(සටහන - මරී-හෙලේන් ඩි අල්මේදා)
ඇස් දෙක පියාගත්තාම මට මනෝරාණිව මැවිලා පේනවා.
ඇය කොණ්ඩේ පිච්ච මල් ගැහුවා. මනෝරාණි කොයි වේලාවකවත් ඉන්දියානු සාරි ඇන්දේ නැහැ. ඇය ඇන්දේ ඒ කාලේ ලංකාවේ හැමෝම ඇඳපු නයිලෙක්ස් සාරි. උස සිරුරක් තිබුණු ඇය මල් මෝස්තර සහිත නයිලෙක්ස් සාරි ලස්සනට ඇඳලා කුංකුම පොට්ටුව තියනවා.
කුංකුමවලින් පොට්ටුව තියන්න වේලාවක් නැත්නම්, ලිප්ස්ටික් කූරෙන් පොට්ටුවක් ඇඳගන්නවා. ඇය කොයි වේලාවකවත් දොස්තර බෑග් එකක් ගෙනිච්චේ නෑ. හැබැයි ඕනෑම වේලාවක ඇගේ උරහිසේ වෙද නලාව එල්ලුණා. මනෝරාණි කිසි වේලාවක එයාගේ ගෙදර මත්පැන් බෝතල් තියාගත්තේ නෑ. රිචඩ් එහෙම කළේත් නෑ. ඒ දෙන්නා ජීවත් වුණු ගෙදර ඒ වගේ තැනක් නෙවෙයි. ඒ දෙන්නාගේ ගෙදර කියන්නේ, දවසේ වැඩ නිමා කරලා, යාළු මිත්‍රයෝ මුණගැහිලා, ඕනෑ නම් මත්පැන් වඩියකුත් එක්ක අල්ලාප සල්ලාප පවත්වලා ආපහු එන්න තියෙන තැන. ඒ ගෙදර පොත්පත් කියවන්න, ලියන්න, විවේකයෙන් ඉන්න තියෙන තැනක.
මනෝරාණි කිසි වේලාවක රිචඩ්ට ‘රිචඩ්’ කියලා කතා කළේ නෑ. ඇය රිචඩ්ට කතා කළේ සොයිසා කියලා. රිචඩ් ඇයට කතා කළෙත් සොයිසා කියලා. සොයිසයි සොයිසයි. ඒක දෙන්නාට දෙන්නා ආදරේට කියාගත්තු නම. හරියට දෙන්නාම එක්කෙනෙක් වගේ. හැබැයි ඒ දෙන්නා කොයි වේලාවකවත් එකිනෙකාව වැළඳගත්තේ නෑ. ඇත්තටම නම් මනෝරාණි අපි කාවවත් බදාගත්තේ නෑ. මනෝරාණිගේ හිනාව තමයි හැමදේම. ඇය අපිට උණුසුම, සෙනෙහස, ආදරය පළ කළේ ඒ හිනාවෙන්. ඒ සිනහවේ ඒ සියල්ලම තිබුණා.
අපිට ඇය මනෝරාණි ඇන්ටා. මං ඇයට කතා කළේ එහෙම. ඇය මං ඉපදුණු දවස්වල ඉඳලාම මගේ ජීවිතේ කොටසක්. මනෝරාණි තමයි මා ජීවිතයේ දැන සිටි ධෛර්යවන්තම, අභිමානනීයම ගැහැනිය. ඇය අධිකාරිත්වයක් සහිතව කතා කරනවා. නමුත් කිසි විටෙක රළු පරළු වචන දමා ගසන්නේ නැහැ. ඇය හුදෙක් අපේ පවුලේ ආදරණීය වෛද්‍යවරිය විතරක් නෙමෙයි. ඇය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නියම වෛදවරියක්. ප්‍රඥාගෝචරයි. ප්‍රායෝගිකයි. සංයමශීලියි. මම දුවලා දෙන්නාම ප්‍රසූත කළේ ඇය ළඟ. ගැහැනු පරම්පරාවකගේම දරුවෝ ඇය නිරුපද්‍රිතව මේ ලෝකෙට ගෙනාවා. බොහෝ විධිවලින් ඇය මේ රටේ බොහෝ ගැහැනුන්ට පූජනීය, පරමාදර්ශීය චරිතයක් වුණා. ඇයව සමීපව දන්නා අපටත්, ඇයව දුරින් පමණක් දැක ඇති අයටත්, ඇය විශ්වවිද්‍යාලයට බයිසිකලයෙන් යන එන අයුරු බලා සිටි අනාගතය පිළිබඳ අපේක්ෂාභරිත යොවුන් වෙද්‍ය ශිෂ්‍යාවන්ටත්, පසු කලෙක ඈ විසින් දැල්වූ එළියෙන් මහා ඝනාන්ධකාරයෙන් හිස ඔසවාගන්නට ශක්තිය සොයා ගත් මේ රට පුරා විසිරී සිටි දහස් ගණනක් අම්මලාටත් ඇය පරමාදර්ශී ගැහැනියක් වුණා. නැහැ, ඉන්න. අපේ ජීවිතවලට මනෝරාණි වැදගත් වුණේ ඇයි? කොහොම ද? මනෝරාණි පිළිබඳ මතකය මේ රටේ බොහෝ දෙනකුට වටින්නේ ඇයි? කියන එක කතා කරන්න කලින්, මනෝරාණිට ඇගේ ජීවිතේ වඩාම වැදගත් වුණේ මොනවා ද? කියන එක ගැන කතා කරන්න මට ඉඩ දෙන්න.
සැකක් නෑ, ඒ සොයිසා තමයි. මනෝරාණිගේ ජීවිතේ ඇගේ වෘත්තීය කටයුතු සහ රිචඩ් වටා භ්‍රමණය වුණු එකක්. ඔහු සමඟ ඇයට තිබුණු සම්බන්ධය ඇගේ යහපත්ම ගුණාංග පිළිබිඹු කළා. එය මනසින් පෝෂණය කොට හදවතේ රුවා ගත් ගැඹුරු බුද්ධිමය සම්බන්ධතාවක්. ඔවුන් දෙදෙනා එකිනෙකා සමඟ බොහෝ දේ බෙදා ගත්තා. ඒවා සමාජයට පේන්න කරපුවා නෙමෙයි. ඔවුන් අතර තිබුණේ බොහොම පෞද්ගලික බැඳීමක්. නමුත් ඔවුන් ගත කළ ජීවිතවල ස්වාභාවය නිසා ඔවුන් ළඟ සහ ඔවුන් වටේ නිරන්තරයෙන් විශාල පිරිසක් හිටියා. ඒ අර්ථයෙන් ගත්තාම ඇත්තටම මනෝරාණි කවදාවත් තනි වුණේ නෑ. නිරන්තරයෙන්ම රිචඩ්ගේ මරණයෙන් පසුව පවා ඇයට ආදරය කළා. ඇයව පිදූ මිනිසුන් ඇය වටේ පිරී සිටියා.
රිචඩ් මරා දැමුවාට පසුව ඇගේ ලෝකය කඩා වැටුණා. අපි ඒක දැක්කා. අපේ ඇස් ඉස්සරහා ඒක සිද්ධ වුණා. නමුත්, මොන තත්වයක් යටතේවත් මනෝරාණිගේ චරිතයේ සාරය වෙනස් වුණේ නැහැ. ඇය කිසි විටෙක බීමත්කමට ඇබ්බැහි වුණේ හෝ කුණුහරුපයෙන් කතා කරන්නට පටන්ගත්තේ හෝ කෝපයෙන් ඇවිළෙන්නට ගත්තේ හෝ නැහැ. රිචඩ්ගේ ඝාතකයන් අබිමුවේදී පවා ඇය ප්‍රතිචාර දැක්වූයේ මහත් ගෞරවනීයව, අභිමානවත්ව.
රිචඩ්ගේ ඝාතනයෙන් පසු ගෙවී ගියේ වචනයට නැගිය නොහැකි තරම් කම්පනයකින් ඇලළී ගිය, සෑම නිමේෂයකම අලුත් වෙන, භීෂණයකින් පිරුණු කාලයක්. අපි හැමෝම ජීවත් වුණේ මහා බයකින්. අපි අපේ ජීවිත ගැනත්, අපේ දරුවන්ගේ ජීවිත ගැනත් බයෙන් හිටියේ. අපි කොච්චර බයෙන් හිටියා ද කිව්වොත් දරුවන්ව ඈත ඉන්න නෑදෑ ගෙවල්වල නවත්වන්න අපිට සිද්ධ වුණා. අපේම ගෙවල්වල අපි නිදාගත්තේ පණ බයෙන්. මේ වැනි කාලයක තමයි මනෝරාණි තුළ අපි නොහිතපු විදිහට අභීතව නැගී සිට අභියෝග කිරීමේ ආවේශයක් ගොඩනැගුණේ. ඇය ඒක පටන්ගත්තේ සොයිසාගේ ෆියුනරල් එකෙන්. සාමාන්‍යයෙන් අපේ පවුල්වල මියගිය අයව ආදාහනය කරනවා. නැත්නම් භූමදානය කරනවා. නමුත් මනෝරාණි කිව්වා, රිචඩ්ගේ දේහය චිතකයක පුච්චන්න ඕනෑ කියලා. ඒක හතර වට ගිනි ජාලා බුර බුරා ඇවිළුණු ලොමු දැහැගැන්වෙන සුලු දැවැන්ත දර්ශනයක්. අතිශයින් සිනමාත්මකයි. මොනම සිනමාකරුවෙක් වුණත් එවැන්නක් තමන්ගේ චිත්‍රපටය තුළ ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් නොකරන්නේ මොනවා ද?
ඒ තීව්‍ර උච්චස්ථානයේ නිමාවෙන් අනතුරුව සියල්ල දරාගත යුතු අදියර එළැඹුණා. භීෂණය සහ වියෝවේ කම්පනයෙන් අනතුරුව, මාධ්‍යයේ ඝෝෂාව සහ දේශපාලකයන්ගේ රංගනයන් සහ මහජන විරෝධයෙන් අනතුරුව ඇගේ ජීවිතයේ ඉතුරු ටික ඇරැඹුණා. මනෝරාණි ඒ කරා එළැඹුණේ දේශපාලන ගමනකට පිවිසෙන ආකාරයට නොවේ. ඒ වෙනුවට ඇය, සොයිසා සමඟ ඇයට තිබුණු සහබන්ධනයේ ආධ්‍යාත්මයම පෙරදැරි කරගත්, එනම්, ගැඹුරින්ම පෞද්ගලික වූ මුළුමනින්ම පාහේ අප්‍රසිද්ධ ගමනකට එළැඹුණා. ඒ ගමනට ඇය පිවිසියේ අම්මා කෙනෙක් හැටියට.
හැම මාසෙකම මම මනෝරාණිත් එක්ක මහව කිට්ටුව තිබ්බ පුංචි ගමකට ගියා. ඒ ගමේ හිටපු භීෂණ කාලේ තමන්ගේ ස්වාමිපුරුෂයන් අතුරුදන් වෙච්ච ගෑහැනු එක්ක මනෝරාණි වැඩ කළා. ඒ ගමේ හැම පිරිමියෙක්ම පොලිසිය ඇවිල්ලා අරන් ගිහින් තිබ්බා. එයින් පස්සේ ඒ කවුරුත් ඇපසු ඇවිල්ලා නෑ. අතුරුදන් වෙලා හිටියේ පිරිමි වුණාට මනෝරාණි ඒ ගමට කිව්වේ සියල්ල අහිමි වූ ගැහැනුන්ගේ ගම කියලා. මොකද, ඒ ගැහැනු තමන්ගේ පවුල රැක බලාගත්තු සැමියා නැති වුණාට පස්සේ කර කියා ගන්න දෙයක් නැතුව සම්පූර්ණයෙන්ම අසරණ වෙලා හිටියේ. ඒ ගැහැනු ගමේ පන්සලට එකතු වෙනවා. මං ඒගොල්ලන්ගේ පොඩි දරුවො එක්ක මොකක් හරි සෙල්ලමක් කරනවා. ඒ අතරේදී මනෝරාණි ඒ ගැහැනුන්ට කතා කරනවා. ආත්ම විශ්වාසය ඇති කරගෙන ජීවිතේ නැවත ගොඩනගා ගන්න පුළුවන් විදි ගැන මනෝරාණි ඒ අය එක්ක සාකච්ඡා කරනවා. ඒක ඉතාම දුෂ්කර වෑයමක්. නමුත් මනෝරාණි ඒක කළා. කොහොම හරි ඒ ගැහැනු හෙමින් හෙමින් පුංචි ස්වයං රැකියා, කුඩා ව්‍යාපාර පටන් අරන්, දෙපයින් නැගී සිටින්න ධෛර්යය හොයාගත්තා. ඒ ගැහැනු මනෝරාණි ගැන කිව්වේ, “ඇය අපිට දෙවි කෙනෙක් වගේ” කියලා.
පත්තරේක පළ වෙච්ච එක පුංචි ලිපියක් ඇරෙන්න මනෝරාණි ඒ ගමේ කරපු වැඩ ගැන කොහෙවත් ලොකුවට සඳහන් වෙලා නෑ. ඒකට හේතුව මනෝරාණි කරපු වැඩ දේශපාලන පෙළඹුමකින් කරපුවා හෝ කිසිම විදිහකින් සාටෝපකාරී ඒවා නොවීමයි. ඇයගේ ඒ දායකත්වය, මව් පෙරමුණේ බැනර් එකක් පිටිපස්සේ හිටගෙන ඉන්න එකට වඩා තමන් වගේම පාලන රෙජීමය යටතේ ඛේදවාචකයන්ට මුහුණ දුන්නු, තමන්ට සැබෑ බැඳීමක් දැනෙන සහෝදර ගැහැනුන්ගේ ජීවිත නගාසිටුවීම පිළිබඳ කතන්දරයක් වුණා.
ඇස් දෙක පියාගත්තාම රිචඩ්ව මරා දාන්න කලින් හිටපු මනෝරාණිත්, රිචඩ්ව මරා දැම්මාට පස්සේ හිටපු මනෝරාණිත් දෙන්නාම මට මැවිල පේනවා. රිචඩ්ගේ ඝාතනයෙන් පස්සේ ඇය කිසිදාක කලින් හිනා වුණා වගේ හිනා වුණේ නැහැ. නමුත් ඇය තුළ තිබූ ශක්තිය, ඇය දරා සිටි පරමාර්ථ සහ ඇගේ අභිමානය ඒ ලෙසම තිබුණා. ඇය පිළිබඳ වූ ඒ කිසිවක් මේ චිත්‍රපටියේ දකින්නට නොලැබීම අභාග්‍යයක්. නැහැ, අභාග්‍යයට වඩා මෙය ඛේදනීය තත්වයක්. එය උත්කෘෂ්ට ගැහැනියකගේ ජීවිතය පිළිබඳ අතිශයින් හානිදායක, අගෞරවනීය නිරූපණයක්. උත්ප්‍රාසය නම්, මෙලෙස සාවද්‍ය ලෙස නිරූපණය වන්නේ තමන් කළ කී සියලු දේ තුළින් සැමගේ අවධානය සහ ආකර්ෂණයට ලක් වූ, චිත්‍රපට ගණනාවකට වස්තු වීමට තරම් විසල් ජීවිතයක් ගෙවූ ගැහැනියක් වීමයි.
මනෝරාණිව දැන සිටි අපට චිත්‍රපටය දෙස බලා සිටීම වේදනාකාරි වුවත්, අඩුම තරමින් සැබෑ මනෝරාණි පිළිබඳ මතකයන් තුළින් සැනසීමක් අත්විඳින්න අපට පුළුවන්. අප තුළ ඇති ඒ මතකයන් සදාකාලිකයි. ඒවා කිසි ලෙසකින්වත් වෙනස් වන්නේ නැහැ. නමුත් ඛේදවාචකය නම්, මේ චිත්‍රපටය කලා නිර්මාණයක් සහ සංස්කෘතික ඉතිහාසයේ කොටසක් යන ලේබලය යටතේ මේ රටේ ජීවත්වූ සැබෑ සුවිශිෂ්ට චරිතයක් පිළිබඳ සාවද්‍ය, ඕලාරික පින්තූරයක්, අතීතය පිළිබඳ කිසිවක් නොදන්නා තරුණ පරම්පරාව වෙත ඉදිරිපත් කිරීමයි. එනයින් මේ චිත්‍රපටය මනෝරාණි පිළිබඳ මතකයට කරන්නේ බරපතළ හානියක්. ඇයට මීට වඩා ගෞරවයක් ලැබිය යුතු නැද්ද?
(මරී-හෙලේන් ඩි අල්මේදා යනු මනෝරාණි සරවනමුත්තුගේ ලේලියයි. ඇය චිත්‍ර කලාව, නාට්‍ය සහ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශ්‍රාමික ගුරුවරියකි.)
( *** සිංහල පරිවර්තනය - නදී කම්මැල්ලවීර)
පසුගිය 19 වැනිදා අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවක් තුළ දී පාතාල නායකයෙකැයි සැලකෙන ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම ඒ ආකාරයට ම
සම්මානනීය ප්‍රවීණ අංග රචනා ශිල්පියකු මෙන්ම රංගන ශිල්පියකු ද වූ වසන්ත විට්ටච්චි මහතාගේ අවසන් කටයුතු අද (මාර්තු 01) පස්වරු 4.00 ට බොරැල්ල සුසාන භූමියේ දී සිද
’ග්ලෝබල් සවුත්’ හෙවත් අඩු සංවර්ධනයක් පෙන්නුම් කරන සහ සංවර්ධනය නොවූ සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සම්බන්ධයෙන් චීනයේ මැදිහත් වීම පිළිබඳ විශේෂ කථිකාව
ඇස් දෙක පියාගත්තාම මට මනෝරාණිව මැවිලා පේනවා. ඇය කොණ්ඩේ පිච්ච මල් ගැහුවා. මනෝරාණි කොයි වේලාවකවත් ඉන්දියානු සාරි ඇන්දේ නැහැ. ඇය ඇන්දේ ඒ කාලේ ලංකාවේ හැමෝම
වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයාගේ රට කරවීමේ ක්‍රියා කලාපය පිළිබඳව මූලික විමර්ශනයක් කිරීමට තරම් කාලයක් මේ වනවිට ගතවී ඇත. වසර 05ක ආණ්ඩු කාලයක් ඔවුන්ට තිබෙ
විදේශ තානාපති සේවය දේශපාලනීකරණය කිරීම නවත්වා ඒ උදෙසා වෘත්තිය ප්‍රවීණත්වයත්, කුසලතාවත් පිළිගැනීම වෙනුවෙන් පෙනී සිටිමින් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මනෝරාණිට බරපතළ හානියක්