IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


බල ත්‍රිත්වයේ ගරුත්වය ආරක්ෂාව

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර යම් ගැටුම්කාරී තත්වයක් නිර්මාණය වී තිබේ. ඒ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් උද්ගතව ඇති ප්‍රශ්න සහගත කාරණය හේතුවෙනි. තවත් ව්‍යවස්ථා අර්බුදයකට තුඩුදෙන පසුබිමක් එමගින් නිර්මාණය වී ඇති ස්වභාවයක් පෙනෙන්නට තිබේ. එය එසේ තිබිය දී පසුබිම් කාරණා කීපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් බව මාගේ අදහසය. මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු ඇමැතිවරයා වශයෙන් වසර හයක් පමණ කටයුතු කළෙමි. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දී ද ඇති වූයේ අර්බුදකාරී තත්වයකි.

මෙරට ව්‍යවස්ථා අර්බුද උප්පත්තියෙන්ම ඇතිවන ඒවාය. ඇතැම් දරුවන්ට උත්පත්ති දෝෂ තිබේ. මෙරට ව්‍යවස්ථාවේ ඇත්තේ ද එවන් ස්වභාවයකි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ වනවිට වසර 46 කි. විසි එක් වතාවක් එය සංශෝධනය කර තිබේ. 1947 ත් 1977 අතර කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකක් තිබුණි. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් පළමුවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එම ව්‍යවස්ථා දෙකය. මේ දෙකම බොහොම සරලව ලියැවී ඇත. ඒ වගේම මේ දෙකෙන්ම කිසිදු ව්‍යවස්ථා අර්බුදයක් මතු වූයේ නැත. තිස් වසරක කාලයක් තිස්සේ ඒවාට සංශෝධන ගෙන ඒමේ අවශ්‍යතාවක් මතු වුණේ ද නැත. එහෙත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහිකළදා සිට මේ වනවිට විසි එක් වතාවක් සංශෝධනය කර තිබේ. මෙයින් තහවුරු වන්නේ එහි තිබෙන අර්බුදකාරී ස්වභාවයයි.

මේ ව්‍යවස්ථා අර්බුද ගලාගෙන එන්නේ විධායක ජනාධිපති ක්‍රමයෙනි. රාජ්‍ය නායකයා, ආණ්ඩුවේ, ත්‍රිවිධ හමුදාවේ නායකයා වන්නේ ද මේ විධායක ජනාධිපතිය. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම මෙහෙය වන්නේ ද ඔහුට අවශ්‍ය ආකාරයටය. ඒ අනුව විධායක ජනපතිට භූමිකා රාශියකි. ඇත්තේ අධිබලයකි. එක් පුද්ගලයකු වටා මෙලෙස අධි බලයක් එකතුවීම රටට අහිතකරය. විධායක ජනපති ක්‍රමයට බොහෝ දෙනා විරුද්ධ වූයේ සහ විරුද්ධ වන්නේ ඒ අර්ථයෙනි. කෙසේ වුවත් අදටත් එය ක්‍රියාත්මකය. වරින් වර ව්‍යවස්ථා අර්බුද හා සංශෝධන ඇතිවන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද අර්බුදයට ගියේය. විධායක ජනපතිගේ බලය යම් පමණකට අඩු කිරීමේ අවශ්‍යතාව මත 18, 19, 20, 21 සංශෝධන ගෙනාවේය. ව්‍යවස්ථානුකූලව එසේ බලය අඩු කළද බලය හොබවන පුද්ගලයා වක්‍රාකාරයෙන් තම බලය පැතිරවීමට උත්සාහ කරන අවස්ථා තිබේ. ව්‍යවස්ථා අර්බුද ඇතිවීමට එය ද හේතුවක් බව පැහැදිලි කරුණකි.

පළමුවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බ්‍රිතාන්‍ය මොඩලයේ එකකි. දෙවැන්න අපේම මොඩලයේ එකකි. තුන්වැන්න ප්‍රංශ, බ්‍රිතාන්‍ය, ඇමරිකාව යන රටවලින් ආදර්ශ ගෙන ඒවායේ සංකලනයකින් සැදුනු ව්‍යවස්ථාවකි. ඒ බව ජේ.ආර්. ජයවර්ධනම වරක් ප්‍රකාශ කළේය. විධායක ජනාධිපති ක්‍රමය තිබීම නිසා මෙය ඇමෙරිකන් ක්‍රමයට වඩා නැඹුරු බව දැකගත හැකිය. එසේ වුවත් අඩුවෙන්ම ව්‍යවස්ථා සංශෝධන සිදුව ඇත්තේ ඇමෙරිකාවේය.

කෙසේ වුවත් වත්මන් අර්බුදය ඇතිවී තිබෙන්නේ පොලිස්පතිවරයා පත්කළ ආකාරය සම්බන්ධයෙනි. පොලිසිපත්වරයා නම් කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිටය. එකී නම් කිරීම ව්‍යවස්ථා සභාවෙන් අනුමත විය යුතුය. මුලින් පැවැති ව්‍යවස්ථා සභාව සමන්විත වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පමණි. එවිට එය පාර්ලිමේන්තුව තුළම පවතින ආයතනයකි. එහෙත් වත්මන් ව්‍යවස්ථා සභාවට සිවිල් සමාජයෙන් නියෝජිතයන් දෙදෙනකු පත්කර තිබේ. ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි. එහෙත් අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථාධායකයේ කොටසක් කියාය. ඒ ප්‍රකාශ දෙක අනුවද පෙනෙන්නේ ප්‍රශ්න සහගත තත්වයකි.

කලින් පැවැති ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථාදායකයේ කොටසක් වශයෙන් පිළිගත හැකිය. ඒ එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්ම සමන්විත වූ නිසාය. එහෙත් අද එවැනි තත්වයක් නැත. 17 වැනි සංශෝධනය අර්බුදයට ගියේ විපක්ෂයේ පක්ෂවල නියෝජිතයා ව්‍යවස්ථා සභාවට පත්කිරීමට නොහැකි වූ නිසාය. මෙහි ප්‍රතිඵලය වූයේ ආණ්ඩු යාන්ත්‍රණය අඩපණ වීමය. මේ තත්වය වෙනස් කිරීමට තුනෙන් දෙකේ බලයක් එදා තිබුණේ නැත. ඇති වූයේ අර්බුදයකි. පාර්ලිමේන්තුවේ පනත් සම්මත කිරීමේ දී අනාගතයේ දී ඇතිවිය හැකි ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානයට නොගෙන කඩිමුඩියේ පනත් සම්මත කිරීම අර්බුදවලට හේතුවන බව ඒ අනුව පෙනී යන්නකි.

වත්මන් ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස්ය. පොලිස්පති පත්කිරීමේ නාම යෝජනාව ව්‍යවස්ථා සභාවට යොමු කරනු ලැබුයේ ජනාධිපතිවරයා විසිනි. මේ නාම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුවක් දීමට නියමිත වූ ව්‍යවස්ථා සභා රැස්වීමට එහි සාමාජිකයන් දෙදෙනකු සහභාගී වූයේ නැත. මූලාසනය කතානායකවරයාය. හතරයි හතර වශයෙන් මෙහි සාමාජිකතයන් බෙදුනු විට කතානායකවරයාගේ ඡන්දය තීරක ඡන්දය වශයෙන් භාවිත කර තීරණයක් දීමට පුළුවන. දේශබන්දු තෙන්නකෝන් පොල්සිපතිවරයා වශයෙන් පත් කිරීම ඒ ආකාරයට තීන්දු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර ඇත්තේ එකී තීන්දුවය. ඒ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමිනි.

පොලිස්පතිවරයා පත්කිරීමේ දී ව්‍යවස්ථා සභාව ගත් තීරණය නිවැරැදිද යන ප්‍රශ්නය දැන් මතුව ඇති ප්‍රශ්නයයි. එම තීන්දුව නිවැරැදි බව කොටසකගේ අදහසය. එය දෝෂ සහගත බව තවත් කණ්ඩායමක මතය වී තිබේ. එදින රැස්වීමට සහභාගී වූ නොවූ දෙදෙනා මේ පත්කිරීමට පක්ෂද, විරුද්ධ ද යන්න තීරණය කිරීමේ හැකියාවක් අනෙක් අයට නැත. මේ සාමාජිකයන් දෙදෙනාගේ සහභාගිත්වයක් නොමැතිවීම සැලසුම් සහගතව වූවක් දැයි තවත් ප්‍රශ්නයකි. ජනාධිපතිවරයාට මේ පත්කිරීම කිරීමට ඉඩදීමට මේ දෙදෙනා සහභාගී වූයේ නැතිද යන්නත් නිතැතින්ම මතුවිය හැකි ප්‍රශ්නයකි. කෙසේ වුවත් අවසානයේ අර්බුදකාරී තත්වයක් නිර්මාණය කර තිබේ.

යම් සිද්ධියක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ විට ඒ සම්බන්ධයෙන් සොයා බැලීම එකී අධිකරණයේ වගකීමය. පොලිස්පතිවරයා සම්බන්ධ කාරණය ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ විට ඒ පිළිබඳ සොයා බැලීමට තීරණය කර ඇත්තේ එහි යම් දෝෂ සහගත තැන් ඇතැයි පෙනී ගොස් තිබීම හේතුවෙනි. නඩු කටයුතු අවසන් වනතෙක් පොලිස්පතිවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත්තේ ද ඒ අනුවය. වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීමට ජනාධිපතිවරයාට නියෝග කරන්නේ ද එකී වාතාවරණයේය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වන්නේ ද මේ අතරතුරය. වත්මන් ජනාධිපතිවරයා අපේක්‍ෂකයකු වශයෙන් ඇප මුදල් තැන්පත් කරන්නේ මේ සියලු සිදුවීම් ද සමගය. තමන් දැන් ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයකු වී සිටීම හේතුවෙන් පත්කිරීම් කළ නොහැකි බව ජනාධිපතිවරයාගේ මතය වී තිබේ. ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුවේ නිර්මිතයක් හේතුවෙන් පාර්මේන්තුවේ කටයුතුවලට මැදිහත්වීමට අධිකරණයට බලයක් නොමැති බව අගමැතිවරයා ප්‍රකාශකර තිබුණි. තමන් ගනු ලබූ තීරණය නිවැරැදි බවත් එය වෙනස් නොකරන බවත් කථානායකවරයාගේ ස්ථාවරය වී තිබේ. ප්‍රධානීන් තිදෙනා ස්ථාවර තුනක පසුවන බව ඒ අනුව පැහැදිලිය. මේ ස්ථාවර ඔවුනොවුන් සාකච්ඡාකර ගත්තාදැයි යමකු ප්‍රශ්න කරන්නට පුළුවන.

පුරවැසියාගේ තත්වය කුමක්ද? මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුවය. එවැන්නකට විසඳුමක් දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය බැඳී සිටී. මේ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතුකර ඇත්තේ එකී බැඳීම අනුවය. ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇති පරිදි මේ නඩු කටයුතු අවසන්වනතුරු වැඩ බැලීමට පොලිස්පතිවරයකු පත්කිරීමට ජනාධිපතිවරයාට බාධාවක් ඇතැයි නොපෙනේ. ජනපතිවරණ අපේක්‍ෂයකු වශයෙන් ඉදිරිපත්වීමට ඇප මුදල් තැන්පත් කළද මීළඟ ජනාධිපතිවරයා තේරී පත්වනතුරු වත්මන් ජනපතිට බලය තිබේ. එතෙක් ජනාධිපතිවරයා වන්නේ ද වත්මන් ජනපතිමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ බලය ලබා දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් නොපිළිගැනීමට අනුර බණ්ඩාරනායක කතානායකවරයා වරක් තීන්දු කළේය. ඒ පාර්ලිමේන්තුවේ කටයුතුවලට මැදිහත්වීමට අධිකරණයට බලයක් නැතැයි කියමිනි. එකී තීන්දුව ආදර්ශයට ගනිමින් මේ අවස්ථාවේදී ද කටයුතු කළයුතු බවට මතයක් තිබේ. එහෙත් ඒ තීන්දුවත් වත්මන් කාරණයත් අතර සම්බන්ධයක් නැත. එදා තීන්දුව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩු පක්‍ෂ සහ විපක්‍ෂ සියලු දෙනා එකට සිට ගත්හ. පරමාධිපත්‍යය බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බව එහි දී කියා සිටියේය. අධිකරණයට එකී බලය ලැබෙන්නේ පාර්ලිමේන්තුවෙන් බව එම අවස්ථාවේ දැරූ ස්ථාවරයයි. පාර්ලිමේන්තුවේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණයට අදාළ නැති බවද එදා කියැවුණි. එහෙත් එදා තත්වය වත්මන් ප්‍රශ්නයට ගළපාගත නොහැකිය. එයට ප්‍රධාන හේතුව එදා පැවැති ව්‍යවස්ථා සභාවේ සංයුතියට වඩා වත්මන් ව්‍යවස්ථා සභාවේ සංයුතිය වෙනස් ස්වරූපයක් ගෙන තිබීමය. වත්මන් ව්‍යවස්ථා සභාවට සිවිල් සමාජයෙන් සාමාජිකයන් පත්කර තිබේ. එනිසා එය පාර්ලිමේන්තුවේ කොටසක් වශයෙන් අර්ථ දැක්විය හැකිද යන ප්‍රශ්නය තිබේ. ජනතාව පරමාධිපත්‍ය බලය දෙන්නේ මන්ත්‍රීවරුන්ට පමණි. එනිසා සිවිල් සමාජය නියෝජිතයන් සිටින අවස්ථාවක ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරීත්වය යටත් වන්නේ කොතැනට ද යන්න ප්‍රශ්නයකි.

පොලිස්පති පත්කිරීමේ දී ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් සියලුදෙනා රැස්කර තීරණය ගත්තා නම් ප්‍රශ්නයක් වන්නේ නැත. දෙදෙනකු පැමිණියේ නැති නම් වෙනත් දිනයක් යොදා ගැනීමට තිබුණි. උත්තරීතර සභාවක රැස්වීමක් මගහැර සිටීමට එහි සාමාජිකයන්ට නොහැක.

අධිකරණයෙන් කර ඇති ඉල්ලීමට ගරු කිරීම අදාළ පාර්ශවවල වගකීමකි. ඒ අනුව යමින් වැඩ බලන පොලිස්පතිවරයකු පත් කළේ නම් අර්බුදයක් ඇතිවෙන්නේ නැත. ව්‍යවස්ථාදායකයත්, විධායකයත්, අධිකරණයත් රට ඉදිරියේ හෑල්ලුවට ලක්වන ආකාරයට කටයුතු සිදුවීම නරක තත්වයකි. මහජන විශ්වාසය බිඳවැටී ඇති අවස්ථාවක මේ තත්වය සුදුසු නොවේ. යම් විශ්වාසයක් ඇත්තේ අධිකරණය කෙරෙහිය. එය හෑල්ලුවට ලක් නොකළ යුතුය. විශේෂයෙන් මැතිවරණයක් පැවැත්වීමට කටයුතු සම්පාදනයවන කාලයක නැති ප්‍රශ්න මවා නොගත යුතුය.

(*** සටහන - චමින්ද මුණසිංහ)



අදහස් (0)

බල ත්‍රිත්වයේ ගරුත්වය ආරක්ෂාව

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 303 0

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 479 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 865 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


ජනතාවාදී ජයග්‍රහණයක ප්‍රතිඵලයක්
2024 නොවැම්බර් මස 16 1031 3

මාස දෙකකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තේරුම් ගැනීම තරමක් දුෂ්කරය.


එදා - මෙදා දේශපාලක අමුතු කතා
2024 නොවැම්බර් මස 15 813 5

මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු


​නුවණ නැත්තෝ දහම් රස නොදන්නෝය
2024 නොවැම්බර් මස 15 285 0

තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත් ධර්මය තම ශ්‍රාවක පිරිසට සමීප කරවීම සඳහා විවිධ ක්‍රමෝපාය භාවිත කර ඇති ආකාරය ඉතා ප්‍රකටය. එම දේශනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 462 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 693 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1965 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site