IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පර පීඩනයෙන් අත්මිදීමට අදිටන් කරගනිමු

ආත්මාර්ථකාමී බව මානව සමාජයෙහි මූලාරම්භයේ සිටම දක්නට ලැබෙන සාමාන්‍ය මානුෂීය ලක්ෂණයකි. බෝසතාණන් වහන්සේගේ සත්‍ය ගවේෂී ගමන් මගෙහි කොතෙකුත් මේ පිළිබඳව ලබන ලද අත්දැකීම් ඇතිව ශාස්තෘන් වහන්සේ නමක් ලෙස අන්‍යයන් පිළිබඳව දයානුකම්පා වීම පමණක් නොව ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන ලෙස ද අනුශාසනා කරන ලදහ. 

මෙසේ තමා පිළිබඳව පමණක් සිතමින් ක්‍රියා කරන සමාජීය සත්ත්ව ප්‍රජාව පිළිබඳ ඉතිහාසය ඉතා දීර්ඝ වන්නේ මතු නොව වර්තමාන සමාජයෙහි සිතුම් පැතුම් වැඩි වශයෙන් සැකසී ඇත්තේ තමා පමණක්, තමාට පමණක් යන අදහසින් බව බොහෝ විට පෙනී යයි. පාසල් ප්‍රජාවේ සිට විවිධ අධ්‍යාපනික ස්ථර මෙන්ම කාර්යාල ප්‍රජාවේ සිට විවිධ සමාජ කණ්ඩායම් තුළ මෙය බොහෝ සේ ක්‍රියාත්මක වන අයුරු පැහැදිලිව දැකගත හැකිව තිබේ. බාහිර සමාජයෙහි අවශ්‍යතා මතු නොව රෝගාබාධයකදී පවා ආත්මාර්ථකාමී බව පැහැදිලිව දක්නට ලැබෙනුයේ වෙනත් කෙනකුගේ අසනීපයකදී හෝ විපතකදී දක්වන ප්‍රතිචාර අනුවය. 

මෙසේ පුද්ගලයන් වශයෙන් සමාජ වශයෙන් පක්ෂ වශයෙන් ජාති ආගම් වශයෙන් පුද්ගලයා බෙදී වෙන් වී සිටීමේදී සහකම්පනයක් ඇති නොවේ. සහකම්පනය නැති තැනක සමානාත්මතාවක් ඇති විය නොහැකිවාක් මෙන්ම එබඳු සමාජයක රටක පමණක් නොව පුද්ගලයන් අතර ගැටුම් ඇති වීම වැළැක්විය නොහැක. මෙම සදාතනික සමාජ හැසිරීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේට තිබූ අත්දැකීම සාංසාරික අත්දැකීමක් වන්නේ මතු නොව එදා සමාජයෙහි දක්නා ලද සිදුවීම් අනුව “පරත්ථං පටිපජ්ජථ” යන නියමයෙන් අනුන් යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව අවධාරණය කොට තිබේ. සමාජ සත්ත්වයාගේ මූලික පෙළගැස්ම නිරතුරුව යොමු වී ඇත්තේ තමා සහ තමන්ගේ අය පිළිබඳව පමණක් නොව තමන්ගේ කොටස වැඩි කරගැනීම සඳහා බව ද නොරහසකි. තමන් මුහුණ දෙන ඕනෑම ගැටලු‍වකදී දක්නට ලැබෙන මෙම හැසිරීම තුළ අසනීපයකදී වුව ද බරපතළ ලෙස සිතන්නේ තමාගේ අසනීපය පිළිබඳවයි. එම අසනීපයම වෙනත් කෙනකුට වැළඳී බහුලව වේදනා විඳින විටකදී වුව ද එම රෝගය මතු නොව වේදනාකාරී බව පිළිබඳව ද සලකනුයේ ඉතා සුළු කොටගෙනය.

ධර්මයෙන් පෙන්නුම් කරනු ලබන්නේ අසනීප හා වේදනාව තමාට පමණක් නොව අන් අයටත් එසේම වේදනාකාරී වීමේ ස්වභාවය පිළිබඳ සිතා බැලීමේ අවශ්‍යතාව වේ. පහරදීමකදී හෝ ඝාතනයකදී පමණක් නොව වෙනත් ඕනෑම ආකාරයක වධ බන්ධනයකට කිසිවකු අකැමැති වන්නේ මතු නොව වේදනාවට පත් වන්නේ ද එසේම බාහිර සමාජීය ඕනෑම සත්ත්වයකු සඳහා ඇති අකැමැත්ත හා අප්‍රසාදය නිරතුරුවම තමා හා සමාන කොට සිටීම සඳහා උපදෙස් දී ඇති අවස්ථාවක් ධම්මපදයෙහි දණ්ඩ වග්ගයෙහි සඳහන් වන්නේ මෙසේය.

සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා - න හනෙයිය න ඝාතයේ

තථාගතයන් වහන්සේගේ මෙම උදාර දේශනය ඕනෑම ජන සමාජයකට පමණක් නොව ඕනෑම ආගමිකයකුට භාවිත කළ හැකි උතුම් ඉගැන්වීමක් බවට විවාදයක් නැත. එසේම මෙය අනුගමනය කිරීමේ අපහසුතාවක් ද නොවන්නේ මතු නොව මෙසේ සිතිය හැකි නම් තමන්ගේ නිවසින් ඇරැඹෙන සමාජයක් රටක් කොතරම් සාමකාමී සුන්දරත්වයකට පත් විය හැකි දැයි සිතා බැලිය යුතු වේ. එහි මූලික අදහස වන්නේ තමා උපමා කොට සිතමින් අන්‍යයන්ට තැලීම් පෙලීම් නොකොට ඒවායින් වැළකී සිටීම කළ යුතු බවයි. වර්තමාන ලෝකයෙහි සියලු‍ ගැටලු‍ සඳහා හේතු වී ඇත්තේ දුක් පීඩාවල ඇති කටුක බව තමන්ට මෙන්ම අන්‍යයන්ට ද කටුක වන්නේය යන්න මතු නොව වේදනාවේ ස්වරූපය සියල්ලන්ටම පොදු කරුණක් බව තේරුම් නොගැනීම බව පෙනේ. 

ඉහත දේශනයට ඇතුළත් “සබ්බේ” යන පාලි වචනයෙහි තේරුම නොයෙක් උවදුරුවලින් බියපත්ව තැති ගන්නා සත්ත්ව ප්‍රජාව හැඳින්වීම සඳහා යොදා ඇත. මෙසේ බිය පත් නොවන සත්ත්වයන් පිළිබඳව ද ධර්මයෙහි සඳහන් වන අතර කෙලෙස් පහකළ මහරහතන් වහන්සේ එහි ප්‍රමුඛත්වය ගන්නේ මතු නොව කේසර සිංහයන් අජානේය අසුන් ඇතුන් පිළිබඳව ද සඳහන් වේ. “දණ්ඩස්ස තසන්ති” යන්නෙන් අර්ථ ගන්වා ඇත්තේ කායික වශයෙන් සිදු කෙරෙන පීඩා හා හිංසන ක්‍රියා ආදී දඬුවම් පිළිබඳව ඇතිවන තැති ගැනීම හෙවත් බිය වීම පිළිබඳව වන්නේ පමණක් නොව තැලීම් කෙටීම් කැපීම් මැරීම් ආදී හිංසනයන් පිළිබඳවය.

“මච්චුනෝ භායන්ති” යන්නෙන් පැහැදිලි කෙරෙනුයේ මාරයා පිළිබඳව ඇති බිය වීම පමණක් නොව ඉහත දක්වන ලද ක්ෂීණාස්ශ්‍රවයන් වහන්සේලා ඇතුළු සත්ත්වයන් බියට පත් නොවන බවයි. මීටම අදාළ වන මෙහි දෙවෙනි ගාථා ධර්මයෙන් ද ඉහත අදහස තවත් සමීප කරමින් දක්වා ඇති අදහස ඉතා වැදගත් වේ. ඉන් ප්‍රකාශ වන්නේ සියලු‍ සත්ත්වයන්ට ජීවිතයට ඉතා ප්‍රිය වන බැවින් තමා උපමා කොට ගනිමින් අන්‍යයන්ට තැලීම් පෙලීම් නැසීම් නොකළ යුතුය යන්නයි. ඒ අනුව දෙව් මිනිස් තිරිසන් ආදී සෑම සත්ත්වයකුම තම ජීවිතයට අසීමිතව ඇලු‍ම් කිරීම ආරක්ෂා කිරීම සංරක්ෂණය කිරීම ඉතා ප්‍රකට කරුණකි. තම තමන් තම සිරුර පිළිබඳ දක්වන සැලකිල්ල මෙන්ම උනන්දුවත් සැරැසීමත් කොතරම් ඕනෑකමකින් සිදු කරන්නේ ද යන්න හැමදෙනාටම සිතාගත හැකි වේ.

එම ස්වභාවය සියලු‍ සත්ත්වයන්ටම සාධාරණ වූ ක්‍රියාදාමයක් ලෙස සලකා ක්‍රියා කිරීම “අත්තානං උපමං කත්වා” තමා උපමා කරගැනීම ලෙස දැක්විය හැකිය. යහපත්ව ජීවිතය රකිමින් විවිධ සුව සේ විඳීම් සුව සේ විඳීමට කැමැති නොවන කෙනෙක් නැත්තේ මතු නොව විවිධ කායික මානසික වධ වේදනා හා දඬුවම් විඳිමින් පීඩාවට පත් වීමට කිසිවකුත් කැමැති නොවේ. තමා රුචි දෙයට අන්‍යයන් ද රුචි බව හා තමා අරුචි දෙයට අන්‍යයන් ද නොකැමැති බව සිතා පරහිංසනයෙන් වැළකීම පිළිබඳව ද දහමින් ලබාදෙන මෙම උතුම් ඉගැන්වීම රටක් සමාජයක් පමණක් නොව ලොවක් සුවපත් කිරීමට හේතුවන බව නොරහසකි.

භික්ෂුන් වහන්සේලාගේ විවිධ චර්යා පිළිබඳ වර්තමානයෙහි විවිධ කතාබහ පමණක් නොව දැඩි දෝෂාරෝපණ ද අසන්නට ලැබේ. ‍ත්‍රිපිටක ධර්ම සාහිත්‍යය තුළ දක්නට ඇති ඇතැම් සිදුවීම් අදටත් වඩා ඉතා දරුණු සිදුවීම් බව භාග්‍යවතුන් වහන්සේගේ මෙම දේශනයට පාදක සිදුවීම පිළිබඳ විමසා බැලීමේදී දැකගත හැකි වේ.

මින් කියවෙන්නේ බුද්ධ කාලීනව ක්‍රියාත්මක වූ භික්ෂු කණ්ඩායම් දෙකක් අතර ඇති වූ බරපතළ ගැටුමක් පිළිබඳවයි. භික්ෂු කණ්ඩායම් දෙක හඳුන්වා ඇත්තේ ඡබ්බග්ගිය හෙවත් සවග භික්ෂුන් සහ සතළොස්වග භික්ෂුන් හෙවත් දහහතක් පමණ වූ භික්ෂු කණ්ඩායමක් ලෙස දැක්වෙනුයේ මතු නොව මෙම කණ්ඩායම්වල නම් දුටු පමණින්ම ඔවුන්ගේ අසංවර හා දඩබ්බර ක්‍රියා පිළිබඳ මතකයට නැගෙනු ඇත. මෙම කණ්ඩායම් දෙක නිරන්තරයෙන් තථාගතයන් වහන්සේගේ වචනයට අවනතව ක්‍රියා කළ ද චර්යාත්මකව මූලික අපේක්ෂා  අමතක කරමින් ගැටුම් නිර්මාණය කරමින් ක්‍රියා කරන ලද්දේ පමණක් නොව වයසින් වැඩිමහලු පිරිස සවග භික්ෂුන් වූ අතර ළාබාල වියෙහි පසු වූ පිරිස වූයේ සතළොස්වගයන්ය.

දිනක් සතළොස්වගයන් සැතපීම සඳහා ස්ථාන සූදානම් කරනුයේ එතැනට පැමිණි සවගයින් අප විසින් වැඩිමහල් වන නිසා මෙම සෙනසුන් අයත් වන්නේ තමන්ට බව ප්‍රකාශ කරන ලදී. ඉන් කෝපයට පත් සතළොස්වගයන් අපි සකසා ගත් සෙ නසුන් කිසිවකුටත් නොදෙමු යි කරන ලද තර්ජනයෙන් කෝපාවිෂ්ට සවගයන් විසින් ගැටුමට අවතීර්ණව දැඩිව පහර දෙන ලදී. එහෙත් වැඩිමහලු‍කම පිළිබඳ සලකමින් පෙරළා පහර නොදුන් අතර මෙම සිදුවීම පිළිබඳව අසා භාග්‍යවතුන් වහන්සේ “යො පන භික්ඛු භික්ඛුස්ස කුපිතෝ අනන්ත මනෝ කාල සත්තිකං උග්ගිරෙය්‍ය පාචිත්තියං” යනුවෙන් කාල සත්තික ශික්ෂාපදය පණවාලූහ.

යම් මහණෙක් අන් මහණකු හට කිපී නොසතුටුව පහර දෙන්නේ නම් පාචිත්තිය ඇවතට පත්වන බව එහි අදහස වන්නේ මතු නොව තමා උපමා කොට ගෙන පරපීඩනයෙන් මිදිය යුතු බව දේශනා කරන ලදහ. පසු දිනකදී ද මුල් සිදුවීම නැවත ඇති වුව ද විනය ශික්ෂා පදයට අවනතව පහරදීම් සිදු නොකළ ද ඡබ්බග්ගින් විසින් සතළොස්වග්ගිය භික්ෂුන්ට තර්ජනය කර බිය ගැන්වූ බව සඳහන් වේ. මේ සිදුවීම අරමුණු කරගනිමින් භික්ෂුන්ට අවවාද කළ තථාගතයන් වහන්සේ තමා උපමා කොට ගනිමින් අන්‍යයන්ට හිංසා පීඩා නොකළ යුතු බව දේශනා කරන ලද්දේ මතු නොව අනුන් ලවා ද එබඳු හිංසනයන් පීඩනයන් නොකළ යුතු බව පෙන්වා දෙන ලදහ.

භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත්ව මාස නවයකින් ලක්දිවට වැඩම වීමේ උතුම් සංසිද්ධිය සිදු වූ දුරුතු පුර පොහෝ දිනය අදට යෙදී ඇත. ජටිල දමනය ද සිදු වී ඇති අද දිනය ලංකා ශාසන ඉතිහාසයෙහි වැදගත් දිනයක් වන්නේ ප්‍රථම වරට බුදු පා පහසින් ලක්බිම පාරිශුද්ධත්වයට පත් වීමය.

තථාගතයන් වහන්සේ ජීවමානවම සුමන සුරිඳුන්ට පිරිනමන ලද උතුම් කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කොට මහියංගන චෛත්‍යය නම් වූ ලංකාවෙහි ප්‍රථම දාගැබ අද වැනි දිනක ඉදිකරවීම සුවිශේෂී සිදුවීමක් වන අතර සුමන සමන් දෙවිඳුන් මගඵල ලැබීම ද අදවන් දිනක සිදුව තිබේ. බුද්ධ චරිතයෙහි හා ලංකා ශාසන ඉතිහාසයෙහි මෙම අසිරිමත් සිදුවීම් ද සිහිපත් කරමින් සියලු‍ සත්වයන්ම තමා හා සමව සිතා පරපීඩනයෙන් තොරව අවිහිංසාත්මකව ක්‍රියා කරමින් සසරින් එතෙර වීම සඳහා උත්සාහ ගත යුතුව ඇත.

කොළඹ 06 හැව්ලොක් සිටි සාම විහාරාධිපති අතපත්තුකන්දේ ආනන්ද නාහිමි



අදහස් (0)

පර පීඩනයෙන් අත්මිදීමට අදිටන් කරගනිමු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3149 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12275 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 568 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 941 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1021 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 498 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site