IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


බයිඩන්-කමලා ආසියාවේ අපට කුමක් කරත්ද?

ඇමෙරිකානු ජනාධිපතිවරයකු විසින් තම පාලනය සඳහා පත්කර ගනු ලබන ඇමති මණ්ඩලය ලෙස සැලකෙන ලේකම්වරුන්ගේ විවිධත්වය ගත්විට, නව ජනාධිපති ජෝ බයිඩන්ගේ ඇමති මණ්ඩලයේ තරම් විවිධත්වයක් මින් පෙර නොතිබිණ. එහි කාන්තාවෝ 11 කි. ඔබාමාගේ වූයේ 08 කි. එහි අප්‍රිකානු ඇමෙරිකානුවෝ සය දෙනෙක් ද යුදෙව්වෝ සය දෙනෙක් ද ලතින් ඇමෙරිකානු සම්භවයක් ඇති සිව් දෙනෙක් ද ආසියානු ඇමෙරිකානුවෝ තිදෙනෙක් ද එක් ස්වදේශිකයෙක් ද (රතු චීන) වෙති.

ඇමති මණ්ඩලයෙහි ඇති විවිධත්වය සමඟින් ඇමෙරිකාවේ 46 වැනි  ජනනාධිපති ලෙස දිවුරුම් දුන් බයිඩන් කියුවේ මේ මොහොත ඇමෙරිකාවට තීරණාත්මක බවත් ඉදිරි අනාගතය වෙනුවෙන් සියලු විරසකවීම්, බෙදීම් පසෙක තබා ඇමෙරිකාව එක්සත් විය යුතු බවත් ය. තමන් සියලු ඇමෙරිකානුවන්ගේ ජනාධිපති බවත් හාර ලක්ෂයක් මිය ගිය ඇමෙරිකාවේ කොරෝනා පාලනය වෙනුවෙන් සියලු පියවර ගන්නා බවටත් නව ජනාධිපති ලෙස බයිඩන් පොරොන්දු විය.

සුදු ඇමෙරිකානු ආධිපත්‍ය තම දේශපාලනය කරගත් ට්‍රම්ප් මැතිවරණ පරාජය බාර ගැනීමට සූදානම් නොවීය. ජනාධිපතිවරණ ප්‍රතිඵල බලහත්කාරයෙන් යට ගැසීමට ජනවාරි 06 වැනි දින සුදු අන්තවාදීහු වොෂිංටනයේ කැපිටල්හි කොන්ග්‍රසයට කඩා වැදුණහ. එයට ජනාධිපති ට්‍රම්ප් මැදිහත් විනැයි දැන් චෝදනා ඇත.

ජනවාරි 20 වැනි දින නව ජනාධිපති දිවුරුම් දීමේ නිල උත්සවයට ට්‍රම්ප් නොපැමිණියේය. ඔහු විනාඩි 20 ක පමණ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කලින් දින අන්තර්ජාලයට මුදා හැර තිබිණ. එහි නව ජනාධිපති ජෝ බයිඩන්ගේ හා උප ජනාධිපතිනි කමලා දෙව් හැරිස්ගේ නම් සඳහන් නොකිරීමට වග බලාගෙන සිටියේය. තම පාලනය මෑත කාලයේ අලුතින් කිසිදු යුද්ධයක් ආරම්භ නොකළ ජනාධිපති පාලනයක් වූයේ යැයි ද ඇමෙරිකානු ආර්ථිකය ශක්තිමත් ආර්ථිකයක් ලෙස තහවුරු කෙරුණක් යැයි ද “එහි වාසිය, නව පාලනයට බුක්ති විඳින්නට පුළුවන්” යැයි ද ට්‍රම්ප් කීවේය.

ට්‍රම්ප්ගේ ඇමෙරිකාවේ බොහෝ දේ වෙනස් කිරීමේ වගකීම බාර වුණු ජෝ බයිඩන් ඔහුගේ පළමු නිල කාර්ය ලෙස ට්‍රම්ප් අත්සන් තැබූ බොහෝ රාජකාරි නියෝග අවලංගු කිරීමට අත්සන් තැබුවේය. ඒ නියෝග අතර,

• ට්‍රම්ප් 2017 දී ඉවත් වූ 2016 පැරිස් දේශගුණික ගිවිසුම නැවත පිළිගැනුම
• ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජනයෙන් ඉවත් වන්නට ට්‍රම්ප් ගත් තීන්දුව අහෝසි කිරීම
• මෙක්සිකෝ මායිම් තාප්පය ඉදිකිරීම අත්හිටුවීම
• “මුස්ලිම් තහනම” යැයි ජනප්‍රිය ලෙස හැඳින්වුණු ට්‍රම්ප් 2017 ජනවාරියේ දී අත්සන් කළ මුස්ලිම් රටවල් 07 ක පුරවැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීමට දැමූ තහනම අත්හිටුවීම
• මුහුණු ආවරණ පැළඳීම නිර්දේශ කිරීම සහ ඔහුගේ පළමු දින 100 යේ එය අනිවාර්ය කිරීම
• කොරෝනා වසංගතයෙන් පෙළෙන සහ ආහාර අහේනියකට හසුව ඇති සියල්ලන්ට ආහාර සහනාධාර දීමට ප්‍රතිපාදන සැපයීම
• උත්තරද්‍රව වනජීවි රක්ෂිතවල ඛනිජ තෙල් හා ස්වාභාවික වායු කැණීම් වෙනුවෙන් ට්‍රම්ප් පාලනයෙන් ලබා දී තිබූ අවසර තාවකාලිකව අත්හිටුවීම
• තම රටවල ඇති අස්ථාවරත්වය හේතුවෙන් ඇමෙරිකාවට ඇතුළු වන නව යෞවන ළමයින් පිටමං කිරීමට 2012 දී ට්‍රම්ප් පාලනය විසින් ගත් තීන්දුව අත්හිටුවීම වැනි ජනප්‍රිය තීන්දු ගණනාවක් ඇත.
ඇමෙරිකාව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නවලට ඒවායෙන් එකවර උත්තර නොලැබෙන බව සැබෑය. එහෙත් ඕනෑම රාජ්‍ය නායකයකු මෙන් බයිඩන් ද සිය පළමු රාජකාරි කාර්ය ලෙස ඒවා තෝරා ඇත්තේ ට්‍රම්ප් විරෝධයේ ජනප්‍රිය මාතෘකා වශයෙන්ය.

වත්මන් ඇමෙරිකාව මුහුණ දෙන මූලික ගැටලු ක්ෂේත්‍ර දෙකකි. පළමුවැන්න සුදු ඇමෙරිකානු අන්තවාදය දේශපාලනිකව පරාජය කිරීම සමග දේශීය ආර්ථිකය ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක් ලෙස තහවුරු කිරීමේ අභියෝගය වන්නේය. දෙවැන්න වනුයේ ගෝලීය භූ-දේශපාලනයෙහි මැද පෙරදිග සාමයත් චීන හමුදාමය වර්ධනය සමග ඔවුන්ගේ ආර්ථික ආධිපත්‍යයට සාර්ථකව මුහුණ දීමත්ය.

ආසියානු කලාපයෙන් එපිටට ද ගමන් ගන්නා චීන ආර්ථික බලපෑම දැන් ගෝලීය සාධකයකි. ඔවුන්ගේ අපනයන සහ ඇමෙරිකානු පාරිභෝගිකත්වය දෙරට භූ-දේශපාලනයේ හැඩය ද තීන්දු කරන්නකි. ට්‍රම්ප්ගේ “චීන විරෝධය” නොතකා ඇමෙරිකානු පාරිභෝගිකයා 2020 දක්වා වසර 05 තුළ වැඩි වැඩියෙන් චීන නිෂ්පාදන මිලට ගෙන ඇත. 2015 දී සමස්ත ආනයන අතුරින් සියයට 40.6 ක් චීනයෙන් ගෙන්වනු ලැබීය. වසරින් වසර වැඩි වූ එය 2020 වසරේ ජුනි මාසය දක්වා අඩ වසර තුළ සියයට 41.1ක් විය. චීන ආනයන වෙනුවෙන් පළමු වටයේ ඩොලර බිලියන 50 ක් බදු වැඩි කළ ද වෙනත් රටවලට චීනය වෙනුවෙන් ආදේශ වන්නට නොහැකි විය. බිඳ වැටෙන ආර්ථිකයෙහි ඇමෙරිකානු පාරිභෝගිකයන්ට අඩු මිල චීන භාණ්ඩ වෙළඳපොළ අතහැරිය නොහැක. එවගේම මෙක්සිකෝවට සහ කැනඩාවට පසු වර්ධනය වන ඇමෙරිකානු අපනයන වෙළඳපොළ ඇත්තේ චීනයෙහි ය.

ඊටත් අමතරව ඇමෙරිකානු අයවැය හිඟය පියවීමේ චීන දායකත්වය ඔවුන්ට මග හැරිය නොහැක. චීනය, ඇමෙරිකානු භාණ්ඩාගාර බිල්පත් මිලට ගන්නා ප්‍රධානම විදේශිකයා ය. බ්ලූම්බර්ග් වාර්තා අනුව 2017 වන විට ඒවායේ ඩොලර ට්‍රිලියන 1.3 ක සෘජු හිමිකාරිත්වයක් චීනයට තිබුණු අතර, තවත් ඩොලර බිලියන 250 ක වක්‍ර හිමිකාරිත්වයක් ද චීනය සතු විය.

චීනය සමග ඇති එවැනි ආර්ථික ගැට ගැසීමක ට්‍රම්ප්ගේ හිතුවක්කාර දේශපාලනය හේතුවෙන් චීන - ඇමෙරිකානු සබඳතා නොරොක් වූවා මිස ඇමෙරිකාවට ඉන් වාසියක් නොවුණි. චීනය බොහෝ විට ඉතා දැඩිව තම මතයේ පිහිටා සිටීමට අමතරව, චීනය සම්බන්ධ පැහැදිලි ප්‍රතිපත්තියක් නොවීම නිසා ට්‍රම්ප් ඉතිරිකර තිබූයේ රාජ්‍යතාන්ත්‍රික අවුලකි.

දැන් ජාත්‍යන්තර දේශපාලනයෙහි සලකා බැලෙන්නේ බයිඩන් පාලනයට එවැනි රාජ්‍යතාන්ත්‍රික අවුලකට මුහුණ දිය හැකි ද යන්නය. නව පාලනය සඳහා බයිඩන්ගේ ඇමති මණ්ඩලයට යෝජනාකර ඇති නාම ලේඛනයෙහි ප්‍රධාන ලක්ෂණ දෙකකි. පළමුවැන්න නම්, ට්‍රම්ප්ගේ සුදු ඇමෙරිකානු අධිපතිවාදය පුද්ගලවාදයකින් අභියෝග කිරීමට කෙරුණු පත්වීම්ය. ට්‍රම්ප්ගේ සුදු ඇමෙරිකානු ආධිපත්‍ය පදනම් වූයේ ඇමෙරිකානු ජනගහනයෙන් සියයට 15 ක් පමණ වන දැඩි භක්තිවන්ත ක්‍රිස්තියානි නිකායන් වන “ඉවැන්ජලිකල්වාදී” සමාජයේ සහාය මත ය. එබැවින් බයිඩන්ගේ කැබිනට් ලේඛනයේ එවැනි කිසිවකු නැත. ඒ වෙනුවට එය මුළුමනින්ම වාගේ රෝමානු කතෝලික, සාම්ප්‍රදායික බැප්ටිස් ක්‍රිස්තියානි සහ ජුදේවවාදී ආගමිකයන්ගෙන් යුක්ත වන්නේය. දෙතුන් දෙනකු කිසිදු ආගමක් හා බැඳී නොමැති අතර හින්දු ආගමිකයන් දෙදෙනකු ද එහි ඇත.

ඇමති ලේඛනයේ වන එවැනි විවිධත්වයකින් දේශපාලන වශයෙන් සමාජයේ සක්‍රීයව ඇති සුදු ඇමෙරිකානු ආධිපත්‍ය සඳහා වන මතවාදයට පිළිතුරු දිය නොහැක. එහි ශක්තිය ඇත්තේ පිටස්තරයන් විසින් තම රැකියා, සේවා පහසුකම්, ආදායම් හා වත්කම් බුක්ති විඳින හෙයින් තමන් සතු විය යුතු අවස්ථා ඇහිරෙන්නේ යැයි සුදු ඇමෙරිකානුවන් අතර ගොඩනැගී ඇති විශ්වාසය හේතුවෙන්ය. එනිසා ඇමෙරිකානු ආර්ථිකයෙහි දේශීය පලදායීතාව වර්ධනය කිරීමේ අභියෝගය බයිඩන් ජනාධිපති හමුවේ ඇති අභියෝගයකි.

දෙවැන්න නම්, විදේශ කටයුතු සම්බන්ධයෙන් වගකීම් ගණන් හැදීමේ දී බයිඩන් පාලනයේ ඇති පූර්ව පක්ෂග්‍රාහී අවධාරණයන්ය. බයිඩන්ගේ ඇමති මණ්ඩලයට නම් කර ඇති යුදෙව්වන් සය දෙනාට අමතරව දෙවන පෙළ වැදගත් තනතුරු සඳහා යුදෙව්වන් සිව් දෙනකු පත් කිරීමත් සමග මැදපෙරදිග ඇමෙරිකානු මැදිහත්වීම කල් තියා තීන්දු කෙරුණකි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඊශ්‍රායලයට එරෙහිව 1969 සිට සම්මත කළ 140 ට වැඩි යෝජනා සියල්ල නිශ්ක්‍රීය කිරීමේ දී ඊශ්‍රායලය ලද ඇමෙරිකානු සහායට වඩා කිසිදු වෙනසක් එහි නොවනු ඇත. ඒ සමග ඉරානය හා න්‍යෂ්ටික බලය පිළිබඳ ඇමෙරිකානු ස්ථාවරයෙහි වෙනසකට තිබිය හැක්කේ එහි එතරම් ඝෝෂාවක් නොතිබීම වනු ඇත.

චීනයට අදාළ රාජ්‍යතාන්ත්‍රික වගකීම් සඳහා ඇමෙරිකානු ආසියානුවන්, විශේෂයෙන් ඉන්දියානු සම්භවයක් ඇත්තවුන් වෙනුවෙන් වැඩි අවධානයක් තිබීමෙහි ඇත්තේ ද ට්‍රම්ප්වාදී චීන නැඹුරුවකි. ට්‍රම්ප් විසින් චීන ආනයන වෙනුවෙන් තීන්දු කළ බදු, චීන විදුලිසංදේශ සමාගම් නිව් යෝර්ක් කොටස් වෙළඳපොළෙන් ඉවත් කිරීමේ තීන්දු, චීන තාක්ෂණික සමාගම් තහනම් කිරීම වැනි කිසිවකට බයිඩන් අත තබා නැත. චීනය සම්බන්ධයෙන් බටහිර යුරෝපීය මිත්‍ර රටවල සහාය ලබා ගැනීම බයිඩන්ගේ ප්‍රධාන උත්සාහයක් වනු ඇතැයි ඔහුගේ කණ්ඩායමේ අදහසය. ආසියානු කලාපයේ විශේෂයෙන් අපේ දකුණු ආසියානු කලාපයෙහි චීනයට මුහුණදීමේ ඉන්දීය සාධකය වැඩි අවධාරණයක් ඒ සමග ලබනු ඇත. එය කෙතරම් දුරකට පාකිස්තානය හා බංගලාදේශය චීනයෙන් දුරස්ථකර තැබීමට ඉවහල්වේ ද යන්න තවත් ගැටලුවකි.

එහි ඇත්තේ ඔබාමා යුගයේ චීන භූ-දේශපාලන කියවීමය. එදා ද එය අසාර්ථක කියවීමක් විය. යුරෝපා සංගමයේ සහාය ඇතිව විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා දුප්පත් රටවල යුධ අපරාධ, වගවීම් හා මානව හිමිකම් උල්ලංඝන අධීක්ෂණයට ගැනීම හා පිරික්සීම මගින් චීන ආධිපත්‍යයට මුහුණ දිය හැකි යැයි වූ ඇමෙරිකානු කියවීම අසාර්ථක වූවකි. එය ඉතා විවෘතව ප්‍රදර්ශනය වූයේ අපගේ භූ-දේශපාලනය සමගය. කිසිදු සමාජ-ආර්ථික සංවර්ධන ක්‍රියාපිළිවෙතක් සඳහා තේරීමක් ඉතිරි නොකර, විදේශ ණය මත රැඳවූ රටක් යුධ අපරාධ, වගවීම් හා මානව හිමිකම් උල්ලංඝන පරීක්ෂණයට තැබීම, චීනයට දෙනු ලැබූ විශාල වාසියක් විය.

එදා නොතිබූ කොරෝනා වසංගතය හමුවේ චීන ආර්ථිකයේ ද කඩා වැටීම් අද ඇත. ප්‍රාදේශීය විරැකියාවට වඩා යෝධ කාර්මික නිෂ්පාදන කලාපවල විරැකියාව චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස් සැමරුම යෙදෙන මේ වසරේ සී ජින්පිං නායකත්වයට මුහුණ දීමට සිදුවන ලොකු අභියෝගයකි. නිෂ්පාදන බිඳ වැටීම් සමග ඔවුන්ගේ අපනයන පමණක් නොව, පසුගිය වසර ගණනාවක වර්ධනය වූ දේශීය වෙළඳපොළ ද කොරෝනා හේතුවෙන් හැකිලී ඇත. ඒ වෙනුවෙන් ඔවුන් දැඩි අධිකාරවාදී පාලනයක් සමග නිෂ්පාදනය ස්ථාවර කර ගැනීමට සැලසුම් කරන බවක් දැකිය හැක. චීන පාලනයෙහි කවදත් සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නොවුණු අතර සින්ජියෑං ප්‍රාන්තයේ උයිගුර් මුස්ලිම් සමාජය බරපතළ හමුදා මර්දනයකට යටත් කෙරුණකි. කොරෝනාවත් සමග ඇහිරුණු ආර්ථිකයෙහි මේ මර්දන පිළිවෙත් සියල්ලෙහි ඇණ තද කෙරෙන්නේය.
ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් පිළිබඳ තමන්ගේම අර්ථකතන ඇතිව, තම අධිකාරවාදී පාලනය සාධාරණය කිරීම් වස් අනෙක් රටවල අභ්‍යන්තර පාලන සඳහා ස්වාධීනත්වයක් සහතික කිරීමේ ඔවුන්ගේ ලෝක ප්‍රතිපත්තිය, මේ පශ්චාත් කොරෝනා යුගයේ ඔවුන් ජාත්‍යන්තර සභාවන්හි බරපතළ ලෙස ඉස්මතු කිරීම බලාපොරොත්තු විය යුත්තකි. ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් අවධාරණය නොවන අපගේ වැනි දුප්පත් රටවලට චීනය ඒ අනුව සහනදායී ආධාරකරුවකු වනු ඇත. එයට මුහුණ දෙන්නේ කෙසේද යන්න සඳහා බයිඩන් පාලනයට ඔබාමා කියවීම් වලංගු නොවන්නේය.

එහෙත් උප ජනාධිපතිනි කමලා හැරිස්ගේ සිට බයිඩන්ගේ ඇමති මණ්ඩලය සහ ප්‍රධාන සහායකයන් දක්වා සියල්ලන් ගැන පසුගිය 21 වන දින ඇමෙරිකානු අන්තර්ජාල පුවත් ගොනුවක් වන “ඉන්ටලිජෙන්ස්” විසින් පළකර තිබූ විශේෂාංගයක් අවසන්කර තිබූයේ බයිඩන් පාලනයේ මතවාදී එකඟතාවක් නොපෙනෙන නමුත් කණ්ඩායමක් ලෙස එය අලුත් කළ ඔබාමාගේ පරණ ටයරයක් වැනි යැයි කියා ය. සරල කතාව නම්, ඇමෙරිකානු ජනාධිපති මාරුවෙන් විශේෂයෙන් ආසියානු කලාපයේ ඇමෙරිකානු භූ-දේශපාලනයෙහි එතරම් වෙනසක් නොවන බවය. වෙනසකට විය හැක්කේ වැඩි ඝෝෂාවකින් තොරව දකුණු ආසියාවෙහි ජ්‍යෙෂ්ඨ දේශපාලන ධුරය ඉන්දියාවට හෙමින් සීරුවේ පැවරීමය. ඒ සමග අපට ඉන්දීය කලාපීය දේශපාලනය හා චීන මුදල් ආධාර අතර තුළනයක් සොයන්නට සිදුවනු ඇත. දැනට ද එවැනි ගනුදෙනුවක අප කොටුව ඇතැයි පෙනෙන නමුත් එවැනි ස්ථාවර තුළනයක් නඩත්තු කිරීම එතරම් පහසු නොවන්නකි. එවැනි බල තුළනයක අප අපේ ණය කන්දරාවට කරන්නේ කුමක්දැයි සෙවිය යුතුවන හෙයිනි.

(***  කුසල් පෙරේරා)



අදහස් (1)

බයිඩන්-කමලා ආසියාවේ අපට කුමක් කරත්ද?

sira Wednesday, 10 February 2021 02:13 PM

මෙහෙත් ඔහොම පොරක් ඇවිත් 2015 මුලදී කළා.. ඔහොම ඒවා ටිකක්... අවුරුදු 4කින් මිනිහා දන්නෙත් නෑ මිනිහා මොනවද කලේ , මොනවටද අත්සන් කලේ කියලා..!!! පත්තරේ දැක්කමලු දන්නේ...!!!

:       0       7

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 37 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1246 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 586 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 189 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4554 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12915 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38450 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25330 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site