IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මට කළ හිරිහැර නිසා හොඳ වැඩක් දෙන්න සිතුවා

 

උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතාගේ නිල නිවසට ඇතුළුවී ඇසිඞ් ප‍්‍රහාරයක් එල්ල කිරීම නිසා ඔහුගේ ඇස් දෙකට සහ මුහුණ ප‍්‍රදේශය බරපතල ලෙස පිළිස්සීම නිසා තවමත් සිටින්නේ කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින්ය.


කොමසාරිස්වරයා සමග පෞද්ගලික හේතූන් මත අමනාපකම් පැවති අය ගැන මුලින්ම සොයා බලා ඔහුත් සමග එවැනි හේතූන් මත අමනාපකම් පවතින අය නොමැති බව හෙළිවීම නිසා රාජකාරි මට්ටමින් අමනාපකම් පවතින අය ගැන රහසිගතව සොයා බැලීමට පොලිසිය පටන්ගත්තේ ඒ මගින් හෝ කිසියම් හෝඩුවාවක් සොයාගැනීම සඳහාය.

අධ්‍යාපන නිවාඩු ලබාගෙන ගොස් සිටින ආයුර්වේද වෛද්‍යවරයෙක් ගැන තොරතුරු පොලීසියට හෙළිකර ගැනීමට හැකිවන්නේ මෙවැනි රහසිගත පරීක්ෂණයක ප‍්‍රතිඵලයක් වශයෙනි.

පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ මුල සිට මෙම පරීක්ෂණ කටයුතු කර ඇත.

මේ වනවිටත් ඇසිඞ් ගැසීමට පැමිණි සාහසිකයන් දෙදෙනාගේ හැඩරුව කොමසාරිස්වරයාගෙන් හා ගෙදර උදවියගෙන් අසා දැනගෙන ඔවුන්ගේ (සාහසිකයන්ගේ) හැඩරුව සමග ඡායාරූප දෙකක් ද හැඳගත්තේ පරීක්ෂණ කටයුතුවලට ඉවහල් කර ගැනීම සඳහාය.
පොලිසියේ සැකයට ලක්වූ ආයුර්වේද වෛද්‍යවරයා අනුරාධපුර ආයුර්වේද මහ රෝහලේ සේවය කරමින් සිටිය දී ඔහු මින්නේරිය ආයුර්වේද රෝහලට මාරුකර යවා විනය පරීක්ෂණයක් ද කොමසාරිස්වරයා සිදුකර ඇති බව මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායමට දැනගැනීමට ලැබී ඇත.

පොලිසියේ සැකයට ලක්වූ මේ ආයුර්වේද වෛද්‍යවරයාගේ බිරිඳට ද කොමසාරිස්වරයා ගම්පහ යක්කල ආයුර්වේද රෝහලට ස්ථාන මාරුවීමක් ලබාදී ඇති බව පොලිස් කණ්ඩායම කරුණු කාරණා හෙළිකරගනු ලැබිණි.

බිරිඳට හිටි හැටියේ මෙසේ ස්ථාන මාරුවීමක් ලබාදීම ගැන ද පොලීසියේ සැකයට ලක්වූ ආයුර්වේද වෛද්‍යවරයා කොමසාරිස්වරයා සමග වෛරයකින් පසුවන බවට තොරතුරු පොලිසිය හෙළිකරගෙන තිබේ.උතුරුමැද ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් (53) මහතාට ඇසිඞ් ගැසීමේ සිද්ධිය සාහසිකයන් අල්ලා ගැනීමට පොලීසියට පොටක් පෑදුනේ මෙසේ ඉතා සූක්ෂම ආකාරයෙන් ද රහසිගතව ද කරන ලද පරීක්ෂණවල ප‍්‍රතිඵලයක් වශයෙනි.

ආයුර්වේද වෛද්‍ය සුසිර වික‍්‍රමසිංහ මහතා පසුගිය 28 වැනිදා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමකගේ අත්අඩංගුවට පත්වන්නේ කොමසාරිස්වරයාට ඇසිඞ් ගැසීමට කුමන්ත‍්‍රණය කර ඒ සඳහා කොන්ත‍්‍රාත්තුවක් ලබාදීම සම්බන්ධයෙනි.

උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන සහ නියෝජ්‍ය පොලිස්පති රංජිත් පත්මසිරි යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය හා මග පෙන්වීම යටතේ අනුරාධපුරය කොට්ඨාසය බාර පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතාගේ විශේෂ උපදෙස් මත සැකකාර ආයුර්වේද වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.

සහකාර පොලිස් අධිකාරිවරුන් වන රුවන් සේනාරත්න සහ ධර්මසේන රත්නායක යන මහත්වරුන් ද මෙම පරීක්ෂණ කටයුතු සඳහා හවුල්වී තිබේ.

අනුරාධපුර කොට්ඨාසය බාර පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා සැකකාර ආයුර්වේද වෛද්‍යවරයාගෙන් ඇසිඞ් ගැසීමේ සිද්ධිය ගැන ප‍්‍රශ්න කිරීමේ දී ඔහු ඒ ගැන පාපොච්චාරණයක් කරමින් මෙසේ පවසා ඇත.

ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහත්තයයි මමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගත්තේ එකටමයි. ඔහුට කලින් මම උපාධිය ලබා පිටව ගියා. ඊට වසරකට පමණ පසු අල්විස් මහතා පිටව ගොස් තිබුණා. අනුරාධපුර ආයුර්වේද මහ රෝහලේ මා ඔහු යටතේ රාජකාරි කළා. ඔහු උතුරුමැද ආයුර්වේද කොමසාරිස් ලෙස කටයුතු කළා.

කුමාර අල්විස් මට බොරු චෝදනා නගලා මින්නේරිය ආයුර්වේද රෝහලට මාරුකර යැව්වා. මින්නේරිය ආයුර්වේද රෝහලේ සේවය කරද්දීත් මා එහි තාවකාලිකව සේවය කරන තරුණියක් එක්ක අයුතු සම්බන්ධතාවයක් පවත්වන බව පවසා බොරු චෝදනාවක් නැගුවා. මට එරෙහිව විනය පරීක්ෂණ පවා පවත්වා මගේ සේවය පවා අත්හිටුවීමට කටයුතු කළා. මාස 10ක පමණ කාලයක් මා රැුකියාව නැතිව දුක්වින්දා. පස්සේ මට රැුකියාව නැවත ලැබුණා.

මගේ නෝනාත් අනුරාධපුර ආයුර්වේද මහ රෝහලේ වෛද්‍යවරියක් ලෙස සේවය කරමින් සිටිය දී කිසිම හේතුවක් නොමැතිව හිටි හැටියේ යක්කල ආයුර්වේද රෝහලට මාරුකර යැව්වා. එහෙම කළේ මගෙන් පලිගන්න හිතාගෙනයි. ඒ විතරක් නොවේ මින්නේරියේ රාජකාරි කරද්දි මම පෞද්ගලික ආයුර්වේද මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන ගියා. එය පවත්වාගෙන යාමේදීත් මට මෙයා යම් යම් බාධා කිරීම් කළා. මාගේ මීළඟ උසස්වීම්වලට අවශ්‍ය නිර්දේශය ලබා ගැනීමට අවස්ථා කිහිපයකදීම ගියත් ඒ නිර්දේශය මට ලබා දුන්නේ නැහැ.

මම නැවත රැකියාවට අනුරාධපුරය ආයුර්වේද මහ රෝහලට සේවයට පැමිණියා. රෝහලේ සේවයට පැමිණිදාම මම අධ්‍යාපන නිවාඩු ලබාගෙන පිටව ගියා. ඒ 2011 වසරේ ඔක්තෝබර් මාසයේ දී. මගේ ඊළඟ ශ්‍රේණියට උසස්වීම ලබාගන්න කුමාර අල්විස්ගෙන් නිර්දේශය අවශ්‍යයි. පළමු වැනි ශ්‍රේණියේ ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස පත්වීමට සම්මුඛ පරීක්ෂණයට යාමට කලින් මම නිර්දේශය ලබාගැනීමට ඔහු මුණගැසීමට ගියා. මා ඔහු මුණගැසීමට ගියේ අධ්‍යාපන නිවාඩු ලබාගෙන සිටිය අතරවාරයේදීයි. ඔහු මට අවශ්‍ය නිර්දේශය ලබාදුන්නේ නැහැ.

මම කොච්චර ඇවිටිලි කළත් ඔහු මගේ ඊළඟ උසස්වීම ලබාගන්න අවශ්‍ය නිර්දේශය ලබාදුන්නේ නැහැ. ඊට පස්සේ මම දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ හා අයුර්වේද කොමසාරිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට කථා කරලා මට සිදුවී ඇති අසාධාරණය ගැන කරුණු කිව්වා. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් කුමාර අල්විස්ගේ නිර්දේශය නොමැතිව සම්මුඛ පරීක්ෂණයට යන්න අවස්ථාව ලබාගත්තා.
ඉස්සරහටත් මට මෙයාගෙන් ලොකු කරදර හිරිහැරවලට මුහුණ දෙන්න වෙයි කියලා නිතරම කල්පනා කළා. කුමාරට මතක හිටින්න හොඳ වැඩක් කරන්න  ඕනෑ කියා හිතුනා. ඒ අනුව තමා ඔහුට ඇසිඞ් ගහන්න තීරණය කළේ යැයි සැකකාර ආයුර්වේද වෛද්‍යවරයා පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා හමුවේ පාපොච්චාරණය කරමින් පවසා ඇතැයි කියති.

උතුරුමැද ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතාට ඇසිඞ් ගැසීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ මට්ටක්කුලිය ප‍්‍රදේශයේ හමුදා කඳවුරක සේවය කරන සෙබළ නුවන් කුමාර (23) නමැති සැකකරු පොලීසියට පාපොච්චාරණය කරමින් පවසා ඇතැයි කියන්නේ මෙවැනි කතාවකි.

වික‍්‍රමසිංහ දොස්තර මහත්තයා මාව අවුරුදු 10 තරම් කාලයක ඉඳලා එයාගේම දරුවෙක් වගේ හදාවඩා ගත්තා. මට හොඳට සැලකුවා. පාසල් යැව්වා. මගේ විවාහ මංගල්‍යයටත් උදව් උපකාර කළා. මගේ ගම මින්නේරිය. විවාහ වුණේ නිට්ටඹුව ඌරාපොළ ප‍්‍රදේශයේ තරුණියක් එක්කයි. දොස්තර මහත්තයා එයාට එයාගේ ලොක්කෙකුගෙන් තියෙන කරදර ගැන මට කිව්වා. මාව ඇහැක් වගේ රැකබලා ගත්තු මහත්තයාට කාගෙන් හරි කරදරයක් හිරිහැරයක් වෙනවා නම් මට බලාගෙන ඉන්න පුළුවන්කමක් නැහැනේ. ඒ හින්දා මහත්තයා කියන  ඕනෑම දෙයකට මම රෙඩි කියලා කිව්වා. දොස්තර මහත්තයාට යක්කල පැත්තෙත් ගෙයක් තියෙනවා. ඒ ගෙදර දී තමා එයාගේ ලොක්කාට ඇසිඞ් ගහමු කියලා කථා වුණේ.

කිසිම පැකිලීමකින් තොරව මම මහත්තයා පවරපු වැඬේ බාරගත්තා. වැඬේ බාරගත්තදාම මට මහත්තයා රුපියල් 25,000ක් අතට දුන්නා. මට සල්ලි එපා කියලා කොච්චර කිව්වත් මහත්තයා ඇහැව්වේ නැහැ. මාව දරුවෙක් වගේ රැුක බලාගත්තු මහත්තයාගෙන් කොහොමද සල්ලි ගන්නේ. මහත්තයාට කරදරයක් විපතක් වුණොත් උදව් උපකාර කරන එක මගේ යුතුකමනේ ඒකයි සල්ලි එපා කිව්වේ.

පොලිස් නිලධාරියෙක්:
ඊට පස්සේ තමුන් මොකද කළේ?
සැකකාර සෙබළා:
මගේ හොඳම හිතවතෙක් තමා කෝෂිත ගයාන් කියන්නේ. මිනිහා ඩිමෝ බට්ටෙක් තියාගෙන මාළු බිස්නස් කරනවා. මං කිව්වොත් මිනිහා  ඕනෑදේකට එනවා. මිනිහා ගැන මට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ නිසා මේ වැඬේට මම මිනිහාව සෙට් කරගත්තා. මිනිහා මේ වැඬේට අනුරාධපුරයේ යන්න කැමති වුණා.

දවසකට රුපියල් 850ක් ගෙවන්න පොරොන්දුව මත යතුරුපැදියක් දන්නා තැනකින් මම ඉල්ලාගත්තා. ඒ යතුරුපැදියෙන් ගිහින් ගයාන්වත් යතුරුපැදියේ පිටිපස්සේ වාඩිකරවාගෙන අනුරාධපුරේ බලා පිටත්වුණා. ඒ යන අතරවාරයේ කිරිඳිවැල පැත්තේ කඩයකින් රුපියල් 250ක් දීලා ඇසිඞ් බෝතලයක් මිලදී ගත්තා. ඊට පස්සේ කෙලින්ම අපි ගියේ අනුරාධපුරයට.

අනුරාධපුර ආයුර්වේද මහ රෝහලට අපි දෙන්නා ගියේ 22 වැනිදා හවස් යාමයේ. රෝහලේ හිටපු සේවකයකුගෙන් ඇහැව්වා කුමාර අල්විස් මහත්තයාගේ නිල නිවස තියෙන්නේ කොහෙද කියලා. ඔහු නිල නිවස තිබෙන තැන පෙන්නපුවාම අපි දෙන්නම ගියා. අල්විස් මහත්තයාගේ නෝනා කිව්වා මහත්තයා කොළඹ ගිහින් හෙට එන්නෙ කියලා. තාත්තාට අංශභාගෙ හැදිලා ඉස්පිරිතාලෙට ඇතුල් කරගන්න  ඕනෑ ඊට කලින් විස්තර දැනගෙන යන්න ආවේ කියා මම කිව්වා.

පස්සේ නෝනා මහත්තයාට දුරකථන ඇමතුමක් ලබාදුන්නා. මහත්තයා නෝනාට දැනුම්දුන්නා පහුවෙනිදා උදේට එන්න කියා. මේ බව නෝනා දැනුම් දුන් පසු අපි නිල නිවසින් ඇවිත් අනුරාධපුරයේ නවාතැන්පොලක එදින රාත‍්‍රිය ගත කළා.

පොලිස් නිලධාරියා:
එහෙත් මේ සිද්ධිය වික‍්‍රමසිංහ මහත්තයාට දැනුම්දුන්න ද?
සැකකාර සෙබළා:
ඔව් මම දුරකථනයකින් කථා කරලා මේ සේරම විස්තරේ කියලා පහුවදා පාන්දරම ගිහින් ලොක්කාට වැඬේ දෙන බව කිව්වා. ඒ කිව්වා වගේම අපි දෙන්නා මෝටර් බයික් එකෙන් කොමසාරිස්ගේ නිල නිවසට උදේ පාන්දරම ගිහින් දොරට තට්ටු කළා. කොමසාරිස්වරයා දොර ඇරගෙන එළියට ඇවිත් ආපු කාරණේ ගැන ඇසුවා. ඊයේ හවස ආවෙත් අපි තමා. මගේ තාත්තා අංශබාග රෝගයෙන් පෙළෙනවා ඒකට ප‍්‍රතිකාර ගන්න රෝහලේ නවත්වාගන්න  ඕනෑ කියා ඒ ගැන විස්තර දැනගෙන යන්නයි මම ආවේ කියා ඔහුට කිව්වා. ඔහු කොළ කෑල්ලක් ගෙන මගෙන් විස්තර විමසා සටහන් කරන්න යද්දිම ඇසිඞ් ගසා මගේ සගයාත් එක්ක මෝටර් බයිසිකලයේ නැගිලා පැනලා ගියා. බයික් එක එලෙව්වේ මගේ මිතුරා වන කෝෂිතයි.

පොලිස් නිලධාරියෙක්:
කොමසාරිස්වරයාට ඇසිඞ් ගැසුවාට පස්සේ තමුන්ලා දෙන්නා මොකද කළේ?
සැකකාර සෙබළා:
අපි දෙන්නා කෙලින්ම නිට්ටඹුවට ආවා. ඇවිත් මම කෝෂිත හෂාන් එයාගේ ගේ ළඟින් බස්සවලා කෙලින්ම ඒ මෝටර්බයික් එකෙන්ම දොස්තර මහත්තයා සොයාගෙන මින්නේරියට ගියා. දොස්තර මහත්තයා හම්බවෙලා සේරම විස්තරේ කිව්වා. මහත්තයා මට රුපියල් 50,000ක මුදලක් දුන්නා. මම ඒ සල්ලි සතයක්වත් ගත්තේ නැහැ. සේරම සල්ලි ටික හෂාන්ට දුන්නා මොකද මම මේ වැඬේට බැස්සේ සල්ලි බලාගෙන නොවන නිසා. මේ ගැන කිසිම කෙනෙක් එක්ක කටක් ඇරලා වචනයක්වත් කියන්න එපා කියලා මම හෂාන්ට කිව්වා. ගලේ කෙටුවා වගේ තමා උඹ බයවෙන්න එපා මම මේ ගැන කාටවත් කියන්නේ නැහැ කියා හෂාන් සල්ලි ගන්න ගමන් මගෙත් එක්ක කිව්වා.

කොමසාරිස්ට ඇසිඞ් ගහපු පින්තූර පත්තරවල පළවී තිබුණා. රූපවාහිනී ප‍්‍රවෘත්තිවලින් ඒ දර්ශන ද අපි නැරඹුවා. අපේ වැඬේ සාර්ථක බව දැනගත් පසු සන්තෝෂ වුණා. දුකක් ඇතිවුණේ නැහැ. කොහොම වුණත් අපව පොලිසියට කවදාවත් කොටුවෙයි කියල නම් හිතුවේ නැහැ. කොච්චර උපක‍්‍රම යොදලා අපරාධයක් කළත් හැංගිලා ඉන්න ඉඩක් ලැබෙන්නේ නැහැ කියලා දැනගත්තා යැයි ද සැකකාර හමුදා සෙබලා පොලිසියට පාපොච්චාරණයක් කරමින් පවසා ඇත.

අත්අඩංගුවට ගත් මාළු ව්‍යාපාරිකයා වන කෝෂිත හෂාන් නමැත්තා පොලීසියට පවසා ඇත්තේ ඇසිඞ් ගැසීමට හවුල්වීම සම්බන්ධයෙන් ලැබුණු රුපියල් 50,000 මුදල මාළු මිල දී ගැනීම සඳහා වියදම් කළ බව යැයි කියති.

සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.අයි.බී. රත්නායක මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

 

විස්තරය - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය

 

සබැඳි පුවත්>>>

උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස්ට එල්ලවූ ඇසිඩ් ප්‍රහාරය

 

 



අදහස් (0)

මට කළ හිරිහැර නිසා හොඳ වැඩක් දෙන්න සිතුවා

රවී Monday, 04 March 2013 09:22 AM

බුද්ධිමත් බව නැතිව උගත් කම විතරක් තිබ්බම වෙන්නේ ඔය වගේ දේවල් තමා.. (ස)

:       0       0

සම්පත් Monday, 04 March 2013 11:06 AM

වෛරයෙන් වෛරය නොසන්සිදේ (දී)

:       0       0

සමන් Tuesday, 05 March 2013 05:57 AM

සෑම ක්‍රියාවකටම සමාන වූත් ප්‍රතිවිරුද්ද වූත් ප්‍රතික්‍රියාවක් ගොඩ නැගේ. මම එක් පැත්තක් ගන්නේ නැහැ. මොකද දෙපැත්තෙම නිවරදි නැහැ.(නදී)

:       0       0

උපුල් Sunday, 03 March 2013 02:07 PM

අනේ මේ ලෝකේ කවුරුත්ම කරන්නේ නැති , ලේසියෙන් මිනියෙක්ට කරන්න බැරි මාර හොද වැඩක්නේ මෙයා කරලා තියෙන්නේ. මට හිතෙන්නේ ලංකාවේ අපරාධ ගණයට ඇසිඩ් ගැසීම එක් කරන්න වෙයි වගේ. (නි)

:       0       0

සනත් Sunday, 03 March 2013 03:53 PM

තමන්ගේ රාජකාරී බලය සහෝදර නිලදාරීන්ගෙන් පලිගැනීමට භාවිතා කරන නිලධාරීන්ට හොද පාඩමක් මේක.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 208 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 39 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 77 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 165 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 222 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 864 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 496 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site