පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු සිටියේ පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගී වෙමිනි.
කලින් නොදැන සිටි මහ මොළකරුවන්, අලුතින් සිදුකෙරෙන විමර්ශන මගින් අනාවරණය කර ගෙන ඇති බවට යෝජනා කරන පුපුරනසුලු නව ප්‍රකාශවලින් මෙම වසරේ මතකය යටපත් වී ඇත. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අප්‍රේල් 10 වැනි දින පාර්ලිමේන්තුවේදී සිදුකළ පුදුම සහගත හෙළිදරව්වෙන් පසුව මෙම මතභේදය තවත් ගැඹුරු වී ඇත. ගරිල්ලා නායකයකුව සිට පසුව දේශපාලනඥයකු බවට පත්වූ ලෙසින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවට ඔහු ප්‍රකාශ කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරවලට ඔහුගේ ඇති සම්බන්ධය පිළිබඳ බොහෝ තොරතුරු හෙළිදරව් වී ඇති බවද ඔහු පැවසීය. “කිසිදු අපරාධයක් කාපට් එක යටට දැමීමට අපි ඉඩ දෙන්නේ නැහැ” යැයි විජේපාල ප්‍රකාශ කළේ, “නීතිය හා සාමය යථා තත්වයට පත් කිරීමට” පොරොන්දු වෙමිනි. එහෙත්, ඔහුගේ ප්‍රකාශයේ සැලකිය යුතු තොරතුරු නොමැති වූ අතර, මහජනතාව පිළිතුරු නොලැබෙන ප්‍රශ්න සමඟ පොරබදමින් සිටිති. ඉන් පසුව සිදු වූ සිදුවීම් නිසා එය තවත් නරක අතට හැරුණි.
මැයි 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැළී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක, පාස්කුදා ප්‍රහාරයේ විමර්ශනවල නව වර්ධනයන් පිළිබඳව ඉඟි කළ නමුත්, නිශ්චිත කරුණු හෙළි කිරීමෙන් ඔහු වැළකී සිටියේය. ජාතික ජන බලවේගය - ජනතා විමුක්ති පෙරමුණ අනෙකුත් නායකයන්ගේ නිහඬතාව සැකයට තුඩු දී ඇති අතර, ඉන් මෙම හෙළිදරව් කිරීම්වල සත්‍යතාව සහ කාලය පිළිබඳව සැක මතු කරයි. මෙම නව වර්ධනයන් ඉතිහාසය නැවත ලිවීමේ උත්සාහයක් ලෙසින් අවසන්වේද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වී තිබෙන අතර, එය කොටි ගරිල්ලන්ගේ මිලිටරි පරාජය ඇතුළුව රටේ මෑත අතීතයේ බහුලව දක්නට ලැබෙන සංසිද්ධියකි. ඊටත් වඩා, වසර හයකට පසු නව සොයාගැනීම් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරයක් සඳහා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් පනවන ලද අවසාන දිනයද පසෙකින් තිබුණි. මේ අනුව, ඔහුට නිතිපතා තොරතුරු දැනුම් දෙන ලෙස නියෝග කර ඇති සී.අයි.ඩී. කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් හේතු දක්වා තිබේද? නැතහොත් අතෘප්තිය ප්‍රකාශ කිරීම සඳහා කොළඹ සිට ප්‍රහාරයක් එල්ල වූ පල්ලියක් වන කටුවාපිටිය පල්ලිය දක්වා වන විරෝධතා පාගමන ඉදිරියට ගෙන යාමට කාදිනල් හිමිපාණෝ පියවර ගනිත්ද? යන්න තවමත් පැහැදිලි නැත. කොළඹ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා වූ දුර කිලෝමීටර් 37 කට වඩා වැඩිය.
නව සිදුවීමක් ලෙසින් පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රහස් පරීක්ෂකයන් විසින් වාලච්චේනයි හි පදිංචිකරුවකු වන කේ. ජෙයකෂින් නොහොත් ජෙයන්තන් අත්අඩංගුවට ගෙන කොළඹට රැගෙන ආවේය. ඔහු පිල්ලෙයාන්ගේ සමීපතමයකු වන අතර, මඩකලපුවේ දෙමළ මක්කල් විඩුතලෙයි පුලිකල් (ටීඑම්වීපී) කාර්යාලයේ සේවය කළේය. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ 2006 වසරේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙකු වූ සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත්ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශනයට සම්බන්ධ බව සී.අයි.ඩී.ය පැවසීය. සිකුරාදා අත්අඩංගුවට ගත් තවත් අයෙකු වූයේ පෞද්ගලික බස් රියදුරකු වන දේව සුගත් නොහොත් කාන්ත් ය. ඔහු ජෙයකෂින්ගේ රියදුරු ලෙස සේවය කර ඇත.
පොලිස් මූලස්ථානයේ නිල නිවේදනයකට අනුව, අප්‍රේල් 8 වැනි දින පිල්ලයාන් අත්අඩංගුවට ගනු ලැබුවේ මහාචාර්ය රවීන්ද්‍රනාත් පැහැර ගැනීම සම්බන්ධයෙනි. මහාචාර්යවරයාට සිදුවූ දෙයක් තවමත් දැනගැනිමට නැත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස තුනක රැඳවුම් නියෝගයක් මත පිල්ලයාන් දැන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ රඳවා තබා ඇත. මෙම නියෝගයට අස්සන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනි. මේ හරහා නිසැකවම ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සහ ඔවුන් රැස්කර ගත හැකි “නැවුම් සාක්ෂි” සම්බන්ධයෙන් හරස් පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය කිරීමට කාලය විමර්ශකයන්ට ලබා දෙනු ඇත. පාස්කුදා ඉරිදා ප්‍රහාරයන්ට පිල්ලයාන්ගේ සම්බන්ධය පිළිබඳව අමාත්‍ය විජේපාල කළ හෙළිදරව්ව පිල්ලෙයාන්ව දිගු කාලයක් රඳවා තබා ගැනීමට අවශ්‍ය හේතුව සපයයි.
මෙම වසරේ සිදු කර ඇති ප්‍රකාශ, එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (එෆ්බීඅයි) සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ කණ්ඩායම් විසින් මීට පෙර පවත්වන ලද ජාත්‍යන්තර විමර්ශන සමඟ ගැටේ. ඔවුන් සතුව විශාලතම කණ්ඩායම් සිටි අතර, ඔවුන්ගේ පරීක්ෂණ දැඩි ඒවා විය. ඔවුන්ට සවිස්තරාත්මක තාක්ෂණික සහාය සහ උපදෙස් ලබා දුන්නේ ඊශ්‍රායලයේ මොසාඩ් කණ්ඩායමක් විසිනි. අනෙකුත් පොලිස් කණ්ඩායම් අතර එක්සත් රාජධානියේ ස්කොට්ලන්ඩ්යාඩ්, නවසීලන්ත පොලිසිය, ඩෙන්මාර්ක පොලිසිය, ලන්දේසි පොලිසිය සහ ප්‍රංශයේ ලියොන් හි ඉන්ටර්පෝල් මූලස්ථානයේ ඉහළ නිලධාරීහු වූහ. මෙම සියලුම විමර්ශන කණ්ඩායම් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සමඟ සමීපව කටයුතු කළ අතර, ඔවුන් ක්‍රියාත්මක වූයේ නව ලේකම් කාර්යාලය ගොඩනැගිල්ලේ සිව්වන මහලේ පිහිටි ඔවුන්ගේ මූලස්ථානයේ සිටය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, එහි අධ්‍යක්ෂවරයා වූයේ එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු වූ ශානි අබේසේකර ය. පරීක්ෂණ අවසන් වූයේ වෙන් වෙන් විමර්ශකයන් තනි නිගමනයකට පැමිණීමෙන් අනතුරුවය. එම නිගමනය වූයේ, මෙම සමූලඝාතන “ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස්” සංවිධානය විසින් මෙහෙයවන ලද අතර, එය එවකට සිරියාවේ මුල් බැසගත් අයිඑස්අයිඑස් නායකත්වය පිළිගත් අනුබද්ධ ආයතනයකි. අයිඑස්අයිඑස් සංවිධානය කෙරෙහි ප්‍රහාරකයන්ගේ ඇති පක්ෂපාතීත්වය, සිරියාව සමඟ ඔවුන්ගේ සෘජු සන්නිවේදනය සහ ඔවුන්ගේ පුහුණුව යන සියල්ල මෙම ආඛ්‍යානය ශක්තිමත් කරයි.
“සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ අප්‍රේල් 14 කලාපය අවුරුදු නිවාඩුව හේතුවෙන් අප්‍රේල් 11 වැනි දින නිකුත් කරන ලද අතර, එහි එෆ්බීඅයි විමර්ශන කණ්ඩායමේ ප්‍රධානියා ලෙසින් 33 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායම ශ්‍රී ලංකාවට රැගෙන ගිය විශේෂ නියෝජිත මෙරිලි ආර්. ගොඩ්වින් විසින් ලොස් ඇන්ජලීස් අධිකරණයකට ගොනු කරන ලද පිටු 71 කින් යුත් දිවුරුම් ප්‍රකාශයක තිබූ කැපී පෙනෙන කරුණු හෙළිදරව් කළේය. ඔහු එම දිවුරුම් ප්‍රකාශය එක්සත් ජනපද අධිකරණ වෙත යොමු කළේ මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්සර් මොහොමඩ් රිස්කාන් සහ අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් යන අයට එරෙහිව අපරාධ නඩුවක් සහ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබාගැනීම සඳහාය. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරවලදී ඇමරිකානු ජාතිකයන් පස් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ය.
2020 නොවැම්බර් 12 දිනැති දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන්නේ, “ප්‍රහාරකයන් සහ ඔවුන්ගේ සහචර කුමන්ත්‍රණකරුවන් අයිඑස්අයිඑස් සංවිධානයේ සාමාජිකයන් සහ ආධාරකරුවන් වූ අතර, ඔවුන් “ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස්” නමින් කණ්ඩායමක් නිර්මාණය කළ” බවයි. ඔවුන් තම ප්‍රවෘත්ති ඒජන්සිය හරහා ප්‍රහාර සඳහා වගකීම භාර ගනිමින්, “ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන්” විසින් “ශ්‍රී ලංකාවේ සන්ධාන රාජ්‍යවල පුරවැසියන් සහ ක්‍රිස්තියානීන් ඉලක්ක කර ගත්” බව ප්‍රකාශ කර ඇත. ඔවුන් ඒ සමඟ අයිඑස්අයිඑස් සංවිධානයේ එවකට නායකයා වූ අබු බකර් අල්-බැග්දාඩි (“අල්-බැග්දාඩි”) ට පක්ෂපාතීත්වය (“බයාත්”) දිවුරුම් දෙන ප්‍රහාරකයන්ගේ පින්තූරයක් සහ වීඩියෝවක් ද පළ කළේය. තමා සහ ගොදුරු වූවන් දුසිම් ගණනක් මරා දැමූ මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හැරීමට පෙර, මොහොමඞ් කාසිම් මොහොමඩ් සහරාන්, හෙවත් සහරාන් හෂීම් පාස්කු ප්‍රහාර පිටුපස මහ මොළකරු සහ ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස් සංවිධානයේ ස්වයං ප්‍රකාශිත නායකයා වශයෙන් කටයුතු කළේය. සිරියාවේ අයිඑස්අයිඑස් නායකත්වය සමඟ සෘජුවම සන්නිවේදනය කළ බවත් අයිඑස්අයිඑස් සංවිධානයට අනුබද්ධිත සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වීමට අනුමැතිය ලබා ගත් බවත් සහරාන් කියා සිටියේය. කණ්ඩායම් සාමාජිකයන් බයාත් දිවුරුම් දුන් අතර අයිඑස්අයිඑස් සංවිධානය විසින් සපයන ලද උපදෙස් ද්‍රව්‍ය භාවිත කරමින් නව සාමාජිකයන් පුහුණු කර බඳවා ගත්තේය”.
දැන් ඉදිරිපත් කර ඇති නව ප්‍රකාශ ජාත්‍යන්තර විමර්ශකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ සොයාගැනීම්වලට පටහැණිය. මෙය අවිනිශ්චිතතාවයේ අධික ලෙස සංකීර්ණ ජාලයක් අලුතින් එක් කර ඇත. එක්සත් ජනපද අධිකරණවල ගොනු කරන ලද නීතිමය දිවුරුම් ප්‍රකාශවල සිට අපරාධ ස්ථානවලින් එකතු කරන ලද සාක්ෂි දක්වා වූ ජාත්‍යන්තර විමර්ශනය හරහා සහරාන් හෂීම් සහ මොහොමඩ් නවුෆර් වැනි ප්‍රධාන කුමන්ත්‍රණකරුවන් ප්‍රහාරවලට සම්බන්ධ කර ඇත. එවැනි ප්‍රතිවිරුද්ධ ආඛ්‍යාන සමඟ, පාස්කු ඉරිදා ඛේදවාචක පිටුපස ඇති සත්‍යය යුක්තියෙන් ගැලවී යාමට ඉඩ ඇත.
පාස්කු ඉරිදා සමූලඝාතනවලට පිල්ලයාන් සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇතැයි යන තොරතුරු තවමත් ප්‍රසිද්ධ කර නොමැත. හිටපු අමාත්‍යවරයකු මෙන්ම, වර්තමානයේ මව්බිම ජනතා පක්ෂයේ සාමාජිකයකු වන නීතිඥ උදය ගම්මන්පිල පසුගිය බදාදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් තමාගෙන් තවමත් ප්‍රශ්න කර නොමැති බව පිල්ලයාන් තමාට පැවසූ බවයි. පිල්ලෙයාන් එසේ පවසා ඇත්තේ ඔහු රඳවා තබා ඇති සී.අයි.ඩී. මූලස්ථානයේදී ඔහු සමඟ පැවති හමුවකදීය.
ගම්මන්පිලට පිල්ලයාන් හමුවීමට අවසර ලබා දී තිබුණේ ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයකු ලෙසිනි. කෙසේ වෙතත්, මෙම රැස්වීම පුරාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිව්දෙනකු ඔහු සමඟ රැඳී සිටි බවත්, මෙය ඔහුගේ නීතිඥ-සේවාදායක වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බවටත් ඔහු පැමිණිලි කර තිබුණි. පාස්කු ඉරිදා සිදුවීම්වලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පිල්ලයාන් ප්‍රකාශ කර ඇති බවත්, එවකට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැහැරගෙන යාමේ චෝදනාව සම්බන්ධයෙන් තමා තවමත් අත්අඩංගුවේ පසුවන බවත් පිල්ලෙයාන් පවසා ඇත. පිල්ලයාන්ට ලබා දුන් රැඳවුම් නියෝගයේ පාස්කු ඉරිදා සිදුවීම් ගැන සඳහන් නොවන බවද ගම්මන්පිල පැවසීය.
විවිධ චෝදනා මත මඩකලපුවේ සිරගත කර සිටි බව කියන ප්‍රහාරකයන් සමඟ පිල්ලෙයාන් සම්බන්ධකම් පවත්වා ඇති බවට 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු විවිධ අවස්ථාවලදී ඇතැම් පාර්ශවවලින් චෝදනා එල්ල වී තිබේ. ඒ අතර යුද පිටියේ ඔහුගේ හිටපු විරුද්ධවාදීහු ද වූහ. ප්‍රචණ්ඩත්වය සහ මිනීමැරුම් කථාංගවලින් සලකුණු වූ කොටි ගරිල්ලකු ලෙස පිල්ලෙයාන්ගේ ඉතිහාසය මෙම ප්‍රකාශයන්ට බරක් ලැබී ඇත. කෙසේ වෙතත්, නිශ්චිත සිදුවීම් හෝ වෙනත් කිසිදු ක්‍රියාකාරකමකට ඔහුගේ සෘජු සම්බන්ධය සනාථ කිරීම සඳහා කිසිදු ස්ථිර සාක්ෂියක් මතුව නැත. ජාත්‍යන්තර විමර්ශනවලදී හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර කරන ලද පරීක්ෂණවලදී ඔහුගේ නම මතු නොවීය. එසේම ඔහු “පාස්කු පදුකෝලයි” හෙවත් “පාස්කු සියදිවි නසාගැනීම” යන මාතෘකාව යටතේ ප්‍රකාශයට පත්කළ පිටු 329 කින් යුත් දෙමළ පොතේද තමා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. 2024 මාර්තු මාසයේදී මඩකලපුවේ කාංචන මණ්ඩපයේදී මෙම පොත එළිදැක්වීමේ අවස්ථාවවට බෞද්ධ, මුස්ලිම් සහ හින්දු පූජක පක්ෂයෙන් කොටසක් සහභාගී වූහ. ඉන්පසු පොතේ සිංහල පරිවර්තනයක් නිකුත් කරන ලදී. ඔහු තම පොත සම්පූර්ණ කරන අතරතුර, පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූ බව ඔහු පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ “ප්‍රහාරය සිදුවුණේ මම රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදීයි. මෙම සිදුවීම්වලට මගේ කිසිදු සම්බන්ධයක් නැහැ. මෙය මෙම බිහිසුණු අපරාධයට මා සම්බන්ධ කරන පදනම් විරහිත සහ වංචනික ක්‍රියාවක් බව මම නිශ්චිතවම ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. එය සිදු කර ඇත්තේ යටි දේශපාලන චේතනාවකින්. ප්‍රහාර පිළිබඳව යමෙකුට කිසියම් සැකයක් ඇත්නම්, සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් මරාගෙන මැරෙන ප්‍රහාරයට පෙර ඔවුන්ගේ පක්ෂපාතිත්වය/ දිවුරුම් ප්‍රකාශ කරන සම්පූර්ණ වීඩියෝව නැරඹිය යුතුය” යනුවෙන් ඔහු ප්‍රකාශ කරයි.
පොතේ වැදගත් කරුණු අතර:
පිල්ලෙයාන් නැගෙනහිර පළාතේ ඉස්ලාමීය අන්තවාදයේ මූලයන් සොයා ගන්නා අතර, මැදපෙරදිග රටවල් සමඟ සම්බන්ධතාව වැඩිවීම, විදේශයන්හි රැකියා අවස්ථා සහ ඉස්ලාමීය ඉගැන්වීම් ආයතන පිහිටුවීම එහි වර්ධනයට හේතු වන බව ඔහු පෙන්වා දෙයි. මෙම සාධක විශේෂයෙන් තරුණයින් අතර වහබ්වාදය පැතිරීමට හේතු වූ බව ඔහු තර්ක කරයි. 18 වැනි සියවසේදී වර්තමාන සෞදි අරාබියේ මුහම්මද් ඉබ්න් අබ්දුල්-වහාබ් විසින් ආරම්භ කරන ලද එය, ඉස්ලාමයේ මුල් ඉගැන්වීම්වලින් බැහැරවීම් ලෙස සලකන නවෝත්පාදනයන් (bid'a) සහ භාවිතයන් ප්‍රතික්ෂේප කිරීම වෙනුවෙන් පෙනී සිටී.
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රජාව අතර සංහිඳියාව ඇති කිරීම සඳහා ඉතිහාසය අවබෝධ කර ගැනීමේ ඇති වැදගත්කම ඔහු අවධාරණය කරයි.
2017 දී රිමාන්ඩ් භාරයේ සිටියදී ඉස්ලාමීය රැඩිකල්වාදීන් සමඟ ඔහු කළ අන්තර්ක්‍රියා ඔහු විස්තර කරයි. ඔවුන්ගේ රැඩිකල් හැසිරීම පිළිබඳව මෙන්ම, සාකච්ඡා අතරතුර කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන සයින් මවුලවිගෙන් ඉස්ලාමීය චින්තනය පිළිබඳ පොතක් ලැබීමද ඔහු විස්තර කරයි.
● 2018 දෙසැම්බර් මාසයේදී සහරාන් හෂීම් කාන්තාවන් 15 දෙනෙකු මරාගෙන මැරෙන මෙහෙයුම් සඳහා පුහුණු කිරීම පිළිබඳ කම්පන සහගත ප්‍රකාශ ද පොතෙන් හෙළි වේ. මෙම ප්‍රකාශයට සහාය දැක්වීම සඳහා පිල්ලෙයාන් බුද්ධි වාර්තා සහ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සාක්ෂි උපුටා දක්වයි.
මැදපෙරදිග රැකියා අවස්ථා වැඩිවීම, ඉස්ලාමීය ඉගැන්වීම් ආයතන පිහිටුවීම සහ එම රටවලට ඇති අනෙකුත් සම්බන්ධතා හේතුවෙන් නැගෙනහිර ක්‍රමානුකූලව “අරාබිකරණය” සිදුවී ඇත. (සටහන: නැගෙනහිර නගරයක “
සුපිරි මුස්ලිම්” නමින් කණ්ඩායමක් බිහිවීම පිළිබඳව බුද්ධි අංශ රජයට වාර්තා කර ඇත. එය තවමත් පවතින්නේ ළදරු අවධියේය)
මෙම වර්ධනයන්, විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට තුඩු දුන් ප්‍රදේශයේ තරුණයන් අතර “වහාබ්වාදය” පැතිරවීමට මග පෑදීය.
ඉතිහාසය තේරුම් නොගෙන සාකච්ඡා නොකර, රටේ ජනවාර්ගික ප්‍රජාවන් අතර සංහිඳියාව ගැන කතා කිරීමට නොහැකි බව ඔහු සඳහන් කරයි. 2017 දී මඩකලපුවේදී රිමාන්ඩ් භාරයේ සිටියදී ඉස්ලාමීය රැඩිකල්වාදීන් පිරිසක් කිහිප වතාවක් මුණගැසුණු බව ඔහු හෙළි කරයි. මෙම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතමයා වන සයින් මවුලවි, ඔහුට ඉස්ලාමීය චින්තනය පිළිබඳ පොතක් ලබා දී ඇත. මෙය සිදු වූයේ ඔවුන්ගේ රැඩිකල් හැසිරීමට හේතු පිළිබඳව පසුව ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදීය.
සහරාන්ගේ මෙම අනුගාමිකයෝ 2017 දී සුෆි මුස්ලිම්වරුන් සමඟ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන මාස අටක් පමණ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියහ. ඉස්ලාමයේ අද්භූත ශාඛාවක් වන සුෆිවාදය අභ්‍යන්තර අධ්‍යාත්මික පවිත්‍රකරණය සහ අල්ලාහ් පිළිබඳ සෘජු දැනුම සෙවීම කෙරෙහි අවධානය යොමු කරයි. පසුව, 2019 අප්‍රේල් 26 වැනි දින සයින්දමරුදු (මඩකලපුව දිස්ත්‍රික්කය) හි ඔවුන්ගේ ආරක්ෂිත නිවස පොලිස්/හමුදා විසින් වටලන අතරතුර මෙම කණ්ඩායමේ තරුණයෝ දෙදෙනෙක් සියදිවි නසා ගත්හ.
මෙම හෙළිදරව් කිරීම් හරහා ප්‍රහාරයන් වටා සිදුවන කතිකාවට ස්ථර එකතු කරන අතර, ඉන් දෘෂ්ටිවාදය, රැඩිකල්කරණය සහ දේශපාලන ආඛ්‍යානවල අන්තර් ක්‍රියාකාරිත්වය ඉස්මතු කරයි. පිල්ලෙයාන් ඔහුගේ මැදිහත්වීම ප්‍රතික්ෂේප කිරීම සහ ඓතිහාසික හා දෘෂ්ටිවාදාත්මක විශ්ලේෂණය කෙරෙහි ඔහු දක්වන අවධානය, ඛේදවාචකය තේරුම් ගැනීම සඳහා ඔහුගේ පොත සැලකිය යුතු, නමුත් ඉතා මතභේදාත්මක දායකත්වයක් සපයයි.
විදේශීය කණ්ඩායම් විසින් කරන ලද පරීක්ෂණවල සොයාගැනීම් එවකට පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත වරින් වර දැනුම් දෙනු ලැබුණි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් නිතිපතා ඔහුට කළ වාර්තා කිරීම්වලට අමතරව ය. වගකිව යුතු පුද්ගලයන් වැඩි පිරිසක් අධිකරණයට ඉදිරිපත් කිරීම සහතික කිරීම සඳහා, ඔහු එෆ්බීඅයි සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (ඒඑෆ්පී) යන දෙඅංශයෙන්ම තවදුරටත් සහාය පැතුවේය. තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලැබේ දැයි දැන ගැනීමට ඔහුට අවශ්‍ය විය. එෆ්බීඅයි සහ ඒඑෆ්පී යන ආයතන දෙකම වැඩි උනන්දුවක් දැක්වූයේ සමඟ අයිඑස්අයිඑස් සංවිධානයට ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධතා ගැනය. ඒ විශේෂයෙන් දෙරටම ඔවුන්ගේ පැවැත්ම සැලකිල්ලට ගනිමිනි.
වොෂින්ටන් ඩී.සී. හි එෆ්බීඅයි අධ්‍යක්ෂවරයාට යවන ලද ලිපියෙන් ඉස්මතු කරන්නේ, එවකට පොලිස් ප්‍රධානියා වූ වික්‍රමරත්න විසින් විදේශීය විමර්ශකයන්ගේ සොයාගැනීම් පිළිගත්තා පමණක් නොව, ඔහුට වැඩිදුර තොරතුරු ද අවශ්‍ය වූ බවයි. එය දන්වා යවා තිබුණේ එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ හරහාය. මෙම ක්‍රියාවලිය විදේශ කටයුතු අමාත්‍යාංශයට වැදගත් පණිවිඩයක් ගෙන එයි. බොහෝ විට, කොළඹ පදනම් කරගත් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල සිටින අය තම විමසීම් හෝ රැස්වීම් මෙම අමාත්‍යාංශයට යොමු කිරීමේ ප්‍රොටෝකෝලය අනුගමනය නොකරයි. ඔවුන් සමහර විට අමාත්‍යාංශයේම අනුදැනුමකින් තොරව සෘජුවම වගකිව යුතු රජයේ ආයතනය සමඟ කටයුතු කරයි. 2022 මාර්තු 29 දිනැති ලිපියකින් පොලිස්පති වික්‍රමරත්න මෙසේ පවසා ඇත: “පසුව හඳුනාගත් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම විසින් 2019 අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ සිදු කරන ලද පාස්කු ඉරිදා ම්ලේච්ඡ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සමාන්තර පරීක්ෂණ පැවැත්වීමෙන් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය ලබා දෙන නොපැකිළෙන සහයෝගයට ශ්‍රී ලංකා පොලිසිය සිය හෘදයාංගම කෘතඥතාව පළ කරයි.
“මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳ මූලික විමර්ශනයේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස මා විසින් අණ දෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ විශේෂයෙන්ම එෆ්බීඅයි ආයතනය සහයෝගයෙන් කටයුතු කරන ලද අතර, මෙම ප්‍රහාරයට අදාළ අධිකරණ ක්‍රියාමාර්ගවලට සහාය වන වටිනා සාක්ෂි රාශියක් සොයා ගැනීමට හැකි විය.
“එෆ්බීඅයි ආයතනය මූලික විමර්ශනයේදී ලබාගත් සොයාගැනීම් සමඟ විමර්ශනයේ ප්‍රගතිය ශ්‍රී ලංකාවේ නිසි අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් පසු, එම අධිකරණ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කරනු ලැබ ඇත්තේ, දැනටමත් අධිකරණයට ඉදිරිපත් කර ඇති මූලික සොයාගැනීම්වලට අමතරව එෆ්බීඅයි විමර්ශනයේ තවත් සොයාගැනීම් ඉදිරිපත් කරන ලෙසයි.
“අධිකරණවල උපදෙස් පිළිපැදීමේ අදහසින්, සී.අයි.ඩී. ය විසින් පවත්වනු ලබන විමර්ශනයේ ඊළඟ අදියර හරහා රැස්කර ගන්නා ලද අදාළ ද්‍රව්‍ය/සාක්ෂි තිබේ නම්, ඒවා ලබා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් සී.අයි.ඩී. යට පවතී.”
තානාපති සමරසිංහ මහතාට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ එවකට වැඩබලන ප්‍රධාන නියෝජ්‍ය සම්බන්ධීකාරක ක්‍රිස්ටෝපර් ඒ. ලෑන්ඩ්බර්ග්ගෙන් පිළිතුරක් ලැබී ලැබුණි. 2022 අප්‍රේල් 7 වැනි දින විද්‍යුත් තැපෑලෙන් එවන ලද පිළිතුරේ ඔහු මෙසේ පවසා ඇත: “පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම අප වෙත ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තූතියි. 2019 අප්‍රේල් 21 වැනි දින සිදු වූ බෝම්බ ප්‍රහාර කම්පන සහගත හා භයානක වූ අතර, ඉන් ඛේදජනක ලෙස එක්සත් ජනපද පුරවැසියන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 269 දෙනෙකුගේ ජීවිත බිලිගත් අතර, තවත් සිය ගණනක් අහිංසක පුද්ගලයෝ තුවාල ලැබූහ. ප්‍රහාරයෙන් පසු වහාම සහ අද දක්වාම, එක්සත් ජනපද රජය මෙම ප්‍රහාරයට වගකිව යුතු අය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා සහාය ලබා දුන්නේය. 2021 ජනවාරි මාසයේදී අධිකරණ දෙපාර්තමේන්තුව එක්සත් ජනපද පුරවැසියන්ගේ මරණවලට වගකිව යුතු යැයි සැලකෙන අයට එරෙහිව අපරාධ පැමිණිල්ලක් ගොනු කළේය. ඒ අනුව, අපි ඔබේ රජයට සහයෝගය ලබා දීමට සූදානම්ව සිටියද, එක්සත් ජනපදය විසින් ප්‍රහාර සම්බන්ධයෙන් අතිරේක පරීක්ෂණයක් දිගටම කරගෙන යාම අර්ථවත් නොවේ.
“මෙම නඩුව සම්බන්ධයෙන් අපගේ සහයෝගීතාව දැක්වීමේදී, එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සමීපව කටයුතු කර ඇති බවත්, ප්‍රහාරයෙන් පසු සතිය තුළ, ශ්‍රී ලංකාවේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ඔවුන්ගේ විමර්ශනයේ සියලු අංශ සඳහා සහාය වීම සඳහා පුද්ගලයන් 33 දෙනෙකු කොළඹට එවා ඇති බවත් මම අවධාරණය කිරීමට කැමැත්තෙමි. මෙම උත්සාහයන්ට සාක්ෂි රැස් කිරීම, සාක්ෂිකරුවන් සහ වින්දිතයන් සමඟ සම්මුඛ සාකච්ඡා කිරීම සහ ඩිජිටල් උපාංග ක්‍රියාවේ යෙදවීමද ඇතුළත් විය. 2019 අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු මාසවලදී, එක්සත් ජනපද තානාපතිවරයා සහ එෆ්බීඅයි ආයතනයේ නීති උපදේශකවරයා එවකට ජනාධිපතිවරයා, අගමැති සහ ආරක්ෂක අමාත්‍යවරයාට අඛණ්ඩ විමර්ශනය පිළිබඳව නිතිපතා දැනුවත් කර ඇත. ඉහත සඳහන් කළ පරිදි, 2021 ජනවාරි මාසයේදී එක්සත් ජනපදයේ සැකකරුවන් තිදෙනෙකුට චෝදනා එල්ල කිරීමත් සමඟ ඒකාබද්ධ කාර්යය අවසන් විය” යැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.
නැගෙනහිර ප්‍රදේශවල ප්‍රචණ්ඩත්වය සංවිධානය කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට පුද්ගලයකු වන පිල්ලෙයාන් මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති බැවින්, පරීක්ෂකයන් විසින් එය ඔප්පු කළ හැකි සාක්ෂි සොයා ගත යුතුය. මේ සඳහා ඔවුන්ට මාස තුනක කාලයක් තිබේ. එසේ කළ යුත්තේ හුදෙක් මෙම සොයාගැනීම් මගහැරුණු ජාත්‍යන්තර විමර්ශනවලට අභියෝග කිරීමට පමණක් නොව, විශේෂයෙන් එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව සමඟ ජාතික ජන බලවේගය - ජනතා විමුක්ති පෙරමුණ රජයට මතුවෙමින් පවතින විදේශ ප්‍රතිපත්ති උභතෝකෝටිකයක් විසඳීම සඳහාය.
(***)
“සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ අනිල් කරුණාරත්න
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්