සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟකම් පසෙකින් තබමින්ය. තමන්ගේ ජීවිතය අලුත් කර ගැනීමේ උපක්‍රමයක් ලෙසින් අලුත් අවුරුද්ද යොදා ගැනීම ඉතාමත් වැදගත්ය.
මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ අලුත් අවුරුද්ද ගැන නොවේ. මේ දිනවල රටේ දේශපාලනයේ මතුවී තිබෙන ‘‘ඉන්දියානු සම්බන්ධතාව’’ පිළිබඳ ගැටලුව මේ සතියේ මගේ මාතෘකාවය.
මෝදි අගමැතිවරයාගේ සංචාරය
ඉන්දියාව පිළිබඳ සාකච්ඡාව මෙවර මතුවුණේ මෝදි අගමැතිවරයාගේ සංචාරයත් සමගය. එතුමන්ගේ පැමිණීම රට පැත්තෙන් ඉතාමත් වැදගත් එකක් බව පැහැදිලිය. වත්මන් ආණ්ඩුව විසින් මෝදි අගමැතිතුමා ඉතාමත් ඉහළින් පිළිගැනීම ඉතාමත් හොඳ දෙයක්ය. එහෙත් මේ සංචාරය හරහා රටවල් දෙක අතර අත්සන් කළ ගිවිසුම්වල තිබෙන්නේ කුමන ආකාරයේ එකඟතාද යන කාරණය තවමත් පැහැදිලි නැත. සමහරුන් ආණ්ඩුවත් සමග පැටළෙන්නේ මේ කාරණය මුල්කර ගනිමින්ය.
ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය හරහා ලැබෙන යහපත් දේශපාලන හා ආර්ථික කරුණු මොනවාද යන්න තවමත් පැහැදිලි නැත. එසේ වී ඇත්තේ වත්මන් රජය බලයට පත්වීමට පෙර මුළු කාලයම (1967 සිට 2024 දක්වා සම්පූර්ණ කාලයම) පෙනී සිටියේ ඉන්දියාව පිළිබඳව බැහැරකිරීම්වාදී (Exclusive Reading) කියවීමකය. බොහෝ අය මේ මොහොතේ ප්‍රශ්න කරමින් තිබෙන්නේ ජවිපෙ + ජා.ජ. බලවේගය + අනුර දිසානායක යන බලවේගවල ඉන්දියාව පිළිබඳව තිබූ බැහැර කිරීම්වාදී කියවීමය.
සරල උදාහරණයක් ගතහොත් සාම්පූර් විදුලි බලාගාරය පිළිබඳ ජවිපෙ මතය සලකා බලන්න. මෙතෙක් කාලයක් සාම්පූර් බලාගාරය සම්බන්ධ ඉන්දියානු මැදිහත්වීම පදනම් වුණේ ඒ යෝජිත බලාගාරයට එරෙහිවය. ජවිපෙ ලේකම්වරයා ළඟදී කියා තිබුණේ ජවිපෙ විසින් 1988-89 කාලයේ ඉන්දියාව සම්බන්ධයෙන් තිබූ විරෝධය දැන් නැති බවය. එය එසේ විය හැකිය. එහෙත් ඉන්දියාව සම්බන්ධයෙන් ජවිපෙ සහ ජාතික ජන බලවේගය 2020 - 24 කාලයේ දැරූ ස්ථාවරය වෙනස් වූයේ කවර පදනමින්ද යන්න පැහැදිලි නැත.
මාක්ස්වාදය වෙනුවට අවස්ථාවාදය
ඉන්දීය - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම මේ සම්බන්ධයෙන් තවත් උදාහරණයක්ය. ETCA සම්බන්ධයෙන් ජවිපෙ මීට පෙර සිටි මතය වෙනස් කර ගැනීමේ සම්පූර්ණ අයිතියක් ඒ පක්ෂයට ඇත. ඒ අයිතිය පිළිබඳව අභියෝග කළ නොහැකිය. එහෙත් ඒ ආකාරයෙන් තමන්ගේ පක්ෂයේ මතය වෙනස් කර ගත්තේ කවදාද, කුමන සාධක මතද යන කාරණය රට හමුවේ තැබීම ඉතාමත් අවශ්‍යය. තවත් සරළව මේ සම්බන්ධයෙන් කතා කළහොත් මා කියන්නේ මෙවැනි කාරණයකි. වත්මන් ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් කීපය මහින්ද හෝ රනිල් ගේ ආණ්ඩුවක් අත්සන් කළා නම් ජවිපෙ ස්ථාවරය වන්නේ කුමක්ද යන්නය. ඉතිහාසයේ සිදුවීම් සාක්ෂි වශයෙන් ගතහොත් ඉතාම පැහැදිලි පිළිතුර වන්නේ ජවිපෙ විපක්ෂයේ සිටියා නම් මේ ගිවිසුම්වලට විරුද්ධ වෙන බවය.
දේශපාලනයේ යෙදෙන අය විවිධ වාද මත පදනම්ව කටයුතු කරන බව සැබෑය. ධනවාදය, සමාජවාදය, මාක්ස්වාදය, ජාතිකවාදය වැනි වචන ඔවුන් භාවිත කරන්නේ ඉහත සඳහන් ආකාරයේ වාදයක් හැඳින්වීමටය. ඒත් ඒ සියල්ලෙන් ඈත්වී හුදු අවස්ථාවාදය මත පමණක් ප්‍රතිපත්ති වෙනස් කිරීම සුදුසු නැති බව මගේ අදහසය.
නැගී එන ඉන්දියාව
ඉන්දියාව පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය විවේචනය කළ යුත්තේ නැගී එන ඉන්දියාවේ ආර්ථිකය සම්බන්ධව විරෝධයක් සිතේ තබාගෙන නොවේ. ලෝකයේ ආර්ථිකය බරපතළ ආකාරයෙන් අලුත් වී තිබේ. චීනය සහ ඉන්දියාව යනු ජනගහනය බිලියන 03කට ආසන්න විශාල කලාපයක්ය. මුළු ලෝකයේම ජනගහනය බිලියන 08ක් වන අතර, එයින් බිලියන 03කට ආසන්න පිරිසක් සිටින්නේ මේ රටවල් දෙකේය. ඒ අනුව ඉන්දියානු - චීන ආර්ථිකයත් සමග ගැට ගැසීමෙන් අපේ වැනි කුඩා රටකට විශාල ශක්තියක් ලැබෙන බව පැහැදිලිය.
ඉන්දීය වෙළෙඳපොළට සම්බන්ධවීම අපේ රටේ අනාගත ආර්ථික වර්ධනයට අත්‍යවශ්‍යම සාධකයක් බවට පත්වී ඇත. චීනය සමගද ඒ වර්ධනය සිදුකර ගත හැකි නම් අපේ වැනි කුඩා ආර්ථිකයකට අතිවිශාල වර්ධනයක් ඇති කරගත හැකිය. ඒ සම්බන්ධතා පදනම් විය යුත්තේ ශක්තිමත් ජාත්‍යන්තර සම්බන්ධතාවක් සහ නිවැරැදි ආර්ථික ප්‍රතිප්තතියක් මතය. විපක්ෂයේ සිටි කාලයේ ජවිපෙ දැරූ ස්ථාවරය වැරදි බවට ඒ පක්ෂයට අදහසක් තිබෙනවා නම් එහි වැරැද්දක් නැත. එහෙත් ඒ ප්‍රතිපත්ති වෙනස්කම විවෘතව සාකච්ඡා කරන්නට තරම් ආණ්ඩුව එඩිතර විය යුතුය.
ඉන්දීය ආර්ථිකයේ වර්ධනය සමගින් ඔවුන් අලුත් දකුණු ආසියානු කලාපයක් පිළිබඳ අදහස මේ වන විටත් ඉදිරිපත් කර ඇත. ඉන්දීය විදේශ අමාත්‍ය ජයි ශංකර් මහතාගේ නවතම කෘතිය වන ‘‘Why Bharat Matters නම් පොතේ ඉතාමත් පැහැදිලිව දක්වා ඇත්තේ, ඔවුන් විශ්වාස කරන්නේ ඒකමානීය ලෝකයක් හෙවත් Unipolar World එකක් නොව බල කඳවුරු කීපයක් තිබෙන Multipolar World එකක් හෙවත් බහුමානීය ලෝකයක් පිළිබඳවය. ඒ අනුව චීනය, ඉන්දියාව, යුරෝපය, ඇමරිකාව සහ පැසිෆික් කලාපීය එකමුතුව, අප්‍රිකාව වැනි ආර්ථික බලකඳවුරු කීපයක් සහිත ලෝකයක් හැදෙමින් පවතින බව ඔවුන්ගේ අදහසය. එසේම එවැනි නව බල රටාවකට ගැළපෙන පරිදි ලෝකයේ ජාත්‍යන්තර සබඳතා ද මේ වන විට වෙනස් වෙමින් පවතී. පැරණි එක්සත් ජාතීන්ගේ සංගමය පරයමින් අලුත් ජාත්‍යන්තර එකඟතා මතුවෙමින් පවතී.
G-7 රටවල් ලෙසින් කාණ්ඩ ගත වී තිබෙන කැනඩාව, ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය සහ ජපානය යන රටවල් ලෝකයේ නව බල රටා ගොඩනගමින් තිබේ. මේ රටවල් 7 දෙස බලද්දී පෙනී යන එක් ඓතිහාසික කාරණයක් වන්නේ දෙවැනි ලෝක යුද්ධයේදී දෙපිලට බෙදී ලෝක බල තුලනයෙන් ඉවතට විසිවී සිටි ජර්මනිය, ඉතාලිය සහ ජපානය යන රටවල් තුනම ඇමරිකාව, එංගලන්තය සහ ප්‍රංශය සමග නව ආකාරයෙන් සන්ධානගත වී ඇති ආකාරයය. චීනය, ඉන්දියාව, රුසියාව, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව Brics ලෙසින් සන්ධාන ගතවී ඇත්තේ ඉහත සඳහන් G-7 කාණ්ඩය සමගින් තරග කාරිත්වයක් ගොඩනගමිනි.
ලෝක ආර්ථිකය එක් පැත්තකින් G-7 රටවල් සහ Brics රටවල් අතර තරගකාරිත්වයක් ගොඩනැගීමත්, අනෙක් පැත්තෙන් තනි රටවල් ලෙසින් චීනය, ඉන්දියාව, ඇමරිකාව, යුරෝපය, රුසියාව, බ්‍රසීලය වැනි ආර්ථික ඒකකයන්ට ගොනුවීම වැළැක්විය නොහැකිය.
මෙවැනි තත්වයකදී ඉන්දියාව සමග ගොඩනගන ආර්ථික සම්බන්ධතාව සහ චීනය සමග ගොඩනගන ආර්ථික සම්බන්ධතාව පිළිබඳව ඉතාමත් පරෙස්සමින් සහ මූලෝපායන් සහිතව සිදුකිරීම අපේ රටේ ප්‍රතිප්තතිය විය යුතුය. වත්මන් ආණ්ඩුව මේ කාරණය පිළිබඳව වැඩ කරන්නේ ‘‘වැටෙන බෝලයට ගහන’’ ආකාරයෙන් බව සමහරුන්ගේ අදහසය. ඒ තත්වය රටේ අනාගතයට හිතකර නොවන බව ඉතාමත් පැහැදිලිය.
නොදැන ගියොත් අතරමග
අපේ රටට ඉන්දියාවේ තිබෙන සම්බන්ධතාව ඉතාමත් තීරණාත්මක එකකි. එය අශෝක රජතුමාගේ කාලයේ සිට එක පැත්තකිනුත්, එළාර රජුගේ කාලයේ සිට තව පැත්තකිනුත් වර්ධනය වූ එකකි. මේ කාලයටත් පෙර රාම - රාවන අඩවියේත්, විජය ඇතුළු පිරිස පැමිණීම සම්බන්ධ කාලයේත් ඉන්දියානු සම්බන්ධතාව තිබූ බව පැහැදිලිය.
යටත් විජිත කාලයේදී මේ රටවල් දෙකේම ස්වදේශිකයන්ගේ අරගල අතර යම් සමානකමක් තිබූ බවක් පැහැදිලිය.
මේ සම්බන්ධතාවයේ නිදහසින් පසු පළමු අවධිය, එනම් 1948 සිට 1977 කාලයේ තිබුණේ යම් ආකාරයක මිත්‍රශීලි තැනකය. ඩී.එස්. හා කොතලාවල ඉන්දියාව සම්බන්ධ විවේචනයක් සහිතව සිටියත්, ඩඩ්ලි සහ සිරිමා බණ්ඩාරනායක වැඩ කළේ ඉන්දියාව සමග ඉතාමත් හොඳ මිත්‍රත්වයක් ගොඩනගා ගනිමින්ය. මේ තත්වය වෙනස් වුණේ නිදහසින් පසු දෙවැනි අදියර තුළය. ඒ කියන්නේ 1977 සිට පටන් ගත් කාලයේය. ජයවර්ධන පාලනය විසින් අපේ රට විවෘත ආර්ථිකයකට ගෙන ගියේ ඉන්දියාව Closed Economy එකක තිබෙන කාලයකය. ඉන්දියාව විවෘත ආර්ථිකයකට ගියේ අපේ ආර්ථිකය විවෘත වී වසර 12කට පසුවය. ඒ 1989දීය. අපේ රටවල් දෙක අතර ගැටලුව මතු වුණේ ඉරණවිල ඇමරිකානු හඬ ගුවන් විදුලියේ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් ඉදිකරන්නට ඉඩදීමත් සමගය. ඒ විරසකය නිසාම මෙරට බෙදුම්වාදයේ ආරම්භයට ඉන්දියාව පැත්තෙන් සහය ලැබුණු බව මේ වන විට පිළිගත් සත්‍යයක්ය.
වසර 30ක් පුරා අපේ රට පස්සට ගියේ ජාත්‍යන්තර දේශපාලනයේ අපි ගත් වැරැදි තීරණ නිසාය. කලාපීය දේශපාලනය හරියට කළමනාකරණය කර නොගත් නිසාය. 2022 වර්ෂයේ රට තුළ සිදුවූ බරපතළ ආර්ථික කඩාවැටීමත් සමගින් රටේ ශක්තිය ඉතාමත් බරපතළ තැනකට ගමන් කර ඇත. එසේම ඒ ආර්ථික පීඩනය නිසාම 2024 ජනපතිවරණය සහ මහ මැතිවරණය හරහා බලයට පත් වුණේ යම් ආකාරයකින් අත්දැකීම් අඩු කණ්ඩායමක්ය. එවැනි තත්වයක ඉන්දීය සහ චීන සම්බන්ධතා පිළිබඳව තීරණ ගැනීමේදී ඉතාමත් විධිමත්ව, බුද්ධිමත්ව සහ උපක්‍රමශීලීව ගැනීම අවශ්‍යය.
ඉන්දියාව මේ වන විට නමින්ම ‘‘භාරත’’ ලෙසින් වෙනස් වෙමින් තිබේ. චීනය මේ වන විට ‘‘ආසියා’’ කලාපය තුළ ව්‍යාප්ත වෙමින් පවතී. අපි රටක් වශයෙන් මේ භාරත - ආසියා මොඩලය තුළ පවතින්නේ කෙසේද යන්න යළි වර නගා ගැනීමේ ක්‍රියාවලියකට යා යුතු බව මගේ යෝජනාවය. වත්මන් ආණ්ඩුව ඉන්දියාව සමග සිදු කළ ගිවිසුම් සාකච්ඡා කළ යුත්තේ එවැනි පළල් සන්දර්භයක් තුළය.
(*** මහාචාර්ය චරිත හේරත්)
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
භාරත ආසියා මොඩලය