IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


බලය බෙදීමේ දේශපාලක කඹ ඇදිල්ල

පළාත් සභා බරපතළ ලෙස විවාදාපන්න මාතෘකාවකි. පිරිසක් ඒවා අහෝසි කළ යුතු බව කියන අතර තවත් පිරිසක් කියන්නේ අහෝසි නොකර නොදුන් බලතලදී ශක්තිමත් කර අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවයි. දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන ටෙරන්ස් පුරසිංහ මහතා ද ඒ දෙවැනි මතවාදය නියෝජනය කරන්නෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානියාද වන පුරසිංහ මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකසිණි.

නිදහසින් පසු ලංකාවේ පැනනැගුණු ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ජාතික ප්‍රශ්නයයි. ඒ ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාමාර්ගයක් අවශ්‍ය විය. බලය බෙදීම නමැති පිළිතුර කරළියට පැමිණියේ එහිදීය. දෙමළ කතාකරන ජනතාව බහුතරයක් වෙසෙන පළාත් මෙරට තිබේ. ඒ විශේෂයෙන් උතුරු නැගෙනහිරය. එසේම උඩරට වතුකරයේ වෙසෙන බහුතරයද දෙමළය. එහෙත් ප්‍රශ්නය පැන නැගුණේ වතුකරයෙන් නොව උතුරු නැගෙනහිරිනි.

දෙමළ කතාකරන ජනතාවගේ නායකයන් මුල් කාලයේ යෝජනා කළේ ඒකීය ආණ්ඩු රාමුව ඇතුළෙහි ප්‍රශ්නය විසඳාගැනීමටය. ඔවුන් ඉල්ලා සිටියේ සමබර නියෝජනයකි. එය පනහට පනහ නමින් හැඳින්විණි. ඉන් අදහස් කළේ ව්‍යවස්ථාදායකයේ සිංහල නියෝජිතයන් පනහකට සමස්ත සුළු ජාතික නියෝජිතයන් පනහක්ද සිටිය යුතු බවය. දෙමළ ජනතාවගේ නායකයෝ සෝල්බරි කොමිසමටද ඒ ඉල්ලීම ඉදිරිපත් කළහ. එහෙත් සිංහල නායකයන් ඒ ඉල්ලීමට ප්‍රබල ලෙස විරුද්ධ වූ බැවින් සෝල්බරි කොමිසම දෙමළ නායකයන්ගේ ඉල්ලීම ඉටුකළේ නැත.

එහෙත් සෝල්බරි කොමිසම සුළු ජාතීන්ට ආරක්ෂාව සැලසෙන විධි විධාන රැසක් 1947 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළේය. 29-2 වගන්තිය ඉන් ප්‍රමුඛය. ඊට අමතර අග්‍රාණ්ඩුකාර ධුරය, සෙනෙට් මණ්ඩලය, ස්වාධීන අධිකරණය, බහු මන්ත්‍රී ඡන්ද කොට්ඨාස වැනි තවත් පිළියම් රැසක් 1947 ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවට ඇතුළත් කෙරුණේ සුළු ජාතීන්ට ආරක්‍ෂාව සැලසීමේ අරමුණ ඇතිවය. එහෙත් සෝල්බරි ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් විධි විධාන වලින් දෙමළ නායකයෝ සෑහීමකට පත් නොවූහ. ඔවුනට තිබුණේ ස්ව පාලනය පිළිබඳ දේශපාලන අභිලාෂයකි. සෝල්බරි කොමිසමේ නිර්දේශ මගින් ඒ අභිලාෂය ඉටු නොවිණි.

ලංකාවට ෆෙඩරල් ක්‍රමයක් මුලින්ම යෝජනා කළේ දෙමළ නායකයන් නොවේ. පළමුවෙන්ම ඒ යෝජනාව කළෝ උඩරට සිංහල නායකයෝය. මහනුවර  මහජන සභාවේ නායක එෆ්. ඔබේසේකර ඒ යෝජනාව කළේ ඩොනමෝර් කොමිසමටය. ඒ 1928 දීය. ඒ යුගයේ දෙමළ නායකයන් ඉල්ලා සිටියේ බලය බෙදීමක් නොව ඒකීය රාමුව ඇතුළත සමබර නියෝජනයකි. ඒ යුගයේ උඩරට සිංහල නායකයන් ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටියේ, උඩරට පහත රට බේදය මතය. 1924 දී ලංකා ජාතික සංගමයෙන් උඩරට නායකයන් ඉවත්වන්නේ ඒ බේදය මතය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක තම රැඩිකල් ජාතික පක්ෂය පිහිටුවන්නේ 1926 දීය. ලංකාවට ෆෙඩරල් පාලන ක්‍රමයක් අවශ්‍යතාව පිළිබඳ අදහස බණ්ඩාරනායක 1926 දී යාපනයේ කළ කතාවකදී ඉදිරිපත් කළේය. එහෙත් ඒ යුගයේ දෙමළ නායකයෝ ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා නොසිටියහ. ඔවුන් එකල ඉල්ලා සිටියේ ඒකීය රාමුව ඇතුළේ සමබර නියෝජනයකි. දෙමළ නායකයන් ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලන්නේ සමබර නියෝජනයක් නොදුන් නිසාය. මුලින්ම ෆෙඩරල් ඉල්ලීම කරන දෙමළ නායකයා එස්.ජේ.වී. චෙල්වනායගම්ය. ඒ 1949 දීය. එහෙත් දෙමළ නායකයන් ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලන විට සිංහල සමාජයෙන් මහා විරෝධයක් එල්ල වෙයි.

දෙමළ නායකයන් ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටියේ උතුරු නැගෙනහිරට පමණකි. 1957 දී බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම කරළියට පැමිණෙයි. එමගින් යෝජනා කර තිබුණේ උතුරු නැගෙනහිරට ප්‍රාදේශීය පාලන බලතල ලැබෙන අසමතුලිත බලය බෙදීමකි. එදා ඒ යෝජනාවට විරුද්ධ වූයේ 1987 දී බලය බෙදීමට එකඟ වූ ජේ.ආර්. ජයවර්ධන ඇතුළු එක්සත් ජාතික පක්ෂයයි. එහෙත් සම සමාජ හා කොමියුනිස්ට් නායකයෝ එදා බලය බෙදීමට බණ්ඩාරනායකට සහාය දුන්හ. සිංහල භාෂා විශේෂ විධි විධාන පනත ගෙනා වෙලාවේ සම සමාජ නායක කොල්වින් ආර්. ද සිල්වා කියාසිටියේ එක භාෂාවක් නීතිගත කළොත් රටවල් දෙකක් බිහිවන බවය. සිංහල හා දෙමළ භාෂා දෙකටම සමතැන දුන්නොත් තනි රටක් පවතින බවය. කොල්වින් එසේ කීවේ 1956 දීය. 1987 දී බලය බෙදීමට එකඟ වූ ජේ.ආර්. ඇතුළු එක්සත් ජාතික පක්ෂය නායකත්වය දුන් විරෝධතා ව්‍යාපාරයට බියෙන් 1957 දී බණ්ඩාරනායක, චෙල්වනායගම් සමග අත්සන් කළ ගිවිසුම ඒකපාර්ශවිකව ඉරා දැම්මේය. එදා ජේ.ආර්. ඇතුළු ඒ අන්තවාදීන් රට ගිනි තැබුවේ බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් රට බෙදෙන බව කියමිනි.

අනතුරුව බලය බෙදීමක් කරළියට එන්නේ 1966 දී ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුමෙනි. ඩඩ්ලි, 1957 දී බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමට විරුද්ධ වූ එක්සත් ජාතික පක්ෂයේ නායකයාය. ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුමෙන් යෝජනා කළේ රට සභා නමින් හැඳින්වූ දිස්ත්‍රික් සභා ක්‍රමයකි. එදා ඊට විරුද්ධ වූවෝ 1957 දී අසමතුලිත බලය බෙදීමකට එකඟ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සම සමාජ හා කොමියුනිස්ට් නායකයෝය. ඔවුනගේ විරෝධතා ඩඩ්ලිගේ බඩේ මසල වඩේ වැනි අන්ත ජාතිවාදී සටන් පාඨ කියන තැනට වැටී තිබිණි. ඒ විරෝධතාවලට බියවූ ඩඩ්ලි ද ඒකපාර්ශවිකව ගිවිසුම අහෝසි කළේය.

1972 දී ෆෙඩරල් ඉල්ලීම සම්පූර්ණයෙන්ම ඉවත දමා ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවෙන්ම ලංකාවේ ඒකීය ආණ්ඩු ක්‍රමයක් ගොඩනැගිණි. ඊට පෙර පැවැති 1947 සිට ක්‍රියාත්මක වූ සෝල්බරි ව්‍යවස්ථාවෙන් එවැනි තත්ත්වයක් ගොඩනැගුවේ නැත. අවශ්‍ය නම් බලය බෙදාගැනීමට සෝල්බරි ව්‍යවස්ථාවෙන් ඉඩ දී තිබිණී. එහෙත් 1972 දී රටේ මූලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම ෆෙඩරල්වාදය තහනම් කෙරිණි. ඒ ව්‍යවස්ථාවෙන් ඒකීය ආණ්ඩු ක්‍රමයක් නීතිගත කළ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කිරීමට දෙමළ සමාජයේ පැවැති කැමැත්ත හා උත්සාහය වළකා දැමිණි. එහි සෘජු ප්‍රතිඵලය වූයේ දෙමළ සමාජය වෙනම රාජ්‍යයක් ඉල්ලන තැනට තල්ලුවීමය. නැතහොත් අන්තවාදයට ගමන් කිරීමය. දෙමළ තරුණ නායකයෝ 1974 පමණ වන විට සන්නද්ධ ව්‍යාපාර ආරම්භ කළහ. සාම්ප්‍රදායික දෙමළ නායකයෝ ආයුද අතට නොගත්තත් 1976 දී වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනීසිටියහ. දෙමළ තරුණ නායකයන්ගේ සන්නද්ධ ව්‍යාපාරය 1980 දශකයේදී සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය.

ඉන්දියාවේ මැදිහත්වීම මත පළාත් සභා ක්‍රමය කරළියට එන්නේ දෙමළ තරුණයන්ගේ සන්නද්ධ අරගලයෙන් උපන් සිවිල් යුද්ධයට විසඳුමක් ලෙසිනි. 1987 දී අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම මත ගෙනා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභා ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳීමය. ලංකාවේ පළාත් සභා බිහිකිරීමේ ක්‍රියාවලියට ඉන්දියාව බලහත්කාරයෙන් මැදිහත්වුවත් බලය බෙදීමේ ඉල්ලීම මෙරට දෙමළ සමාජයෙහි අඛණ්ඩව වර්ධනය වූවකි. ඒ අනුව මෙරටෙහි පළාත් සභා ස්ථාපිතවීම ඕපපාතිකව සිදු වූ දෙයක් නොව අනුක්‍රමණීය වර්ධනයක සහේතුක ප්‍රතිඵලයකි.

දෙමළ සාම්ප්‍රදායික නායකයන් ඉල්ලාසිටියේ අසමතුලිත බලය බෙදීමකි. එහෙත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතිකළේ සමතුලිත බලය බෙදීමකි. එනම් පළාත් සභා ක්‍රමය උතුරු නැගෙනහිර පමණක් නොව මුළු රටෙහිම ඇති කළේය. පළාත් සභා ආරම්භ වූ 1988 දී ඊට එරෙහිව පාරට බැස්සේ 1957 දී බණ්ඩාරනායක - වෙල්වනායගම් ගිවිසුමට නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ අන්තවාදී බලවේගය. 1987 වනවිට අන්ත ජාතිවාදී ස්ථාවරයක සිටි ජනතා විමුක්ති පෙරමුණද පළාත් සභාවලට විරුද්ධ විය. ඔවුන් තම කැරැල්ල ආරම්භ කරන්නේම පළාත් සභා ක්‍රමයට විරුද්ධවය. පළාත් සභාවලට විරුද්ධ වූ ශ්‍රී.ල.නි.ප. හා ජ.වි.පෙ. ඇතුළු කවුරුත් කිව්වේ පළාත් සභා මගින් රට බෙදෙන බවය. මේ වන විට අඛණ්ඩව අවුරුදු 32ක් තිස්සේ පළාත් සභා ක්‍රියාත්මක වෙයි. එහෙත් රට බෙදුණේ නැත. එසේම එමගින් ජාතික ප්‍රශ්නය විසඳුණේද නැත.

ලංකාවේ ජාතික ප්‍රශ්නයට දිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී විසඳුම සම්බන්ධයෙන් පවතින්නේ විවාදයකි. ඒ විවාදය කෙරෙන්නේ මතවාද දෙකක් අතරය. ඉන් එක මතවාදයක් ලිබරල් වන අතර අනෙක මාක්ස්වාදී මතයයි. ලිබරල්වාදීන් ඉදිරිපත් කරන විසඳුම බලය බෙදීමයි. ඒ ෆෙඩරල් හෝ අර්ධ ෆෙඩරල් ක්‍රම මගිනි. මාක්ස්වාදීන් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන විසඳුම වන්නේ ස්ව පාලනයයි. උතුරු නැගෙනහිර ජනතාවගේ ස්ව පාලනය අයිතිය වෙනුවෙන් පෙනීසිටින මාක්ස්වාදීන් බලය බෙදීමට සහාය දෙන්නේ එය ජාතික ප්‍රශ්නයට යම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් වනු ඇතැයි විශ්වාසයෙනි. 1988 දි සියලු වාමාංශික දේශපාලන පක්ෂ පළාත් සභා පිහිටුවීමට එවක රජයට සහය දුන්නේ ඒ විශ්වාසය මතය.

පළාත් සභා ක්‍රමයේ ප්‍රධාන අරමුණ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම වුවත් එහි වෙනත් අතුරු අරමුණු ද තිබේ. ප්‍රාදේශීය පාලනයට ජනතාව සහභාගිකර ගැනීම, ප්‍රදේශීය සංවර්ධනය, පරිපාලන කටයුතු පහසුකර ගැනීම හා ප්‍රාදේශීය සංස්කෘතිය දියුණු කරගැනීම ඒ අතුරු අරමුණු අතර ප්‍රධාන වෙයි. එහෙත් අවුරුදු 32ක් තිස්සේ ක්‍රියාත්මකවීත් අපේක්ෂිත ඒ කිසිම අරමුණක් අදටත් ඉටු වී නැති බව ඇතැමුන්ගේ මතයයි. ඊට හේතු වී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට හිමි බලතල පූර්ණ වශයෙන් ලබා නොදීමය. පළාත් සභාවලට හිමි බොහෝ වැදගත් බලතල එනම් විශේෂයෙන් ඉඩම් හා පොලිස් බලතල මධ්‍යම ආණ්ඩුව තවමත් තමන් සතුකරගෙන සිටියි. පළාත් සභා ක්‍රමය අසාර්ථක වීමට එය ප්‍රධාන හේතුවක් ලෙස බොහෝ දෙනා තර්ක කරති.

දකුණේ සියලු පළාත් සභා පොලිස් බලතල ලබාගැනීමට උත්සාහ කළත් ගතවූ අවුරුදු 32 තිස්සේම ඊට ඉඩක් නොලැබිණි.

මෙහිදී තීරණාත්මක වී තිබෙන්නේ පොලිස් බලතලවලට වඩා ඉඩම් බලතලය. උතුරු නැගෙනහිරට ඉඩම් බලතල දීමට මධ්‍යම ආණ්ඩුව කැමැතිම නැත. එයට හේතුව ඉඩම් බලතල ලැබුණොත් සෘජු විදේශ ආයෝජන ලබාගැනීමට හැකිවීම විය හැකිය. උතුරු නැගෙනහිර පළාත් සභා පොලිස් බලතලවලටත් වඩා ඉඩම් බලතල ඉල්ලන්නේද එහෙයින් විය හැකිය. අනෙක් පළාත් සභාවලට ඉඩම් බලතල පිළිබඳ ප්‍රශ්නයක් මතු වී නැත. පොලිස් බලතල ඉල්ලන්නේ උතුරු නැගෙනහිරටත් වඩා දකුණේ පළාත් සභාය.

පළාත් සභාවල අාදායම් විසමතාව ද බරපතළ ප්‍රශ්නයකි. සාපේක්‍ෂව වැඩි ආදායමක් ලබන්නේ බස්නාහිර පළාත් සභාව පමණකි. අනෙත් පළාත් සභාවලට නඩත්තුවට අවශ්‍ය තරමටවත් ආදායම් නොලැබෙයි. මධ්‍යම ආණ්ඩුවෙන් යැපීමට සිදුවී තිබෙන්නේ එහෙයිනි. එහෙයින් ආර්ථිකමය වශයෙන් නම් පළාත් සභා ක්‍රමය නිෂ්ඵලය. එයට විසඳුම සෘජු විදේශ ආයෝජන ලබාගැනීමට ඉඩ දීමය. ස්වාධීනව විදේශ ආයෝජන ලබාගැනීමට ඉඩ දුන්නොත් ආදායම් ප්‍රශ්නය විසඳාගත හැකිය. පළාත් සභාවලින් අපේක්‍ෂිත ප්‍රාදේශීය සංවර්ධනය නොවන්නේ අවශ්‍ය තරමට ආදායම් නොලැබෙන හෙයනි. අවශ්‍ය තරමට ආදායම් නැතිව සංවර්ධනයට අදාළ ක්‍රියාමාර්ග ගත නොහැකිය.

ජාතික ප්‍රශ්නය නොවිසඳුණාට බලය බෙදීම මගින් දෙමළ ජනතාවට යම් ස්වපාලන අයිතියක් ලැබී තිබෙන හෙයින් පළාත් සභා අහෝසි කිරීමට දෙමළ නායකයන් සම්පූර්ණයෙන්ම විරුද්ධය. පළාත් සභාවට තමන්ගේ නියෝජිතයන් පත්කර ගැනීමට ඔවුනට හැකියාව ලැබී තිබේ. ඒ නිසා දෙමළ ජනතාවද පළාත් සභා අහෝසි කරනවාට විරුද්ධය. උතුරු නැගෙනහිර නොවන අනෙක් ප්‍රදේශවල පළාත් සභාවලට එරෙහි මතවාදයක් ගොඩනැගී තිබෙන්නේ ඒ පළාත්වල ජනතාවට ස්ව පාලනයක් වුවමනා නැති නිසාය. එහෙත් ජනතාවට ආසන්නතම ආණ්ඩුවක්  වන හෙයින් පළාත් සභා අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බවට දකුණේද මතයක් ගොඩනැගී තිබේ.

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)



අදහස් (1)

බලය බෙදීමේ දේශපාලක කඹ ඇදිල්ල

Bamunuarachchi Monday, 14 September 2020 12:47 PM

මෙයාගේ මොලේ අමාරුවක් වගේ පළාත් පාලන ක්‍රමය ආවේ අපිට වුවමනාව නිසා නොවෙයි, ඉන්දියාවට වුවමනා නිසා... එමනිසා එක්කෝ පළාත් පාලන ක්‍රමය නැති කරන්න. නැතිනම් පළාත් පාලන බලරහිත කරන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 158 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 156 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 1119 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 198 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 477 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1124 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site