IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


පිරිසක් සැනහෙන පිරිසක් විඳවන බදු චක්‍රය

 

රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ ණය වාරික නොව ණය පොලියවත් ගෙවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් දැන් රජයට නොලැබෙයි. එසේ වන තැනට රජය විසින් ද කටයුතු කර තිබෙන බවට චෝදනා එල්ලවෙයි. චෝදනා කරන අය එසේ කියන්නේ ජනාධිපතිවරණයෙන් ජයගත් වහාම කළ බදු සංශෝධනය හේතුවෙනි.

එහෙයින් රටේ බදු ප්‍රතිපත්තිය ගැන මේ විග්‍රහය කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි මහතාය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය දිනාගත් ඒ මහතා ශාස්ත්‍රපති උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ද ආචාර්ය උපාධිය කොළඹ හා ඕස්ට්‍රේලියාවේ ග්‍රිෆින් විශ්වවිද්‍යාලවලින් ද දිනාගෙන තිබේ. මේ ඒ මහතාගේ හඬයි.

රට මේ වනවිට මුහුණ දී සිටින ආර්ථික අර්බුද ගණනාවකි. ඒවා අභ්‍යන්තර හා බාහිර ලෙස වර්ග කළ හැකිය. ගෙවුම් ශේෂයේ පවතින ප්‍රශ්නය, විදෙස් විනිමය සංචිත ක්‍ෂයවීම, විනිමය අනුපාත කඩා වැටීම බාහිර අර්බුද ලෙස සැලකිය හැකිය. අභ්‍යන්තර අර්බුද ලෙස සැලකිය හැක්කේ ජාතික නිෂ්පාදනය කඩා වැටීම, බැංකු පද්ධතිය අවදානමකට ලක්ව තිබීම සහ විශාල වෙමින් පවතින අය-වැය පරතරය යනාදියයි. ඊට අමතරව ඒ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට ගොස් නිර්මාණය වූ අතුරු ප්‍රශ්න ගණනාවකුත් තිබේ.

මේ අර්බුදවලට හේතුව කොරෝනා වසංගතය ලෙස හුවාදැක්වීමට උත්සාහ කළ ද මේ අර්බුද ආරම්භ වන්නේ කොරෝනා සමග නොවේ. රජයේ අයවැය හිඟය පිළිබඳ දැවැන්තම ප්‍රශ්නයට හේතුව රජයේ වියදම් වැඩිවීම නොවේ. රජයේ ආදායම අඩුවීමයි.

රජයේ ආදායම අඩුවීමට මූලිකවම බලපෑ කාරණය ජනාධිපතිවරණය දිනාගත් පසුව දියත් කළ බදු සංශෝධන බව මගේ තක්සේරුවයි. එමගින් රජයේ බදු ආදායම විශාල ලෙස අහිමි විය. 2019 දී රජයේ මුළු ආදායම රුපියල් බිලියන 1,890 කි. 2020 දී එය රුපියල් බිලියන 1,368 කි. එය සියයට 28කින් හෙවත් රුපියල් බිලියන 522 කින් පහත වැටීමකි. එය එසේ වූයේ ජනාධිපතිවරයාගේ බදු සංශෝධන නිසාමය.

ලංකාවේ බදු නොවන ආදායම් ඉතා අඩුය. 2019 දී මෙරට බදු නොවන ආදායම රුපියල් බිලියන 155 කි. 2020 දී එය රුපියල් බිලියන 151 ක් විය. ඒ අනුව රටට වැඩියෙන්ම ආදායම් ලැබෙන්නේ බදුවලිනි. රටේ මුළු ආදායම කඩාවැටීම පිටුපස තිබෙන්නේ බදු ආදායම අඩුවීම බව ඒ අනුව පැහැදිලිය. රටේ බදු ආදායම රුපියල් බිලියන 1,735 සිට 1,216ක් දක්වා කඩා වැටුණේ ජනාධිපතිවරයාගේ බදු සංශෝධන නිසාය. ආසන්න වශයෙන් එය සියයට 30කින් කඩා වැටීමකි.

බදු සංශෝධන යටතේ ආදායම් බදු වෙනස් කිරීම, එකතු කළ අගය මත අය කරන බද්ද සංශෝධනය කිරීම සේම ජාතිය ගොඩනැගීමේ බද්ද, සෙස් බද්ද, නිෂ්පාදන බදු, සුරා බදු යනාදී සියල්ලේ ද වෙනස්කම් සිදු විය. ඒ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස රජයේ බදු ආදායම සියයට 30කින් අඩුවී රජයේ මුළු ආදායම සියයට 28කින් කඩා වැටිණි.

එහිදීත් විශේෂයෙන් පෙනෙන්නේ ඍජු බදු ආදායම සියයට 24කින් කඩා වැටීමය. බලය ලබාගැනීම සඳහා කිව්වේ වක්‍ර බදු අඩු කර සාමාන්‍ය ජනතාවට සහන දිය යුතු බවය. එහෙත් සිදු වුණේ වෙනකකි. එනම් ඍජු බදු ගෙවිය යුතු පිරිස සහ එතෙක් ඍජු බදු ගෙවූ පිරිස ඉන් නිදහස් කර දැමීමය. එතෙක් ඍජු බදු ආදායම, මුළු බදු ආදායමෙන් සියයට 25ක් පමණ විය. ආණ්ඩුවේ සංශෝධන නිසා එය සියයට 22ක් දක්වා අඩුවිය.

ඍජු බදු අඩු වූ කල වක්‍ර බදු වැඩි වෙයි. එනම් වක්‍ර බදු සියයට 75 සිට 78ක් දක්වා වැඩිවෙයි. එහෙත් මැතිවරණ ව්‍යාපාරයේදී කිව්වේ වක්‍ර බදු අඩු කරන බවකි. වක්‍ර බදු වැඩි වීමෙන් වන්නේ රටේ පුංචි මිනිසුන් මත පැටවෙන බදු බර වැඩිවීමය. එසේම ලොකු මිනිසුන්ගේ හෙවත් ධනපතියන්ගේ බදු බර සැහැල්ලු වීමය.

රජය පුද්ගල ආදායම් බද්දෙහි කළ සංශෝධනය තවත් උදාහරණයකි. එතෙක් බදු ගෙවූයේ අවුරුද්දකට ලක්ෂ 17කට වැඩි ආදායමක් ඉපයූ පුද්ගලයන්ය. එහෙත් සංශෝධන මත ඒ බදු නිදහස් සීමාව ලක්‍ෂ 30ක් දක්වා ඉහළ නැංවිණි. එතැන් සිට තවත් ලක්‍ෂ 30 දක්වා අය කරන්නේ සියයට හයක බද්දක් පමණි. ඒ කියන්නේ ලක්‍ෂ 60ක් දක්වා අය කරන්නේ සියයට හයක බද්දක් පමණකි. ඉන් පෙර පැවැති තත්ත්වය මත ලක්ෂ 60ක ආදායමක් උපයන පුද්ගලයකු සියයට 20 සිට 24 අතර බද්දකට යටත් විය. මේ සංශෝධන නිසා එතෙක් ආදායම් ලැබූ විශාල පිරිසක් බදුවලින් නිදහස් වූහ. සංඛ්‍යාත්මකව ගතහොත් ඒ නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපි ගොනු 4000ක් පමණ ඉවත දැමීමට සිදුවිය. ඒ සියල්ලෝ එතෙක් බදු ගෙවූවෝය. මේ සංශෝධන නිසා දැන් බදු ගෙවිය යුත්තේ මාසයක රුපියල් ලක්‍ෂ දෙක හමාරකට වැඩි ආදායමක් ලබන පුද්ගලයන්ය. එහෙත් සංශෝධනයට පෙර මාසයකට රුපියල් 142,000 කට වැඩි ආදායමක් ලබන පුද්ගලයන් බදු ගෙවිය යුතු විය. මේ සංශෝධන නිසා පුද්ගල ආදායම් බද්දෙන් පමණක් රජයට ලැබුණු රුපියල් බිලියන 160ක් අහිමි වී තිබේ. පුද්ගල ආදායම් බද්දෙන් පමණක් රජයට 2019 දී රුපියල් බිලියන 428ක් ලැබිණි. 2020 දී එය රුපියල් බිලියන 268 ක් දක්වා අඩුවෙයි. එසේ අඩු වූයේ ජනාධිපතිවරයාගේ බදු සංශෝධන නිසාය. මා මේ කියන්නේ මහ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාවේ 160 වැනි පිටුවේ සඳහන් තොරතුරු මිස මගේ හිතළු නොවේ.

අවධානයට ගතයුතු අනෙක් බද්ද වැට් ය. එය එකතු කළ අගය මත අයකරන බද්දකි. සාමාන්‍ය ජනතාව හිතන්නේ වැට් බදු අනුපාතය ඉහළ දැමූවිට තමන් මත පැටවෙන බදු බර ඉහළ යන බවය. එසේම වැට් බදු අනුපාත පහත දැමූවිට තමන් මත පැටවෙන බදු බර පහත වැටෙනු ඇතැයි ද ජනතාව විශ්වාස කරති. ඒ නිසා ආණ්ඩුව එතෙක් සියයට 15ක තිබු වැට් බදු අනුපාතය සියයට 08කට අඩු කිරීම ගැන ජනතාව සතුටු වූහ. බදු මූලධර්ම අනුව කළ යුත්තේ බදු අනුපාතය හැකි තරම් පහළ දමා ඒ බද්දට යටත් කරගන්නා පිරිස ඉහළ නංවා ගැනීමය. එසේ කළහොත් මිනිසුන්ට බදු බරක් නොවෙයි. එය බදු ප්‍රතිපත්තිවල මූලධර්මයකි. එහෙත් බදු සංශෝධනවලින් බද්දට යටත් කරගන්නා පිරිස ද අඩු කර ගත්තේය. එතෙක් වැට් බද්ද ගෙවීමට ලියාපදිංචි විය යුතුව තිබුණේ අවුරුද්දකට රුපියල් මිලියන 12ක ගනුදෙනු කරන ආයතන හා සමාගම්ය. එහෙත් බදු සංශෝධනවලින් එය රුපියල් මිලියන 300ක් දක්වා ඉහළ දැමීම නිසා එතෙක් බද්දට යටත්ව සිටි පිරිසක් ද බද්දෙන් නිදහස් වූහ. බදු සංශෝධනයක අරමුණ බදු අනුපාතය අඩු කර බද්දට යටත් කර ගන්නා පිරිස වැඩිකර ගැනීම වුවත් වැට් බදු සංශෝධනයෙන් රජයට එතෙක් වැට් බදු ගෙවූ 8000ක පමණ පිරිසක් නැතිකර ගත්හ.

වැට් බදු සංශෝධනය නිසා දැන් මාසයකට රුපියල් ලක්‍ෂ 250ක ආදායමක් ලබන සමාගම් පවා වැට් බද්දෙන් නිදහස්ය. මාසෙකට එතරම් ආදායමක් උපයන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නොව මහා පරිමාණ ව්‍යාපාර ය. එසේ නම් මේ බදු සංශෝධනයේ අරමුණ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට බදු සහන දීම නොවේද? එතරම් ඉහළ ආදායමක් ලබන ව්‍යාපාරිකයන් බද්දෙන් නිදහස් කළාම බදු ගෙවන්න ඉතිරි වන්නේ කවුද? මහා පරිමාණ ව්‍යාපාරිකයන් වැට් බද්දෙන් නිදහස් කිරීම නිසා වැට් බද්දෙන් පමණක් ආණ්ඩුවට අහිමි වූ මුදල රුපියල් බිලියන 210කි. 2019දී වැට් බද්දෙන් රජයට ලැබුණු ආදායම රුපියල් බිලියන 444කි. 2020 දී එය රුපියල් බිලියන 234 ක් දක්වා පල්ලම් බැස තිබේ. ප්‍රතිශතයක් ලෙස එය සියයට 47කින් වැට් බදු ආදායම අඩුවීමකි.

කතා කළ යුතු අනෙක් කාරණය විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දය. එය පනවා තිබෙන්නේ 2021 පෙබරවාරි 11 වැනිදාය. ඒ බදු පනවා තිබෙන්නේ 2007 අංක 47 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේය. ඒ විශේෂ වෙළෙඳ බද්දේ අරමුණ දේශීය කර්මාන්ත හා ගොවිතැන නගාසිටුවීමය. විදෙස් රටවලින් ගෙන්වන භාණ්ඩ සමග තරග කළ නොහැකි දේශීය කර්මාන්තකරුවන් රැකගැනීම ඒ බද්දේ අරමුණ වෙයි. ආනයනය කරන භාණ්ඩ මත විශේෂ බද්දක් පැනවූ විට දේශීය කර්මාන්තවලට යම් රැකවරණයක් ලැබෙයි. මගේ පෞද්ගලික මතය අනුව නම් ඒ අරමුණෙන් බදු පැනවීම යහපත්ය. රට වටේ මුහුද තිබියදී කරවල හා හාල්මැස්සන් සේම දියලුණු ද ආනයනය කරයි. ඒවා ආනයනය කිරීම අධෛර්යවත් කර දේශීය නිෂ්පාදන දිරිගැන්විය හැකිනම් ඉතා යහපත්ය. අපේ රටේ පශු සම්පත් දියුණු නොකර විදෙස් රටවලින් කිරි නිෂ්පාදන ආනයනය කිරීම යහපත් දෙයක් නොවේ. රට ඇතුළේ කුරක්කන් නිෂ්පාදනය කළ හැකිව තිබියදී කුරක්කන් ආනයනය කරයි. එය ද අයහපත්ය. ඒ නිසා දේශීය කර්මාන්තකරුවන් හා ගොවීන් නගාසිටුවීමේ අරමුණෙන් කරවල, හාල්මැස්සන්, දියලුණු සහ කුරක්කන් ආයනයන සඳහා බදු පැනවීම යහපත් ක්‍රියාවකි. එහෙත් 2021 පෙබරවාරි 11 වැනිදා මේ බදු පැනවූයේ දේශීය කර්මාන්ත හා ගොවියා රැකගැනීමේ අරමුණෙන් නොවේ.

කොරෝනා නිසා ඒ වනවිට එනම් 2021 පෙබරවාරි වෙද්දී පැවතියේ දේශීය කර්මාන්ත නගාසිටුවිය හැකි තත්ත්වයක් නොවේ. එසේ නම් එදා මේ බදු පැනවූයේ රජයේ ආදායම් ඉහළ නංවා ගැනීම සඳහාම බව පැහැදිලිය. 2021 පෙබරවාරි 11 වැනිදා ඒ බදු පැනවූයේ මාස 6ක් සඳහාය. ඒ අනුව මේ අගෝස්තු 11 වැනිදා කර තිබෙන්නේ ඒ බදු තවත් අවුරුද්දකට දිගු කිරීමය. මෙය අලුතින් බදු පැනවීමක් නොවේ. 2021 පෙබරවාරි 11 වැනිදා සිටම ජනතාව මේ බදු ගෙවමින් සිටින බව අවබෝධ කරගත යුතුය. ඒ නිසා ඒ භාණ්ඩවල මිල වැඩිවීමට කිසිම හේතුවක් නැත.

අවිචාරි බදු සංශෝධන නිසා රජයේ මුළු ආදායම රුපියල් බිලියන 522කින් පහත වැටී තිබේ. ඒ නිසා රට අර්බුද රැසකට මුහුණ දී සිටියි. එසේම ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට නවය (9%) දක්වා පහත බැස තිබේ. 2019 දී එය සියයට 12.6ක් විය.

සාමාන්‍යයෙන් රටක රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20කට ආසන්නයේ තිබිය යුතුය. එසේ නොවුණොත් අධ්‍යාපනයට, සෞඛ්‍යයට වියදම් කළ නොහැකිය. 2000 වසරෙන් පසු ලංකාවේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ආසන්නයටවත් ගොස් නැත. 1978 දී එය සියයට 29 කි. 1987 දී සියයට 24කි. 1992 දී සියයට 22ක් වූ එය 1996 දී සියයට 20ක් විය. ඉන්පසු දිගටම ඇත්තේ කඩා වැටීමකි. 1950දීත් සියයට 16ක් වූ එය 2020 දී සීයයට නවයකි. මෙතරම් පහළ අගයකට එය කඩා වැටුණේ ලංකා ඉතිහාසයේ පළමු වරටය. මෙසේ වීමට බලපෑ පළමු හා ප්‍රධාන කාරණය බදු සංශෝධන මගින් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 522කින් අහිමි කර ගැනීමය.

අහිමි වූ ආදායම යළි ලබාගැනීමට රජය දැන් මේ කරන්නේ පැලැස්තර ඇලවීමකි. ඒ පැලැස්තර ඇලවීමේ බරත් පැටවෙන්නේ සාමාන්‍ය ජනතාව මතය. තෝරු මෝරු නිදහසේය. නිදැල්ලේය. ඛනිජ තෙල් මිල ඉහළ දැමීම හා ගෑස් මිල ඉහළ දැමීම ද වැඩියෙන් බලපාන්නේ සාමාන්‍ය ජනතාවටය. සරලව කිවහොත් ආණ්ඩුව දැන් කරන්නේ ‘තැළෙන යකඩය දැක්කම ආචාරියා උඩ පැන පැන තළන්නා සේ’ පීඩිත ජනතාව තව තවත් තළා පෙළා දැමීමය.

ආණ්ඩුව රට සහ ජනතාව ගැන නොව තම පැවැත්ම පිළිබඳව පමණක් සිතුවත් කළ යුත්තේ ඍජු බදු වැඩිකර වක්‍ර බදු අඩු කිරීමය. එසේ කිරීමට නම් ව්‍යාපාරිකයන්ගෙන් ටිකක් අයකර ගන්නා තැනට මේ බදු ව්‍යුහය වෙනස් කළ යුතුය.

එහෙත් වර්තමාන ආණ්ඩුව එසේ කරනු ඇතැයි සිතිය නොහැකිය. රුපියල් 49ක තිබූ සීනි ආනයන බද්ද ශත 25කට අඩු කළේ තමන්ට හිතැති ව්‍යාපාරිකයන්ට වාසි සැලසීමට මිස ජනතාවට සහන සැලසීමට නොවේ. ආණ්ඩුව දැන් කළ යුත්තේ බදු සංශෝධන යළි හැරවීමය. එසේම දැනට බදු දැලෙන් රිංගන පිරිස කොටුකර ගැනීමට ද උත්සාහ කළ යුතුය. ගිණුම් සැඟවීමෙන් බදුවලින් පැනයාම නවතා දැමිය යුතුය. අද අපේ රටේ සමාගම්වලට ගිණුම් වාර්තා තුනක් තිබේ. බැංකුවලට පෙන්වන්නේ එක වාර්තාවකි. ඒ වාර්තාවේ තිබෙන්නේ හැමදාම ලාබ ලබන බවය. එසේ නොවුණොත් බැංකු ණය ගත නොහැකි නිසාය. දෙවැනි ගිණුම් වාර්තාව ආණ්ඩුවට හෙවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දෙන වාර්තාවයි. ඒ වාර්තාවේ තියෙන්නේ හැමදාම පාඩු ලබන බවය. ඒ ගිණුම් වාර්තාව ඒ ව්‍යාපාරය එතරම් කාලයක් පවත්වාගෙන ගියේ ඇයිදැයි හිතෙන තරමට පාඩුය. ඒ ගිණුම් වාර්තාවේ අරමුණ බදු දැලෙන් රිංගා යාමය. තුන්වැනි ගිණුම් වාර්තාව හඳුන්වන්නේ ‘මැනේජ්මන්ට් එකටුන්ට්’ නමිනි. ව්‍යාපාරය පිළිබඳ ඇත්ත ගිණුම් වාර්තාව එයයි. එය පිටට නොදෙයි. ඒ කියන ගිණුම් වාර්තා තුනම අපේ රටේ පිළිගත් විගණන ආයතන මගින් විගණනය කර සහතික කර තිබීම ඛේදජනක කාරණයයි. බදු ගෙවිය යුතු ආයතන බදු දැලෙන් රිංගා යන්නේ ඒ විගණන සමාගම්වල ද සහායෙනි. ආණ්ඩුවක් කළ යුත්තේ රිංගන අය අල්ලා ගැනීම මිස පීඩිත ජනයා තව තවත් පෙළීම නොවේ. නැතහොත් ඍජු බදු වැඩි කිරීම මිස වක්‍ර බදු වැඩි කිරීම නොවේ.

අනෙක බදු ප්‍රතිපත්ති නිතර නිතර වෙනස් නොකළ යුතුය. බදු ප්‍රතිපත්ති සම්බන්ධ ගැසට් ගැසීම හා එම ගැසට් අහෝසි කිරීම සම්බන්ධයෙන් ගිනස් වාර්තාවක් පිරිනමන්නේ නම් එය නිසැකව හිමිවන්නේ ලංකාවටය. රටක එසේ විය නොහැකිය. අද ගැසූ ගැසටය සතියකින් වෙනස් කරන්නේ නම් ඉන් කියැවෙන්නේ සතියක් ඉදිරියට පුරෝකථනය කිරීමේ හැකියාව පාලකයන්ට නැති බවය. මාසයකට පමණ පෙර සෙස් බද්ද ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැතියා මට මතකය. එහිදී ඇතැම් මන්ත්‍රීවරුන් ‘චෙස් බද්ද’ ‘චෙස් බද්ද’ කියමින් විවාද කරනු මම රූපවාහිනියෙන් අසා බලා සිටියෙමි. චෙස් ක්‍රීඩාවටත් බද්දක් ගසා ඇද්දැයි එහිදී මට කල්පනා විය. ඒ විවාදය අවසානයේ බද්ද ද සම්මත වූවා මට මතකය. බද්දේ නමවත් නොදැන ඒ ගැන විවාද කරන මිනිසුන් සතියක් ඉදිරියට පුරෝකථනය කරන්නේ කෙසේදැයි ඇසීම නිෂ්ඵලය, නිරර්ථකය.

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)



අදහස් (4)

පිරිසක් සැනහෙන පිරිසක් විඳවන බදු චක්‍රය

Mangala Thursday, 19 August 2021 01:51 PM

මේ ප්‍රශ්ණයට එකම පිළිතුර, සැම උපදින අයෙක්ටම උදා. අද උපදින දරුවෙක් නම් 190821-122M. මෙහි තේරුම 19 අගෝස්තු 2021 දින 122 වෙනියට උපන් පිරිමි දරුවෙක් M අකුර පිරිමි කියන අර්ථයෙන්. මරණය දක්වා මේ අංකය බලපැවැත්වෙන අතර උවමනානම් හැදුනුම් පතක් අවු.10 සිටම නිකුත් කල හැකියි. මේ අංකය අදායම්බදු, රියදුරු, විශ්‍රාමික, අර්ථසාධක, විවාහ, උසාවි යනාදී සියලුම කටයුතු වලට අදාළ කරගතහැකියි. අවු.16 සම්පූර්ණ වූ වහාම අදායම් බදු ලිපිගොනුවක් විවෲත කල යුතුයි. එවිට සැම පුරවැසියෙකුටම උපයනවිට බදු ගෙවිය හැකි මෙන්ම ගනණය කලහැකියි. ආයතනයක් ලියාපදිංචි වීමේදීද මේ ක්‍රමයම අනුගමනය කලයුතු අතර එය ඉතා සරල අංකයක් ලෙස එය ලියාපදිංචි කල දිනය හා එම දිනයේ කීවෙනි ලියාපදිංචි සමාගමද උදා. 190821-234-5 මෙහි පලමු අංක 6 මගින් දිනය, දෙවෙනි අංක 3 මගින් එම දිනයේ කීවෙනි සමාගමද, තුන්වෙනි අංකය මගින් කුමන ගණයකට අයත් සමාගමක් හෝ ව්‍යාපාරයක්ද යන්න. සැම ලියාපදිංචි සමාගමක්ම බදු ගෙවිය යුතු අතර එයද උපයනවිට ප්‍රතිශතයක් වියයුතුයි. මෙහි අවසාන අංකය මගින් සමාගම කුමන වර්ගයේ ව්‍යාපාරයක්ද යන්න හදුනාගැනීමෙන් බදු ප්‍රතිශතය වෙනස් කල හැකිය.

:       0       6

saman Thursday, 19 August 2021 09:08 PM

මේ රටේ දුප්පත් හා මධ්‍යම පාන්තික ජනතාව මෙතරම් ආර්ථික පීඩනයකට හසුවී ඇත්තේ මේ රටේ තිබෙන බදු ප්‍රතිපත්තියේ ඇති වැරද්දක් නිසා. මේ රටේ ක්‍රීයාත්මක වෙන්නේ පොසතාගේ සුකොපබෝගී භාණ්ඩවලට දුප්පතා බධු ගෙවන ක්‍රමයක්. මේ රට මේ තරම් අසරණ වීමට මේ රටේ ඉහල වැටුප් ලබන සියල්ලන්ම දායක වෙලා ඇති බවක් පෙනෙන්න තියෙනවා. එය සිදුවන්නේ ඉහල වැටුප් ලබන පුද්ගලයනගේ අත මිට ඇති මුදල් අතිරික්තය නිසා ඔවුන් අත්‍යාවශ්‍ය නොවන මිල අදික වාහන සුකොපබෝගී භාණ්ඩ මිලට ගැනීමට පෙලබෙනවා..එවිට ලංකාවේ ධනය පිටරටට ගලාගෙන යෑම නිසා ඩොලරය ඉහල යනවා.එවිට අත්‍යාවශ්‍ය භාණ්ඩ ඉහල යනවා.. එවිට බඩු මිල ඉහල යනවා.

:       0       4

සිසිර Friday, 20 August 2021 09:37 PM

මේ කාලයේදී ඉස්සර වගේ මැනුවල් වැඩ හරියන්නේ නැහැ. සම්පූර්ණ අයි.ටී. වලට ගිහින් රටේ හැම පුද්ගලයකුම ගන්න ආදායම කුමක්ද? වියදම් කුමක්ද යන ඩේටා එක් රැස් කළ යුතුයි. ඒ වගේම අපේ වගේ රටක රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් තියෙන අයගෙන් ක්‍රමයෙන් වැඩිවන බද්දක් අයවිය යුතුයි...

:       0       2

kapila Saturday, 21 August 2021 05:30 PM

ආචාර්යතුමාගේ කතාව හරියටම හරි. මම පසුගිය අවුරුද්ද දක්වා බදු ගෙව්වා... දැන් නිදහස්. මේක මට හොඳ වුණාට රටට හොඳ නෑ කියලා දන්නවා. අපි මොනවා කරන්නද?

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 34 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 105 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 411 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1047 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1531 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 248 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2106 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site