ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාසය බිඳ වැටී තිබෙන බවයි. එය භෞතික කාරණාවක් නිසා සිදුවූවක් නොව, මානසිකමය බලපෑමකින් සිදුවූවක් විය හැකිය.
කෙනකුගේ හඬට ජවය ලැබීමට ආත්ම විශ්වාසය පිළිබඳ කාරණාව විශේෂ බලපෑමක් සිදු කරයි. ආත්ම විශ්වාසය අප තුළ අහේතුකව ඇතිවන්නේ නැත. තමා හා බාහිර ලෝකය අතර වන සම්බන්ධය පිළිබඳ ස්වයං තක්සේරුව ඒ තුළ පිළිබිඹු වෙයි. ජනාධිපතිවරයා වසර ගණනාවක් තිස්සේ කියා පෑ දේශපාලන කතා හා ඔහු බලයට පත්වීමෙන් ඉක්බිතිව දින 200ක් ගත වූ තැන තම භාවිතාව පිළිබඳ තක්සේරුවක් ඔහුටම ලැබී ඇති සෙයකි. මෙය ඔහුට අන් කිසිවකු ප්‍රකාශ කළ එකක් නොව, ඔහුටම දැනී ගිය කරුණක් විය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙසයි ඒ දුර්වල හඬ ජනාධිපතිතුමාගෙන් එන්න ඇත්තේ.
දින 200ක් ඉක්ම ගිය ජනාධිපතිවරයාට දැන් වේදිකාවේ කීමට කිසිදු අලුත් දෙයක් නැත. ඒ අනුව, ඔහු තෝරාගෙන තිබුණේ ජාතික වශයෙන් වැදගත්කමක් නැති හිටපු මැති ඇමතිවරුන් කීප පලක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිළිබඳ ප්‍රවෘත්තිය ජනතාවට දැනුම් දීමයි. මුලින්ම කිවයුත්තේ, පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා හෝ වැඩිම වශයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හෝ කළ යුතු ප්‍රකාශ ජනාධිපතිවරයකු විසින් කිරීම ජනාධිපති තනතුරේ ගෞරවය පහත දමාගැනීමක් බව අප මතයයි.
ඒ කෙසේ වෙතත්, ඉන් පෙනී ගිය දේශපාලනික කාරණාව නම්, ජනාධිපතිවරයා මේ වන විට තමන්ම ගොඩනැගූ ආඛ්‍යානය තුළ එන්න එන්නම සිරවෙමින් සිටින බවයි. ඔහු සිතන්නේ, මේ වැනි නාට්‍යෝචිත සහ මනස් කුල්මත් කරන කතා කීමෙන් තමාට දිගින් දිගටම බලය පවත්වාගෙන යා හැකිය යන්නයි. මෙහි අවසානාවන්ත කාරණා කීපයක් තිබේ. ජනාධිපතිවරයා සිතන්නේ ජනතාව සහ තමා අතර සම්බන්ධය රංගවේදියකු සහ ඔහුගේ ප්‍රේක්ෂකයන් අතර වන සම්බන්ධයට සමාන බවයි. ඒ අනුව, ජනාධිපතිවරයා සිතන්නේ, තමා කළ යුත්තේ, ජනතාව කතන්දර හරහා පිනවීම පමණක් බවයි. මෙය ලංකාවේ දේශපාලනය අලුතින්ම පහත් කර තිබෙන තැන පිළිබඳ කදිම නිර්ණායකයකි. අප අමතක නොකළ යුත්තේ, ජනාධිපතිවරයා මේ අමතන්නේ, ලංකාවේ කුඩාම පාලන ඒකකය වන ප්‍රාදේශීය සහ නගර සභා මැතිවරණයේ වේදිකාව බවයි. එසේ නම් එහි එම සභා පාලනය පිළිබඳ අදහස් ප්‍රකාශ විය යුතුය. එවැන්නක් නම් අප දුටුවේ නැත. පසුගිය ජනාධිපතිවරණයේ, මහ මැතිවරණයේ වේදිකා මත බෙරිහන් දුන් කතාම නැවත නැවතත් උච්චාරණය කරමින් තිබේ.
ඇත්තම ප්‍රශ්නය වන්නේ, ජනාධිපතිවරයාට ජනතාවට කීමට තරම් ජයග්‍රහණයක් නොතිබීමයි. ජාතික මට්ටමින් හෝ ප්‍රාදේශීය මට්ටමින්වත් හෝ එවැන්නක් නොතිබීමයි. සාමාන්‍යයෙන් ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපාන කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ග්‍රාමීයව පටන්ගෙන නැති බව කිව යුතුය. ගම අතහැර දමා ඇති සෙයකි. නාගරිකව ද එවැන්නක් නිරීක්ෂණය නොවිණි. ඇත්ත වශයෙන්ම ආණ්ඩුව පසුගිය කාලය පුරා කළේ වරින් වර බදු මුදල් වැඩි කිරීම පමණි. ඒ හැර ඇත්ත වශයෙන්ම ආණ්ඩුව අලුතින් කුමක් කර තිබේ ද?
බඩු මිල එන්න එන්නම වැඩි වන ස්වරූපයකි. ගොයම් කැපුණ නිසා සහල් අර්බුදය විසඳුණ ද ඊට ආණ්ඩුව කළ දෙයක් නැත. දැන් මැයි මාසයේ සහල් අර්බුදයක් නැවතත් එන බව පසුගිය දා වාර්තා විය. ආණ්ඩුව කීවේ මේ ගෙවී ගිය අර්බුදයෙන් පසු නැවතත් සහල් අර්බුදයක් ඇතිවීමට ඉඩ නොදෙන බවයි. ඊට විසඳුම ලෙස ඉදිරිපත් කළේ ආණ්ඩුව වී මිල දී ගෙන අවශ්‍ය විටක මිල පාලනය කිරීම සඳහා වෙළෙඳපොළට මුදාහැරීමයි. එහෙත් මෙවර ආණ්ඩුව රටේ එක දිනකට හෝ සරිලන වී මිලට ගත්තේ නැත. ඒ අනුව, ආණ්ඩුව දුන් විසඳුම, ගැටලුව ඒමට පෙර අහෝසි වී ගොස් ය.
මෙම ලියුම්කරු විශේෂයෙන් කළ නිරීක්ෂණයක් වන්නේ, සාමාන්‍යයෙන් අප එදිනෙදා මිලට නොගත්ත ද, සාමාන්‍යයෙන් නිවසකට අවශ්‍ය අවශේෂ භාණ්ඩවල මිල වෙළෙඳුන් හොර රහසේම වැඩි කර තිබෙන බවයි. හාල්, පරිප්පු, සීනි වැනි භාණ්ඩ ගැන අවධානය වැඩි නිසා ඒවා පසුගිය කාලය තුළ වැඩි වූ මිල පරාසය තුළම තිබෙන අතර, ඉහත අවශේෂ භාණ්ඩ, සබන් වර්ග, කුළුබඩු, තේ කුඩු සහ තව බොහෝ අතිරේක භාණ්ඩවල මිල ඉහළ දමා ඇත. බොහෝ විට වෙළෙඳ ආයතන එසේ කර ඇත්තේ, ආණ්ඩුව අලුතින් පැනවූ බදු රේට්ටුවලට මුහුණ දීමට විය යුතු ය. කෙසේ වෙතත්, අවසානයේ ඒ සියල්ලේ බර දරන්නේ සාමාන්‍ය ජනතාවය.
මාලිමා ආණ්ඩුවට ඡන්දය ලබා දුන් බොහෝ අය සිතුවේ, මොවුන් අලුත් පිරිසක් නිසා අලුත් අදහස් සහ සංකල්ප තිබෙනු ඇති බවයි. එහෙත් අලුත් තබා තිබුණ දේවත් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවකි දැන් දැන් පෙනී යන්නේ.
පසුගිය කාලයේ සැලකිය යුතු පිරිසක් තම වහල මත සූර්ය පැනල සවිකර නිවසට හෝ තම කර්මාන්තයට විදුලිය ලබා ගෙන ඉතිරිය විදුලිය බල මණ්ඩලයට විකුණා යම් ආදායමක් ද ලැබූහ. වත්මන් ආණ්ඩුව පැමිණි විගස කළේ මෙසේ විදුලිය ලබාගත් මිල අඩු කිරීමයි. මේ මෑතක දී එය තෙවැනි වරටත් අඩු කර තිබේ. ලංකාවේ ආර්ථිකය අර්බුදයට යැවීමේ ප්‍රධාන මෙහෙවරක් කළේ විදුලි ක්ෂේත්‍රයයි. ඒ, සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඩීසල් සහ දැවිතෙල් සඳහා වැය කිරීමට සිදුවීමෙනි. 2022 ආර්ථික අර්බුදයේ දී අපට මෙය හොඳාකාරවම පෙනී ගිය කරුණකි.
කෙසේ වෙතත්, වත්මන් ජනාධිපතිවරයා පැමිණි විගස පත් තළ පළමු පත්වීම් කිහිපය අතරින් එකක් වන්නේ, විදුලි බල මණ්ඩලය සමග ළබැඳියාවන් අතර ගැටුමක් පැවති පුද්ගලයකු මණ්ඩලයේ සභාපති ධුරයට පත්කිරීමයි. ඔහු පත් වන දිනට පෙර දින ද විදුලි බල මණ්ඩලයට සම්බන්ධ උපදේශන සේවා සැපයූ බවට චෝදනා එල්ල විය. ඔහුගේ අනුදැනුම මතයි මේ පිරිසුදු සේම නොමිලේ නිපදවන පුනර්ජනනීය සූර්ය විදුලියට කෙණෙහිලිකම් කරන්නේ. ඒ සඳහා ඔවුන් ව්‍යාජ හේතුවක් ද නිර්මාණය කර ඇත. ඒ ජාත්‍යන්තරය තුළ ද විහිළුවට ලක් වූ කුප්‍රකට වඳුරා පැනීම නිසා ලංකාව පුරා විදුලිය විසන්ධි වීමේ සිද්ධියයි. විදුලිබල ඇමතිවරයා මුලින්ම ප්‍රකාශ කළේ විදුලිය ඇනහිටියේ වඳුරා පැනීම නිසා හටගත් තත්වයක් නිසා බවයි. කෙසේ වෙතත්, පසුව විදුලිබල මණ්ඩලය තමන්ට අවශ්‍ය පරිදි කතාව වෙනස් කර ප්‍රචාරය කළේ ය. ඔවුන් කීවේ විදුලිය විසන්ධි වීමට හේතුව, සූර්ය විදුලිය බවයි. සූර්ය විදුලිය නිසා පද්ධතිය අස්ථාවර වන බව එහි දී ප්‍රකාශ විය.
සූර්ය විදුලිය නිසා පද්ධති අස්ථාවර වේ නම් කළ යුත්තේ ඊට පිළියම් යෙදීම මිස, සූර්ය විදුලිය අධෛර්යවත් කොට පෞද්ගලික ඩීසල් විදුලියට යාම නොවේ. සූර්ය විදුලිය නිෂ්පාදනය කරන එකම රට ද ලංකාව නොවන අතර අද ලෝකය විශාල වශයෙන් මෙකී පිරිසුදු සහ අඩුවියදම් විකල්පය වෙත යමින් තිබේ. එම රටවල් පද්ධතිය ස්ථාවර කිරීමට අවශ්‍ය තාක්ෂණය ද හඳුන්වා දී ඇත. එහෙත් ලංකාවේ විදුලි බල මණ්ඩලය විකල්පය ලෙස දුටුවේ සූර්ය විදුලිය ගෙවන රේට්ටු අඩුකොට එය ස්වාභාවික මරණයට පත්වීමට ඉඩසැලසීමයි.
පෞද්ගලික විදුලි මාෆියාව සමග සබඳතා තිබෙන පුද්ගලයන් මේ වැනි රජයේ ඉහළම මෙන්ම සංවේදී තනතුරුවලට පත් කිරීමේ ප්‍රතිවිපාක මේවා ය. මාලිමාව විපක්ෂයේ සිටිය දී වෙනත් ආණ්ඩුවක් මෙවැනි පුද්ගලයකු මේ තනතුරට නොව, මෙහි කම්කරු තනතුරකට වුව පත් කළේ නම් කොතරම් විරෝධතා සහ පාර්ලිමේන්තු කතා ඇසෙනු ඇතිද?
මොහු මතු නොව, ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශක ද ලංකාවේ ක්‍රියාත්මක පෞද්ගලික ආයතනයක ප්‍රධානියකු වීම සහ එම ආයතනය සතොස ආයතනයට රුපියල් මිලියන ගණනේ සේවා සැපයීම ගැන මේ වන විට නවතම ළබැඳියාවන් අතර ගැටුමක් පිළිබඳ චෝදනා එල්ල වේ. මේ ගැන එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකවක දී අදාළ උපදේශකවරයාගෙන් විමසූ විට ඔහු මේ චෝදනාව පිළිගත් අතර, එහි ඔහු කීවේ, තමා එවැනි අයුතු බලපෑම් කරමින් ලාබ නොලබන බවට තමාගේ කට වචනය පිළිගන්නා ලෙසයි. මේ අතර, ඔහු එහි දී වැඩිදුරටත් හෙළි කර සිටියේ, සතොස ආයතනය තම ආයතනයට කතා කර සතොස ටෙන්ඩරයට ඉල්ලුම් කරන ලෙස ඉල්ලා සිටි බවයි. රජයේ ආයතනයක් එසේ ඉල්ලා සිටීමම වැරැදි භාවිතයකි. එමගින් ම අදාළ ආයතනය පිළිබඳ අගතියක් ප්‍රකාශ වේ.
මේ අනුව, එක අතකින් ජනාධිපතිවරයා ජනතාවට පොරොන්දු වූ කිසිවක් ලබා දීමට නොහැකි වී ඇති පසුබිමක, අනිත් අතින් තමාගේම ප්‍රධානීන් සම්බන්ධව ඉතා බරපතළ චෝදනා එල්ල වෙමින් ඇත. මාලිමාව වැඩිපුරම මැතිවරණයට පෙර වේදිකාවේ හඬනැගුවේ මේ සම්බන්ධ කාරණාවලට වන හෙයින් අද ඔවුන්ගේ ම ආණ්ඩුව තුළ ඒවා අන් අවස්ථාවලට වඩා බරපතළ ලෙස සිදුවන පසුබිමක, ජනාධිපතිවරයාගේ සිංහනාදය දැන් දැන් කෙඳිරිල්ලක් වීම තේරුම්ගත හැකිය.
(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
Wije Friday, 04 April 2025 04:18 PM
මිදී කොහේද තිත්ත, නරි කියයිද ඇත්ත...!
නාමල් Saturday, 05 April 2025 07:20 AM
මේ කියන අය රාජපක්ෂ ආන්ඩුවේ බත් බැලයෙක්. සාධාරණ විවේචන බාරගතයුතු වුවත් මේ වගේ අය කියන ඒවා පිටුදැකිය යුතුයි...
ලයන් Saturday, 05 April 2025 07:01 PM
තමුන්ට එහෙම හිතුණාට මේ රජය අති සාර්ථක ගමනක යෙදී සිටිනවා... හොරු කප්පම්කාරයෝ, සැප ගන්න එවුන් නැති පළමු ජනතාවගේ රජය...
Gavin Monday, 07 April 2025 04:37 PM
ලයාන්, ඔයා හරි... ඉස්සරවෙලා තිබ්බ රජයවල් පත්කරන්න ඡන්දෙ දුන්නේ පිටසක්වලින් ඇවිල්ලා... ඒක හින්දා ඒවා ජනතා රජයන් නොවේ.
Nihal Monday, 07 April 2025 11:35 PM
කියන්ඩ බලන්න ට්‍රිලියනයක් ණය අරගෙන කරපු වැඩ