කැබිනට් සංශෝධනය වෙසක් පෝයට කලින් සිදුවනු ඇතැයි සැක සහිතය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරයෙන් අනතුරුව පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත බවය. ජනාධිපතිවරයා දිවයිනට පැමිණ දින කිහිපයක්ම ගත වී ඇතත් කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් නිශ්චිත ආරංචියක් මේ ලියන මොහොත වනවිට ප්‍රකාශ වී තිබුණේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායකත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීරත් ප්‍රකාශ කර තිබුණේ “විද්‍යානුකූල පදනමක් මත විෂයයන් බෙදා නව අමාත්‍ය මණ්ඩලය පත් කරන බවය.” කෙසේ වෙතත් ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළේ අනිවාර්යයෙන්ම නව කැබිනට් මණ්ඩලයක් පත්කර ආණ්ඩුවේ ඉදිරි කාලය ක්‍රියාත්මක කෙරෙන බවය. ඒ අනුව අද හෙටම එවැන්නක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
ගල් අඟුරු බලාගාර අලුතින් ස්ථාපිත නොකිරීමේ තීන්දුවක් ආණ්ඩුව ගෙන තිබුණේ මීට වසරකට දෙකකට ඉහතදීය. පරිසර හිතකාමී බලාගාර හරහා ශ්‍රී ලංකාවට අවශ්‍ය විදුලිය ජනනය කරන බවට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබුණේය. එහෙත් ආණ්ඩුවේ එම තීන්දුවට විදුලි ඉංජිනේරුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වන්නට පටන් ගත්තේය. වසරකට අධික කාලයක් විදුලි ඉංජිනේරු සංගමය මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ගල් අඟුරු බලාගාර පිළිබඳව විවාදාත්මක අරගලයක පැටලී සිටියේය. මේ අතර විදුලි ඉංජිනේරු සංගමය දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ගැනීමට සූදානම් වන බවට ආණ්ඩුවට ආරංචි ලැබී තිබුණේය. ජනාධිපතිවරයා ඉකුත් බදාදා විදුලි ඉංජිනේරු සංගමයේ නියෝජිතයන්ට සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබා දී තිබිණ. මහජන උපයෝගීතා කොමිෂන් සභාව රටට ගල් අඟුරු බලාගාර අහිතකර බවට කරුණු ඉදිරිපත් කළේය. විදුලි ඉංජිනේරුවන් අවධාරණය කළේ ලාබදායි ගල් අඟුරු බලාගාර තවත් එකක් හෝ දෙකක් රට තුළ ස්ථාපිතවීම ආර්ථිකයට වඩාත් ඵලදායි බවය. මේ අතර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති සාලිය මැතිව් ජනාධිපතිවරයාට කරුණු කීවේය. “මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීන්දුවක්. ආර්ථික කමිටුව තීන්දුවක් ගෙන තිබෙනවා ගල් අඟුරු බලාගාර ස්ථාපිත නොකිරීමට” යැයි කියමින් සභාපතිවරයා ආර්ථික කමිටුවේ තීන්දුවත් කියවන්නට විය. එහි සඳහන් කර තිබුණේ ජනාධිපතිවරයාගේ ද අදහසට අනුව ගල් අඟුරු බලාගාර ස්ථාපිත නොකිරීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹී ඇති බවය. සාලිය මැතිව් එසේ කියද්දී ජනාධිපතිවරයා කේන්තියට පත්ව සිටියේය.
“මම නැති ආර්ථික කමිටුවක මගේ තීන්දුවක් කියන්නේ කොහොමද? මම එහෙම එකක් කිව්වේ නැහැ. ඕක මගේ අදහසක් නෙවෙයි. ඔය නිසා තමයි මම ඔය ආර්ථික කමිටුව අහෝසි කළේ” යැයි ජනාධිපතිවරයා තදින් ප්‍රකාශ කළේය. ඉන්පසුව ජනාධිපතිවරයා සඳහන් කළේ ලංකා විදුලිබල මණ්ඩලය දැනට සකස් කර තිබෙන 2018-2037 විදුලි ජනන සැලැස්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කර ගන්නා බවය. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ එකඟතාවය ද මත ලංකා විදුලිබල මණ්ඩලය මිශ්‍ර ජනන සැලැස්මක් සකස් කර තිබෙන අතර එය මීට ඉහතදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ප්‍රතික්ෂේප වී තිබිණ. ආරංචි මාර්ග සඳහන් කළේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අදහස් හා යෝජනා ඉදිරියේදී වෙනස් කර ගැනීමට නියමිත බවය.
මාලබේ සයිටම් අර්බුදයට නිශ්චිත විසඳුමක් ලබාදීමට ආණ්ඩුව තවමත් සමත් වී නැත. නෙවිල් ප්‍රනාන්දු රෝහල විකිණීම, සයිටම් වෛද්‍ය සිසුන් කොතලාවල පීඨයට අනුයුක්ත කිරීම වැනි විසඳුම් යෝජනා තවමත් ක්‍රියාත්මක නැත. මේ අතර සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ඉකුත්දා හදිසියේම ජනාධිපතිවරයා හමුවීමට ගියේය. එහි යෑමට පෙර වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු හිතවතකු සමඟ ඔහු පැටලී සිටින අර්බුදය විස්තර කර තිබුණේය. “මේක විසඳන්න ආණ්ඩුවට කිසි අවශ්‍යතාවයක් නැහැ. එහෙන් රෝහලේ ප්‍රශ්නය. මම රෝහල විකුණනවා. මගේ නෝනා හීනෙන් බය වෙනවා. එයා එක දවසක් හීනයක් දැකලා. සයිටම් සිසුන් අපේ ගෙදර වටලනවා දැකලා, එයා බයවෙලා නින්දෙන් නැගිට්ටා” යැයි නෙවිල් ප්‍රනාන්දු කියා තිබිණ. මේ අතර ඔහු ජනාධිපතිවරයා හමුවේ ආවේගවත් අදහස් පළ කිරීමක් ද කර තිබිණ. සයිටම් වෛද්‍ය පීඨය අඩු මුදලකට ස්ලිට් ආයතනයට විකිණීමට අතරමැදියකු කටයුතු කරන බව ද ඊට තමා ඉඩ නොතබන බව ද එහිදී නෙවිල් ප්‍රනාන්දු ජනාධිපතිවරයා හමුවේ කියා තිබිණ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ නෙවිල් ප්‍රනාන්දුගේ අදහස්වලට ජනාධිපතිවරයා ඉතා සාවධානව ඇහුම්කන් දුන් බවය.
පළාත් සභා මැතිවරණය ද දිගින් දිගටම කල්යැම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව බලවත් ලෙස කනස්සල්ලකට පත්ව තිබේ. “පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් ගියා. සමහරු ඒ කල්යෑම අපේ ඇඟ මත දාන්න මාන බැලුවා. ඒත් ඒකට අපේ සම්බන්ධයක් නැහැ. මිනිස්සු අපට බැන්නා. දැන් පළාත් සභා මැතිවරණයත් කල් යනවා. අපට කිසිදු සම්බන්ධයක් නැහැ.
සියලු දේශපාලන පක්ෂ එක්වී මේ වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු සම්පාදනය කර දිය යුතුයි. නීති ගැටළු විසඳුනොත් මාස තුනක් ඇතුළත අපි ඡන්දය තියනවා” යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කියයි. එතනින් නොනැවතුණු ඔහු වර්තමාන පළාත් පාලන මැතිවරණ ක්‍රමය ගැන ද කීවේය. “පළාත් පාලන මැතිවරණ ක්‍රමය ගැන කියනවා. සමහරු දොස් කියනවා. ඒක අපට හදලා දීලා තියෙන්නේ පාර්ලිමේන්තුව. අපි හදපු ක්‍රමයක් නොවෙයි. අනිත් කාරණය තමයි ඉකුත් ජනාධිපතිවරණයට තරග කළ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නාගේම මැතිවරණ ප්‍රකාශනවල ඡන්ද ක්‍රමයේ වෙනසක් ගැන තිබුණා. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ලැබුණු ඡන්ද ලක්ෂ හැට දෙකයි මහින්ද රාජපක්ෂ මහත්තයාට ලැබුණු ඡන්ද ලක්ෂ 58යි දෙකම එකතු වුණාම ලක්ෂ එකසිය විස්සක්. මැතිවරණ ක්‍රමයේ වෙනසකට ඡන්දය දීලා තියෙනවා. මිශ්‍ර සමානුපාතික ඡන්ද ක්‍රමයක් ගැන මුලින්ම කතා කළේ 2012 වසරේ ඉඳගෙනයි. අපට පළාත් සභා ඡන්දය පරණ ක්‍රමයට තිබ්බත් අලුතින් යෝජනා කරපු පනහට පනහා ක්‍රමයට තිබ්බත් අපට ප්‍රශ්නයක් නැහැ. කොටින්ම ගැම්බියාවේ ක්‍රමයට වුණත් අපට ඡන්දය තියන්න පුළුවන්” යැයි දේශප්‍රිය සඳහන් කරයි.
මහින්ද දේශප්‍රිය සඳහන් කළ ගැම්බියානු ඡන්ද ක්‍රමය එතරම් දියුණු ක්‍රමයක් නොවෙයි. ඡන්ද දායකයන් තමන් කැමති පාටකින් යුත් ටීබ්බෝලයක් තෝරාගෙන ඡන්ද පෙට්ටියකට දැමීමය. ඡන්ද ප්‍රතිඵලය තිරණය කරනු ලබන්නේ පාට පාට ටීබ්බෝල ගණන් කිරීමෙන් පසුවය. මහින්ද දේශප්‍රිය අදහස් කළේ එවැනි ප්‍රාථමික ඡන්ද ක්‍රමයක් යටතේ වුවද මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකිවන බවය.
මැතිවරණ කොමිෂන් සභාව කුමන අදහසක් ප්‍රකාශ කළ ද පළාත් කීපයක හෝ මැතිවරණය මේ වසර අවසන්වීමට පෙර පැවැත්වීමට හැකියාවක් නැතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට හේතු ගණනාවක්ම උද්ගත වී තිබේ. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සීමා නිර්ණය කර වාර්තාවක් සකස් කර ඇතත් එම වාර්තාව නැවත සංශෝධනය කිරීමට සිදුවීම, පනහට පනහ යෝජනාවට අනුව පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් ඒ සඳහා නැවත නීති සකස් කිරීමට සිදුවීම ආදී ගැටළු රැසකට විසඳුම් ලබා ගැනීමට ද සිදුවේ. ඒ සඳහා අඩුම තරමින් මාස හයක පමණ කාලයක්වත් ගතවනු ඇතැයි පැවැසේ. ඒ අනුව මේ වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව ඉතාම අල්ප බවද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මේ අතර තවත් මාතෘකාවක් බවට පත්ව ඇත්තේ පළාත් පාලන නියෝජිතයන්ගේ සංඛ්‍යාව 8000 ඉක්මවා තිබීමය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවා ඒ ගැන අදහස් දක්වමින් ඊට විරෝධය දක්වා තිබිණ. ජනාධිපතිවරයා සඳහන් කළේ පළාත් පාලන නියෝජිත සංඛ්‍යාව නැවත හාරදහස දක්වා භාගයට භාගයකින් අඩු කළ යුතු බවය. කෙසේ වෙතත් ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ පළාත් පාලන නියෝජිතයන් සංඛ්‍යාව අටදහස දක්වා වැඩිවීම වර්තමාන ජනගහණයට අනුව සාධාරණ බවය. “දැන් බලන්න 1977ට පෙර තත්ත්වය. එදා පළාත් පාලන ආයතනවල නියෝජිතයන් 9500ක් හිටියා. ඒක තමයි පහුකාලයක හාරදහස් ගාණකට අඩුවුණේ. ඒ නිසා අට දහසක් කියන එක ඒ තරම් ගණනක් නෙවෙයි” යැයි ද ඇතැම්හු සඳහන් කරති.අ
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව මැතිවරණ කොමිෂන් සභාව මේ වනවිට ගැසට් නිවේදන පහළොවක් නිකුත් කර තිබේ. එම කොමිෂන් සභාව සඳහන් කළේ තවත් ගැසට් නිවේදන දෙක තුනක්වත් නිකුත් කිරීමට සිදුවන බවය. ඒ පළාත් පාලන ආයතනවලට තෝරාපත් කරන නියෝජිතයන් විටින් විට නම් කිරීම නිසා ලැබෙන ලැබෙන පිළිවෙළට ගැසට් පත්‍රයේ පළ කිරීම ඒ ඒ පළාත් පාලන ආයතන ස්ථාපනය කිරීමට අදාළ ගැසට් නිවේදන නගරාධිපතිවරු, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, උප සභාපති තනතුරුවලට පත් කිරීම ආදී වශයෙන් ගැසට් නිවේදන විටින් විට නිකුත් කර තිබේ. සාමාන්‍යයෙන් රටපුරා එකම අවස්ථාවක මැතිවරණයක් පැවැත් වූ පසුව මැතිවරණ කොමිෂන් සභාව මගින් ගැසට් නිවේදන දෙක තුනක් ප්‍රසිද්ධ කිරීම සම්ප්‍රදාය වේ. මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මත ඇති වූ ගැටළු සහගත තත්ත්වයන් හේතුවෙන් ගැසට් නිවේදන තොගයක් ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට සිදුව තිබේ.
සුජාතා ජයවර්ධන දේශනය පැවැත්වීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා සංවිධායකයන්ගේ ආරාධනයෙන් පැමිණියේය. කොළඹදී පැවැති අනුස්මරණ වැඩසටහනේදී දේශනය පවත්වමින් මහ කොමසාරිස්වරයා ඉන්දියාව හා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැදගත් දේශපාලන කරුණු ගණනාවක් ප්‍රකාශ කළේය. කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කර තිබූ එම වැඩසටහනේදී ඔහු කීවේ “අසල්වාසියා අපට වැදගත් වන්නේ අපි දේශ සීමා බෙදා හදා ගන්නා නිසා පමණක්ම නොවේ. අපි රුධිරයෙන් ද බැඳී සිටිනවා. දකුණු ආසියාවේ අපි පොදු ඓතිහාසික හා සංස්කෘතික උරුමයන් මඟින් බැඳී ඉන්නවා. අප දෙරට හදවතින්ද එකිනෙකාට සමීපයි” යැයි ඔහු කීවේය. එතනින් නොනැවතුණු මහ කොමසාරිස්වරයා කීවේ “ශ්‍රී ලංකා නායකයන් ඔවුන්ගේ පළමු විදේශ නිල සංචාර සඳහා ඉන්දියාව තෝරා ගන්නවා. 2015 වසරේ ඉන්දීය අගමැති ශ්‍රී ලංකාවේ සංචාරය කළා. ශ්‍රී ලංකා සංචාරය ඉන්දියාවේ අගමැතිවරයකු විසින් වසර 28 කට පසුව ප්‍රථම වරට අගමැති මෝදි ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගිවීමට දෙවැනි වරටත් ශ්‍රී ලංකාවට ආවා. එයත් ඉන්දීය අගමැතිවරයකුට පෙර නොවූ විරූ අවස්ථාවකැයි” ද මහ කොමසාරිස්වරයා කීවේය. විචාරකයන් සඳහන් කළේ මහ කොමසාරිස්වරයාගේ කතාව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බවය. එහි දේශපාලන ආර්ථික ගැඹුරු අර්ථ රැසක් ගැබ්ව තිබෙන බව ද ඔවුහු සඳහන් කරති.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සංවිධානය කර තිබූ අලුත් අවුරුදු උත්සව රැසකට සහභාගි වීම සඳහා ඇමැති වජිර අබේවර්ධන ඉකුත් දා ගාල්ලට ගියේය. එහිදී ගාල්ල බන්ධනාගාර රැඳවියන් සංවිධානය කර තිබූ අලුත් අවුරුදු උත්සවයකට සහභාගි වූ ඇමැති වජිර අබේවර්ධන රැඳවියන් සමඟ ද සුහද කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ දුක සැප විචාරීමටද අමතක කළේ නැත.
“වරදක් කරපු කෙනෙක් එක්ක කතා කරන්න එයාව යහ මගට ගන්න බය වෙන්න ඕනෙ නැහැ. හිරේ වැටුණු අය පාතාලේ කියලා මිනිස්සුන්ගෙන් කොන්වුණු අය මාත් එක්ක කතා කරලා තියෙනවා. මම මහජන නියෝජිතයෙක්. වැරදිවලට යොමු වූ අය ගැනත් අපි බලන්න ඕනේ. ‘හිරකරුවෝත් මනුෂ්‍යයෝය’ කියන එක අපි ඉතා හොඳින් මතක තියා ගන්න අවශ්‍යයි. ඇමැති වජිර කීවේය. එහිදී ඇමැතිවරයා තවත් යමක් කීවේය. ආණ්ඩුව හිරගෙවල් නවීකරණය කරගෙන යනවා. ජාත්‍යන්තර ප්‍රමිතියට මේ හිරගෙවල් සියල්ල සකස් කළ යුතුයි. ඇතැම් රටවල හිර ගෙදරකට යන අයට ආපහු එන්න හිතෙන්නේ නැහැ. ඒවා ඒ තරමටම හොඳයි. ඒත් මේ විදියට මිනිසුන් කොටසක් සමාජයෙන් කොන් කරලා තියන්න අපි සූදානම් නැහැ”යි ද වජිර කීවේය.
වසර ගණනාවක සිට දේශපාලන කටයුතුවල නිරතව සිටින ‘සිරිලක ජනතා පෙරමුණ’ පක්ෂය ඉකුත් කාලයේදී රටේ ජනතාව වෙනුවෙන් අලුත් යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ. උතුර දකුණ ලෙස බෙදී රටේ ජනතාව නොමඟ යවන දේශපාලන පක්ෂ කිසිම හිරිකිතයකින් තොරව පාර්ලිමේන්තුවට පළාත් සභාවට සහ අනෙකුත් ආයතනවලට මන්ත්‍රීවරු සංඛ්‍යාව වැඩිකර ගන්නවා. ඒ අතර ඔවුන් පහසුකම් වැඩිකර ගැනීමටත් කටයුතු කරනවා. මේ දෙයින් වෙන්නේ රටේ ජනතාවගේ හිසමත බදු බර පැටවීම පමණයි යයි ද සිරිලක ජනතා පෙරමුණේ සංවිධායක ලේකම් ලියනාරච්චි සඳහන් කරයි. ‘පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ගේ දීමනා සඳහා පමණක් රුපියල් කෝටි 160ක් වියදම් වෙනවා. වෙනත් පහසුකම් සඳහා තවත් මුදල් සම්භාරයක් වැය වෙනවා. ජනතා නියෝජිතයන් නඩත්තු කරන්න වෙන්නෙ රටේ අහිංසක ජනතාවටයි. ඒ නිසා ජනතා නියෝජිතයන්ගේ සංඛ්‍යාව අඩු කරන්න අවශ්‍යයි. ඒ සඳහා රටපුරා කතිකාවක් ගොඩ නැගීමට සිරිලක ජනතා පෙරමුණ කටයුතු කරනවා යැයි ද ලියනාරච්චි කියයි.
අලුත් අවුරුද්දෙන් පස්සේ අවුරුදු කෑම මේසයක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ඇමැතිවරුන්ගේ නිල කාමරයේදී එම කෑම මේසය සංවිධානය කර තිබුණ අතර හිතවතුන් සමග කතාබහ කරන අතරවාරේ ඇමැතිවරයා දේශපාලන කතාවක් ද කීවේය.
“අපට ඉතාම කෙටි කාලයයි තියෙන්නේ. ඉතා විශාල වැඩ කොටසක් කරන්න තිබෙනවා. ඇමැතිවරයා නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ අවුරුදු කෑම මේසයෙන් පස්සේ ඇමැති අකිල ජාතික සේවක සංගමයේ පැවැති අවුරුදු කෑම මේසයට ද සහභාගී වූයේය. ‘අකාර්යක්ෂමව තිබුණු රජයේ ප්‍රබල අමාත්‍යාංශ කිහිපයක්ම ඉදිරියේදී එජාපයට ලැබෙනවා. කකුලෙන් ඇදපු අය නැති නිසා දැන් අපට ඉතා පැහැදිලිවම ඉදිරියට යන්න පුළුවන්’ යැයි ඇමැති අකිල විරාජ් කීවේය.
එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරුවලට අලුතින් පත්වීම් කළ ද තනතුරු බලාපොරොත්තු වූ දේශපාලනඥයන් පිරිසක් කලකිරීමට පත්ව ඇතැයි වාර්තාවේ. නව තනතුරු පත් කිරීමේදී තමන්ටද තනතුරක් ලැබෙතැයි සිතා සිටි දේශපාලනඥයන් එලෙස කලකිරී ඇති අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා ඔහුගේ මුහුණු පොතේ සටහන් කර ඇත්තේ ‘ඉතිරිව ඇත්තේ කනගාටුව පමණයි’ යනුවෙනි. මීට අමතරව රන්ජන් රාමනායක, ජෝසප් මයිකල් පෙරේරා සහ තවත් කිහිප දෙනෙකුම කලකිරීමට පත්ව ඇතැයි එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පළාත් සභා ඡන්දය තවත් කල්යයිද
nanda Friday, 27 April 2018 06:16 AM
මේ ආණ්ඩුව තියෙනකන් ඡන්ද නැත. 2019 අගදී හොදාපාළුවක් වෙනවා. අලුත් ආණ්ඩුවක් එනවා. රට නැවත හරිමගට එනු ඇත.
Nuwan Sunday, 29 April 2018 09:13 AM
නිවැරදි මාර්ගය කුමක්ද? පවුල් දේශපාලනය තියෙන්නේ සහෝදරයින්ටයි, පුත්තුන්ටයි, බිරින්දෑවරුන්ටයි.
RasikaMonday, 30 April 2018 10:16 PM
පවුල් පාලනේ නරකද.. ලංකාවේ විතරද තිබුනේ..... ඇමෙරිකාවේ බුෂ් තාත්ත පුතා , කැනඩාවේ තාත්ත පුතා , ඉන්දියාවේ ගාන්ධි , පාකිස්තානේ බුටෝ , බංගලාදේශය , තායිලන්තය , දියුණු රටවලත් එකම පවුලේ අය අගමැති ජනාධිපති වෙලා තියෙනවා. කවුරු උනත් රට හරියට කරනවානම් රට දියුණු කරනවා නම් , මොකක්ද වරද.. දැන් රට හොදට යනවද ?