IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මීඩියාවල ඉන්නේ බල්ලෝ මුන් තමයි ප‍්‍රශ්න අවුලූවන්නේ

 

 

 

රතුපස්වල ඇතුළු ගම්මාන කිහිපයක ළිං ජලයේ ආම්ලිකතාව වැඩිවීමේ ගැටළුවට ස්ථිර විසඳුම් ඉල්ලා බැලූම්මහර සහ වැලිවේරියේ උද්ඝෝෂණවල නිරතවූ පිරිස් ආරක්‍ෂක අංශ විසින් විසිරුවා හරිනු ලැබීය.

එහිදී ආරක්‍ෂක අංශවල හැසිරීම ගැන යුද හමුදාව හා පොලිසිය වෙන වෙනම පරීක්‍ෂණ දෙකක් සිදු කරගෙන යයි.

මේ ගැටුමේදී මාධ්‍යවේදීන්ට සිදුවූ අපහසුතාවන් ගැන ද සොයා බලන බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.

දීපා අධිකාරී, චානුක කුලසේකර, අජිත් මදුරප්පෙරුම, ගයාන් මධුසංඛ, උපාලි රණවීර, සුනිල් සිරිලංකා, බෙනට්, ප්‍රෙමලාල් ඇතුළු මාධ්‍යවේදීහු රැසක් මේ ගැටුමට මැදි වූ අතර දීපා අධිකාරී සහ චානුක කුලසේකර තුවාල ලැබූහ. තවත් කිහිප දෙනකුගේ කැමරාවලට හානි සිදු කරනු ලැබීය. තුවාල ලැබූ දීපා අධිකාරිට බෙහෙත් දැමීමට යෑමට සිදුවූයේ පැය හතරකට පමණ පසුවය. එතෙක් ඇය ඇතුළු මාධ්‍යවේදීන් තිදෙනකුට කළුවරේ නිවෙසක සිරවී සිටින්නට සිදුවිය. තවත් මාධ්‍යවේදියෙක් අනූනවයෙන් බේරුනේ කුකුළු කොටුවකට රිංගාය.

මාධ්‍යවේදීනට තාඩන පීඩන එල්ලවූයේ උද්ඝෝෂකයන්ගෙන් නොව යුද හමුදා සාමාජිකයන් ගෙන්ය.

පොලිසිය මැදිහත්ව මහජන උද්ඝෝෂණ විසුරුවන අවස්ථා අප  ඕනෑ තරම් දැක ඇත. පොලිසිය හා මාධ්‍යවේදීන් අතර ගැටුම් ඇති කර ගන්නා අවස්ථාද අප අසා ඇත. නමුත් යුද හමුදා සෙබළුන් හා මාධ්‍යවේදීන් අතර ගැටුම් හටගත් අවස්ථාවක් නම් අප අසා නැත.

ආරක්‍ෂක අංශ හා මාධ්‍යවේදීන් අතර පවතින්නේ ඉතා කිට්ටු සම්බන්ධයකි. ආරක්‍ෂක අංශ මගින් සිදු කරන සෑම හොඳ වැඩකදීම මාධ්‍යවේදීහු ඔවුන් සමග සිටිති. යුද්ධය නිමා වන තුරු ඔවුන් සමග රැුඳී සිටිමින් සෙබළුන් දිරිගැන්වූ පිරිස් අතර මාධ්‍යවේදීනට හිමි වන්නේ මුල් තැනකි. ති‍්‍රවිධ හමුදාවේ හා පොලිසියේ කටයුත්තක් ඇතොත් මොන රාජකාරියක් තිබුණත් මාධ්‍යවේදීන් එය මගහරින්නේ නැත.

එවන් පසුබිමක වැලිවේරියේ සිද්ධිය මාධ්‍යවේදීනට තවම හිතා ගන්නටවත් බැරිය.

රතුපස්වල ජල ගැටළුව සම්බන්ධයෙන් මුල්ම උද්ඝෝෂණය පටන් ගත්තේ පසුගිය ජූලි 27 වැනිදාය. එදින අවස්ථා දෙකකදී උද්ඝෝෂකයෝ නව නුවර පාර රතුපස්වලට හැරෙන හංදියේදී අවහිර කළහ. මාධ්‍යවේදීහු ද තම රාජකාරිය සිත්සේ කර ගත්හ. ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඞී. කොමසාරු මහතා එම ස්ථානයට පැමිණ ජනතාව දැනුම්වත් කිරීමෙන් පසු ඔවුහු විසිර ගියහ. කොමසාරු මහතා මාධ්‍යවේදීන් සමගද සුහදව කතා කර එතැනින් පිටව ගිය අතර කිසිදු ගැටළුවක් ඇතිවූයේ නැත.

එතැන් පටන් අගෝස්තු පළමුවැනිදා තෙක් දින පහක් එක දිගට විරෝධතා පැවැති අතර මාධ්‍යවේදීහු ද දිවා රෑ නොබලා තම රාජකාරිය කරමින් එතැනම රැඳී සිටියහ. පොලිස් විශේෂ කාර්ය බලකා භටයන් සහ පොලිස් නිලධාරීන් උද්ඝෝෂකයන් සිටි ස්ථානයේ රැඳී සිටියත් මාධ්‍යවේදීන්ගේ රාජකාරියට කිසිවකුත් බාධා කළේ නැත.

අගෝස්තු පළමු වැනිදා ප‍්‍රධාන විරෝධතා තුනක් පැවැත්විණි. අදාළ කර්මාන්ත ශාලාව අසළ පිරිසක් සිටි අතර වැලිවේරියේ සහ බැලූම්මහර හන්දියේ තවත් දෙපිරිසක් විරෝධතා පැවැත්වූහ. මාධ්‍ය ආයතන රැසක මාධ්‍යවේදීහු මේ ස්ථාන තුනට ගොස් තම රාජකාරිය කරමින් සිටියහ.

නව නුවර පාර සහ නුවර පාර අවහිර වන සේ පැවති උද්ඝෝෂණයේදී මාර්ගය විවර වූයේ පාසල් වෑන් රථවලට, ගිලන් රථවලට, ආගමික නායකයන් රැුගත් වාහනවලට සහ රෝගීන් රැගත් වාහනවලට යෑමට පමණි. එය සිදුවූයේද පොලිසියේ මැදිහත්වීමකින් තොරවය. බැලූම්මහර උද්ඝෝෂණය කරමින් සිටි පිරිසක් එතැනට මීටර් තුන්සියයක් පමණ දුරින් වූ ඔරුතොටට හැරෙන හංදියට ගොස් එම මාර්ගයද හරස් කර විරෝධතා දැක්වූහ.උද්ඝෝෂණය ආරංචි වී ‘අද’ පුවත්පතේ චානුක කුලසේකර පස්වරු 2.40ට පමණ බැලූම්මහරට ගියේය. චානුක තම රාජකාරිය කළේ නුවර පාරේ ඔරුතොටට හැරෙන හංදියේය.
වැඩි වේලාවක් ගත වූයේ නැත. ටේ‍්‍රල් බයික් දෙකක නැගී හමුදාවේ හතර දෙනෙක් සහ තවත් පිරිසක් එම ස්ථානයට ආහ.

එහි සිටි උසස් හමුදා නිලධාරියෙකු ටික වේලාවක් බලා සිටි උද්ඝෝෂකයනට මාර්ගයෙන් ඉවත්වන ලෙස කීවේය. තමනට ස්ථිර විසඳුමක් නොලදහොත් ඉවත් නොවන බව උද්ඝෝෂකයෝ කීහ. චානුක කුලසේකර අසළ නිවසක වහළක් මතට නැග ඡායාරූප ගන්නට විය. එම ස්ථානයේ සිටි හමුදා ප‍්‍රධානියාගේ මුවින් අවසන් වශයෙන් පිටවූයේ ‘‘විසඳුම් දෙන්න  ඕනෑ අය තමයි මෙතනට ඇවිත් ඉන්නේ’’ යනුවෙනි. ඒ සමගම කිසිවකුටත් සිතාගන්නටත් නොහැකි ලෙස හමුදා භටයෝ උද්ඝෝෂකයනට පහර දෙන්නට වූහ. චානුක කුලසේකර වහළය මත සිට ඡායාරූප ගත්තේය.

ඔහු කළේ ඔහුගේ රාජකාරියයි. වැඩි වේලාවක් ගියේ නැත. චානුක දුටු හමුදා භට පිරිසක් නිවෙස වට කර ඔහු බිමට බස්සවා ගත්තේය. ඔවුන් අතවූ ගිනි අවිවලින් හා පොලූ වලින් පහර දෙන්නට වූහ. ඔහුගේ කැමරාව උදුරාගනිමින් ‘මීඩියා වල ඉන්නේ බල්ලෝ. මුන් තමයි මේ ප‍්‍රශ්නය අවුස්සන්නේ’ යැයි කියමින් චානුකට පහර දෙමින් කැමරාවද උදුරාගෙන පොළොවේ ගසා කඩා දැමූහ. චානුක අත ඉතිරිවූයේ කැමරාවේ කුඩා කොටසක් පමණි. එතැන ගැටුම නිම වෙත්ම චානුක වහා රෝහල්ගත විය. ගම්පහ රෝහලේ දින තුනක් ප‍්‍රතිකාර ලබන්නට චානුකට සිදුවිය.

ආරක්‍ෂක නිලධාරීන් ඉන් පසුව බැලූම්මහර හංදියට ගියේය. අජිත් මදුරප්පෙරුම, ගයාන් මධුසංඛ, සුසන්ත, උපාලි රණවීර ඇතුළු මාධ්‍යවේදීන් දස දෙනකු පමණ එතැන සිටින්නට ඇත.

හමුදා වාහනයේ බොනට්ටුව මත නැගි හමුදා ප‍්‍රධානියා උද්ඝෝෂකයනට විසිර යන ලෙස කීවේය. එලෙස විසිර නොගියහොත් තල්ලූ කරන්නට සිදුවන බවද කීවේය. විරෝධතාකරුවෝ තම දුක්ගැනවිලි කියන්නට වූහ. තවත් හමුදා නිලධාරියකු මාධ්‍යවේදීනට කීවේ ‘මෙතන අපි ගහන්න ගත්තොත් ඔයාලා ඒවා ෂූට් කරන්න එපා. කැමරා කුඩු වෙයි’ කියාය. එලෙස පවසා වැඩි වේලාවක් ගත වූයේ නැත. පොලූ මුගුරුවලින් උද්ඝෝෂකයනට පහර පිට පහර එල්ල විය. මාධ්‍යවේදීන් පසුපසද එලවන්නට විය. ඔවුන් සීසීකඩ දිව ගියහ.

බැලූම්මහර හංදියේ පිහිටි මහල් ගොඩනැගිල්ලක කොරිඩෝවක් මතට එක් මාධ්‍යවේදියෙක් නැංගේය. එතැන ඇති පුවරුවකට මුවාවෙමින් ඔහු සිදුවන දේ බලා සිටියේය. තවත් මාධ්‍යවේදියෙක් එතැනට දුවගෙන ආවේය. ඔහු බිම බඩගාගෙන ගොස් පුවරු අස්සෙන් සිද්ධිය ඡුායාරූප ගත කරමින් තම රාජකාරිය සිදු කළේය. වැඩි වෙලා ගත වූයේ නැත. ඔවුන් කොරිඩෝවේ සිටිනවා ආරක්‍ෂක අංශ දකින්නට ඇත. එම ගොඩනැගිල්ල අසලටද කිහිප දෙනෙක් ආහ. අසල ඇති කාමරයක සිටි කතක් බියෙන් පහළට බහින්නට හදනවා දුටු මාධ්‍යවේදියෙක් ‘අක්කේ මේ බෑග් එකේ කැමරාව තියනවා. ඔයාලා බෑග් ගෙනිච්චොත් බලන එකක් නෑ. මේක මට පහළට ගිහින් දෙන්න’ යැයි කීය. ‘අම්මෝ් බෑ. කැමරා තියන අය හොයනවා. ඒක කරන්නනම් බෑ’ ඇගේ පිළිතුර විය.
කොරිඩෝව දිගේ පිටුපසට ගොස් බිමට පැනගත් මාධ්‍යවේදීන් දෙදෙනා අසළ ඇති කුඩා කාමරයකට රිංගුවේය. එහි සිටි යුවළක් ඔවුන් ඇතුළට ආ පසු දොර වසා ගත්හ. බැලූම්මහර ගැටුම අවසන් වන තෙක් ඔවුනට ආරක්‍ෂාව හිමි විය.

බැලූම්මහර උද්ඝෝෂණයට පහර දෙන බව වැලිවේරියේ සිටි මාධ්‍යවේදීනට දැනගන්නට ලැබුණි. තම රාජකාරිය ආරක්‍ෂා ඇතිව හරි හැටි කරගන්නට ඔවුහු කඩයක වහළයක් මතට නැග්ගාහ. එතැන මාධ්‍යවේදීන් දස දෙනකු පමණ සිටින්නට ඇත. එකතැන සිටියහොත් සියලූ දෙනාම අහුවන නිසා ඉන් පිරිසක් වෙනත් ස්ථානයකට ගියහ.

ආරක්‍ෂක අංශවල හතර දෙනෙක් නැගී ටේ‍්‍රල් බයික් දෙකක් පෙරටු කරගෙන භටයන් පිරිසක් වැලිවේරියට එනු ඔවුහු දුටහ. අසල වතුවලින් පොලූ කඩා ගන්නවාද ඔවුහු දුටහ. හමුදාව පොලූ කරකවමින් ඉදිරියට එනු මාධ්‍යවේදීහු දුටහ.

ආරක්‍ෂක අංශ ප‍්‍රධානියෙක් මාධ්‍යවේදීන් දැක ‘පින්තූර ගන්න එපා. වහලයෙන් බහින්න’ යැයි කීය. ඒ සමගම එම මාධ්‍යවේදීන් රැුගෙන එන ලෙස භට පිරිසකට සංඥා කළේය. එහි සිටි මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ඒ සමගම වහලයෙන් බිමට පැන දිවූහ. ලංකාදීප මාධ්‍යවේදිනී දිපා අධිකාරි ඇතුළු තිදෙනකුට එයිින් බැස ගැනීමට හැකි වූයේ නැත. හමුදා භටයන් හතර දෙනෙක් ඔවුන් සිටි වහළයට නැග ගෙන දෙදෙනෙක් දීපා අධිකාරිගේ උරහිස් මතට පටන් පොළු තබා තද කරගත්හ. ‘අපි මීඩියා’ යැයි කියූ විට තදින් බනින්නට වූහ. එක් මාධ්‍යවේදියකු අත තිබූ බී‍්‍රෆ් කේසය විවර කර එහි තිබූ කැමරාව ගත්තේය. ඉන් පසු ඉනිමගින් පහළට බහින ලෙස අණ කළේය.

බැටන් පොළුවලින් උරහිස් දෙක තද කරගෙන සිටීම නිසා මාධ්‍යවේදිනියට දැඩි වේදනාවක් දැනෙන්නට විය. ‘අත් දෙක රිදෙනවා. බැටන් පොළු දෙක අහකට ගන්න. අපි පහළට බහින්නම්’ ඇය කීවාය. මාධ්‍යවේදීන් දෙදෙනා මැදි කරගෙන හමුදාවේ හතර දෙනා දෙපසින් සිටිමින් ඔවුන් පහළට රැුගෙන ගොස් පාර අයිනට ගෙන ආවේය.

‘මුං මේ ගන්නේ අපේ අතේ තියන පොලූයි, තුවක්කුයි. මාධ්‍ය තමයි මේක ඇවිස්සුවේ’ කියමින් දිගින් දිගටම බැන වැදුණි. මාධ්‍යවේදීන් පහළට රැුගෙන ආ විට ‘මොකද මුන්ට උඩ නගින්න දුන්නේ?’ යැයි කියමින් ගොඩ නැගිල්ලේ අයිතිකරුගේ බෙල්ලෙන් අල්ලා ගත්හ.
‘එයා දන්නේ නෑ, අපියි නැග්ගේ’ යැයි මාධ්‍යවේදීහු කීහ.

ඉන් පසු හමුදාවේ කොටසක් උද්ඝෝෂකයන්ට පහර දෙන්නට පටන් ගත් අතර උද්ඝෝෂකයෝද ගල් මුල් වලින් හමුදා සෙබළුන් දෙසට පහර දුන්හ. තවත් කොටසක් කුණුහරපයකුත් කියාගෙන මාධ්‍යවේදීන් පසු පස පන්නා ආහ. අසල ඇති ගේට්ටුවක් ඇරගෙන ඇතුළු වූ මාධ්‍යවේදීහු ගේට්ටුව වසාගෙන නිවසත් තුළට දිව ගොස් දොරගුළු දා ගත්හ. ඒ අතර තුර කාලයේ බොහෝ දෑ සිදු විය. එම නිවස තුළ සිටි කිසිවෙක් ලයිට් නිවා දැම්මේය. සියලූ දෙනා ජංගම දුරකතන නිශ්ශබ්ද කළහ.

ගේට්ටුව ඇරගෙන එම නිවසට කඩා වැදුණු හමුදා භටයන් පිරිසක් දොරට ගසනු ඔවුනට ඇසිණි. නිවස තුළ කිසිවකුත් නැති ලෙස ඇතුළේ සිටි පිරිස නිශ්ශබ්දව සිටියහ. නිවැසියන් පිටතට ගැනීම සඳහා උඩ තට්ටුවට පහර දෙනු මාධ්‍යවේදීන්ට ඇසිණි. කිසිවකු පිටතට නොපැමිණි හෙයින් හමුදා භටයෝ නිවස වටකරගෙන සිටියහ.

ගේතුළ මේසයක් යටට වී සිටි දීපා අධිකාරිගේ නළලෙන් දියරයක් ගලා එනු ඇයට දැනුනි. නිශ්ශබ්දව ජංගම දුරකථන එළියෙන් කුස්සියට ගොස් තවත් මාධ්‍යවේදියෙකුට එය පැවසූ පසු ඔහු ජංගම දුරකතන එළියෙන්ම ඇගේ නළල පිරික්සීය. ‘අක්කේ නළලේ පොඩි හිලක් වගේ තියනවා. ලේ ගලනවා’ ඔහු කීය.

කරන්නට කිසිවක් නැත. දීපා පත්තර කන්තෝරුවට දුරකථන ඇමතුමක් ගෙන රහසක් කියනවාක් මෙන් හෙමින් තමන්ගේ නළල තුවාල වී ඇති බවත්, දැඩි වේදනාවක් දැනෙන බවත්, බෙහෙත් දැමීම සඳහා එළියට යා නොහැකි බවත් කීවාය.

කෑ ගැසීම්, විලාප, වෙඩි හඬ මැද කළුවරේ පැය හතරක් පමණ එම නිවසේ සිරවී සිටින්නට මාධ්‍යවේදීනට සිදුවිය.

රාත‍්‍රී 11ට පමණ වෙඩි හඬ සහ කෑගැසීම් අඩු වූ විට මාධ්‍යවේදීහු එළියට ආහ. රදාවාන රෝහලට ගිය දීපාට ඇතුළු වන ලෙස උපදෙස් ලැබිණි. රෝහලට ඇතුළු වී තුවාලයට බෙහෙත් දමා ගත් පසු කැමැත්තෙන් ටිකට් කපාගෙන ඇය නිවසට ගියාය. හමුදාවෙන් එළවද්දී බේරීම සඳහා තවත් මාධ්‍යවේදියකු කුකුළු කොටුවකට රිංගූ අතර එහි පැයක් පමණ සිටින්නට ඔහුට සිදුවිය. තවත් මාධ්‍යවේදියකු වැලිවේරිය පොලිසියට පැන බේරුනේය. පොලිසියෙන් පැන ගොස් කිලෝමීටර දෙකක් පමණ වෙල් යාය මැදින් දුව ගිය ඔහු අවසානයේ මතුවූයේ 18 කණුව අසලිනි.

රාජකාරිය කරන්නට ගොස් මෙවන් අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවෙතියි මාධ්‍යවේදීන් කිසිවිටකත් සිතන්නට නැත.

මාධ්‍ය නිදහස කට වචනයට සීමා නොකරන ලෙස රජයට පවසන බවත්, වැලිවේරියේ ජනතාව විසිරුවා හැරීමට පොලූ මුගුරු හා ජීව උණ්ඩ යොදා ගැනීම තරයේ හෙළා දකින බවත් කර්තෘ සංසදය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

‘ගම්පහ දිස්ත‍්‍රික්කයේ වැලිවේරියේ හා අවට ප‍්‍රදේශයේ ජනතාව ජල දුෂණ ප‍්‍රශ්නයකට විරෝධය දැක්වීම සඳහා පසුගිය බ‍්‍රහස්පතින්දා වීදි බැස උද්ඝෝෂණයෙහි යෙදුණු විට රජය එහි සාමය පවත්වා ගැනීම සඳහා හමුදා මෙහෙය වූ ආකාරය, ශ්‍රී ලංකා කර්තෘ සංසදය තරයේ හෙළා දකියි.

විරෝධතාවෙහි යෙදෙන ජනතාව ඉවත් කිරීමට ගන්නා ක‍්‍රියා මාර්ගය ඡුායාරූපගත කිරීමෙන් හෝ වීඩියෝ පටිගත කිරීමෙන් හෝ වළකින්නැයි ආරක්‍ෂක හමුදා මෙම ජනතා උද්ඝෝෂණය වාර්තා කිරීමේ වගකීම පැවැරුණු මධ්‍යවේදීනට, නීති විරෝධී ලෙස මුලදීම අනතුරු ඇඟැවීය. පොලූ මුඟුරු හා ජීව උණ්ඩ යොදාගනිමින් රැස්ව සිටි පිරිස විසුරුවා හැරීමට පටන් ගත් ආරක්‍ෂක හමුදාව එහි සිටි මාධ්‍යවේදීනට පහර දුන්නේය. තර්ජනය කළේය. බැන වැදුණේය.
මාධ්‍යවේදීහු ඔවුන්ගේ නීත්‍යනුකූල වෘත්තියේ යෙදී සිටියහ. ඔවුන්ගේ කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඔවුන් වෙත නිකුත් කර ඇති මාධ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කළ නමුත් ඔවුනට එයින් පලක් නොවූයේය. ශ්‍රී ලංකා පුරවැසියනට තොරතුරු සැපයීමේ නිත්‍යානුකූල කාර්යය කැරගෙන යෑමට එහි සිටි හමුදා සාමාජිකයෝ මාධ්‍යවේදීන්ට ඉඩ දුන්නේ නැත.

ප‍්‍රාදේශීය මාධ්‍යවේදිනියක නීති විරෝධී ලෙස නිවෙසක රැුඳවූ මෙම ආරක්‍ෂක හමුදා, ඇයට ශෘරීරික වධ හිංසා පමුණුවන බවට තර්ජනය කොට, ඇය පැය දෙකකට වැඩි කාලයක් අසරණ තැනැත්තියක බවට පත් කැරගෙන සිටියේය. ඔරුතොටදී තවත් මාධ්‍යවේදියකුට පහරදුන් සෙබළු ඔහුගේ කැමරාව පොඩි පට්ටම් කළහ. ප‍්‍රහාරයෙන් ලත් තුවාල නිසා ඔහු දෙදිනක්ම රෝහල්ගත කරනු ලැබ සිටියේය.

මාධ්‍ය නිදහස කට වචනයට සීමා නොකරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. ජාත්‍යන්තර මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකය අනුව කරුණු සලකා බලන විට මේ රටේ තත්ත්වය ඉතාම පහළට වැටී ඇති අතර, ලෝකයේ නරකම රට බවට ඒ අතින් පත්ව තිබේ. රජයේ නියෝග යටතේ ක‍්‍රියාත්මක වන ආරක්‍ෂක හමුදාවල හැසිරීම, මේ සිද්ධියේදී අපට දක්නට ලැබුණු පරිදි, රජයේ නරක වාර්තාව හොඳ අතට හරවා ගැනීමට උපකාරී නොවේ’ කර්තෘ සංසදය කියයි.

මාධ්‍යවේදීන්ට පහරදීම ඉතා බරපතළ සිද්ධියක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා කියයි.

‘‘මේක ඉතාම බරපතළ සිද්ධියක් විදියට තමයි අපි දකින්නේ. ජනතාවගේ ප‍්‍රශ්නයකදී වගකිවයුත්තන් හරි ආකාරයට කටයුතු නොකළ නිසා තමයි තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න පාරට බහින්න සිදුවුණේ. මාධ්‍යවේදීන් එම ස්ථානයට ගියේ ආරක්‍ෂක අංශවල හෝ උද්ඝෝෂකයන්ගේ හෝ පැත්තක් ගන්න නෙමේ.
එතැන වෙන දේ හරි ආකාරව වාර්තා කරන්න. ඔවුන්ගේ වගකීම සහ රාජකාරිය එයයි’’

‘‘මිනිසුන්ට අමානුෂික ලෙස පහරදීමේ සාක්ෂි නැති කරන්න තමයි මුලින්ම මාධ්‍යයට ගැහුවේ. මාධ්‍යවේදීන්ට ගහලා කැමරා කුඩු කළා. කොයි තරම් අමානුෂිකද කියනවානම් තුවාල ලැබූ මාධ්‍යවේදිනියකට බෙහෙත් දාගන්නවත් එළියට එන්න බැරි තත්ත්වයක් තිබුණේ’’

‘‘උද්ඝෝෂකයන් විසිරුවන්න පොලිසියට තිබුණා. පොලිසිය නොකැඳවා හමුදාව එතැනට කැඳව්වේ කවුද කියා අපි අහනවා. මේ නීති විරෝධී නියෝගය ලබා දුන්නේ කවුද කියා අප අහනවා.’’ ඒ සුනිල් ජයසේකර මහතාගේ හඬයි.

සිතා මතා සැලසුම්සහගතව මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් හමුදාව ප‍්‍රහාර එල්ල නොකළ බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.

‘අපේ හමුදාව හිතාමතා සැලසුම්සහගතව මාධ්‍යවේදීන් ඉලක්කකරගෙන ප‍්‍රහාර එල්ල කළේ නෑ. උද්ඝෝෂකයක් අතර සිටි පිරිසක් හමුදාවට පෙට‍්‍රල් බෝම්බ ගහද්දී, පොලිසියට ගහන්න හදද්දී හමුදාව දැක්වූ ප‍්‍රතික‍්‍රියාවලදී මාධ්‍යවේදීන්ට තාඩනයක් පිඩනයක් සිදු වුණානම් අපි ඒ ගැන කණගාටුවෙනවා. මේ සිද්ධියේදී හමුදාවේ හැසිරීම ගැන යුද හමුදාවෙන් සහ පොලිසියෙන් පරීක්‍ෂණ පවත්වනවා. එම පරීක්‍ෂණවල ප‍්‍රධාන නිර්ණායකයක් තමයි මේ මාධ්‍යවේදීනට පහර දුන්නැයි කියන සිද්ධිය ගැන හොයන එක. ඒ සම්බන්ධයෙන් සාධාරණව පරීක්‍ෂණ පවත්වාගෙන යනවා. තව පාරක් මට කියන්න තියෙන්නේ හමුදාව සිතා මතා සැලසුම්සහගතව මාධ්‍යවේදීන්ට පහර දුන්නේ නැති බවයි. බි‍්‍රගේඩියර්වරයා කියයි.

 

                                තරිඳු ජයවර්ධන                                 

 



අදහස් (0)

මීඩියාවල ඉන්නේ බල්ලෝ මුන් තමයි ප‍්‍රශ්න අවුලූවන්නේ

ද සිල්වා Monday, 12 August 2013 03:22 AM

ජල ප්‍රහාරයක් හෝ කඳුළුගෑස් ගහල විසුරවන්නේ නැතුව වෙඩි තියල ඉස්කෝලේ යන කොල්ලො මරන්නේ හමුදාවට පිස්සුද , ආණ්ඩුවට කඩේ යන මිනිස්සු කන්නේ බත්ද?(නදී)

:       0       0

සමන් Sunday, 18 August 2013 07:23 AM

රේමා කන්නේ පිදුරුද ? ගොන් අලියා. ජනතා විමුක්ති පෙරමුණ මේකට ගාව ගන්නේ කඩේ යන හින්දද ? ඕනෙම ගොනෙකුට මෙතන උනේ මොකක්ද කියල පෙනෙනවා. ඔයා වගේ පොට්ටයෙකුට හැර.(නදී)

:       0       0

චාමර Wednesday, 14 August 2013 08:52 AM

අවි ගත් අය ලග අවිය මිස හදවතක් නැති බව ඔප්පු කලා. මම 2008දි දවසක් කොහුවල ආමි කැම්ප් එකේ ඉදන් කකුල් තුවාල වුනු 04ක් හරි ඔ5ක් හරි මගේ ඇල්ටෝ කාර් එකේ ගෙන ගියා.මට එදා හිතට පුදුම සතුටක් දැනුන අපි නිසා යුද්දෙදි තුවාල වුනු අපේ මිනිස්සුන්ට පොඩි හරි උදව්වක් කරන්න ලැබුන නේද කියල.මොකද එවෙලාවේ 120 පාරේ ඕන තරම් වාහන දාවනය වුනා එත් මේ කිහිලි කරු වලින් යන සොල්දාදුවන් ලග ඒවා නතරවුණේ නැහැ. සමහර අයගේ කකුල් නවන්න බැරි නිසා මගේ රියදුරු අසුනත් ඉදිරියට නවගේන්යි ගියේ . අද මට හිතෙනවා මමත් අනිත් අය වගේ වුනානම් හොදයි කියල මිනිසුන්ට වෙඩි තිබ්බ විදිය දැක්කම.අපි ඔතන් හිටියනම් අපිටත් ඔය ටිකම නේද? ආමි මහත්තයෝ ආයි නම් වතුරත් නැහැ .එකෙකුටවත් චන්දෙ දෙන්නෙත් නැහැ .මිට වැඩිය හොදයි ඒ වෙලාවෙත් කියක් හරි හම්බ කර ගන්නවා.පුළුවන් වුනොතින් රටෙනුත් පිටවෙලා යනවා. පුළුවන් නම් නන්ද මාලනිගේ මේ සින්දුව අසපල්ලා. රණ දෙරණේ ගිනි අවි ගත් යුද සෙබළුනි අසනු මැනවි (දී)

:       0       0

අරු Tuesday, 20 August 2013 11:46 PM

හමුදාවේ ඉන්නේ රණ විරුවෝ නොවෙන බව ඔප්පු වී හමාරයි. (නි)

:       0       0

aruna Thursday, 22 August 2013 09:22 PM

හමුදාවෙත් බල්ලෝ ඉන්නවා නේද?(නදී)

:       0       0

චන්දා Sunday, 11 August 2013 05:57 PM

ඇස් වසාගෙන අලියාගේ කකුල අත ගෑ කෙනෙක් කිවුවලු අලියා වංගෙඩියක් වගේ සතෙක් කියලා. හැමෝටම පුදුමේ මොකද වුණේ කියලා. ඒකෙන්ම පේනවා ගේමේ තරම. කිසිවෙකුටත් අවැඩක් වෙනු දැක අපි කිසිදා තුටු නොවෙමු. (නි)

:       0       0

කසුන් Tuesday, 20 August 2013 08:02 AM

සමස්ත හමුදාවම මෙයට වග කිව යුතු නැත යන්න මගේ අදහසයි. හමුදා සොයුරන් මීට වසර 4 කට පෙර අප වෙනුවෙන් කළ දේ අපට තවමත් මතක ඇත. එදා හමුදාව සමග අත්වැල් බැද ගත් සිංහල ජනයට මෙසේ පහරදීම අපගේ සිත්වලට ඇතිකරන්නේ විශාල කණගාටුවකි. (නි)

:       0       0

සුජී Thursday, 22 August 2013 04:25 PM

පාරවල් හරස්කරගෙන අන් යට කරදර නොවන පරිදි කරන දෙයක් සාදාරන ලෙස කිරීමට මනුස්ය වර්ගය වැනි මනසින් දියුණු අපගේ ප්‍රදාන වගකීමක් සහ යුතුකමකි.(නදී)

:       0       0

කුෂාන් Tuesday, 20 August 2013 10:33 AM

අවුරුදු 30ක් පුරා දවසට මිනිස්සු 30 40 ගානේ මැරුණු අතිතේ වෙනස් කරපු අපේ හමුදාව අතින් වුණ එක වැරැද්දක් අල්ලාගෙන ඇගිල්ල දික් කරන කෙලෙහි ගුණ නොදන්නා අය ඉන්න රටකට හරියයිද (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 14 August 2013 11:34 PM

ද සිල්වා 2013-08-12 03:22:50 ජල ප්‍රහාරයක් හෝ කඳුළුගෑස් ගහල විසුරවන්නේ නැතුව වෙඩි තියල ඉස්කෝලේ යන කොල්ලො මරන්නේ හමුදාවට පිස්සුද , ආණ්ඩුවට කඩේ යන මිනිස්සු කන්නේ බත්ද?(අ)

:       0       0

ඉෂාන් Monday, 19 August 2013 02:05 AM

හිතේ හැටියට මිනිස්සුන්ට ගහන්න මරන්න ඕනෑ හින්දා නේද මීඩියා වලට මුලින්ම ගහලා පන්නලා තියෙන්නේ. (නි)

:       0       0

ඉෂාන් Monday, 19 August 2013 02:07 AM

රුසෙල්, අපේ හමුදාව ලොකු වෙහෙසක් අරන් තියෙනවා සමාදානෙන් විසුරුවන්න. (නි)

:       0       0

චාමික Saturday, 24 August 2013 12:23 PM

හරිම පුදුමයි. ප්‍රබාකරන් මැරුවම ඒගොල්ලෝ මුළු රටේම ලේ නෑයන් වුනා. දැන් ආයේ අපිට ගැහුවම මැරුවම වහකදුරු වෙලා. කාලෙන් කාලෙට අපිට එයාලා පෙනෙන හැටි වෙනස් වුනාට එයාලා හැමදාම කලේ රස්සාව. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමේ ගෞරවය ඔවුන් පිලිගන්නවා නම්, නිරායුධ සාමාන්‍ය තරුණයන් තිදෙනෙකු මරා දැමීමේ පිළිකුල් සහගත නින්දාවත් ඔවුන් බාරගත යුතුයි. නැත්නම් ඒ දෙකම බාර නොගෙන සිටිය යුතුයි. එනිසා ඔවුන්ට දොස් කීම වැරදි නම් , ඒ අයට අනවශ්‍ය ගෞරවයක් දෙන්නවත් "ඔවුන් වෙනුවෙන් අපි" වෙන්නවත් අවශ්‍ය නැහැ කියලා මං හිහන්නේ. (නි)

:       0       0

චාමික Saturday, 24 August 2013 12:23 PM

හරිම පුදුමයි. 88 කොල්ලෝ කෙල්ලෝ මරපුවම හමුදාව අපිට වහ කදුරු වුනා. අයෙත් ප්‍රබාකරන් මැරුවම ඒගොල්ලෝ මුළු රටේම ලේ නෑයෙක් වුනා. දැන් ආයේ අපිට ගැහුවම මැරුවම වහකදුරු වෙලා. කාලෙන් කාලෙට අපිට එයාල පෙන හැටි වෙනස් වුනාට එයාල හැමදාම කලේ රස්සාව. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමේ ගවුරවය ඔවුන් පිලිගන්නවා නම්, නිරායුධ සාමාන්‍ය තරුණයන් තිදෙනෙකු මරා දැමීමේ පිලි කුල සහගත නින්දාවත් ඔවුන් බාරගත යුතුයි. නැති නම් ඒ දෙකම බර නොගෙන සිටිය යුතයි. එනිසා ඔවුන්ට දොස් කීම වැරදි නම් , ඒ අයට අනවශ්‍ය ගෞරවයක් දෙන්නවත් "ඔවුන් වෙනුවෙන් අපි" වෙන්නවත් අවශ නෑ කියල මන් හිහන්නේ.(නදී)

:       0       0

එරංග Friday, 16 August 2013 01:31 PM

කමල් මහත්තයෝ, මෙයාලට මීට වඩා ගරුත්වයක් මගේ තිබුණා. දැන් ඒකත් නැතුව ගියා. (නි)

:       0       0

අහිංසක Monday, 19 August 2013 01:39 PM

පොලු ගත්තේ මරන්නමයි දරුවන්... අපගේ ලේ දුන්නේ රකින්නමයි ජිවිත ඔබගේ ... (නි)

:       0       0

කමල් Friday, 16 August 2013 12:29 AM

සමස්ථ රණ විරුවන්ටම නිගරු කරන්න එපා. මාධ්‍යවේදීන්ට පහරදීම ගැන සාධාරණ පරීක්‍ෂණයක් කරනතුරු දිගටම ක්‍රියාත්මක වන්න. නැත්නම් හරි හෝ වැරදි තොරතුරු දැනගැනීමේ අයිතිය අපට නැතිවෙනවා. (නි)

:       0       0

ඒමන් Friday, 16 August 2013 08:18 PM

මේක හමුදාවට දොස් කියල වැඩක් නැ හමුදාව ඕකට එවපු එවන්ට වෙඩි තියන්න ඕනේ.(නදී)

:       0       0

Russel Sunday, 11 August 2013 09:39 PM

අපේ හමුදාව ලොකු වෙහෙසක් අරන් තියෙනවා සමාදානෙන් විසුරුවන්න , නමුත් කට්ටිය ඉල්ලගෙන කාල තියෙන්නේ , ඔය දැන් ඉන්නේ අපුරුවට සාමකාමිව ,(ස)

:       0       0

ඩෙනම් Friday, 16 August 2013 01:29 AM

ඒ දවස්වල ගත්තු උණ්ඩ පුස් වෙන්න කලින් ඕකෙන් වැඩක් ගත්තා.(නදී)

:       0       0

රේමා Sunday, 11 August 2013 03:18 PM

මාධ්‍ය වේදියෝ අපක්ෂපාති වාර්තා දුන්න නම් ඔහොම වෙන්නේ නැහැ. එයාලා ජවිපෙට කඩේ යනකොට ඔහොම දේවල් වෙනවා.(නදී)

:       0       0

සුජිත් ප්‍රනාන්දු Saturday, 17 August 2013 08:43 PM

මේවා .සහගහන.අපරාද. මේවට වග කියන්න ඕනේ අය දන්නවනේ. තවත් ඡන්දය දෙන එකයි තියෙන්නේ.(නදී)

:       0       0

සත්‍ය Monday, 19 August 2013 06:48 AM

අනේ රෙමා, රෙද්දක් ඇඳගෙනද නැත්නම් නැත්නම් උපන් මොහොතේ වගේ ඉඳගෙනද ඔබ මැත දොඩවන්නේ? (නි)

:       0       0

චන්දන Saturday, 17 August 2013 08:59 PM

ආමි එකේ ඉන්න දෙතුන් දෙනෙක් නිසා මුළු ආමි එකේම නම කැතවුණා (නි)

:       0       0

සත්‍ය Monday, 19 August 2013 06:56 AM

රුසෙල්ටයි, රෙමාටයි හිතේ අමාරුව හැදිලා තියෙන්නේ හමුදාවට රිදුනා කියලා. මිනිස්සු පෙළපාලි ගියේ ඔවුන් අතීතයේදී පණවගේ රැකගත් හමුදාවල අයට විරුද්ධව නොවන බව හමුදාවල අයත් දන්නවා. නමුත් ඒ වීර හමුදාවම අද ජනතාවගේ ශාපයට ලක්වෙලා. අවාසනාවක මහත. (නි)

:       0       0

විශ්ව Tuesday, 13 August 2013 10:51 AM

හමුදා සෙබළුන් ඉහළින් ලැබෙන නියෝග අනුව වැඩ කරන්නේ.මේ අවස්ථාවෙදිත් සිද්ධ වුනේ එවැනි දෙයක්. ඉතින් මේක කාගෙ වැඩක්ද කියල තේරෙනවනේ. (ස)

:       0       0

ධම්මික Tuesday, 13 August 2013 11:04 AM

රණවිරුවෝ මොකද්ද මේ කරගත්තේ (දී)

:       0       0

සුගත් Monday, 19 August 2013 07:37 AM

ඇත්තටම කව්ද බල්ලෝ? (නි)

:       0       0

මධූ Wednesday, 21 August 2013 11:26 AM

ඉතාම කලකිරෙනවා අපේ රට ගැන මේ ලිපිය කියෙව්වම. හමුදාව මහජනතාවට සලක ඇති ආකාරය මෙහි පළකර ඇති ෆොටෝ වලින් ඉතා හොඳට පැහැදිලිවෙනවා. හමුදාව මෙතරම් නරක තත්වයකට පත්වුයේ කෙසේද කියා සිතා ගැනීමටවත් නොහැකිය. ජල ප්‍රශ්නය නිසා අසරණ වී සිටින්නේ ඔවුන්සේම සාමාන්‍ය ජනතාව බව හමුදාවට නොතෙරුනේ කෙසේද. රටෙහි සිදුවන දෙය පිළිබඳව අප දැනුවත් කරන මාධ්‍ය සගයින්ට සලකා ඇති ආකාරය පිළිකුල් සහගතය. ඔවුන්ට සිදුවූ අපහසුතාවයන්ට සහ අලාභානි වලට හමුදාවට නිසි දඬුවම් දිය යුතුය.මේ සිදුවන දේවල් සමඟ අපට රජය සහ නීතිය ගැන ඇති විශ්වාසය නැතිවෙමින් තිබෙන්නේ. අවසාන වශයෙන් කියන්න තිබෙන්නේ අපේ රටේ අසරණ අහිංසක ජනතාවට අසාධාරණයක් නොකිරීම ඔබලාගේ පරම වගකීමයි.

:       0       0

සුමන Monday, 12 August 2013 06:38 PM

ඔය ගොල්ලන්ට සෙත්පතා "බෝදිපුජා"අපි තියන්නේ නෑත. නොමැත. (අ)

:       0       0

සුජීව පද්මකුමාර Sunday, 18 August 2013 12:26 AM

මාධ්‍යය බොරු කියන්නේ නැහැ (නි)

:       0       0

තරූ Sunday, 25 August 2013 02:34 PM

හමුදාවට අන දුන්නේ කව්ද? එයා තමයි මේ හැමදේටම වග කිව යුත්තේ. (නදී)

:       0       0

අසෝක Thursday, 22 August 2013 02:41 PM

සොල්දාවරුනි, තිබුනාද නුඹටත් හිතක්,පපුවක්? සිටියා නම් නුඹේ සොයුරියක්, මවක්, සොයුරෙක්, ඉල්ලා දිය බිඳක් හඬන විට දෙන්නට බැටන් පහරක්? නොසිතුනේ ඇයි නුඹට ඒ අයත් නුඹේ පවුලේම අය කියා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 31 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 739 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1278 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 170 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 403 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 573 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 507 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2025 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site