IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පොහොර හොරුන්ට ඉහළම දඬුවම් දෙනු

රටේ ජනතාවට බෙදා දීමට මෙරටට ගෙන්වන ලද සහනාධාර පොහොරවලින් රුපියල් කෝටි 100කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු සමාගම් ප්‍රධානීන් 10 දෙනකු පමණ ළඟදීම අත්අඩංගුවට ගනු ඇතැයි අප පුවත්පත ප්‍රධාන ප්‍රවෘත්තියෙන් පසුගියදා හෙළි කර තිබිණි. ජාතික පොහොර ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර ඇති පරිදි එම නිලධාරීන් ප්‍රධාන පෙළේ පොහොර සමාගම් කිහිපයක ප්‍රධාන තනතුරු දරන්නෝ වෙති.

පොහොර යනු මෙරට ගොවි ජනතාවට අත්‍යාවශ්‍යම ද්‍රව්‍යයක් වෙනවා මෙන්ම බරපතළ වංචා සහ දූෂණවලට ද හේතුවක් වී තිබීම අවාසනාවන්ත තත්ත්වයකි. ගොවීන්ට රුපියල් 350ට පොහොර මිටිය ලබාදුන් කාලයේත් ගොවීන්ට ලැබිය යුතු සහනාධාර පොහොර තමන්ගේ නිවෙස්වල සහ තමන්ට අයත් ගොඩනැගිලි තුළ සඟවාගෙන වැඩි මිලට විකුණා ලාබ ලැබූ නිලධාරියෝ ද සිටියහ. ඉන්පසුව රසායනික පොහොර භාවිතය එක රැයින් නැවැත්වීමට ගනු ලැබූ අමනෝඥ තීරණය මේ රටේ පොහොර භාවිතය වෙනම පැත්තකට හරවනු ලැබීය. එහෙත් ඒ සමඟ උද්ගත වූ තත්වය පාලනය කිරීම සඳහා පිටරටින් පොහොර ගෙන්වීම යළි ඇරඹීම මේ රටේ සිදුවූ බරපතළ වංචාවක් බවට පත් විය. චීනයෙන් ගෙන්වනු ලැබූ එවැනි එක් පොහොර නැවකින් රටට සිදුවූ අලාභය ඩොලර් මිලියන 68ක් පමණ වූ බව වාර්තා විය. එහෙත් ඒ පාඩුව සිදුකිරීමට වගකිවයුතු කිසිදු නිලධාරියකු සොයාගත නොහැකි වීම මහත් ඛේදවාචකයකි. ඒ අර්ථයෙන් ගත් කල ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නවතම අනාවරණය පෙන්වා දී තිබෙන්නේ පොහොර වංචනිකයන් පිරිසකට වැඩ වරදින බවයි.

වංචාවට හවුල් බවට චෝදනා එල්ල වී ඇති නිලධාරින් පිරිසක් 2018 වසරේ සිට ගොවීන්ට ලබාදීමට නියමිතව තිබූ සහනාධාර පොහොර ගොවීන්ට ලබා නොදී වංචනික ක්‍රම ඔස්සේ හොරණ, කෑගල්ල සහ මාදම්පේ යන ප්‍රදේශවල විවිධ සමාගම්වලට වැඩි මිලට ලබා දීමෙන් කෝටි ගණනින් මුදල් අයථා ලෙස උපයාගෙන ඇතැයි සඳහන් වෙයි. රහස් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බවද ආරංචි මාර්ගවලින් හෙළි වී ඇත.

මෙවැනි බරපතළ වංචාවක් නිලධාරීන් හෝ වෙනත් පුද්ගලයන් හෝ කිහිප දෙනකුට පමණක් එකතු වී සිදු කළ නොහැක. ඒ සඳහා සංවිධානාත්මක ජාලයක් ක්‍රියාත්මක කළ යුතුය. පොහොර ආනයනය කළ සමාගම් 18ක නිලධාරීන් සමඟ කූට ලේඛන සහ බිල්පත් සැකසීමට හවුල් වූ පුද්ගලයනුත්, එම පොහොර වැඩි මිලට ලබාගත් ආයතනවල ප්‍රධාන නිලධාරිනුත් ඉතා සංවිධානාත්මකව වසර කිහිපයක් තිස්සේ මේ වංචාව සිදුකරගෙන ගොස් ඇති බව පැහැදිලිය. එම වංචාව රහසක් වශයෙන් තබා ගැනීමට ක්‍රියා කළ සියලු‍ නිලධාරීහු මේ මහා වංචාවේ චූදිතයෝ වෙති.

මහජන මුදල් මේ ආකාරයට පිල්ලි ගැසීම හෙණ ගහන අපරාධයකි. එයින් රටට බත සහ එළවළු, පලතුරු සපයන ගොවීන් පමණක් නොව කෘෂිකාර්මික කටයුතු හරහා ඍජු නොවන ආදායම් උපදවන පිරිස ද අමාරුවේ වැටී සිටිති. තමන්ගේ මල්ල පිරෙයි නම් රටේ ජනතාවට කුමක් වුණත් කමක් නැතැයි සිතන මෙවැනි වංචනික නිලධාරීන්ට නීතියෙන් උපරිම දඬුවම් ලබාදිය යුතුය.

මෙම වංචාවට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ඇතැම් නිලධාරීන් සිය සමීප ඥාතීන්ගේ නමින් පොහොර සමාගම් ලියාපදිංචි කර මෙම සහනාධාර ඔවුන්ගේ කර්මාන්තශාලා වෙත ලබා දී ඇති බවට ද තොරතුරු හෙළි වී තිබේ. රුපියල් කෝටි 100කට අධික වංචාවක් වසර කිහිපයක් තිස්සේ ඉතා සංවිධානාත්මක ආකාරයෙන් පවත්වාගෙන ගිය බවට එයම කදිම උදාහරණයකි.

රාජ්‍ය ආයතනවලට සම්බන්ධ මහා පරිමාණ දූෂණ සහ වංචනික සිදුවීම්වලට දේශපාලන බලවතුන්ගේ සහාය ලැබීම ද පොදු සාධකයකි. අඩුම තරමින් දේශපාලන සබඳතා ඉහළින් පවත්වාගෙන යන නිලධාරීන් හෝ මෙවැනි වංචනික ක්‍රියාවල හවුල්කරුවන් වන බව ප්‍රකට රහසකි. එවැනි තත්වයක් පැවතුණත් නැතිවුණත් වසර ගණනාවක් තිස්සේ සිදු වූ පොහොර වංචාවක සුලමුල අනාවරණය කර ගනිමින් එහි සැකකරුවන්ට දැල එළීමට පියවර ගත් සියලු‍ දෙනාට රටේම ප්‍රශංසාව හිමිවන බව සඳහන් කළ යුතුය.

(***)



අදහස් (0)

පොහොර හොරුන්ට ඉහළම දඬුවම් දෙනු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site