සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධ නීතිය ඒකාබද්ධ කිරීම සහ සංශෝධනය කිරීම සඳහා වූ පනතක්” යනුවෙනි.
මෙම ආඥා පනත සුරාබදු ආඥා පනත ලෙස නම් කර ඇත. එහි පළමු පරිච්ඡේදයේ දෙවැනි වගන්තියේ මෙලෙස සඳහන් වෙයි. මෙම ආඥා පනතේ අඩංගු විෂයන්හි හෝ පද සම්බන්ධයෙහි අන්‍යාර්ථයක් තිබේ නම් හැර “බීර යනුවෙන් හැදින්වනුයේ ඒල්, ස්ටවුට්, පෝටර් සහ මෝල්ට් ධාන්‍යයෙන් පැසවීමෙන් කරනු ලබන සියලූම මත්පැන්” කියාය.
සුරාබදු ආඥා පනතේ එසේ අර්ථ දක්වා තිබුණද මේ වෙන විට ලංකාවේ නිෂ්පාදිත බීරවල ප්‍රමිතිය ගැන නම් ඇත්තේ කනගාටුදායක තත්වයකි. සුරාබදු ආඥා පනතේ නීතිරීතිවලට පටහැණිව සීනි සහ සහල් යොදා ගනිමින් මෙරට බීර නිෂ්පාදනය කෙරෙන බවට මේ වෙන විට වාර්තා වී තිබේ. සුරාබදු ආඥා පනතට අනුව බීර නිපදවිය හැකි ධ්‍යන්‍ය වර්ග නම් කර ඇත. එසේම ඕනෑම ධාන්‍ය වර්ගයක් යොදා ගෙන බීර නිෂ්පාදනය කළ හැකිය. එහෙත් එසේ නිපදවිය හැකි ධාන්‍ය වර්ග සුරාබදු ආඥා පනතේ නම් කර තිබියදී ඊට අනුකූල නොවෙන අයුරින් ගෙන බීර නිපදවීම නීතියට පටහැණිය. බීර නිපදවිය හැකි ධාන්‍ය අතරට සහල් ගැන සඳහන් වෙන්නේ නැත. එසේම බීර නිෂ්පාදනයේදී මෝල්ට් භාවිත කළ යුතු බවට පනතේම පෙන්වා දී තිබේ. එහෙත් මෙරට බීර නිෂ්පාදකයන් මෝල්ට් වෙනුවට සීනි කර කර දමා බීර නිෂ්පාදනයට යොද ගන්නා බවට හෙළි වී තිබේ.
1913 දී සුරාබදු ආඥා පනත ගෙන එන කාලයේදී මෙරට සහලින් ස්වයංපෝෂිත බව බ්‍රිතාන්‍ය ජාතිකයෝද දැන සිටියහ. එහෙත් ඔවුහු සහල්වලින් බීර නිෂ්පාදනය කිරීමට සුදානම් වූයේ ද නැත. එනිසා පනතේ ද සහල් බීර නිෂ්පාදනය කිරීමට යොදා ගත හැකි බව සඳහන් කර ද නැත. සුරාබදු ආඥා පනතේ බීර නිෂ්පාදනයට යොදා ගත හැක්කේ මොනවාද කියා පැහැදිලිව දක්වා තිබියදී බීර නිෂ්පාදන සමාගම් බීර නිෂ්පාදනයට සහල් සහ සීනි යොදා ගන්නේ කෙසේද යන්න ගැටලුවකි. එය නීතිවිරෝධී ක්‍රියාවකි.
මෙම නීති විරෝධී බීර නිෂ්පාදනය සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය මෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS අනුමැතියද ලබාගෙන ඇත්තේ කෙසේද යන්න ගැටලුවකි. SLS 234 1985 5:1 ජේදයේ other fermentable carbohydrate preparations may also be added ජේදය උපයෝගී කරගෙන සීනි යොදාගෙන බීර නිෂ්පාදනයට බීර නිෂ්පාදිත සමාගම් කටයුතු කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයද සුරාබදු ආඥා පනත උල්ලංඝනය කට ක්‍රියා කර ඇත. සුරාබදු දෙපාර්තමේන්තුව මේ සියලු වැරැදි කිරීමට අවසර ලබාදී බලා සිටීමද පුදුමයට කරුණකි.
සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත පසුගියදා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත ගොස් පැමිණිලි කරන්නේ ද මේ සම්බන්ධයෙනි. සංජය මහවත්ත පෙන්වා දෙන්නේ සීනි සහ සහල් යොදාගෙන බීර නිෂ්පාදනය කරන බවට ඔප්පු කළ හැකි සාක්ෂි තමන් සතුව ඇති බවය. මේ ගැන ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද ඔහු සුදානමින් සිටියි. බීර නිෂ්පාදිත සමාගම් පසුගිය කාලයේදී ජනාධිපතිවරයා වෙත පෙන්වා දී තිබුණේ දිනකට සහල් කිලෝ 80,000ක් බීර නිෂ්පාදනයට අවශ්‍ය බව කියාය. වාර්ෂිකව ලංකාවේ සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 24ක් වන අතර ඉන් දිනකට කිලෝ 80,000ක් බීර නිෂ්පාදනයට යොදා ගන්නා එක ඉතා සුළු ප්‍රමාණයක් බව ඔවුන් පෙන්වා දී තිබුණි. එය වාර්ෂික මුළු සහල් පරිභෝජනයෙන් සියයට දශම 6ක් වැනි සුළු ප්‍රමාණයක් බවද බීර නිෂ්පාදකයන් ජනාධිපතිවරයා වෙත පෙන්වා දී තිබෙන බවද සංජය මහවත්ත පවසයි. බීර නිෂ්පාදිත සමාගම් මෙලෙස ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති කරුණු නීති විරෝධීය. එම කරුණු පාර්ලිමේන්තුවේ පනත් උල්ලංඝනය කිරීමක් බවද සංජය මහවත්ත පෙන්වා දෙයි.
එම පෙන්වාදීමේදී තවත් කාරණාවක් බීර නිෂ්පාදකයන් පෙන්වා දී ඇත. එම කාරණාව වන්නේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බීර රටවල් 18කට අපනයනය කරන බවය. එලෙස යවන බීර බදුවලින් නිදහස් කර ඇත. ඒ අනුව බීර නිෂ්පාදිත සමාගම් පෙන්වා දෙන්නේ විශාල විදේශ විනිමයක් තම සමාගම් හරහා රටට ගෙන එන බවය. එහෙත් එම ඩොලර් උන්ඩියල් නොවී රට ඇතුළටම එන බවට කිසිම සහතිකයක්ද නොමැති බව සංජය මහවත්ත පෙන්වා දෙයි. බීර විදේශයට යැවීමෙන් රටට විශාල ඩොලර් ආදායමක් එන බවට කිසිදු තැනක දත්ත නොමැති බවත් එලෙස එන මුදල්වලට වෙන දේ ගැන කිසිවකු නොදන්නා බවද සංජය මහවත්ත පෙන්වා දෙයි.
බීර නිෂ්පාදිත සමාගම් විදේශයට යවන ඇණවුමට ඇති බීර නියමිත ප්‍රමාණයට නොයවන බවටද මේ වෙන විට තොරතුරු ලැබී ඇත. එම බීර ඇණවුම් කරන සමාගම හෝ පුද්ගලයා හා එක්ව මෙරට ඇතැම් අය කූට ව්‍යාපාරයක නිරතවෙන බවද සංජය මහවත්ත පෙන්වා දෙයි. යම් රටකට බීර ටින් ලක්ෂයක් අපනයනය කරන බව පෙන්නුවද ඇත්තටම යන්නේ බීර පිර වූ ටින් හරි අඩකි. එම ඕඩරයේ සෙසු බීර පිරවූ ටින් වෙනුවට යන්නේ හිස් ටින්ය. එම රටේ ඕඩරය ගන්න කෙනා නියමිත ප්‍රමාණයට බීර නොමැති බව දැන දැනම බීර විදේශ ගත කරන සමාගම් වෙත බීර සඳහා මුදල් ලබා දෙයි. විදේශයට නොයවන බීර ඇත්තටම ඇත්තේ ලංකාව තුළය. ඒවා අළෙවි වන්නේ ලංකාවේ වෙළෙඳ පොළේය. එහෙත් එම බීර විදේශයට යැව් බව පෙන්නා එමගින්ද මුදල් ලබා ගන්නේ බදු සහනයට මුවා වෙමිනි. එතනදී හිස් ටින් සඳහා ආදායමක් උපයන ඇතැම් සමාගම් ලංකාව තුළ එම බීර විකුණා ද මුදල් උපයන බවට තොරතුරු මේ වෙන විට ලැබී ඇති බවට සංජය මහවත්ත පෙන්වා දෙයි. මේ අය බදු සහනයට මුවා වී විදේශයට යවන බීර වලින් බදු සහන ලබා ගෙන කරනුයේ කූට වැඩක් යැයි සංජය මහවත්ත පෙන්වා දෙයි.
අද ලංකාවේ තිබෙන්නේ බියර් නොවේ. ඇත්තේ සීනිකරිඤංය. බියර් කියා වෙළෙඳපොළේ ඇත්තේ ඒවාය. බියර් කියා නීති විරෝධීව සහල් සහ සීනි යොදාගෙන නිෂ්පාදනය කරන සීනිකරිඤං බියර් ලෙස මේ වෙන විට වෙළෙඳපොළේ තිබේ. මෙය මිනිසාගේ ශරීරයට අතිශය අහිතකරය. අද බොහෝ දෙනා බියර් කියා බොන්නේ උග්‍ර විස කාරකයකි. මීට අමතරව බීර නිෂ්පාදිත සමාගම් බීර නිෂ්පාදනයට යොදා ගන්නා සහල්වලට ගුල්ලෝ ගහන එක නතර කිරීමට විස කාරක රසායනික යොදා ගනී. එම රසායනික විස සහල්වල ආසනික් ඇත්නම් ඒ විස බියර් එකට එකතු වෙන බව සංජය මහවත්ත පෙන්වා දෙයි.
පොහොර සහනාධාරය ලබා දෙමින් නොමිලේ ජලය ලබා දෙමින් වී මිලදී ගැනීමට ගබඩා විවෘත කරමින් කෘෂිකර්ම නිලධාරින්ගේ උපදෙස් ලබාදෙමින් සහල් නිෂ්පාදනයට මහත් දායකත්වයක් ලබා දීමට පවතින ඕනෑම රජයක් ක්‍රියාකරයි. මේ සඳහා රජය මහජන බදු මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කරයි. ලංකාවේ වාරි කර්මාන්තය සම්පූර්ණයෙන්ම නඩත්තු වෙන්නේ මහජන බදු මුදලෙනි.
වාරි කර්මාන්තයේ ජලය ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ කෘෂිකර්මාන්තය, ජල විදුලියටය. ඉන් කෘෂිකර්මාන්තය අංක එකය. එසේ විශාල වියදමක දරා ලංකාවේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට වියදම් කළ ද අවසානයේ එහි වාසිය යන්නේ බීර නිෂ්පාදකයන්ටය. පසුගිය කාලයේ රටේ ජනතාවට කන්න සහල් හිඟ වෙද්දි බීර නිෂ්පාදකයන් සතුව ඕනෑ තරම් තිබුණ බව දැනගන්නට ඇත. සහල් මෝල් හිමියන්ද මේ ගැන නොදැන ඉන්නවා යැයි පිළිගත නොහැක.
2024-11-04 දින කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඩඩ්ලි සිරිසේන කියා සිටියේ මෙවැන්නකි. උපුටා ගැනීම “වසරකට ඕනෑ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 18ක්. ලක්ෂ 18ක් හදන්න රටේ ආදායම මෙට්‍රික් ටොන් ලක්ෂ 46යි. හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 18ක් හදන්න වී මෙට්‍රික් ටොන් ලක්ෂ 28ක් ඕන. එතකොට වී මෙට්‍රික් ටොන් දහඅට ලක්ෂ පනස්දහසක් කාලා ඉතිරි තියෙන්නත් ඕනෑ. මේ ප්‍රමාණයෙන් අපි අයින් කරන්න ඕනෑ බිත්තර වී සඳහා. ඒ ටික ඇරියොත් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 15ක්. මේ කියන ආදායම අපේ රටේ ඇතුළේ නැහැ. හැබැයි නැතුව නොවේ. බියර් හදන්නේ හාල්වලින්, කුකුල් කෑම හදන්නේ හාල්වලින්, ඒවා හදන්න කීරි සම්බා ගන්නේ නැහැ. ඒවා හදන්න ගන්නේ නාඩු වී. ඒ නිසා අපි ඒ ව්‍යාපාරිකයන්ට බැනලා වැඩක් නැහැ. මොකද ඒවා රටේ අවශ්‍යතාව. කට්ටිය බියර් බිව්වත්, කුකුළන් හැදුවත්, බිත්තර කෑවත් ඩඩ්ලි තමයි මේකට වැරදි” යැයි කියාය. එසේ නම් ඩඩ්ලි පෙන්වා දෙන පරිදි සහල් තොග යන්නේ බීර නිෂ්පාදකයන් වෙත බව ස්ථිරය. ඒ ගැන සොයා බැලීම බලධාරින් සතු වගකීමකි.
එහෙත් බලධාරින් මේ ගැන දැන නොදන්නවාසේ සිටිනවාදැයි සිතෙන්නේ මේ වටා සිදුවෙන ක්‍රියාදාම හමුවේය. බියර් නිෂ්පාදනය කිරීමට බීර සමාගම් වී මිලදී ගන්නේ වෙළෙඳපොළ මිළ ගණන්වලට වඩා රුපියල් 10-20ක් වැඩියෙනි. මේ ගැන ප්‍රධාන මෝල් හිමියන් කතා කරන්නේ ද නැත. කතා කළත් එය මාධ්‍ය සන්දර්ශනයක් පමණි. සහල් මෝල් හිමියන්ගෙන්ද බීර සමාගම් විශාල ප්‍රමාණයෙන් සහල් මිලදී ගැනීමක් සිදුකරන බවට තමන් සතුව තොරතුරු පවතින බව සංජය මහවත්ත ද පෙන්වා දෙයි. පාරිභෝගික අධිකරිය ද මේ ගැන දැන දැනම කතා නොකිරීම කනගාටුවට කරුණකි. සුරාබදු දෙපාර්තමේන්තුව මේ ගැන කතා කරන්නේ නැත. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය බීර සමාගම්වලට සීනි සහ සහල්වලින් බීර නිෂ්පාදනයට අවසර දී ඒ සඳහා ප්‍රමිතිගැන සහතිකයක් ද ලබා දී ඇත. මේ වෙන විට මේ ගැන කතා කළ හැකි ප්‍රධාන ඇමතිවරුන් දෙදෙනකුගේ කටවල් ද වසා දමා මේ ආකාරයට බීර නිෂ්පාදනය කරන බවට තොරතුරු ලැබී ඇති බව සංජය මහවත්ත පෙන්වා දෙයි.
ප්‍රමිතියට බියර් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය බාර්ලි, මෝල්ට් විදේශයෙන් ගෙන්වීමට පුළුවන. සුරාබදු ආඥා පනතට අනුව සහල්වලින් සහ සීනි යොදාගෙන බියර් නිෂ්පාදනය කිරීමට නොහැකිය. එහෙත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හරහා ඊට ප්‍රමිති සහතිකයද ලබා දී ඇති පසුබිමක ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රස පරීක්ෂක මාගේ අංක 12/2013/Legal යනුවෙන් සුරාබදු කොමසාරිස් ජනරාල් වෙත ලිපියක් යවමින් මෙසේ සඳහන් කර ඇත. “සුරාබදු ආඥා පනතට අනුව බියර් යනු මෝල්ට් පැසවීමෙන් සාදා ගන්නා ලද නිෂ්පාදනයකි. එබැවින් බියර් නිෂ්පාදනයේදී සීනි යොදා ගැනීමට ඉඩදීම සුරාබදු ආඥා පනතට අනුව නීත්‍යනුකූල නොවේ. එසේ වුවද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ බියර් සඳහා ප්‍රකාශිත ප්‍රමිතිය වන SLS 234 1985 5:1 ඡේදයේ “other fermentable carbohydrate preparations may also be added” යන වගන්තියට අනුව සීනිද fermentable carbohydrate එකක් වේ. මෙම වගන්තිය සුරාබදු ආඥා පනතේ සඳහන් කරුණුවලට පටහැණි බැවින් SLS ප්‍රමිතියේ මෙම වගන්තිය සංශෝධනය කිරීමට සුදුසු බව මාගේ නිගමනය බව” යැයි එම ලිපියේ සඳහන් වෙයි. එසේ නම් ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවද බියර් නිෂ්පාදනයේදී සීනි යොදා ගැනීම අනුමත කරන්නේ නැත.
බියර් බිව්වොත් ජීවිතය අවදානමක
ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ
සංගමයේ සභාපති අජිත් උඩුගම
මේ සම්බන්ධව අදහස් දක්වන ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම පෙන්වා දෙන්නේ ද සුරාබදු ආඥා පනතට අනුව සහල්වලින් බියර් නිෂ්පාදනය කළ නොහැකි බවය. සීනි වෙනුවට මෝල්ට් යොදා ගත යුතු බව කියාය. එහෙත් බියර් හදන්න ඕනෑම ධාන්‍යයක් භාවිත කරන්න පුළුවන්. සහල්වලිනුත් හදන්න පුළුවන්. බියර් කියන්නේ ධාන්‍යවලින් හදන බීමක්. ඒත් මෙරට සුරාබදු ආඥා පනතේ සහල්වලින් බියර් හදන්න බෑ කියලා තහනම් කරලා තිබෙන නිසා බියර් හදන්න බෑ.
සහල්වලින් බියර් හදනවා නම් මේ පනත සංශෝධනය කළ යුතුයි. ඒවගේම ඊට වෙනම බද්දක් අයකළ යුතුයි. සහල්වලින් බියර් හදන එක නතර කරන්න පුළුවන්. ඒත් සුරාබදු දෙපාර්තමේන්තුව ඒ ගැන නිසි නියාමනයක් නෑ. මත්පැන් සහ බියර්වල නිසි ප්‍රමිතියක් නෑ. බියර් නිෂ්පාදනය කරන සමාගම් බියර් දවස් 2-3 න් හදනවා. ඇල්කොහොල් සීනි දානවා. ඒක නිසා බියර් බීලා අතුරු ආබාධ ඇති වෙන එක වළක්වන්න බෑ. බියර් බිව්වොත් ජීවිතය අවදානමක හෙළන එකයි වෙන්නේ. මේ විදියට බියර් හදන එක නීති විරෝධී නම් ඒවා හදන්න දෙන එකත් නීති විරෝධියි. ඒක අල්ලස් පනත යටතේ වරදක්. ඒක නිසා සුරාබදු දෙපාර්තමේන්තුව වග කියන්න ඕන. බියර් සහ මත්පැන් ප්‍රමිතියට හදන්න ඕන කියලා අපි CA rit/4/2019 කියා නඩුවකුත් ගොනු කර තිබෙනවා යැයි අජිත් උඩුගම මහතා කීය.
මේ අතර ඉන්දියාවෙන් පසුගිය කාලයේ ගෙන ආ සහල් මෙට්‍රික් ටොන් 75,000න් වැඩි කොටසක් නැවේදීම මිලදී ගෙන ඇත්තේ බියර් නිෂ්පාදනය කරන සමාගමක් විසිනි. එසේම තවත් සහල් තොගයක් සහල් පිටිකරන සමාගමකට ලබා දී ඇත. ඒ එම සහල්වල නියමිත මිලට වඩා කිලෝවක් රුපියල් තුනක් වැඩියෙන් බවද වාර්තා වෙයි. ඒ අනුව අප බියර් නිෂ්පාදනය කිරීමට සහල් මිලදී ගත් සමාගමේ හිමිකරුට කතා කළ විට පවසා සිටියේ “පිස්සුද මල්ලි එක එක්කෙනා බොරු මඩ ප්‍රචාරය කරන” බවකි. මේ ගනුදෙනුවේ තොරතුරු අප සතුව ඇති අතර ඒ ගැන රට හමුවේ ඉදිරියේදී හෙළි කිරීමට බලාපොරොත්තු වෙමු.
සහල්වලින් බියර් නිෂ්පාදනය කළ විට මිලිලීටර් 500 බියර් කෑන් එකක් සඳහා නිෂ්පාදන වියදම රුපියල් 80 කටත් අඩු අගයක් ගනී. බියර් බෝතලයක් හදන්න වැයවෙන්නේ රුපියල් 100කි. ඒ අනුව බදු මුදල් ද එක් වු විට සම්පූර්ණ වියදම රුපියල් 300-400කට ආසන්න වෙයි. එසේ නම් සහල්වලින් සහ සීනි දමා බියර් හැදීමෙන් ඒවා නිෂ්පාදනය කරන සමාගම් අධික ලාබයක් උපයන බව නම් කිව යුතුය. එනිසා බියර් හදන්න යන නිසි වියදම් ගැන ද ඉදිරියේදී තොරතුරු හෙළි කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
මේ ගැන අප පාරිභෝගික සේවා අධිකාරියේ දුරකතන අංක 0117755455ට අවස්ථා කිහිපයකදී ගත්තද ඊට ප්‍රතිචාරයක් ලැබුණේ නැත. එසේම මෙම අධිකාරියට මේ සඳහා පිළිතුරුදීමේ අයිතිය තවමත් විවෘතව පවතියි.
සාකච්ජාවලින් පසු තීන්දුවක් ගන්නවා - අධ්‍යක්ෂ ඉංජිනේරු
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
එහෙත් පසුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ඉංජිනේරු සුනන්ද ෆනෑන්ඩු පැවසුවේ මේ ගැන අමාත්‍යංශ මට්ටමින් සහ සුරාබදු දෙපාර්තමේන්තුව මෙන්ම නිෂ්පාදකයන්ද සමඟ සාකච්ජා පැවත් වූ බවය. එහිදී සුරාබදු පනත වෙනස් කරනවද නැතහොත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වගන්ති සංශෝධනයක් කරනවාද යන්න ගැන කතා කළ බවය. මේ ගැන අවසන් තීන්දුවක් තවම ගෙන නොමැති අතර අවසන් තීන්දුව සාකච්ජාවලින් අනතුරුව ගන්නා බවද සුනන්ද ෆනෑන්ඩු කීය.
ආහාර කමිටුව සමග සාකච්ඡා කළා. මේ ගැන තීන්දුවක් ගන්නවා. - සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර
සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් උදය කුමාරගෙන් මේ ගැන විමසූ විට පැවසුවේ මෙවැන්නකි.
අපි මේ ගැන හොයනවා. මේ ගැන අපි අමාත්‍යාංශයේදි කතා කළා. මේ ගැන ආහාර කමිටුව සමග කතා කළා. ආහාර කමිටුවෙන් ලැබෙන නිවේදනය සමඟ ඉදිරි පියවර ගන්නවා යැයි කොමසාරිස් ජනරාල්වරයා කීය.
(***)
ප්‍රගීත් සම්පත් කරුණාතිලක
සුධාරිකා ගුරුසිංහ
සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බියර් බොන්නේ බලාගෙනයි