IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පොලිස් පරීක්ෂකයකු අපරාධය විකෘති කළාද?

(*** නිමන්ති රණසිංහ)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී පිළිස්සීමෙන් මියගිය දැරිය පිළිස්සුණු බව කියන ස්ථානයට ගොස් ඇති පොලිස් මූලස්ථානයේ රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු එම අපරාධ ස්ථානය විකෘති කර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ ඊයේ (09) ප්‍රකාශ කළේය.

පොලිස් මූලස්ථානයේ කොරෝනා අංශය භාරව සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක නෆාර් යන නිලධාරියා සම්බන්ධයෙන් සිදුකරන ලද මෙම විමර්ශනයෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දනුම් දුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, ඔහුද මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට  බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට සඳහන් කළේය.

මෙම දැරිය පිළීස්සීමෙන් පසු ඇයව රෝහල්ගත කර සිටිය දී ඇගේ දෙමාපියන්ට සහ සහෝදරයාට එම නිවසට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති අවස්ථාවේ දී මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු අටදෙනෙකු අමාත්‍යවරයාගේ නිවෙස් සිටිමින් මෙම සිද්ධිය දුරදිග ගෙන නොගොස් අවසන් කර ගැනීමට ඔවුන්ට බල කර ඇති බවත්, මෙම නිවැසියන් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ගෙන්වා බලය පෙන්වා කටයුතු කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

“මේක මේ අය ඕන කමින් කරපු එකක් නොවෙයි. මේක වැඩිය දුරදිග ගෙනියන්න එපා.” යැයි දැරියගේ සොහොයුරාට පවසා ඇති මෙම පොලිස් නිලධාරියා, ඔහු පිළිස්සුනු බව කියන දැරිය නවාතැන් ගෙන සිටි කාමරයට රැගෙන ගොස් භූමිතෙල් ද්‍රාවනය සහිත බෝතලය සහ ලයිටරය පෙන්වා දී ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

“මේ බලන්න. මේ භූමිතෙල් බෝතලයේ මූඩිය කොච්චර තදයි ද කියලා. මේක අරින්නවත් බැහැ. මේ ගෙදර මීට කලින් මෙහෙම දෙයක් වෙලා නැහැ. මීට කලින් කවුරුවත් මෙහෙම ගිනි තියගෙන නැහැ. අවුරුද්දක් තිස්සේ මේ තෙල් බොතලේ මේ කාමරේමයි තිබ්බේ. මේක මෙතනින් නවත්වන්න” යනුවෙන් ප්‍රකාශ කර ඇති මෙම පොලිස් නිලධාරියා දැරියගේ භාරකරුවන් මෙසේ බියට පත් කර ඇත්තේ කිනම් බලයක් ආරෝපනය කරගෙන ද යන්න සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

දැරියගේ දෙමාපියන් බොරැල්ල පොලීසියට ගොස් ප්‍රකාශයක් ලබා දීමටත් මත්තෙන් මෙම පොලිස් නිලධාරියා ඇතුලු පිරිස ඔවුන්ට මේ ආකාරයෙන් බලපෑම් කර ඇත්තේ ඇයි දැයි යන්න මෙම විමර්ශනයේ අරමුණ වන අතර මෙම නිලධාරියා අදාළ අපරාධ ස්ථානයේ ඇති සාක්ෂි විකෘති කර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් ද මේ වන විට සැකයක් මතුවී ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය.

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සීමෙන් මියගිය දහසය හැවිරිදි ඉෂාලිනී ජූඩ් කුමාර් නමැති ඩයගම ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය සම්බන්ධ විමර්ශනයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (09) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳ කිදර් මොහොමඩ් සියාබ්දීන් අයීෂා, ඇගේ පියා අලි ඉබ්‍රාහීම් සායිබු කිදර් මොහොමඩ් සිහාබ්දීන්, ඇගේ සහෝදරයා කිදර් මොහොමඩ් සියාබ්දීන් ඉස්මත් සහ දැරිය කොළඹට ගෙනා තැරැව්කරු පොන්නයියා බන්ඩාරම් නොහොත් ‘සංඛර්’ පොලීසිය විසින් ඊයේ (09) අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූහ.

පැමිණීල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සමඟ බොරැල්ල පොලීසිය, කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකකය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු වැඩිදුර බී වාර්තාවක් ද සමඟින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතීඥ අනිල් සිල්වා, ජනාධිපති නිතීඥ කේ. සී. තවරාසා,  ජනාධිපති නිතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, නිතීඥ ගෞරි තවරාසා නිතීඥ එන්.එම්. ෂයිඩ් සහ නිතීඥ රුස්ඩ් හබීබ්, නිතීඥ සංජය ගමගේ යන මහත්වරු ඇතුළු නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ, ඉකුත් 03 වැනිදා පිළිස්සීමට ලක්වූ මෙම දැරිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉකුත් 15 වැනිදා මියගොස් බවත්, බාහිර පිළිස්සීම් තුවාල හේතුවෙන් ඇතිවූ කම්පනයෙන් දැරියගේ මරණය සිදුවී ඇතැයි මරණ පරීක්ෂණයේ දී කරුණු අනාවරණය වූ බවත් ය.

එසේම, දැරියගේ මරණය පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වී ඇති අන්දමට ඇය ලිංගික ප්‍රවේශයන්ට ලක්වී ඇතැයි හෙළිවී ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා :
ස්වාමිණී, මෙම දැරිය සම්බන්ධ විමර්ශනය ඉතාමත් සියුම් අති සංවේදී කරුණු සහිත පරීක්ෂණයක්. මෙහි සුවිශේෂී කරුණු අධිකරණයට වාර්තා කරන්න කලින් මෙහි ඇතැම් විමර්ශයන් ඒවා මාධ්‍යයට ලබා දීලා තියෙනවා. ඒ ඇතැම් විමර්ශකයන් ප්‍රසිද්ධ වෙන්න ජනප්‍රිය වෙන්න තමයි මේ කරුණු මාධ්‍යයට දීලා තියෙන්නේ.

එහෙම වෙන්න බෑ. මාධ්‍යවේදීන් කරන්නේ  යම් දෙයක් ගැන ගවේෂනාත්මක සොයා බලා වාර්තා කිරීම පමණයි. මේ සම්බන්ධයෙන් ඔවුන්ට දොස් පැවරීම කළ යුතු නැහැ. ඒ නිසා මේ අතීශය සංවේදී කරුණු අධිකරණයට පෙර මාධ්‍යයට ගියේ කොහොමද යන්න සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වලා අධිකරණයට වාර්තා කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසට මුලින්ම ඉල්ලා සිටිනවා.

මෙම දැරියගේ මුල්ම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුහුල් හක් මහතා විසින්. පසුව ඇගේ සිරුර ගොඩගෙන විශේෂඥ වෛද්‍ය ජීන්  පෙරේරා මහත්මිය ප්‍රමුඛ විද්වත් මඩුල්ලක් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළා. එම වාර්තාව මෙතෙක් ලැබී නැහැ. එම වාර්තාවත් පැරණි වාර්තාවත් දෙක සංසන්දනය කිරීමෙන් පසු අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙහි දෙවැනි සැකකරු එනම් අමාත්‍යවරයාගේ මාමණ්ඩිය දැරිය රෝහල් ගත කරද්දී හොඳින් හිටියා හොඳට කතා කළා කියලා ප්‍රකාශයක් දීලා තියෙනවා. නමුත් දැරිය රෝහල්ගත කිරීමෙන් පසු බොරැල්ල පොලීසියේ පොලිස් පරීක්ෂක ශ්‍රීයාරත්න යන නිලධාරියා දැරිය සමග කතා කරලා තියෙනවා. ඒ වෙලාවේ දැරිය ළඟ හෙදියක් ද ඉදලා තියෙනවා. මෙම නිලධාරියා දැරිය කළ ප්‍රකාශය වීඩියෝ ගත කරලා තියෙනවා. එම සැකකරු ප්‍රකාශ හතරක් ලබා දීලා තියෙනවා. ඒ ප්‍රකාශ එකිනෙකට පරස්පරයි. එක තැනක කියනවා තමන් ඒ දැරියව දන්නේ නැහැ කියලා. තව තැනක කියනවා මොකද වුණේ කියලා ඇහුවාම ලයිටර් එක පත්තු වෙලා කියනවා. ඒ ප්‍රකාශ එකිනෙකට පරස්පරයි. මෙහි තුන්වන සැකකාරිය හිටපු අමාත්‍යවරයාගේ  බිරිද පොලීසියට ලබා දීලා තියෙන ප්‍රකාශත් එකිනෙකට පරස්පරයි. තමන් ඉහළ මාලයේ දරුවන් සමග සිටි අවස්ථාවේ දී කෑ ගැසීමක් ඇසී පහළට පැමිණි බවත් එහිදී දැරිය ගිනිගෙන දිව ආ බවත් කකුල් පිහදාන කාපට් එක රැගෙන දැරිය එහි ඔතා නිවස ඉදිරියේ තිබූ පොකුණට බැස්සූ බවත් ඇය එම ප්‍රකාශවලින් කියලා තියනවා.

මොකද වුණේ කියලා ඇහුවාම දැරිය ද්‍රවිඩ භාෂාවෙන් වචන දෙකක් මෙම සැකකාරියට කිව්වා කියලා ඇය සිය ප්‍රකාශයේ සඳහන් කරලා තියෙනවා. “පත්තුවුණා” “දැවිල්ලයි” දැරිය කියලා තියෙන්නේ එහෙම. මොවුන් දැරිය රෝහල් ගත කරන්න උත්සාහ කරලා නැහැ. ගෙදර වැඩට හිටිය 18 හැවිරිදි පිරිමි ළමයාගේ ජංගම දුරකතනයෙන් පොලිස් නිලධාරියෙක් ගෙන්වාගෙන තියෙනව. මේ ගෙදර මෙච්චර දුරකතන තිබිලත් ඒ අය කරලා තියෙන්නේ මෙන්න මේකයි. ඊට පස්සේ පොලිස් නිලධාරියා එක්ක ආපු “රසාත්’ කියන පුද්ගලයා තමයි පොලිස් මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දීලා තියෙන්නේ. මේ අය ආරක්ෂා වෙන්න ක්‍රම පාවිච්චි කරලා. ඊට පස්සේ තමයි ඩයගමට කතා කරලා දෙමාපියන් ගෙන්නලා තියෙන්නේ.

දෙමාපියන් එද්දී ඒ ගෙදර නිල ඇඳුමෙන් සැරසී සිටිය පොලිස්  නිලධාරියා ඇතුලු අට දෙනෙක් ඉදලා. ග්‍රාමීය මිනිස්සු බය කරන්න පොලීසිය පාවිච්චි කරලා මේ අය. මේ පොලිස් නිලධාරියා මේකට සම්බන්ධ වෙන්න තිබෙන බලය කුමක් ද? මේ දැරිය සියයට හැත්තෑ දෙකක් පිළිස්සිලා. දැරිය පිළිස්සුණා කිව්වේ ඇය සිටි මඩුවේ. ඇය එතැන ඉදලා කුස්සිය හරහා සාලයට දුවගෙන ඇවිල්ලා. කුස්සියෙයි සාලයෙයි අතර දොර රෙද්දක් තියෙනවා. සාලයේ පුටු මේස තියෙනවා. තවත් බඩු මුට්ටු තියෙනවා. දැරිය පිළිස්සෙමින් දුවගෙන ආවා නම් බිම හෝ කිසිම තැනක පිළිස්සුන ලක්ෂණයක් වත් නැහැ. මේ මම නිරීක්ෂණය කළ දේවල්. කාමරයේ තිබුණේ කොළ කැලි කිහිපයක් පිළිස්සුනු ලක්ෂණ විතරයි. ගේ දිගේ ගිනිගෙන ඉදිද්දි දිව්වා නම් කෝ සාක්ෂි? කකුල පිහදාන පාපිස්සෙන් ඔතලා තියෙන්නේ. ඊට පස්සේ බෙඩ්ෂීට් එකක ඔතලා රෝහලට අරගෙන ගිහිල්ලා තියෙන්නේ.

ළමයින් ගොඩක් ඉන්න තැනක තමයි මේ දේ වෙලා තියෙන්නේ. ඒකයි පුදුම සහගත කරුණ. මේ සාක්ෂි වසන් කරන්න මේ අය හුඟාක් දේ කරලා. මේ සිද්ධිය සම්බන්ධයෙන් බදුර්දීන්ගේ නැන්දම්මා වන අබ්දුල්ලා ශෙහාරා යන අය පොලීසියට ප්‍රකාශයක් දීලා කියලා තියෙනවා “ ඉෂාලිනී ගිනි තියාගත්තා ද? ඉෂාලිනීව ගිනි ගත්තා ද? ඉෂාලිනීට ගිනි තිබ්බාද? කියලා දන්නේ  දෙයියෝ තමයි” කියලා.

දෙයියෝ විතරක් දන්න අන්න ඒ දේ තමයි මේ විමර්ශනය  කරමින් යන්නේ. ඒ වගේම ඇය කියනවා ඉෂාලිනි ගිනිපෙට්ටියක් හෝ ලයිටරයක් පාවිච්චි කරන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ කියලත්. කරුණු වසන් කළේ කවුද කියලා තමයි දැන් හොයන්නේ. බදුර්දීන්ගේ බිරිඳ කියනවා ඉෂාලිනි ඇඳගෙන හිටිය ඇඳුමේ නූලක් එළියට ඇවිල්ල්ලා ඒක අයින් කරන්න ගිහින් මෙහෙම පිච්චුනා කියලා. ඇයි ඒ ගෙදර කතුරක් නැද්ද? ඇගේ ඇඳුමේ නූලක් තිබ්බොත් ඒක භූමිතෙල් දාලා පත්තුකරලා අයින් කරන්න ඕනද?

දැරියගේ මිනියෙන් කොහොමද භූමිතෙල් ගඳ එන්නේ එතකොට? දැරිය රෝහල්ගත කළ අවස්ථාවේ දී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන්නේ 03 වැනිදා උදේ 11.20 ට. එතැන හිටිය ඩොක්ටර් රන්දික කියන වෛද්‍යවරයා දැරියගේ වාර්තාවේ සඳහන් කරනවා ස්වයංව වෙච්චි ගිනි ඇවිලීමක් කියලා. ඊට පස්සේ දැරිය බලපු හැම වෛද්‍යවරයෙක්ම ප්‍රශ්නාර්ථයක් දාලා තියෙනවා. ඒ හැම වෛද්‍යවරයෙකුගෙන්ම ප්‍රකාශයක් ගත්තා. එහෙත් ඩොක්ටර් රන්දික මේ වන විට ඉන්නේ එංගන්තයේ. අන්තර්ජාලය හරහා ඔහුගෙන් ප්‍රකාශයක් සටහන්  කර ගැනීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ වෙලා සිදුවෙන බවට නීතිපතිවරයාට දැනුම් දීලා තියෙනවා. දැරිය මගේ මරණයට හේතුව, කියලා ලියලා තිබුණා කාමරයේ දොර පිටුපස නිල් පෑනෙන්. මේ වන විට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවෙනවා. මීට පෙර එම නිවසේ සේවය කළ සේවිකාවන් හය දෙනෙකුගෙන් ප්‍රකශ සටහන් කරගෙන තිබෙනවා. ඒ හැම කෙනෙකුම කිව්වේ වැසිකිළි හේදුවේ නැත්නම් හෑන්ඩ් ෂවර් එකෙන් නාවනවාලු. ඒ අයට කන්න දෙන්නේ ගෙදර අය කාලා ඉතුරු ඒවාලු. මේ වගේ තත්ත්වයක දී ඉෂාලිනි ගිනි තියාගත්තා කිව්වා නම් ඒක පුදුමයක් නෙවෙයි. රිෂාඩ් බදියුදීන් ඉකුත් ජනවාරි සහ දෙසැම්බර් මාසවල එම නිවසේ සිටි බවට සාක්ෂි අනාවරණය වෙලා තිබෙනවා. ඒ වගේම මෙහි හතරවැනි සැකකාර රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනා සිද්ධිය වූ දින සිටියෙ නැති වුණාට ඔහු නිතර නිතර  මේ නිවසට පැමිණ ගොස් තිබෙනවා. දැරිය ආරක්ෂා කරන්න තමයි මේ  විදිහට අයින් කරලා තිබ්බේ කියලා ඔවුන් කියනවා. ඒක පුදුම ආරක්ෂා කිරීමක්.

මෙම සිද්ධියට අදාළ තුන්වන සැකකාරිය වන හිටපු අමාත්‍යවරයාගේ බිරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනිල් සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, තමන් දැරිය රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බවට කරන චෝදනාව ඔප්පු කිරීම සඳහා එම නිවසේ සේවයේ යෙදී සිටින මෙහෙකාර පිරිමි ළමයාගේ ජංගම දුරකතන වාර්තාව පිරික්ෂීමෙන් විමසා බැලිය හැකි බවය. එසේම, ජනාධිපති නිතීඥවරයා අදළ දුරකතන විශ්ලේෂණ වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ, මෙම සිද්ධියේ සාක්ෂිකරුවකුගේ දුරකත වාර්තා අධිකරණ නියෝගයකින් තොරව ලබාගත්තේ කෙසේද යන්නය. මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට සිය නිතීඥයන් මගින් මෙසේ සිදුකරනවා නම් එළියට ආවොත් කෙසේ හැසිරේවී ද යන්න සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බැවින් මොවුන්ට ඇප ලබා දීමට තරයේ විරුද්ධවන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

මෙම සිද්ධියේ දෙවැනි සැකකරු දේශපාලනඥයකු නොවී පොලිස් නිලධාරියකු නිල ඇඳුමින් සිය නිවසට ගෙන්වා දැරියගේ දෙමාපියන් නිවසට එන අවස්ථාවේ කටයුතු කළ ආකාරය මෙන්ම, අධිකරණ නියෝගයකින් තොරව නඩුවේ සාක්ෂිකරුවකුගේ ජංගම දුරකතන වාර්තා කැඳවීම යන හේතු අනුව සැකකරුවන් සාක්ෂිවලට බලපෑම් එල්ල කළ හැකි බවට නිරීක්ෂණය වන බැවින් ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන බව මෙහිදී අධිකරණය සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

මෙහි අතිසංවේදී කරුණු අධිකරණයට වාර්තා කිරීමට පෙර ජනමාධ්‍ය වෙත නිකුත් වූයේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලා අධිකරණයට වාර්තාවක් ලබාදෙන ලෙස ද මෙහිදී අධිකරණය පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කළේය.

එමෙන්ම, මෙම සිද්ධියට අදාළව විමර්ශන මට්ටමක පවතින අවධියක පූර්ව නිගමනයන්ට පෙර පොලීසිය විසින් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම වලකා ලන ලෙසට වහාම පියවර ගන්නා ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය පොලිස්පතිවරයාට නියෝගයක් ද නිකුත් කළාය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අදාළ නියෝග නිකුත් කරමින් සැකකරුවන් තවදුරටත් ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කළේය.

මෙම සැකකරුවන් ජූඩ් කුමාර් ඉෂාලිනී යන දහසය හැවිරිදි බාලවයස්කාර දැරියකට නොසලකා හරිමින් කෲරත්වයට පත් කිරීමෙන් ‘‘වධ හා තැනැත්තන් වෙළෙඳාම් කිරීම’’ අනිවාර්යයෙන් හෝ බලහත්කාරයෙන් වැඩ ගැනීම 1995 අංක 22 හා 2006 අංක 16 දරන පනතින් සංශෝධිත වූ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 360 ඇ, (1), 358 (අ) (1), 308 (1) වන වගන්ති ප්‍රකාරව දඬුවමක් ලැබිය යුතු වරදවල් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වන බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබිණි.

මෙම තැනැත්තිය මෙහෙකාර සේවය කරන ලද නිවස තුළ සිදු වූ වදහිංසා කරදර අපයෝජන හේතුවෙන් ඇති වූ මානසික පීඩනය හේතු කොටගෙන සිය දිවි නසා ගැනීමක් සිදුකළේ ද?, නැතහොත් එම නිවස තුළ යම් පුද්ගලයකු විසින් හෝ කිහිප දෙනකු විසින් ලිංගික අපයෝජනයක් හෝ වදහිංසාවකට ලක්කර සාක්ෂි වසන් කිරීමේ අරමුණක් ඇතිව ගිනි තබා ඝාතනය කිරීම සිදුකරනු ලැබුවේ ද? යන්න සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකළ යුතුව ඇති බව පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.

 



අදහස් (5)

පොලිස් පරීක්ෂකයකු අපරාධය විකෘති කළාද?

Raveendra Tuesday, 10 August 2021 03:56 PM

මෙහි සඳහන් කරුණු කාරණා "එසේ සිදුවී" ඇති නම් වටිනා ගෞරවාන්විත නිල ඇඳුමක් සුනඛයෙකුට අන්දවා ඇති බවක් නොවේද? කරුණාකර මොහුගේ වතගොත මහජනතාවගේ දැන ගැනුමට ප්‍රසිද්ධ කරන මෙන් අදාළ නිලදරුවන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. ආරක්ෂක අංශවලට මෙවැන්නන්ට ඇතුළුවීමට ඉඩසැලසීමේ විපාක මහජනතාවටම විඳීමට සිදුවීම අවාසනාවකි. මෙම අදහස් මෙම අායතනයේ ප්‍රධානියාට කියවීමට හැකි වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි..

:       0       94

fairoos Tuesday, 10 August 2021 06:48 PM

කඩේ යන අය ගොඩයි.. දිලීප පීරිස් මහතාට හොඳ අනාගතයක් ළඟදීම උදාවෙයි.

:       108       22

රහමන්Wednesday, 11 August 2021 11:19 AM

මෙහි වැරැදිකරුවන් හොයා ගැනීමටයි මේ උත්සාහය. ඒත්, ඔබ වැන්නන්ගේ මෙවන් අදහස් නිසා තමයි, සමස්ත මුස්ලිම් ජනතාව දෙස සෙසු ජනතාව සැකයෙන් බලන්නේ... වෙනදාට වඩා ඔබ අද වෙනස්...

:       4       92

Maheel Tuesday, 10 August 2021 09:15 PM

අපේ රටේ පොලිසියට ගොරකා දඩමස් කරන්නත්, දඩමස් ගොරකා කරන්නත් පුළුවන්ලු... සල්ලි විතරයිලු ඕනෑ..

:       5       28

sg Wednesday, 11 August 2021 12:29 AM

මේ දුප්පත් දරුවාට නීතිය ක්‍රියාත්මක කරන්න.

:       0       30

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 754 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 369 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 126 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4271 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12680 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 687 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site