තැන තැන සිදුවන මහජන කථිකාවලින් තහවුරු වන්නේ ශ්‍රී ලංකාව අංශ කිහිපයකින්ම අන්තරායකාරී තත්ත්වයකට මුහුණ පා ඇති බවයි. මෙම ලිපියෙන් අපේ වර්තමාන තත්ත්වය, යෝජිත ජාතික සංවර්ධන සැලසුම් රාමුවක ලා ඇගැයුම් කෙරේ.
ජාතික සම්පත්
ශ්‍රී ලංකාවේ ප්‍රධාන සම්පත් දෙවර්ගය නම්, එහි ජනතාව හා පරිසරයයි. ජනතාවට, සම්ප්‍රදායෙන්ම සෞඛ්‍ය සම්පන්න පෝෂණයක් ද සුවය සලසන සුව සේවාවක් හා නිදහස් නිවාරණයක් මෙන්ම (සිංහල, දෙමළ යන) පුරාණ (පාරම්පරික) භාෂා දෙකකුත්, ගෝලීය භාෂාවකුත් (ඉංග්‍රීසි), තෘතීය මට්ටම දක්වා ලැබිය හැකි අධ්‍යාපනයකුත් හිමිව තිබේ.
අපගේ අද්විතීය පරිසරය විසින් ස්වාභාවික ලෙස ආරක්ෂා වූ දිවයිනක් ද මූලෝපායික ලෙස වැදගත් භූගෝලීය ස්ථානගත වීමක් සහ කළමනාකරණය කරගත හැකි විශාලත්වයක් ද සහිත අතිවිශේෂ ජෛව විවිධත්වයක් ද සපයා දී තිබේ. එහි බොහෝ ස්ථාන වගාවට සුදුසුය. ප්‍රධාන වශයෙන් තැනිතලා භූමියක් වූ එහි පිවිසීම අසීරු නොවූ කඳුකරයක් ද ඇති තරම් ජලය ද මාර්ග පහසුකම් ද ගුවනින් හා මුහුදෙන් පිවිසීමේ හැකියාව ද පවතී.
නිදහස ලැබූ දා පටන් බලයට පැමිණි ආණ්ඩු මෙම සම්පත්වලින් හරි හැටි ප්‍රයෝජන ගත්තේ නැත. පළමුව ඔවුහු ඉමහත් අභිරුචියෙන් ස්ථිරසාර නොවූ යටත් විජිතවාදී සංවර්ධන මාවත් හඹා ගියෝය. එහිදී අප උදෙසාම වූ ඉදිරි දැක්මක් සහිත ප්‍රතිසංස්කරණ ඔවුහු සිදු නොකළෝය. බොහෝ මෑතකදී ඔවුහු බටහිර කාර්මික රටවල් සහ ඩුබායි සහ සිංගප්පූරු වැනි ශ්‍රී ලංකාවට නොගැළැපෙන නගර රාජ්‍ය අනුකරණය කළහ. ජනතාවට ඉහළින් ඔවුහු යටිතල පහසුකම් වර්ධනය කිරීමට ප්‍රමුඛතාව දුන්හ. මුවින් දොඩන බසින් පමණක් ජනතාවට සැලකූ ඔවුහු, ඉංග්‍රීසි අධ්‍යාපනය, අපගේ භාෂා ප්‍රශ්නය සහ වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ නොසලකා හැරියෝය. මෙකී මගහැර යාම් නිසා, ශ්‍රී ලංකාවට මානව ප්‍රාග්ධනය රඳවා ගන්නට නොහැකි වූයේය. සුළුතරයාගේ දුක් ගැනවිලි නොසලකා හැරීම, ආදායම් ප්‍රමාණවත් නොවීම හා රැකියා අවස්ථා නොමැතිකම නිසා බුද්ධි ගලනයත්, නිපුණතා ගලනයත් සිදුවිය. නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලැබූ හා නිදහස් අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනා ශ්‍රී ලංකාව හැර ගියෝය. මේ වනවිට අපි දරුණු මානව ප්‍රාග්ධන හිඟයකට මුහුණ පා සිටිමු.
ස්ථිරසාර ආහාර සුරක්ෂිතතාවක් උදෙසා වූ අපගේ පාරිසරික විභවතා හඳුනා ගන්නටත් අපනයනවලින් හා සංචාරක ව්‍යාපාරයෙන් ආදායම් උපයා ගන්නටත් ආණ්ඩු අසමත් වූවෝය. ඒ වෙනුවට අප දකින්නේ වර්ෂා වනාන්තරය (සිංහරාජය) විනාශ කිරීම, අනර්ථකාරී ඉඩම් ගොඩකිරීම්, කුණු කසළ බැහැර කිරීම්, පහත් බිම්වල (මුතුරාජවෙල) කරන අපිළිවෙළ ඉදිකිරීම්, සංරක්ෂිත වනාන්තරවල හා වාරි වැව්වල ආක්‍රමණශීලී ශාක වර්ග බෝ වෙන්නට ඉඩ හැරීම්, (මින්නේරිය හා උඩවලවේ) රක්ෂිත ප්‍රදේශවල සහ ඓතිහාසික බිම්වල මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ඉදිකිරීම් සිදුකිරීම (කොළඹ, සීගිරිය, උණවටුන), ප්ලාස්ටික් සහ රසායන දූෂණය (රට පුරාම) සහ නාගරික වායු දූෂණයයි (කොළඹ, මහනුවර). අරමුණු කරා යාමට (දළ ජාතික නිෂ්පාදන වර්ධනය, අපනයන වර්ධනය, භෞතික යටිතල පහසුකම් වර්ධනය ආදිය ද උදෙසා) නොව තමන්ගේ යහපැවැත්ම උදෙසා, ඉවක් බවක් නැතිව සිදුකරන නාස්තිකාරී ඉදිකිරීම් (මත්තල ගුවන්තොටුපොළ, හම්බන්තොට අන්තර්ජාතික සම්මන්ත්‍රණ කේන්ද්‍රය, කොළඹ ඓතිහාසික ගොඩනැගිලි කඩා බිඳ ඉවත් කිරීම) ආදිය ද මේ සමග සිදු වේ.
අපගේ ප්‍රධාන සම්පත් අරභයා සැලසුම්ගත රාමුවක් සහ ප්‍රමුඛතා සකස් කොට නොමැති වීම ශ්‍රී ලංකාව අද මුහුණ පා ඇති අර්බුදවලට හේතු වී තිබේ.
මූල්‍ය, විදේශ විනිමය හා ණය අර්බුදය
නාස්තිකාර වියදම්, ස්ථාවරව පවත්වාගෙන නොයන බදු සහ වෙළෙඳ ප්‍රතිපත්ති නිසා ආදායම් සහ විදේශ විනිමය ඉපැයුම් ශීඝ්‍රයෙන් පහත වැටී, ණය කන්දරාව වැඩි වී තිබේ.
නීතිමය පාලනය පිළිබඳ අර්බුදය
දූෂණය බහුලව පැතිර යාම, අපරාධවලට දඬුවම් නියමවූවන්ට සමාව දීම, ඒ ඒ අවස්ථාවල නඩු විසිකර දැමීම, බලහත්කාරයෙන් රඳවා ගැනීම සහ නීතිමය කටයුතු නිම කිරීම ආදිය නිසා ආරක්ෂාවත් යුක්තියත් සැලසීම පිළිබඳව පොලිසිය සහ අධිකරණ පද්ධතිය කෙරේ ජනතා විශ්වාසය පළුදු වී ගොසිනි.
කොරෝනා සම්බන්ධ සෞඛ්‍ය සුබසාධනය සහ ආර්ථික අර්බුදය
වසංගතය වැරැදි අයුරින් පාලනය කිරීම, ආහාර බෙදාහැරීම, මහජන සංචරණය, ප්‍රවාහනය සහ ආර්ථික ක්‍රියාකාරකම් බොහෝ ජනයා සිදු කරනුයේ සෞඛ්‍ය ආරක්ෂාව, ආහාර, ආදායම් ආදියෙන් තොරවය.
සාගරය ආශ්‍රිත පාරිසරික අර්බුදය
හානිකර නැව් බඩුවලින් සමන්විත නැවක් හුදු අපරික්ෂාකාරීභාවය නිසාම විනාශයට ලක්ව පෙර නොවූ විරූ සාගර දූෂණයක් සිදුවීම නිසා පීඩා විඳීම.
ශ්‍රම අර්බුදය – නිපුණතා සහ බුද්ධි ගලනය
ශ්‍රමය සංක්‍රමණය උදෙසා ලැබුණු රාජ්‍ය සහයෝගය නිසා නිපුණ ශ්‍රමය විදෙස්ගත වීම වැඩි වීම හේතුවෙන් ඇතිවුණු ශ්‍රම හිඟය ආර්ථිකයේ අංශ කිහිපයකටම බලපෑවේය.
ස්වාභාවික පරිසරය විනාශ වී යාමේ අර්බුදය
නියාමනයකින් තොරව කැලෑ බිම් හෙළි කිරීම සහ හිතුමතේ ඉඩම් ගොඩ කිරීම, දේශපාලන වාසි, නිසි සංවිධානයකින් තොර කෘෂිකර්මය, පෞද්ගලික නිවාස, සංචාරක කටයුතු, කෘෂිකාර්මික ව්‍යාපෘති ආදිය උදෙසා නිසි ප්‍රතිපත්ති, මාර්ගෝපදේශ, පසු විපරම්, යාන්ත්‍රණ සහ ඇගැයුම් කිරීමකින් තොරව අනුමැතිය දීම, මහා පරිමාණ යටිතල පහසුකම් සහ කෘෂිකාර්මික ව්‍යාපෘති හේතුවෙන් අපගේ ජෛව විවිධත්වය හීනවීම හා පහත වැටීම සිදුව තිබේ.
ප්ලාස්ටික් සහ විෂ රසායන දූෂණය පිළිබඳ අර්බුදය
අදියරෙන් අදියර අවම කිරීම උදෙසා පැහැදිලි ප්‍රතිපත්තියක්, පසුවිපරම් යාන්ත්‍රණයක් නොතිබීම, ප්ලාස්ටික් සහ කෘෂි රසායන හානිකර ලෙස පරිහරණය, නිසි සෞඛ්‍ය සම්පන්න, ඉඩම් ගොඩ කිරීම්, ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ යාන්ත්‍රණය උදෙසා දඬුවම් නියම කිරීමක් නොමැති වීම. ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය නිසා සිදුවන පරිසර දූෂණය ද වැඩිවී තිබේ. මේ අතර එක රැයින් සිදුකළ රසායනික පොහොර තහනම ඉක්මනින් සංශෝධනය නොකළහොත් තවත් ආහාර හිඟවීම හා අපනයන බෝග අඩුවීමේ අර්බුදයක් හටගනු ඇත.
ජාතික අරමුණු සහ සැලසුම් රාමුව
ශ්‍රී ලංකාවට මෙම අර්බුදයෙන් ගොඩ ආ හැකිය. මේ සඳහා ආණ්ඩු, ස්ථිරසාර ජාතික අරමුණු සහ ජනතාවටත්, පරිසරයටත් ප්‍රමුඛතාව දෙන සැලසුම් රාමුවකට එළැඹිය යුතු වේ.
මූලික පූර්ව උපකල්පනය - සියලු රට වැසියන්ගේ යහපැවැත්ම වර්ධනය කිරීමට වෑයම් කරන ජාතීන් හට ස්ථිරසාර සංවර්ධනයත් සමාජ සාධාරණත්වයත් අවශ්‍ය කෙරේ.
ජනතා අරමුණ – ඔවුන්ගේ යහපැවැත්ම වර්ධනය උදෙසා සමාජ සාධාරණත්වය සමග ද්‍රව්‍යමය, බුද්ධිමය සහ චිත්තවේගී යන තුන් වැදෑරුම් මානයන් පැවැතිය යුතුය. ද්‍රව්‍යමය අවශ්‍යතාවලට, ශාරීරික සෞඛ්‍ය, ආහාර, ඇඳුම්, නිවාස, උපයෝගී භාණ්ඩ, පරිවහනය හා සන්නිවේදනය අයත් වේ. බුද්ධිමය අවශ්‍යතාවලට, අධ්‍යාපනය, නිපුණතා සංවර්ධනය, රැකියා අවස්ථා සහ විවේකී ක්‍රියාකාරකම් ඇතුළත්ය. චිත්තවේගී අවශ්‍යතාවලට මානසික සෞඛ්‍ය, රට තුළ සහ නිවෙසේදී පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ හැඟීම, අන්‍යයන්ට හානියකින් තොරව ආගමික විශ්වාසයන්ට අනුව කටයුතු කිරීමේ නිදහස, සංස්කෘතික සම්ප්‍රදායන්, ලිංගික හැඩගැසීම් ආදිය සිදු කිරීම ඇතුළත් වේ. එහිදී කිසිදු වෙනස්කමක් නොසලකා සියලු පුරවැසියන්ට, අගතියකින් තොරව එක සමාන අවස්ථා ලබාදීම සමාජ සාධාරණත්වයෙන් තහවුරු කෙරේ.
පාරිසරික අරමුණ – ස්ථිරසාර, සමතුලිත සංවර්ධනය හරහා සියලුම ජෛව විවිධත්වයන් ආරක්ෂා කිරීම සඳහා වත්මන් හා අනාගත පරම්පරාවල යහපැවැත්ව පවත්වා ගැනීම, ජෛව විවිධත්වය යන්නට, වර්ෂා වනාන්තර, වියළි කලාපීය වනාන්තර, කඳුකර නිම්න, තැනිතලා, තෙත් බිම්, වෙරළ, වැලි වැටි, කොරල්පර, කලපු, කඩොලාන, ගංගා, දියඇලි, රක්ෂිත සහ වාතයේ ගුණාත්මක බව ආදී අංග ඇතුළත්ය.
මෙම අරමුණු නිරන්තර විග්‍රහයට ගනිමින් හා නැවත සකස් කරමින් තම රට වැසියා වෙත සම්පාදනය කිරීම රජයේ වගකීමක් බව හොඳින් අවබෝධ කරගත යුතු වේ. ඒ පහත පරිදිය.
නියෝජනය – ජාතික මට්ටමෙන් වැඩදායී නියෝජනයක් උදෙසා මැතිවරණ බලප්‍රදේශ ක්‍රමයක් සකස් කළ යුතුය. එසේම ප්‍රාදේශීය මට්ටමින් හා පළාත් පාලන ආයතන මට්ටමින් යෝග්‍ය පරිදි අපේක්ෂකයන් ඉදිරිපත් වීමට අදාළ නිර්ණායක සැකසිය යුතු වේ. මේවා සැකසිය යුත්තේ, ජනතාවගේ අවශ්‍යතා නියෝජනය වෙන ආකාරයෙන් විනා නියෝජිතයන්ගේ කෑදර අවශ්‍යතා සංසිඳවීම පිණිස නොවේ.
අධිකරණ – ස්වාධීනවූත්, වගකීම් සහිතවූත් අධිකරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම උදෙසා අධිකරණය ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුය. එසේම ජනතාවට නිසි කලට යුක්තිය ඉටුවෙන ආකාරයෙන් නීතිමය ප්‍රතිශෝධන සිදු විය යුතු වේ.
රට තුළ ආරක්ෂාව – ජාතිය, ආගම, ලිංගිකත්වය, වයස, ශාරීරික දුබලතා, සමාජ තත්ත්වය, ආදායම, දේශපාලන සම්බන්ධතා හෝ අනෙකුත් විෂමතා පදනම් කොට සිදුවන සමාජ අසමානතා සහ පීඩාවන් තුරන් කිරීම තහවුරු කිරීම උදෙසා පොලිස් සහ නීතිමය ප්‍රතිසංසක්රණ සිදු කිරීම.
ස්ථිරසාර ස්වාභාවික පරිසරය - පාරිසරික ව්‍යසනය නවතා දැමීම උදෙසා ක්‍රියාකාරී සැලැස්මක් සහ මාර්ගෝපදේශ සකස් කිරීම. ශ්‍රී ලංකාවේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම උදෙසා පවතින නීති සහ ක්‍රියාදාම නැවත සකස් කිරීම හා සමාලෝචනයට ලක්කොට පෝෂණය කිරීම.
සදාචාරාත්මක සහ විනිවිද පෙනෙන සුළු ව්‍යාපාරික පරිසරයක් - සදාචාරාත්මක ව්‍යාපාරයක් උදෙසා පහසුකම් සැපැයීමට ප්‍රවිෂ්ට ක්‍රියාදාම අනුමත කිරීම් සහ බලපත්‍ර නිකුත් කිරීම් අාදිය සාධාරණ, තර්කානුකූල ලෙස සකස් කිරීම හා සරලකරණය උදෙසා නීතිමය හා ආයතනික ප්‍රතිසංස්කරණ සකස් කිරීම.
රාජ්‍ය සේවාවට සමීප වීම
වඩාත් කාර්යක්ෂම සේවා සැපැයුමක් උදෙසා යථාර්ථවත් භූගෝලීය සීමා නිර්මාණය වන අයුරින් ජාතික පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතුය. ජාතික, පළාත්බද හා පළාත් පාලන ආයතන බලප්‍රදේශ මට්ටමින් රාජ්‍ය සේවා සැපැයීම සඳහා පැහැදිලි ලෙස බලප්‍රදේශ වෙන් කිරීම සරල කාර්ය උදෙසා විවිධ මට්ටමේ අධිකාරි ආයතනවල සේවාව සොයා යන්නට ජනතාවට සිදුවන්නේ නම් එවැනි සේවා තර්කානුකූල බහුවිධ සේවා ක්‍රමයට ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍යය.
අධ්‍යාපනය
වර්තමාන වෙළෙඳපොළ අවශ්‍යතාවලට සරිලන පරිදි විව්‍යුහාත්මක හා ගැටලු විසඳන ආකාරයෙන් සහ ඉංග්‍රීසි ප්‍රවීණත්වය හා රචනා නිපුණත්වය වර්ධනය උදෙසා යටිතල පහසුකම්, ක්‍රියාකාරකම් හා ගුරු පුහුණුවට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළ යුතුය. රාජ්‍ය ආයතනවලට අමතරව පෞද්ගලික ආයතන නියාමනය කොට රාජ්‍ය ආයතනවල කටයුතු ඌනපූර්ණය කිරීම ජාතික මට්ටමේ සහ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ මට්ටමේ පාසල්වල ධාරිතාව වැඩි කොට ඒවාට පිවිසීමට ඇති අවහිරතා ඉවත් කිරීම විය යුතුය.
සෞඛ්‍යය
රෝග නිවාරණ හා සුවකාරක සෞඛ්‍ය පහසුකම් සැලසීමේ පද්ධතිය වර්ධනය කිරීම උදෙසා වඩා හොඳ අයවැය හා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ගෙන ඒම අවශ්‍යය.
පෝෂණය
ආහාර සුරක්ෂිතභාවය සහ මිල ස්ථාවරත්වය තහවුරු කොට පවත්වාගෙන යාමට භූමි පරිභෝග, කෘෂිකර්ම හා වෙළෙඳ ප්‍රතිපත්ති නියත ලෙස පවත්වාගත යුතු
නිවාස
සියලු මට්ටමේ ආදායම්ලාභීන්ට නිවාස වෙළෙඳපොළට පිවිසිය හැකි ආකාරයත් ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය
මූල්‍ය ක්‍රම ස්ථාවරත්වය හා වගකීමෙන් යුතු මූල්‍ය කළමනාකරණය
මූල්‍ය සහ ආදායම් ස්ථාවරත්වය තහවුරු කොට පවත්වා ගැනීම පිණිස මූල්‍ය හා ආදායම් අධිකාරීන් ප්‍රතිසංස්කරණය කිරීම. ආදායම් සහ මූල්‍ය කළමනාකරණයට අදාළ පාර්ලිමේන්තු අධීක්ෂණයන්හි ධාරිතාව ගොඩනැංවීම මෙහිදී සිදුවිය යුතුය.
ප්‍රතිලාභ සහිත රැකියා
වසරකට ලක්ෂ දෙක තුනක් ජනයා රැකියා උදෙසා සංක්‍රමණය වීම වළකාලීමට ශ්‍රම වෙළෙඳපොළ සහ ඊට අදාළ නීති ප්‍රතිසංස්කරණය කිරීම. නව ආකාරයේ ආදර්ශවත් රැකියා හඳුනාගැනීම හා නියාමනය. සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරතුර මුදල් ගෙවා සේවාවලට ගැනීමේ හැකියාවන් පිළිබඳ නව්‍යතා වර්ධනය අවශ්‍යය.
සමාජ ආරක්ෂාව පිළිබඳ ජාලය
දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටිනා අය උදෙසා සුබසාධන හා සමාජ ආරක්ෂණ ප්‍රතිසංස්කරණ සැකසීම, සෑමදෙනාටම විශ්‍රාමික දීමනා ලබාදීම තහවුරු කිරීම මෙහිදී අවශ්‍යය.
තොරතුරු ලබාගැනීමේ හැකියාව
රජයේ තොරතුරු හා ක්‍රමවේද පිළිබඳ දත්ත ලබාගැනීමේ හැකියාව වර්ධනය. ජාතික මට්ටමේ දත්ත ලබාගත හැකි ආයතනවල ඇති සීමා ඉවත් කොට තොරතුරු සැපැයීමේ ධාරිතාව වැඩි කිරීම උදෙසා අයවැයෙන් සැපැයෙන වියදම් වැඩි කළ යුතුව තිබේ.
ජාතික ආරක්ෂාව
භෞතික සමාජීය හා ආර්ථික වශයෙන් එල්ල වන ජාත්‍යන්තර තර්ජනවලට එරෙහිව ආරක්ෂාව සලසා ගැනීමේ ධාරිතාව වර්ධනය. ත්‍රිවිධ හමුදාවේ කාර්යභාරය නිර්වචනය කිරීම. ගෝලීය හා කලාපීය බලවතුන් සමග භූ දේශපාලනික සබඳතා පවත්වා ගැනීම උදෙසා ස්ථිරසාර විදේශ ප්‍රතිපත්තියක් පවත්වා ගැනීම.
දැනට පවතින තත්ත්වය
ශ්‍රී ලංකාවේ පමණට වැඩි රාජ්‍ය සේවකයන් සහිත රාජ්‍ය සේවාවක් සහ පමණට වැඩි දේශපාලන නියෝජනයක් පවතී. රාජ්‍ය සේවාවේ මිලියන 1.2ක් දෙනා රැකියාවේ නිරත වී සිටිති (එය ශ්‍රම බළකායෙන් සියයට 15කි). එහිදී කුඩා ඒකක 30,000කට වඩා ආවරණය වෙන ප්‍රධාන ඒකක 1,200කි.
ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22ක් වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ක් සිටිති. කැබිනට් අමාත්‍යවරු 30ක් හා රාජ්‍ය අමාත්‍යවරු 40ක් පමණ ජාතික මට්ටමේ සිටිති. ඉන්දියාවේ පවතින්නේ මීට හාත්පසින් වෙනස් තත්ත්වයකි. ඉන්දියාවේ ජනගහනය මිලියන 1,326කි (60 ගුණයක්). ලෝක් සභාව නියෝජනය කරන්නේ මන්ත්‍රීවරුන් 545ක්, කැබිනට් ඇමතිවරුන් 15ක් හා රාජ්‍ය අමාත්‍යවරුන් 28ක් පමණකි. මැලේසියාවේ ජනගහනය මිලියන 33කි (1.5 ගුණයක්). එරට පාර්ලිමේන්තු නියෝජිතයන් 222කි. අමාත්‍යවරුන් 32කි. නියෝජ්‍ය අමාත්‍යවරුන් 38ක් පමණකි.
පළාත් පාලන ආයතන මට්ටමෙන් ගත්විට ශ්‍රී ලංකාවේ නියෝජිතවරු 8,708ක් පළාත් පාලන ආයතන 341ක සිටිති.
(නගර සභා 24කි. මහ නගර සභා 41කි. ප්‍රාදේශීය සභා 276කි.)
පළාත් සභා පවතී නම්, පළාත් සභිකයන් සහ අනෙකුත් මට්ටමේ අමාත්‍යවරුන් 500කි. පැහැදිලි ලෙස වගකීම් නියෝජනය කිරීමක් මෙම ස්ථර අතර සිදු නොවේ. එක් එක් ආයතනවල කාර්යභාරය ද එකිනෙකින් වෙන් නොවී එකිනෙක මත වැටේ. ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ සේවා සැපැයුම්වලදී සෑහෙන තරම් ව්‍යාකූලභාවයක් ඒ නිසා ඇති වේ. දීර්ඝ කාලීන ජාතික අරමුණු සහිතව ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී දශක දෙකක් පුරා ඔවුන්ගේ කාර්යභාරය කෙරේ අවධානය යොමු කිරීමට වෙනුවට සිදුව ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන් එදිනෙදා සුළු සුළු කාර්යයන් හි නිරත වෙමින් මාරු කිරීම්, උසස්වීම්, රැකියා හා පාසල්වල ස්ථානගත කිරීම් ආදී කටයුතුවලට ඇඟිලි ගැසීමය. කාර්යභාරය පැටලෙමින් එකිනෙක මත සමපාත වීමෙන් සිදුවන්නේ වගකීම් නොතකා හැරීමය. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දේශපාලනීකරණය වූ සංස්කෘතිය තුළ තමන්ගේ රැකියාවලට තට්ටුවේ යයි බියෙන් තම තමන්ගේ උපදේශන කාර්යභාරය අමතක කර තිබේ. බොහෝ අය තමන්ගේ දේශපාලන හාම්පුතුන් සතුටු කරනු වස් අවුල් සහගතව කටයුතු කරති. නැතහොත් ඔවුන් රවටති. මෙහි අරමුණ වාසි ලබාගැනීමයි. අවංකව කටයුතු කරන අයට, ඔවුන්ගේ වෘත්තීයමය කැපවීම උදෙසා නෙරපා හැරීමට ලක්වීමෙන් වන්දි ගෙවීමට සිදු වේ.
ප්‍රධාන බලඅධිකාරීන්ගේ සහ මැතිවරණ කොට්ඨාස නියෝජිතයන්ගේ, ස්වාධීනත්වය, වෘත්තීය නිපුණත්වය, වගවීම, ඉහළ සිට පහළට වගකීම සහ තීරණ ගැනීමේ ක්‍රියාදාමය යන කාරණයට අදාළව බැරෑරුම් බිඳ වැටීමක් සිදු වී ඇති නිසා බලයට පැමිණි සෑම රජයකටම විශ්වීය අයිතිය පවත්වා ගැනීමට නොහැකි විය. මෙහි සමස්ත ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාව අතිශය අස්ථාවර හා අවදානම් තත්ත්වයකට පත්වීමයි. අද දවසේ රට කරවීමට වගකීම දරන උදවියගේ අවුල්සහගත වැඩවල සහ මුග්ධ හැසිරීම්වල අතොරක් නැත.
ඉදිරි දැක්ම
අපගේ ප්‍රධාන සම්පත් ප්‍රශස්ථ අයුරින් ප්‍රයෝජන ගැනෙන තීරණාත්මක ප්‍රතිසංස්කරණයන්ට ප්‍රමුඛතාව දෙමින් හොඳින් සැලසුම් කරන ලද මාර්ගයකට අවතීර්ණය වීමෙන් අපගේ ජනතාවට ඉහළ ආදායම් ලැබීම ස්ථාපිත වන අතර එහිදී අපගේ පරිසරය ආරක්ෂා වීම ද සිදු වේ. එවැනි මාර්ගයක් එළිපෙහෙළි කරගැනීම උදෙසා, මෙරට රාජ්‍ය ස්ථර සහ ඒවායේ ප්‍රමාණය තර්කාන්විත අයුරින් සැකසීම කඩිනමින් කළ යුත්තකි. ඉදිරිය සැලසුම් කිරීම උදෙසා ප්‍රධාන තනතුරුවලට කුසලතාව පදනම් වූ ක්‍රමයකින් වෘත්තීය ප්‍රවීණයන් තෝරාගත යුතු වේ. එසේ කොට අදාළ ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීමත්, අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමත් අවශ්‍ය වේ. පහත සඳහන් අයුරින් එය සිදු වේ යයි මම අපේක්ෂා කරමි.
ජාතික සැලසුම් රාමුව හා අරමුණ - එය රට වැසියාගේ අයිතිවාසිකම් පදනම් කරගත් අරමුණ ඇතිව අතිදක්ෂ කුඩා කණ්ඩායමක් විසින් සැකසිය යුතු වේ.
රාජ්‍ය අංශය සංකෝචනය – එක් එක් අයිතිවාසිකම යටතේ පවතින ආයතනවල කාර්යභාරය සහ වගකීම් ප්‍රවීණ අයුරින් සමාලෝචනයට ලක්කිරීම. ඒවා තෝරා බේරාගෙන තර්කාන්විත ලෙස මිශ්‍ර කිරීම සහ සමාන ආකාරයෙන් වැඩිපුර ඇති දෑ ඉවත් කිරීම.
කුසලතා පදනම් කරගෙන උසස්වීම් සහ පත්වීම් ලබාදීම - ප්‍රධාන තනතුරු විචක්ෂණශීලී නිපුණ ස්වාධීන පුද්ගලයන්ගෙන් පිරවීම සඳහා මාර්ගෝපදේශ හා කාර්යක්ෂම ක්‍රියාදාම ස්ථාපිත කිරීම.
වගවීම/ වගකිව යුතු බව - නිරන්තර අධීක්ෂණය සහ ඇගයුම් කිරීම් සහිත ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් වගකීම් ක්‍රමයක් ස්ථාපිත කිරීම.
භාෂාව - සියලුදෙනා උදෙසා ත්‍රෛ භාෂා හිමිකම් තහවුරු කිරීමට නිල මට්ටමේ හැකියා ගොඩනැංවීම.
මැතිවරණ කොට්ඨාස නියෝජනයේ කාර්යක්ෂමතාව – ජාතික මට්ටමේ දැනට පවතින මැතිවරණ කොට්ඨාස, දැනට පවතින පළාත් සහ පළාත් පාලන ආයතන බලප්‍රදේශ තර්කානුකූල ලෙස සකස් කිරීම.
ස්ථාවරභාවය – තනි ස්වාධීන සීමානිර්ණ අධිකාරියකට සියලුම මැතිවරණ කොට්ඨාස සීමානිර්ණයන් පැවැරීම.
සුදුසුකම් - නියෝජිතයන්ගේ ගුණාත්මකභාවය නැංවීම සඳහා අවම සුදුසුකම් හඳුන්වා දීම.
සමාප්තිය
ශ්‍රී ලංකාව ස්ථිරසාර සංවර්ධනය කරා යන මාවතේ ඉදිරියට ගෙන යාම සඳහා සමත් නිපුණත්වයෙන් යුතු අතිදක්ෂ අවංක වෘත්තීය ප්‍රවීණයෝ මෙරට සිටිති. මේ නිසා විධායකයත්, ව්‍යවස්ථාදායකයත් (ජනාධිපති, කැබිනට්ටුව සහ පාර්ලිමේන්තුව) තම අසමත්භාවය පිළිගෙන ඔවුන්ගේ උපකාරය පැතිය යුතු වේ. එතෙක් සියලු ස්ත්‍රී, පුරුෂ මානව දක්ෂතා අකර්මණ්‍යව පවතිනු ඇත. ඒ සඳහා පමා විය යුතු නැත. ඒ සඳහා පමා වී ඇතැයි ළතැවෙන දිනය ද ඈත නොවේ.
(***)
2021/08/21 වැනි දින Daily FT පුවත්පතේ පළවූ A critical review of Sri Lanka in 2021 ලිපියේ පරිවර්තනය - සමන් පුෂ්පලියනගේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රමුඛතා නැතිවීමේ අර්බුදය
සමරේ Tuesday, 31 August 2021 10:07 AM
ඉතාමත් උගත් මහත්මියක් බව පිළිගන්නවා. නමුත් ඔබතුමිය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නැන්දාගේ දුව. ඒ වගේම ඔබේ සහෝදරයා මහාචාර්ය රජීව විජේසිංහ 2015 යහපාලන රජයේ ඇමතිවරයෙක්. ඔබ මේ පවසන්නේ ඔවුන්ගේ දේශපාලන දර්ශනයයි. ඔබතුමිය පවසන බොහෝ දේ ඇත්ත වුවත් මේ ලිපිය ඒක පාර්ශවීයයි. මත්තල ගුවන්තොටුපොළ සහ හම්බන්තොට වරාය දේශපාලන අරමුණු නිසා විනාශ නොකර ඔබත් ඔබේ සහෝදරයාත් පිළිගන්න ලිබරල් ආර්ථික මතවාදයට අනුකූළව සුළු පරිමාණ සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර දියුණු කිරීමට යොදාගත්තේ නැතිකම යහපාලනයේ ලොකුම දුර්වලකමක් ලෙස ඔබ නොදකින එක මේ ලිපියේ වුණත් ලොකුම දුර්වල දෙයක්... රටක ආර්ථිකය ගොඩ නැගීමට නම් විමධ්‍යගත ආර්ථික ජාල සහ යටිතල පහසුකම් සංවර්ධනය අත්‍යාවශ්‍ය බව ලිබරල් වාදයේ කියනවා නේද? මේ ලිපියේ අනික් ලොකුම දුර්වලකම තමයි ඔබ මහින්ද රජයේ දුර්වලකම් පමණක් දැකීම. රට පුරා මහා මාර්ග ජාලයක් සකසා අපනයන ක්ෂේත්‍රය සඳහා අත්‍යාවශ්‍යම ප්‍රවාහන සේවා සඳහා යටිතල පහසුකම් සැලසීම ගැනත් සඳහන් නැහැ. තාර්කික සහ දාර්ශනික ලිපියක තිබිය යුතු මැදහත් බව මෙහි තිබුණා නම් ඉතා වටිනවා...