IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


මඩින් නොව ගොඩින් එන්න

වසන්ත ප්‍රිය රාමනායක

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරීම අන්තවාදීව කල්පනා නොකරන කිසිවකු අනුමත කරන්නේ නැත. මධ්‍යස්ථ ප්‍රජාව තුළ ඇත්තේ ද ඒ පිළිබඳ කනස්සල්ලකි. මේ හැසිරීම වනාහී, ජනපති මෛත්‍රී කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුවෙන් පසු නොවැ. 19 වැනිදා පාර්ලිමේන්තුවේ හැසිරීම නොවේ. එදා නම් කවුරුත් පූස් පැටවුන් වාගේය. මේ කතා කරන්නේ ඊට පෙර දිනවල හැසිරීම ගැනය. සමහර මන්ත්‍රීවරුන් හා අත්දැකීම් අඩු නූගතුන් අතර වෙනසක් නොමැති බව ඔවුහුම රටට පසක් කළහ.

ජනමාධ්‍ය මේ තරම් විවෘත වූ යුගයක් දක්නට නොලැබේ. ඒ හා සමානවම පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඊට සාපේක්ෂව විවෘත විය. මේ නිසා පක්ෂයට ඡන්දයක් දුන්නත් මනාපයක් දී සමහරුන් ඊළඟ පාර්ලිමේන්තුවට කැඳවිය යුතු ද යන මතය ඡන්දදායකයන් තුළ ඇතිවිය හැකිය.

එසේම ලෝකයේ වෙනත් සමහර රටවල ද පාර්ලිමේන්තුවල හැසිරීම සමහර අවස්ථාවල මෙලෙසින් දක්නට ලැබෙන බව ඒ දිනවල විකාශනය වූ රූපවාහිනී දර්ශනවලින් ද දක්නට ලැබුණි. ඒ අතර ඇමෙරිකානු කොංග්‍රස් සභාව, දකුණු කොරියාව, ජපානය හා යුරෝපය වැනි අපේ සමහරුන් පරමාදර්ශයට ගන්නා රටවල් ද තිබේ. මේ නිසා ඒ අයට අපේ පාර්ලිමේන්තුවේ හැසිරීම ගැන ආදර්ශයක් ලබාදීමට සදාචාරාත්මක අයිතියක් නොමැත.

අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුවක හටගන්නේ රටේ ජනසමාජයේ ඒ මොහොතේ පවතින කැලඹිලිකාරී නොසන්සුන් ස්වරූපයයි. සංකේතාත්මකව එය පිළිබිඹු කරන ස්ථානයක් වශයෙන්ද පාර්ලිමේන්තුව සැලකේ. රටේ එවන් නොසන්සුන්තාවක් හටගත්තේ කෙසේද?

ප්‍රථමයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පසුගිය පාලනයට සහයෝගය දැක්වීමෙන් ඉවත් විය. ඒ සමඟම එතෙක් පැවැති ආණ්ඩුව සුළුතර රජයක් බවට පත්විය. ජනාධිපතිවරයා රටේ රාජ්‍ය නායකයා, ආණ්ඩුවේ නායකයා හා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් ඒ මොහොතේ ඉටු කළේ ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී තිබෙන බලයයි. එනම් නව අගමැතිවරයකු හා කැබිනට් මණ්ඩලයක් නම් කිරීමේ අයිතියයි. මෙහිදී එම අයිතිය හා බලය යන දෙකම ජනාධිපතිවරයා සතු විය. එය ක්‍රියාත්මක කිරීම ව්‍යවස්ථානුකූලය.

මේ නිසා ජනාධිපතිවරයා කළේ එක්සත් ජාතික පෙරමුණ හැරුණු විට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් හිමි කණ්ඩායම වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනප්‍රියම නායකයා අගමැති ලෙසින් පත්කිරීමය. එම කණ්ඩායමේ (එක්සත් ජනතා නිදහස් සන්ධානයේ) නායකයා ද ජනාධිපති මෛත්‍රීය. එදා ජනාධිපතිවරයා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වශයෙන් පත්කර ගැනීමට තම කණ්ඩායමේ සහාය ලබාදුන් බව අද සමහරු අමතක කරති. නැතිනම් එදා බිහිවන්නේ ද 113ක පාර්ලිමේන්තු බහුතරයක් නොමැති අස්ථාවර ආණ්ඩුවකි. නැතිනම් සුළුතර රජයකි. වත්මන් රජයේ බහුතරය විමසමින් සිටින එක්සත් ජාතික පක්ෂයේ සමහරුන් එදා තමන්ට බහුතර බලයක් නොමැති අවස්ථාවක රජයක් බිහිකර ගැනීමට ජනාධිපතිවරයා දුන් සහාය අමතක කරන බව පෙනේ. පාර්ලිමේන්තුවේ හතළිස් ගාණක අති සුළුතරයක් යටතේ ජනාධිපති මැතිවරණ ප්‍රතිඵලය පාවිච්චි කරමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්කර ටික කලක් ආණ්ඩුවක් පවත්වාගෙන යමින් එළැඹි මැතිවරණයේ දී වුවද එක්සත් ජාතික පෙරමුණට රජයක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමි නොවුණි.

මේ නිසා 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මෙන්ම ඊට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යුගයේ ද පැවැතියේ පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනා නොගත් පක්ෂවල ආණ්ඩුය. විධායක ජනාධිපති ක්‍රමයක් තුළ එහිදී අගමැතිවරයකු පත්කර ආණ්ඩුවක් පවත්වාගෙන යෑමේ වගකීම රට වශයෙන් බැර වන්නේ ජනාධිපතිවරයාටය. රට දේශපාලන වශයෙන් අස්ථාවර නොකර පවත්වාගෙන යෑමේ වගකීම බැරවන්නේ ද ජනාධිපතිවරයාටය.
මේ අවස්ථාවේ ද ජනාධිපතිවරයා ක්‍රියාකර ඇත්තේ එම වගකීමට අනුව බව පෙනේ. හිටපු අගමැතිවරයාගේ කණ්ඩායම අධිකරණයට නොගියේ ජනාධිපතිවරයා මෙහිදී ව්‍යවස්ථාවට සම්ප්‍රදායට හා නීතියට එකඟව කටයුතු කර තිබූ නිසාය. අනෙක් සමහර අයට කෙසේ වෙතත් අත්දැකීම් සහිත බුද්ධිමත් දේශපාලනඥයකු වන එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහට එම ඥානය තිබේ. ඔහු තමන්ට අගමැති ධුරය අහිමි වුවත් අගමැතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් නීතිය ඉදිරියට යෑමට තම දේශපාලන සගයන් නොපෙළඹූයේ ඒ නිසාය.

එතකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එකවරම ක්ෂණයකින් අගමැති ධුරයට පත්කළේ කෙසේද?
පත්කිරීම නීත්‍යනුකූල නම් එම කාර්යය අයත් වන්නේ සම්ප්‍රදායටය.

ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති ටර්නෝ බුල් එක් දිනක් උදෑසන නිවසින් පැමිණියේ එරට අගමැතිවරයා ලෙසය. එහෙත් එදා පෙරවරු 10 වනවිට හිටිහැටියේ ඔහුගේ අගමැතිකම අහිමි විය. එදා ටර්නෝ බුල් ගෙදර ගියේ සාමාන්‍ය මන්ත්‍රීවරයකු වශයෙනි. අපේම රටේ අතීත අත්දැකීම් ද මේ සඳහා ඕනෑතරම් තිබේ. බණ්ඩාරනායක ඝාතනයෙන් පසු බිහිවූ දහනායක රජයේ එක් රාත්‍රියක නිදා සිටි සමහර ඇමැතිවරුන් තම අමාත්‍ය ධුරය නොමැති බව දන්නේ පසුදා අවදි වී පුවත්පත් බලන විටය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු රජයේ කැබිනට් මණ්ඩලයෙන් ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා වැනි මේ රටේ කීර්තිමත් වාමාංශික නායකයන් ඉවත් කරනු ලැබුවේ ද ක්ෂණිකවය.

එසේම එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාගේ රජයෙන් සමහර ඇමැතිවරුන් ඉවත් කරනු ලැබුවේ ඔවුන් රාත්‍රී නිදා සිටියදීය. රණසිංහ ප්‍රේමදාස රජයෙන් ගාමිණී දිසානායක අමාත්‍යවරයා ඉවත් කරනු ලැබුවේ ද ඔහුට නොදන්වාය. දේශපාලනයේ හැටි එහෙමය.

සම්ප්‍රදායානුකූලව එය හරි ද? වැරැදි ද? යැයි සමාලෝචනයක යෙදීම දේශපාලන විචාරකයනට බාර කටයුත්තකි. ඒ ගැන ඔවුන් අතරේ සංවාදයක් තිබිය හැකිය. එහෙත් අපේ රටේත්, ජාත්‍යන්තරයේත් දේශපාලන ලෝකයේ වැඩ සිදුවන්නේ දැන් සිදුවී තිබෙන සම්ප්‍රදායට අනුවය. වෙස්ට්මිනිස්ටර් පාලන ක්‍රමය අනුව එදා අගමැතිවරුන් හා අගමැතිවරියන් එසේ ක්‍රියාකරනු ලැබූ අතර විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ එම බලය විධායක ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන්ම පැවරී තිබේ.

මෙවන් පසුබිමකදී රට ගිනි තියනවාද, ඊට ඇවැසි පසුබිම සකසනවාද යන්න බලය අහිමි වූ දේශපාලනඥයන්ගේ සුපුරුදු දේශපාලන ක්‍රීඩාවයි. එය වත්මන් පාලනය විපක්ෂයට ගියත් සිදුවීමට ඉඩ තිබේ. අපේ රටේ දේශපාලනයේ හැටි එහෙමය. මේ නිසා රට ගිනි ගනීවි යැයි එ.ජා.ප. සමහරුන් කීවේ ඒ නිසාය. සමහර වෙලාවට වර්තමාන එක්සත් ජාතික පක්ෂ ව්‍යූහය තුළ රනිල් වික්‍රමසිංහ වැනි නායකයකු නොසිටින්නට ඒ සඳහා ජනතාව පෙළඹවීමට එම පක්ෂයේ සමහරුන් උත්සාහයක් ගැනීමට ද ඉඩ තිබුණි.

එහෙත් පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් ජනාධිපතිවරයා දිගින් දිගටම කී දේ නොසලකා හැරීම නිසා එම ගින්න පාර්ලිමේන්තුව තුළ ඇවිළුණි. අලුතින් පත් වූ ආණ්ඩුවකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සම්ප්‍රදායක් තිබේ. නව පාර්ලිමේන්තු සැසිවාරයකින් පසු පාර්ලිමේන්තුව ඊළඟ සැසිවාරයට කල්තැබීම, ඉන්පසු රැස්වන දින ස්ථාවර කාරක සභා පිහිටුවීම, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට අදාළ විශ්වාසභංග යෝජනාව ඇතුළත් කිරීම, එතැන් සිට අවම වශයෙන් දින 5ක කාලයකින් පසුව අදාළ කාරක සභාවේ අනුමැතියට යටත්ව විවාදය සඳහා පක්ෂ නායකයන් දින නියම කිරීම, එසේ නියමකර ගත් දිනක විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායයි.

එහෙත් කතානායකවරයාගේ හැසිරීම මේ සම්ප්‍රදායට අනුව නොවේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවක ස්ථාවර නියෝග සියල්ල එකවර අත්හිටුවන්නේ නැත. අත්හිටුවන්නේ අදාළ කාර්යයට අදාළ ස්ථාවර නියෝගයි. එසේම ආණ්ඩුවකට එරෙහිව ක්ෂණිකව න්‍යාය පත්‍ර හදන්නේ ද නැත. ගමේ මරණාධාර සමිතියකවත් එවැන්නක් සිදු නොවේ. රතු මන්ත්‍රීවරුන් ඉංග්‍රිසි හා දෙමළ පිටපත් නොමැතිව මැරතන් දුවමින් විශ්වාසභංග යෝජනා භාරදෙන හැටි මුළු රටම නැරඹුවේය. කතානායකවරයා යෝජනා සම්මත කරන්නේ වේත්‍රධාරියෙකු සෙන්කෝලය අතින් ගෙන හිටගෙන සිටියදී එතුමා කතානායක අසුනින් වෙනත් අසුනකට යමිනි. මෙවන් පාර්ලිමේන්තු හෝ රාජ්‍ය සභා කැකිල්ලේ රජ්ජුරුවන්ගේ සභාවකවත් ඇතැයි ජනකතාවල අප අසා නැත.

සාමාන්‍යයෙන් කතානායකවරයා ලෙසින් හැඳින්වෙන්නේ පාර්ලිමේන්තුවක හෝ රාජ්‍ය සභාවක විවිධ මත ඇති අය එකඟතාවකට ගෙන එන මධ්‍යස්ථ පුද්ගලයා ලෙසිනි. එම එකඟතාවය ලබා ගන්නේ පක්ෂ නායක රැස්වීමක් මගිනි. එසේම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව ගෙන එනු ලබන්නේ සභානායකවරයාය. එදා එය ගෙනාවේ දෙමළ සන්ධානයේ සුමන්දිරන් මන්ත්‍රීවරයාය. මේ නිසා පාර්ලිමේන්තුව රටට ඇති තරම් විහිළු හා හාස්‍යජනක සිදුවීම් උත්පාදනය කරන තැනක් බවට පත්විය. එය කිසිසේත්ම හොඳ මදි බව මෙතෙක් බුද්ධිමත් අත්දැකීම් සහිත නායකයකු ලෙසින් ප්‍රකටව සිටි වත්මන් කතානායකවරයාට තරම් වන්නේ නැත.

1978 ව්‍යවස්ථාවට පෙර මේ රටේ කතානායකවරුන් ලෙසින් ක්‍රියා කළ අය එම ධුරයට පත්වීමත් සමඟ තමන්ගේ දේශපාලන පක්ෂවලින් ඉවත් වූහ. සර් ෆ්‍රැන්සිස් මොලමුරේ, එච්.එස්. ස්මයිල්, හියූ ප්‍රනාන්දු, ටී.බී. සුබසිංහ මේ අතර වෙති. ඊට හේතුව කතානායකවරයා පාර්ලිමේන්තුව තුළ මධ්‍යස්ථ තැනක සිට කටයුතු කළ යුතුය යන සම්ප්‍රදාය නිසාය. එහෙත් 1978 ව්‍යවස්ථාව යටතේ මෙම සම්ප්‍රදාය වෙනස්විය. එක්සත් ජාතික පක්ෂයෙන් බිහි වූ බකීර් මාකර් වැනි කීර්තිමත් කතානායකවරු පවා පක්ෂයෙන් ඉවත් නොවුණද පක්ෂයේ රැස්වීම්වල අසුන්ගත්තේ නැත.

අත්දැකීම් සහිත දේශීය උරුවක් ඇති තැන්පත්ව කල්පනා කරන නායකයකු වන කතානායක කරු ජයසූරිය මේ සියල්ල නොදන්නවා නොවේ. ඔහු මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රයක කොටුවූවා වාගේය. නොඑසේ නම් එතුමා පක්ෂය තුළ තම දේශපාලන ප්‍රතිරූපය වත්මන් නායකයාටත් වඩා ඉහළට ඔසවා තබාගැනීමට මේ මොහොතේ පාර්ලිමේන්තුව වාහකයක් ලෙසින් පාවිච්චි කළාදැයි කියන්න දන්නේ නැත.“ඉතින් එහෙම වෙනවා නම් පාර්ලිමේන්තුවේ මොක වුණාම මොකද?” අවසානයේ එතුමා එසේ කල්පනා කළා වාගේය. අපේ රටේ දේශපාලනයේ හැටි එහෙමය. නැතිනම් කරු ජයසූරිය චරිතය තුළ හෝ කතානායක භූමිකාව තුළ මේ තරම් පීලි පැනීම් සිදුවිය නොහැකිය. සාමාන්‍යයෙන් කතානායක භූමිකාව සම්ප්‍රදායන්ට හා නීතිරීතිවලට අනුව කල්පනා කරන අයට හා වත්මන් ආණ්ඩුවේ පාර්ශ්වවල දැඩි දෝෂ දර්ශනයට ලක්වුවද අරටු යූ.ඇන්.පී. කාරයින්ට නම් ටොපේ ටොප්ය. මරේ මරුය. මේ වනවිට එතුමා සිටින්නේ යූ.ඇන්පියේ ඉහළම තැනකය.

අවසානයේ සිදුවී තිබෙන්නේ වත්මන් අගමැතිවරයා පත් කළ තැනේ සිට ජනාධිපති මෛත්‍රී දිගින් දිගටම සඳහන් කළ දේය. “පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට අනුව එන්න” එය ගමේ භාෂාවෙන් “මඩින් නොව (මඩ ගසා ගැනීමෙන් හා ගා ගැනීමෙන් තොරව) ගොඩින් එන්න” කියන තාලේ කතාවක්ය. පසුගියදා පැවැති සර්වපාක්ෂික සමුළුවේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම වූයේ ද එයමය. ඌව වෙල්ලස්සෙන් පැමිණි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි ඒ සම්ප්‍රදාය ගරු කරමින් කරු ‘අල’ කළ වැඩේ කුමාරසිරි නිවැරැදි කළේය. එතැන් සිට රටත් පාර්ලිමේන්තුවත් සන්සුන්ය. දැන් අවශ්‍ය නම් නියමානුකූලව රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකිය. ඒ ගැන කිසිවකුගේ විරුද්ධත්වයක් නොමැත.



අදහස් (0)

මඩින් නොව ගොඩින් එන්න

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 141 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 142 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 1024 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 195 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 471 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1118 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site