තරිඳු ජයවර්ධන
මල්වතුඔය මහවැලි ගඟට පමණක් දෙවැනි වන ලංකාවේ දිගම ගංගාව ලෙස සැලකේ. එහි දිග කිලෝමීටර 164කට ආසන්නය. කදම්බ නදී හෙවත් මල්වතුඔය ආර්ය ජනාවාස පිහිටුවා ගැනීමේ ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයකි. රිටිගල කඳුවැටියේ බටහිර බෑවුමෙන් ආරම්භ වන මල්වතුඔය මුහුදට වැටෙන්නේ මන්නාරමේ අරිප්පු ප්‍රදේශයෙනි. අරිප්පු කියු සැණින් මතකයට එන්නේ අරිප්පු බලකොටුව සහ මුතු බෙල්ලන්ය. ලංකාවේ ගංගා නිම්න ශිෂ්ඨාචාරයේ ආරම්භය මල්වතුඔය බව ද ඇතැමුන්ගේ විශ්වාසයයි.
මල්වතුඔයේ ඉහළ ද්‍රෝණිය නාච්චදූව, මහකනදරාව, පාවට්ටකුලම්, නුවර වැව, තිසාවැව ආදී ප්‍රධාන හා මධ්‍ය ප්‍රමාණයේ වැව් කිහිපයකින් සමන්විතය. පෞරාණික අනුරාධපුරය ආවරණය වූයේ මල්වතුඔයේ ඉහළ ද්‍රෝණි ප්‍රදේශයෙනි.
දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන කදම්බ නදී එසේත් නැතිනම් අරවිආරු යන නම්වලින් හැඳින්වූ මල්වතුඔය මෑතකදී වැඩි කතාබහකට ලක් වූයේ පහළ මල්වතුඔය ව්‍යාපෘතියත් සමඟය.
මල්වතුඔය ද්‍රෝණිය කප්පච්චි නම් ස්ථානයෙන් හරස් කර වේලි බැඳ ජලාශයක් ඉදි කිරීමට හැට හැත්තෑව දශකවල සිට පිඹුරුපත් සැකසුණ ද යුද්ධය වැනි කරුණු නිසා කාලයාගේ ඇවෑමෙන් එය යටපත් විය. පහළ මල්වතුඔය ව්‍යාපෘතිය යළිත් කරළියට පැමිණියේ යුද්ධයෙන් පසුවය.
කප්පච්චි නම් ස්ථානයෙන් මල්වතුඔය හරස් කර බඳින්නට යන බැම්මේ දිග කිලෝමීටර 3.6කි. යෝජිත ජලාශයේ කියුබික් මීටර මිලියන 209ක් ජලධාරිතාවක් රඳවා තැබීමට ව්‍යාපෘතියෙන් අදහස් කරගෙන සිටින බව වාරිමාර්ග අමාත්‍යංශය සඳහන් කරයි.
මෙමගින් මුහුදු තීරයෙන් කිලෝමීටර 36ක් පමණ ඔබ්බෙහි පිහිටා ඇති ටෙක්කම් අමුණට ජලය මුදා හැර දකුණු ඉවුරු ඇළ ඔස්සේ යෝධ වැවටත්, වම් ඉවුරු ඇළ ඔස්සේ අකතිමුරුප්පු වැවටත් ජලය සපයා ඒ මගින් දැනට වගා කරනු ලබන කුඹුරු ඉඩම් සඳහා ජලය සැපයීමට බලාපොරොත්තු වන බව 2016 මැයි පස් වැනි දාතමින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක සඳහන් වේ.
මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ එවකට කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක සහ එවකට වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහත්වරුන්ගේ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙසය.
ශ්‍රී ලංකාවේ සහල් නැලිය ලෙස ප්‍රචලිත යෝධ වැව හා අකතිමුරුප්පු වැව යටතේ දැනට පවතින හෙක්ටයාර් 12,425ක වගා බිම් සංවර්ධන සඳහා ජලය සපයා එමඟින් වගා තීව්‍රතාවය 1.0 සිට 1.7 දක්වා වැඩි දියුණු කිරීම, ආහාර නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන කන්න දෙකට අමතරව අතිරේක තුන්වැනි කන්නයක් හඳුන්වා දී ජාතික ආහාර නිෂ්පාදනය වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු දෙකක් ලෙස සඳහන්වේ.
නව වගා බිම් හෙක්ටයාර් 810ක් (අක්කර 2001ක් පමණ) හඳුනාගෙන ඒවායේ පසට ගැළපෙන වගාවන් තෝරා ආර්ථික බෝග වගාවන් හඳුන්වාදීම හා අපනයන නිෂ්පාදනය දක්වා වාර්ධනය කිරීම, ගුණාත්මක බීජ හඳුන්වාදී ගුණාත්මක වෙළෙඳපොළක් නිර්මාණය කිරීම, මල්වතුඔය නිම්නයේ පිහිටි ජලාශයේ තත්තිරිමලේ ප්‍රදේශ සාපේක්ෂව උස් බිම් බැවින් උත්සාන ජල සම්පාදන ක්‍රමයක් මගින් ජලය සපයා ඒ ප්‍රදේශවල ගොවීන් කෘෂිකාර්මික කටයුතුවලට යොමු කරවීමට හැකි වීම, මහවිලච්චිය වවුනියාව, මුරුක්කන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට පානීය ජලය ලබාදීම හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම යන ප්‍රතිලාභ ද යෝජිත ජලාශය ඉදිකිරීම මගින් රජය අපේක්ෂා කරයි.
ඊට අමතරව යෝජිත ජලාශය මඟින් ධීවර කර්මාන්තය නඟා සිටුවීම, මල්වතු ඔය පහළ නිම්නයට වාර්ෂිකව බලපාන ගංවතුර උවදුර පාලනය කිරීම ද මෙම ව්‍යාපෘතිය මගින් රජය අපේක්ෂා කර ඇත.
පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය සඳහා 2016 දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පෙර 2011 සැප්තැම්බර 19 වැනි දාතමින් 11/1851/508/034 අංකයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ අනුව ව්‍යාපෘතිය සිදු කිරීමට පෙර ශක්‍යතා අධ්‍යයනයක් සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
2012 වසරේ දී මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 8800ක් හෙවත් කෝටි 880ක් වුවද 2016 වසරේ දී සිදුකළ යාවත්කාලීන කිරීම්ද ඇතුළුව ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 12000ක් හෙවත් කෝටි 1200කි.
2011 වසරේ දී ශක්‍යතා අධ්‍යයනය සඳහා ලැබුණු අනුමැතිය අනුව වාරිමාර්ග හා ජල සම්පත් කමනාකරණ අමාත්‍යංශය එය සිකර 2012 වසරේදීම අවසන් කර තිබේ. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කළ ශක්‍යතා වාර්තාව අනුව ආයෝජන හා ප්‍රතිලාභ අතර අනුපාතය 4.48%ක් වන අතර අභ්‍යන්තර ඵලදායී අනුපාතය 32%ක් ලෙස සඳහන්වේ.
එහි පාරිසරික අධ්‍යයන කටයුතු සිදු කිරීමට එවකට එම අමාත්‍යංශය යටතේ පැවැති මහවැලි උපදේශන කාර්යංශයට පවරා ඇති අතර එහි අන්තර් වාර්තාවක් 2016 ජනවාරි මාසයේ දී අදාළ අමාත්‍යංශයට භාර ඇති බව සඳහන් වුවද එය මේ දක්වා ප්‍රසිද්ධ වී නැත. ව්‍යාපෘතියට පෙර පුරාවිද්‍යා ඇගයීම් අධ්‍යයනයක් සිදුකර නිර්දේශ සහිතව වාර්තාවක් ලබා ගැනීමට ද යෝජනා වී තිබුණත් එම වාර්තාව ද මෙතෙක් ප්‍රසිද්ධ වී නැත.
ව්‍යාපෘතියේ ජලාශය ඉදිකරන ප්‍රදේශවල පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 160ක 600 දෙනෙකු නැවත පදිංචි කිරීමට ද නියමිතය.
රුපියල් මිලියන 12,000ක වියදමින් මෙම ව්‍යාප්තිය සිදු කිරීමටත්, 2016 වසරේ දී රුපියල් මිලියන 330ක්, 2017 වසරේ දී රුපියල් මිලියන 3000ක්, 2018 වසරේදී රුපියල් මිලියන 5000ක් හා 2019 වසරේ දී රුපියල් මිලියන 3670ක් වශයෙන් එම ප්‍රතිපාදන ලබා දීමටත් 2016 මැයි පස් වැනි දා දුමින්ද දිසානායක ඇමැතිවරයා සහ ගාමිණී විජිත් විජයමුණි ඇමැතිවරයා යෝජනා කර තිබිණි.
මෙම යෝජනාව සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන බව මෙම කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කර ඇත.
‘‘ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය අවසන් කිරීමෙන් පසුව වඩාත් යෝග්‍ය සංවර්ධන හවුල්කරුවන් සම්බන්ධකර ගනිමින් විදේශීය මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති හැකියාව සොයා බලනු ඇත.‘‘ යනුවෙන් ද මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ඒ අනුව අදාළ ව්‍යාපෘතියට ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලැබුණු අතර ව්‍යාපෘතිය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීමෙන් පසුව වඩාත් යෝග්‍ය සංවර්ධන පාර්ශවකරුවන්ගෙන් මෙම කාර්යය සඳහා විදේශ අරමුදල් ලබා ගැනීම පිණිස අවශ්‍ය පියවර ගන්නා ලෙස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය ලේකම්ට නියම කෙරිණි.
ඉන් පසු ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වූයේ 2017 වසරේ දී ය. ජාතික පාරිසරික පනතට අනුව මෙවැනි ව්‍යාපෘති ආරම්භ කළ යුතු වන්නේ පරිසර තක්සේරු වාර්තාවකින් පසු මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලැබුණු පසුවය.
කෙසේ වෙතත් 2018 ඔක්තෝබර පළමු වැනි දා වන විටත් ඊට අදාළ පරිසර ඇගයීම් ක්‍රියාවලිය අවසන්ව නොතිබුණු බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි. පරිසර ඇගයීම් අවසන්ව නැති නිසා ඊට අදාළ පරිසර අනුමැතිය මේ වන තෙක් මධ්‍යම පරිසර අධිකාරිය මගින් ලබා දී නැත. එසේ නම් මෙම මහා පරිමාණ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කෙරී ඇත්තේ පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය අවසන් වීමටත් පෙරය.
පරිසර ඇගයීම් ක්‍රියාවලිය අවසන් වීමට පෙර ඇරැඹුණු තවත් එක් ව්‍යාපෘතියක් නිසා පසුගිය කාලයේ දැවැන්ත පාරිසරික හානියක් මෙන්ම ආර්ථික හානියක් ද සිදු විය. ඒ උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියයි. උමාඔය සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් වාර්තාව සකස් කර තිබුණේ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කළායින් පසුවය. එම පාරිසරික බලපෑම් වාර්තාවේ ද අඩුපාඩු රැසක් පැවැතිණි. අවසානයේ අත්වූ ඉරණම රටම දනී.
පරිසරවේදීන් දැන් අනතුරු අඟවන්නේ පහළ මල්වතු ඔය ව්‍යාපෘතියෙන් ද මෙවැනිම නස්පැත්තියක් විය හැකි බවයි. මේ ගැන අදහස් දක්වමින් පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙසේ පැවසීය.
‘‘මෙම ව්‍යාපෘතියේ වේල්ල බඳින ප්‍රදේශයත් සමඟ මුළු ප්‍රමාණය අක්කර 19,000ක් පමණ වෙනවා. ජාතික පාරිසරික පනත අනුව අක්කර දෙකහමාරකට වැඩි ප්‍රදේශයක යම් ඉදිකිරීමක් කරනවා නම් ඒකට පරිසර තක්සේරු වාර්තාවක් සකස් කර එය ප්‍රසිද්ධ කර මාසයක් ජනතාවගේ අදහස් ගැනීමෙන් පසු ජනතාව අනුමත කරනවා නම් කරන්න හැකියාවක් තියෙනවා.
පරිසර තක්සේරු වාර්තාව නැතිව ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වුණත් එවැනි වාර්තාවක් නැතිව හරි නම් මුල්ගලක්වත් තියන්න බෑ. ව්‍යාපෘතිය ආරම්භ වුණාට පස්සේ දැන් පරිසර තක්සේරු වාර්තාව හදමින් ඉන්නේ පරිසර සංවිධාන දිගින් දිගටම බලපෑම් කළ නිසයි.
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ විල්ලු පිරෙන්නේ මල්වතු ඔය පිටාර ගලන ජලයෙන්. මල්වතු ඔයේ ජලය ගලාගෙන යන්නේ වියළි පැත්තට. මෙම ව්‍යාපෘතිය නිසා විල්පත්තුවට යන පිටාර ජලය නැවතුණාම සතුන්ට, ශාකවලට සහ එම පරිසර පද්ධතියට විශාල හානියක් වෙනවා. යෝධ වැව ආශ්‍රිතව ඇති පුරාණ වාරි පද්ධතියටත් මෙම ව්‍යාපෘතිය නිසා හානි වෙනවා.
එල්ලංගා පද්ධතියේ එන ඔලගම් වැව් වැනි පුංචි පුංචි වැව් සුද්ධ කරලා ගත්තා නම් ලොකු ප්‍රදේශයකට වතුර දෙන්න පුලුවන්කම තිබෙනවා. පුරාණ වාරි කර්මාන්තය යළි හදලා ගන්න පුලුවන්. ඒ ගැන බ්‍රොහියර් වැනි අය ලියලත් තියෙනවා. මෙම ව්‍යාපෘතියෙන් අලුතින් වගා කරන්න වතුර දෙන්නේ අක්කර 2000ට විතරයි. අනිත් ප්‍රදේශවලට වෙනත් වැව්වලින් දැනටමත් වතුර දෙනවා. අක්කර 2000කට වතුර දෙන්නයි අක්කර 19000ක් පුරා මෙච්චර විනාශයක් කරන්නේ.”
ඒ පරිසරවේදීන් පවසන කාරණයයි.
ලෝකයේ දැන් වැඩි කතාබහකට ලක්ව ඇත්තේ සංවර්ධනය ගැන නොව තිරසාර සංවර්ධනය ගැනයි. එනම් සංවර්ධනය සිදු විය යුත්තේ සම්පත් අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කරමින් බව වර්තමාන ලෝකයේ පිළිගැනීමයි. මෙම ව්‍යාපෘතිය සිදුවන්නේ ලංකාවේ සම්පත් අනාගතය වෙනුවෙන් සංරක්ෂණය වන අයුරින්ද යන්න තීරණය කළ යුතු වන්නේ ජනතාවයි.
(තොරතුරු දැන ගැනීමේ පනත අනුව කළ ඉල්ලීම් වලින් ලබා ගත් තොරතුරු ඇසුරෙනි.)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පරිසර අනුමැතියක් නැතිව ඇරැඹුණු මල්වතුඔය ව්‍යාපෘතිය
herath lansakara, Thursday, 30 September 2021 10:58 AM
සහතික ඇත්ත, මේ වර්තමානයේද මල්වතු කොමළිය විවිධ පුද්ගලයන්ගෙ නොමනා හැසිරීම් තුලින් ජරා ජීර්ණ ලෙස රජරට පුරවරයම ගඳ ගසමින් ඔහේ බාදක කම් කටොළු මැඳ ගලන්නන් වාලේ ගලාගෙන යයි, සිදුවිය යුත්තේ එයද....?