(බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)
([email protected],[email protected])
පසුබිම් වාර්තා බොරලන්ද ආර් කෝගුලන්
'ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ.’ ඒ ගැමි ප‍්‍රස්ථාපිරුළකි. මේ දිනවල එම ප‍්‍රස්ථාපිරුළ වැඩි වැඩියෙක් කියන්නට සිදුවී ඇති පිරිස අතර ඉදිරියෙන්ම සිටින්නේ බණ්ඩාරවෙල වැසියෝය. ඌවේ ජලය දකුණට ගෙන යෑමට ඉදි කරන උමා ඔය ව්‍යාපෘතිය නිසා පීඩාවට පත්ව සිටින්නන් රැසකටම අත්වී තිබෙන්නේ ‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ.' පිරුළ සිහිපත්කරවන සිදුවීම්ය.
උමඟේ කැනීම් අතරතුර පසුගිය අපේ‍්‍රල් 16 වැනි දා ඇති වූ විශාල ජල කාන්දුව සම්පූර්ණයෙන්ම වසා දැමීමට අපොහොසත් වී ඇති පසුබිමක අප යළිත් බණ්ඩාරවෙලට ගියේ අද වන විට එහි තත්ත්වය ගැන සොයා බැලීමටය. අප යන විට හීල් ඔය මැද පේරුවේ පදිංචි මැදිවියේ කතක සිය පැල්පතට වී කැළෑ වැදුණු වෙල් යාය දෙස බලා සුසුම්ලමින් සිටියාය. ඇය කේ ජී ගූණවතීය. ගුණවතී සුසුම්ලමින් කතා කළේ තමාට වී ඇති අගුණ ගැනය.
‘මම අඳේට කුඹුරු කළේ. මතක ඇති කාලේ ඉඳන් කුඹුරු කරලයි ජීවත් වුණේ. පහුගිය කාලේ වතුර කළඳක්වත් නැතිව ගිය නිසා කුඹුරු විනාශ වුණා. ආණ්ඩුවෙන් වන්දි දෙද්දි කුඹුරු අයිති අයටයි හම්බුණේ. මට සතයක්වත් හම්බුණේ නෑ.
දැන් බොහොම අමාරුවෙන් කුලියක් කරලා ජීවත් වෙනවා. වගා විනාශ වෙලා නිසා කුලී වැඩත් දැන් නෑ.’එලෙස ගහෙන් වැටුණු ඇයට ගොනා අනින්නේ ඉන් පසුය.
ඇය කුඹුරු වැඩ සහ නිවසක් ඉදි කිරීම සඳහා ගත් ණය මුදල් ගෙවීමට අපොහොසත් වන්නේ ආදායම් මාර්ගයක් නොමැතිකම නිසාය.
ණය මුදල් ගෙවන ලෙස පසුව අදාළ මූල්‍ය ආයතනයෙන් ලියුම් එවා තිබිණි. ලියුම් එව්වත් ණය ගෙවන්නට ඇයට ආදායම් මාර්ගයක් නැත. දැන් ප‍්‍රශ්නය සමත මණ්ඩලය දක්වා ගොස් තිබේ.
සමත මණ්ඩලයේ අවසන් සිහි කැඳවීමේ ලිපියද ගුණවතීට ලැබී තිබිණි. ඇයට දුක කියන්නට කිසිවකු නැත. ඇයට ඉතිරිව ඇත්තේ වල් වැදුණු වෙල්යාය දෙස බලා සුසුම් හෙළීම පමණි.
ගුණවතී යනු මේ ඉරණම අත්වූ එක් අයකු පමණි. තවත් බොහෝ දෙනෙක් මේ ඉරණමට අඩු වැඩි වශයෙන් මුහුණ දී සිටිති.
ඞී එම් සුදු මැණිකා ද හීල්ඔය මැදපේරුවේ පදිංචිකාරියකි. නාගන්නටවත් වතුර ටිකක් නැතිව ජීවත් වීම ගැන ඇය කතා කළේ දේශපාලකයන්ට දෙස් තබමිනි.
‘අපි උපන් දා ඉඳන් මෙහේ හිටියේ. මට දැන් අවුරුදු 60ක්. මගේ ජීවිත කාලයටම කිසිම දවසක හීල්ඔය හිඳලා නෑ. අපි නාන්නෙම හීල් ඔයෙන්. දැන් අවුරුද්දක එක හමාරක වෙලේ ඉඳන් හීල් ඔයේ වතුරු කළඳක්වත් නෑ. ළිංවල වතුර නැති නිසා හරියට නාගන්නවත් විදියක් නෑ.
දවස් දහයකට 15කට විතර සැරයක් ඇවිත් වතුර දෙනවා. ඒක ගෑවෙන්නවත් මදි. අපේ කුඹුරු ඔක්කොම විනාශ වුණා. කුඹුරුවලට සොච්චම් වන්දියක් දුන්නට මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්ද?
කුඹුරු තිබ්බා නම් අවුරුදු ගානක් ඒකෙන් කන ගමන් ජීවත් වෙනවා. දැන් මිනිස්සුන්ට ආදායම් මාර්ගයක් නෑ. ළඟදි දේශපාලකයෙක් කියලා තිබ්බා අපි බෙල්ල මිරිකන්න හැදුවා කියලා.
අපි නම් කාගෙවත් බෙලි මිරිකන්න හැදුවේ නෑ. දේශපාලූවො තමයි අපේ බෙලි මිරුකුවේ. දැන් අපේ බෙල්ල මුලටම හිරවෙලා තියෙන්නේ.’ යැයි සුදු මැණිකා ආවේගයෙන් කියාගෙන ගියාය.
සුදුමැණිකලාට ගුණවතීලාට මේ ඉරණම අත්වූයේ උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ අතුරු ඵලයක් ලෙසය. අසූව දශකයේ සිට ව්‍යාපෘතියට අර අදිමින් අවසානයේ 2008 දී ව්‍යාපෘතිය ආරම්භ කිරීම ගැනත්, උමඟේ ජල කාන්දුව ඇතිවූ ආකාරය සහ ගෙවල්වල ඉරිතලා යෑමේ විද්‍යාත්මක පදනම ගැන මීට පෙර 2017 ජූලි මස පස් වැනි බදාදා ‘සත්‍ය ගවේෂණ’ විශේෂාංගය ඔස්සේ අනාවරණය කළෙමු.
ප‍්‍රධාන උමඟ හාරාගෙන ඉදිරියට යද්දී විශාල ජල කාන්දුවක් මතු වූයේ පසුගිය අපේ‍්‍රල් 16 වැනි දාය. අපේ‍්‍රල් 20 වැනි දා වන විට එම ජල කාන්දුවෙන් ජලය පිටවීමේ වේගයක තත්පරයට ලීටර 1600ක් තරම් විය.
පොළොවේ ඊට උඩින් ඇති ජල ගබඩා හිස් කරමින් ඇදී ගිය ජල කන්ද නිසාම ජූලි මස ආරම්භ වන විට ජලය පිටවීම තත්ත්පරයට ලීටර 800 දක්වා අඩුවී තිබිණි.
ඒ වන විට භූගත ජලය ලීටර කෝටි 850ක් පමණ උමඟ දිගේ පිටතට ගලා ගොස් තිබිණි. ජූලි මැද වෙද්දී එය තත්ත්පරයට ලීටර 700 දක්වා අඩුවී තිබුණේ ස්වභාවිකවමය.
ජල කාන්දුව ගැන මාධ්‍ය වාර්තා පළ වීමත් සමඟ රජයේ මැදිහත්වීමෙන් විශේෂඥ කණ්ඩායම් ගොස් නිරීක්ෂණය කර දෙනු ලැබූ උපදෙස් පරිදි මේ වන විට ජල කාන්දුව තත්ත්පරයට ලීටර 450 දක්වා අඩු කර තිබේ.
අද වන තුරුත් ජල කාන්දුව සම්පූර්ණයෙන්ම නැවැත්වීමට නොහැකි වී ඇති අතර ජනතාවට පානය කිරීමට සහ පරිසරයේ අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් භූගත ජලය ලෙස ඇති වතුර ලීටර 450 බැගින් අප මේ කතා කරන සෑම තත්පරයක් පාසාම පිටව යයි.
ජලය පිටව යෑම නතර වන තාක්කල් පොළොවේ ගිලා බැසීම් හා ඒ නිසා සිදුවන ගොඩනැගිලි ඉරි තැලීම් නැවැත්විය නොහැකි බව විද්‍යාඥයන්ගේ මතයයි.
ජනතාවට තාවකාලික නිවාස ඉදි කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන් කේ‍්‍රග් වතුයාය සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ලබා දුන් නිර්දේශ මඟින්ද එය තවදුරටත් තහවුරු වෙයි.
විපතට පත් ප‍්‍රදේශවාසීන් වෙනුවෙන් නිවාස ඉදි කිරීම සඳහා තෝරාගත්තේ කේ‍්‍රග් වතුයායයි. ඒ සඳහා කැබිනට් අනුමැතියද ලැබිණි.
එම ඉඩම සම්බන්ධයෙන් සොයා බැලීමට 2017 අගෝස්තු නව වැනි දා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදු කර ඇත.
ඉන් පසු 2017 අගෝස්තු 14 වැනි දා එම ආයතනය එන්බීආර් ඕ/එල්ආර්ආර්එම්ඞී/බීඞී/බීඩබ්ලිව්ඞීඑස්/එල්ටී/17/007 අංකයෙන් ඇල්ල සහ බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇත්තේ එම ඉඩමේ ඉදි කිරීම් නොකරන ලෙසයි. ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ මෙයයි.
‘භූගත ජල මට්ටම අඩුවීම හේතුවෙන් භූමියේ සිදුවන අස්ථාවරතා පාදක කරගෙන නිවාසවල අස්ථාවරතා හටගෙන ඇත. එම අස්ථාවරතාවයන් තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව වාර්තා ගත දත්ත අනුව තහවුරු වේ.
එබැවින් අස්ථාවර භූමියේ නව ඉදිකිරීම් සිදු කළද ඒවායේද අස්ථාවරතා හා බිඳවැටීම් ඇති විය හැකිය.’ යනුවෙන් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇත.
උමඟේ ජල කාන්දුව සියයට සියයක් නවත්වන තුරු ගොඩනැගිලි ඉරිතැලීම් හා භූමිය ගිලා බැසීම් සිදුවන බව එයින් තවදුරටත් තහවුරු වේ. තවදුරටත් ජනතාවට ඇති ගැටලූ ගැන සොයා බැලීමට බණ්ඩාරවෙල ඇත්තලිටියට අප යන විට පිරිසක් වී හුළංකර බැත එකතු කරමින් සිටියහ. ගෝනි දෙකකටවත් හරියට පුරවන්නට එහි වී තිබුණේ නැත. එම කුඹුර වටගමුවේ පදිංචි චන්ද්‍රදාස මහතාගේය.
‘සාමාන්‍යයෙන් අපි එක කන්නයකට වී බුසල් 100ක් 120ක් විතර මේ කුඹුරෙන් ගන්නවා. ට්‍රැක්ටර් ගෙනත් මැෂින් ගෙනත් මේ පාර වී බුසල් හයක්වත් ගන්න බැරිවුණා. කුඹුරේ කකුල් යන තරං පිපිරුම් තිබෙනවා. ජනවාරි මාසේ ගොයම් හදනකොට මේකේ වතුර තිබුණා. ගොයම් හදා ටික දවසක් යද්දි වතුර නැතිව ගියා. බොන්න විතරක් සතියකට සැරයක් වතුර ලීටර 500ක් විතර දීලා යනවා. ඒවත් බොන්න බෑ. ඊයේ ගෙනත් දුන්නු වතුරත් කොළපාටයි.
අපි කාටවත් අතපාලා ජීවත් වුණු අය නෙමෙයි. ආණ්ඩුවෙන් ආධාර අරගෙන ජීවත් වුණු මිනිස්සු මෙහේ නෑ. දුක්මහන්සියෙන් හරි හම්බ කරලා කාපු මිනිස්සු ඉන්නේ. අපි කාටවත් අතපෑවේ නෑ. හිටපු රජයේ අයටත් මේ රජයේ අයටත් අපි කියන්නේ ඡන්දයක් ගන්න නම් මේ පැත්තට එන්න එපා කියලයි.
මෑතකදි කිව්වා අතින් සල්ලි දීලා කුඹුරු ඉඩම් මනින්න කියලා. මැනලා විස්තර දුන්නට පස්සේ දැන් කියනවා ගොවිජන සේවා එකෙනුත් මනිනවා කියලා. අපි වියදම් කළ සල්ලි කාටද? නිකං මිනින්දෝරුවෝ පෝසත් වුණා. අන්තිමට අපට වන්දිත් නෑ. අතේ සල්ලිත් නෑ. කබලෙන් ලිපට වැටුණු මිනිස්සු වගේ ඉන්නයි වෙන්නේ.’ චන්ද්‍රදාස කීවේය.
චන්ද්‍රදාසගේ කුඹුරේ තැනින් තැන විශාල පැලූම් තිබිණි. ඇතැම් පැලූම් කකුල් සිරවන තරමේ පැලූම්ය. හීල් ඔය මෙන්ම ඇත්තලපිටියේ ගම මැදින් ගලනා ඇත්තලපිටිය ඔයද වතුර කළඳක්වත් නැතිව සිඳී ගොස් තිබිණි. වෙනදා හිතේ හැටියට ඔයෙන් නාගන්නා ජනතාවට දැන් නෑමට සිදුවී තිබෙන්නේ දින කිහිපයකට සැරයකි. හේතුව සතියකට ලැබෙන ලීටර 500 ගෑවෙන්නවත් මදි නිසාය.
දියණියන් තිදෙනකු සහ පුතකු සිටින පවුලක පියෙකු අප සමඟ කීවේ දරු තිදෙනාට, බිරිඳට සහ තමන්ට වතුර ලීටර 500 ප‍්‍රමාණවත් වන්නේ දින දෙකකට පමණ බවයි. වතුර නැති කමින් දැරියන්ට ලෙඩ දුක් සෑදීමේ අවදානමක් ඇතැයි ද ඔහු කීවේය.
නිවාස පමණක් නොව පාසල්, පල්ලි, පාසල් ද ඉරිතලා ගොස් තිබුණු අතර මීට මාස හතරකට පමණ පෙර ඇතැම් ගොඩනැගිලිවල තිබූ පැලූම් මෙවර අප යන විට තවදුරටත් විශාල වී තිබිණි. හීල්ඔය පල්ලේපේරුවේ මස්ජිදුන් නූර් ජුම්මා පල්ලිය ඉන් ප‍්‍රධාන තැනක් ගනී.
සෑම සතියකම ආගමික වතාවක් සඳහා 1000කට ආසන්න පිරිසක් මෙම පල්ලියට රැස්වෙති. පල්ලියේ බිත්ති පමණක් නොව බිම ද බොහෝ තැන් ඉරි තලා ගොස් තිබේ.
මෙවැනි අනාරක්ෂිත ස්ථානයක තවදුරටත් ආගමික වතාවත් සිදුකරන්නට වීම ගැන අදහස් දැක්වූ මොහොමඞ් රිෆාස් මවුලවිතුමා කීවේ ළඟපාත වෙනත් පල්ලියක් නොමැති නිසා මෙම ස්ථානයට ආගමික වතාවත් සඳහා රැස් වෙන බවයි.
‘මේ පල්ලිය ඉදි කළේ 1953 වර්ෂයේදි. එහි අලූත් කොටස ඉදි කළේ 2002 වසරේදීයි. ඒ කොටස් දෙකම ඉරි තලලා. මෙච්චර කාලයක් අපි වන්දනාමාන කළ තැන මෙතන. අපිට වන්දනාමාන කරන්න යන්න ළඟ පාත වෙන තැනක් නෑ.
උමා ඔය ව්‍යාපෘතිය නිසා මේ ප‍්‍රදේශයේ තවත් නිවාස කිහිපයක් ඉරි තලා ගොස් තිබෙනවා. ගමේ විහාරස්ථානයෙත් ඉරිතලලා. පන්සලේ අපේ හාමුදුරුවන්ගේ නායකත්වයෙන් සියලූ දෙනා මේ ප‍්‍රශ්නයට සාධාරණයක් බලාපොරොත්තුවෙන් පෙළ ගැසිලා ඉන්නවා.’ යැයි මව්ලවිතුමා කීවේය.
පල්ලියට මීටර 100ක් පමණ දුරින් පිහිටි එම් අයි එම් ඉසාක්ගේ නිවසේද ඉරි තැලීම් රැසක් තිබිණි. ඇතැම් ඉරි තැලීම් ඉසාක්ගේ අවුරුදු තුනක් වයසැති පුංචි පුතාගේ පාදය යන තරමේ පැලූම්ය.
කෙසේ වෙතත් ඔවුන්ට ලැබී ඇත්තේ රුපියල් 13,000ක වන්දියක් පමණි. තාවකාලික පැලැස්තරයක් ලෙස නිවසේ ඇති පැලූම් වැසීමටවත් එම මුදල ප‍්‍රමාණවත් නැත.
ගොවීන්ට සහන ලබා දීම සඳහා හැකි තරම් වෙහෙසුණු බවත්, තවමත් සහන නොලැබුණු ගොවීන් ද සිටින බවත්, ඔවුන්ට ද සහන සැලසීම ගැන නිලධාරීන්ගේ අවධානය යොමු කරවමින් සිටින බවත් මැදපේරුව මහායාය ගොවි සංවිධානයේ ලේකම් බණ්ඩාර කොළඹගේ මහතා පැවසීය.
මෙහි සඳහන් කර ඇත්තේ කබලෙන් ලිපට වැටුණු මිනිසුන්ගේ අඳෝනාවෙන් ටිකක් පමණි. දාඩිය මහන්සියෙන් හරි හම්බ කර ගනිමින් කාටවත් බරක් නැතිව ජීවත් වූ බණ්ඩාරවෙල ජනතාවට අවසානයේ ඉතිරිවී ඇත්තේ සෝසුසුම්ය. කැඩුණු නිවාස වෙනුවට වන්දියක් ලබා දී ඔවුන්ගේ බිඳුණු සිත් යළි සකස් කළ නොහැකිය.
කුඹුරු වෙනුවෙන් ලැබෙන සොච්චම් වන්දියෙන් ගොවි ජනතාවගේ ජීවනෝපාය යළි ගොඩ ගැනීමට නොහැකිය.
උමා ඔයේ වතුරෙන් දකුණ අස්වද්දන්නට ගොස් අවසානයේ බණ්ඩාරවෙල වතුර කඳුලක් නැති මුඩු පිටියක් බවට පත් වූවා පමණක් නොව ජනතාවටද ප‍්‍රශ්න කන්දක් මැද මිරිකී ජීවත් වන්නට සිදුවී තිබේ. දේශපාලකයන්ට උඩ ගෙඩි දෙමින් හොර පරිසර වාර්තා දුන්, පරිසර වාර්තාවලට අනුමැතිය දුන් අය පමණක් නොව විනාශකාරී ලෙස උමඟ ඉදි කළ සමාගමටද කිසිම ගැටලූවක් වී නැත.
(සත්‍ය ගවේෂණ)
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොළොව පැලී ගිලී සිඳෙන උමා ඔය නිම්නයේ බලාපොරොත්තු
MADU Wednesday, 20 September 2017 08:58 AM
මේ ආණ්ඩුවට පේන්නේ නැද්ද මේ මිනිස්සු විඳින දුක ..
kumar (galf) Wednesday, 20 September 2017 12:00 PM
නොදන්නා ඉරානය අල්ලාගෙන පහුගිය ආණ්ඩුව කරපු වැඩ. හොඳ කොමිෂන් ගහන්න ඇති.
chaminda Thursday, 21 September 2017 03:29 PM
ඉරානය වගේ රටවල් වලට, මෙවැනි සංකීර්ණ ඉදිකිරීම් කරන්න දැනුම මදි, ඒ ගොල්ලන් තවම ඉදිකිරීම් ඉගෙන ගන්නවා. අපේ රට විනාශ කරමින්, කඳුකර ප්‍රදේශ වල අභ්‍යන්තර කැනීම් නිවැරදිව නොකලොත් ලොකු පාරිසරික ව්‍යවසනයන් අනාගතයේ දී වෙන්න පුළුවන්.
perakumFriday, 22 September 2017 08:29 AM
ඔබ කියන ව්‍යසනය දැනටමත් වෙලා ඉවරයි. දැන්වත් සුදුසු පිළියමක් නොයෙදුවහොත් රටටම බලපාන බලවත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා.
Kumara Friday, 22 September 2017 09:59 AM
ඇතිවෙනවා නැතිවෙනවා