IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


බැංකුව කොල්ලකන්න ලේසිවෙන්න ත‍්‍රස්තවාදීන් පොලිසියට පහර දුන්නා

 6  

 

එල්.ටී.ටී.ඊ. නායකයාව සිටි වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සමග කාලයක් ඔහුගේ කුළුපග මිතුරාව සිටි උමා මහේෂ්වරන් ඔහුගෙන් වෙන්ව ගියේ 1981 වසරේදීය.
ප‍්‍රභාකරන්ගෙන් වෙන්ව ගිය උමා මහේෂ්වරන් දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය (ප්ලොට්) නමින් ආයුධ සන්නද්ධ සංවිධානයක් පිහිටුවාගෙන එම සංවිධානයට නායකත්වය ලබා දුන්නේය.

 


උමා මහේෂ්වරන් වෘත්තියෙන් රජයේ මිනින්දෝරුවෙක් විය.


ප්ලොට් සංවිධානය පිහිටුවාගත් පසු සංවිධානය සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමේ බරපතළ ගැටලූවකට මුහුණපා සිටි නිසා අරමුදල් තරකර ගැනීමට උපාය මාර්ග සොයමින් සිට තිබේ.ප්ලොට් සංවිධානයේ ඉදිරි ක‍්‍රියාකාරිත්වයට අවශ්‍ය අරමුදල් සොයාගැනීමට උමා මහේෂ්වරන් ඔවුන්ගේ සගයන්ට යෝජනාකර ඇත්තේ බැංකු කොල්ලකෑ යුතු බවය.


උතුරු - නැගෙනහිර ප‍්‍රදේශයේ පිහිටි බැංකුවලට ආයුධ සන්නද්ධව කඩා වැදී ඒවායේ තිබෙන ලක්ෂ ගණන් මුදල් හා රන්බඩු කොල්ලකෑමට ප්ලොට් සංවිධානය පටන්ගත්තේ ඉන් පසුවය.


ප්ලොට් සංවිධානය කොල්ලකෑ බැංකු ගණන 13ක් පමණ වන අතර පළමු බැංකු කොල්ලය වන්නේ කිලිනොච්චිය ප‍්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක් කොල්ලකෑමය.

1
නිකවැරටිය - ලංකා බැංකුව කොල්ලකා ඇත්තේද සන්නද්ධ ප්ලොට් සාමාජිකයන් කණ්ඩායමක් විසිනි.


උතුරු නැගෙනහිර දෙපළාතෙන් පිටත දකුණේ සිංහල ප‍්‍රදේශයකද ප්ලොට් සංවිධානය සිදුකළ පළමු බැංකු කොල්ලය වනුයේද නිකවැරටිය x ලංකා බැංකුවේ මුදල් හා රන් බඩු කොල්ලකෑම වන්නේය.


නිකවැරටිය - ලංකා බැංකුවට ප‍්‍රහාරයක් එල්ලකර මුදල් හා රන් බඩු තොගයක් ප්ලොට් සංවිධානය විසින් කොල්ලකනු ලැබුවේ 1985 වසරේ අපේ‍්‍රල් මාසයේ 26 වැනිදාය.


ඒ කියන්නේ මීට වසර 30 කට පමණ කාලයකට ඉහතදීය.


බැංකුවෙන් කොල්ලකෑ රන්බඩුවල පමණක් වටිනාකම කෝටි පහකට වැඩිය.


බැංකුවට ප‍්‍රහාරයක් එල්ලකර රන්බඩු හා මුදල් කොල්ලකෑමට කලින් සන්නද්ධ ප්ලොට් සංවිධානයෙන් නිකවැරටිය පොලිසියට ප‍්‍රහාරයක් එල්ලකර පොලිස් නිලධාරියෙක් ඝාතනයකර පොලිසියේ තිබූ ගිනි අවි පැහැරගෙන ඇත.


නිකවැරටිය පුත්තලම පාරේ ස්ථාන දෙකක අධිබලැති බෝම්බද වළ දමා ප්ලොට් සාමාජිකයෝ පැය 3 1/2 කට ආසන්න කාලයක් එම නගරයේ සිය බල ආධිපත්‍ය පතුරවාගෙන සිට හලාවත - උඩප්පුව ප‍්‍රදේශය දක්වා පැමිණ එතැන් සිට මුහුදු මාර්ග ඔස්සේ පලාගොස් ඇත්තේ බෝට්ටුවලින්ය.


ප්ලොට් සංවිධානය නිකවැරටිය පොලිසියට ප‍්‍රහාරයක් එල්ලකර පොලිස් නිලධාරියෙක් ඝාතනය කර අවි ආයුධ පැහැරගෙන ගිය නිකවැරටිය - ලංකා බැංකුවේ කොල්ලය ගැන අතීත තොරතුරු සොයා බැලීමට පසුගිය දින සංචාරයක නිතර වීය.


නිකවැරටිය පොලිසියට ප්ලොට් සාමාජිකයන් ප‍්‍රහාරයක් එල්ලකරන අවස්ථාවේ රාජකාරියේ නිරතව සිට දිවි බේරාගත් පොලිස් නිලධාරින්ගෙන් එක් පොලිස් නිලධාරියෙක් හා කතා බහකර තොරතුරු දැන ගැනීමට අවස්ථාව ලැබිණි.


ඔහු, විශ‍්‍රාමික පොලිස් කොස්තාපල් ඩබ්ලිව්.එම්. විජේරත්න (5214) මහතාය.


විජේරත්න මහතාගේ බිරිය රෝහිණි - ලියනගමගේ මහත්මිය ද එවකට රාජකාරි කර ඇත්තේ නිකවැරටිය පොලිසියේය.


උපපොලිස් පරීක්ෂිකා රෝහිණි මහත්මිය මේවනවිට රාජකාරි කරන්නේ නිකවැරටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ මෙහෙයුම් මැදිරිය බාර ස්ථානාධිපතිනිය ලෙසය.


විජේරත්න මහතා මට මුණගස්සවනු ලැබුවේ නිකවැරටිය සහකාර පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතා විසිනි.

68
සහකාර පොලිස් අධිකාරි අබේසිංහ මහතාට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තූතිය පුදකරන්නේ විජේරත්න මහතා මුණගැස්සවීමෙන් කරන ලද උපකාරය වෙනුවෙන්ය.


විශ‍්‍රාමික පොලිස් කොස්තාපල් විජේරත්න මහතා පදිංචිව සිටින්නේ නිකවැරටිය, කිවුලේගම ප‍්‍රදේශයේය.


වසර 30කට පමණ ඉහතදී සිදුවූ බිහිසුණු සිද්ධියක මතකය අවදි කරමින් විජේරත්න මහතා කතාබහට මුල පිරුවේ මෙසේය.


”අදටත් මට ඔය සිද්ධිය හොඳට මතකයි. ඔය කියන දවසේ ? මම තවත් පොලිස් නිලධාරින් කණ්ඩායමක් එක්ක ජිප් එකෙන් මොබයිල් ගියා. මොබයිල් ගිහින් පොලිසියට ආවේ පාන්දර. අපි කට්ටිය පොලිසිය ඇතුළට ඇවිත් මිනිත්තු කිහිපයයි ගතවුණේ. කට්ටියක් ප‍්‍රධාන ගේට්ටුවෙන් එක පාරටම ඇතුල් වෙලා වෙඩිතියාගෙන පොලිසිය පැත්තට දුවගෙන එනවා දැක්කා. වෙන්න යන්නේ මොකක්ද කියා අපිට හිතාගන්න බැරිව ගියා. මගේ මතකයේ හැටියට එතකොට වේලාව පාන්දර 1.00, 2.00ට විතර ඇති.


උපපොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්. කරුණානායක මහත්තයා, සැරයන් සෙනරත් (6832) මහත්තයා, කොස්තාපල්වරුන් වන හේරත් (475) හා ආලෝක බණ්ඩාර (495) කියන නිලධාරින් තමා පොලිසිය ඇතුළේ රාජකාරියේ නිතරවෙලා හිටියේ. ඒ කාලයේ කරුණානායක මහත්තයත් පොලිස් කොස්තාපල් කෙනෙක්. තවත් පොලිස් නිලධාරින් 12 දෙනෙක් විතර පොලිසියෙම තියන නිල නිවසක රාජකාරි හමාර කරලා නිදාගෙන හිටියේ. ඒ නිසා මේ කිසිම නිලධාරියෙක් ළඟ අවි ආයුධ තිබුණේ නැහැ. මොබයිල් ගිහින් ආපු අපි ළඟත් ඒ වෙනකොට අවි තිබුණේ නැහැ. පොලිසියේ සේරම දෙනා නිරායුධවයි හිටියේ. පොලිස් නිලධාරින් රාජකාරියේදී භාවිතාකරන අවි පොලිස් උපසේවය බාරයේ රැුක් එකක තබා ඒවා එකිනෙක යකඩ දම්වැලකින් ගැටගසා ඉබි යතුරු දමා තිබුණේ. අද වාගේ ඒ කාලයේ ආමරි කියා දෙයක් පොලිසිවල තිබුණේ නැහැ. උන් කට්ටිය දෙමළෙන් කතා කළේ. ඒ හින්දා මුන් මොක්කුද කියන එක ඒ වෙලාවේ අපට හිතාගන්න බැරිව ගියා.


නිරායුධව හිටිය අපට මේ සන්නද්ධ කණ්ඩායමට ප‍්‍රතිප‍්‍රහාර එල්ලකරන එක ලොකුම ප‍්‍රශ්නයක් වී තිබුණා. ඒ වෙනකොටත් සන්නද්ධ කණ්ඩායම පොලිසියටත් කඩාවැදිලා ඉවරයි. ඒ හින්දා පොලිසියේ තිබුණු ආයුධ ගන්න යන්න විදිහක් තිබුණේ නැහැ. මේ හින්දා අපි අසරණ වෙලා හිටියේ. වෙඩි තියපු උන් පොලිස් නිලධාරින් නිදාගෙන හිටිය නිවාසයටත් වෙඩිතියන්න පටන්ගත්තා. වෙනකරන්න කිසිම දෙයක් අපිට ඉතිරිවෙලා තිබුණේ නැහැ. පොලිසියට එහායින් නිකවැරටිය වැව තියෙනවා. අපි වැව දිහෑට පසුබැස්සා. වෙපන් අපේ අතේ තිබුණා නම් උන්වත් මරාගෙන මැරෙනවා. වෙඩි තියන ශබ්දවලට අමතරව බෝම්බ ගහන ශබ්දත් අපට ඇසුණා.


පාන්දර යාමයේ සීතලෙන් ගැහෙමින් තිබූ නිකවැරටිය නගරය උණුසුම්වී ගියේ පොලිසියට සන්නද්ධ කණ්ඩායමක් එල්ල කළ මේ ප‍්‍රහාරයත් සමගය.
වෙඩි හඬින් බෝම්බ හඬින් ගිඟුම් දුන්නේය. හෙල්ලූම්කා ගියේය.


නිකවැරටිය නගරය අද තරම් එදා ජනාකීර්ණව නොතිබුණත් පාන්දර යාමයේ ඇසුණු වෙඩි හා බෝම්බ හඬවල්වලින් නගරවාසීහුද තම දරුපැටවුන්ද තුරුළුකරගෙන නිවාසවලට වී සිටියේ බියෙන් මුසපත්වය.


ඒ බියකරු වෙඩි හා බෝම්බ හඬින් නිකවැරටිය වැව සිපගෙන ආ සිහින් සුළං රැුළි මොහොතකට ගල්ගැසී ගියේය.


විශ‍්‍රාමික පොලිස් කොස්තාපල් විජේරත්න මහතා නැවතත් සිය මතකය අවදිකරමින් අප හා දොඩමළු වෙන්නට පටන් ගත්තේය.


වෙඩිහඬ හා බෝම්බ හඬ පහව ගියාට පස්සේ තමා අපි වැව පැත්තේ ඉඳලා පොලිසියට ආවේ. කොස්තාපල් හේරත් (475)ට සන්නද්ධ කණ්ඩායම වෙඩි තියා මරාදාලා තිබුණා. වෙඩි වැදී ඔහු වතුර ඉල්ලා කෙඳිරි ගාලා තිබෙනවා. කරුණානායක මහත්තයා හා ආලෝක බණ්ඩාරගේ ජීවිතය බේරිලා තියෙන්නේ පුදුම විදිහට. කරුණානායක මහත්තයාගෙ එක අතකට වෙඩි වැදිලා තියෙනවා හැබැයි ඒක එච්චර ලොකු තුවාලයක් නොවේ. පොලිසියේ තිබුණු ගිනි අවි සේරම උන් අරන් ගිහින් තිබුණා. පොලිස් නිලධාරින්ට ගෙවන්න තිබුණා. පඩි සල්ලි තිබුණත් උන් ඒ සල්ලි අරන් ගිහින් තිබුණේ නැහැ.


උන් පොලිසිය ඇතුළට වෙඩි තියද්දී කරුණානායක මහත්තයාවත් ඇදගෙන ආලෝක බණ්ඩාර පොලිසියේ තිබුණ ආරක්ෂක පෙට්ටියක් ළඟ හැංගිලා ඉඳලා තියෙනවා. පෙට්ටිය - ළඟ හැංගිලා ඉද්දී උන් තිබ්බ වෙඩිල්ලක් තමා  කරුණානායක මහත්තයාගේ එක් අතක යාන්තමට වැදිලා තියෙන්නේ. මේ දෙන්නා පෙට්ටිය ළඟ හැංගිලා ඉන්නවා කියා උන් දැකලා නැහැ. දැක්කා නම් ඒ දෙන්නටත් වෙඩි තියලා මරනවා. හොඳ වෙලාවට උන් දැකල නැත්තේ.

පොලිසියට ගහපු පිපිරිලා නොගිය බෝම්බ 14ක් විතර තැනින් තැන පොලිසියේ මිදුලේ වැටිලා තිබිලා පස්සේ සොයාගත්තා. 15 දෙනෙක් විතර පොලිසියට ගහන්න ආවා. උන් හැමෝගෙම අතේ ටී. 56 අවි තිබුණා. ඒ වෙනකොට පොලිසියටවත් ඒ වර්ගයේ අවි තිබුණේ නැහැ.


සන්නද්ධ කල්ලියේ වෙඩි ප‍්‍රහාරයට ලක්වී දිවි පිදූ කොස්තාපල් හේරත් මහතා බිංගිරිය, හල්මිල්ලෑව ප‍්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර පසුව ඔහු පොලිස් සැරයන් තනතුරට උසස්කර ඇත.


විශ‍්‍රාමික පොලිස් කොස්තාපල් විජේරත්න මහතා පවසන ආකාරයට නිකවැරටිය - ලංකා බැංකුවත් කොල්ල කා ඇත්තේ පොලිසියට පහරදීමෙන් පසුවය.
නිකවැරටිය - ලංකා බැංකුවට පහරදී සේප්පුවක බහා තිබූ කෝටි 5කට වැඩි රන් භාණ්ඩ හා ලක්ෂ ගණනක මුදල් පැහැරගැනීම ගැන තොරතුරු හෙළිකරමින් විජේරත්න මහතා කිව්වේ මෙවැනි කතාවකි.


පොලිසියට ගහලා අඩපණ කළාට පස්සේ මේ සන්නද්ධ කල්ලිය නිකවැරටිය ලංකා බැංකුව කොල්ලකන්න ගිහින් තියෙනවා. මුලින්ම සිකියුරිටි කෙනාව අල්ලාගෙන ඒ මනුස්සයාට හොඳටම පහරදීලා. සිකියුරිටි බැංකුවේ උඩ තට්ටුවට දුවලා තියෙනවා. උඩ තට්ටුවේ මැනේජර් මහත්තයයි, එයාගේ නෝනයි දරුවොයි පදිංචි වෙලා හිටියේ. ඒ අයට කිසිම කරදරයක් කරන්න ගිහින් නැහැ. ඒ කට්ටිය බයටම උඩට වෙලා ඉඳලා තියෙනවා. බැංකුවේ සේප්පුව ගෑස් ලාම්පුවලින් කපලා සේප්පුවේ තිබුණ රත්තරන් බඩු පොහොර උරවලට දමාගෙන තියෙන බව පසුව අපි දැනගත්තා. සේප්පුවේ තිබුණ සල්ලිත් උන් අරගෙන. වැඩි ආරක්ෂාවට කියලා පුත්තලම පැත්තේ තිබුණ බැංකුවල තිබුණ රත්තරන් බඩුත් මේ බැංකුවට ගෙනත් තිබෙනවා. මේ සේරම රත්තරන් බඩු මිනිස්සු උකස් කරපු ඒවා. පැහැරගෙන ගිය රත්තරන් බඩුවල වටිනාකම කෝටි පහකට වැඩියි කියා පස්සේ දැනගත්තා. සේප්පුව කැපීමට ගෙනත් තිබූ ගෑස් සිලින්ඩර් ගෑස් ලාම්පු හා අනෙක් ආම්පන්නද සන්නද්ධ කල්ලිය දමාගොස් තිබියදී අපි සොයාගත්තා.


පුත්තලම - නිකවැරටිය පාරේ තියන නෑබඩාව මහ පාලම - ළඟත් කිවුලේගම හංදියෙන් අධි බලැති බෝම්බ දෙකක් අටවා තිබියදී අපි හොයාගත්තා. පොලිස් නිලධාරින් මරා දැමීමේ අරමුණින් තමා ඒ බෝම්බ අටවා තිබිලා තියෙන්නේ. සොයාගත්තු ඒ බෝම්බ දෙක ඊට පස්සේ නිෂ්ක‍්‍රීය කළා යැයි විශ‍්‍රාමික කොස්තාපල් විජේරත්න මහතා පවසයි.


උමා මහේෂ්වරන්ගේ නායකත්වය යටතේ තියන ප්ලොට් සංවිධානය මේ බැංකු කොල්ලයත් පොලිසියට ප‍්‍රහාර එල්ලකිරීමත් කර තිබෙන බව පරීක්ෂණවලින් පස්සේ තොරතුරු හෙළිවුණ බවද ඔහු වැඩිදුරටත් පවසයි.


නිකවැරටිය පොලිසිය පාලනය කර ඇත්තේ එවකට සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස සිටි පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් ලෙස විශ‍්‍රාම ගිය පියසේන පෙරේරා මහතාය.


සහකාර පොලිස් අධිකාරි පියසේන පෙරේරා මහතා එවකට මීගලෑව පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි වර්තමානයේ කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කරන ගාමිණි මතුරට, ගල්ගමුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් ලෙස පසු කාලයක උසස්වීම් ලබා මේ වන විට විශ‍්‍රාම ලබා සිටින බී.එම්. සේනානායක යන මහත්වරුන් ප‍්‍රධාන පොලිස් කණ්ඩායම් කිහිපයක්ම බැංකු කොල්ලය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.


පරීක්ෂණ කටයුතු සිදුකෙරුණු ආකාරය ගැන විශ‍්‍රාමික කොස්තාපල්වරයා කී කතාවයි මේ.


පොලිසියට ගහලා බැංකුවේ මුදල් හා රත්තරන් බඩු කොල්ලකෑ ප්ලොට් සංවිධානයේ කල්ලිය අල්ලා ගැනීමට පත්කර තිබුණු පරීක්ෂණ කණ්ඩායමට මාවත් පත්කර තිබුණා. බැංකුවේ සේප්පුව කපන්න ගෙනත් තිබුණ ගෑස් ටැංකිවල සඳහන්ව තිබුණ අංක ඔස්සේ අපි පරීක්ෂණ පැවැත්තුවා. ඒ පරීක්ෂණවල ප‍්‍රතිඵලයක් විදිහට ගෑස් සිලින්ඩර් ගෑස් ලාම්පු ගත්ත කඩ දෙක ගැන තොරතුරු හෙළිකරගන්න පුළුවන්කම ලැබුණා.


පොලිස් කණ්ඩායමක් හොයාගත්ත ඒ තොරතුරු ඔස්සේ කොළඹ බලා ගියා. ඒ පොලිස් කණ්ඩායමේ මමත් සිටියා. ප්ලොට් එකේ අය බැංකුවේ රත්තරන් බඩු හා සල්ලි බහා තිබුණ සේප්පුව කපන්න ගෑස්, සිලින්ඩර් ගෑස් ලාම්පු ඇතුළු ආම්පන්න අරගෙන තිබුණේ පංචිකාවත්තේ හා බ්ලූමැන්ඩල්වල තියන කඩ දෙකකින්. ඒ කඩ දෙකේ මුදලාලිලා දෙන්නා අපි සැකපිට අත්අඩංගුවට අරගෙන නිකවැරටිය පොලිසියට අරගෙන ඇවිත් ප‍්‍රශ්න කිරීම් කළා.


ඔවුන් කිව්වේ කට්ටියක් ඇවිත් බලෙන් ගෑස් සිලින්ඩරය හා ගෑස් ලාම්පු ඇතුළු ආම්පන්න අරගෙන ගිය බවයි. හදිසි නීති රෙගුලාසි යටතේ අපි ඒ මුදලාලිලා දෙන්නා (නම් කියයි) මාස හයක විතර කාලයක් රැුඳවුම් නියෝග යටතේ පොලිසියේ තියාගෙන පරීක්ෂණ පැවැත්වුවා. අපි ඔවුන්ට හොඳට කන්න බොන්න දුන්නා. ඔවුන්ගේ අවශ්‍යතාවයන් හැම එකක්ම වාගේ සොයා බැලූවා. මේ වැඬේට ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයක් නැති බව පරීක්ෂණවලින් තහවුරු වුණා. මාස හයකින් පස්සේ ඔවුන් නිදහස් කළා. පොලිසියෙන් පැහැරගෙන ගිය ගිනි අවි ටික හලාවත උඩප්පුව මුහුදු වෙරළේ වළ දමා තිබියදී පසුව සොයාගත්තා. පැය 3 1/2 ක් විතර ප්ලොට් සාමාජිකයෝ නිකවැරටිය නගරයේ ඉඳලා තිබෙනවා.


මේ දෙන්නා පොලිස් අත්අඩංගුවේ හිටිය කාලය තුළ ඔවුන් දෙන්නා පොලිසියේ හැම කෙනෙක් එක්කම හොඳට යහළුවුණා. අපේ මිත‍්‍රයෝ වුණා. මගේ වෙඩින් එකකටත් ආවා යැයි ද විශ‍්‍රාමික කොස්තාපල්වරයා පැවැසීය.


විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පියසේන පෙරේරා මහතා කී කතාව මෙසේ පෙළගස්වන්නෙමු.


ඔය සිද්ධිය වෙන කාලයේ නිකවැරටිය කියා වෙනම පොලිස් කොට්ඨාසයක් තිබුණේ නැහැ. මහව කොට්ඨාසයෙන් තමා නිකවැරටිය, ගල්ගමුව, ගිරිබාව, කොබෙයිගනේ, මීගලෑව පොලිසි පාලනය වුණේ. කුරුණෑගල පොලිසියෙන් කතා කරලා කිව්වා නිකවැරටිය ලංකා බැංකුව කොල්ලකාලා පොලිසියටත් ගහලා කියා. මම මහව පොලිසියෙන් ටීම් එකක් අරගෙන නිකවැරටියට පාන්දරම ආවා. හේරත් කියන පොලිස් කොස්තාපල් පොලිසිය ඇතුළේම වෙඩිතියලා මරලා තිබුණා. පොලිසියේ තිබුණ අවිත් සන්නද්ධ කල්ලිය පැහැරගෙන ගිහින් තිබුණා. ඒ හැම ගිනි අවියකම එක්තරා කොටසක් ගලවා වෙනම තබා තිබුණ හින්දා ඒවායින් වෙඩිතියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.


උමා මහේස්වරන්ගේ දෙමළ ඊළාම් මහජන විමුක්ති කියන සංවිධානය (ප්ලොට්) මේක කරලා තියෙන බව පරීක්ෂණවලින් හෙළිවුණා.


වෑන් දෙකකින් හා යතුරුපැදි දෙකකින් ප‍්‍රහාරකයින් හලාවත උඩප්පුවේ ඉඳලා ඇවිත් තිබෙන බවටත් පරික්ෂණවලින් කරුණු අනාවරණය වී තිබුණා.

පුත්තලමේ බැංකුවල තිබුණ රත්තරන් බඩු වැඩි ආරක්ෂාවට නිකවැරටිය ලංකා බැංකුවට අරගෙන ඇවිත් තිබෙනවා. ප්ලොට් එකේ අයට කොහොමහරි මේ ගැන දැනගැනීමට ලැබුණට පස්සේ තමා බැංකු කොල්ලකන්න ප්ලෑන්කරලා තියෙන්නේ.


නිකවැරටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ජයසිංහ. උපුල් ඔය සිද්ධිය වෙන දවසේ නිවාඩු අරගෙනම කුරුණෑගල මල්කඩුවාවේ ගෙදර ගිහින් එන්න කියා ගිහින්. මගෙන් තමා  ඕ.අයි.සී නිවාඩු අනුමත කරගෙන තිබුණේ. වැඩ බලන  ඕ.අයි.සී. විදිහට හිටියේ උපපොලිස්  පරීක්ෂක පියතිලක බණ්ඩාර. අපි මේ සිද්ධීන් ගැන පරීක්ෂණ කරගෙන යන අතරවාරයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මිත‍්‍ර ආරියසිංහ මහත්තයා කතාකරලා කිව්වා කොළඹ විශේෂ පොලිස් කණ්ඩායමකට වැඩිදුර පරීක්ෂණ කටයුතු බාර දුන්නා කියා. ඒ අනුව අපේ පොලිස් කණ්ඩායම් පරීක්ෂණ කටයුතුවලින් ඉවත්වුණා.


ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පියසේන පෙරේරා මහතාගේ මතකයයි.


ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් එවකට පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස කටයුතුකර පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් ලෙස උසස්වීම් ලබා විශ‍්‍රාම ගිය බ‍්‍රයන් අමුණුගම මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කොළඹ සිට නිකවැරටියට පැමිණ ඇත.


උතුරේ සිට බෝට්ටුවලින් ප්ලොට් සංවිධානයේ සන්නද්ධ කණ්ඩායමක් හලාවත උඩප්පුව වෙරළ තීරය තෙක් පැමිණ ඇති අතර පසුව එතැන් සිට මේ කණ්ඩායම වෑන් රථ දෙකක නැගී මහ ? නිකවැරටිය බලා ගොස් ඇත.


ප්ලොට් සංවිධානයේ සාමාජිකයින් දෙන්නෙක් මෝටර් බයිසිකල් දෙකක නැගී ප‍්‍රහාරකයින් ගමන්කරන වෑන් දෙක ඉදිරියෙන් ගමන්කර ඇත්තේ ඔවුන්ට ආරක්ෂාව සපයමින් ඔත්තු බැලීමේ යෙදෙමින්ය.


නිකවැරටිය පොලිසියට ප‍්‍රහාරයක් එල්ලකර එහි තිබූ අවි පැහැරගෙන නිකවැරටිය - ලංකා බැංකුව කොල්ල කෑ ප්ලොට් සාමාජිකයෝ යළිත් උඩප්පුවට පැමිණ ඒ අයගෙන් කොටසක් බහුදින යාත‍්‍රාවකින් ඉන්දියාවට ගොස් ඇත්තේ බැංකුවෙන් පැහැරගත් රන් බඩු තොගය රැුගෙනය. ලංකා බැංකුවෙන් කොල්ලකෑ කෝටිගණනක රන්බඩු තොගය විකුණා ලබාගත් මුදල්වලට ප්ලොට් සංවිධානයට අවශ්‍ය අවි ආයුද තොගයක් මිලදීගෙන ඇත.


අවි ආයුධ තොගය මිලදී ගෙන තිබුණේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ එවකට සිටි බව කියන අවි ආයුධ ජාවාරම්කරුවන්ගේ මාර්ගයෙනි.


අවි ආයුධ තොගයක් බෝට්ටුවල පටවාගෙන තමිල්නාඩුවේ සිට ශ්‍රී ලංකාව බලා යාත‍්‍රාකරමින් සිටිය අතරවාරයේ ආයුධ තොගද සමග ඉන්දීය වෙරළාරක්ෂක භටයින් ගේ අත්අඩංගුවට පත්ව ඇත.


නිකවැරටිය - ලංකා බැංකුවේ මුදල් කොල්ලයට හා පොලිසියට පහරදීමට පැමිණි ප්ලොට් සාමාජිකයන් අතර එම සංවිධානයේ ප‍්‍රබලයකුව සිටි බවට සැලකෙන සිංහල ජාතිකයෙක්ද සිට තිබේ.


ප්ලොට් සංවිධානයේ ඒ සිංහල ජාතිකයා ඇතුළු කණ්ඩායමක් පොලිසිය පහරදීම හා බැංකුව කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පියසේන පෙරේරා මහතා විශ‍්‍රාම සුවයෙන් මේ වන විට අනුරාධපුරයේ පදිංචිව සිටී.


ප්ලොට් සංවිධානයේ නායකයා මිනින්දෝරුවෙක් ලෙස රාජකාරි කළ වකවානුවේ අඹන්පොළ ප‍්‍රදේශයේද කාලයක් පදිංවිව සිටි අයෙකි.


මොහුට සිංහල භාෂාවද හොඳින් හැසිරවීමට හැකියාව ඇති අයෙක් බව කියති.


ප්ලොට් සංවිධානයේ නායකයාට සිටි උමා මහේෂ්වරන් බම්බලපිටිය ප‍්‍රදේශයේදී වෙඩි ප‍්‍රහාරයකට ගොදුරු වී මැරුම්කෑවේ 1986 වසරේදීය.


උමා මහේෂ්වරන් ඝාතනය වීමත් සමගම ප්ලොට් සංවිධානයද අක‍්‍රිය වී ගොස් ඇත්තේ ඉබේටම වාගේය.


මොහුව වෙඩි තබා මරා දමනු ලැබ තිබුණේ කොළඹට ඒ කාලයේ රිංගාගෙන සිටි කොටි ත‍්‍රස්තයන් විසිනි.


මීට වසර 30කට කලිින් වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මියගිය පොලිස් සැරයන් හේරත් මහතා වෙනුවෙන් සිහිවටන ඵලකයක් ඉදිකර ඔහු වෙනුවෙන් උපහාර උළෙලක් පැවැත්වීමට පියවර ගන්නා බව සහකාර පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතා පවසයි.


නිකවැරටිය ලංකා බැංකුවේ මේ සිද්ධිය වන වකවානුවේ කළමනාකාරවරයා ලෙස කටයුතු කළ අය මේ වනවිට මියගොස් ඇති බවත් ඔහුගේ එක් දියණියක් මෙම ප‍්‍රහාරයෙන් ඇතිවූ කම්පන තත්ත්වයෙන් රෝගාතුරවී පසුව මියගොස් ඇති බවත් විශ‍්‍රාමික පොලිස් කොස්තාපල් විජේරත්න මහතා පවසයි.


තොරතුරු සොයා ගැනීමට නන් අයුරින් සහාය දුන් නිකවැරටිය මෙත්තා බෞද්ධ මධ්‍යස්ථානයේ අධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය වදුරැුස්සේ අරියවංශ හිමියන්ට, කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණි මතුරට, උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි, විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී.එච්. සේනානායක, විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්ෂ්මන් බණ්ඩාර සහ හලාවත කොට්ඨාස නොවිසඳුනු අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් සැරයන් ගාමිණි බස්නායක යන මහත්වරුන්ට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තුතිය පුදකරන්නෙමු.

m



අදහස් (0)

බැංකුව කොල්ලකන්න ලේසිවෙන්න ත‍්‍රස්තවාදීන් පොලිසියට පහර දුන්නා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3301 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 375 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1018 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 179 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25520 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site