ජනාධිපතිවරණය අවසන් විය. හෙට මහමැතිවරණය අවසන් වේ. එසේ වුවද ඡන්ද පැවැත්වීම එතැනින් නවතින බවක් පෙනෙන්නට නැත. මහ මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට සිදුව තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පළාත් පාලන මැතිවරණය කල් දැමීම වරදක් බවත් එම මැතිවරණය වහාම පැවැත්විය යුතු බවටත් නියෝග කර තිබේ.
ඒ අනුව රටට තවත් ඡන්දයකට මුහුණ දීමට සිදුවන අතර කල් දමා ඇති පළාත් සභා මැතිවරණය ද පැවැත්විය යුතුව තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක මහජන නියෝජිතයන් විසින් පාලනය කරනු ලබන ආයතනවලට නිසි පරිදි ඡන්දය පැවැත්වීම මගින් මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කිරීමක් සිදුවේ. එසේ වුවද මේ ආකාරයට මැතිවරණ පැවැත්වීම තුළින් ඇතිවන ආර්ථික බලපෑම පිළිබඳව ද සළකා බැලිය යුතු අවස්ථාවක් උදාවී ඇතැයි සිතමි.
අයි.එම්.එෆ්. විස්තීර්ණ ණය මුදල පිළිබඳව මීට පෙර අවසන් වූ සමාලෝචනයෙන් පසු පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදීහු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව එම නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළහ. එම අවස්ථාවේ දී අයි.එම්.එෆ්. නිලධාරීන් ප්‍රකාශ කළේ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා වනසේ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව හෝ ඒ තුළින් කවරකු පත් වන්නේ ද යන්න පිළිබඳව තමන්ට ප්‍රශ්නයක් නැති බවත් එසේ වුවද අයි.එම්.එෆ්. ඊළඟ සමාලෝචනය කල් ගතවීමට ඉඩ ඇති බවත් ය. ඔවුන් ප්‍රකාශ කළ ආකාරයටම මේ වනවිට සමාලෝචනය කල් ගොස් තිබේ. මේ වනවිට එම සමාලෝචනය අවසන් කර ඊළඟ වාරිකය ලබාගත යුතුව තිබුණ ද දැනට ප්‍රකාශ වන්නේ එම සාකච්ඡාව දෙසැම්බර් මාසය තුළ දී පැවැත්වීමට ඉඩ ඇති බවය.
ජනාධිපතිවරණයෙන් පසු නව ජනාධිපතිවරයෙක් පත්ව සිටී. එසේ වුවද ජාතික ජනබලවේගයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව දෙදෙනකුට සීමාවීම නිසා ජනාධිපතිවරයා ද සමග කැබිනට් මණ්ඩල සාමාජික සංඛ්‍යාව 03කට සීමාවී තිබේ. එවැනි තත්වයක් තුළ නියමිත පරිදි ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසුව පමණක් විධිමත් අයුරින් ආර්ථිකය මෙහෙයවීමට රජයට හැකියාවක් ලැබේ. අයි.එම්.එෆ්. සාකච්ඡා කල් යෑමට බොහෝ විට හේතුවී ඇත්තේ මේ වනවිට පවත්නා තාවකාලික තත්වයෙන් අත්මිදී රාජ්‍ය පාලනය පිළිබඳ ස්ථාවරත්වයක් ඇතිකර ගන්නා තුරු විය හැකිය.
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් සලකන විට දැන් පවතින්නේ සාමාන්‍ය තත්වයක නොවේ. ආර්ථික අර්බුදය තරමක් දුරට කළමනාකරණය කරගෙන ඇති නමුත් ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකර ගැනීම සඳහා තවත් බොහෝ දේවල් කළ යුතුව තිබේ. විශේෂයෙන්ම ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා අවසන් වී ඇති නමුත් අවසන් ගිවිසුම තවමත් අත්සන් කර නැත. ඒ අතරම සාර්ව ආර්ථික කළමනාකරණයේ දී නිරන්තරයෙන්ම පරීක්ෂාකාරීව සහ අවධානයෙන් සිටීමට සිදුවන අතර කවර මොහොතක නිර්මාණය වන අනපේක්ෂිත තත්වයක් හේතුවෙන් දැන් ඇතිකරගෙන තිබෙන ස්ථාවරභාවය බිඳ වැටේද යන්න කිව නොහැකිය. එවැනි තත්වයක් තුළ ප්‍රමුඛත්වය ලබා දීමට සිදුවන්නේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු වන ආකාරයෙන් කටයුතු කිරීම, රටට විදේශ වීනිමය සහ ආයෝජන ලැබෙන ආකාරයේ ප්‍රතිපත්ති අනුගමනය කිරීම සහ නිශ්චිත ලෙසම ඊළඟ කාලපරිච්ඡේදය තුළ අනුගමනය කරන ආර්ථික ක්‍රමෝපාය තීරණය කර ගැනීමය. ඒ අතරම ශ්‍රී ලංකාව විසින් අයි.එම්.එෆ්. සමග විස්තීර්ණ ණය පහසුකම් ලබා ගැනීමේ දී අත්සන් කරන ලද එකඟතාවලට අනුව කටයුතු කිරීමට ද සිදුවේ. මේ සියල්ලෙන් තුළින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව මේ අවස්ථාවේ දී ආර්ථික වශයෙන් විවිධ උච්චාවචනයට සහ දෝලනයට මුහුණදෙන යුගයකට අවතීර්ණය වී ඇති බවය.
මැතිවරණය පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී රටක හොඳ ලක්ෂණයකි. පවතින රජය පිළිබඳව මෙන්ම විපක්ෂයේ ක්‍රියාමාර්ග පිළිබඳව ද මහජනතාව දරන මතය දැන ගැනීම සඳහා ඉන් අවස්ථාවක් සැලසේ. එහෙත් ප්‍රශ්නය වන්නේ ආර්ථික අර්බුදයෙන් කර වටක්ම ගිලී සිටින ශ්‍රී ලංකාව වැනි රටකට මේ අවස්ථාවේදී ඒවාට කොතෙක් දුරට ඔරොත්තු දිය හැකි ද යන්නයි. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනුගමනය කිරීමට සිදුව ඇති අයි.එම්.ඒෆ්. සමග වූ එකඟතාවලට අනුකූලව කටයුතු කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය මුළුමනින්ම ආර්ථික වර්ධනය සහ සංවර්ධනය අරමුණු කරගෙන මෙහෙයවීම, හැකිතාක් දුරට ආයෝජන, අපනයන සහ නිෂ්පාදනය වැඩිකර ගැනීමට කටයුතු කිරීම ආදිය සඳහා අඛණ්ඩව කටයුතු කිරීමට සිදුවේ. එක අතකින් මැතිවරණ ක්‍රියාවලිය තුළින් රටේ නිෂ්පාදනයට එකතුවන කිසිවක් නැත. අනෙක් අතට මැතිවරණ ක්‍රියාවලිය වෙනුවෙන් රජයට අතිවිශාල වියදමක් දැරීමට ද සිදුවේ.
සාමාන්‍ය තත්වයක් පවත්නා විට මැතිවරණ ක්‍රියාවලිය සඳහා යෙදවීමට සිදුවන භෞතික හා මානව සම්පත් පිළිබඳව වැඩ අවධානයක් යොමු කිරීම අවශ්‍ය නොවේ. එසේ වුවද ආර්ථික අර්බුදයක් පවත්නා අවස්ථාවක දී මූල්‍ය පිරිවැය දැරීම පරෙස්සමෙන් සිදුකළ යුතු මොහොතක අඛණ්ඩව මැතිවරණ 03ක් පැවැත්වීමට සිදුවීම පැහැදිලිවම ප්‍රකාශ කරන්නේ නම් ඒ අවස්ථාවේ දී භෞතික සහ මානව සම්පත් අපතේ යැවීමක් ලෙස හැඳින්විය හැකිය. මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා එම සම්පත් ආර්ථිකයට කිසිදු අවසන් එකතු කිරීමක් සිදු නොකර විනාශයට පත්වේ. උදාහරණයක් ලෙස මැතිවරණය වෙනුවෙන් මුද්‍රණය කරන පත්‍රිකා, ඡන්ද කාඩ්, ඡන්ද පත්‍රිකා, නිවේදන, විස්තර ප්‍රකාශන, බැනර්, කොඩි, ධජ පතාක ආදි සියල්ලම මැතිවරණයක් අවසන් වූ පසු ආර්ථිකයට කිසිදු එකතුවක් නොකර ප්‍රයෝජනයකට ගත නොහැකි තත්වයකට පත්වේ.
ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑමක් එල්ලවිය හැකි අනෙක් කරුණ නම් රාජ්‍ය යාන්ත්‍රණය වැඩි වශයෙන්ම මැතිවරණ කටයුතු වෙනුවෙන් යෙදවීමට සිදුවීමත් ඒ හේතුවෙන් අනෙකුත් කටයුතු අර්ධ වශයෙන් හෝ අක්‍රීය වන තත්වයක් ඇතිවීමත් ය. උදාහරණයක් ලෙස අපේ පාසල් පද්ධතිය කෝවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් බොහෝ ගැටලුවලට මුහුණ දුන්නේය. පාසල් වසා දැමුණි. නියමිත පරිදි පාසල් වාර පැවැත්වීමට හෝ සිසුන්ට අධ්‍යාපනය ලබා දීමට නොහැකි විය. තවමත් පෙර පැවැති ආකාරයට උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග නිශ්චිත කාලයක දී පැවැත්වීමට නොහැකි වී ඇත. මේ වනවිට මැතිවරණ හේතුවෙන් පාසල් වසා දැමීමටත් විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන වසා දැමීමටත් සිදුව තිබේ.
නිරන්තරයෙන්ම මැතිවරණ පැවැත්වීමෙන් රටට සිදුවන පාඩුව සහ ආර්ථිකයට සිදුවන හානිය පිළිබඳව බොහෝ දෙනකුට වැටහීමක් නැති බව පෙනේ. බැලූ බැල්මට මැතිවරණ පැවැත්වෙන අවස්ථාවක දී වුවද සාමාන්‍ය තත්වයක් පවතින බැවින් බොහෝ දෙනකුට සිදුවන බලපෑම වටහා ගැනීමට නොහැකිය. පසුගිය සැප්තැම්බර් 30 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් අංශය පිළිබඳව මාස්පතා නිකුත් කරන වාර්තාව එළිදක්වා තිබුණි.. ශ්‍රී ලංකාවේ මිලදී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයSL Purchasing Managers index = PMl නිකුත් කළේය. ඒ අනුව ජුලි මාසයේ දී එම දර්ශකයේ සියලු කාර්යයන් පිළිබඳ දර්ශකය 62.9ක්ව පැවැති නමුදු අගෝස්තු මාසයේ දී එය 51.4 දක්වා අඩුවී තිබේ. එම අඩුවීමට එක හේතුවක් වී ඇත්තේ ඉදිරියේ දී ජනාධිපතිවරණයක් පැවතීම හේතුවෙන් එම අංශයේ ක්‍රියාකාරීත්වයේ අඩුවීමක් අපේක්ෂා කිරීම බව දක්වා ඇත. ඒ තුළින් පැහැදිලි වන්නේ මැතිවරණ පැවැත්වීම ආර්ථික කටයුතු කෙරෙහි තදින්ම බලපෑමට ඉඩ ඇති බවයි.
ඉදිකිරීම් කර්මාන්තයේ මෙම පහළ වැටීම සිදුව ඇත්තේ ජනාධිපතිවරණය හේතුවෙන් ආර්ථික ක්‍රියාකාරීත්වය පහළ වැටීමට ඉඩ ඇතැයි යන අපේක්ෂාව හේතුවෙනි. ඉදිකිරීම් අංශය රට යථා තත්වයට පත්වීම සඳහා ක්‍රියාකාරීත්වය ඉහළ නැංවිය යුතු තීරණාත්මක ආර්ථික අංශයකි. එසේ වුවද අපේක්ෂා කළ ආකාරයට වඩා දරුණු පසුබෑමක් එම අංශයේ සිදුව ඇති බව එම මහ බැංකු වාර්තාවෙන් පැහැදිලි වේ. අනෙකුත් ආර්ථික අංශ පිළිබඳව වෙන වෙනම එවැනි වාර්තා ප්‍රකාශයට පත් නොවන බැවින් මැතිවරණයේ ආර්ථික බලපෑම කවර මට්ටමක පවතින්නේ ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකිය. එසේ වුවද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණු ආර්ථික අර්බුදය පිළිබඳව කල්පනා කරන විට පැහැදිලි වන්නේ ඉදිරියටත් මැතිවරණ පැවැත්වීමෙන් කෝච්චියට බෙල්ල තැබීම හා සමාන පිළිවෙතක් අපි අනුගමනය කිරීමට සූදානම් වන බවය.
ජනාධිපතිවරණය පැවැත්වීමෙන් සහ මහ මැතිවරණය පැවැත්වීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානම අංශ ජනතා අභිමතය පරිදි ක්‍රියාත්මක වන බව යළිත් වරක් තහවුරු කර තිබේ. පළාත් පාලන ආයතන මැතිවරණය කල්දමා දැන් වසර 02ක් පමණ ගතවී ඇත. පළාත් සභා මැතිවරණය වසර පහකින්වත් පවත්වා නැත. ඒ ආයතනවල මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන් මහජනතාවට එම ආයතන සඳහා තම නියෝජිතයන් පත්කර ගැනීමේ අයිතිය අහිමි වී තිබේ. එසේ වුවද ජනාධිපතිවරණය නියමිත කාලය තුළ පැවැත්වීම තුළත් මහමැතිවරණය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා ව්‍යාවස්ථානුකූලව පැවැත්වීම තුළත් රට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට අනුකූලව පාලනය වන බව තහවුරු කර තිබේ. එවැනි තත්වයක් යටතේ රටේ සියලු දේශපාලන පක්ෂවල එකඟතාවෙන් අවශ්‍ය නම් අලුත් නීති පැනවීමකින් හෝ තවත් කාලයක් මැතිවරණ වෙනුවෙන් රටේ සම්පත් යෙදවීම වළක්වා ගත යුතුව ඇත. එසේ නොවන තාක් රටේ ආර්ථිකය පුපුරන්නට ආසන්න ගිනි කන්දක ස්වරූපයෙන් ක්‍රියාත්මක වනු ඇත. එවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගැනීම ආණ්ඩුවේ පමණක් නොව සියලු දේශපාලන පක්ෂවල සහ පුරවැසියන්ගේ වගකීම වේ.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා
අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් සිය මංගල විදේශ සංචාරය ඉන්දියාවේ කිරීම චාරිත්‍රයක් බවට පත්වී ඇත. එය මේ ශත වර්ෂය ආරම්භයේ සිටම (2000 සිටම) දක්නට ඇති තත්
රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමත්, එම සංචාරයේදී දෙරට විසින් ගනු ල
ශ්රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට
නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව
සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ප්‍රමුඛත්වය ඡන්දයද? ආර්ථිකයද?