IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පහරට පහර ආදීනව

පසුගිය 9 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට දී හා ගාලුමුවදොර පිටියේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී ආණ්ඩු විරෝධි උද්ඝෝෂකයන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවලට ප්‍රතිචාරයක් වශයෙන් එදිනම එම ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූවන්ට එල්ල වූ ප්‍රහාර හමුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කළේය. එහි සඳහන් වූයේ ප්‍රචණ්ඩත්වයෙන්  ප්‍රචණත්වය උපදී යනුවෙනි. එසේම ඉවසීමෙන් කටයුතු කරන ලෙස ද හිටපු අගමැතිවරයා ඉල්ලා සිටියේය.

ප්‍රශ්නය නම්  එදින සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කළේ ඔහු විසින්ම අගමැති මැදුර වන අරලියගහ මන්දිරයට ගෙන්වා ගනු ලැබු පිරිසක් විසින් වීමය. එම පිරිස මුලින් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක නිරත වී සිටි පිරිසට පහර දී ඉන්පසු ගාලු මුවදොර පිටියට ගොස් එහි මසක කාලයක් උද්ඝෝෂණය කරමින් සිටි පිරිසට පහර දුන්හ.

මෙම පිරිස මෙම ප්‍රහාර සඳහාම ගෙන්වා ගනු ලැබුවේ නැතැයි කෙනකු ප්‍රකාශ කළ ද ඔවුන් අරලිය ගහ මැදුරේ ඉදිරිපස දොරටුවෙන් ගාලු පාරට පිවිසෙනවාත් සමඟම එවැනි ප්‍රහාරයක් හෝ ගැටුමක් අපේක්ෂා කළ යුතු විය. එසේ තිබියදීත් ඔවුනට එම දොරටුවෙන් පිට වීමට ඉඩ දෙනු ලැබීය.

ඉන්පසු එම දාමරික පිරිස ගාලුමුවදොර දෙසට දිව ගියහ. මුල් ප්‍රහාරය අපේක්ෂා නොකළේ නම් ඉන්පසු හෝ දෙවැනි ප්‍රහාරය අපේක්ෂා කළ යුතුවිය. එය වළක්වා ගත හැකිව තිබූ ප්‍රහාරයකි. ඒ බව මේ වනවිටත්  පොලිස් පරීක්ෂණවල දී අධිකරණය හමුවේ ඉදිරිපත් කෙරුණු ප්‍රකාශ මගින් මනාව පෙනේ.

එසේ තිබිය දී ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රචණ්ඩත්වය උපදින බවට හිටපු අගමැතිවරයා සිය ටිවිටර් ගිණුමෙන් පණිවිඩයක් දෙන්නේ කාහට ද? ප්‍රචණ්ඩත්වය ආරම්භ කළ තම ආධාරකරුවන් හටද? එසේ විය නොහැකිය. ඔවුනට එම පණිවිඩය දෙන්නේ නම් ඊට පෙරම සිදුවිය හැකි දේ අවබෝධ කරගෙන එම පිරිස උද්ඝෝෂකයන් දෙසට යෑම වැළැක්විය යුතුව තිබිණි.

ඔහු මේ පණිවිඩය නිකුත් කරන විට ගාලුමුවදොර අවට ප්‍රදේශවල පදිංචිකරුවන් හා අසල කාර්යාලවල සේවය කරන  පිරිස් උද්ඝෝෂකයන්ට පහර දුන් මැරවරයන්ට ප්‍රතිප්‍රහාර දෙමින් සිටියහ. ඒ අනුව ඔහු මේ පණිවිඩය දුන්නේ ප්‍රහාරකයන්ට නොව ප්‍රතිප්‍රහාරකයන්ට බව සිතිය හැකිය.

මෙම  කාරණයේදී ඔහුට උද්ඝෝෂකයන්ට රටතුළ  ඇති ජනතා සහයෝගය පිළිබඳ කිසිදු අවබෝධයක් තිබූ බව නොපෙනේ. මෙම උද්ඝෝෂණ ඇති වූයේ බඩු මිල තුන් හතර ගුණයකින් ඉහළ යාම, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟවීම, ඉන්ධන හිඟය, ගෑස් හිඟය හා විදුලි කප්පාදුව ආදිය නිසා  අන්ත අසරණ  තත්ත්වයට පත්වූ ජනතාවගේ කෝපයේ  ප්‍රකාශනයක් වශයෙනි. එහෙයින් රටේ බහුතරයක් ජනතාව මෙම අරගලය තමන්ගේ අරගලයක් සේ සැලකූහ. පෙර නොවූ විරූ අයුරින් අරගලකරුවන් වෙනුවෙන් සාමාන්‍ය ජනතාව පොලු මුගුරු අතට ගත්තේ ඒ නිසාය.

දැන් මෙම ආණ්ඩු පාක්ෂික හා ආණ්ඩු විරෝදී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්  රට තුළ මතවාද කිහිපයක්ම ගොඩනැඟී ඇත. පිරිසක් පළමු ප්‍රහාරයේ දී පීඩිතයන් වූ උද්ඝෝෂකයන් වෙනුවෙන් හඬ නඟති. ඔවුන්ගේ තර්කය නම් ප්‍රතිප්‍රහාර මගින් එසේ පීඩාවට පත් පිරිසට සාධාරණය ඉටු වූයේය යන්නයි. විශේෂයෙන්ම නීතිය ආරක්ෂා කරන්නට බැඳී සිටින නිලධාරීන් ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම හා ප්‍රහාරකයන්ට වාසිවන ආකාරයට කටයුතු කිරීම මඟින් උද්ඝෝෂකයන් බිත්තියටම හේත්තු  කරනු ලැබූ තත්ත්වය යටතේ ප්‍රතිප්‍රහාරය අතිශයින් සාධාරණය, නිවැරැදිය යන්න ඔවුන්ගේ තර්කයයි.

තවත් පිරිසකගේ මතය අනුව වරද ප්‍රහාරය නොව ප්‍රතිප්‍රහාරයයි. ප්‍රහාරයක් සිදු නොවුයේ නම් ප්‍රතිප්‍රහාරයක්ද සිදු නොවේය. යන්න ඔවුන්ගේ සැලකිල්ලට ලක් නොවන කරුණකි. කොටින්ම ඔවුහු ප්‍රහාරය ගැන කතා කරන්නේම නැත. මෙම මතය දරන ඉතා සුළු පිරිසක් ප්‍රහාරය ගැන කතා කළ ද එය සාධාරණීකරණය කරති.

තුන්වැනි කණ්ඩායමක් ප්‍රතිප්‍රහාරයද තවත් ප්‍රතිප්‍රහාරයකට මඟ පැදීමකැයි තර්ක කරති. එය දැනට සිදු නොවුව ද ඉදිරියේ දී සිදුවිය හැක්කකි. වැඩිම පිරිසක් කරන්නේ තමන් හා තමන්ගේ පැත්තේ අය කළ ප්‍රචණ්ඩ ක්‍රියා නොව අනෙක් පිරිස් කළ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දැකීමය. එය ප්‍රහාරයක් ද ප්‍රතිප්‍රහාරයක් ද යන්න වැදගත් නැත.

කෙසේ වෙතත් ගාලු මුවදොර අරගලකරුවන්ට එරෙහිව අරලියගහ මන්දිරයේ සිට ගිය පිරිස් එල්ල කළ ප්‍රහාරයට අරගලකරුවන් හා ඔවුන්ගේ අරගලය අගය කළ වුන් ප්‍රතිප්‍රහාර එල්ල  නොකළේ නම් අරගලකරුවන් අරගලය අත්හැර ගියේ නම් මේ වනවිට තත්ත්වය කෙබඳු වනු ඇත් ද? එසේ නම් අරගලකරුවන්ට යළි අරගල භූමියට එන්නට පොලීසිය හා ආණ්ඩු පාක්ෂික මැරවරයන් ඉඩ නොදෙනු ඇත. පසුගිය කාලයේ අරගලයේ ප්‍රධාන චරිත බවට පත්වූ පුද්ගලයන් හා ඊට සහය දෙන්නට පැමිණි විවිධ කණ්ඩායම්වල ප්‍රධාන චරිත වෙතට ආණ්ඩුවේ මර්දනය  ක්‍රියාත්මක වන්නට ඉඩ තිබිණි. ප්‍රාදේශීය වශයෙන් පොහොර, ගෑස්, ඉන්ධන ඉල්ලා කෙරෙන උද්ඝෝෂණවලට ද මර්දනයේ හස්තය දිගු වන්නට ඉඩ තිබිණි. මේ සෑම අරගලයක්ම ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ වූ නිසා ඒවාට සහභාගි වූවන් සොයා ගැනීම අදාළ කණ්ඩායම්වලට දුෂ්කර නොවනු ඇත.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ දී බොහෝ ස්ථානවල දී උද්ඝෝෂකයෝ දැඩි මර්දනයට ලක් වූහ. සේවක අර්ථ සාධක අරමුදල යොදාගෙන පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුප් ක්‍රමයක්  සකස් කරන්නට ආණ්ඩුව දැරූ උත්සාහයට එරෙහිව කටුනායක නිදහස් කලාපයේ සේවකයන් කළ උද්ඝෝෂණයකට එල්ල වූ මර්දනය ඉන් ප්‍රධාන එකකි. එම උද්ඝෝෂණයට පොලීසිය වෙඩි තැබීම නිසා රොෂේන් චානක නමැති සේවකයා මිය ගියේය. මෙය සිදුවූයේ 2011 දීය.

එසේම ඉන්ධන මිල ඉහළ යාම නිසා ඊට එරෙහිව හලාවත දී ධීවරයන් කළ උද්ඝෝෂණයක් ද එසේම මර්දනය කෙරිණි. එහිදීද ධීවරයෙක් වෙඩි පහරින් මරුමුවට පත්විය. එය සිදු වූයේ 2012 වසරේදීය. 2013දී අත්වැසුම් නිෂ්පාදනය කරන කම්හලකින් පිට කෙරෙන ජලය නිසා තමන් පානයට ගන්නා භූගත ජලය දුෂණය වන බව පවසමින් වැලිවේරිය අසල රතුපස් වල ප්‍රදේශවාසීහු ඊට විරෝධය පෑහ. එවැනි එක් උද්ඝෝෂණයක් මර්දනය කරන්නට එවකට පැවැති ආණ්ඩුව යුද හමුදාව යෙදවීය. එහිදී හමුදා වෙඩි පහරින් තිදෙනකු මිය ගිය අතර හමුදා ප්‍රහාරවලින් විශාල පිරිසක් තුවාල ලැබූහ. ගාලුමුවදොර පිටියේ උද්ඝෝෂකයන් පළවා හැරිම මඟින්ද එවැනි තත්ත්වයක්  නිර්මාණය කොට පිරිහෙමින් පවතින රාජාපක්ෂ පාලනය නඟා සිදුවීම ගාලුමුවදොර ප්‍රහාරයේ අරමුණ වන්නට ඇත.

ඇත්ත වශයෙන්ම ගාලු මුවදොර අරගලකරුවන් හා එම අගලයට සහාය දුන් ගාලු මුවදොර අවට ප්‍රදේශවල පදිංචිකරුවන් හා ඒ ප්‍රදේශවල සේවය කරන පිරිස් ප්‍රතිප්‍රහාර එල්ල නොකළේ නම් එවැනි තතත්වයක් ඇති වන්නට ඉඩ තිබිණි. එසේ වූයේ නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද එය සැනසිල්ලට කාරණයක් වන්නට ඉඩ තිබිණි.

එසේ ගාලු මුවදොර අරගලය විසිරී ගියේ නම් මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 9 වැනිදා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නැත.  අරගලකරුවන්ට පහර දීමේ චෝදනාව මත දේශපාලනඥයන් අත්අඩංගුවට පත් වන්නේ නැත. දැනට අත්අඩංගුවට ගනු ලැබ සිටින දේශපාලනඥයන් ඉදිරියේදී නීතියෙන් ගැළවී යා හැකි මුත් ඔවුන් අත්අඩංගුවට පත්වූයේත් තවත් කිහිප දෙනකු ප්‍රශ්න කිරීම්වලට ලක්වූයේත් අරගලකරුවන් විසිරී නොයෑම නිසායැයි අනුමාන කළ හැකිය.

අරමුණු සාර්ථක  වී  මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අගමැති ධුරයේ සිටියේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණම වඩා ශක්තිමත් පදනමකින් මේ වනවිට ආණ්ඩුව පවත්වා ගෙන යන්නට ඉඩ තිබිණි. ජනාධිපතිවරයාද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන යළි හඳුන්වා දෙන්නටත් ඒ සඳහා 20 වැනි සංශෝධනය අහෝසි කරන්නටත් අද තරම් එකඟතාවක් නොදක්වන්නට ඉඩ තිබිණි. දැන් ඔහු විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කරන්නට පවා එකඟතාව පළ කරයි.

ගාලුමුවදොර ජනතා අරගලය රාජපක්ෂ පවුලේද යම් යම් හැලහැප්පීම් ඇති කොට ඇති බවක් පෙනේ. බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන්ම  2020දී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනය මඟින් විදේශ පුරවැසියන්හට මෙරට මන්ත්‍රීධුර දැරීමේ අවස්ථාව දුන් ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් ඇමෙරිකානු පුරවැසියකුව සිටියදීම එම ප්‍රතිපාදන ඉවත් කිරීමට එකඟතාව පළා කොට ඇති බව පෙනේ. මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය අහිමි කළේද ගාලුමුවදොර අරගල  කරුවන්ය.

මෙරට මානව හිමිකම් උල්ලංඝනය කරන්නන්ට එරෙහිව විදේශවලදී නඩු පැවරීමට කටයුතු කරන ලෙස පසුගිය වසරේ එ.ජා.මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව මගින් සාමාජික රටවලින් ඉල්ලා තිබිණි. මේ නිසාදෝ  ජනාධිපතිවරයා උද්ඝෝෂණ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉතාමත් පරිස්සම් වන බවක් පෙනේ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දෙන්නට ගියේ ඒ තත්ත්වය යටතේය.

තම ජනාධිපති පදවියේ දෙවැනි ධුර කාලය අවසන් වූ වහාම මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් ඉවත් විය යුතුව තිබුණේ යැයිද,එසේ වුයේ නම් දැන් මෙවැනි දුක් වේදනාවට මුහුණදීමට සිදුවන්නේ නැතැයිද  හිටපු කතානායක හා රාජපක්ෂ පවුලේ  වැඩිමල් සහෝදරයා  වන චාමල් රාජපක්ෂ මහතා ඉකුත් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබිණි. ගාලු මුවදොර අගලයට එල්ලවූ  මැර ප්‍රහාරයේ ප්‍රතිඵල වෙනස් වුයේ නම් ඔහු තම බාල සොහොයුරාට එවැනි උපදේශයක් දෙනු ඇතැයි සිතිය නොහැකිය. ඇත්ත වශයෙන්ම මෙය 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නට කටයුතු කරන විට දිය යුතුව තිබූ උපදේශයකි.

මේ සියල්ල ප්‍රතිප්‍රහාරයේ ප්‍රතිඵලයි. ප්‍රතිප්‍රහාරය සාධාරණීකරණය කරන කරුණුයි. එසේ වුවද  ප්‍රතිප්‍රහාරයද ප්‍රචණ්ඩ ක්‍රියාවකි. ආරක්ෂක අංශ සාමකාමී අරගලකරුවන්ට පිටු පෑ තත්ත්වය යටතේ ප්‍රතිප්‍රහාරය සාධාරණ වුවද ප්‍රතිප්‍රහාරයක සීමාව කුමක්ද යන ප්‍රශ්නය  මෙහිදි මතුවේ. ගාලු මුවදොර ප්‍රහාරයෙන් පසු දේශපාලනඥයන්ගේ නිවාස ගිනිබත් කිරීමද සැලකෙන්නේ ප්‍රතිප්‍රහාර ලෙසය. ඒවා අනුමත කළ හැකිද? විශේෂයෙන්ම රට ආර්ථික වශයෙන් සිඟමනට වැටී ඇති තත්ත්වයකදී දේපළ විනාශය අනුමත කළ නොහැකිය.

අප මීට පෙර ලිපියක සඳහන් කළ පරිදි සමූහ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වූ විට සෑම විටම පාහේ ඒවා ඒවායේ මූලික අරමුණුවලින් පිට පැන කොල්ල කෑම් හා ජාතිවාදී ප්‍රහාර වෙතට යොමුවීමේ ඉඩකඩ වැඩිය. 1983 හා 1987 සිදුවීම් ඊට හොඳම උදාහරණයි. 1987 දී සිදුවූයේ කොටි සංවිධානය සොල්දාදුවන් 13 දෙනකු ඝාතනය කිරීම නිසා ආණ්ඩුවට එරෙහිව මතු වූ ජනතා කෝපය වෙනත් ආකාරයකින් පිටවීමය. 1987දී ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි ජනතා කෝපය පුපුරා ගොස් එයද කොල්ලකෑමක් බවට පත්විය. අනෙක් අතට සමූහ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වනවිට එයින් අයුතු ප්‍රයෝජන ගන්නටද පිරිසක් බලා සිටිති. 1988/89  කාලයේ ඇතිවූ ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ලේදීද මෙවැනි තත්ත්වයක් ඇතිවිය. එදා සමාජ මාධ්‍ය තිබුණේ නම් තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා බාහොමයක සැබෑ තත්ත්වය ජනතාවට දැනගන්නට හැකිව තිබිණැයි ජවිපෙ නායකයන් පවසන්නේ ඒ නිසාය.

පොදුවේ ගත්කල, බොහෝ දෙනා ප්‍රචණ්ඩත්වයට එරෙහි වන්නේ තෝරා බේරා ගෙනය. ආණ්ඩුවේ දේශපාලනඥයන්ගෙන් ඉතා සුළු පිරිසක් හැර අනෙක් සියලු දෙනාම  හෙළා දකින්නේ ගාලුමුවදොර පිටියේ උද්ඝෝෂකයන්ට  පහර දීම නොව දේශපාලනඥයන්ගේ නිවාසවලට එල්ලවූ ප්‍රහාර පමණකි. අරගලයට හිතවත් පිරිස් කරන්නේ එහි අනෙක් පැත්තයි.

අවසානයේ දී  ගාලුමුවදොර  මැර ප්‍රහාරයට එල්ලවූ ප්‍රතිප්‍රහාරයේ ප්‍රතිඵලත් 1983 හා 1987 වැනි කාලවල ඇතිවූ තත්ත්වයනුත් සැලකිල්ලට ගත් කල ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සෑම කාලයකටම හා සෑම තත්ත්වයකටම ගැළපෙන ස්ථාවරයක් ගැනීම දුෂ්කරය.

(*** එම්. එස්. එම්. අයුබ්)



අදහස් (1)

පහරට පහර ආදීනව

Bamunuarachchi Tuesday, 31 May 2022 11:45 AM

එහෙනම් ඊළඟ වාරය අපේ නේද? පරණ ටයර් එකතු කරගෙනම වැඩේ පටන් ගන්නම්.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 2665 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 11926 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 539 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 919 1

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 987 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 491 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site