IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


බියුටි සැලොන් කොල්ල කෑ සුරූපිණිය

වෙඩිං එකකට යන්න තියෙනවා. ෆේෂල් එකක් කරගන්නයි ආවේ. ඩෙනිම් කලිසමකින් හා ඊටම ගැළපෙන ටී ෂර්ට් එකකින් සැරසුණු කාන්තාවක් වැල්ලවත්තේ පිහිටි බියුටි සැලොන් එකකට ගොඩවදිමින් පැවසුවාය. 


ඉහළ පැලැන්තියේ කාන්තාවක් බව බැලූ බැල්මට පෙනී යන ඇය නෙත් සිත් වසඟ කරන රූ සපුවකට ද හිමිකම් කියන්නියක් වූවාය. 


රූපලාවණ්‍ය ශිල්පිනිය “එන්න මැඩම්” කියා කතා කර ඇයට පුටුවක් පෙන්වා එහි වාඩි වෙන ලෙස කියා සිටියාය. 

19_SLTK_P14_Back
ෆේෂල් එකක් කරගෙන යාමට ආ බව කියමින් බියුටි සැලොන් එකට ඇතුළු වූ රූමතිය කළේ රූපලාවණ්‍ය ශිල්පිනිය කිසිසේත්ම බලාපොරොත්තු වූ දෙයක් නම් නොවේ. 


ඇය ගැහෙන්නට පටන් ගත්තේ දියෙන් ගොඩගත් මාළුවෙක් වාගේය. ඒ ඇයට ඇති වූ බිය දරා ගත නොහැකි වූ නිසාය. 


රූමත් කාන්තාව ඉණේ ගසා ගෙන මෙතෙක් වෙලා සඟවා ගෙන සිටි උල් පිහියක් ඇද රූපලාවණ්‍ය ශිල්පිනියගේ සියුමැලි ගෙලට තබා තදකර “ කලබල කරලා වැඩ වරද්දගන්න එහෙම එපා. කෑ ගැහුවොත් මරණවා” කියා තර්ජනය කර රූපලාවණ්‍ය ශිල්පිනිය පැළඳ සිටි රන් මාලය කරාබු ජෝඩුව සහ මුදු ගලවා ගෙන බියුටි සැලොන් එකෙන් එළියට පැන දිව ගොස් තිබේ. 


බියුටි සැලොන් එකෙන් එළියට දිව ගිය රූමතිය ඉදිරියට ඇදෙමින් තිබූ බස් රථයක පොල්ලේ එල්ලී එයට ගොඩ වන ආකාරය දෙස රූපලාවන්‍ය ශිල්පිනිය තුෂ්ණිම්භූත වී බලා සිටියේ කුමක් කරන්නේ ද කියා සිතා ගැනීමට නොහැකිවය. 


වැල්ලවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ගිය රූපලාවණ්‍ය ශිල්පිනිය සිදු වූ දේ සියල්ලම අකුරක් නෑර කියා සිටියාය. පොලිස් පොතේ ඇය කිව් දේ පැමිණිල්ලක් වශයෙන් ලියා ගෙන රන් බඩු කොල්ලකාගෙන පලා ගිය රූමතිය සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය.


ඊට සති කිහිපයකට පසුව තවත් මෙවැනිම කොල්ලකෑමක් සිදුකර තිබුණේ වැල්ලවත්තේම පිහිටි තවත් බියුටි සැලොන් එකකට ඇතුළු වු කාන්තාවක් විසිනි. 


ඒ බියුටි සැලොන් එකේ සිටි රූපලාවණ්‍ය ශිල්පිනියට හා ඇයගේ උදව්වට සිටි ඇයගේ නැන්දම්මාට උල් පිහියක් එල්ලකර ඒ දෙදෙනා පැළඳ සිටි රන් බඩු සියල්ල ගලවා ගෙන පලා ගොස් ඇත්තේ මුස්ලිම් කාන්තාවන් හිසේ සිට දෙපතුල දක්වා අඳින ඇඳුමකින් සැරසී සිටි කාන්තාවකි. 


රූපලාවණ්‍ය ශිල්පිනිය හා ඇයගේ නැන්දම්මා සිතා ඇත්තේ මේ රන් බඩු කොල්ලයට පැමිණෙන්නට ඇත්තේ මුස්ලිම් කාන්තාවක් යැයි කියාය. මේ රන් බඩු කොල්ලකෑම ද වැල්ලවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පැමිණිල්ලක් වශයෙන් සටහන් විය. 


ඇඟටම හිරවෙන කොටට කොටේ ගවුමකින් හා ඊටම ගැළපෙන බ්ලවුසයකින් සැරසුණු ලස්සන කාන්තාවක් වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවසක් ඉදිරිපිටට පැමිණියාය. 


ඒ වෙලාවේ ඒ නිවසේ සිට ඇත්තේ කාන්තාවක් පමණකි. 


ආන්ටි කාන්ති (ව්‍යාජ නමකි) කියලා කෙනෙක් මේ හරියේ පදිංචි වෙලා ඉන්නවාද? මම මේ එයාව හොයා ගෙන ආවේ යැයි ඇය නිවසේ හුදකලාව සිටි කාන්තාවගෙන් විමසුවාය. 


මේ පැත්තෙ නම් එහෙම නමක් තියෙන කෙනෙක් නැහැ යැයි කියා නිවසේ සිටි කාන්තාව පවසා ඇත.


අනේ ආන්ටි මට ඉන්න බැහැ. හරිම තිබහයි. වතුර ටිකක් බොන්න දෙන්නකො කියා, නමක් ගැන සොයාගෙන ආ ලස්සන කාන්තාව කියනවාත් එක්කම නිවසේ සිටි කාන්තාව ගේ ඇතුළට ගොස් ඇත්තේ ෆ්‍රිජ් එක ඇර ඇයට වතුර වීදුරුවක් රැගෙන ඒමටය.  


නමක් අසාගෙන ආ රූමත් ලලනාව ද ඇය පසුපස ගියත් නිවසේ සිටි කාන්තාවට ආගන්තුක කාන්තාව ගැන සැකයක් ඇති කර ගැනීමට කිසිම හේතුවක් නොවූයේ ඇය වැදගත් පෙනුමකින් යුතු තැනැත්තියක් වූ නිසාය.


නිවසේ සිටි කාන්තාව ෆ්‍රිජ් එක විවෘත කර එහි තිබූ වතුර බෝතලයක් පිටතට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ වැදගත් පෙනුමකින් යුතු රූබර ලලනාව ඉණේ ගසාගෙන සිටි උල් පිහියක් ඇද නිවසේ සිටි කාන්තාවගේ ගෙලට තබා කෑ ගැහැව්වොත් බෙල්ල හිල් වෙන්නම ඇනලා මරණවා. ආයෙත් දෙකක් නැහැ.

කලබල කොළොත් ඒ දේ කරනවා යැයි තර්ජනය කර ඇත. 


සුකුමාල පෙනුමකින් යුතු කාන්තාව පිහියක් අමෝරාගෙන ඒ වන විට සිටියේ යක්ෂාවේෂයෙන් මෙනි. නිවසේ හුදකලාව සිටි කාන්තාව කොටි ධේනුවකගේ ග්‍රහණයට අසුවූ මුවැත්තියක සේ අසරණ වූවාය. 


ඇයට කිසිවක් කර කියාගත නොහැකිව ගල් ගැසී මෙන් බලා සිටියාය. කෑ ගසා කලබල කළහොත් මරණය නියත බව ඇයට තේරුම් ගොස් තිබුණි. 


අතේ දමා ගෙන සිටි මංගල මුද්ද කරේ දමා ගෙන සිටි රන් මාලය හා අතේ දමා ගෙන සිටි රන් වළලු ජෝඩුව ද රූබර ලලනාව විසින්ම ගලවා ගෙන පලා ගොස් ඇත්තේ පළපුරුදු අපරාධකාරයෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරමිනි. 


නිවසේ සිටි කාන්තාව මේ ගැන පැමිණිලි කරන්න ගියේ ද වැල්ලවත්ත පොලිසිය වෙතය. 


“රත්තරන් බඩු කොල්ල කන්න ආපු ගැහැණු කෙනා හරිම ලස්සනයි. ඇඟටම හිරවෙන කොට ගවුමකුත් බ්ලවුස් එකකුත් ඇඳගෙන හිටියේ. කටහඬත් මිහිරියි. මෙච්චර ලස්සන එකියක් මේ වගේ දෙයක් කරයි කියා මම නම් හීනෙකින්වත් හිතුවේ නැහැ මහත්තයෝ.”


පැමිණිල්ල කිරීමට පොලිසියට ආ කාන්තාව එහි සිටි නිලධාරීන් හා නිලධාරිනියන් සමග කියා සිටියාය.


බියුටි සැලොන් දෙකක හා නිවෙසකට ඇතුළු වී කාන්තාවක් විසින් සිදු කරන ලද රන් බඩු කොල්ලකෑම් සම්බන්ධයෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ මහතාගේ විශේෂ උපදෙස් මත වැල්ලවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක එස්. ඩබ්ලිව්. ටී. පී. කේ. වික්‍රමසූරිය මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යද්දී කාන්තාවකගේ ගෙලට පිහියක් තබා රන් මාලයක් කොල්ලකා ගෙන ගිය තවත් කාන්තාවක් ගැන තොරතුරක් ලැබී තිබේ. 


රන්මාල කොල්ලයට සම්බන්ධ ඒ කාන්තාව පොලිස් අත්අඩංගුවට පත්ව කාලයක් රිමාන්ඞ් භාරයේ පසුවී මේ වන විට ඇප ලබා පැමිණ සිටින බව මෝදර පොලිසියෙන් තොරතුරු සොයා බැලීමේදී දැන ගැනීමට ලැබී ඇත. 


“වැල්ලවත්ත පොලිස් ඒරියා එකේ සිදුවූ කොල්ලකෑම් තුනටම මේ කියන කාන්තාවගේ සම්බන්ධයක් තිබෙන්නට පුළුවන්” යන සැකය මත පොලිස් කණ්ඩායමක් මෝදර ප්‍රදේශය බලා පිටත්ව ගියේ ඇය සොයා ගෙනය. 


පොලිස් කණ්ඩායම ඒ නිවෙසට යන විට පොලිසියේ සැකයට ලක් ව තිබූ කාන්තාව සිටියේ මාස තුනක පමණ පසුවන බිලිඳියක ඇකයේ හොවාගෙන නිදිකරමින්ය. 


ඇයගේ මුහුණේ ඉරියව් වෙනස් වී කිසියම් තැතිගැන්මකට ලක් වූ බව පොලිස් කණ්ඩායමට පෙනී ගොස් ඇත.


එවැනි තැතිගැන්මකට ඇය ලක්වූයේ පොලිස් කණ්ඩායම දුටු පසුවය.


ප්‍රශ්න කිරීමට පොලිසියට කැඳවා ගෙන යාමට පැමිණි බව කාන්තාවට පැවසු අවස්ථාවේ “ඒ මොකටද මම මොන වරදක් කළාට ද” කියමින් පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් සමග වාද කරන්නට පටන් ගත්තාය. 


ඇය හැඩකාර කාන්තාවක් වූවා සේම කටකාර තැනැත්තියක් ද බව තේරුම් ගැනීමට පොලිස් කණ්ඩායමට වැඩි වේලාවක් ගත වූයේ නැත.


පොලිසියට කැඳවා ගොස් ඇයගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී සියල්ල නොවළහා වමාරන්නට පටන්ගෙන ඇත්තේ බොරු කියා ගැලවීමක් නොමැති බව තේරුම් ගිය නිසා විය යුතුය. 


වැල්ලවත්තේ බියුටි සැලොන් දෙකේ සිටි රූපලාවණ්‍ය ශිල්පිනියන් දෙදෙනාගේ සහ එක් ශිල්පිනියකගේ නැන්දණියගේ සහ වැල්ලවත්තේ නිවසක හුදකලාව සිටි කාන්තාව සතු රන් භාණ්ඩ කොල්ලකා ගෙන පලා ගොස් තිබුණේ මෝදර ප්‍රදේශයට ගොස් අල්ලාගෙන ආ රූමත් කාන්තාවය. 


මුස්ලිම් කාන්තාවක් ලෙස වෙස්වළාගෙන ගොස් රන්බඩු කොල්ලකා ඇත්තේ ද වෙන කවුරුත් නොව මේ කාන්තාවමය. 


අත්අඩංගුවට ගත් මේ කාන්තාව අවුරුදු 30 ක පමණ වයසේ දෙදරු මවක් වූවාය. 


සැකකාර කාන්තාව තවත් කොල්ලකෑම්වලට තනියම ගොස් සිදු කර ඇති අතර තවත් සමහර කොල්ලකෑම්වලට ඇයගේ අනියම් සැමියා ද සමග ගොස් ඇති බව පොලිසිය හෙළි කරගත්තේ ඇයගෙන් ප්‍රශ්න කිරීමේදීය. 


අනියම් සැමියාට අමතරව ඇයගේ දරු දෙදෙනා ද මව ද ජීවත් වූයේ මෝදර නිවසේ වන අතර ඇයගේ පියා මිය ගොස්ය. 


සමහර කෝලලකෑම්වලට මාගේ අනියම් සැමියාත් එනවා. එයා තමා මට මේ වැඬේ පුරුදු කළේ. දවසක් එයා මට ගමනක් යමු කියා කතා කළා. මම එයත් එක්ක කොල්ලුපිටියට එදා ගියේ. බියුටි සැලොන් එකක් ළඟ නතර වෙලා එයා මට කිව්වා මම ඔය බියුටි සැලොන් එකේ ඉන්න කෙල්ලගේ බෙල්ලට පිහියක් තියනවා. එතකොට ඔයාට තියෙන්නේ ඒ කෙල්ල ළඟ තියන රත්තරන් බඩු ටික ගලවාගන්නයි කියා. මම ඒ කතාව අහලා හොඳටම බය වුණා. මට ඔය වැඬේ කරන්න බැහැයි කිව්වත් එයා මට බලකළ නිසා බැරිම තැන වැඬේට කැමති වුණා. 


මම ෆේෂල් එකක් කර ගන්න විදිහට සැලෝන් එක ඇතුළට ගියා. රූපලාවණ්‍ය ශිල්පිනිය විතරයි ඒ වෙලාවේ හිටියේ. මම ඇතුළට ගිහින් පොඞ්ඩකින් මගේ අනියම් සැමියා පිහියකුත් අමෝරාගෙන ඇතුළට කඩා පැන්නා. සැමියා රූපලාවණ්‍ය ශිල්පිනියගේ බෙල්ලට පිහිය තියාගෙන ඉද්දි ඔහු ඒ කෙල්ල පැලඳගෙන හිටිය රත්තරන් බඩු ටික ගලවා ගන්න හැදුවා. ඒ වෙනකොට මම හොඳටම බය වෙල හිටියේ.  මාව වෙවුලන්නට පටන් ගත්තා. රත්තරන් බඩු ටික ගලවා ගන්න එක පැත්තකින් තියලා මා එළියට පැනලා දිව්වා. අනියම් සැමියත් මගේ පස්සෙන් දුවගෙන ආවා. එයත් රත්තරන් බඩු පැහැරගෙන තිබුණේ නැහැ. ගෙදර ඇවිත් මට හොඳටම බැන්නා. පහරවල් කිහිපයක් ගැසුවා. ඊට පස්සේ එයා මට වැඬේ කරන හැටි ඉගැන්නුවා. මගේ හිතේ තියෙන බය නැති කළා. හොඳට පුරුදු වුණාට පස්සේ අනියම් සැමියා එක්ක කොල්ලකෑම්වලට ගියා. සැමියා නොමැතිව තනියම යන්න තරම් හැකියාවක් පසුව මට ලැබුණා.


රන් බඩු කොල්ලකෑම්වල නිරත වූ බව කියන රූබර ලලනාව පොලිස් නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කළේ එහෙමයි. 


මෝදර ප්‍රදේශය බලා ගිය පොලිස් කණ්ඩායම කාන්තාවගේ අනියම් සැමියා බව කියන 29 හැවිරිදි තරුණයා ද කුදලාගෙන ආවේ රන් බඩු කොල්ලකෑම් සම්බන්ධයෙනි.


මේ දෙදෙනාගෙන් හෙළි කරගත් තොරතුරු මත වැල්ලවත්තේ බියුටි සැලොන් දෙකේ රූපලාවණ්‍ය ශිල්පිනියන් දෙදෙනාගෙන් හා වැල්ලවත්තේම නිවසක හුදකලාව සිටි කාන්තාවගෙන් කොල්කෑ රුපියල් ලක්ෂ 07 ක් පමණ වටිනා රන්බඩු පොලිසිය සොයා ගත්තේ ඒවා උකස්කර තිබියදීය. 


සැකකාර කාන්තාව සිය දෙවැනි දරුවා ප්‍රසූත කිරීමට මාසයක පමණ කාලයක් තිබිය දී ද තනියම බියුටි සැලොන් එකකට ගොස් පෙර කී ආකාරයට එහි සිටි රූපලාවණ්‍ය ශිල්පිනියක් පැලඳ සිටි රන්බඩු කොල්ලකාගෙන පැමිණ ඇත. 


අත්අඩංගුවට ගත් සැකකාර හැඩකාර කාන්තාව ද ඇයගේ අනියම් සැමියා බවට පැවසෙන තරුණයා ද යමක් කමක් ඇති ධනවත් පවුල්වල අය වෙති.


සැකකාරියගේ එකම සහෝදරිය විවාහ වී පදිංචි වී සිටින්නේ යුරෝපීය රටකය. සැකකරුගේ පියා පෞද්ගලික ආයතනයක් හිමි ධනවත් ව්‍යාපාරිකයෙකි. 
මේ දෙන්නාම හෙරොයින් මත්ද්‍රව්‍යවලට කාලයක් තිස්සේ තදින්ම ඇබ්බැහි වී සිටින අතර ඒ සඳහා මුදල් සොයා ගැනීමට කොල්ලකෑම් සිදුකර ඇති බව පොලිසිය හෙළිකරගත්තේ ඔවුන්ගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදීය. 


එක් කෙනෙකු දවසකට හෙරොයින් පානය කිරීමට වැය කරන මුදල රුපියල් 7000 ක් පමණය. ඒ අනුව දෙදෙනාම දවසකට කුඩු ගහන්න වියදම් කරන මුදල රුපියල් 14,000 ක් පමණ වෙයි. 


“සර් මම රත්තරං මහත්තයෙක් දාලා ආපු පව තමා මේ පඩිසන්දුන්නේ” යැයි කියන රූමත් ලලනාව ඉකි ගසා හඬන්නට පටන්ගෙන ඇත්තේ පොඩි දරුවෙකු වාගේය.


කොළඹ ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයකින් අධ්‍යාපනය ලබා උසස් පෙළ ද උසස් ලෙස සමත් වී ඇති ඇය එක්තරා පෞද්ගලික රූපවාහිනී නාළිකාවක ටික කාලයක් නිවේදිකාවක් වශයෙන් ද කටයුතු කර ඇත. 


ඇයගේ රූප ස්වභාවය හා කටහඬ නිසාම ඒ රූපවාහිනී නාළිකාවේ නිවේදිකාවක් වශයෙන් සේවය කිරීමට අවස්ථාව ලැබුණත් එය කෙටි කාලයකට සීමා වූයේ රජයේ ආරක්ෂක අංශයක උසස් නිලයක් දරන අයෙක් හා විවාහවීමත් සමගය. 


විවාහය සිදු වූයේ මව්පියන් ගෙනා යෝජනාවක් අනුවය. 


මහත්තයයි මමයි හොඳ පවුල් ජීවිතයක් ගත කළා. අපිට කිසිම දෙයකින් අඩු පාඩුවක් තිබුණේ නැහැ. මහත්තයා රජයේ ආරක්ෂක අංශයේ උසස් නිලයක් දරන කෙනෙක්. එයාගේ රැකියාවේ ස්වභාවය අනුව වැඩි හරියක් හිටියේ ඈත පළාත්වල. ඔහුට ගෙදර එන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. පාළුව තනිකම කියන එක මගේ හිතට තදින්ම බලපෑවා. මම ළඟින්ම ආශ්‍රය කරන මිතුරියෝ එක්ක ලොකු හෝටල්වල සාදවලට යන්න පුරුදු වුණා. අන්තිමේදී මම ටික ටික විස්කි බ්‍රැන්ඩි වගේ විදේශීය මත්පැන් බොන්න ඇබ්බැහි වුණා. ඔහොම ඉන්න අතර වාරයේ මට දරු පැටියෙකුත් හම්බ වුණා. ඒත් මගේ මත්පැන් බීමේ පුරුද්ද අත හැරියේ නැහැ යැයි ඇය පොලිස් නිලධාරීන් හමුවේ පවසා තිබෙන බව කියති. 


සැමියා සමග පුංචි පුංචි ආරවුල් ඇතිකරගත් ඇය පුංචි එකාද කරපින්නාගෙන මෝදර ප්‍රදේශයේ පිහිටි ඇයගේ මහ ගෙදරට එන්නේ 2013 වසරේ දිනකය.
ඇය කිසි දිනක ආයේ සැමියා ළඟට ගියේ නැත.


ඉස්කෝලේ යන කාලේ ඇයට පෙම්වතෙකු සිටියාය. ඔහු ද කොළඹ ප්‍රදේශයේ උසස් පාසලක ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි. 


මේ ප්‍රේම සම්බන්ධයට සිසුවාගේ පාර්ශවයෙන් එල්ල වූ දැඩි විරෝධය මැද්දේ අතරමග නතර කර දැමීමට සිදුවී ඇත.


සැමියා අතහැර මහ ගෙදරට පැමිණ සිටි අතරවාරයේ පාසල් යන කාලයේ පෙම් කළ තරුණයා හමුවීමෙන් පසු ඇය යළිත් ඔහුගේ පෙම්වතිය වී පසුව ඇය ඔහු නිවෙසට කැඳවාගෙන ආවේ පවුල් කෑමටය. ඒ වන විටත් ඔහු අවිවාහකයෙක්ව සිටියේ ප්‍රථම ප්‍රේමයේ විරහවේදනාව නිසාය. 


මව්පියන් ඔහුව පවුලෙන්ද ඈත් කර සිටියේ හෙරොයින් මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වී සිටි නිසාය. මේ නිසා ඔහු සිටියේ නැන්දා කෙනෙකුගේ ගෙදරය. පරණ පෙම්වතා තමාගේ ගෙදරට කැන්දාගෙන ආවත් දෙදෙනා නීත්‍යානුකූලව විවාහ වූයේ නැත. 


මාස තුනේ දරු සිඟිත්තා ඇයට ඔහුට දාව උපන් දරුවා විය. 


මට කාර් එකක් මෝටර් බයිසිකලයක් ත්‍රීවිල් එකක් පවා තිබුණා. පහුගිය කාලයේ මම ඒවා විකුණලා ගත්තු සල්ලි පවා එයාට කුඩු ගහන්න දුන්නා. මටත් කුඩු ගහන්න පුරුදු කළේ එයා. පස්සේ කාලෙක මටත් කුඩු නැතිව බැරිව ගියා. එක දවසක් කුඩු නැතිව හිටියොත් කුඩු සික් එක හැදෙනවා යැයි ඇය පවසන්නීය.  


වසර 3 ක් පමණ කාලයක් තිස්සේ අනියම් සැමියා වශයෙන් තබාගෙන සිටින තරුණයා ඇය හා ඒමට කලින් සිදු කරන ලද සොරකම් සම්බන්ධයෙන් කාලයක් රිමාන්ඞ් බන්ධනාගාරගතව සිට නිදහස ලබා පැමිණ ඇති දිවයිනේ ලියා පදිංචි (අයි.ආර්.සී.) අපරාධකරුවන්ගේ ලයිස්තුවේ සිටින්නෙකි. 


මේ දෙන්නාම එකතුවී ගෙදර තිබෙන වටිනා කියන බඩු මුට්ටු උකස් කර හෝ විකුණා කර ඇත්තේ කුඩු බීමට මුදල් සොයා ගැනීමය. 


ගෙදර තියෙන වටිනා බඩු මුට්ටු විකුණා උකස් කර අවසන් වූ පසු මෙසේ කොල්ලකෑම්වලට පෙළඹී ඇත්තේ කුඩු ගහන්න සල්ලි හොයාගන්න වෙන දෙයක් කරන්නට නොතිබූ නිසාය.  


මත්ද්‍රව්‍ය පානය කිරීමට තදින්ම ඇබ්බැහි වී සිටි නිසා අධිකරණ නියෝගයක් මත මාස 3 ක පමණ කාලයක් පුනරුත්ථාපනය වී ගෙදර පැමිණ ගතවී තිබුණේ සති තුනක පමණ කාලයකි. 


අනියම් බිරිඳ සමග ගොස් කොල්ලකෑම් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු යළිත් පොලිස් අත්අඩංගුවට පත් විණි. 


මෝදර ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙලට උල්පිහියක් තබා සැකකාර කාන්තාව ඇය පැලඳ සිටි රන් මාලයක් කොල්ලකාගෙන පලාගොස් එය උකස් කර මුදල් ලබා ගත්තේ රිමාන්ඞ්භාරයේ පසුවූ අනියම් සැමියාට කොයිමොහොතක හෝ අධිකරණයෙන් ඇප ලබාදුන් විට ඇප මුදල් තැන්පත් කිරීමට බව ඇය පොලිසියට පවසා ඇත. 


සැකකාරියගේ මාස තුනක් පමණ වයසැති සිඟිත්තිය හා වැඩිමල් දරුවාට රැකවරණය සලස්වන්නේ ඇයගේ මවය. 


බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත එහි සහකාර පොලිස් අධිකාරි එල්.එම්.ජී. ජයරත්න මහතාගේ මෙහෙයවීම යටතේ වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ඩබ්ලිව්.වී.පී.කේ. වික්‍රමසූරිය, පොලිස් සැරයන් රත්නායක (18345), චමින්ද (22442), වික්‍රමසිංහ (86778), රණසිංහ (71175) යන මහත්වරුන් සහ කාන්තා කොස්තාපල් මධුෂාණි (8573) මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා සැකකාරිය හා සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

m

 



අදහස් (0)

බියුටි සැලොන් කොල්ල කෑ සුරූපිණිය

සුමේධා Monday, 27 June 2016 04:39 AM

පුනරුත්තාපනය මොවුන්ට අවශ්‍ය වේ (බ)

:       0       0

සුනිල් Monday, 27 June 2016 05:08 AM

මෙවැනි සොරු බොහෝ ඇත. විධිමත් ලෙස කළමනාකරනය නොකළහොත් මොවුන් මේ දේම නැවත නැවත කරනු ඇත. අවාසනාව නම් මේවා තේරුම්ගත් බලධාරින් නොමැතිකමය. (නි)

:       0       0

ඉසුරු Saturday, 25 June 2016 10:56 AM

අනේ දෙවියනේ මෙහෙමත් ජීවිත? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 1786 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 295 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 931 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 82 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 175 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 230 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site