IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


ප්‍රමුඛතා තේරීමේ වගකීම

ආණ්ඩුවක් පෙරැළී නව ආණ්ඩුවක් බලයට පත්වී තිබේ. 76 වසරක් පුරා පැවැති දේශපාලන තත්වය වෙනස් වී නව යුගයක් ගැන ජනතාව බලාපොරොත්තු දල්වාගෙන සිටින සේයාවක් දැකගත හැකිය. මේ මොහොතේ රටේ තිබෙන්නේ සුවිශේෂි තත්වයකි. එසේම, දැන් රටේ තිබන්නේ සංක්‍රාන්තික අවධියකි.

ආණ්ඩුවක් බලයට පත්වූ විගස සියල්ල කණපිට හැරවිය හැකි තත්වයක් එකවරම උදා නොවන බව අප වටහාගත යුතුය. අප අතීතයෙන් පාඩම් ඉගෙන වර්තමානයේ හැසිරිය යුතුය. අතීතයේ සිදු වූ වැරැදි දේ තිබේ නම් ඒවා නිවැරැදි කර අනාගතයට පියනැගිය යුතුය.

ගත වූ දශක හතරක කාලපරිච්ඡේදය අප රටට සුවිශේෂීය. මේ කාලයේ ලංකාවේ සිදු නොවුණු දෙයක් නැති තරම්ය. 1977 ආර්ථිකය විවෘත කර විවෘත ආර්ථිකයකට රට යොමු කළ පසු මෙරට ඇති වූ පරිවර්තනය සෑම ක්ෂේත්‍රයකටම විහිදී යන්නට විය.

අපේ රටේ ගොඩනැගී තිබූ සමබර ආර්ථිකය එමගින් වෙනස් වන්නට විය. නිදහසින් පසු කෘෂිකර්මය ඇති කරගෙන තිබූ නිදහස මේ හරහා අහෝසි විය. ආහාර සේම කෘෂිකර්ම භාණ්ඩ ද අපේ රටට අවශ්‍ය විය. නිදහසින් පසු ඒ සඳහා ද අපේ රට අවතීර්ණ විය. 1960 දශකය වන විට සෑහෙන හොඳ කාර්මික සංවර්ධනයකට අපේ රට යොමු වන්නට විය. ඒ වන විට රට පුරාම රෙදි කර්මාන්තශාලා විවෘත වූවේය. රෙදි වියන කුඩා ස්ථානවල සිට මහා පරිමාණ කර්මාන්තශාලා බවට ඒවා පරිවර්තනය විය. ඒවා මගින් රටට අවශ්‍ය රෙදි නිෂ්පාදනය සිදු විය. රට පුරාම මෙම රෙදි කර්මාන්තශාලා විහිදී පැවැතිණි. ඊට අමතරව මේ රටට අවශ්‍ය කරන ටයර් නිෂ්පාදනය හා වානේ නිෂ්පාදනය ද සිදු විය. මේ ආකාරයේ කාර්මික සංවර්ධනයට අවශ්‍ය පදනම වැටුණේය.

ජනතාවගේ අත්‍යවශ්‍යම සේවා ලෙස සැලකෙන කරුණු තුනක් තිබේ. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය එම කාරණා තුනයි. නිදහසින් පසු අධ්‍යාපනයේ විශාල ප්‍රගතියක් අපට දැකගත හැකි විය. සෞඛ්‍ය සේවයත් විශාල වශයෙන් දියුණු වෙන්නට විය. සෑම නගරයක්ම එකතු වන ලෙස දුම්රිය සේවාවේ වර්ධනයක් ද දැකගත හැකි විය.

බස් සේවාව ද රට පුරා යන ලෙස දියුණු විය. නිදහසින් පසු අප ලබා ගත් ප්‍රගතිය 1977 විවෘත ආර්ථිකයෙන් පසු ක්‍රම ක්‍රමයෙන් දිය වී යන්නට විය. මුල්ම අභියෝගය ආවේ කර්මාන්තවලටය. විවෘත ආර්ථිකයෙන් පසු කර්මාන්ත පවත්වාගෙන යෑමට නොහැකිව බිඳ වැටුණේය. එම කර්මාන්තවල සේවය කළ ලක්ෂ ගණනක පිරිසකට රැකියා අහිමි වීම විය. විවිධ කෘෂිකාර්මික භාණ්ඩ මෙරටට ඇදී එන්නට පටන්ගත් විට මෙරට කෘෂිකර්මය ද දුර්වල වන්නට විය. එසේම, මේ හරහා ප්‍රවාහන පද්ධතියට ද විශාල බලපෑමක් එල්ල වන්නට විය. පොදු ප්‍රවාහනය අභිබවා පෞද්ගලික ප්‍රවාහනය ප්‍රමුඛත්වයක් ගැනීමට පටන්ගත්තේය. මේ පරිවර්තනය නිසා අපේ රටේ විශාල වශයෙන් වෙනස්කම් සිදුවන්නට විය. විවෘත ආර්ථිකය පැමිණීමෙන් පසු විදේශ රැකියාවලට ද බොහෝ පිරිසක් රටින් පිටවන්නට විය. ඒ පිටව ගියේ රැකියා නැති වුණු අය සහ රැකියාවේ වැටුප ප්‍රමාණවත් නොවුණ අයයි. ඒ හරහා ලංකාවේ ශ්‍රම බළකායේ ද විශාල වෙනස්කම් ඇති වන්නට විය. මෙරට ශ්‍රමය ලබා ගැනීමට තිබූ ඉඩකඩ වෙනස් වන්නට විය.

විශේෂයෙන්, පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය මෙහිදී කැපී පෙනුණි. මෙහිදී විශාලම ගැටලුවක් වූයේ ග්‍රාමීය ප්‍රදේශවල සිටින ගොවි මහතුන්ය. ඔවුන්ට ශ්‍රමය වැඩි මිලට ගෙන වීවලට මිල කිරීම ගැටලුවක් විය. ඒ නිසා ඒ අය කෘෂිකාර්මික කටයුතුවලින් ඈත් වී වෙන වෙන ක්ෂේත්‍රවලට යොමු වන්නට විය. එසේ යොමු වුණු එක ක්ෂේත්‍රයක් වන්නේ, ත්‍රිරෝද රථ රැකියාවය. මේ වන විට ඒ සඳහා මිලියනයක් තරුණයන් එකතු වී සිටියි. ඒ අතරින් වැඩි පිරිස තරුණයෝය. මේ සමගින් අපට පෙනෙන්නේ ශ්‍රම බළකායෙන් වැඩි පිරිසක් ත්‍රිරෝද රථ රැකියාවට යොමු වී සිටින බවය. මේ සමග කොළඹ නගරයේ අවධිමත් රැකියාවල නිරත වන පිරිස ද වැඩි වන්නට විය. බොහෝ පිරිස් රැකියා සොයාගෙන කොළඹට පැමිණියහ. 1977 පසු විශාල පරිවර්තනයක් අප රටේ සිදු විය. එය දිගින් දිගටම යෑම මත අප රට විදේශයෙන් යැපෙන මට්ටමට පත්විය. විදේශවලින් ගෙනෙන භාණ්ඩවලට ප්‍රමුඛත්වය හිමි විය. අප රට යැපුණු ප්‍රධානතම කර්මාන්තයක් වූයේ ඇඟලුම්ය. එහෙත්, රෙදිපිළි කර්මාන්තයට ඉන් පසු කණ කොකා හැඬුවේය. සමහර කර්මාන්තශාලා දෙවරක් නොසිතාම වසා දැමුවේය. ඒ හරහා අපේ රටේ ආර්ථිකය දුර්වල මට්ටමට පත්වන්නට විය.

ඒ අනුව අපේ රටේ ආර්ථිකය ඉතා සුළු කාරණාවලට සීමා වන්නට විය. කර්මාන්ත බිඳ වැටී සේවා අංශ වර්ධනය වීමට පටන්ගත්තේය. ජනගහනයෙන් සියයට 60ක් පමණ අවිධිමත් ලෙස වැඩ කරන්නට විය. ඒ අයට දිනපතා යෑමට වැඩ තිබුණේ නැත. සමාජ ආරක්ෂණය සීමා විය. අපේ රටේ ආර්ථිකයේ විකෘතිභාවයක් ඇති වන්නට විය. විදේශවලින් ගෙනෙන භාණ්ඩ හරහා ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කරන මට්ටමට පත්විය. මේ නිසා ග්‍රාමීය ප්‍රදේශවල තිබූ සුළු කර්මාන්ත පවා බිඳවැටුණි. කොහු, පැදුරු, බටපොතු වැනි කර්මාන්ත වෙනුවට ඒ අවශ්‍යතා ප්ලාස්ටික්වලින් පිරිමැහෙන තත්වයකට පත් විය. අපේ රට ආර්ථික අර්බුදයක් කරා ගමන් කිරීමට මේ කාරණා හේතු විය. විදේශවලින් අපට ලැබෙන ආදායම මත අපේ රටට අවශ්‍ය බඩු ගැනීම සිදු වේ. එහෙත්, ගැටලුව වන්නේ, විදේශවලින් ගෙනෙන බඩු ප්‍රමාණයට වඩා අපගේ විදෙස් ආදායම අඩු වීමයි. විදේශ සංචිතවලට හිඟයක් ඇති වූයේ ඒ අනුවය. මෙම හිඟය පියවීමට අපට නොයෙකුත් ආකාරයේ ක්‍රම සෙවීමට සිදු විය. මේ අතරින් ප්‍රධානතම ක්‍රමය වූයේ ණය ගැනීමයි. මේ ණය ගැනීම වර්ධනය වී 2022 දී අපේ රටේ ආර්ථිකය බිඳවැටීම සිදු විය.

අපට ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත් රටක් බවට පත්විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකතු වී රට ගොඩ දැමීමට පිහිට පැතීමට සිදුව ඇත්තේ ඒ නිසාය. ආර්ථිකය බිඳවැටීම නිසා ඇති වුණු පීඩනය ඇති වූයේ ස්ථිර රැකියා නැති හරි ආදායමක් නැති පිරිසටය. ස්ථිර ආදායම් තිබූ අය කෙසේ හෝ ජීවිතය ගැටගසා ගත්හ. මේ හරහා රටේ ප්‍රවාහන පද්ධතිය බිඳවැටුණි. සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටුණේය. මේ පහළ පන්තියේ ජනතාවට ලැබුණු පීඩනය මේ දේශපාලන වෙනස්කම සිදු වීමට පවා හේතුවිය. මහා විශාල ජන පදනම වත්මන් ආණ්ඩුව වටා ඒකරාශි වන්නට විය. කලින් මේ අයගේ පාර්ලිමේන්තුවේ තිබූ නියෝජනය පවා ඉතාම සීමා සහිත විය. 77 සිට මාරුවෙන් මාරුවට බලය හොබවමින් ආ ප්‍රධාන පක්ෂවලට මෙවර බලය අහිමිව විපක්ෂයට වන්නට සිදු විය. මෙතෙක් කල් බලයේ සිටි ඒ පිරිස මෙරට කඩාවැටුණු ආර්ථිකයට වගකිව යුතු පිරිස විය. මෙරට ආර්ථිකය කඩාවැටීමට ප්‍රතිපත්තිමය පසුබිම නිර්මාණය කළෝ ඔවුහුය. ජනතාවට හිතාගත නොහැකි ආකාරයේ පීඩනයක් ගෙන දුන් විට ජනතාව ප්‍රතිචාර දැක්වූයේ තමන්ගේ ඡන්දයෙනි. මේ වෙනසට දායක වූයේ බහුතර ආර්ථික ප්‍රශ්නයෙන් පීඩාවට පත් වූ සාමාන්‍ය ජනතාවය. එමගින් ජනතාව බලාපොරොත්තු වූයේ ජීවත් වීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කරගැනීමටය. ඒ අනුව, ආර්ථිකය විනාශ කළ කණ්ඩායම එළවා නව පිරිසකට බලය ලබා දීමට ජනතාව කටයුතු කළහ.

මේ අතර, මේ සංක්‍රාන්ති කාලයේ සමහරු ආවේගශීලිව අදහස් දැක්වීමට යොමු වී සිටින බවක් පෙනේ. සමහරු විවේචන එල්ල කිරීමට ද පටන්ගෙන ඇත. එහෙත්, අප තේරුම්ගත යුතු වන්නේ, අද රටේ ඇති වී තිබෙන තත්වය දශක හතරක ආර්ථික, සමාජ, දේශපාලන ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් බවයි. පසුගිය කාලයේ පැවැතුණු ආණ්ඩුවලට ජනතාවට ජීවත් විය හැකි මට්ටමේ ආර්ථිකයක් නිර්මාණය කර දීමට හැකි වූයේ නැත. මෙය නැවතත් ආපස්සට හැරවීම ලෙහෙසි පහසු දෙයක් නොවන බව අප තේරුම්ගත යුතුය. එහෙත්, මෙය ආපස්සට හැරවීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව තිබේ. දශක හතරක් තුළ සිදු වූ විනාශය අවුරුදු 4ක් තුළවත් අවසන් කළ හැකි යැයි මා විශ්වාස කරන්නේ නැත.

මේ තත්වය නැවත ආපස්සට හැරවීමට නම් ස්ථිර වැඩපිළිවෙළක් අපට තිබිය යුතුය. අපට දැනට පෙනෙන කාරණාව වන්නේ, ඉදිරිය තීරණාත්මකය යන්න පමණි. මෙතෙක් අපට අත්විඳින්නට හැකි වූයේ තිරසර සංවර්ධනයක් නොවේ. සංවර්ධනය නම්, සෑම දෙනාටම ප්‍රතිලාභ හිමි විය යුතුය. මේ රටේ ඇති නැති පරතරය අවම වන සංවර්ධනයකට අප යොමු විය යුතුය.

පසුගිය කාලයේ විශාල පිරිසක් රටින් පිටව යෑම නිසා පුහුණු ශ්‍රමයේ විශාල හිඟයක් ඇති වී තිබේ. දැන් අප අපගේ ප්‍රමුඛතා හඳුනාගෙන රට දියුණුව කරා ගෙන යන ආකාරය සොයා බැලිය යුතුය. ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට කළ හැකි හැමදේම කළ යුතුය. දැනට එකවර විශාල ආයෝජනවලට යොමු වීමේ හැකියාවක් අපට නැත. රාජ්‍යයට ඒ සඳහා යොමු වීමට ප්‍රතිපාදන නැත. අයවැය පරතරය යන්න අප රටට විශාල ගැටලුවක් වී ඇත. විදේශවලින් ගත් ණය පවා අප ඉදිරියේදී ගෙවිය යුතුය. ඒ තුළ විදේශයන්ගෙන් ආයෝජන ලබා ගැනීමේ ගැටලුවක් ද පවතී.

මේ තත්වය තුළ ජනතාවට සහන සලසන්නේ කෙසේ දැයි අප විමසා බැලිය යුතුය. ඒ සඳහා කටයුතු කළ රාජ්‍ය ආයතන විශාල ගණනක් තිබේ. ඒ හරහා ප්‍රාදේශීය කොට්ඨාස මට්ටමින් කටයුතු ඇරැඹිය යුතුය. ජනතාවට දැඩි පීඩා දෙන ක්ෂේත්‍ර තෝරාගෙන වහ වහා ඒවාට ප්‍රතිකර්ම ලබා දිය යුතුය. සෞඛ්‍යය, අධ්‍යාපනය ඒ අතරින් ප්‍රධාන වේ. ග්‍රාමීය වශයෙන් නිෂ්පාදන වැඩි කිරීමේ ක්‍රියාමාර්ග ගත යුතුය. අමාත්‍යාංශ කිහිපයක් හෝ එකතු වී ඒ සඳහා පියවර ගත යුතුය. අප වෙනුවෙන් ආණ්ඩුව කුමක් හෝ කරනවා යන හැඟීම අප ජනතාවට ලබා දිය යුතුය. අධ්‍යාපනයේ අඩුපාඩු නිසා ටියුෂන් යන දරුවාට මෙය ඉක්මනින්ම නිවැරැදි වෙනවා යන හැඟීම ජනතාවට දැනිය යුතුය. පීඩනයට ලක්වී සිටින පුද්ගලයා තවත් පීඩනයට ලක් නොකළ යුතුය. විශාල ආයෝජන නැතිව මෙය කෙටි කාලීනව කළ හැකි ව්‍යාපෘතියකි. වෙන රටවල ගොස් පදිංචිව සිටින ලක්ෂ ගණනක ජනතාවත් ලංකාවේ අර්බුදය නිසා පීඩාවට පත්ව සිටිති. ඔවුහුද රට නිවැරැදි වෙනවා නම් සිය දායකත්වය ලබා දීමට සූදානමින් සිටිති. රටේ හරියට දෙයක් වෙනවා නම් ඊට උදව් කිරීමට පෞද්ගලික අංශය ද සූදානම්ව සිටියි.

රටක් ලෙස ප්‍රමුඛතා පිළිබඳ අවබෝධයක් අපට තිබිය යුතුය. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ද මේ වෙලාවේ අප රටට අවශ්‍ය දෙයකි. පරිසරය පවිත්‍ර කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කටයුත්තකි. ජනතාවගේ පහසුකම් වැඩිදියුණු කිරීම මේ මොහොතේ ප්‍රධානම ප්‍රමුඛතාවකි. එසේම, රට ඉක්මනින්ම ඩිජිටල්කරණය කළ යුතුය. එහෙත්, සියයට 30ක් වන ඒ පිරිස සමග පමණක් රට ඉදිරියට ගෙන යා නොහැකිය. වැඩි පිරිසකට අන්තර්ජාලය හරහා ෆෝම් පිරවීමට හැකියාවක් නැත. දුරකතනයක් පාවිච්චි කළ පමණින් ඩිජිටල්කරණය සාක්ෂරතාව ගොඩනැගෙන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය නිපුණතාව ලබා දිය යුතුය. අවශ්‍ය ඩිජිටල් සාක්ෂරතාව ලබා දීමට ඉහතින් සඳහන් කළ ගමේ මධ්‍යස්ථානය භාවිත කළ හැකිය. මෙහි සාර්ථකත්වය තේරුම් ගතහොත් ජනතාව ඉක්මනින් ඩිජිටල්කරණය වැළඳ ගනු ඇත. ප්‍රජාවේ සිටින සියලු කොටස් ආවරණය කරන වැඩපිළිවෙළකට අප යොමු විය යුතුය.

(*** සටහන - අමිල චින්තක ගමගේ)



අදහස් (0)

ප්‍රමුඛතා තේරීමේ වගකීම

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

සේකර මතක
2025 ජනවාරි මස 14 73 0

නූතන සිංහල කවියේ මාවත සුනිසි කොට එය සුවිසල් මාවතක් සේ තනා පොදු රසික හදවත් යුග යුග ගණනක් ප්‍රකම්පනය කළ යුගයේ මහා කවියා ඔහුය. 1929 අප්‍රේල් 07 වැනිදා උපත ලද මහ


​දින 100 මිණුම් ලකුණක් නොවේ
2025 ජනවාරි මස 14 30 0

ජාතික ජන බලවේගය රජය රට වෙනුවෙන් සකස් කොට ඇති අභිලාෂකාමී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධුරය හොබවන විෂ


පරණවිතාන පදනමට පණදුන් මහාචාර්ය අබය ආරියසිංහ
2025 ජනවාරි මස 14 73 0

මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම බිහිකිරීමට මුල්වූ මහාචාර්ය අබය ආර්යසිංහ මහතා අභාවප්‍රාප්ත වී අදට (14) වසර 14ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රමුඛතා තේරීමේ වගකීම
2025 ජනවාරි මස 14 77 0

ආණ්ඩුවක් පෙරැළී නව ආණ්ඩුවක් බලයට පත්වී තිබේ. 76 වසරක් පුරා පැවැති දේශපාලන තත්වය වෙනස් වී නව යුගයක් ගැන ජනතාව බලාපොරොත්තු දල්වාගෙන සිටින සේයාවක් දැකගත හ


ශ්‍රී ලංකා සංකල්පය සපලවේද?
2025 ජනවාරි මස 13 119 0

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය රජයේ වඩාත් වැදගත් ව්‍යාපෘතිය වූ “පිරිසුදු ශ්‍රී ලංකාවක්” වැඩසටහන 2025 වසර ආරම්භයේ දියත් කරනු ලැබුවේ, ජනාධිපති ලේකම් කර


ප්‍රවාහන ක්ෂේත්‍රයට ක්ලීන් ශ්‍රී ලංකා
2025 ජනවාරි මස 11 330 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 1 වැනිදා සිය ‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩ සටහන ඉදිරිපත් කිරීමේ දී එහි අවශ්‍යතාව පැහැදිලි කරමින් මෙසේ ප්‍රකාශ කළ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 209 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 551 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 298 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site