IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ප්‍රශ්න විසඳීමට මූණු වෙනස්කිරීමේ අසාර්ථක න්‍යාය

දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව ගැටුම් සහ කෝලාහලවලින් පන්නරය ලැබූ රටකි. අභ්‍යන්තර හෝ බාහිර කුමන්ත්‍රණ අලුත් සිද්ධි නොවේ. විනාශයකට පසු නැගී සිටීම, එයින් පසු නැවතත් විනාශය සාමාන්‍යකරණය වී ඇත. පසුගිය මාස ගණනක කාලය තුළ පැවැති ජනතා පෙළගැස්ම සුපුරුදු පරිදි අනපේක්ෂිත තත්ත්වයකින් අවසන් වී තිබේ. නැගිටීමක් තුළින් ජනතාව අපේක්ෂා කළ වෙනස්කම් ගණනාවකි. සිස්ටම් නොඑසේ නම් ව්‍යුහාත්මක වෙනස එයින් එකකි. විප්ලව සිදුවූ ආකාරය ලෝක ඉතිහාසය දක්වයි. ප්‍රංශය, රුසියාව, බ්‍රිතාන්‍ය, ඇමරිකාව හා චීනය යන රටවල දැවැන්ත විප්ලව සිදු වී තිබේ. ඒවායේ දී සිදුවූ හොඳ නරක ගැන අපට අත්දැකීම් ඇත.

ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි ලෝකය පුරා කැළැඹිලි සහ අරගල විශාල ප්‍රමාණයකි. බ්‍රිතාන්‍ය අගමැතිවරයා ධුර කාලයට කලින් ඉල්ලා අස් වී තිබේ. ජපානයේ හිටපු අගමැතිවරයා ඝාතනය කර ඇත. ජෝ බයිඩන් ජනාධිපතිවරයා, ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයාටත් වඩා දක්ෂිණාංශික බලවේගවලට ගොදුරු වී සිටී. අරගලයකින් පසු පලවා හැරි පාලකයාගේ ඊළඟ පරම්පරාව බලයට පත් කරන්නට පිලිපීනය තීරණය කර ඇත. ත්‍රස්තවාදයෙන්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සහ කොවිඩ් වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්ව තිබූ ජන ජීවිත, අරගලය සමග තවත් සංකීර්ණ තැනකය. ආණ්ඩුව අසාර්ථක බව එක පැත්තකි. සමාජ, දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වය අනෙක් පැත්තකි. ප්‍රශ්න විසඳා ගන්නා ආකාරය ගැන මතබේද තිබිය හැක. සාර්ථක ක්‍රම වෙනුවට ප්‍රායෝගිකභාවය මෙම අවස්ථාවේදී වැදගත්ය.

 

මම කරන්නම් සහ මට පුළුවන් න්‍යාය

අරගලය ජනාධිපති මන්දිරය දක්වා ගෙන ගිය ක්‍රියාකාරිකයන් රට පාලනය කළ යුතු ආකාරය දක්වන ප්‍රකාශනයක් නිකුත් කර තිබේ. අන්තර්කාලීන ආණ්ඩුවක්, එම ආණ්ඩුවට නෛතික බලපෑමක් කළ හැකි මහජන කවුන්සලයක්, දේශපාලන පත්වීම් සහිත සියලුම පිරිස ඉවත්වීමක් ඇතුළු කරුණු දැක්වේ. ජනතා බලය සහතික කෙරෙන ව්‍යවස්ථාවක් අවුරුද්දක් තුළ සම්මත කරගත යුතු අතර බදු ක්‍රමය සංශෝධනය හා විධායක බලය ඉවත් කිරීම වැනි කරුණු මාස හයක් තුළ ක්‍රියාවට නැංවිය යුතු බව අවධාරණය කර ඇත. අරගලයේ ක්‍රියාකාරිකයන්ගේ ඒකමතික අදහස යැයි පෙනෙන මෙම කරුණු දශක ගණනාවක් සාකච්ඡා කර එහෙත් එකඟත්වයකට එන්නට නොහැකි වූ ඇතැම් අංග ඇතුළත්ය. ශ්‍රී ලංකාව දැන් පවතින තැනින් ගොඩගන්නට මෙවැනි සරල සැලැස්මක් කිසිසේත් ප්‍රමාණවත් නැත.

මෙම තීරණාත්මක අවස්ථාවේදී අවධාරණය කළ යුතු වැදගත් කරුණක් තිබේ. රටක් ගොඩනගන විට අත්හැර දැමිය හැකි කොටසක් නැත. සෑම පුරවැසියකුටම අභිමානයක්, විනයක් හා හදවතක් ඇත. ප්‍රතිපත්තිමය මතවාද සාකච්ඡා කරන්නට හැකි පිරිසක් බවට ඔවුන් පත් කරගත යුතුය. අරගල ගෙනගිය ආකාරය අනුව එතැන විනයක් නැත. අභිමානයක් නැත. රජයේ දේපොළ ආරක්ෂා කරගත යුතු අතර ඉදිරියේදී තවත් තැන් අත්පත් කරගන්නට ඉඩ දිය යුතු නැත. මෙවැනි ක්‍රියාවලට උසිගන්වන ලද පිරිස, රට පරිහානිය කරා තල්ලු කරන කණ්ඩායමේ එක කොටසකි.

ආර්ථිකයක්, සමාජයක් ගොඩනගන ක්‍රමය තුළ තනි ගමන් නැත. තමන්ට කළ හැකි බව කල්පනා කිරීම තුළ අසාර්ථකත්වය තිබේ. එක ක්ෂේත්‍රයක දක්ෂ පිරිස් අනෙක් ක්ෂේත්‍රයක දක්ෂ නැත. ව්‍යාපාරික, ක්‍රීඩා, කලා හෝ වෙනත් අංශයක ප්‍රවීණයකු තමන් රටක් ගොඩනැගීමේදී ද සමර්ථ බව කල්පනා කිරීම වැරැදි අදහසකි. නිදහස් සටන ගෙන ගිය මහත්මා ගාන්ධි රාජ්‍ය පාලනයෙන් ඉවත් විය. ලෙනින්, මාවෝ සේතු වැනි විප්ලවීය නායකයන්ගේ සාර්ථකභාවය අද ප්‍රශ්න කෙරේ. බෙදීම් ඇති කිරීම හා කුලල් කා ගැනීම වෙනුවට පරිත්‍යාගයක්, කැපවීමක් මෙම අවස්ථාවේදී රටට අවශ්‍යය. රට කෙරෙහි අභිමානයක්, රට තුළ විනයක් ගොඩනගා ගත යුතුව ඇත. අපට නැත්තේ එකමුතුභාවයි. ආර්ථිකය ගොඩනගන, රට දියුණු කරන, ජාත්‍යන්තර අවබෝධය ඇති විශේෂඥයන් පිරිසක් රටට ඇත. එක හඬක්, එක සැලැස්මක් අවශ්‍ය කෙරේ.

 

සමබර ප්‍රජාතන්ත්‍රවාදයක වැදගත්කම

ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදය අප ඉදිරියේ ඇත. ජීවත්වීමේ ප්‍රශ්නය නොදැනෙන කිසිවකු නැත. සමාජයේ ඇති ප්‍රශ්න දේශපාලනඥයන් නොදන්නවා නොවේ. විදුලිය කපා හැර, ගෑස් නතර කර, ඉන්ධන ආනයනය නොකර කටයුතු කරන්නට කිසිම පාලකයකු කැමැති නැත. කාර්යාල කටයුතු, අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි අංශවල අර්බුද සැලසුම් සහගත කුමන්ත්‍රණ නොවේ. පාලකයන්ට දොස් පැවැරීමෙන් මූලික ප්‍රශ්න නිරාකරණය නොවේ. මුහුණු වෙනස් කිරීමෙන් ආර්ථිකයක් හැදෙන්නේ නැත. ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ අවශ්‍යය. නිෂ්පාදනය වැඩි කළ යුතුය. විදේශ වත්කම් උපයා ගැනීමට සිදුවේ. මෑත වසර දෙකක පමණ කාලය තුළ එම අංශ දුර්වල වී තිබේ. කාර්මික, කෘෂිකාර්මික හා තාක්ෂණික පැතිවල ආයෝජන අවශ්‍යය. ඇඟලුම් කර්මාන්තය අරඹන විට, අපහාස කළ අතර එයින් පසු අලුත් කර්මාන්තයක් නැත. විදුලිය හා ඛනිජ තෙල් අංශවල අවස්ථා ඇත. ත්‍රිකුණාමලය වරාය දියුණු කළ හැක. ඉන්දියාව, ජපානය වැනි රටවල සහාය සහිත ආයෝජනවලට කරන උපහාසවල තරම අනාගතයේ වටහා ගත හැක.

ආණ්ඩුවකින් යැපෙන, ආණ්ඩුවේ ආධාරයෙන් ජීවත්වන තැනට පත්වීම මෙම අර්බුදයේ ඇතුලාන්තය බව සඳහන් කළ යුතුය. ඡන්දය දෙන්නේ පෞද්ගලික අවශ්‍යතා සාක්ෂාත් කරගැනීමටය. ඡන්ද දායකයන් සිල්ලර දේ අපේක්ෂා කරන අතර ව්‍යාපාරිකයන්, අතරමැදියන් සහ රජයේ ව්‍යවසාය මහා පරිමාණයෙන්ය. ජනතා සහනවලට පමණක් නොව රජයෙන් යැපෙන ව්‍යාපාර විශාල ආර්ථික විනාශයක් සිදුකරයි. ඩොලර් ණයට ගෙන ආනයනය කරන අතර රට තුළ ගනුදෙනුවලට සල්ලි අච්චු ගහන ක්‍රමය අසාර්ථක එකකි. මුදල් මුද්‍රණය කර වෙළඳපොළ හදන හිස් චක්‍රයකින් රටට ඵලක් නැත. නිෂ්පාදනයක් කළ යුතුය.  ඛනිජ තෙල්, වරාය, විදුලිය, ගෑස් ඇතුළු අංශ තුළ පැවැති අසාර්ථක අනර්ථකාරී තීන්දු අද පවතින බිහිසුණු වාතාවරණය නිර්මාණය කර තිබේ. තරගකාරීත්වය හා පාරිභෝගිකයා ගැන කල්පනා කරන ක්‍රමවේදයක් ඇති කළ යුතුය. අසාර්ථකත්වයේ බර ජනතාවට දරන්නට සිදුවී තිබේ. දේශපාලන ක්‍රමය හා සමාන්තරව මෙම ජාල බිඳ ජාතික ආර්ථිකය රැක ගැනීම ඉතාම අවශ්‍ය කාරණයකි. අරගලයට පසු ඇති කරන අලුත් යුගයේ දී, පරිවර්තනයක් අවශ්‍යය. වහා තීරණ නොගැනීම අසාර්ථකත්වයට තවදුරටත් හේතු වනු ඇත.

 

මහජන නියෝජනය හැර වෙනත් ක්‍රමයක්

ඇතැම් දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරන නමුත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කිරීම භයානක තත්ත්වයකි. සියලුම දෙනා පාලනයට එකතු වන ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ද ප්‍රායෝගික නැත. අපේක්ෂකයන් තෝරන ක්‍රම වැරැදි නම්, වෙනස් කිරීම පක්ෂ සාමාජිකයන්ගේ වගකීමකි. නායකයා කැමැති පුද්ගලයා අපේක්ෂකයා කරන අතර ඡන්ද දායකයා තමන්ගේ වාසිය තකා මනාපය පළ කිරීම ද ගැළපෙන්නේ නැත. සුදුසු පුද්ගලයන් දේශපාලනයට ඇතුළු කරගැනීම හා ඔවුන් විනාශ නොකිරීම අපගේ වගකීමකි. වීදියේ අරගලයකින් බලයට එන්නට වෑයම් කරන පක්ෂ පවා ජනතාව අතරට ගොස් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ යුතු බව ද අවධාරණය කළ යුතුය.

රටට විශාල අභියෝගයක් තිබේ. ධනය උත්පාදනය කර, රැකියා ඇති කරන සහ සමාජ සාධාරණත්වය තහවුරු කළ යුතුව ඇත. බලයට පත්වන ආණ්ඩුවකට ප්‍රතිපත්ති, වැඩපිළිවෙළ හෝ විශ්වාසය අනුව ඉදිරියට යන්නට අවස්ථාව දිය යුතුය. මැතිවරණය පවත්වන ආකාරය, ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වෙනස් කළ හැකි අන්දම ව්‍යවස්ථාවෙන් නියම කර ඇත. බලහත්කාරයෙන් පලවා හැර බලය අල්ලාගත හැකි ක්‍රමය අනාගතයේ දී ද එය පූර්වාදර්ශයක් විය හැකි අතර මාසයකින් දෙකකින් ආණ්ඩු මාරු වන රටක් බිහිවනු ඇත.

විවේචන, විරෝධතා හා වර්ජන තුළ සීමාව ඉක්මවා නොයන විනය අවශ්‍යය. නිලධාරීන්ට අපහාස කරන, ආරක්ෂක අංශවලට අභියෝග කරන හා මැර කල්ලි ලෙස හැසිරෙන සංවිධානාත්මක ජාලා ප්‍රජාතන්ත්‍රවාදයට හානියකි. අදහස් දක්වන්නට, විරෝධය පළ කරන්නට ඉඩ තබන අතර සීමාව ඉක්මවා යන ඕනෑම අවස්ථාවක තද තීරණ ගැනීම අදට පමණක් නොව හෙට බලයට පත්වන නායකයන්ටත් වලංගුය. ජන ජීවිත අවහිර කරන සිද්ධිවලට එරෙහිව නීතිය හා අධිකරණය සාධාරණ තීරණ ගත යුතුව තිබේ.

 

අන්තවාදී ක්‍රියාවලින් ආර්ථිකයක් හැදීම

අද පවතින තත්ත්වය සලකා බලන පසු රජයේ ආදායම විශාල වශයෙන් අඩු වී ඇති බව පෙනේ. රජයේ වැටුප් හා ණය ගෙවීමට පවා ණය ගන්නට සිදු වී තිබේ. අධික ලාභ ලබන ව්‍යාපාරික අංශවලට තවත් බදු වැඩි කළ හැක. මෙම බදු මහජනතාව ගෙවන බද්දකි. ව්‍යාපාරික අංශ ඒවා ජනතාව වෙත පටවයි. ඒවා තේරුම් ගත යුතු අතර ආර්ථිකය පුළුල් කිරීම හා ලිහිල් කිරීමෙන් හැර සහනයක් නොලැබේ. ලෝකයේ අනෙක් රටවල් අනුගමනය කරන ප්‍රතිපත්ති අධ්‍යයනය කළ යුතු අතර අලුත් ක්‍රම අප්‍රමාණ ප්‍රමාණයක් අත්හදා බලා අසාර්ථක වී තිබේ. ශ්‍රී ලංකාවේ අපනයන ආදායම සීමිත අතර සංචාරක අංශයෙන් ලැබුණ ආදායම අඩු වී ඇත. විදේශ රැකියා කරන ආදායම ද සීමා වී ඇති අංශයකි. ආයෝජනවලට ඉඩ නොදෙන වෘත්තීය සමිති විරෝධතා පසුගිය කාලයේ තිබුණි. මේවායේ ප්‍රතිඵල අද අපට ලැබී ඇත. ඉන්ධන නැවක් මිලදී ගන්නට හෝ විනිමය නැත. දුෂ්කර තත්ත්වය අනුව මිත්‍ර රටවලින් හා මුල්‍ය අරමුදල වැනි ආයතනවලින් කෙටි හා දීර්ඝ කාලීන සංචිත පහසුකම් ඉල්ලා ඇත. ඒවා තාවකාලිකය. ආපසු ගෙවිය යුතුය. එයට සමාන්තරව විදේශ ආදායම වැඩි කරගත යුතුව තිබේ. සංචාරකයන් ගෙන්වාගත යුතුය. විදේශ ආයෝජන අවශ්‍යම අංශයකි. රජයේ වියදම වැඩි කරන අසාර්ථක ආයතන පෞද්ගලීකරණය කළ හැක. බලශක්තිය, තාක්ෂණ හා වෙනත් අංශවල ආයෝජනයට පෞද්ගලික අංශයට ඉඩ දිය යුතුය. ධනය යෙදවිය හැකි පරිදි රට තුළ විශ්වාසයක් ඇති කිරීම අවශ්‍යය. සැලැස්මක් සහිතව, පදනමක් සකස් කරගත හැකි වුවහොත් ශ්‍රී ලංකාවට අනාගතයක් ඇත. අද සටන් කළ යුතු අනාගත පරපුරට හොඳ රටක් නිර්මාණය කිරීමට බව අවධාරණය කළ යුතුව තිබේ.

පීඩනයක සිටින ජනතාව නැවත, නැවතත් පෙළැඹවීම පහසුය. දේපොළ හා ජීවිත විනාශ කරමින් කරන වෛරයේ අරගල රට එකතු කරන්නේ නැත. නැවත නැවතත් උද්ඝෝෂණ හා විරෝධතා ආර්ථිකය තවත් දුර්වල කරනු ඇත. සෑම අවස්ථාවකදීම අපහසුවට පත් වන්නේ සාමාන්‍ය ජනතාව බව මතක තබාගත යුතුය. අර්බුද වැඩි කිරීමෙන් විසඳුමක් ලැබෙන්නේ නැත. සාමාන්‍ය ක්‍රියාකාරිත්වය ඇති කරගත යුතුය. ආර්ථිකය නිවැරැදි කර පවතින උග්‍ර පසුබෑම වෙනස් කරන්නට ගත යුතු පියවර තිබේ. ඒවා කිසිසේත් ජනප්‍රිය තීන්දු නොවේ. ප්‍රතිසංස්කරණ සඳහා ඉදිරිපත්වන කිසිම නායකයකුට දේශපාලන අනාගතයක් නැත. ව්‍යුහාත්මක වෙනස්කම් කළහොත් ඒවායේ වාසි ලැබෙන්නේ බලයේ සිටින ආණ්ඩුවට නොවේ. මතු පරම්පරාවටය.

 

නොපමාව ගත යුතු තීරණ සමහරක්

මෙම තීරණාත්මක අවස්ථාවේ ආණ්ඩුවට අනුගමනය කළ හැකි ක්‍රම තුනක් තිබේ. වහාම ඡන්දයකට යා යුතුය. ජනතාවගේ තීන්දුව වැදගත්ය. මැතිවරණයක් තබන්නට ඇති අපහසු තත්ත්වය වෙනම කතා කළ යුතු කරුණකි. ආණ්ඩුව ඉල්ලා අස්වී වෙනත් පාර්ශ්වයකට පැවැරීම දෙවැනි ක්‍රමයයි. වඩා සාර්ථකව කළ හැකි බව විශ්වාස කරන පාර්ලිමේන්තුවේ දැනට ඇති පක්ෂවලට අවස්ථාවක්  ලැබේ. අනෙක් එනම් තුන්වැනි යෝජනාව හෙට පත්වන ඕනෑම ආණ්ඩුවක් ව්‍යවස්ථාපිත බලය අනුව රට මෙහෙයැවීමට තීරණය කිරීම බව අවධාරණය කළ යුතුය. නීතිය ක්‍රියාත්මක කළ යුතු අතර රට ගොඩනගන තියුණු ආර්ථික සැලැස්මක් අනුව පාලනයකට යා යුතුය. අලුත් සැලැසුම් නියමාකාරයෙන් ජනතාවට පහදාදීමේ වැඩපිළිවෙළක් ද අවශ්‍ය කෙරේ. ජනමාධ්‍ය විශේෂයෙන් සමාජ මාධ්‍යවලට මෙහිදී බරපතළ වගකීමක් ඇත.

ඉදිරි පියවර තුළ ආර්ථිකය ලිහිල් කරන තීන්දු ගණනාවකට ඉක්මනින් යා යුතුව ඇත. සමාජයෙන් එන දැවැන්ත අපවාදය සමග ආර්ථිකය හදන අලුත් සංකල්ප ජනගත කිරීම පහසු නැත. යෝජනා කරන අණ පනත්, සංශෝධනය කිරීමේදී දරුණු විවේචනවලට ලක්විය හැක. තීරණ ගැනීමට අසමත් පාලකයන් ක්‍රමයට නොගැළපේ. ලී ක්වාන් යූ මහතා සඳහන් කර ඇති පරිදි ඔහු ජනප්‍රියත්වය අපේක්ෂා කර නැත. ජනමතය ගැන වැඩි අවධානයක් යොමු කර නැති අතර එවැනි දේ ගැන කල්පනා කිරීම නායකත්වයක දුබලතාවක් බව දක්වා තිබේ. ජනප්‍රියත්වය ඉහළ පහළ යන ආකාරය ගැන කල්පනා කරන්නකු නායකයකු නොවන බව ලී ක්වාන් යූ මහතා දක්වන කරුණකි.

 

පරමාධිපත්‍යයේ බලය ආණ්ඩුවකට ඇත

ආණ්ඩුව අතිශය බලවත් ඒකකයකි. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ලැබී ඇත. සුළුතර බලයක් සහිත සහ ජනතා නියෝජනයක් පවා රහිත දේශපාලන පක්ෂ හෝ සංවිධානවලට ආණ්ඩුවක තීරණවලට අකුල් හෙළීම වරදකි. ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා හඳුනාගත යුතුව තිබේ. ප්‍රතිවිරුද්ධ අදහස් සාහසික හා විකෘති ඒවා බවට පත්වීමට ඉඩ දිය යුතු නැත. සැලකිය යුතු කාලයක් අන්තවාදයට ඉඩ තිබුණි. පසුගිය දශක හතර ඇතුළත ත්‍රස්තවාදය දක්වා හිස ඔසවන ලද බව සිහිපත් කළ යුතුය. දකුණේ සහ උතුරේ සිදුවීම්වලින් ඉගෙනගත් පාඩම් අමතක කළ යුතු නැත. ජාතිවාදී හා ආගම්වාදී අන්තවාදය රටට කරන ලද විපත සුළුපටු නොවේ. බලය ලබාගැනීම සඳහා සටන් කිරීමේ අයිතියක් දේශපාලන පක්ෂවලට ඇත. සටන යුක්ති සහගත හා සාධාරණ එකක් විය යුතු අතර ලේ ඉල්ලන අරගල රටට ඇති කරන විනාශය ගැන සංවාදයක් අපට අවශ්‍යය.

ආගමික නායකයන් සහ බුද්ධිමත් ජනතාව වත්මන් තත්ත්වය ගැඹුරින් සමාලෝචනය කළ යුතුව තිබේ. අන්තවාදය සුදුසු බව කිසිම ආගමක් හුවාදක්වා නැත. කරුණාව, මෛත්‍රිය හැර විනාශය ප්‍රාර්ථනා නොකරයි. නොපමාව තීරණ ගැනීමෙන් හැර පවතින ගැටලුවලට විසඳුමක් නැත.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපිනයට යොමු කළ හැකිය. තවත් අදහස් www.milinda.org වෙබ් අඩවියෙන් කියැවිය හැකිය.

(***)



අදහස් (3)

ප්‍රශ්න විසඳීමට මූණු වෙනස්කිරීමේ අසාර්ථක න්‍යාය

anura senaratne Tuesday, 12 July 2022 07:29 AM

ආණ්ඩුව අතිශය බලවත් ඒකකයකි. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ලැබී ඇත. සුළුතර බලයක් සහිත සහ ජනතා නියෝජනයක් පවා රහිත දේශපාලන පක්ෂ හෝ සංවිධානවලට ආණ්ඩුවක තීරණවලට අකුල් හෙළීම වරදකි. ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා හඳුනාගත යුතුව තිබේ. ප්‍රතිවිරුද්ධ අදහස් සාහසික හා විකෘති ඒවා බවට පත්වීමට ඉඩ දිය යුතු නැත. සැලකිය යුතු කාලයක් අන්තවාදයට ඉඩ තිබුණි.

:       0       0

ඉසුර රත්නායක Tuesday, 12 July 2022 12:59 PM

ඉතාම වැදගත් ලිපියක්... තරුණයෙකු වශයෙන් ඔබ විසින් සඳහන් කර ඇති කරුණු පිළිබඳව එකඟ වෙමි. නමුත් සිදුවී ඇති දෙය සිදුවී හමාරයි. නමුත් ජනපතිතුමා 13 වෙනිදා පවසන පරිදි ඉවත් වුවහොත් ඉන්පසු රටේ පැන නගින තත්වය කුමක්ද? පාර්ලිමේන්තු ඡන්දයෙන් මීළඟ ජනාධිපතිතුමා පත්කර ගැනීම කොතරම් දුරට ජනතා පරමාධිපත්‍යයට සාධාරණද? (මක් නිසාදයත් සමහරක් පිරිසක් 225ම නොගැළපෙන බව කියති) එසේ පත් කරගන්නා ජනාධිපතිතුමා අරගලකරුවන් විසින් පිළි නොගතහොත් ඉන්පසු ජනාධිපති කෙනෙකු පත්කර ගැනීමට ඡන්දයක් සඳහා යාමට ලංකාවේ ආර්ථිකයට හැකියාවක් පවතීද? යන කරුණුවලට පිළිතුරු සමග තවත් ලිපියක් ඉදිරිපත් කළ හැකිනම් ඉතාමත් අගයකොට සලකමි.

:       0       0

Niranji Tuesday, 12 July 2022 01:33 PM

ඔබේ අදහස් වලට ස්තුතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1994 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 11358 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 519 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 896 1

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 957 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 483 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site