IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පරිවර්තන යුගයක අවශ්‍යතාවය

උතුරේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග යුද්ධය අවසන් වූයේ 2009දීය. එයින් පසු එවක පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කීවේ දැන් ඇත්තේ සංවර්ධනය බවයි. එහි වරදක් නැත. ඒ අවස්ථාවේ මගේ මතය වුණේ ද එයයි. එහිදී ලංකාදීපයටම මගේ මතය පළ කළේ ජයග්‍රාහකයා හමුවේ විශාල අවස්ථාවක් නිර්මාණය වී ඇති  බවටය. විශේෂයෙන්ම බිඳ වැටී ඇති රාජ්‍ය නැවත ප්‍රතිසංස්කරණය කරමින් ආර්ථික වශයෙන් ජනයා නගාසිටුවීමට හොඳම අවස්ථාව බවය. 

එහෙත් ඒ සමගම අධික බලය නිසා ආණ්ඩුව කරවන්නන්ට ඕනෑම අක්‍රමිකතාවකට, දූෂණ කිරීමේ දොරටුව ද විවර වී තිබිණි. එසේ වුවත් යුද්ධය දිනූ නාමයෙන් මිනිසුන් ඒවා ඉවසන ඊට සමාව දෙන තත්ත්වයක් ද පසුබිමේ විය. ලෝක ඉතිහාසයේ එවැනි සිදුවීම්වලට ඕනෑ තරම් ආදර්ශ ද තිබේ. එදා එම ලිපියේදී මම ප්‍රාර්ථනා කළේ අපේ රටට නම් එහෙම වෙන්න එපා කියලාය. එහෙත් අවාසනාවට මගේ ප්‍රාර්ථනාව ඉටු නොවුණු අතර අද අපට කතා කරන්නට සිදුව තිබෙන්නේම එසේ වැරැදී ගිය ප්‍රාර්ථනාව ඔස්සේය. 

කළමනාකරණ විෂයේ මූලික පාඩමක් නම් හරි දේ හරියට කරන්න යන්නයි. එහෙත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආර්ථික සංවර්ධනයට අදාළව ගත් මූලික ප්‍රතිපත්තිමය තීන්දු විවරණය කළහොත් අපට අසන්නට සිදුවන්නේ ඒවායේ නිවැරැදිභාවයයි. රටක් හැටියට අද අප ණය බරට වැටී සිටින්නට එවැනි ඇතැම් දේ මූලික හේතුවක් වූ බව ආර්ථික විද්‍යාඥයෝම පිළිගනිති. නිදසුනකට හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මත්තල ගුවන් තොටුපොළ දැක්විය හැකිය. පළමු ප්‍රශ්නය නම් ආයෝජනය නිවැරැදිව කළාද යන්නයි. දෙවැන්න නම් ආයෝජනයෙහි යම් වරදක් වුවත් අදාළ ඉදිකිරීම්වත් අඩුම තරමින් හරියට කළාද යන්නයි.

මේ බොහෝ ආයෝජනවල ස්වභාවය වන්නේ ඒවාට වැය කර ඇති මුදල්වල අසාමාන්‍යභාවයයි. සරලව කිවහොත් රුපියල් පනහෙන් කළ හැකි දේට රුපියල් දෙසීයක් පමණ වැය වී ඇතිනම් එතැන කුමක් හෝ පරහක් තිබේ. ගමේ භාෂාවෙන් නම් අප ඊට කියන්නේ නාස්තිය කියලාය. ඒ අර්ථයෙන් ගත්කල සිදුකළ ආයෝජන ව්‍යාපෘතිවල දූෂණ පැහැදිලිව පෙනේ. ඒවා තේරුම් ගැනීමට සාර්ව ආර්ථික විද්‍යා මූලධර්ම ඕනෑ නැත. ණය බර යැයි කියමින් මේ නෙළාගන්නේ පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ එදා වගා කළ දේවල අස්වැන්නයි. 

මෙහිදී වැදගත් කරුණක් වන්නේ මූලෝපායික වශයෙන් වැරැදි ගමනක් යද්දී පවා බලය පවත්වාගැනීමට එවක පාලනයට හැකිවීමයි. බලයට රහ වැටුණු පිරිස් කළේ බලය පවත්වාගෙන යෑමට දිගටම බොරු පොරොන්දු දීමයි. අප ඇසිය යුත්තේ එහෙම කරන්නට හැකිවුණේ ඇයි කියාය.

යුද්ධය අධිනිශ්චය වීම හමුවේ තමන්ගේම ප්‍රශ්න පවා ද්විතීයික වන තැනට මිනිසුන් පත්වීමය. නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකු කතා කිව්වත් මට හිතෙන හැටියට නම් අපේ රටේ මිනිස්සු ස්වභාවයෙන් ගැති මානසිකත්වයකින් පිරි පිරිසකි. එනිසා පාලකයන් කුමක් කළත් බහුතරයක් සිටින්නේ අන්ධයන් බිහිරන් වාගේය. වැරැදි දැන දැනම සාධාරණීකරණය කෙරෙන මේ මානසික වටපිටාව සංවිධාන දේශපාලනය නමැති විෂයේදී ඉගැන්වේ. පාර්ලිමේන්තුවේ අසැබි දෙසුම් කරන මන්ත්‍රීවරයා දෙවැනි තුන්වැනි වටවලදීත් තමා කී අසැබි වචනය කුමක්දැයි අපෙන් අසන්නේ ඒ විශ්වාසය නිසාය. වැරැදි කිරීමත්, වැරැදි සුළුකොට තැකීමත්, වැරැද්දට රස වැටී නැවත නැවතත් කිරීමත් සමාජයට හුරුවන්නේ මේ පසුබිමේය.

තමන් කළ වැරැදි, වැරැදි නොවන ලෙසට මහජනයාට ඒත්තු ගැන්වීමේ කලාව දේශපාලනයයි. එහි සාර්ථක වන්නෝ වනාහි ඒත්තු ගැන්වීමේ කලාවේ පරතෙරට ගියෝය. වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලනය එකම රංගයක් වන්නේ ඒ අනුවය. ප්‍රචාරණ ආයතන, ජනමාධ්‍ය ආයතන ඇතුළු දෘෂ්ටිමය උපකරණ වැඩ කරන්නේ ඒ සඳහාය. 

රට ගැන කලකිරීමෙන් විප්‍රවාසීවීමට තැත් කරන මධ්‍යම පාංතිකයෝ විශාල පිරිසක් මේ වනවිට සිටිති. තමන්ට ඡන්දය දුන් පිරිස් රට හැර යමින් ඇතැයි කියන්නෝ ආණ්ඩුවේම නායකයෝය. විශේෂයෙන්ම අද වනවිට රටේ තරුණ පිරිස සිටින්නේ විශාල ආතතියකය. ආර්ථික, සමාජීය හා ආයතනික වශයෙන් ඔවුන්ට අවස්ථා නැතිවීම මීට දශක කීපයකට පෙර මෙන්ම නැවතත් ප්‍රශ්නයක් වී තිබේ.

එවැනි අවස්ථාවක පවා ආණ්ඩුව ගෙන ආ අයවැයෙන් රටේ තරුණ පරපුර ගැන තැබූ බර තැබීම කුමක්ද? එමගින් නැවතත් බර තබා තිබෙන්නේ ද රටේ වෘද්ධ ජනයාටය. අද දියුණු ලෝකයේ රටවල රාජ්‍ය පාලකයන්ගේ වයස් සීමා බැලුවත් මේ වෙනස තේරුම්ගැනීමට අපට හැකි විය යුතුය. අලුත් ලෝකය තැනෙන්නේ තරුණ ජවයෙනි. වයෝවෘද්ධ සමාජය සුරක්ෂා වන්නේ ද තරුණ ශ්‍රමය හා ව්‍යවසාය නිසාය. එහෙත් අපේ රටේ ආණ්ඩුකරණයෙහි සිට සමාජ ආයතන පාලනය කරන්නෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝය. රාජ්‍ය සැකැස්මේදී වැඩිහිටියන් විවේක ගැන්විය යුතු යැයි මින් අදහස් නොවේ. එහෙත් වගකීම හා බලයත් තීන්දු ගැනීමත් අතින් ඔවුන් ස්ථානගත කරන ආකාරය සමාජ සංස්ථා නූතනවීමට බලපායි. 

රාජ්‍ය නිර්මාණයේදී බණ්ඩාරනායක මහතා සිංහලය රාජ්‍ය භාෂාව කළා යැයි අද බොහෝ දෙනෙක් විවේචනය කරති. ඒ නව ලෝකයට පිවිසීමේ භාෂාත්මක යතුර අහිමි කිරීමේ අර්ථයෙනි. ඒ සම්බන්ධයෙන් මටද විවේචනයක් ඇතත් එහි ඇති පංතිමය ස්වභාවය ගැන අප අමතක කළ යුතු ද නැත. සැබැවින්ම සිංහලය රාජ්‍ය භාෂාව නොවුණේ නම් අපට විශ්වවිද්‍යාලවලට යන්නට අවස්ථාවක් නැත. ප්‍රශ්නය ඇත්තේ එතැන නොවේ. එහෙත් මේ රට දැන් පාලනය කරන්නේ සිංහලය රාජ්‍ය භාෂාව කිරීමෙන් ප්‍රයෝගකාරී ලෙස වාසි ලැබූවන් වීමේය. නිදසුනකට පාලකයන්ගේ නෑ සිය මිතුරන් උපාධි ලෝගු පැළඳ විශ්වවිද්‍යාල උපාධිය හෑල්ලු කිරීම දැක්විය හැකිය.

ලංකාව දැන් තිබෙන්නේ සාම්ප්‍රදායික බහු පක්ෂ අර්ථයෙන් කවර හෝ පුද්ගලයකුට බලය පැවරුවාට විසඳාගත හැකි තැනක නොවේ. මේ ගැන ප්‍රධාන පක්ෂ නායකයන් අවංකව කතාබහ කර සම්මුතියකට පැමිණිය යුතුය. අඩුම තරමින් ඉදිරි වසර කීපයේදී තීරණාත්මක ලෙස විදෙස් සංචිත පිළිබඳ ප්‍රශ්නය බේරාගත යුතුය. මෙවැනි කලක් මින් පෙර ලංකා ඉතිහාසයේ තිබුණේ නැත. ජනතාවත් මේ දේවල් පාක්ෂික වහල් බැමිවලින් මිදී තේරුම් ගත යුතුය.

මේවා විවේචනයට කොන්දක් ඇති විශ්වවිද්‍යාල ප්‍රධානීන් බේතකට නැත. එම ප්‍රධානී තනතුරුවලට නැවතත් පත්කරන්නේ තමන් බලයට ගෙන ඒමට සහාය දැක්වූවන්ය. සම්භාව්‍ය අර්ථයෙන් දැන් මේ රටේ විශ්වවිද්‍යාල ක්‍රමයක් නැත. මේ නම් කවර රටක්ද? පරිපාලන තන්ත්‍රයේ ඉහළම තීන්දු ගන්නා තැන්වල අද සිටින්නේ ද මේ බණ්ඩාරනායක මහතාගේ පහනින් එළිය ලබා ඉණිමගේ ඉහළට ආවෝය. දේශපාලකයන් වංචා, දූෂණ කරන්නේ මේ අයගේ ද සහයෝගයෙනි. දැන් ඒ පිරිස්ම පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගැන්වීමේ ආණ්ඩුවේ වෑයම ගැන ප්‍රහර්ෂයෙන් කතා කරති. එක භික්ෂූන් වහන්සේ නමක් ඒ ගැන කතා කළේ නැත. මිනිස්සු එය වර්ණනා කරති.

එවිට මේ සිංහල අපගෙ රටයි සංකල්පයට වන්නේ කුමක්ද? මේවා ව්‍යාජෝක්තීන් නොවේද? මා කියන්නේ මේ බොරු කරා ඇති කියාය. රට දැන් තිබෙන්නේ සෝමාලියාවක් වන තැනටය. එක පසෙකින් චීනයයි. අනෙක් පසින් ඉන්දියාවයි. තවත් පසෙකින් ඇමෙරිකාවයි. තරුණයන් රට හැරයන්නේ ආර්ථික සාධකය නිසාම නොවේ. ආණ්ඩුකරණයෙහි අවිනිශ්චිතභාවය ද සමගය. හෙට අනිද්දා වැඩිහිටි අප මිය යනු ඇත. එහෙත් අපේ දරුවන්ට රටක් තිබිය යුතුය. 

පාර්ලිමේන්තුව තනිකරම රඟමඩලකි. කිසිවෙක් මේ වැරැදි බාරගන්නේ නැත. අවසාන විග්‍රහයේදී සියලු දෙනාම කියන්නේ අපට ඡන්දය දුන්නේ ජනතාව කියාය. මේ නොකියා කියන්නේ ඡන්දය දුන් ජනතාව වැරැදි බවද? ශ්‍රී ලංකාව දැන් තිබෙන්නේ තීරණාත්මක සංධිස්ථානයකය.

ලංකාවේ ඉතිහාසය අනුව අපට උදව් කළ හැකි මිතුරෝ සිටිති. තන්වැසි නුවණ යනු එයයි. එහෙත් අපේ නායකයන් තෝරාගත්තේ වහල්භාවයයි. විද්වතුන් යැයි කියන අය මේ දේවල් ගැන කියන්නේ කුමක්ද? රටේ විද්වතුන් යැයි කියන පිරිස දේශපාලකයන්ට කුලියට කහින්නෝ වී සිටිති. ආගමික සංස්ථාව ගත්තත් වෙනසක් නැත. කිසිදු ගතයුත්තකට නැති දේශපාලුවන්ගේ කිලිටි සෝදන්නට කැපවෙන තැනට මේ පිරිස් පත්ව සිටිති. මම තාමත් කියන්නේ මේ රට අද්විතීයයි. එහෙත් අපේ නෛසර්ගික හැකියා මොට කරලාය. මේ තැනින් ඔබ්බට තීන්දුවක් නොගත්තොත් රට ඈවරය.

ඒ තීන්දුව ගැනීමට තරුණ පරපුර නොබියව පෙරට පැමිණිය යුතුය. මේ ඉල්ලීම ඔවුන්ටය. දැන් මේ රටේ පාලනය බාරගැනීමට පිරිසක් නැත. දේශපාලන පක්ෂ සාම්ප්‍රදායික අර්ථයෙන් නායකයන් බිහි කරන තැන් නොවේ. ඒ බව දේශපාලන පක්ෂ පවා දනී. අඩුම තරමින් රටේ අනාගතය බාරගන්නා පිරිසට යෂ්ටිය බාරදෙන ක්‍රමයක්වත් වැඩිහිටියන් සැකැසිය යුතුය. මේ රටේ තීන්දු ගන්නා තැන්වල ඉන්නා සියල්ලෝ දැන් පරණය. ඔවුන්ට මේ කුණු වී ඕජස් ගලන ප්‍රශ්නවලට විසඳුම් නැත. විසඳුම් තිබුණත් ඔවුන් සිතන්නේ තමන් තමන්ගේ පවුල යන පටු බලලෝභී ආර්ථික දෘෂ්ටියෙනි. 

ඇත්තවශයෙන්ම බණ්ඩාරනායකගේ පහනින් එළිය ලැබූවන්ගේ දරුවෝ මේ රටේ දැන් නැත. එළියෙන් බලවත්ව දේශපාලනය කරන පිරිස් පවා සිය දරුවන් මේ රටින් පිටකරති. ඒ මදිවාට රටේ අනාගතයක් ඇති ජීවනාලිය බඳු තරුණයන්ට රට එපා කරවති. එනිසා රටේ බලය ගැනීමට අපේක්ෂා කරන පිරිස් පවා මේ කරුණු ගැන සිය මතය අවංකව ප්‍රකාශ කළ යුතුය. ලංකාව දැන් තිබෙන්නේ සාම්ප්‍රදායික බහු පක්ෂ අර්ථයෙන් කවර හෝ පුද්ගලයකුට බලය පැවරුවාට විසඳාගත හැකි තැනක නොවේ. මේ ගැන ප්‍රධාන පක්ෂ නායකයන් අවංකව කතාබහ කර සම්මුතියකට පැමිණිය යුතුය. අඩුම තරමින් ඉදිරි වසර කීපයේදී තීරණාත්මක ලෙස විදෙස් සංචිත පිළිබඳ ප්‍රශ්නය බේරාගත යුතුය. මෙවැනි කලක් මින් පෙර ලංකා ඉතිහාසයේ තිබුණේ නැත.

ජනතාවත් මේ දේවල් පාක්ෂික වහල් බැමිවලින් මිදී තේරුම් ගත යුතුය. ජනතාව මෝඩයන් ගැත්තන් බවට පත්කර අවසාන විග්‍රහයේදී ජනතාවම වැරැදිකරුවන් කරන මේ ඛේදයෙන් පුරවැසියන් හැටියට ගොඩ එන ක්‍රමය ගැන ජනතාවත් කල්පනා කළ යුතුය. මේ රටට විශාල පරිවර්තනයක් අවශ්‍යය. එළඹ ඇත්තේ දේශපාලන පක්ෂ භජනයෙන් තොරව නිදහස් ස්වාධීන මිනිසුන් හඬ නැගිය යුතු අවධියකි. මිනිසුන් අද සිටින්නේ ආගමික සංස්ථා පවා එපා වූ තැනකය. සැබැවින්ම ඒ අපේක්ෂාභංගත්වය කලකිරීම රටේ යහපත් දේශපාලන පරිවර්තනයකට හොඳ තෝතැන්නකි.

ඊනියා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී කතාවලින් ඔබ්බට ගොස් මහජනයාගේ සාරයෙන් උපදින ජනරජ ව්‍යවස්ථාවක් කරා ඒ ගමන යන තැනට අවශ්‍ය නම් අපට පාර කපාගත හැකිය. අවශ්‍ය වන්නේ නොබියව ඒ සඳහා පෙරට පැමිණීමය. තැනින් තැන අසංවිධිත ලෙස සාකච්ඡාවට සම්මුතියට තැනෙන වේදිකා ඒ සඳහා අපට භාවිත කළ හැකිය. අවසාන විග්‍රහයේදීත් මා කියන්නේ ඒ තැනෙන වේදිකාවල නායකත්වය ගන්නට තරුණ පරපුර පෙරට ආ යුතු බවය. අලුත් ලෝකය තනන්නට දැන් සිටින බොහෝ පක්ෂ නායකයන්ට තවදුරටත් නොහැකි බව ක්‍රියාවෙන් ඔප්පු කරන හැටියටය.

සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ හිටපු මහාචාර්ය ඩබ්ලිව්.පී.ගාමිණි අල්විස්



අදහස් (0)

පරිවර්තන යුගයක අවශ්‍යතාවය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3444 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12373 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 593 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 961 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1041 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 503 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site