ශ්‍රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට තැබීමට දෙසැම්බර් 13 වැනි දින හැකියාව ලැබුණි. රජය විසින් නිකුත් කරන ලද ස්වෛරිත්ව බැඳුම්කර මිලදීගෙන ඇති පිරිස් සමග රජය ඔවුන්ගෙන් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම පිළිබඳ එකඟතා ඇතිකර ගැනීමට එදින හැකිවිය.
ඒ පිළිබඳව පෙරේදා (දෙසැම්බර් 16) අවසන් එකඟතාවලට එළඹීමට හැකි වූ අතර ඒ අනුව රට විසින් ලබාගෙන ඇති, ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කිරීමට බලාපොරොත්තු වූ සියලුම ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කර රට තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද මූල්‍ය ස්ථායීතාවක් ගොඩ නගා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවී තිබේ.
මුලින්ම ණය ප්‍රතිව්‍යුහගතකරණයට එළඹුණේ රජය විසින් දේශීය වශයෙන් ලබාගෙන ඇති ණය සම්බන්ධයෙනි. ඒ ආකාරයට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන විට රටේ ක්‍රියාත්මක වන බැංකු පද්ධතියට සහ සමහර විට ඒවායේ ගනුදෙනුකරුවන්ට ද බලපෑම් ඇතිවීමට ඉඩ තිබේ. එසේ වුවද දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී එවැනි අවදානමක් ඇති නොවන අයුරින් දේශීය බැඳුම්කර ප්‍රාථමික හිමිකරුවන්ට පමණක් අදාළ වන ආකාරයෙන් එම ක්‍රියාවලිය නිම කරන ලදි. 2023 ජූනි 28 දින ඒ සඳහා වූ සැලැස්ම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීමෙන් පසු රට තුළ මූල්‍ය අස්ථායීතාවක් හෝ ගනුදෙනුකරුවන්ට හානියක් හෝ සිදු නොවන අයුරින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කිරීමට හැකි විය.
ඒ සම්බන්ධයෙන් දෙවැනි පියවර වූයේ විදේශ රට වලින් සහ විදේශ බැංකු සහ මූල්‍ය ආයතන වලින් ලබාගෙන තිබු ණය ප්‍රතිව්‍යුහගතකරණයයි. ශ්‍රී ලංකාවට ණය ලබා දී තිබු චීනය, ජපානය, ඉන්දියාව වැනි රටවල් සමගත් ඒ ආකාරයටම රටේ විවිධ ව්‍යාපෘති සඳහා ණය ලබාදී තිබු චීනයේ එක්ෂිම් බැංකුව වැනි ආයතන සමගත් දිගු කලක් තිස්සේ පවත්වාගෙන යන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුගතකරණයට ලක් කිරීමට ද හැකි විය. මුල් අවස්ථාවේ දී ණය ගෙවීම, පොලී ගෙවීම, ණය ගෙවීම සඳහා වූ කාල පරිච්ඡේද ආදිය පිළිබඳව විවිධ මත ප්‍රකාශ වී තිබුණ ද අවසානයේ දී සියලු රටවල් සමග සහ ආයතන සමග එකඟතා ඇතිකර ගැනීමට හැකි විය. ඒ සඳහා වන ගිවිසුම 2024 ජූනි මස 26 වැනි දින අත්සන් තබන ලදී. ණය ගෙවීමෙන් නිදහස් වූ කාලපරිච්ඡේදයකට පසුව පොලී අනුපාත පිළිබඳ සහන මෙන්ම ගෙවීම් කාලය දීර්ඝ කිරීම වැනි සහන ද ලැබෙන සේ එම ක්‍රියාවලිය නිම විය.
රජය විසින් ඒ ඒ අවස්ථාවල මුහුණදුන් මූල්‍ය හිඟකම පිළිබඳ ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කර තිබුණි. ඒවා මිලදීගෙන රජයට ණය සපයනු ලැබුවේ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ සිටින ආයෝජකයන් විසිනි. මෙම පිරිස්වලට කිසියම් හෝ බලපෑමක් කිරීමට එම රටවල ආණ්ඩුවලට හෝ ජාත්‍යන්තර ආයතනවලට හෝ හැකියාවක් නැත. ඒ අතරම එවැනි බැඳුම්කර තනිව මිලදීගත් අතිවිශාල පිරිසක් ද සිටියහ. එබැවින් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ එම සාකච්ඡා ඉතා සංකීර්ණ ස්වරූපයක් ගත්තේය. ඉතා දුෂ්කරම කාර්ය වූයේ ද එයයි. අතිවිශාල පිරිසක් සමග බහුතරයක් එකඟවන ආකාරයේ සම්මුතියක් ඇතිකර ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවීය. පසුගිය වසර දෙක තිස්සේම ඒ සඳහා වූ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වූ අතර ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ වැඩි දෙනකු එකඟවන සම්මුතියක් ඇතිකර ගැනීම පිළිබඳව සාකච්ඡා අඛණ්ඩව පැවැත්වුණි.
ඒ සම්බන්ධයෙන් තීරණාත්මක තත්වයක් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූ බව මුදල් අමාත්‍යාංශය විසින් 2024 ඔක්තෝම්බර් මස 04 වැනිදා නිකුත් කරන ලද නිවේදනයක සඳහන් විය. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදීගෙන ඇති විදේශීය බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයන් සමග සහ දේශීය බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයන් සමග ගිවිසුමක් ඇතිකර ගැනීමට 2024 සැප්තැම්බර් මස 19 වැනිදා හැකිවූ බව එම නිවේදනයේ සඳහන් විය. ඉන්පසු ගතවූ කාලපරිච්ඡේදය තුළ එම එකඟතාවලට වෙන් වෙන් වශයෙන් ණය හිමිකරුවන්ගේ කැමැත්ත ලබා ගැනීමට සිදුවිය.
සැප්තැම්බර් 19 වැනිදා ඇතිකරගත් සම්මුතිය අනුව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සතුව තිබු එම බැඳුම්කර වෙනුවට නව බැඳුම්කර නිකුත් කෙරේ. මේ සඳහා කැමැත්ත පළ කරන ලෙස බැඳුම්කර හිමියන්ට නිල ආරාධනාවක් 2024 නොවැම්බර් 25 වැනිදා යවන ලද අතර ඒ සඳහා ලබාදුන් කාලය අවසානයේ දී මුල් ණය වලින් සියයට 98ක් ලබාදී ඇති පිරිස්වල එකඟතාව ඒ සඳහා ලැබී තිබුණි. ඒ අනුව මෙම වසර අවසන්වීමට ප්‍රථම ස්වෛරීත්ව බැඳුම්කර මගින් ලබාගෙන ඇති ණය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ඉඩ ලැබෙනු ඇත.
රජය විසින් මේ දක්වා නිකුත් කර ඇති ස්වෛරීත්ව බැඳුම්කර වෙනුවට අලුතෙන් නිකුත් කරන බැඳුම්කරය රටේ සර්ව ආර්ථික තත්වයට අනුකූලව වෙනස්වන අයුරින් සකස්කර තිබේ. රජයේ ආදායම් ලබා ගැනීම ඇතුළු ඉලක්ක සම්පූර්ණ කළ විට ගෙවීමට සිදුවන ණය මුදලේ අඩුවීමක් ඇතිවන ආකාරයේ සම්බන්ධතාවක් ඇතිකර තිබේ. මේ අකාරයට මෙම නව ගිවිසුම යටතේ ස්වෛරීත්ව බැඳුම්කර මගින් ලබාගෙන ඇති මුදල් වලින් ඩොලර් බිලියන 3.6ක මුදලක් ප්‍රතිව්‍යුහගතකරණය කරන අතර සියයට27ක ණය කපා හැරීමක් සිදුවේ. එවැනි තත්වයක් තුළ ශ්‍රි ලංකාවට ඉතා වාසිසහගත කොන්දේසි මත ස්වෛරීත්ව බැඳුම්කර පිළිබඳ ණය ආපසු ගෙවීමට අවස්ථාව සැලසී තිබේ.
මේ ආකාරයට රටේ ආර්ථික අර්බුදය සහ ණය අර්බුදය ඉහළ මට්ටමේ උපාය මාර්ගික විසඳුමක් ඔස්සේ නිරාකරණය කර ගැනීමට ලැබීම සියලු දෙනාගේම සතුටට හේතුවී ඇති බව ප්‍රකාශ වී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ද ශ්‍රී ලංකා මහ බැංකුව ද ප්‍රකාශ කර ඇත්තේ ස්වෛරීත්ව බැඳුම්කර මේ ආකාරයෙන් ප්‍රතිව්‍යුහගත කරණයට ලක් කිරීමට හැකිවීමෙන් සියලු දෙනාටම සතුටුවිය හැකි බවයි. අද අප සතුටුවන නමුදු රට බංකොළොත්භාවයට ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ මහජනතාව මුහුණදී සිටි තත්වයත්, රට වැසියන් අත්විඳි ආර්ථික පීඩනයත්, රට ආර්ථික වශයෙන් බිඳ වැටීමත් සලකා බලනවිට වසර දෙකක් වැනි කාලසීමාවක් තුළ ආර්ථික ස්ථායීතාවක් ගොඩ නගා ගැනීමට හැකිවීම බොහෝ දෙනකුගේ පුදුමයට හේතුවී ඇති කරුණකි. සමහර රටවල් බංකොළොත්භාවයට පත්වී ඉතා දිගු කලක් ගතවී ඇතත් සම්පූර්ණයෙන්ම ආර්ථික ස්ථායීතාව ළඟකාර ගැනීමට එම රටවලට තවමත් නොහැකි වී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ඇතිකරගෙන එම ගිවිසුම්වල අඩංගු කරුණු ක්‍රියාත්මක කිරීමට යෑමේදී බොහෝ රටවල දේශපාලන අර්බුද ද ඇතිවූ බව පෙනී යයි. සමහර ආර්ථික ප්‍රතිසංස්කරණවලට මහජනතාවගෙන් දැඩි විරෝධතා එල්ල වීම නිසා සමහර ඒවා නවතා දැමීමට සිදුවිය. කෙසේ වුවද ශ්‍රී ලාංකික ජනතාව මිළ ඉහළ දැමීම, ආනයන තහනම් කිරීම් වැනි ක්‍රියාවල දී උපේක්ෂා සහගතව කටයුතු කර ඇත.
පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී ජනතාව ලබාදුන් තීන්දුව අයිඑම්එෆ් ප්‍රතිසංස්කරණවලට තම විරෝධතාව නිහඬව ප්‍රකාශ කළ එක් ක්‍රමයක් ලෙස හැඳින්විය හැක. සමහර ප්‍රතිසංස්කරණ පිළිබඳ වෙනස්කම් ඇතිවනු දැකීම ඔවුන්ගේ බලාපොරොත්තුව වී ඇතැයි සිතිය හැක. කෙසේ වුවද රජය විසින් පවතින යථාර්ථය අවබෝධ කරගෙන කටයුතු කිරීම නිසා මේ ආකාරයට ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය ද සාර්ථකව අවසන් කිරීමට හැකිවී තිබේ. ජනාධිපතිවරණයෙන් පසු මුල්වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවු අවස්ථාවේ දී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මේ දක්වා අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග සහ එකඟතා වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නැති බව දන්වා ඇත. ඒ හේතුවෙන් සැප්තැම්බර් මස 19 වැනිදා ඇතිකර ගනු ලැබු එකඟතා අනුව දිගටම කටයුතු කිරීමටත් එකඟතා අනුව ක්‍රියාත්මක වීමටත් හැකිවූ අතර පෙරේදා ලැබුණු ප්‍රතිඵලයෙන් පැහැදිලි වන්නේ අවසන් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ද සාර්ථකව අවසන් වී ඇති බවයි.
මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයේ ජනාධිපති සහ මුදල් ඇමති ලෙස අනුර කුමාර දිසානායක මහතා විසින් දක්වා ඇති අදහස් ඇතුළත් වේ. ”ණය හුවමාරුව ක්‍රියාත්මක කිරීම පසුගිය වසර දෙකේ වේගවත් සාකච්ඡාවල ප්‍රතිඵලයකි. එමගින් ශ්‍රී ලාංකික ජනතාවට විශාල ණය සහනයක් ලැබෙන අතර කෙටි කාලීනව හා මැදි කාලීනව අපගේ සමාජ සහ සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත් සැපයීමක් ද සිදුවේ. අපගේ රාජ්‍ය මූල්‍ය ක්‍රමයේ දිගු කාලීන චිරස්ථායි බව ද සහතික කරනු ඇත”. මීට පෙර ගන්නා ලද පියවර හේතුවෙන් මහජනතාවට භුක්ති විඳීමට ඉඩ ලැබෙන දේවල් ජනාධිපතිවරණ සහ මහමැතිවරණ ඡන්ද වලින් පසු සමහර පිරිස් විසින් තමන්ගේ කාර්යයන් ලෙස හඳුන්වා දීමට උත්සාහ කරන ආකාරය බොහෝ දෙනකුට දැක ගන්නට ලැබුණි. එවැනි තත්වයකට නොවැටී ජනාධිපතිවරයා විසින් මෙම ජයග්‍රහණය දිගුකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස හැඳින්වීමෙන් ලබාදෙන පණිවිඩය මාධ්‍ය හසුරුවන බොහෝ අය විසින් හඳුනාගත යුතුව ඇත.
යළි යළිත් මතක් කළ යුතු නොවූවත් කෝවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය සහ බංකොළොත්භාවය රටේ ජනතාවටත්, ආර්ථිකයටත් මහා පීඩාවක් එල්ල කළේය. දැන් ආර්ථිකයටත්, ජනතාවටත් තරමක සැහැල්ලුවක් ද අත්කරදෙන ආකාරයෙන් ණය ගෙවීම පහසු කොන්දේසි මත සම්පූර්ණ කිරීම සඳහා ඉඩ ලැබී තිබේ. ඒ නිසා රටේ ආර්ථික සංවර්ධනයට සහ මහජනතාවට සහන සැලසීමට හැකිවන ආකාරයෙන් සම්පත් යොදා ගැනීම සඳහා අවස්ථාව සැලසී තිබේ. ඒ තුළින් රටේ ආර්ථිකය වෙනස් මගකට යොමු කිරීම සඳහා ඉතා හොඳ පසුබිමක් සැකසී තිබේ.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා
අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර
ශ්‍රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට
නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව
සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිය පළමු නිල සංචාරය වශයෙන් ඉන්දියාව තෝරා ගෙන තිබේ. ශ්‍රී ලංකා ඉන්දියා සබඳතා නවතම පැතිකඩකට යොමු කරන අවස්ථාවක් වනු ඇතැ
ඇඳුම් පැලඳුම් භාවිතයෙහි ඉතිහාසය ඉතා දීර්ඝය. ඇඳුම් යනු වස්ත්‍ර වන අතර පැලඳුම් යනුවෙන් විවිධ ආභරණ ගැන සඳහන් වෙයි.මානව සමාජයෙහි ආරම්භයේ සිටම ඇඳුම් පිළිබ
ආණ්ඩුව මේ වනවිට මුහුණ දී සිටින ක්ෂණික ප්‍රශ්නවලින් එකක් හැර අනෙක් සියල්ලම ඇති වීමට වගකිව යුත්තේ මෙතෙක් පැවැති ආණ්ඩුය. එහෙත් ඒ සියල්ල විසඳීමේ වගකීම ඇත්
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
බැඳුම්කර ආර්ථික බලපෑම