IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


බස නොදන්නා කී​දෙනෙක් අද කවි ලියනවාද?

කවියකු, ගීත පද රචකයකු, කෙටිකතා රචකයකු මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතාගේ නවතම කෙටිකතා සංග්‍රහය නිකුත්ව තිබේ. ඒ, “අහසට පෙම් බැඳි ගැහැනිය” නමිනි. මෙම කෘතිය සරසවි ප්‍රකාශනයක් වන අතර, එය ගුණවර්ධන මහතාගේ සත්වැනි කෙටිකතා සංග්‍රහයයි. මතු දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් අප ඔහු සමඟ කළ සංවාදයක සටහනකි.

• ඔබේ නවතම කෙටිකතා සංග්‍රහය වන “අහසට පෙම් බැඳි ගැහැනිය” කෘතියට පදනම් වූ අත්දැකීම් ගැන මුලින්ම කතා කරමු?

“කවදත් මගේ කෙටිකතාවලට පාදක වුණේ මට හමු වූ ගැහැනුන්, මිනිසුන් සහ දරුවන්. මා ජීවත් වූ හා අද ජීවත් වන පරිසර දෙකක් තියෙනවා. පළමුවැන්න මා ඉපදී හැදී වැඩුණු නුගේගොඩ අවට පරිසරය. දෙවැන්න හොරණ නගරය ප්‍රධාන කොටගත් ගම්මාන. මට හමු නොවුණු මා අශ්‍රය නොකළ කිසිවකු ගැන මෙතෙක් කිසිවක් ලියා නැහැ. මගේ සිතේ පැළපදියම් වූ චරිත සමඟ ඇතැම් විට මා වසර විසිපහක් තිහක් විතර ජීවත් වෙනවා.

පසුගිය කතා සංග්‍රහවල වගේම ‘අහසට පෙම් බැඳි ගැහැනිය’ නම් මේ කතා සංග්‍රහයේත් බර්ගර් පවුලක් ගැන කතාවක් තියෙනවා. කාල් මලර් නම් ලේඛකයාගෙන් පස්සේ බර්ගර් ජාතිකයන් ගැන කතා කිරීමේ ගෞරවය මේ කතාවලට හිමි වන බව පරාක්‍රම කොඩිතුවක්කු මහතා සඳහන් කොට තිබුණා.”

• ඔබ කවිය, ගීතය, කෙටිකතාව වැනි සාහිත්‍ය ඉසව් කිහිපයක නියෝජනයක්. තමන්ට මුලින් ලැබෙන වස්තු බීජය මේ මේ සාහිත්‍යාංගයට වඩාත් සුදුසු යැයි කියා එහි යෝග්‍යතාව තීරණය කරන්නේ කොහොම ද?

“අත්දැකීමක් ලැබුණාට පස්සෙ මේ වස්තු විෂය සුදුසු කවියකට ද ගීතයකට ද කෙටිකතාවකට ද කියලා තීරණය කරන්නේ මගේ මනසයි. කවියකට, ගීතයකට එක මොහොතක් සමඟ බැඳුණු මනෝභාවයක් පාදක කරගත හැකියි. ඒ සමඟ ටික කාලයක් හෝ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. කවියක්, ගීතයක්, හිතේ මෝරන්නේ භාෂාවත් එක්ක. ගීතයකදී සුගායනීය බසක් පරිහරණය කරන්න සිද්ධ වෙනවා. ඒත් කවිය ගොඩනැඟෙන්නෙ ගීතයකට වඩා වෙනස් භාෂා මාධ්‍යයකින්. 

කෙටිකතාවකදී භාෂාව ගැන ඊටත් වඩා වෙනස් විදිහකට සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. හිතේ මුලින්ම ගොඩනැඟෙන්නෙ අපූරු සිද්ධි හා අපූරු චරිත. චරිතවල හෝ සිද්ධිවල අපූර්වත්වයක් නැති නම් තවදුරටත් කෙටිකතාවක් ගොඩනැඟීමේ තේරුමක් නැහැ.”

• කෙටිකතාව යනු කුමක් ද යන්නට එදා සිට අද දක්වාම විවිධ නිර්වචන ඉදිරිපත් වෙනවා. අතීත කෙටිකතාවෙන් නූතන කෙටිකතාව බොහෝ දුර පැමිණ තිබෙනවා. ඔබට අනුව කෙටිකතාව යනු කුමක් ද?

“වෙනස් වන සමාජයට අනුව සකස් වන කිසිම කලා මාධ්‍යයක් කිසි දවසක නිර්වචනවල සිරගත කරන්න බෑ. එදා කෙටිකතාකරුවා උත්සාහ කළේ කතාවක් කියන්නයි. ඒත් අද කෙටිකතාකරුවා කතාවක් කියන්නට කැප වෙන්නෙ නෑ. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය, ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය, විවිධ මාන දෘෂ්ටි කෝණ ආදියටම අද කෙටිකතාකරුවන් සීමා වෙන්නෙ නෑ. විවිධ ආඛ්‍යාන ක්‍රම අත්හදා බලනවා. ජයතිලක කම්මැල්ලවීර, පියල් කාරියවසම්, කීර්ති වැලිසරගේ, නිශ්ශංක විජේමාන්න, කපිල කුමාර කාලිංග ආදීන් මේ වෙලාවේ මගේ මතකයට එනවා.”

• ඔබ කිව්වා වගේම මෑත කාලීන බොහෝ කෙටිකතාකරුවන් විවිධ අත්හදා බැලීම් මගින් කෙටිකතා කලාව වෙනස් මගකට යොමු කළා. ඒ අත්හදා බැලීම් සාර්ථක වී ඇත්දැයි සිතෙනවා ද?

“ඉහත සඳහන් කළ කෙටිකතාකරුවන් සියලු දෙනා කෙටිකතාව වෙනස් මඟකට යොමු කළ බව කිව හැකියි. මෙතැනදී මට ආරියතිලක පීරිස්, බුද්ධදාස ගලප්පත්ති වගේ අයත් සිහියට නැගෙනවා. ආරියතිලක පීරිස්ගේ ‘ගුවන් පාලම යට’ ගලප්පත්තිගේ ‘නාඳුනන මල් නෙළන්නාගේ මරණය’ වැනි නිර්මාණ මෑත කාලයේ මගේ හද සසල කළ කෙටිකතා. නූතන කෙටිකතාවේ සංක්‍ෂිප්ත ගුණය අකුරටම රකින ලේඛකයෙක් තමයි ජයතිලක කම්මැල්ලවීර. ඒත් පමණට වඩා කෙටිකතාවක් සංක්‍ෂිප්ත වීම ගැටලුවක් බව ‘කැඩපත් දහසක්’ සමඟ ඔහුගේ ‘එකොළහ’ කෙටිකතා සංග්‍රහය සැසඳීමෙන් පෙනී යනවා.”

• ලාංකික පාඨක සමාජය ඇතුළත නවකතාව තරම් කෙටිකතාව ජනප්‍රිය වී නැති බවයි බොහෝ දෙනාගේ හැඟීම. ඊට හේතුව කුමක් විය හැකි ද?

“නවකතාව කියන කලා මාධ්‍යය කෙටිකතාවට වඩා ජනප්‍රිය බව රහසක් නොවෙයි. ඒත් නිස්සාර දේ රචනා කරන නවකතාකරුවන්ම ඒ කලා මාධ්‍යයට හානි පමුණුවනවා. නවකතා නාමයෙන් පිටවන සමහර කෘතිවල පිටු දහයකට දොළහකට වඩා කියවන්න බෑ. එහිදීත් සංක්‍ෂිප්ත ගුණය කෙරෙහි සැලකිලිමත් විය යුතු බවයි මගේ හැඟීම. ඒ අතින් බැලුවාම නවකතාවකට වඩා වෙනස් පාඨක පිරිසක් කෙටිකතාවට රුචි කරන බව පේනවා. මා කෙටිකතා සංග්‍රහ හතක් පළ කරද්දී ඇතැම් කෙටිකතා සංග්‍රහවල දෙවැනි මුද්‍රණත් පළ වෙනවා. හොඳ පාඨක පිරිසක් නොසිටින්න අපි වගේ ලේඛකයන්ට මෙතරම් කෘති සංඛ්‍යාවක් පළ කරන්න ලැබෙන්නෙ නෑ. කෙටිකතාවට කොහොමත් ඉහළ රසඥතාවක් ඇති පාඨක පිරිසක් සිටින බවයි මගේ විශ්වාසය.”

• ඒත් ඇතැම් සාහිත්‍ය කලාවන් පාඨක ලෝකය වැළැඳ නොගන්නේ නිර්මාණවල පවත්නා බංකොළාත්භාවය නිසා බවයි බොහෝ විචාරකයන් පෙන්වා දෙන්නේ. මේ ගැන ඔබේ අදහස කුමක් ද?

“ඇත්තටම සමහර සාහිත්‍යාංග පාඨක ලෝකයෙන් ඈත් වීමට නිර්මාණකරුවන්ගේ අඩුපාඩු බලපාන බව සැබෑවක්. අද පද්‍ය සංග්‍රහයන්ට තිබෙන ඉල්ලුම ඉතාම අඩුයි. මොනවා හෝ ලිවීම කවි ලිවීමක් නොවෙයි. කවිය කියන්නෙ මනා භාෂාත්මක අත්හදා බැලීමක්. බස නොදන්නා කී දෙනෙක් අද කවි ලියනවා ද? ඇතැම් කවි පොත්වල නම් පවා ඒවාට ගැළපෙනවා ද කියන එක ප්‍රශ්නයක්. මා කවියට ඇති ඇල්ම නිසා හොය හොයා කවි පොත් කියවනවා. මෑතකදී මා ආඛ්‍යාන කාව්‍ය කෘති දෙකක් කියෙව්වා. ඒ එකක්වත් මහගමසේකර වැනි කවියකුගේ ආඛ්‍යාන කාව්‍යයකින් අඟලක්වත් ඉදිරි පියවරක් තබා නැහැ. හොඳ කාව්‍ය සංග්‍රහ පළ කළ ප්‍රවීණයෝ අද වැල්වටාරම් වචන හරඹ කවි විදිහට පළ කරනවා. එය අභාග්‍යයක්.

ආරියවංශ රණවීර තවමත් කවියෙක් හැටියට ඉදිරියෙන් ඉන්නවා. මොනිකා රුවන්පතිරණගෙන් පසුව ප්‍රතිභාවක් පළ කළ කිවිඳියන් ඉන්නේ අතළොස්සයි. ඇතැම් කෙටිකතා රචකයනුත් මොනවා හෝ ලියා කෙටිකතා හැටියට සමාජගත කරන්න උත්සාහ දරනවා. ඒත් ඒක සාර්ථක නැහැ. හැමවිටම විවේක බුද්ධියෙන් යුතුව හරවත් යමක් හරවත් ආකාරයෙන් ඉදිරිපත් කළ යුතුයි.”

• විවිධ සම්මාන, ඇගැයීම් හේතුවෙන් ඇතැම් සාහිත්‍යාංග වෙත වැරැදි ප්‍රමිතීන් ගොඩනැඟුණු බවට ඇතැමුන් චෝදනා කරනවා. මේ ගැන මොකද හිතන්නේ?

“සාහිත්‍ය සම්මාන මඟින් වැරැදි ප්‍රමිතීන් ඇති කිරීමට ගන්නා උත්සාහය බුද්ධිමත් පාඨකයා, බුද්ධිමත් විචාරකයා පිළිකුළෙන් බැහැර කරමින් සිටිනවා. සමහර සරසවි ඇදුරන් පවා මේ කාලයේ මහා පාපකර්මයක් කරනවා. කවි නොවන දේවල් කවි විදිහට ඔසවා තැබීමට මේ අය උත්සාහ දරනවා. එය මහා ඛේදවාචකයක්. කෙටිකතා, නවකතා ආදියටත් ඒ ආනිශංසයම ළඟා කරන්න මේ අය උත්සාහ දරනවා. කල්ලිවාදය කර තියාගෙන යන සම්මාන උත්සව තියනවා. අද සුදුසු කෘතිවලට සම්මාන පිරිනැමීම සිදුවන්නේ ඉතාම කලාතුරකින්.

ඇතැමුන් නිර්මාණ බිහි කරන්නෙම ඊළඟ අවුරුද්දෙ සම්මානය බලාගෙන. නොලැබුණොත් කරන්නෙ හතර වටේටම බැණ වදින එක. අද රාජ්‍ය සාහිත්‍ය සම්මාන විනිශ්චය මණ්ඩවලට පවා කල්ලිවාදය ඇතුළත් වෙලා ද කියලා වෙලාවකට හිතෙනවා. මේකෙ විනාශය තියෙන්නෙ මෙතැන නොවෙයි. තමන්ගෙ කෘතියකට හිතවතුන් ලවා සම්මාන ලබාගෙන කවුරු සතුටු වුණත් කමක් නෑ. ඒත් ගොඩක් වෙලාවට මේ කෘති හොඳ කෘති හැටියට පිළි අරගෙන පෙළපොත්වලටත් එකතු වෙන අවස්ථා තියෙනවා. එතැනින් පස්සෙ වෙන විනාශය අමුතුවෙන් කියන්න ඕනෑ නෑ.

අඩුම ගානෙ බුද්ධිමතුන් හැටියට පිළිගන්නා සරසවි ඇදුරන්වත් මේ පිළිබඳව ප්‍රඥාවන්තව බැලුවොත් මුළු මහත් සිංහල සාහිත්‍යයට එයින් අනර්ථයක් වීම වළක්වාගන්න පුළුවන්. හතළිස් පස් වසරක ගුරු ජීවිතයක් සහ විෂය නිර්දේශ සකස් කිරීමට සම්බන්ධ වීමේ අත්දැකීම් ඇතිවයි මා මේ ප්‍රකාශය කරන්නේ.”

සංවාද සටහන ගාමිණි කන්දේපොළ

ප්‍රවීණ ලේඛක සුනිල් ගුණවර්ධන



අදහස් (2)

බස නොදන්නා කී​දෙනෙක් අද කවි ලියනවාද?

කසුන් චමීර හපුතන්තිරි. Tuesday, 16 November 2021 02:07 PM

සිංහල ගුරුවරයෙක් විදිහට සුනිල් සර් ගේ විචාරණය ගැන,රසාස්වාදය ගැන ඉගැන්වීම ඉතාමත් රසවත් මෙන්ම ඉතාමත් ඉහලයි.එතුමාට චිත්‍ර රූප මැවෙන ආකාරයට ඉතාම හරවත් විදිහට පැහැදිලි කරන්න,කෙනෙකුගේ හිතට කාවද්දවන්න පුළුවන් පුදුම හැකියාවක් තියෙන නිහතමානී සුන්දර මිනිසෙක්.මෙතුමා හොරණ පුරවරයට මිල නොකළ හැකි මැණිකක්.

:       0       5

Royfedricks Tuesday, 16 November 2021 05:32 PM

සුනිල් ගුනවර්ධන අපූරු කතාවක් කියා තිබුණා. ඔහුගේ නිවස තැනීමට අළුහුණු අවශ්‍යව තිබුණා. මුදල් නැහැ. සනත් නන්දසිරිට ඔහු නහයෙන් අඬ අඬා මෙ දුක පැවසුවා. සනත් ක්ෂණිකව ප්‍රශ්නය විසඳුවා. "යන්න දෙහිවලට, එතන මිල්ටන් පෙරේරා ඉන්නවා. සින්දු අවශ්‍ය වෙලා තියෙනවා."' කිසිම සූදානමක් නැතුව එහි ගිය සුනිල් ගීත 7ක් ලියා ලැබුනු මුදලෙන් අලුහුණු මිලදී ගත්තා. මෙන්න අපේ නිර්මාණ කරුවන්ගේ තරම. මේ ගීත කලාව ජනප්‍රිය කළ චන්ද්‍රරත්න මානවසිංහ, මහගමසේකර, මඩවල රත්නායක බොහෝකල් ගතකරමින් තමන් සෑහීමට පත්වෙන තුරු නැවත ලියමින් නිර්මාණ එළි දැක්වූයේය. එවන් කලාවක් අළුහුණු ගන්න යොදාගත් අයෙකු පවසන වදන්වලට සවන් දිය යුතුද?

:       11       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 41 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 389 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 996 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1491 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 240 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 452 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 746 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2087 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site