IMG-LOGO

2024 ඔක්තෝබර් මස 27 වන ඉරිදා


පාස්කු දා වාර්තාවලින් පස්සේ?

වසර පහකට පෙර 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදී තිබූ එම වසරේ පාස්කු ඉරිදා දිනයේ දී මුස්ලිම් ත්‍රස්තවාදීන් පිරිසක් ක්‍රිස්තියානි ජනතාව ඉලක්ක කොට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ ප්‍රශ්නය තවමත් අවසන් වී නැත.

මෙම ප්‍රහාරවලින් විශාලම හානියට මුහුණ දුන් කතෝලික ජනතාවගේ නායකයෝ මෙම ප්‍රහාර පිටුපස සිටියේ කවුද යන්න පිළිබඳව පසුගිය වසර පහ පුරාම ප්‍රශ්න කරමින් සිටිති. ඒ අතර එදා සිටම විවිධ දේශපාලනඥයෝ තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් හා තමන්ට නුරුස්නා පුද්ගලයන් මීට පටලවන්නට උත්සාහ කරමින් සිටිති.

ප්‍රශ්නය දැන් අලුත් වටයකින් ඉස්මතු වී තිබේ. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය වසරේ මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නට පත් කරන ලද කමිටු දෙකක වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීම නිසාය.

මෙම කමිටු දෙකෙන් එකක් පත් කරන ලද්දේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයට රාජ්‍ය බුද්ධි සේවය සම්බන්ධ බවට චෝදනා කරමින් වාර්තා වැඩ සටහනක් විකාශය කිරීමෙන් අනතුරුවය. එම ත්‍රිපුද්ගල කමිටු විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මහතාගේ සභාපතිත්වයෙන් පත් කෙරිණි.

ඉන්පසු මේ වසරේ ජුනි මාසයේදී වික්‍රමසිංහ මහතා එම සිද්ධිය පිළිබඳවම පරීක්ෂණ කිරීම සඳහා තවත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය. ඊට පැවරුණු රාජකාරිය වූයේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයට අදාළව කල් තබා ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් මෙරට ඔත්තු සේවා හා අනෙක් බලධාරීන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමයි. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ.එන්.ජේ.ඩී. අල්විස් මහත්මිය මෙම කමිටුවේ සභාපතිනිය ලෙස පත්කරනු ලැබුවාය.

වික්‍රමසිංහ මහතා මෙම කමිටු පත් කළ දිනවලම කතෝලික සභාව ඒවා ප්‍රතික්ෂේප කළේය. ත්‍රස්තවාදී ප්‍රහාරය සිදුවන කාලයේ ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ ජනාධිපති කොමිසම කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම විනා කළ යුත්තේ තව තවත් කමිටු පත් කිරීම නොවේ යැයි  එම සභාව ඒ දිනවලට පවසා තිබිණි.

ගම්මන්පිල මහතා පවසන පරිදි වික්‍රමසිංහ මහතා  පත් කළ අල්විස් කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට සහ අපරාධ බුද්ධි තොරතුරු විශ්ලේෂණ හා නිවාරණ අංශයේ ප්‍රධානියා ලෙස පත්කළ ශානි අබේසේකර මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිර්දේශ කොට ඇත. ඒ ත්‍රස්තවාදී ප්‍රහාරය වළක්වා ගන්නට කටයුතු නොකිරීමේ චෝදනාවටය.

කෙසේ වෙතත් ආණ්ඩුව මේ කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. මෙම කමිටුව පත් කරන විටම එය අනවශ්‍ය දෙයකැයි ප්‍රතික්ෂේප කළ කතෝලික සභාව එම වාර්තාව ද ප්‍රතික්ෂේප කොට ඇත. මෙම කමිටුව මගින් ඉහතකී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනා හිතා මතාම මෙම සිද්ධියට පටලැවීමට කටයුතු කොට ඇතැයි කතෝලික සභාවේ ප්‍රධානී මැල්කම් රන්ජිත් කාදිනල්තුමා ප්‍රකාශ කොට තිබේ.

මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොමිෂන් සභා, තේරීම් කාරක සභා කමිටු හා ශ්‍රේෂ්ඨාධිකරණය ආදිය මගින් කළ කිසිදු පරීක්ෂණයක දී මෙම නිලධාරීන් දෙදෙනාට චෝදනා එල්ල නොවූ බව ද එතුමා සඳහන් කළේය. මෙම නිලධාරීන් දෙදෙනා දැනට දරන තනතුරුවලින් ඉවත් කිරීමට ගම්මන්පිල මහතාට අවශ්‍ය වී ඇති බවත් එහෙත් ආණ්ඩුව ඔවුන් ඉවත් නොකරන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ජනාධිති කොමිසමක් මඟින් සිද්ධිය පිළිබඳව විධිමත්ව පරීක්ෂණ කොට වරදකරුවන්ට දඬුවම් දෙන බව ද ඔහු පවසයි.

තවත් ජනාධිපති කොමිසමක් පිළිබඳව ඔහු කරන මේ ප්‍රකාශය නම් ගැටලු සහගතය. ජාතික ජන බලවේගයේ නායකයන් ජනාධිපතිවරණ ප්‍රචාරක වේදිකාවල පැවසුවේ තවදුරටත් මෙවැනි පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් එහෙයින් දැනටම කර ඇති පරීක්ෂණවල දී සොයා ගන්නා ලද කරුණු අනුව වරදකරුවන් ලෙස  පෙනී යන අයට එරෙහිව නීති මාර්ගයෙන් ක්‍රියා කොට දඬුවම් දෙන බවත්ය.

එය පිළිගත හැකි අදහසකි. මේ වනවිට ජනාධිපතිවරුන් විසින් පත් කරන ලද පරීක්ෂණ යාන්ත්‍රණ හතරක් ඇතුළුව දේශීය යාන්ත්‍රණ හතක් මඟින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබේ. එසේම විදේශීය පරීක්ෂණ කණ්ඩායම් හයක් ද මේ ගැන පරීක්ෂණ පවත්වා වාර්තා ඉදිරිපත් කොට ඇතැයි කියවේ. ඒවාට අමතරව තවත් දේශීය හා  විදේශීය යාන්ත්‍රණ දෙකකින්ද පරීක්ෂණ පවත්වන බව වික්‍රමසිංහ මහතා ජනාධිපතිව සිටිය දී කියා තිබිණි. එහෙත් කුමක් හෝ හේතු නිසා පත් කෙරුණේ නැත.

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද පරීක්ෂණ හා යෝජිත පරීක්ෂණ මෙසේය. 

පළමුවැන්න සිද්ධිය සිදුවූ දිනට පසු දිනම එනම් 2019 අප්‍රේල් 22 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවයි. එම කමිටුවේ වාර්තාව එම වසරේම ජූනි 10 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දෙනු ලැබීය.

දෙවැනුව, මෙම ත්‍රස්තවාදී ප්‍රහාරවලින් මසකට පසු එනම් 2019 මැයි 22 වැනිදා පාර්ලිමේන්තුවේ  සම්මත කරන ලද යෝජනාවක් අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම සඳහා නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කෙරිණි. මෙය එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව පත් කෙරුණු බව පෙනිණි.

එම තේරීම් කාරක සභාවේ විශේෂත්වය නම් වික්‍රමසිංහ මහතා ජනාධිපති වශයෙන් පසුගිය ජුනි මාසයේ දී පත් කළ අල්විස් කමිටුවට පැවරුණු ප්‍රධාන රාජකාරිය වන බුද්ධි අංශ හා අනෙක් අදාළ අංශ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් නිසි පරිදි කටයුතු කළේද යන්න සොයා බැලීම මෙම තේරීම් කාරක සභාවට ද පැවරී තිබීමයි. අල්විස් කමිටුවට පත් කරනු ලැබූ දිනවලට අප මෙම කාරණය මෙම තීරුව මගින් පෙන්වා දුන්නෙමු.

තුන්වැනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 සැප්තැම්බර් 20 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළේය. එවකට අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයකු වූ ජනක්ද සිල්වා මහතා එම කොමිෂන් සභාවේ සභාපතිවරයා විය.

එම කොමිෂන් සභාවේ පරීක්ෂණ කටයුතු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය කාලයේද දිගටම කරගෙන යනු ලැබීය. අනතුරුව 2021 පෙබරවාරි 1 වැනිදා එම කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙනු ලැබීය. කතෝලික සභාව කියා සිටින්නේ මෙම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසය.

සිව්වැනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් වසරේ සැප්තැම්බර් මස 10 වැනිදා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මහතාගේ සභාපතිත්වයෙන් මෙම බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා තවත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය. ඒ චැනල් ෆෝ නාලිකාව බෝම්බ ප්‍රහාරය පිටුපස රාජ්‍ය බුද්ධි සේවය සිටි බවට හැඟවෙන වාර්තා වැඩසටහන විකාශය කිරීම නිසා රටේ ඇතිවූ ආන්දෝලනයක් නිසාය. එම කමිටුවේ වාර්තාව ඉකුත් ජූනි මාසයේදී ජනාධිපති වික්‍රමසිංහ මහතාට භාර දෙනු ලැබූ බව කියවේ.

ඉකුත් ජූනි 12 වැනිදා වික්‍රමසිංහ මහතා පත්කළ අල්විස් කමිටුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පත් කරනු ලැබූ පස්වැනි පරීක්ෂණ යාන්ත්‍රණයයි.

මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග දෙකක්ද ගනු ලැබ ඇත. ඉන් එකකදී මූලික  අයිතිවාසිකම් පෙත්සම් 12ක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය 2023 ජනවාරි 23 වැනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් කෝටි 10ක්ද හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා රුපියල්  කෝටි හත හමාර බැගින්ද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් කෝටි පහක්ද ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා රුපියල් කෝටියක් වශයෙන් සිද්ධියෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවිය යුතු යැයි නියෝග කළේය.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පවත්වන ලද පරීක්ෂණ අනුව  ජාතික තවුහිද් ජමාඅත් සංවිධානයට සම්බන්ධ 25 දෙනකුට එරෙහිව  නඩු පවරනු ලැබ ඇත. මෙම අධිකරණ ක්‍රියාමාර්ග දෙක සමඟ සිද්ධිය සම්බන්ධයෙන් යාන්ත්‍රණ හතකින් පරීක්ෂණ පවත්වනු ලැබ ඇත.

මේවායින් මලල්ගොඩ කමිටුව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, ජනාධිපති කොමිසම හා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය යන සියල්ලේදීම බුද්ධි සේවා දුබලතා සැලකිල්ලට ලක් කරනු ලැබ තිබිණි. ඉමාම් කමිටුවේ වගකීම් දෙස බලන විට  ඉන්ද එම කරුණ සැලකිල්ලට ලක් කෙරෙන්නට ඇත. බුද්ධි අංශයේ කටයුතු ගැන විමසීමට දැනට මතභේදයට ලක්වී ඇති අල්විස් කමිටුව පත් කෙරුණේ ඒ පසුබිම තුළය.

මීට අමතරව ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බව ඉකුත් වසරේදී පැවසීය. එසේම  සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නට ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය කැඳවන බවද ඔහු පැවසීය.

ඊට අමතරව ඇමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්.බී.අයි), බ්‍රිතාන්‍ය පොලීසිය, හා ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පාකිස්ථානය හා චීනය යන රටවල පරීක්ෂණ කණ්ඩායම් ද පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වාර්තා ඉදිරිපත් කොට ඇතැයි වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ ඔක්තෝබර් 2 වැනිදා බර්ලින් නුවර දී ඩවුෂ්වෙල රූපවාහිනිය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. මේවාද අල්විස් කමිටුව පත් කරන්නට පෙර කරන ලද පරීක්ෂණයි.

එහෙයින් විජිත හේරත් මහතා පවසන පරිදි තවත් ජනාධිපති කොමිසමක් පත් කළ යුතුද යන ප්‍රශ්නය මතුවේ. කළ යුතුව ඇත්තේ කතෝලික සභාව පවසන පරිදි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද කොමිසමේ නිර්දේශ අනුව අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි.

 

(*** එම්.එස්.එම්.අයුබ්)



අදහස් (0)

පාස්කු දා වාර්තාවලින් පස්සේ?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාස්කු දා වාර්තාවලින් පස්සේ?
2024 ඔක්තෝබර් මස 26 118 0

වසර පහකට පෙර 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදී තිබූ එම වසරේ පාස්කු ඉරිදා දිනයේ දී මුස්ලිම් ත්‍රස්තවාදීන් පිරිසක් ක්‍රිස්තියානි ජනතාව ඉලක්ක කොට එල්ල කළ මරාගෙන


බෝම්බ බිය පැතිරුණු අරුගම්බෙ
2024 ඔක්තෝබර් මස 25 524 2

ලෝකය මැවීමට අල්ලා දෙවියන්ට දින හයක කාලයක් ගත වූ බවත් ලෝකය මවා අවසන් වීමෙන් පසු හත්වැනි දිනයේ අල්ලා දෙවියන් නිවාඩු ලබාගත් බවත් යුදෙව් ජාතිකයෝ විශ්වාස ක


සංගීත විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා
2024 ඔක්තෝබර් මස 25 164 0

සංගීත විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වාගේ 36වැනි ගුණානුස්මරණය මේ මස 27 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


දේශපාලන ආර්ථික අභියෝග
2024 ඔක්තෝබර් මස 25 99 0

ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් පාලනයක් මේ වන විට ආරම්භ වී ඇත. ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය තමන්ගේ ආණ්ඩුව විසින් පත්කරනු ලැබ ඇතැයි පවසන සමහරුන් වත්මන් ජ


නීතිය නමලා මත්පැන් බලපත් දුන්නේ මෙහෙමයි
2024 ඔක්තෝබර් මස 24 685 1

මෙරට සුරාබදු බලපත්‍ර ලබාදීමට නියම කර ඇත්තේ සුරාබදු නීති මාර්ගෝපදේශ හා නීති රෙගුලාසි සඳහන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැස


ශ්‍රී ලංකාව දුප්පත් රටක්ද?
2024 ඔක්තෝබර් මස 24 271 0

ලංකාවේ දුප්පත්කම පිළිබඳ ගැටලු‍ව දකුණු ආසියාවේ වෙනත් රටවල් හා සසඳමින් විවිධ මත හා සංවාද ඉදිරිපත් කරන්නට බොහෝ දෙනා මෑත කාලයේ උනන්දු වූ බව පෙනේ. එහෙත් සං


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 926 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 582 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site