IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


පාලම්-බෝක්කු විවෘත කිරීමේ අඥාන න්‍යාය

දේශපාලන පක්ෂ දැන් සිට ම සූදානම් වන්නේ 2020 ජනාධිපතිවරණයටය. එයින් නොකියා කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට ඔවුන්ගේ අදහසක් නැති බවය. යටත් පිරිසෙයින් වර්තමාන ආණ්ඩුවෙහි පාලන කාලයෙහි වත් එය නොකැරෙන බව පෙනේ. දැනට ඒ ගැන කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණි.

ජනාධිපති අපේක්ෂකයන් කවුරුන් දැයි දැනටමත් ජනමාධ්‍ය විසින් හෙළිදරව් කරමින් තිබේ. ඒ සඳහා මුහුණු පොත ද බැහැලා වැඩ ය. විද්‍යුත් මාධ්‍යයෙහි ද ඔවුහු කරළියට එමින් සිටිති.

වන්දිභට්ට හා කේවට්ට විචාරකයෝ, දේශපාලන විශ්ලේෂකයෝ අපේක්ෂකයන්ට මහා වීර පෞරුෂ ආරෝපණය කරමින් ප්‍රබල ලෝක නායකයන් හා ඔවුන් සම කරති. එවන් එක් විචාරකයකු සිය අපේක්ෂාව මෙන් ම රටෙහි සුබවාදී ම විකල්පය දේශීය පුටින් (රුසියානු ජනාධිපති) කෙනකු වුවමනා යැයි කියන්නේ ප්‍රසිද්ධියේ මැයි. 

දේශපාලන පක්ෂ මෙසේ ජනාධිපති සටනට පිවිස ඇත්තේ දහසකුත් එකක් ජනතා ප්‍රශ්න යට ගසන්නට යැයි යමෙකු නිගමනය කළ හොත් එය ඇත්තෙන් ඈත් නොවෙතැයි හැඟේ. අඩුම තරමින් මාර්තුවෙහි අම්පාර සහ දිගන සිදුවීම් පවා සුපුරුදු පරිදි අමතක සේ ය. එසේ වුවත් එවන් සිදුවීම් යළි නොවන බවට වග බලා ගන්නා වග දේශපාලකයෝ පුන පුනා කියති. මෙම මන්තරය අප 1960 ගණන්වල සිට හොඳට අසා පුරුදු ය. එහෙත් එතෙක් මෙතෙක් එවන් සිදුවීම් කොතෙකුත් හටගත්තා නොවේ ද? කළු ජූලියත් ඒ අතර ය.

ජන අරගලයෙහි හෝ එතෙර බලවතුන්ගේ හෝ බලපෑමට අර්ධ විසඳුම් වෙත යොමු වුව ද නිදහස ලබා හැත්තෑ වසරක් ඉකුත් වුව ද තවමත් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එක්සත් ව නැඟී සිටින්නට අපි අසමත් ව සිටිමු. ඒ හැම ප්‍රතිසංස්කරණයක් ම දිනා ගන්නා ලද්දේ ස්නානය සඳහා සුනඛයන් රැගෙන යාමෙහි දී මෙන් ඉමහත් ආයාසයකිනි. එම ප්‍රතිසංස්කරණ ද වහරට නඟන ලද්දේ අදිමදි කැරීම් හා චකිත ඇති ව ය.

නිදසුනකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 17 වැනි සංශෝධනය ගන්න. ක්ෂණිකව ක්‍රියාවට නැඟුණු 18 වැනි සංශෝධනය මෙන් නොව එය වසර ගණනාවක් තාක්ෂණික කාරණා මත අක්‍රීයව තබා ගැනිණි. කඩදාසියෙහි යහපත් බොහෝ නීති යථාර්ථයෙහි එසේ නො වේ. ජනාධිපතිනි චන්ද්‍රිකාගේ සමයෙහි පිහිටුවා ගත් අල්ලස් කොමිසම බොහෝ කලක් දත් නැති කොටියකු බඳු විය. ආයතන පිහිටුව ද මූල්‍ය ප්‍රතිපාදන සප්‍රාමාණික ව වෙන් නො කැරෙන්නේ නම් ඵලක් නැත. නීතිය ද ඇති අයට එකකි, නැති අයට වෙනෙකකි. 

හොඳ හිතින් පටන්ගන්නා සංවර්ධන ව්‍යාපෘති පවා ජනමතයට සවන් නොදෙන පාලකයන් විසින් ක්‍රියාවට නඟන්නේ ඇතැම් විට හානිකර පලවිපාක ද අත් කැරැ දෙමිනි. නිදසුනකට නිල්වලා ගඟ යෝජනා ක්‍රමය ගතහොත්, ජන මතය නොතකා පමණක් නොව විශේෂඥ මතය පවා නොතකා ඉටු කැරීමෙහි (එය ද අර්ධ වශයෙන්) අනිසි පල විපාකය මාතර නගරය පවා වාරික ව ගංවතුරෙන් යට වීම ය.

මැතිවරණය ඉලක්ක කරමින් කඩිනම් කිරීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයෙහි මංතීරු දෙකක් අහිමි විය. මහවැලිය කඩිනම් කැරීම කඳුකරයේ නිරන්තර නාය යාම්වලට හේතු විනැ යි ඇතැම් විද්වත්හු කියා සිටියහ. දැනට ඉදිවෙමින් පවත්නා කොළඹ වරාය නගරයෙහි පාරිසරික බලපෑම පිළිබඳ මත කිහිපයෙකි. එහි හොඳ නරක පෙනෙනු ඇත්තේ මතුවට ය. කොත්මලේ ව්‍යාපෘතිය දහස් ගණන් ජනතාවගේ ජල අයිතියට විනයක් වූයේ පාලකයන්ගේ ජන මතය නොඉවසන දරදඬුකම නිසා ය.

යහපාලන ආණ්ඩුව පොට වරද්දා ගෙන වල්මත් ව ඇති බව දැන් කවුරුත් පාහේ පිළිගන්නා කාරණයකි. ජනතාවට සහනයක් ලැබීමට නම් පාලකයන් විසින් වරද නිවරද කර පොරොන්දු ඉටු කළ යුතු ය. එහෙත් වසර තුනක් ගෙවී ඇති තැන එයටවත් කාලයක් නැති තරම් ය. වසර තුනක් ම කා දැම්මේ උනුනුන් කුළල් කා ගැනීමට මිස අන් කිසිවකට නො වේ. මැතිවරණාසන්න අවස්ථාවල ඇතැම් සහන ජනතාවට ලබා දුන්න ද දීර්ඝ කාලීන පිළියමක් නැත.

කෙටි කලකින් සියලු සහන වාෂ්ප වෙයි. ඒ අතර පාලකයන් ජනතාවට බණ කියන්නේ පටි තද කැරැ ගන්නා ලෙස ය. එහි අර්ථයක් ඇත. එහෙත් දේශපාලකයන් සහ වෙනත් වරප්‍රසාද ලද්දවුන් තව තවත් පටි බුරුල් කරමින් කා බී ප්‍රීති වෙත් දී ජනතාවට පටි තද කැරැ ගන්නට කීමෙන් වැඩක් ඇත් ද? මැති ඇමැතින් රොත්තට ම කොඳු නාරටියේ අමාරු බැවින් සුඛෝපභෝගී යාන වාහන ආදිය අවශ්‍ය බව කියැවෙයි. කැබිනෙට්ටුව පොළොව නුහුල්ලන තරම් බරසාර ය. එය පැටව් ගසන්නේ ඇමීබා වාගේ ය. අලි මදිවාට හරක් කීවාක් මෙන් දැන් පළාත් පාලන නියෝජිත සංඛ්‍යාව අට දහස් ගණනෙකි.

පාලකයන් කෙතරම් ලස්සන පින්තූර මවා පෙන්වුව ද අපේ ආර්ථිකය ලෙඩ ඇඳේ ය. අප හිර වී ඇත්තේ කලකින් ගැලැවිය නොහැකි ණය උගුලක ය. ඒ අතර සදාකාලික ම වාගේ වන ගෙවුම් ශේෂ හිඟයකින් ද අපි පීඩා විඳිමු. ඇත්තට ම රට ආර්ථික අර්බුදයක ය. අගාධයක මුව ළඟ ය. විදේශ ආයෝජන ගලා එන්නේ නැත. යන්තම් කාන්දු වනවා පමණි. ඒවා කෙතරම් ඵලදායක ව වැය කැරේ දැ යි යන්නත් ප්‍රශ්නයෙකි.

නිෂ්පාදනය වැඩි කිරීම සහ අඩු ආදායම් ලාභීන්ගේ ජීවන අවශ්‍යතා අවමයෙන්වත් සැපිරීම අතර තුලනයක් පවත්වා ගැනීම කළ යුත්තක් ම ය. ඇත්තට ම ආර්ථික සංවර්ධනය යුද්ධයක් බවට පත්ව ඇත. වෙනත් වචනවලින් කිව හොත්, අසාමාන්‍ය පියවර ගැනීමට කාලය පැමිණ තිබේ. දුප්පතුන්ගේ ඉරණම නොසලකන කවර ආර්ථික ප්‍රාතිහාර්යයක් වුව සපුරා නිෂ්ඵල ය. ඒ තුළ අරාජිකත්වයෙහි, කැරැලි කෝලාහලවල බීජ රෝපණය ව වැඩෙන හෙයිනි. 

ආර්ථික විශේෂඥයන්ගේ සහ පාලකයන්ගේ වගකීම විය යුතු වන්නේ අඩු ආදායම් ලාභී පවුල්වලට සහන දීම සඳහා අනවශ්‍ය වියදම් කප්පාදු කැරැ බදු ව්‍යුහයෙහි උචිත වෙනස්කම් ඇති කරන අතර දීර්ඝ කාලීනව රටෙහි නිෂ්පාදනය වැඩි කරන සැලැස්මානුකූල සංවර්ධන මාවතක් තෝරා ගැනීම ය. අද වැඩියෙන් ඇත්තේ වක්‍ර බදු ය. ඍජු බදු අඩු ය. ඒ දෙක අතර අනුපාතිකය 2016 දී 4ට 1ක් සේ විය. මෙය කණපිට හැරැවිය යුතු ය.

අලි ඇමැති මණ්ඩලය ද හතරෙන් එකකටවත් අඩු කළ යුතු ය. මැති ඇමැතින්ගේ අමතර වරප්‍රසාද තාවකාලිකවවත් නතර කළ යුතු ය. කෑමට, ගමනාගමනය ආදියට ඔවුන්ට දෙන පිහිටාධාර කප්පාදු කළ යුතු ය. (පිහිටාධාර කප්පාදුවට ලෝක බැංකුව ද විරුද්ධ නැහැ නොවැ) රට පුරා ම පාලම් බෝක්කු ඇතුළු විවෘත කිරීම් උත්සවවලට, හැම පන්සලේ ම පල්ලියේ ම කෝවිලේ ම ලොකු කුඩා උත්සවවලට සහභාගී වන්නට ජනාධිපති, අගමැති සහ මහ ආණ්ඩුවෙහි ඇමැතිවරුන් යා යුතු ම ද? පළාත් නායකයන්ට හා නිලධාරීන්ටත් වැඩක් තිබිය යුතු නේ ද? ආණ්ඩුවෙහි පත්වීම් දීමෙහි දී මැති ඇමැති, අගමැති, ජනපති දෙපතුල වෙත පත්වීම් ලාභීන් කැඳවා බතින් බුලතින් සංග්‍රහ කිරීම වුවමනා ම ද? මහජන මුදලින් එසේ කිරීම අනුන්ගේ මඟුල් ගෙදර සංග්‍රහ කැරීමකට සමාන නො වේ ද? ළඟට බුරුතු පිටින් රට යාම්? බොහෝ දෑ අපේ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවලට පැවැරිය හැකි රාජකාරි ය. 

අපේ රටෙහි කුඩා දරුවකු වුව දන්නා කාරණයක් වන්නේ අතරමැදියන් විසින් නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගිකයා ද ගසාකෑම යි. ආණ්ඩුව ද ඇස් කන් පියා සිටී. භාණ්ඩ ප්‍රවාහනය ටික දෙනකුන් අත ය. ඔවුහු අසාධාරණ ලෙස මිල ඉහළ දමති. නිදහස් වෙළෙඳාමෙහි නාමයෙන් එයට ඉඩ දී ආණ්ඩුව බකං නිලා ඉන්නේ ධනවාදී ආර්ථික නියමයන්ට ගරු කරන්නට විය හැකි ය. ඒත් තැලෙන්නේ මෙරට ජනතාව ය. ඩොනල්ඞ් ට්‍රම්ප් ළඟවත් නැති ලිබරල්වාදයක් අපේ නායකයන්ට ඇති හැඩ ය.

කෘෂිකර්මාන්ත නිෂ්පාදිත බොහොමයක ඉහළ මිල පාලනය කරන්නට රජය ප්‍රවාහනයට මැදිහත් විය යුතු ය. ඉඳ හිට පොල් ලොරියක් දෙකක් කොළඹ ගෙනැවිත් පොල් මිල “බැස්සූ” පරිදි නම් එය කළ නොහැකි ය. කලකට ඉහත අලෙවි දෙපාර්තමේන්තුව එම කාරිය මොනවට ඉටු කැරැ පෙන්වී ය.

දේශපාලකයන් දේශප්‍රේමීන් නම් වහා අත ගසන්නට තුබූ සහ තවමත් තිබෙන ප්‍රශ්න එමට ය. එහෙත් ඔවුහු රටත් ජනතාවත් පසෙක ලා බලය සඳහා බලු පොරයක නියැලී ඇත්තා හ. රටෙහි පැතිරෙන දුෂ්පෝෂණය එවන් එක් ප්‍රශ්නයකි. විශේෂයෙන් ගම්බද සහ වතුකරයෙහි ජනයා එයට බෙහෙවින් ගොදුරු ව සිටිති. මෙයට පිළියම් නොකළ හොත් අපට දායාද වනු ඇත්තේ ආබාධිත ශ්‍රම හමුදාවකි. එයට වැඩි වන විශ්‍රාමික වැඩිහිටි පිරිසකගේ නඩත්තුව ද පැවැරෙනු ඇත. ඒ සමඟ ම වැඩිහිටි සත්කාරක සුව සේවා ද සංවර්ධනය කළ යුතු වෙයි. ඒ ගැන දැනට ඇති අවධානය සප්‍රාමාණික නො වේ.

ප්‍රශ්න එමට ය, උග්‍ර ය. ඒවා විසඳන්නට නම් සාර්ව දෘෂ්ටියකින් යුත් සැලැසුම්කරණයක් අනිවාර්ය ය. අතැන මෙතැන අණ්ඩ දැමීමෙහි පිළියම් මැතිවරණ හෝ දේශපාලකයන්ගේ බලය ඉලක්ක කැරැ ගත් තාවකාලික පිළියම් ප්‍රමාණවත් නැත.

අවසානයෙහි කිව යුතු වන්නේ මේ සියල්ල ම සඳහා රටෙහි නීතියක් පැවැතිය යුතු බව ය. මහමඟ සිට මැති සබය දක්වා ම නීතිය වල් වැදී ඇත. නීතියෙහි ආධිපත්‍යය තහවුරු කැරීම හදිසි කාරියක් වන්නේ එහෙයිනි.

ජයතිලක ද සිල්වා



අදහස් (1)

පාලම්-බෝක්කු විවෘත කිරීමේ අඥාන න්‍යාය

Bamunuarachchi. Wednesday, 11 April 2018 02:49 PM

කාගේ වාසනාවකට හරි දැන් අපේ රටේ හන්දිගානේ ප්‍රසිද්ධ වැසිකිළි නැත. හැදුවා නම් ඒවත් විවෘත කරන්න ඒවි !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 352 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 30 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 155 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 192 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 136 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 199 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38777 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site