IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


පැරදුණු කොටින්ට සේලයින් දෙන තමිල්නාඩු කොටි

 

කරුණා නිධි

 

ජාත්‍යන්තරය තුළ පණ අදිමින් සිටින එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයට වර්තමානයේ සේලයින් නැමති ඖෂධය ලබාදෙමින් සිටින්නේ ඉන්දියාවේ තමිල්නාඩුවයි. සිය පටු දේශපාලන අරමුණු පෙරදැරිව සිටින තමිල්නාඩු දේශපාලනඥයින් මිනීමරු එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් වීරයින් බවට පත්කරලීමේ දැඩි උත්සාහයක නිරතව සිටින්නේ ඉතා සූක්ෂම ලෙසිනි.

ශ්‍රී ලංකාවට එරෙහිව, රජයේ ආරක්ෂක අංශවලට චෝදනා කරමින් ජාත්‍යන්තරය තුළ එල්ලවන දෝෂාරෝපණයන් විකෘති ලෙස හුවා දක්වන තමිල්නාඩුවේ කොටි ගැන කතා කළ යුතු කාලය දැන් එළැඹ තිබේ.

තමිල්නාඩුවේ ‘‘ආදි තමිලර් පෙරවෙයි’’ සංවිධානයද එල්.ටී.ටී.ඊයේ ඊළාම් රාජ්‍ය සංකල්පය වෙනුවෙන් හැමවිටම පෙනී සිටින සංවිධානයකි. ප‍්‍රභාකරන් නැමති කොටි නායකයා ඔවුන් විසින් හඳුන්වන්නේ ලංකාවේ පීඩාවිඳින දෙමළ ජනතාව මුදා ගැනීමට ආ සුරදුතයකු ලෙසයි. ඉකුත්දා මදුරෙයි නුවර පිහිටි මිහින් ලංකා ගුවන් සමාගම් කාර්යාලයට පහරදී අලාභහානි කිරීමේ සිද්ධියට ‘‘ආදි තමිලර් පෙරවෙයි’’ සංවිධානයද හවුල් වී තිබේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විසිදෙවැනි සැසිවාරය තුළ නැවතවරක් ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යෝජනාවක් ගෙන ඒමත් සමග අලූයට ගිනිපුපුරු ලෙස සැඟව හුන් මෙම කොටි හිතවාදීන් ගැන නිතර දෙවේලේ අසන්නට දකින්නට ලැබේ.

මෙවැනි ඊළාම් හිතවාදීන් ත‍්‍රස්තවාදයට ආධාර හා අනුබල දෙමින් කටයුතු කරන්නන් අතර තමිල්නාඩුවේ හිටපු ප‍්‍රාන්ත මහ ඇමති හා දකුණු ඉන්දිය ඞී.එම්.කේ. පක්ෂ නායක මුත්තුවේල් කරුණානිධි ඉදිරියෙන්ම සිටින බව කවුරුත් දන්නා ප‍්‍රසිද්ධ රහසකි.

ලංකාවේ දෙමළ ජනතාව බිල්ලට ගනිමින් ඉකුත් දශකය පුරා සිය දේශපාලනය දිවිය සරුසාර කරගත් කරුණානිධි වයස අවුරුදු 89ක් වුවත් සිය දෛනික ජීවිතයේ භාගයක්ම වෙන්කර ඇත්තේ ඊළාම්වාදය පෝෂණය කිරීමටය. කරුණානිධිගේ මූලිකත්වයෙන් තිබෙන දෙමළ ඊලාම් හිතවාදී  සංවිධානය හෙවත් ටෙසෝ සංවිධානය දශක 2 1/2කට වඩා පවතින්නේ සැබෑ නොවුණු ඊළාම් සිහිනය යථාර්ථයක් කරලීමටය.

ප‍්‍රභාකරන් ශ්‍රී ලංකා රජයේ හමුදා හමුවේ පරාජය ලැබ වසර 3ක් ගතවී ඇතත් තමිල්නාඩුව තුළ ඊළාම් ත‍්‍රස්තවාදය නගා සිටුවීමේ ප‍්‍රධාන කාර්යය මෙහෙයවමින් සිටින්නේ මෙම දෙමළ ඊළාම් හිතවාදි සංවිධානයයි (ටෙසෝ) 1985 මැයි 13 වැනිදා ආචාර්ය කලෙයිනගර් මුතුවෙල් කරුණානිධි ගේ සභාපතිත්වයෙන් හා කේ. වීරමනි, නැඩුමාරන් ඇතුළු සාමාජිකයින්ගෙන් ටෙසෝ සංවිධානය බිහිවූයේ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ස්වාධීන දෙමළ රාජ්‍යයක් බිහිකර ගැනීමේ අරමුණ පෙරදැරිවය.

එම අරමුණ ඇතිව පිහිටුවාගත් ටෙසෝ සංවිධානයේ ඊළාම් රාජ්‍යයකට යන ගමනේ පළමු පිම්ම වූයේ එල්ටීටීඊ සංවිධානය ඉන්දියාව තුළ තහනම් සංවිධානයක් ලෙස නම්කරමින් එල්.ටී.ටී.ඊ. නායක ප‍්‍රභාකරන් එරටින් පිටමං කිරීම එවකට රජය ගනු ලැබූ තීරණයට එරෙහිව තමිල්නාඩුවේ සිටි දිල්ලිනුවරට පෙළපාලියක් සංවිධානය කිරීමයි.

එවකට ඉන්දිය අගමැතිව හුන් රජීව් ගාන්ධි මහතා ගත් එම තීරණයට බලපෑම් කරමින් ටෙසෝ සංවිධානය ගත් ක‍්‍රියාමාර්ගයට එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ සහාය නොමදව ලැබිණි. කරුණානිධි එදා සිට දකින්නට ගත් ඊළාම රාජ්‍ය සිහිනය අදත් එලෙසින්ට පවතින්නේ ත‍්‍රස්තවාදයට විරුද්ධ ජනතාවගේ පූරුවේ අවාසනාවකටය.

එල්ටී.ටී.ඊ.යත් සමග එකම සිතිවිලි දරාවත් ඔස්සේ වර්ධනය වූ ටෙසෝ සංවිධානය කලක් තිස්සේ නිහඬව සිට යළිත් වරක් අලූ ගසා නැගිට සිටියේ ශ්‍රී ලංකා රජයේ හමුදාවත් කුරිරු එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් පරාජය කිරීමත් සමගය. ඉකුත් වසරේ අපේ‍්‍රල් 20 වැනිදා සිට යළි සක‍්‍රිය වූ අතර එම වසරේ අගෝස්තු මස 12 වැනිදා ටෙසෝ සමුළුවක්ද කැඳවූයේ ශ්‍රී ලංකාවට එරෙහිව බලපෑම් කිරීමේ අරමුණෙනි.

එහිදී ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර පරීක්ෂණයක් වහා කැඳවන ලෙසට එ.ජා. සංවිධානයෙන් ඉල්ලීම් කිරීමේ යෝජනාවක් ඇතුළු යෝජනා 12ක් සම්මත කර ගත්හ.

ඉකුත් වසරේ සිට ටෙසෝ සංවිධානය ඇරඹී ශ්‍රී ලංකාවට එරෙහි සටන මේ දිනවල ත‍්‍රිව‍්‍රර ලෙස ක‍්‍රියාත්මක වෙමින් පවති. කරුණානිධි ප‍්‍රමුඛ ටෙසෝ සංවිධානය ඉකුත් බදාදා (12) ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාවට ඉන්දිය රජයේ සහාය ලබාදෙන ලෙසට බලකරමින් තමිල්නාඩුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශ සහභාගි කරවා ගනිමින් පැය 12ක වැඩ වර්ජනයක් කැඳවූයේය. එහෙත් එය අසාර්ථක එකක් බවට පත්වූයේ තමිල්නාඩු දේශපාලනයට අවේනික වූ පටු දේශපාලන අරමුණු බිල්ලට දීම හේතුවෙනි.

කරුණානිධි ටෙසෝ සංවිධානයේ ප‍්‍රධානියා ලෙස තවදුරටත් සිටියද ඉන්දිය ලෝක් සභාවේ මන්ත‍්‍රීවරයෙකු වන නොල් තිරුමාවලන්, සුබ්බුලක්ෂ්මි ජෙගදීෂන්, සුබා වීරපාන්ඩියන්ද මෙහි විධායක කමිටු සාමාජිකයින් ලෙස සම්බන්ධ වී සිටින්නේ දෙමළ ඊළාම්වාදයට සහාය දක්වන සංවිධාන වන විඩුතලෙයි චිරුතයිගල් කච්චි ඇතුළු අනෙක් තමිල්නාඩු කුඩා දෙමළ පක්ෂ හා එක්ව ත‍්‍රස්තවාදයට උල්පන්දම් දීම සඳහාය.

නොල් තිරුමාවලන් යනු දෙමළ ඊළාම් රාජ්‍යයක් ලංකාව තුළ බිහිකිරීමේ ත‍්‍රස්තවාදි සටනට සහාය දුන් අයෙකි.

ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනා මානව හිමිකම් කවුන්සිලයට රැගෙන ඒමට සමගාමිව කරුණානිධි ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදි දේශපාලනඥයින් හා ක‍්‍රියාකාරීවූ තමිල්නාඩු ප‍්‍ර‍්‍රාන්තය පුරා ශ්‍රී ලංකා විරෝධි රැල්ලක් ආරම්භ කර තිබෙන අයුරු මේ මාසයේ ඉකුත් දින කිහිපයේ දී දක්නට ලැබිණ.

ඊට හොඳම උදාහරණය වූයේ තමිල්නාඩුවේ මදුරෙයි නගරයේ පිහිටි ‘‘මිහින් ලංකා’’ ගුවන් සමාගම් කාර්යාලයට කොටි හිතවාදීන් පිරිසක් කඩා වැදී එහි දේපළවලට පහරදී බරපතල අලාභහානි සිදු කිරීමේ සිද්ධියය. ඉකුත් 07 වැනිදා සිදු වූ එම සිද්ධියට කොටි නායක ප‍්‍රභාකරන්ගේ රුව සහිත කළු පැහැති ටීෂර්ට් හැඳගත් 25 දෙනෙකු සහභාගි විය. එම සිද්ධියෙන් තහවුරු වන්නේ ප‍්‍රභාකරන් මියගියද, එල්.ටී.ටී.ඊය ලංකාවෙන් තුරන් කළද ඔහු හා ඔහුගේ මිනීමරු ත‍්‍රස්ත සංවිධානය වැළඳගත් මිනිසුන් තමිල්නාඩුවේ විසිර සිටින බවය. එම ප‍්‍රහාරයට හවුල් වී ඇත්තේ ‘‘නාම්තමිලර්’’ නැමැති සංවිධානයේ ක‍්‍රියාකාරීන්ය. ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් තමිල්නාඩු පොලිසිය කටයුතු කළේය.

නාම්තමිලර් සංවිධානය යනු එල්.ටී.ටී.ඊ. සංවිධානය ශ්‍රී ලංකාව තුළ පරාජයට පත්වීමත් සමග කඩාවැටුණු එල්.ටී.ටී.ඊය ශක්තිමත් කිරීම සඳහා දෙමළ චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන කොටි හිතවාදියෙකු ද වන සීමාන්ගේ මුලිකත්වයෙන් බිහිවූවකි. මුලින් සමාජ සංවිධානයක් ලෙස ඇරඹියද 2010 මැයි 18 වැනිදා එය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමට සීමාන් කටයුතු කළේ ඊළාම් සංකල්පය නීතිගත කිරීමේ අරමුණෙනි.

ශ්‍රී ලංකා රජයේ ප‍්‍රභූවරයෙකු ඉන්දිය රජයේ නිල සංචාරයක නිරත වන්නේ නම් ඔවුන්ට එරෙහි උද්ඝෝෂණ, විරෝධතා, පෙලපාලි, උපවාස පවත්වන්නේ පුද්ගලයින් දෙදෙනෙකු පමණකි. ඒ නෙදුමාරන් සහ වයිකෝ දෙපළය.

ඊළාම් රාජ්‍ය සංකල්ප බිහිවූදා සිට එහි තමිල්නාඩු ව්‍යාජනවාදයට හවුල්වූ නොදුමාරන් මුලින්ම කරළියට එන්නේ 1985 දීය. ඒ එල්.ටී.ටී.ඊයට උදව් උපකාර කිරීමේ අරමුණෙන් යාපනය ප‍්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණීමත් සමගය. ඒ සංචාරයේදී ප‍්‍රභාකරන් සමග දැඩි සබඳතා තහවුරු කරගත් නෙදුමාරන් 1987 දී මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙකු වූ තිලීපන් ආරම්භ කළ උපවාසයට සහාය දැක්වීමට දෙවැනි වරටත් ලංකාවට පැමිණ ඇතැයි වාර්තාවේ.

1991දී එලෙසින්ම ශ්‍රී ලංකාවට පැමිණියේ එල්.ටී.ටී.ඊයේ මෙහෙයුම් ගැන සොයා බැලීමටය. එල්.ටී.ටී.ඊ. නායකයෙකු වූ කිට්ටු ඇතුළු එහි සාමාජිකයින් 9 දෙනෙකු 1993දී යාත‍්‍රාවකින් ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වීමේ චෝදනා මත ඉන්දිය නාවික හමුදාව විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබූ අතර නෙදුමාරන් ඔවුන් මුදාගැනීමට ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකර කිට්ටු ඇතුළු පිරිස මුදවා ගැනීමෙන් තහවුරු වෙන්නේ නෙදුමාරන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර තිබූ දැඩි සබඳතාවයි.

තමිල්නාඩු එම්.ඞී.එම්.කේ. පක්ෂ නායක වයිකෝද එවැනිම චරිතයකි. සුදුවතින් සැරසී ඔවුන් සහාය වන්නේ මිනීමරු ත‍්‍රස්තවාදය සඳහාමය. මේ දිනවල ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සහාය දක්වන ලෙසට ඉන්දිය මධ්‍යම රජයට බලකරමින් තමිල්නාඩු ප‍්‍රාන්තයේ විශ්වවිද්‍යාල සිසුන් අතර උද්ඝෝෂණ රැල්ලක් මෙහෙයවීම පසුපස වයිකෝ සිටින බවද වාර්තාවේ.

වයිකෝ ගේ මෙහෙයවීම හා සහයෝගය මත තමිල්නාඩුවේ චෙන්නායි හි ලොයෙලා සහ අට්බෙඞ්නාර් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් කිහිපදෙනෙකුද ඉකුත් සතියේ මාරාන්තික උපවාසයක නිරත වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක හා ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකා යෝජනාවට ඉන්දිය රජයේ සහාය ලබා දෙන ලෙසට බලකරමිනි. නමුත් ඒ සියල්ල ඉන්දිය පොලිස් අණ හමුවේ දියාරු වී ගියේය.

තමිල්නාඩුවේ ‘‘ආදි තමිලර් පෙරවෙයි’’ සංවිධානයද එල්.ටී.ටී.ඊයේ ඊළාම් රාජ්‍ය සංකල්පය වෙනුවෙන් හැමවිටම පෙනී සිටින සංවිධානයකි. ප‍්‍රභාකරන් නැමති කොටි නායකයා ඔවුන් විසින් හඳුන්වන්නේ ලංකාවේ පීඩාවිඳින දෙමළ ජනතාව මුදා ගැනීමට ආ සුරදුතයෙකු ලෙසයි. ඉකුත්දා මදුරෙයි නුවර පිහිටි මිහින් ලංකා ගුවන් සමාගම් කාර්යාලයට පහරදී අලාභහානි කිරීමේ සිද්ධියට ‘‘ආදි තමිලර් පෙරවෙයි’’ සංවිධානයද හවුල් වී තිබේ. මෙලෙස ඍජු හා වක‍්‍රාකාරයෙන් ත‍්‍රස්තවාදී ක‍්‍රියා සඳහා උල්පන්දම් දෙන මෙම සංවිධාන ශ්‍රී ලංකාවේ මුලිනුපුටා දැමූ එල්.ටී.ටී.ඊය නැවත බිහිකිරීමේ උත්සාහය නිරත වූවද එය නැවත මහරූස්ස ගස් මෙන් අතුපතර විහිදී නොයාමට අප සියලූ දෙනාම වග බලාගත යුතුව තිබේ.  මන්දයත් එහි ආදීනව ලංකාව, ඉන්දියාව ඇතුළු ආසියාකරය මෙන්ම සමස්ථ ලෝකයම ඉතා හොදින්ම දන්නා හෙයිනි.

මේ සියලූ ක‍්‍රියාවන් සම්බන්ධයෙන් ඉන්දියාවේ ප‍්‍රකට පුවත්පතක් වන ‘‘හින්දු’’ පුවත්පත ඉකුත් 11 වැනිදා සිය කතුවැකියෙන් ඉතා වැදගත් අදහසක් පළ කළේය. ඔවුන් සිය කතුවැකියෙන් කියා සිටියේ සිය විදේශ ප‍්‍රතිපත්ති ක‍්‍රමෝපාය සඳහා ප‍්‍රාන්ත ආණ්ඩුවලින් එල්ල වන බලපෑම් සැලකිල්ලට ගැනීම අනතුරුදායක බවයි.

එම හින්දු පුවත්පත් කතුවැකියේ තවදුරටත් සඳහන්වූයේ ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වී ඇති යෝජනාව සඳහා ඡන්දය ප‍්‍රකාශ කිරීම වැදගත් වූවත්, ඉකුත් වසරේදීත් මෙවැනි යෝජනාවට පක්ෂව ඉන්දියාව ඡුන්දය ලබාදීමෙන් ප‍්‍රතිඵලයක් අත් නොවූ බවයි. කෙසේ නමුත් ඉන්දිය අගමැති ආචාර්ය මන් මෝහන් සිං මහතා එරට ලෝක් සභාවේදී අවධාරණය කළ පරිදි ශ්‍රී ලංකා රජය විසින් දේශපාලන විසඳුමක් කඩිනමින් ඉදිරිපත් කිරීම වැදගත් වන බවද හින්දු පුවත්පත් කතුවැකිය පෙන්වා දුන්නේය.

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයට යට නොවී කළ යුතුව ඇත්තේ පීඩාවට පත්වූ ජනතාවට යුතුකම් ඉටුකිරීම මිස මිය පරලොව ගිය ත‍්‍රස්තවාදින් වෙනුවෙන් හඬා වැළපීම නොවන බව අප සැම දෙනා සිහියේ තබා ගත යුතුය.

බුදුන් වහන්සේගේ උප්පත්තිය සිදුවූ දේශයේ බුද්ධ පුත‍්‍රයාණන් දෙදෙනකුට අමානුෂික ලෙස හිරිහැර කිරීමේ අවාසනාවන්ත සිද්ධියක් මේ සතියේ ඉන්දියාවේ තමිල්නාඩුවෙන් වාර්තා වූයේ කිසිවකුත් අපේක්‍ෂා නොකළ පරිදිය.

කුරිරු ඊළාම්වාදය මනස්තුළ එල්බගත් අසහනකාරීන් විසින් එල්ල කරන ලද මෙම අමානුෂික පහරදීම් වලට ලක්වූයේ ලාංකික භික්ෂූන් වහන්සේලා වීමද එහි අනෙක් කණගාටුදායක තත්ත්වය විය.

මෙලෙස අවාසනාවන්ත සිද්ධීන්ට මුහුණ පෑවේ ඉන්දියාවේ පුරාවිද්‍යා හැදෑරීම සඳහා නවදිල්ලි නුවර එරට පුරා විද්‍යා අධ්‍යයන ආයතනයේ පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරමින් සිටි පූජ්‍ය පත්බේරියේ ඥානාලෝක (46) හිමියෝ සහ දඹදිව සංචාරයක් සඳහා මහනුවර ප‍්‍රදේශයේ වන්දනා නඩයක් සමඟ ඉන්දියාවට ගිය පූජ්‍ය වතුපොළ වංගීස හිමියෝය.

එල්ටීටීඊය වන්දනාමාන කරන මුග්ධ, අසත්පුරුෂයන් අතලොස්සක් විසින් එල්ල කරන ලද මේ ප‍්‍රහාර වලින් උන්වහන්සේලාට ජීවිත හානි හෝ තුවාල නොවීම හාස්කමක් බව උන්වහන්සේලාට පහරදීම් ඇතුළත් ඉන්දීය මාධ්‍ය වීඩියෝ පට නැරඹීමේදී අපට හැගුණි.

වසර එකහමාරක පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරන පත්බේරියේ ඥානාලෝක හිමි 2011 වසරේදී නවදිල්ලි නුවරට පැමිණ ඇත්තේ ඉන්දීය පුරා විද්‍යා අධ්‍යයන ආයතනයේ එම පාඨමාලාව හදාරන සිසුන් 19 දෙනකු සමඟය. ඉකුත් සෙනසුරාදා (16) තමිල්නාඩුවේ තිරුචි දිස්ත‍්‍රික්කයේ තාන්ජවුර් ප‍්‍රදේශයේ බ‍්‍රහදීස්වර් පෞරාණික කෝවිලට ඔවුන් පැමිණ ඇත්තේ පුරාවිද්‍යා අධ්‍යයන කටයුත්තක් සඳහාය.

නාම් තමිලර් කච්චි, තමිලර් දේශීයර් පොදු උඩමායිකච්චි සහ මුරුමලර්චි ද්‍රවිඩ මුන්තේත‍්‍ර කහගම් යන එල්ටීටීඊ හිතවාදී පක්ෂ වල ක‍්‍රියාකාරීන් පිරිසක් ලාංකික භික්ෂුන් වහන්සේ නමක් කෝවිලේ සිටිනු දැක උන්වහන්සේට වටකරගෙන පහරදී ඇති බව ඉන්දියාවේ ප‍්‍රකට මාධ්‍ය වන ‘ද හින්දු, ටයිම්ස් ඔෆ් ඉන්දියා, ඉන්දියන් එක්ස්ප‍්‍රස්’ ඇතුළු එරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සියල්ලම මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා කර තිබුණි.

පුරාවිද්‍යා ගවේෂණයක යෙදීම සඳහා ඥානාලෝක හිමියන් සමඟ පැමිණි චීන, තායිලන්ත හා උතුරු ඉන්දීය සිසුන් ඥානාලෝක හිමියන්ට එල්ලවූ ප‍්‍රහාරවලින් උන්වහන්සේ බේරා ගැනීමට ඉදිරිපත් වීම නිසා සිදුවීමට ගිය අනතුරුදායක තත්ත්ව පහව ගිය බවද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබිණි.

ඥානාලෝක හිමියන් ඇතුළු සිසු පිරිසක් කෝවිලට පැමිණ සිටින බව දැනගත් නාම් තමිලර් හා තමිලර් දේශියර් පොදුඋඩමායිකච්චි පක්ෂවල ආධාරකරුවන් කෝවිලට පැමිණි මෙරට භික්ෂූන්වහන්සේ වහා ඉවත් කරන්නැයි පවසමින් කලහකාරි ලෙස හැසිර තිබේ. පසුව ඥානාලෝක හිමියන් සිටි කෝවිල් කාර්යාලයට කඩා වැදුණු කලහකාරීන් උන්වහන්සේට එළවා එළවා ගුටි බැට ප‍්‍රහාර එල්ල කරන අයුරු ඉන්දීය මාධ්‍ය වීඩියෝ පට වලින් දකින්නට ලැබීම මහත් අවාසනාවකි.

මෙම සිද්ධියෙන් පසුව තාන්ජවුර් පොලිසිය මැදිහත්වී ඥානාලෝක හිමියන් ඇතුළු කණ්ඩායම විශේෂ ආරක්ෂාවක් සහිතව තිරුචි ගුවන්තොටුපොළට රැුගෙන විත් නවදිල්ලි නුවර බලා පිටත් කර යැවීමට පියවර ගෙන තිබුණි. මේ පිරිස ගුවන්තොටුපළට රැගෙන ගිය වාහන වලටද මඟ රැක සිටි කලහකාරී පිරිස් ගල් මුල් පහර එල්ල කර තිබේ.

ලාංකික භික්ෂූන් වහන්සේ නමකට පහරදීම

මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් කොටි හිතවාදී සංවිධානවල ආධාරකරුවන් 15 දෙනකු අත් අඩංගුවට ගත් අතර ඉන් අටදෙනකුට ලාංකික භික්‍ෂුවට ප‍්‍රහාර එල්ල කිරීමේ වරද මත රක්ෂිත බන්ධනාගාර කිරීමට ඉන්දීය අධිකරණය පියවරගෙන තිබූ බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේට එල්ලවූ ප‍්‍රහාරයත් සමඟ උන්වහන්සේ සමඟ පැමිණි සිසුන්ගේ දකුණු ඉන්දියාවේ ඓතිහාසික වටිනාකමින් යුතු ස්ථානවල කිරීමට නියමිතව තිබූ පුරා විද්‍යා අධ්‍යයන කටයුතුද අතහැර දමා යාමට සිදුවීම උසස් අධ්‍යාපනය ලබන ඔවුන්ට සිදුවූ අනපේක්‍ෂිත සිදුවීමකි.

තත්ත්වය මෙසේ තිබියදී යළිවරක් තමිල්නාඩුවේ කොටි හිතවාදීහු පිරිසක් 18 වැනිදා චෙන්නායි මධ්‍යම දුම්රිය පොළේදී තවත් ශ්‍රී ලාංකික භික්ෂූන්වහන්සේ නමකට පහර දීමේ සිද්ධියක් වාර්තා වීමත් සමඟ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තරමක් උණුසුම් රාජ්‍යතාන්ත‍්‍රික ගැටලූවක් නිර්මාණය වීමට හේතුවිණි.

චෙන්නායි දුම්රිය පොළේදී මෙසේ ප‍්‍රහාරයට ලක්වූයේ මහනුවරින් දඹදිව වන්දනාවේ ගිය භික්ෂුන් වහන්සේ නමකි. උන්වහන්සේ ගිහියන් 19 දෙනකු සමඟ වන්දනා ගමන අවසන් කර නවදිල්ලියේ සිට සීඝ‍්‍රගාමී දුම්රියකින් චෙන්නායි දුම්රිය ස්ථානයට ලඟාවූ අවස්ථාවේදී නාඳුනන කලහකාරීහු මෙම ප‍්‍රහාරය එල්ල කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

චෙන්නායි දුම්රිය පොළේදී ප‍්‍රහාරයට ලක්වූ උන්වහන්සේ පොලිසිය ආරක්ෂා සහිතව නවාතැන් ගෙන සිටි චෙන්නායි ශ්‍රී ලංකා මහාබෝධි මධ්‍යස්ථානය වෙත පිටත් කර යැවීමට කටයුතු කර තිබුණි.

තමාට එල්ලවූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් මහාබෝධි මධ්‍යස්ථානයේ සිට ඉකුත් 18 වැනිදා ලංකාදීපයට දුරකථනයෙන් සම්බන්ධ වූ එම භික්ෂූන් වහන්සේ සිය නම පළ නොකරන ලෙස ඉල්ලීමක් කරමින් සිද්ධිය මෙසේ පැවැසූහ.

‘‘මහනුවර ප‍්‍රදේශයේ පදිංචි අපි තවත් ගිහියන් 19 දෙනකු සමඟ ඉකුත් 03 වැනිදා දඹදිව සංචාරය සඳහා ලංකාවෙන් පැමිණියා. මේ 19 වැනිදා අප නැවත ශ්‍රී ලංකාවට එන්න සූදානම් වෙලා සිටි විට තමයි මේ සිද්ධියට මුහුණපෑවේ. අපි වන්දනාව අවසන් කරලා නවදිල්ලියේ සිට චෙන්නායි වලට ආවයින් පසුව නැවැත්වූ දුම්රියෙන් නඬේ සියලූ දෙනාම බැස්සා. ඊට පසුව අපේ වන්දනාකරුවන්ගේ බඩු බාහිරාදිය දුම්රියේ අමතක වී දමා ඇවිත්ද යන්න බලන්න මම වන්දනා ගමනේ සංවිධායක මහතා සමඟ යළිත් දුම්රියට නැග්ගා.

‘‘අපි නැග්ගායින් පසුව කැමරාවක් අතේ තියාගෙන පුද්ගලයකුයි තවත් කෙනකුයි දුම්රියට නගිනවා මා දැක්කා. කැමරාව අතේ තියාගෙන සිටි කෙනා එය සූදානම් කරමින් එක පාරට මොකක්ද නුහුරු වචනයක් පැවසුවා. එය මට වැටහුනේ නැහැ. ඒ එක්කම අනෙක් පුද්ගලයා මට ගහන්න පටන් ගත්තා ඔහු ගහද්දි මා එයින් බේරෙන්න දුම්රියෙන් එළියට දිව්වා. නමුත් ඔවුන් මා පසු පස ලූහුබැඳ දුම්රිය වේදිකාවේදීත් මට ගැහුවා. මට ගැහු පහරවල කිහිපයක් එතන හිටි අනිත් අයටත් වැදිලා තිබුණා.

දඹදිව සංචාරය අතරවාරයේදී අපි එහෙන් උදව්වට ගත් ළමයටත් ගහලා තිබුණා. මා ඉලක්ක කරගනිමින් තමයි මේ ප‍්‍රහාරය එල්ල වුණේ. එතැන සිටි කාන්තාවක් මා බේරා ගැනීමේ උත්සාහයක නිරත වූවා. පසුව එතන සිටි නාට්ටාමි පුද්ගලයෙක් මට කිව්වා සිවුර ගලවලා දාන්න කියලා. පසුව මම සිවුර ගලවා දමා සීතලට අඳින ඇඳුම් කිහිපයක් ඇඳගත්තා. අප මුහුණ පෑ සිද්ධිය යම් අයෙක් චෙන්නායි දුම්රිය ස්ථානයේ පිහිටි පොලිසියට දැනුම් දී තිබුණා. පසුව අප හැමෝගේම ආරක්‍ෂාව සඳහා මහාබෝධි මධ්‍යස්ථානයට ගෙන ගියා යැයිද උන්වහන්සේ පැවසූහ.

මේ ප‍්‍රහාරවලින් පසුව සිය ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජයටද යම් පියවරක් ගැනීමට සිදුව තිබේ. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය සියලූම ශ්‍රී ලාංකිකයින් ගෙන් ඉල්ලා සිටියේ ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ සංචාරය කිරීමේදී පරෙස්සම් සහිතව කටයුතු කරන ලෙසයි.

අත්‍යාවශ්‍ය හේතු මත යම් කිසි ලාංකිකයකු තමිල්නාඩුවට යැවීම සිදුවන අවස්ථාවලදී එහි යෑමට පෙර ඒ පිළිබඳ චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයට දැනුම් දෙන ලෙස විදේශ අමාත්‍යාංශයේ ජනසන්නිවේදන අධ්‍යක්‍ෂ ජනරාල් රොඞ්නි පෙරේරා මහතා කීය.

ඉන්දියාවේ මෑතකදී සිදුවූ ලාංකිකයින් බියවැද්දීම් විශේෂයෙන්ම තමිල්නාඩුවේ තාන්ජවුර්හිදී හා චෙන්නායිහිදී ලාංකික භික්‍ෂුන් වහන්සේලා දෙනමකට එල්ලවූ සාහසික ප‍්‍රහාර පිළිබඳ ශ්‍රී ලංකා රජය සිය කණගාටුව පළ කරන බවද විදේශ අමාත්‍යාංශය පවසයි.

ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව පවත්වන මිත‍්‍ර සම්බන්ධතා අපකීර්තියට පත් කිරීමට උත්සාහ දරමින් කටයුතු කරන අන්තවාදී කලහකාරීන්ගේ මෙවැනි ප‍්‍රහාර ශ්‍රී ලංකා රජය හෙළා දකින බවද එම අමාත්‍යාංශය කියා සිටී.

 

සටහන : තිළිණි ද සිල්වා

 



අදහස් (0)

පැරදුණු කොටින්ට සේලයින් දෙන තමිල්නාඩු කොටි

මොහාන් Sunday, 31 March 2013 09:44 AM

ලංකාව දිනා ගත් සාමය අපි පන මෙන් සුරකිනවා (දී)

:       0       0

නවින් Sunday, 31 March 2013 10:02 AM

ඔබේ මේ ක්‍රියාව සිහිනයක් පමණයි (දී)

:       0       0

ඔස්මන් Saturday, 30 March 2013 08:24 AM

බොහෝම හොද ලිපියක්. (නි)

:       0       0

ප්‍රභාත් කුළතුංග Thursday, 28 March 2013 08:04 PM

සමාව දෙන්න ඔවුන්ට.. ඔවුන්ට වඩාත් අධ්‍යාපනය අවශ්‍යයි... හිතන්න එයාලාගේ මානසිකත්වය...!(නු)

:       0       0

අජිත් Friday, 29 March 2013 09:44 AM

කොපමණ කෑගැහුවත් වැඩක් නැහැ (දී)

:       0       0

සාගර Monday, 25 March 2013 02:08 PM

කවදාවාත් ඔවුන්ව කෙලින් කරන්න බැරි වෙයි ඒ සේලයින් වලින් (දී)

:       0       0

ඉන්දික Tuesday, 26 March 2013 06:42 PM

ඇත්ත කතාකරන පුවත්පතක් ලංකාදීපය... (නි)

:       0       0

තාරක Wednesday, 27 March 2013 11:14 AM

යන තැනක හොද වැඩක් කරගෙන හොදින් ඉන්න බලන්න. (නි)

:       0       0

තාරක Thursday, 28 March 2013 02:02 PM

ඉතින් තමිල්නාඩුවේ ඔය කියන ඊලම දැමමහැකිනේ.(නදී)

:       0       0

චම්පි Monday, 25 March 2013 09:26 PM

පැවිද්දෙකුට ගහලා ඊලම දිනාගන්න බැහැ කවදාවත්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 66 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5774 2

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 834 4

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1423 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 126 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 209 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39164 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25592 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site