IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


මොරිස් ඔබ එන්න ඇවිත් යන්න එන්න

සම්මානනීය ප්‍රවීණ ගායන ශිල්පියකු වූ මොරිස් විජේසිංහ මහතාගේ අවසන් කටයුතු ඉකුත් 31 වැනිදා ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

මේ ලිපිය ඒ නිමිත්තෙනි.

වසර 1983 ය. ඒ වසර 37 කට පෙරය. මඩකළපුව පාසිකුඩා හි ප්‍රසිද්ධ හෝටල්වල ගීත ගැයූ ගායකයන් සිවු දෙනෙක් සිටියහ. මේ සිවුදෙනා නම් නවරත්න ගමගේ, රංජිත් පෙරේරා, ටයිටස් සී. පෙරේරා හා උපාලි මෙන්ඩිස්ය. මේ අයගෙන් ගැඹුරු හඬින් කීමේ ප්‍රතිභාව තිබුණේ රංජිත්ටලු.

ටික කලකට පසු නවරත්න, රංජිත් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදී සිටියදී මෙසේ අසා ඇත.
‘රංජිත්, ඔයා ඔය විදිහට වෙස්ටර්න් සින්දු කියන්න ට්‍රේනිං වුණේ කාගෙන්ද?’
‘නවා, ගල්කිස්සේ ඉන්නවා මොරිස් විජේසිංහ කියලා සිඟර් කෙනෙක්. එයා හොඳ ගිටාර් වාදකයෙක්, ගායකයෙක්, චිත්‍රපටවලත් සින්දු කියනවා. එයාට කියලයි මම වොයිස් ට්‍රේනිං කර ගත්තේ.’

‘මට ආසයි මොරිස් හඳුනගන්න. මම මොරිස්ගේ සින්දු අහල තියෙනවා. ඒ වෙස්ටර්න් හඬට මම කැමැතියි. නවරත්න කීය.
මොරිස් හමුවීමෙන් පසු නවරත්න ඉතා සමීප මිත්‍රත්වයකින් බැඳුණේය. ඒ වනවිට මොරිස් ගායකයකු ලෙසද නවරත්න සම්මාන ලැබූ සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසද චිත්‍රපට, වේදිකා නාට්‍ය හා ටෙලි නාට්‍යවලට සම්බන්ධවී සිටියේය. මේ නිසා මොරිස් ගී ගැයූ කැසට් පටයකට නවරත්නට අමරණීය ගීතයක් නිර්මානය කිරීමට අවස්ථාව ලැබිණ. උපුල් ශාන්ත සන්නස්ගල ගේය පද ලියූ මේ ගීතය නවරත්නගේ අපූරු තනු නිර්මාණයකින් ජනප්‍රිය ගීතයක් විය. මේ ඒ ගීතයයි.

‘ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න
සෞම්‍ය සඳ සේමා
ඔබ නැතුව බැරුවා
ඔබ නොදැක බැරුවා
මඟ සොය සොයා රුව සනසලා
සත්තකයි මං ඔබ ඇතැයි සිතුවා
මම පෙරුම් පිරුවා
ඔබ එතැයි සිතුවා
මඟ බල බලා
නෙතු දව දවා
රත්තරං මං මඟ බලා හිටියා


මේ ගීතය ගැන නවරත්න ගමගේ මට මෙසේ කීවේය.
‘උපුල් ශාන්ත සන්නස්ගල ගීත කැසට් එකක් නිෂ්පාදනය කරන්න හිටියේ. ඉහත කී ගීතය ලියලා උපුල් මගෙන් මෙහෙම ඇහැව්වා.
‘මේක ගයන්න පුළුවන් ගායකයාට කාවද තෝරා ගන්නේ’
‘මචං මේක කියන්න ලංකාවේ ඉන්නේ එක්කෙනයි. හැබැයි හොඳ කට හඬක්. මම මීට ඉස්සර වැඩ කරල නැහැ. අපි ගිහින් හම්බවෙමු.’
‘උඹනේ දන්නේ ගැලපෙන මිනිහ. කීයක් ගියත් මිනිහවම ගමු.’
ගල්කිස්සේ ධර්මපාල මාවතේ මොරිස්ගේ ගෙදරට ගිහින් තාලය මම ගයල මිමිණුවා. මොරිස් කොච්චර කැමැති වුණාද කිව්වොත් ගෙදර ඇතුළට ගිහින් ගිටාරය අරන් ලස්සනට ගැයුවා.
‘මොරිස් සින්දුව කියන්න කීයක් ගන්නවද? මම ඕනෑම ගණනක් දෙන්නම්. ඔයා මගේ සින්දුව හොඳට එළිය කළා.’ උපුල් ශාන්ත කීය.
‘මම සල්ලි පස්සේ යන කෙනෙක් නෙවෙයි. අපි වැඩේ කරමු. අපි මේ ගීතය හොඳට කරමු.’ මොරිස් ප්‍රීතියෙන් කියා ඇත.
මොරිස් ගයා ඇති ගීත අතළොස්සෙන් ඉතාම ජනප්‍රිය ගීත කිහිපයකින් එකකි ‘ඔබ එන්න’ ගීතය.
මේ ගීතය ඇතුළු ජනප්‍රිය ගීත කිහිපයක් සංගීත රසිකයන්ට ඉතිරි කර තබා මොරිස් පසුගිය 31 වැනිදා අවසන් ගමන් ගියේ කලක් අසනීපයෙන් සිටියදීය.
බම්බලපිටියේ සාන්ත පීතර විද්‍යාලයේ ඉගෙනීම ලැබූ මොරිස් ඩෙන්සිල් බර්නාඩ් විජේසිංහ 1941 ඔක්තෝබර් 16 වැනිදා ගල්කිස්සේදී උපත ලැබීය.
‘මම සාන්ත පීටර් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ පාසල් ගීතය උච්ච ස්වරයෙන් අනිත් සිසුන් අබිබවා ගායනා කරන එක ගැන පාසලේ සංගීතය හා සිංහල භාෂාව ඉගැන්වූ ෆාදර් මර්සිලින් ජයකොඩි විමසිල්ලෙන් සිටියාලු. මට පාසලේ යහළුවෝ කතා කළේ ‘බානි’ කියලා. ඒ නම මගේ පෙළපත් නාමයට ඇතුළත්ව තිබුණේ නෑ. මා විසින්ම පටබැඳගත් නමක්. මම විසින්ම යොදාගත් නමක් ඒ. හත් දෙනකුගෙ පවුලක දෙවෙනියා මම.
දිනක් ජයකොඩි පියතුමා බානි කියන ළමයට එන්න කිව්වැයි කියන පණිවිඩයත් අරගෙන ශිෂ්‍ය නායකයෙක් මා සොයා ගෙන ආවා.
‘පුතා, උඹට තියෙන්නේ දෙවියන්වහන්සේ තෑගි කළ කට හඬක්. බටහිර සංගීතයට වගේම දේශීය සංගීතයත් ඉගෙන ගනින්. මම ඒකට උදව් කරන්නම්.’
‘එහෙමයි ෆාදර්’
එතැන් සිට බානි තම ප්‍රියතම ගායකයා වූ සී.ටී. ප්‍රනාන්දුගේ ගීත ගයා පාසලේ සැණකෙළිවලින් ද සෙසු සහෝදර පාසල්වලද ජනප්‍රිය විය. ස්පාඤ්ඤ, ඉතාලි, ප්‍රංශ, යුරෝපීය සංගීත තැටි අසා ඒවා අනුකරණය කළ බානි ඒ ගීත නිවැරැදිව ගයමින් තම ප්‍රියතම පන්ති මිතුරා වූ නිහාල් ෆොන්සේකා සමඟ ඔපෙරා සංගමයට බැඳී කටහඬ උච්චාරණ කළේය.

යුරෝපීය භාෂා කිහිපයකින් තරු පහේ හෝටල්වල බානි ගිටාර් වාදනය කරමින් ගී ගැයුවේය. මේ ලියුම්කරුට බානි හමුවන්නේ 1969 වසරේ ආනන්ද විද්‍යාලයේ උගනමින් අපේ පන්ති සගයන් සමඟ එක්ව ලංකාවේ පාසල් සිසුන් විසින් ප්‍රථම වතාවට තැනූ ‘නිම් වළල්ල’ චිත්‍රපටය කරන අවදියේය. අප පන්තියේ සිටි චිත්‍රපට මාධ්‍යයත් සංගීතයත් ගැන මනා දැනුමක් තිබූ රංජිත් ලාල් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ හා සංගීත අධ්‍යක්ෂවරයාය. මම චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වීමි. එකල රංජිත් ලාල්ගේ නවාතැනට ගායක නෙවිල් ප්‍රනාන්දු ද මොරිස් විජේසිංහ ද පැමිණ ගිටාරය වයමින් ගී ගයමින් තිබූ සුන්දර දවස් මට කිසිදා අමතක නොවේ.

රන්ජිත් ලාල් නම් මගේ පන්ති සගයා මේ කාලයේ ප්‍රේමසිරි කේමදාසගේ වාදක මණ්ඩලයේ එකෝඩින් වාදනය කළ එකම පාසල් ශිෂ්‍යයා විය. සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන්ට ‘බානි’ ව හඳුන්වා දෙමින් ‘මාස්ටර් මෙයා වොයිස් ට්‍රේනිං කරපු ටැලන්ටඩ් සිඟර් කෙනෙක්. හොඳ ගිටාර් ප්ලේයර්.’ කීවේය. බානිගේ කටහඬට පැහැදුණු කේමදාසයන් සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ ‘ඉන්දුට මල් මිටක්’ චිත්‍රපටයේ ගීතයක් ගැයීමට අවස්ථාව ලබා දුන්නේය. ගීය රචනා කළේ ධර්මසිරි ගමගේය.

‘මේ දෙනෙතේ රසඳුන් කඳුලක් පවතීවා ඒ සිහිනයත් අවසන් නොවෙමින් පවතීවා’
මේ ගීතයයි. බානිගේ ගායන විලාසයෙන් තෘප්තිමත් වූ කේමදාසයෝ පාරදිගේ, හංස විලක්, සිව්රඟ සේනා චිත්‍රපටවල ගී ගැයීමට අවස්ථාව ලබා දුන්හ. එපමණක් නොව ඔහු වෙස් මුහුණු - දෑකැති මුවහත, නෑදෑයෝ ටෙලි නාට්‍යවල ද ගීත ගැයුවේය. දයාරත්න රටගෙදරගේ ‘දෑකැති මුවහත’ ටෙලි නාට්‍යය තේමා ගීතය සඳහා බානිට හොඳම ගායකයාට හිමි සුමති සම්මානයද හිමිවිය.

බානි නොහොත් මොරිස් විජේසිංහගේ ප්‍රියතම ගායකයා වූයේ නෙවිල් ප්‍රනාන්දුය. ඔහු දිනක් නවරත්න ගමගේට කීවේ ‘නවා මම නෙවිල් ‘රන්සළු’ චිත්‍රපටයේ කියපු බඳුන් පිරී ඉතිරෙන මී’ වගේ සින්දුවක් හදා ගන්න කැමැති බවය. ‘නවා’ සම්මානනීය ගීත රචක කුමාර ලියනගේ ලවා අපූරු ගේය පද මාලාවක් (‘මලවි මධුර අවිදුනු සඟවා නුරා බඳුන්’) ලියා අපූරු තනුවක් නිර්මාණය කොට දුන්නේය. ඒ ගීතයත් සමඟ සරත් ධර්මසිරි අධ්‍යක්ෂණය කළ ‘මල් පිපී දැයි බලන්න’ ටෙලි නාට්‍යයට ‘මට කඩා වැටෙන්න ඉඩ දෙන්න’ (ගීත රචනය - වසන්ත කුමාර කොබවක) ගීතය (සහාය ගායනය - ඉන්දිකා උපමාලි) ගැයීය.

බානි ගැයූ ජනප්‍රියම චිත්‍රපට ගීතය වූයේ එච්. ඩී. ප්‍රේමරත්නගේ ‘සප්ත කන්‍යා’ චිත්‍රපටයට රෝහණ වීරසිංහ සංගීතවත් කළ වසන්ත කුමාර කොබවක රචනා කළ මේ ගීතයයි.

‘දූවිල්ලෙන් වත්සුනු තවරා
කුමර කුමරියන් වී ලෙන් ගතු ඇසුරේ
රහස් බැලුම් දෙන හැන්දෑවේ
නන්නාඳුනනා
කය මිස සිත නැති පුරවරයේ’

සරත් ගුණරත්නගේ ‘වත්සලා අක්කා’ චිත්‍රපටයට මොරිස් හා දමයන්ති ජයසූරිය ගැයූ ‘සිහිනෙන් ගෑ සුවඳ ආදරේ’ (ගීත රචනය - සරත් ගුණරත්න/සංගීත රචනය - කාලෝ විජේසිරි) ගීතයද තිස්ස අබේසේකරගේ ‘මහ ගෙදර’ චිත්‍රපටයේ මොරිස්, චිත්‍රා සෝමපාල, නීලා වික්‍රමසිංහ, උපාලි රංජිත් ගැයූ ‘නිල් අහස් තලේ අගෙයි’, ‘ඔබ යන්න ගියා මට එන්න නොහැකි ඈතක’ (ගීත රචක වසන්ත බණ්ඩාර දුක්ගන්නා රාළ/ සංගීතය - සමන්ත පෙරේරා) ‘අතීතයේ අමිහිරි මතකය’ (ගීත රචනය - අරුණ කිත්සිරි/ සංගීතය - එච්. එම්. ජයවර්ධන), ජුලියට්ගේ භූමිකාව චිත්‍රපටයේ ‘මතුරා සටනට රෝමියෝ කුමරුට’ (සංගීතය - ප්‍රේමසිරි කේමදාස) ‘සයුරු තෙරේ’, ‘රතුමල පිනිබිඳු සලයි’ (සංගීතය - කේමදාස/ගීත රචනය - ලූෂන් බුලත්සිංහල) මොරිස්ගේ මතකයේ රැඳුණ ගීත අතර වෙයි.

මොරිස් විජේසිංහගේ ආදර බිරිඳ මරිනා විනෝදනී පෙරේරා තම සැමියා අසනීප වූ පසු තම දෑසමෙන් රැක බලා ගත්තාය. මේ දෙදෙනා හමුවී ඇත්තේ අහම්බෙනි. වාද්දුවේ සිට දෙහිවලට පදිංචියට ආ මරිනාට මොරිස් හමුවී ඇත්තේ තම යාබද නිවසේ පදිංචිව සිටි ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක කාල්ටන් සෙනෙවිරත්න හා මොරිස් අතර තිබූ මිත්‍රත්වය නිසාය. මොරිස් තුළ මරිනා ගැන පිළිබඳ සිතක් ඇති විය. එය කෙළවර වූයේ 1969 ඔවුන්ගේ විවාහයෙනි.

මොරිස් හා මරිනා යුවළට දරුවන් දෙදෙනෙකි. දියණිය මනෝරි ජර්මනියේ වෙසෙන අතර පුතා මෙවන් ව්‍යාපාර කටයුතුවල නියැලෙයි.
ලද දෙයින් සතුටු වන ප්‍රසිද්ධිය පසුපස නොගිය මානව දයවෙන් යුතු සරළ ආහාර වේලකින් කුස පුරවා ගත්, සංගීත ක්ෂේත්‍රයේ රැළි, නිලතල, තරග පසුපස නොගිය, අනුන්ට කිසිදා කරදරයක් නොවූ, ආගමට අසීමිත ලෙස කැපව සිටි, සීමිත මිත්‍ර පිරිසක් (වඩාත් ළඟින් ඇසුරු කළේ රංජිත් ලාල්, නවරත්න ගමගේ, ලක්ෂ්මන් වැලිකල) සමග සිටි මොරිස් ලංකාවේ ඉහළම තරු පහේ හෝටල්වල ගී ගැයුවත් එයින් ලැබෙන ආහාර පානවලට වඩා තම බිරිඳ මරිනාගේ දෑතින් සාදන ඉදිඅප්පන්, අලකරිය, පොල්සම්බෝලය, කොස් මැල්ලුම, පලා මැල්ලුම කැමට හැකි අවස්ථාවකම ප්‍රිය කළේය. ඔහුගේ උදේ ආහාරය බොහෝ විට පලතුරුය.

ඔහුගේ අන්තිම කැමැත්ත වූයේ තමා මිය ගිය පසු පැය 24 ඇතුළත කිසිවකුටත් නොදන්වා හැකි ඉක්මනට තම නිවෙසන ගල්කිස්සේ ධර්මපාල මාවතේ අංක 25 නිවසේ සිට විනාඩි පහකින් යා හැකි ගල්කිස්සේ සුසාන භූමියේ මිහිදන් කළ යුතු බවය. එය අගෝස්තු 31 වැනිදා එලෙසම ඉටු විය.

‘මොරිස්, ඔබ යන්න ගියා අපට එන්න නොහැකි ඈතක’
ඔබට සුබ රාත්‍රියක්!


(*** ඒ.ඩී. රංජිත් කුමාර)



අදහස් (4)

මොරිස් ඔබ එන්න ඇවිත් යන්න එන්න

පුබුදු Wednesday, 02 September 2020 09:06 AM

සොඳුරු මිනිසෙකු වෙනුවෙන් ලියූ අගනා ලිපියක්! එතුමා ගැන නොදන්නා කරුණු රැසක් දැනගත්තා.

:       0       415

විජිත් Wednesday, 02 September 2020 10:14 AM

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට නැවතත් යලි පිරිමැසිය නොහැකි අහිමිවීමක් ලෙසයි මම මෙතුමාගේ නික්මයාම දකින්නේ. සංගීතයේදී සමහර ගායකයින් සතු යම්කිසි විශේෂිත ගුණයක් අප හඳුන්වනවා "හඬ" නොහොත් ස්වරගුණය කියලා. ශ්‍රී ලාංකික සංගීතයේදී යළිත් වෙනත් කෙනෙකුට පහසුවෙන් "අනුකරණය" කළ නොහැකි "හඬක් " තිබූ, අපට අහිමිවුණු ගායකයින් තමයි. නෙවිල් ප්‍රනාන්දු, සුනිල් ශාන්ත, ජෝතිපාල ...වැනි අය... ඒ නම් අතර පසුගිය 31 දා සිට මොරිස් විජේසිංහ මහත්මයාගේ නමත් තියෙනවා. ඒ හඬ ඕනෑම තැනක වෙන්කර හඳුනාගන්න පුළුවන්. ප්‍රිය මහත්මයාණෙනි, සුන්දර ගාන්ධර්වයාණෙනි, ඔබ එන්න ඇවිත් යන්න. ඔබට උතුම්වූ මෝක්ෂ සැප පතන්නම්. ඔබ එන්න. ඔබ ඇවිත් යන්න එන්න. සෞම්‍ය සඳ සේමා. වත රූසිරි බෝමා.. සන්සුන් ගමනේ රූසිරි බෝමා ආදරේ නොකියා...ඉන්නේ කොහොමා... මගෙ රන්කඳට මම ආදරෙයි...// ඔබ නොදැක බැරුවා.. ඔබ නැතිව බැරුවා..// මඟ සොය සොයා - මුව සල සලා සත්තකයි මං ඔබ එතැයි සිතුවා ඔබ එන්න. මම පෙරුම් පිරුවා.. ඔබ එතැයි සිතුවා..// මඟ බල බලා - නෙතු දව දවා රත්තරන් මං මග බලා සිටියා... ඔබ එන්න...

:       0       1014

Ruhunu Wednesday, 02 September 2020 08:09 PM

මහත්මයාණෙනි, ඔබට අමාමහ නිවන් සුව ලැබේවා..!!! 

:       0       115

පූජා Thursday, 03 September 2020 10:09 PM

සුවහසක් ගීත ලෝලින්, දුක් සයුරේ ගිල්වා නික්ම ගිය සුහද ගායකයානෙණි, ඔබ අප අතරින් වෙන්ව ගියත්, ඔබගේ නාමය, ගී ලොවේ සදා අමරණීයව බැබලෙනු ඇත...... ඔබට මෝක්ෂ සුවය අත් වේවා.!!!! ඔබතුමා විසින් ගැයු, මා බෙහෙවින් ප්‍රිය කරන ගීයකි මෙයත්...... සඳේ තනියට ලගින් හිදි තරුවේ......

:       0       114

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 159 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 160 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 1127 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 200 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 478 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1124 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site