ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 1 වැනිදා සිය ‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩ සටහන ඉදිරිපත් කිරීමේ දී එහි අවශ්‍යතාව පැහැදිලි කරමින් මෙසේ ප්‍රකාශ කළේය.
‘‘තමන්ගේ ජීවිතයේ වටිනාකම පිළිබඳ අදහසක් නැති සමාජයක්, අනෙකාගේ ජීවිතය පිළිබඳ සහකම්පනයක් නැති සමාජයක් අනෙකා ගැන කල්පනා කරන්නේ නැති සමාජයක් බිහිවී තිබෙනවා. ඒ නිසා මේ සමාජය සුවපත් කළ යුතුයි.’’ ඔහුගේ මෙම සමාජ විවරණයට හෝ ඔහු කරන යෝජනාවට හෝ විරුද්ධවිය හැකි කිසිවකු සිටිනු ඇතැයි කිව නොහැකිය.
ඔහුගේ සමාජ විවිරණය අනුව එම යෝජනාවට එරෙහි විය හැකි අති විශාල පිරිසක් සිටිය යුතුය. අනෙකාගේ ජීවිතය පිළිබඳ සහ කම්පනයක් නැති සමාජයක මේ සමාජය සුවපත් කළ යුතු යැයි සිතන පිරිස අනිවාර්‌යයෙන්ම ඉතා සුළු පිරිසක් විය යුතුය.
සමහර විට නිරපේක්ෂ වශයෙන් ගත් විට ජනාධිපතිවරයාගේ සමාජ විවරණයට හා සමාජය සුවපත් කළ යුතුය යන යෝජනාවට රටේ සෑම කෙනකුම එකඟ විය හැකිය. එහෙත් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී තමන් ද කැප කිරීමක් කළ යුතු යැයි පෙනෙන විට ඔවුන් ඊට එකඟ වන්නට පසුබාන්නට ඉඩ තිබේ.
එය පොදු ප්‍රවාහනය තුළ, විශේෂයෙන්ම බස් ප්‍රවාහන සේවය තුළ මේ දිනවල මතුවී ඇති ගැටලුවෙන් පෙනේ.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පැහැදිලි කිරීමේ දී ආරම්භයේදීම තමාගේ හා අනෙකාගේ ජීවිතය පිළිබඳ සහකම්පනයක් නැති සමාජයක්’’ පිළිබඳව ජනාධිපතිවරයා කතා කරන්නේ දියේ ගිලී හා මාර්ග අනතුරුවලින් වාර්ෂිකව මියයන අති විශාල පිරිසක් ගැන සඳහන් කිරීමෙන් පසුවය. ඒ නිසාදෝ පොලිසිය පසුගිය දිනවල බස් රථවල අලංකාරය පිණිස යැයි කියමින් සවිකර ඇති හා එල්ලා ඇති විවිධාකාර රූප හා අනතුරුවල අත වනන උපාංග ඉවත් කිරීමට කටයුතු කළේය. එය කොතෙක් දුරට සමාජය විසින් පිළිගනු ලැබ ඇත්ද යන්න විවිධ රටවල බස් සේවය හා මෙරට බස් සේවය සංසන්දනය කරමින් සමාජ මාධ්‍යවල පළවී ඇති සිය ගණනක් වූ සටහන් වලින් පෙනේ.
අනෙක් අතට අනෙකාගේ ජීවිතය පිළිබඳ සහකම්පනයක් නැති බව ඔප්පු කරන්නට මෙන් පෞද්ගලික බස් කර්මාන්තයේ නියැළී සිටින පිරිසක් ඊට විරෝධය දක්වනු පෙනේ. පානදුර ප්‍රදේශයේ දී බස් රථයක සේවකයෝ දෙදෙනා පොලීසියට විරෝධය පාමින් බස් රථයේ සිටි මඟින් එතැනම බස්සවා රථය හරවා ගෙන ගියහ. එපමණක් නොව බස් හිමියන්ගේ සංගමයක් වර්ජනයක් ද කරන්නට සූදානම් විය.
දුර ගමන් සේවා බස් රථවල රියදුරන් මාර්ග නීති කඩ කිරීම ගැන සොයා බලන්නට පොලීසිය ඔත්තුකරුවන් යොදවා තිබිණි. එක් බස් රථයක රියදුරකු එවැනි ගමනක දී ස්ථාන අටක දී මාර්ග නීති කඩකොට ඇති බව එම බස් රථයේ පැමිණි පොලිස් ඔත්තුකරුවා ඔහුට තේරුම් කර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවලින් දැක ගත හැකිවිය. මෙසේ ඔත්තුකරුවන් යෙදවීම සම්බන්ධයෙන් බස්රථ හිමියෝ ප්‍රසිද්ධියේ විරෝධය පෑහ.
අවසානයේ දී බස්රථ හිමියන් හා වැඩබලන පොලිස්පතිවරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාස තුනක දී මෙම අනතුරුදායක හා මගීන්ට හිරිහැර වන උපාංග ගලවන්නට පොලිස්පතිවරයා එකඟ වීමෙන් පසු බස්රථ හිමියෝ ඉකුත් 8 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට කරන්නට සිටි වර්ජනය අත්හැර දැමූහ. ඉන්පසු බස්රථවල සේවකයෝ මාර්ග නීති අනුගමනය කළ යුතු යැයි ජනමාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කළහ.
තම සේවකයන් මාර්ග නීති කඩ කරන බව බස්රථ හිමියන් පිළිගන්නේ නම් එසේම බස් රථවල අනතුරුවලට අත වනන උපාංග ඇති බව ඔවුන් පිළිගන්නේ නම් ඔවුන් වර්ජනය කරන්නට සැරසුණේ මන්ද යන ප්‍රශ්නය මතුවේ. එසේම අනතුරුදායක උපාංග ගලවන්නට මාස තුනක් කුමකට ද යන්න ද තවත් ප්‍රශ්නයකි.
සමහරවිට මෙය පොලීසිය රැවටීමට බස්රථ හිමියන් පැමිණි එකඟතාවක් විය හැකිය. ඒ බව පොලීසිය ද දන්නවා විය හැකිය. අලුත් ආණ්ඩුව බස් වර්ජනයක් මගින් අසීරුවට පත්වීම වළක්වා ගන්නට පොලිසිය ද මෙම මාස තුනේ කාල සීමාවට එකඟ වූවා විය හැකිය. එසේම ඔත්තුකරුවන් යෙදවීම සෑමදාම කළ හැකි දෙයක් ද නොවේ. අවසානයේ දී මෙතැනින්ම මෙම කටයුත්ත පොලීසියටත්, ජනතාවටත් ආණ්ඩුවටත් අමතක වී මාස තුනකට පසුද මෙම උපාංග මේ අයුරින්ම බස් රථවල තිබෙන්නට ඉඩ තිබේ.
‘‘අනෙකා ගැන කල්පනා නොකරන’’ පිරිසක් සිටින්නේ බස්රථ කර්මාන්තය තුළ පමණක් නොවේ. සෑම ක්ෂේත්‍රයකම තත්වය මෙයයි. රජයේ කාර්යාලයකට හෝ රෝහලකට හෝ යන්නන්ගෙන් අති බහුතරය ඉන් පිටවන්නේ දැඩි කලකිරීමෙනි. කෝපයෙනි. එම ස්ථානවල සේවය කරන සියල්ලන් නොවුවද බොහෝ දෙනකු ‘‘අනෙකා ගැන කල්පනා නොකිරීම’’ හා තම වගකීම වටහා නොගැනීම මේ තත්වයට හේතුවයි. එසේම රජයේ කාර්යාලවල සුළු පිරිසක් හැර අති බහුතරයක් දෙනා යමක් කරවා ගන්නට තමන් වෙත පැමිණෙන්නේ කරදරකාරයන් යැයි සිතන සාම්ප්‍රදායික මානසිකත්වයෙන් සිටීම ද මෙයට තවත් ප්‍රබල හේතුවකි.
එසේ නම් ක්ලීන් ශ්‍රී ලංකා නමින් පොලීසිය පමණක් බස්රථවල උපාංග ගැලවීමට පමණක් උනන්දු වූයේ මන්ද? වෙනත් කිසිදු ක්ෂේත්‍රයක ක්ලීන් ශ්‍රී ලංකා නමින් යමක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. වෙනෙකක් තබා ක්ලීන් ශ්‍රී ලංකා යන නමට ඉතා හොඳට ගැළපෙන කුණු කසළ බැහැර කිරීම විධිමත් කිරීමට විශේෂයෙන් පළාත් පාලන ආයතන යමක් කරන බවක් පෙනෙන්නේ නැත.
කෙසේ වෙතත් බස් රථවලින් හෝ මෙම වැඩ සටහන ආරම්භ වීම හොඳ තත්වයකි. සමහරවිට මෑතක දී මාරාන්තික රිය අනතුරු ගණනාවක් ද සිදුවීම නිසා පොලීසිය මෙසේ ක්‍රියාත්මක වූවාද විය හැකිය.
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය භාවිතයට ගැනීම අපාගතවීමට සමානය. දුම්රිය සේවය වුවද බස් සේවය වුවද පාලනය කරන නීති නැති තරම්ය. එසේ වන්නේ නීති නැති නිසාම නොව ඒවා ක්‍රියාත්මක නොවීම නිසාය. පොලීසිය බස් රථයේ අනවශ්‍ය උපාංග ගළවන්නට කී නිසා පානදුර කෙසෙල්වත්තේ දී බස්රථ සේවකයන් පසුගියදා මගීන් මහමග බස්වා යන්නට ගියේ තමන් පාලනය කරන්නට නීති නැතැයි යන හැඟීම නිසාය.
බස් රථයක් අනවශ්‍ය ලෙස ප්‍රමාද වන්නේ නම් අධික වේගයෙන් ධාවනය කෙරේ නම් කොන්දොස්තරවරයා ටිකට්පත් නිකුත් නොකරන්නේ නම් රියදුරා බස්රථය අනතුරුදායක ලෙස පදවන්නේ නම් තමන්ට දැනුම් දෙන්නැයි උපදෙස් දෙමින් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සෑම බස් රථයකම පාහේ තමන්ගේ දුරකතන අංක දෙකක් සහිත දැන්වීමක් ප්‍රදර්ශනයට තබා ඇත. එහෙත් දුර ගමන් සේවා බස්රථ හැර කිසිදු පෞද්ගලික බස්රථයක තවමත් ටිකට් නිකුත් කරන්නේ නැත. බොහෝ බස්රථ ගමනෙන් භාගයකට වැඩි දුරක් යන්නේ සෑම බස්රථ නැවතුමකම පාහේ ‘‘කොට කොටාය’’ ඇතැම් නැවතුම්වල විනාඩි දහයක් පමණ ‘‘කොටන’’අවස්ථා ද තිබේ. ගමනේ අවසාන කොටස ධාවනය කිරීම වෙනුවට බස් රථය පියාසර කරයි.
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය දැන්වීම් ප්‍රදර්ශනය කළ ද කිසිදු මඟියෙක් මේ සම්බන්ධයෙන් එම අධිකාරියට පැමිණිලි කරන බවක් නම් පෙනෙන්නේ නැත. නැත්නම් පැමිණිලි කළද එම අධිකාරිය ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බවක්ද පෙනෙන්නේ නැත. එහෙයින්දෝ මගීහු ද ඒ සියල්ල ඉවසා ගෙන යති. අසාමාන්‍ය ප්‍රමාදයකට, අසාමාන්‍ය වේගයකට, ටිකට්පත් නිකුත් නොකිරීමට, කන්අඩි පැළෙන තරම් ශබ්දයෙන් ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට හෝ ඉතිරි මුදල් අඩුවෙන් දීමට හෝ යම් මගියකු විරෝධය පළ කළහොත් ඔහුට කොන්දොස්තරගෙන් ලැබෙන උපදෙස් වන්නේ බසයෙන් බැස වෙනත් ක්‍රමයකට යන ගමන යන ලෙසය. මගීන් බලධාරීන්ට මේවා පැමිණිලි නොකරන්නේ ඉන් කිසිදු පලක් නැති බව දන්නා නිසාය.
බස් රථවල සෑමදාම සිදුවන මේවා කලාතුරකින් හෝ ඉතා සුළුවෙන් හෝ වෙනස් වන්නේ ‘‘චණ්ඩියකු’’ බස් රථයකට නැංග විට පමණි. මේවා බස් රථ දහස් ගණනක දිනපතාම පාහේ සිදු වන්නේ ජනාධිපතිවරයා පවසන පරිදි ‘‘අනෙකාගේ ජීවිතය පිළිබඳ සහකම්පනයක් නැති නිසාය. මේ තත්වය දිනපතාම තනි තනිව පවුල්වලට හා පොදුවේ රටට අහිමි වන මිනිස් පැය ගණන මිලියන ගණනකි. මේවා වෙනස් විය යුතුය.
දියුණු රටවල මෙන් නැවතුමෙන් නැවතුමට නියමිත වේලාවට ධාවනය කෙරෙන, පිරිසුදු බස්රථ යොදා ඇති සෑම මගියකුටම ආසනයක් සහතික කරන කොන්දොස්තර සමග දබර කර ගන්නේ නැති තාක්ෂණික ගාස්තු ගෙවීමේ ක්‍රමයක් ඇති ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ඇති බස් හා දුම්රිය සේවයක් ඇත්නම් කොතරම් හොඳද? මෙම අවශ්‍යතා වලින් ඇතැම් ඒවා ඉටු කිරීමට මුදල් වියදම් කළ යුතුය. අනෙක් ඒවා ඉටු කරන්නට අවශ්‍ය වන්නේ ‘‘අනෙකාගේ ජීවිතය පිළිබඳ සහකම්පනයකි.’’
එහෙත් අනතුරුදායක උපාංග ගැලවීමට මෙතරම් විරෝධයක් එල්ල වූයේ නම් ‘‘කොට කොටා’’ යාම හා ටිකට් දීම යන කාරණාවලදී බලධාරීන් තදින් ක්‍රියා කළහොත් කොතරම් ප්‍රබල විරෝධයක් එල්ල වනු ඇත්ද? එසේම ජනතාව දෙස මිත්‍රශීලි ආකල්පයකින් බලන රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා කටයුතු කිරීමේදී ද මෙවැනිම විරෝධයක් අපේක්ෂා කළ යුතුය. ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඇතුළු වෘත්තීය සමිති නායකයන් තම සාමාජිකයන් තුළ අයිතිවාසිකම් පිළිබඳව පමණක් නොව වගකීම් හා යුතුකම් පිළිබඳව ද හැඟීමක් ගොඩනගා තිබුණේ නම් මේ කටයුත්ත පහසු වන්නට ඉඩ තිබිණි. ජවිපෙ නායකයන්ද බලයට පත්වන්නට පෙර මේ ගැන සිතූ බවක් දක්නට තිබුණේ නැත.
මෙහි ඇති හාස්‍යජනක මෙන්ම ආතාර්කික කරුණ වන්නේ තමන් අනෙකාගෙන් සේවයක් අපේක්ෂා කරන විට සහකම්පනයක් අපේක්ෂා කරන වැඩි දෙනකු අනෙකාට සේවයක් කරන්නට තමන්ට සිදු වූ විට ඒ අනෙකා පිළිබඳ සහකම්පනයක් ඇතිව කටයුතු නොකිරීමයි.
ඒ අනුව එක් තැනෙක ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන ක්‍රියාත්මක වන විට එතැන සිටිනවුන් ඊට විරුද්ධ වන්නටත් අනෙක් සෑම තැනෙකම සිටිනවුන් ඊට පක්ෂ වන්නටත් ඉඩ තිබේ. ඒ අනෙක් සෑම තැනකටම මෙම වැඩසටහන යනවිට ඒ එක් එක් තැන්වල සිටිනවුන් ඊට විරුද්ධ වන්නටත් අනෙක් තැන්වල සිටිනවුන් ඊට පක්ෂ වන්නටත් ඉඩ තිබේ. අවසානයේදී මෙම වැඩසටහන සාර්ථක වුවද ආණ්ඩුව සතුරන් වැඩිකර ගෙන සිටිනු ඇත්ද මිතුරන් වැඩි කරගෙන සිටිනු ඇත්ද යන්න දැන්ම අනුමාන කළ නොහැකි දෙයකි.
සුළු පිරිසක් හැර කිසිදු තැනෙක නිලධාරීන් හෝ සේවකයන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ තමන්ට පැවරෙන වගකීම ඉටු කරන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. ඊට ඔවුන් පොළඹවා ගත යුතු වනු ඇත්තේ නීති කොන්දේසි, දඬුවම් මෙන්ම දිරිගැන්වීමේ උපක්‍රම ආදිය මඟිනි. මෙය සුමට ක්‍රියාවලියක් නොවනු ඇත.
(*** එම්.එස්.එම්. අයුබ්)
මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම බිහිකිරීමට මුල්වූ මහාචාර්ය අබය ආර්යසිංහ මහතා අභාවප්‍රාප්ත වී අදට (14) වසර 14ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ආණ්ඩුවක් පෙරැළී නව ආණ්ඩුවක් බලයට පත්වී තිබේ. 76 වසරක් පුරා පැවැති දේශපාලන තත්වය වෙනස් වී නව යුගයක් ගැන ජනතාව බලාපොරොත්තු දල්වාගෙන සිටින සේයාවක් දැකගත හ
ජනාධිපති අනුර කුමාර දිසානායක සිය රජයේ වඩාත් වැදගත් ව්‍යාපෘතිය වූ “පිරිසුදු ශ්‍රී ලංකාවක්” වැඩසටහන 2025 වසර ආරම්භයේ දියත් කරනු ලැබුවේ, ජනාධිපති ලේකම් කර
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 1 වැනිදා සිය ‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩ සටහන ඉදිරිපත් කිරීමේ දී එහි අවශ්‍යතාව පැහැදිලි කරමින් මෙසේ ප්‍රකාශ කළ
ආණ්ඩුව රටට දැනෙන යමක් කිරීමේ දැඩි අවශ්‍යතාවකින් පෙළෙන බව පෙනේ. ඒ, සාමාන්‍යයෙන් අලුතින් පත් වූ ඕනෑම ආණ්ඩුවක ස්වභාවයයි. විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුව පත් වූ
මෙම වසරට අදාළව යෙදී ඇති රජයේ හෝ නිවාඩු දින විසි හතරෙන් විසි දෙකක්ම යෙදී ඇත්තේ සතියේ වැඩ කරන දවස් අතරටය. රජයේ නිවාඩු දින දෙකක් පමණක් සෙනසුරාදා සහ ඉරිදා ද
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ප්‍රවාහන ක්ෂේත්‍රයට ක්ලීන් ශ්‍රී ලංකා