IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පාරිශුද්ධ දේශපාලනයේ ලාංකික ප්‍රතිමූර්තිය - ඩඩ්ලි සේනානායක

වසර 110කට පෙර 1911 ජුනි 19 වැනිදා උපත ලද ඩඩ්ලි සේනානායක මහතාගේ දේශපාලන භූමිකාව විග්‍රහ කෙරෙන මේ ලිපියේ පළමුවැනි කොටස ඉකුත් අප්‍රේල් මස 13 වැනිදා දිනපතා ලංකාදීප පත්‍රයේ පළකරනු ලැබීය. එතුමාගේ ජන්ම දිනය සමරමින් අද (19) පළවන්නේ මෙහි දෙවැනි කොටසයි.

මේ වනවිට කරලියට පැමිණ තිබෙන ශ්‍රී ලාංකික කෘෂිකර්ම සංවර්ධනය සම්බන්ධව ඔහුගේ නායකත්වයෙන් සැපැයූ දායකත්වය, විශේෂයෙන්ම 1965-70 අතර යුගයේදී හඳුන්වා දී සාර්ථකව ක්‍රියාත්මක කරන ලද ‘හරිත විප්ලවය’ අගය කළ යුතුය.

 එ.ජා.ප. දේශපාලනයට එරෙහි විදේශ ප්‍රතිපත්ති විචාරකයන් සමාජයේ තහවුරු කරන්නට උත්සාහ කරන එක් සාවද්‍ය මතවාදයක් වන්නේ 1956ට පෙර පැවැති එ.ජා.ප. රජයන්ට ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් නොතිබුණ බවයි. වෙනෙකක් තබා ලංකාවට නියම නිදහස ලැබුණේ 1956 බවටත් මතවාදයක් තහවුරු කරන්නට කලකට පෙර උත්සාහ ගනු ලැබීය.

බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබූ දකුණු ආසියාවේ රටවල් කිහිපයකට එනම්, ඉන්දියාව, පාකිස්තානය, වර්තමාන මියන්මාරය එවකට බුරුමය හා ශ්‍රී ලංකාව ඒ අතර වේ. 1947 අගභාගයේ හෝ 1948 මුල් භාගය තුළ දේශපාලන ස්වාධීනත්වය ලැබූ මෙම රටවල් තවදුරටත් පොදු රාජ්‍ය මණ්ඩලය තුළ සිටින අතර, ස්වාධීන රාජ්‍යයන් වශයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබීය. දකුණු ආසියාවේ විශාලතම රට වන ඉන්දියාව ඉක්මනින්ම ජනරජයක් වශයෙන් කටයුතු කරන්නට අවශ්‍ය ව්‍යවස්ථාමය පියවර ගත් අතර, මෙම සෑම රටක්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ තම සාමාජිකත්වය ලබාගැනීමට පියවර ගත්තේය. එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමිවන්නේ එහි මහා මණ්ඩලයේ සම්මතයෙන් වන අතර, එසේ එකඟත්වය ලබාගැනීමේදී එක්සත් ජාතීන්ගේ නිෂේධ බලය හිමි ලොව ප්‍රබල රාජ්‍යයන් පාහේ එනම්, ඇමෙරිකා එක්සත් ජනපදය, එවකට පැවැති සෝවියට් සංගමය, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා චීන ජනරජය (චීන මහජන සමූහාණ්ඩුව නොවේ) එම රටවල් පහේ එකඟත්වය අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වේ.

එහෙත් ඒ අවස්ථාවේදී සෝවියට් සංගමය තම නිෂේධ බලය යොදා ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබාගැනීම වළක්වනු ලැබීය. සෝවියට් සංගමය ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය 1955 දක්වා දිගින් දිගටම අහිමි කරන අතර, ශ්‍රී ලංකාවට සමානව බ්‍රිතාන්‍යයෙන් ස්වාධීනත්වය ලබාගන්නා සෙසු දකුණු ආසියාතික රටවලට එනම්, ඉන්දියාව, පාකිස්තානය හා බුරුමයට එසේ හිරිහැර නොකළේය. යටත් විජිතයන්ව පැවැති මෙම රටවල් පහටම නිදහස ප්‍රදානය කළේ එක හා සමාන අන්දමිනි.

එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට අහිමි වුණත් නිදහස ලැබීමත් සමගම ලෝකයේ බලගතු රටවල් මෙන්ම විශේෂයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය හා ආසියානු රටවල් සමඟ තානාපති මට්ටමේ සම්බන්ධතා ශ්‍රී ලංකාව ස්ථාපනය කරගනු ලැබීය. ආසියානු රටවල් අතරින් ඉන්දියාව, පාකිස්තානය, බුරුමය, ඉන්දුනීසියාව, ජපානය ඒ අතර ප්‍රමුඛ වේ. චීන මහජන සමූහාණ්ඩුව 1949 ඔක්තෝබර් මස ප්‍රකාශයට පත්වීමත් සමග 1950 ජනවාරි මස ශ්‍රී ලංකාව විසින් චීන මහජන සමූහාණ්ඩුව පිළිගනු ලැබීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් ස්ථාපනය කරන මහජන සමූහාණ්ඩුව ප්‍රථමයෙන් පිළිගත් දකුණු ආසියානු රට වන්නේ ශ්‍රී ලංකාවයි. එයට අමතරව මුල් යුගයේ ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන විදේශ භූමිකාවන් වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වයෙන් ‘කොළඹ ක්‍රමය’ (Colombo Plan) ස්ථාපනය කිරීම සහ දෙවැනි ලෝක යුද්ධයෙන් පරාජයට පත්ව සිටි ජපානයේ අනාගතය සම්බන්ධව තීරණයක් ගැනීම සඳහා පැවැති ‘සන්ෆ්‍රන්සිස්කෝ සමුළුවේ’ (St. Francisco Conference) දී ශ්‍රී ලංකාව ඉටුකරනු ලැබූ සුවිශේෂ කාර්යභාරයයි.

 ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ආරම්භක යුගයේ විශේෂයෙන්ම ඩඩ්ලි සේනානායක මහතාගේ රජය යටතේ 1952 දී ශ්‍රී ලංකාව මහජන චීනය සමග අත්සන් කරන ලද ‘රබර්-සහල් ගිවිසුම’ (Rubber-Rice Agreement) ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්ති ස්වාධීනත්වය මැනවින් සටහන් කරයි.

මෙම ගිවිසුම අත්සන් කිරීමේදී සිදුවන විශේෂත්වය වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බොහෝ බටහිර රටවල් මෙම ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් කිරීම අනුමත නොකර විරෝධය පළ කිරීමයි.

සෝවියට් සංගමය ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තම නිෂේධ බලය යොදමින් වළකාලන පසුබිමක් යටතේ එවකට සමාජවාදී කඳවුරේ රටක් ලෙස ඉදිරියට එමින් සිටි මහජන චීනය සමග ශ්‍රී ලංකාව තමන් සමග මිත්‍රශීලීව කටයුතු කළ බටහිර රටවල විරෝධය නොතකා රබර්-සහල් ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ මෙන්ම ඩඩ්ලි සේනානායක මහතාගේ ස්වාධීන විදේශ ප්‍රතිපත්තියේ ශක්තිය ලොවට පැහැදිලි කරන ලද කදිම අවස්ථාවක් විය.

1952 ඔක්තෝබර් 4 වැනිදා මහජන චීනයේ බීජිං (Beijing) අගනුවර දී අත්සන් කරන ලද ගිවිසුමට ලංකාව වෙනුවෙන් ඩඩ්ලි සේනානායක රජයේ වෙළෙඳ හා වාණිජ කටයුතු ඇමැතිවරයා වූ ආර්.ජී. සේනානායක මහතාත්, චීන මහජන සමූහාණ්ඩුව වෙනුවෙන් එරට විදේශ වෙළෙඳ අමාත්‍යවරයා වූ Ye Jizhang මහතාත් චීන මහජන සමූහාණ්ඩුවේ අග්‍රාමාත්‍ය Zhou Enlai මහතා ඉදිරියේදී අත්සන් කරනු ලැබීය. වසර පහක් සඳහා බලපැවැත්වෙන ලෙසට අත්සන් කළ ගිවිසුමේ කොන්දේසිවලට අනුව අවශ්‍ය වේ නම් දෙරටේම එකඟත්වය ඇතිව ගිවිසුම තවදුරටත් දිගින් දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය කොන්දේසි අදාළ ගිවිසුමේ අන්තර්ගත විය. ඒ අනුව, වසර පහෙන් පහ හය වතාවක් මෙම වෙළෙඳ ගිවිසුම දීර්ඝ කරමින් 1982 දක්වා දශක තුනක් අඛණ්ඩව පවත්වාගනු ලැබීය.

මෙම වෙළෙඳ ගිවිසුම ලොව රටවල් දෙකක් අතර දීර්ඝතම කාලයක් පැවැති ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම ලෙස වාර්තා පොත්වලට ඇතුළත්ව ඇති අතර, 1982 වනවිට අප රට සහලින් ස්වයංපෝෂිත වීම මත තවදුරටත් එම ගිවිසුම දීර්ඝ කරලීම අවශ්‍ය නොවීය. එහෙත් වර්තමානයේ කෘෂිකර්මය තුළ ඇති වී ඇති අර්බුදය මත යළි සහල් ආනයන ගිවිසුමක් චීනය සමග හෝ වෙනත් රටක් සමඟ අත්සන් කරන්නට සිදු වුවහොත් එය පුදුමයක් නොවනු ඇත.

1965 දී ඩඩ්ලි සේනානායක රජය හඳුන්වා දුන් හරිත විප්ලවයෙන් කෘෂිකර්ම ක්‍ෂේත්‍රය තුළ ඇති වී ඇති විශ්මයජනක ප්‍රගතිය ආපසු හැරැවීම තුළින් 1952වනවිට තිබූ සහල් හිඟයට ප්‍රතිකර්මයක් ලෙස එවකට පැවැති ඩඩ්ලි සේනානායක රජය චීන-ලංකා රබර්-සහල් ගිවිසුමට එළැඹුණ අන්දමටම ශ්‍රී ලංකාව යළි සහල් ආනයන ගිවිසුමකට චීනය සමග හෝ වෙනත් රටක් සමග අත්සන් කරන්නට සිදු වුවහොත් එය දෛවයේ සරදමක් වනු ඇත.

ඩඩ්ලි සේනානායක නායකත්වයෙන් පැවැති රජයන් මහජන චීනය සමග කටයුතු කිරීමේදී මෙන්ම විශේෂයෙන් 1965න් පසු යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සමග ස්වාධීන නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් විශේෂයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් හා ආසියනු රටවල් සමඟ සහයෝගිතාවෙන් කටයුතු කරනු ලැබීය.

මෙම යුගයේදී ඩඩ්ලි සේනානායක රජය ගනු ලබන තීරණාත්මක තීන්දුවක් වන්නේ ‘ආසියාන්’ හෙවත් Association of South-East Asian Nations - ASEAN සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා කරන ලද ආරාධනයට ශ්‍රී ලංකාව එකඟ නොවීමය. මෙම තීරණයට පසුබිම වන්නේ අද වනවිට ආසියාන් සංවිධානය කලාපීය ආර්ථික සහයෝගිතාව පදනම් කරගත් සංවිධානයක් බවට පත්ව ඇතත්, 1967 එම සහයෝගිතාව ආරම්භ වන්නේ ඒ වනවිට ඉන්දු-චීන කලාපයේ ව්‍යාප්ත වෙමින් පැවැති කොමියුනිස්ට් ත්‍රස්තවාදයට එරෙහිව එම අභියෝගයට මුහුණ දුන් රටවල් ලෙස සිංගප්පූරුව, මලයාසියාව, තායිලන්තය, පිලිපීනය හා ඉන්දුනීසියාව එක්ව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර කඳවුරේ ආශිර්වාදය මත කොමියුනිස්ට් විරෝධී දේශපාලන සහයෝගිතාවක් ලෙසයි. නොබැඳි පිළිවෙතක් වෙනුවෙන් පෙනී සිටින රටක් ලෙස කොමියුනිස්ට් විරෝධී සහයෝගිතා සංවිධානයක සාමාජිකත්වය ලබාගැනීම ඒ අනුව නොබැඳි පිළිවෙතින් ඉවත් වීමකි.

මෙම සාධකය විග්‍රහ කරන විට එ.ජා.ප. රජයන්ට පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් තිබූ බව පැහැදිලි වේ. එපමණක් නොව 1955 දී පැවැත්වූ බැංඩු සමුළුවේදී Bandung Conference in Indonesia නොබැඳි විදේශ ප්‍රතිපත්තියේ පදනම වන පංචශීල ප්‍රතිපත්තියේ කොටස්කරුවෙක් බවට ද ශ්‍රී ලංකාව පත්වෙයි. එම සමුළුව තුළ ශ්‍රී ලංකාව නියෝජය කරන්නේ එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි සර් ජෝන් කොතලාවල මහතාය.

ඩඩ්ලි සේනානායක රජයන්ට ඉන්දියාව සමග පැහැදිලි සුහද විදේශ සබඳතා පවත්වාගෙන යන්නට පුළුවන් වූ අතර, ඒ අනුව ඉන්දියානු සම්භවයක් සහිත උඩරට කඳුකරයේ සේවය කළ ඉන්දියානු වතු කම්කරු පවුල්වල පුරවැසි ප්‍රශ්නය විසඳීම සඳහා ඉන්දියාවට මෙන්ම ශ්‍රී ලංකාවටත් ප්‍රශ්නයේ විෂයක සාධකය වූ ඉන්දියානු සම්භවයක් සහිත වතු කම්කරු ප්‍රජාව ද සෑහීමට පත්වන අයුරින් එම ප්‍රශ්නය විසඳීම සඳහා ඩඩ්ලි සේනානායක මහතා සුවිශේෂ දායකත්වයක් සපයනු ලැබීය. ඔහුගේ දායකත්වය අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටියදී මෙන්ම විපක්ෂ නායකවරයාව සිටියදීත් දේශපාලනයෙන් ඈත්ව සිටි යුගයේදීත් සැබෑ රාජ්‍යතාන්ත්‍රිකයෙක් ලෙස ලබාදෙනු ලැබීය.

එමෙන්ම කච්චතිව් ප්‍රශ්නය විසඳීම සඳහා ඉන්දිරා ගාන්ධි මැතිනිය සමග ඵලදායි සාකච්ඡා ආරම්භ කරන්නේ ද ඩඩ්ලි සේනානයක මහතා අවසාන වතාවට අග්‍රාමාත්‍ය ධුරයේ සිටි 1965-70 යුගයේදී වන අතර, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ යුගයේදී කච්චතිව් දූපත ලංකාවට පැවැරීමේ කටයුතු සාර්ථකව අවසන් වෙයි. ඩී.ඇස්. සේනානායක යුගයේ සිට සේනානායකවරු, කොතලාවල-බණ්ඩාරනායකවරු ඉන්දු-ලංකා ප්‍රශ්න විසඳීමේදී ජාතික අවශ්‍යතාව පදනම් කරගෙන දැඩි සහයෝගිතාවෙන් කටයුතු කර තිබීම නිදහසින් පසු ශ්‍රී ලංකා දේශපාලනයේ කැපී පෙනෙන සාධකයකි. මෙම අගමැතිවරු සියල්ලටම පාහේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා තම අත්දැකීම් මත එළිදක්වන ලද කෘතියෙන් මෙම කරුණ මැනවින් පැහැදිලි වේ.

ඒ අතර, ඉන්දිරා ගාන්ධි මැතිනියගේ රජය ඩඩ්ලි සේනානායක රජය ලවා ඉන්දියා සාගරය සාම කලාපයක් එනම්, ඉන්දියානු සාගරය තුළින් සියලුම සුපිරි බලවතුන් ඉවත් කරලීම සඳහා එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරලීමට උත්සාහ ගත්ත ද ඩඩ්ලි සේනානායක රජය ඒ සඳහා ඉදිරිපත් නොවන්නේ සියලු සුපිරි බලවතුන් ඉන්දියානු සාගරය තුළින් ඉවත් වූ පසු ඉන්දියානු සාගර කලාපය තුළම සිටින ඉන්දියානු බලවතාගේ නාවික බලය ඉදිරියේ ඉන්දියානු සාගරය හා සම්බන්ධ අනෙකුත් රටවලට ඉන්දියාවෙන් ඇතිවීමට හැකි අනතුරු ගැන නිසි අධ්‍යයනයකින් තොරව එය නොකළ හැකි හෙයිනි. ශ්‍රී ලංකාවේම ඉතිහාසය ගතහොත් 1505ට පෙර සියලුම දේශපාලන ආක්‍රමණ ලංකාවට පැමිණියේ ඉන්දියාවෙනි. ඒ යුගයේ වර්තමානයේ මෙන් එක බලවත් රාජ්‍යයක් ඉන්දියාවේ නොතිබුණ අතර, 1947 බිහිවන ඉන්දියාව මේ වනවිට කලාපයේ පමණක් නොව ලෝකයේම බලගතු රාජ්‍යයක් බවට පත්ව ඇත. අනාගතයේ තනි සුපිරි නාවික බලවතකු ඉන්දියානු සාගර කලාපය තුළ ඇතිවීමෙන් කලාපයේ අනෙකුත් රටවලට සිදුවිය හැකි අභියෝගය ගැන මෙනෙහි කර ඩඩ්ලි සේනානායක රජය එම යෝජනාව එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට යෝජනා කිරීමට එකඟ නොවේ.

එහෙත් 1970 මැතිවරණ පරාජයත් සමග බිහිවන සමගි පෙරමුණු රජයේ අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉන්දියානු සාගර කලාපය සාම කලාපයක් බවට එනම්, බාහිර බලවතුන් මෙම කලාපයෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කරයි.

මේ වනවිටත් ඩියාගෝ ශාර්ෂියාවල ඇමෙරිකන් කඳවුරු ඇති අතර මෙම කලාපයේ බලවතා වන ඉන්දියාව මේ වනවිටත් ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ජපානය සමග එක්ව ආරක්ෂක සහයෝගිතාවකට අවතීර්ණ වී ඇත. ඉන්දියානු සාගර කලාපය සාම කලාපයක් විය යුතුය වැනි ක්‍රියාත්මක කිරීමට බලයක් නැති අර්ථ විරහිත යෝජනා ශ්‍රී ලංකාව විසින් ඩඩ්ලි සේනානායක රජය ඉදිරිපත් නොකිරීම කොතරම් අර්ථවත්දැයි ආපසු හැරී බලනවිට පැහැදිලි වේ.

ඩඩ්ලි සේනානායක මහතා තම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ සංදර්ශන පැවැත්වූයේ නැත. මහජන මුදල් දසලක්ෂ ගණනින් වැය කරමින් සිය ගණනක් කැඳවාගෙන වාර්ෂිකව නිව්යෝර්ක් නුවරට ගොස් විනාඩි තුන හතරක දේශන පැවැත්වූයේ නැත. එහෙත් ඒ වෙනුවට සෑම සති අන්තයකම පාහේ තමන්ගේ කෘෂිකර්ම හා ඉඩම් ඇමැතිවරයා වූ එම්.ඩී. බණ්ඩා මහතා සහ කෘෂි ක්‍ෂේත්‍රයේ නිලධාරීන් පිරිවරා ගෙන රට පුරා ගොවි ජනතාව මුණගැසීම සඳහා රටේ සිව් කොනටම ගමන් කළහ. 1965 හඳුන්වා දුන් හරිත විප්ලවයේ ප්‍රතිඵල මහ බැංකු දත්තවල මැනවින් පැහැදිලිව ඇත.

අවාසනාවකට හරිත විප්ලවය තුළින් කෘෂිකර්ම අංශයේ ශ්‍රී ලංකාව මේ වනවිට ලබා ඇති ප්‍රගතිය ආපසු හැරවීමට වර්තමාන පාලකයන් පියවර ගනිමින් සිටී. තමන්ගේ යැපීමට මට්ටමට එහා ගිය කෘෂි නිෂ්පාදනයන් වෙළෙඳපොළ හරහා රටේ සමස්ත ජනතාවට සපයන්නට පුළුවන් වූයේ හරිත විප්ලවයෙන් ලද පුළුල් ඵලදාව මතයි.

1948 නිදහස ලබනවිට පරම ආයුෂ වයස අවුරුදු 42ක් වූ මිලියන හතක ජන සංඛ්‍යාවකට ආහාර සපයන්නට ප්‍රමාණවත් නිෂ්පාදනයක් නොතිබුණ ශ්‍රී ලංකාව, මේ වනවිට පරම ආයුෂ අවුරුදු 75 ඉක්මවා ගිය මිලියන 22කටම තුන් වේල කන්නට අවශ්‍ය නිෂ්පාදනය රට තුළින් ලබාගන්නට අපගේ කෘෂිකර්මාන්තය සමත් වී ඇත.

වෙළෙඳපොළ බලවේග ක්‍රියාත්මක වී පොහොර වෙළෙඳපොළින් මිලදී ගෙන තම කෘෂිකර්ම නිෂ්පාදනයන් පවත්වාගෙන යන්නට තරම් ආත්ම විශ්වාසයක් ඇති අභිමානවත් ගොවි ජනතාවක් මේ වනවිට බිහි වී ඇත.

ඒ ශක්තිය සඳහා පදනම වැටුණේ 1965 ඩඩ්ලි සේනානායක රජය ක්‍රියාත්මක කළ විද්‍යාත්මක කෘෂිකර්මය පදනම් කරගත් හරිත විප්ලවයෙන් ඇති වූ සාධනීය බලපෑම මතයි. මේ සඳහා 1931 සිට ක්‍රියාත්මක වූ ගොවි ජනපද ව්‍යාපාරත්, ගල්ඔය, වලවේ, මහවැලි වැනි බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක වීමත් ප්‍රබල සාධකයක් වූ අතර, ගොවි ජනතාව ආර්ථික වශයෙන් දෙපයින් නැගී සිටීමට අවශ්‍ය උත්තේජනය ලබාදුන්නේ 1965 ක්‍රියාත්මක වීම ආරම්භ කළ හරිත විප්ලවයයි. කාබනික පොහොරවලින් පමණක් තමන්ගේ ආහාර නිෂ්පාදනය සම්පූර්ණ කරගත් තවත් රටක් ලොව කොතැනකවත් නැත. කාබනික පොහොරවලින් ලැබෙන ඵලදාව කිසිදු අන්දමකින් ප්‍රාමාණික වශයෙන් අවශ්‍ය කරවා ආහාර නිෂ්පාදනයක් ලබා නොදෙනු ඇත. කාබනික පොහොර මත නිෂ්පාදන වන කෘෂි භෝග ගුණාත්මක බවින් ඉහළ අගයක් ගන්නට පුළුවන. සමහරවිට තමන්ගේ පෞද්ගලික පරිභෝජනය සඳහා කාබනික පොහොර යොදමින් නිෂ්පාදනය කරන්නට සූදානම් පිරිසක් සිටී නම් ඒ සඳහා අවශ්‍ය පියවර ගත්තාට ප්‍රශ්නයක් නොවේ. එහෙත් ජාතික ආහාර සුරක්ෂිතභාවයට නියම අභියෝග එල්ලවනු ඇත්තේ සමස්ත කෘෂිකර්මය රාජ්‍ය හස්තයෙන් පැන රජයට අවශ්‍ය දේ පමණක් ගොවියන් ලවා කරලීමට ගන්නා උත්සාහය තුළයි.

අප රට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කෘෂිකර්ම පීඨ ගණනාවක් ඇත. කෘෂිකර්මයට අදාළ දෙපාර්තමේන්තුවල හා පර්යේෂණ ආයතනවල සිය ගණනක් කෘෂි විශේෂඥයෝ සිටිති. මේ අවස්ථාවේ රජය කළ යුත්තේ මේ සියලු දෙනාගේ අදහස් වීමසා ප්‍රායෝගික විසඳුමකට නොපමාව එළැඹීමයි. එසේ නොවුණ හොත් 2022 වසර වනවිට 1975-77 යුගයේ මෙන්ම කෙසෙල්බඩ, ගස්ලබු, හබරල කන යුගයක් හෝ ආනයනික සහල් හා තිරිඟු පිටි මත යැපෙන යුගයක් යළි උදාවනු ඇත.

ඩඩ්ලි සේනානායක යනු ශ්‍රී ලාංකික කෘෂිකර්ම ක්‍ෂේත්‍රයට මෑත යුගයේ අනුපමේය සේවයක් සිදුකළ කෘතහස්ත ජන නායකයෙකි. ගල්ඔය, වලව, මහවැලි බහුකාර්ය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට නායකත්වය දුන්නේ ඔහුය. කෘෂිකාර්මික නිෂ්පාදනයේ සැබෑ පිම්මක් පනින්නට අවශ්‍ය පසුබිම නිර්මාණය කළේ ඩඩ්ලි සේනානායකයි. ඒ සියල්ල අතර ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තියේ නොබැඳි ප්‍රතිරූපය ප්‍රවර්ධනය කරන්නටත් ආරක්ෂා කරන්නටත් මාධ්‍ය සංදර්ශනවලින් තොරව නායකත්වය දුන්නේ ද ඔහුය.

(*** ආචාර්ය - කරුණාසේන කොඩිතුවක්කු)



අදහස් (4)

පාරිශුද්ධ දේශපාලනයේ ලාංකික ප්‍රතිමූර්තිය - ඩඩ්ලි සේනානායක

Raveendra Saturday, 19 June 2021 03:33 PM

ඉතාමත්ම අවංක මෙන්ම වචනයේ අර්ථයෙන්ම දේශපාලඥයෙකි. මොහුගෙන් පසුව අප දුටු තවත් මෙවැනිම මහත්මා ගති පැවතුම් ඇති අනාගත දැක්ම හොඳින් තිබුණු දේශපාලඥයෙකි... ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා... මොවුන්ට අප සැමවිටම අවංක හදවතින්ම ගරු කරන්නෙමු. එලෙසම වර්තමානයේ දියවන්නාව 225න් එකෙකුටවත් මොවුන්ගේ ලඟින්වත් හිටගැනීමටවත් බැරිය... මෙම අදහස් දියවන්නාව හරක් ගාලේ සියලුම සතුන්ට කිසිඳු වෙනසකින් තොරව කියැවීමට හැකි වේවා...!!! 

:       0       197

NM Saturday, 19 June 2021 05:43 PM

දෙවැනි ලෝක යුද්ධයෙන් පරාජයට පත්ව සිටි ජපානයේ අනාගතය සම්බන්ධව තීරණයක් ගැනීම සඳහා පැවැති ‘සන්ෆ්‍රන්සිස්කෝ සමුළුවේ’ දී ශ්‍රී ලංකාව ඉටුකරනු ලැබූ සුවිශේෂ කාර්ය භාරයයි. ඉටුකරනු ලැබුවේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසිනි. එය අපට අමතක වුවද ජපන් ජාතිකයන් කිසිදා එය අමතක නොකරනු ඇත..

:       0       26

kapila Saturday, 19 June 2021 06:39 PM

නැවත මෙවන් නායකයෙකු මේ රටේ බිහි නොවනු ඇත...

:       22       78

යතිකා විදුමිණි Thursday, 04 January 2024 01:07 PM

හොඳයි....!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 829 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 401 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 132 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4296 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12710 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 697 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site