ හැකිය.
එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1979 දී වසරක කාලයක් සඳහා පමණක් ගෙනාව ද පසුව එය ඉවත් නොකෙරිණි. මෙනයින් සලකා බලන කල්හි පෙනී යන දෙය නම්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ නව කෙටුම්පතට සාපේක්ෂව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කරන හදිසි තත්ත්වල යම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදී බවක් තිබෙන බවය. එබැවින් මගේ අදහස නම්, ත්‍රස්තවාදය වැළැක්වීමට හෝ පාලනය කිරීමට හෝ හදිසි නීතිය පැවතීම ප්‍රමාණවත් බවය.
මෙම ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතෙහි ඇති ප්‍රධාන දුර්වලතාවක් නම්, ත්‍රස්තවාදය යනු කුමක්ද? යන්න පැහැදිලිව නිර්වචනය කර නොතිබීමය. ඒ සඳහා ඉතා පුළුල් නිර්වචනයක් සැපයිය යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙනත් ගෝලීය සංවිධානයක් හෝ මේ දක්වා ත්‍රස්තවාදය පිළිබඳව පොදු නිර්වචනයක් ගොඩනගා නොමැත. ඒ වෙනුවට ත්‍රස්තවාදයෙහි විවිධ පැතිකඩ විග්‍රහ කර තිබේ.
එකී පැතිකඩ මේ පනත් කෙටුම්පතට පළල් විදියට ඇතුළත් කර තිබේ. මේ පනත් කෙටුම්පත නීතියක් බවට පත් වූ පසු ත්‍රස්තවාදී වරද සිදු කිරීමේ වරදට අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ පොලිසියේ පහළ නිලධාරීන්ය. ඔවුන්ගෙන් බොහෝ දෙනකුට නීතිය ගැන මනා දැනුමක් නොමැති හෙයින් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පරස්පර මත ඇතිවීමට පිළිවන.
මේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ මානව හිමිකම් කඩවන විට ඊට එරෙහිව පෙනී සිටින පුද්ගලයන් වුව ත්‍රස්තවාදී වරදක් සිදු කරන්නේය යන පදනමින් අත්අඩංගුවට ගැනීම සඳහා ඉඩ තිබේ. එය භයානක තත්ත්වයකි. යම් ප්‍රශ්නයක් මුල් කරගෙන උද්ඝෝෂණ කරන විරෝධතා දක්වන අය පවා මේ පනත් කෙටුම්පත යටතේ අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබේ. ඒසා පුළුල් පදනමක සිට මෙයින් ත්‍රස්තවාදය නිර්වචනය කර ඇත.
ඕනෑම නීතියක් අර්ථ නිරූපණය කරන විට එය සිදු කළ යුත්තේ මහජනතාවට වාසි වන ආකාරයට බව අධිකරණයේ පොදු පිළිගැනීමයි. එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණයක් වන නිසාය. යම් පනතක් සකස් කිරීමේදීත් එය ජනතාවාදී පදනමක් මත පිහිටා කළ යුතුය යන්න මම විශ්වාස කරමි. එහෙත් එවැනි තත්ත්වයක් මෙම ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතෙන් දැකිය නොහැකිය. හිතාමතා හෝ එසේ නොමැතිව හෝ මෙයින් නීතිය අවභාවිත කිරීමට ආරක්ෂක අංශවලට ඉඩ ලබා දී ඇති බව මගේ නිරීක්ෂණයයි. එය භයානකය.
පසුගිය මාසයේදී අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මත්කුඩු සම්බන්ධ නඩුවලදී ව්‍යාජ චෝදනා සහ වෙනත් පළිගැනීමේ චේතනා මත අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවය. ඒ අරබයා පරීක්ෂණයක් සිදු කරන බව ද ඔහු පැවසීය. අධිකරණ අමාත්‍යවරයාම විග්‍රහ කරන එවැනි පොලිසියකට මේ ආකාරයේ බලතල ලබා දුන් විට මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට බාධා පැමිණේ.
රට පත්ව ඇති තත්ත්වය හමුවේ අලුත් නීති ගෙන එන විට උපරිම මට්ටමින් සාකච්ඡා සිදු කොට ඒවා ගෙන ඒම වැදගත්ය. එහෙත් මේ පනත් කෙටුම්පත ගෙන එනු ලබන්නේ ඊට හාත්පසින්ම වෙනස් වාතාවරණයකදීය.
මේ පනත් කෙටුම්පත මගින් මාධ්‍ය භාවිතයටද සීමා පනවා තිබේ. ආණ්ඩුවේ ප්‍රකාශකයන් පවසන්නේ මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ මාධ්‍ය මර්දනය පිණිස නොවන බවත් රටේ ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා බවත්ය.
ඔවුන් එසේ කීවද පනත් කෙටුම්පතෙන් නිර්වචනය වන්නේ එය නොවේ. මාධ්‍ය ප්‍රචාරය කරන දෙයක් පමණක් නොව වෙනත් අයකු උපුටා දක්වමින් කරන වාර්තාකරණයක් වුව ත්‍රස්තවාදී වරදක් ලෙස නිර්වචනය කරමින් අදාළ මාධ්‍යයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ ඉඩක් මේ පනත් කෙටුම්පතෙන් ඇති කර තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් හොඳින් ක්‍රියාත්මක වීමට නම්, විවිධ අදහස් ඉදිරිපත් විය යුතු අතර ඒවා ඝට්ටනය වීමද සිදු විය යුතුය. එහෙත් මේ පනත් කෙටුම්පතෙන් ඊට බාධා පමුණුවා තිබේ.
මේ පනත් කෙටුම්පතේ තවත් තැනක සඳහන් වන්නේ ජනාධිපතිවරයාට තහනම් ස්ථාන ප්‍රකාශයට පත් කළ හැකි බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මිනිසුන්ට සාමකාමීව රැස් වී අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය තිබේ. එම මූලික අයිතිවාසිකම මේ ප්‍රතිපාදනය මගින් උල්ලංඝනය වේ. මන්ද, ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරන ස්ථානවලට මහජනයාට ළඟා විය නොහැකි හෙයිනි.
මේ විධිවිධාන කියැවීමේ දී පෙනී යන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන් ත්‍රස්තවාදීන් බවට පත් කිරීමට අදාළ පසුබිමක් මෙමගින් නිර්මාණය කරන බවය. ප්‍රජාතන්ත්‍රවා දී රටක මිනිසුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරබයා නෛතික ප්‍රතිපාදන පැවතිය යුතුය. ඊට වෙනස්ව මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් මෙවැනි නීති ඔස්සේ උල්ලංඝනය කිරීමට පසුබිම නිර්මාණය වන විට පුරවැසියන් නීතිය නොතකා කටයුතු කරන තත්ත්වයක් උදා වේ.
සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුමෙහි (ICCPR) ජනවර්ග අතර වෛරය වැපිරීම වැළක්වීම සඳහා පවතින වගන්තිය (3 -1) භාවිත කරමින් පසුගිය කාලයේදී ලේඛකයන් කිහිපදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී. එහෙත් එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ ජනවර්ග අතර වෛරය වැපිරීමට විරුද්ධව කටයුතු කළ ලේඛකයන් කිහිපදෙනෙකි. සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුමෙහි අන්තර්ගත වගන්තිය එලෙසින්ම මෙම ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට ඇතුළු කර තිබේ. පසුගිය වසර කිහිපයේ දී එකී වගන්තිය අවභාවිත කිරීම ගැන අපට තිබෙන අත්දැකීම් අනුව කිව හැක්කේ එය භයානක බවය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවකු රඳවා තබා ගැනීමට අදාළ රැඳවුම් නියෝගයට අස්සන් කරන්නේ ආරක්ෂක අමාත්‍යවරයා වුවත් මෙම ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතින් එම බලය පොලිසියේ ඩී.අයි.ජී. වරයකුට පවරා ඇත. එකී බලය අමාත්‍යවරයා සතුව පවතින විට එය පාර්ලිමේන්තුවේ දී සෘජුවම අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ හැකිය.
එහෙත් එම බලය ඩී.අයි.ජී. වරයකුට පවරා දෙන විට අත්අඩංගුවට ගැනීම් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂක අමාත්‍යවරයාගෙන් පෙර මෙන් සෘජුව ප්‍රශ්න කළ නොහැකිය. එවැනි ප්‍රශ්න කිරීමකදී පිළිතුරු සැපයීමට ආරක්ෂක අමාත්‍යවරයා කල් ඉල්ලා සිටීමට ඉඩ තිබේ. එවිට අත්අඩංගුවට පත් පුද්ගලයාට තවත් කාලයක් රැඳවුම් භාරයේ සිටීමට සිදු වේ.
මේ පනත අවභාවිත කරමින් යම් පුද්ගලයකු අත්අඩංගුවට ගත හොත් ඒ තැනැත්තා ඉහළ සමාජයේ ජනප්‍රිය සහ නඩු කටයුත්තක් පවත්වා ගෙන යෑමට තරම් හැකියාවක් සහිත අයකු නම් ඔහුට හෝ ඇයට හෝ විශාල බලපෑමක් සිදු වන්නේ නැත. කෙසේ වෙතත් එවැනි හැකියාවක් නැති සාමාන්‍ය මිනිසකු අත්අඩංගුවට පත් වුවහොත් ඔවුන්ට මෙයින් පිළිසරණක් ලැබෙන්නේ නැත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නඩු විභාග කිරීමකින් තොරව වසර ගණනාවක් තිස්සේ රඳවා ගෙන සිටින රැඳවියෝ සිටිති. එක්කෝ ඒ රැඳවියන්ට එරෙහිව සාක්ෂි සොයා ගැනීමට ඇති නොහැකියාව හෝ නැතිනම් සැබෑ ලෙසම සාක්ෂි නොමැති වීම යන තත්ත්ව මත එම රැඳවියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබේ. මේ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත බලාත්මක වුවහොත් එම තත්ත්වයෙහි වර්ධනයක් අපේක්ෂා කළ හැකිය.
සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් නීතිඥ ජාවිඩ් යූසුෆ්
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රතිත්‍රස්ත පනත රටට සුදුසුද?
මැක්ස් Monday, 17 April 2023 02:45 PM
මානව හිමිකම් නාමයෙන් ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දුන් මතවාදීමය වශයෙන් අදටත් බෙදුම්වාදයට පක්ෂපාතීය. එවැනි විග්‍රහයන් පිළිබඳ දෙවරක් සිතා බැලීම යෝග්‍ය බව කිව හැකිය.
upaliTuesday, 18 April 2023 10:24 AM
ඔබ ඉතාම හරි...!
AB Tuesday, 18 April 2023 07:52 AM
මේ වනවිට ලංකාවට ආර්ථික අගාධයෙන් මුදවාගැනීම සඳහා සහ රට යථාතත්වයට පත්කර ගැනීම ජාත්‍යන්තරය ලබාදුන් සහතිකය සහ විශ්වාසය තහවුරු කිරීම ලංකාවේ වගකීම වේ. ප්‍රතිත්‍රස්ත පනත ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකුලව සකස් කර ඇත්නම් රටට සුදුසුවේ. එසේ නොවුණහොත් ජාත්‍යන්තර ප්‍රජාවගේ විවේචනයට සහ අවධානයට ලක්වනු ඇත...