IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


​මුලින්ම ජනපතිවරණයද? මහ මැතිවරණයද?

විධායක ජනාධිපති ධුරය හා සසඳා බලන විට රටක ජනතාවගේ ජනමතය වඩාත් නිවැරදිව සමීප ලෙස නියෝජනය වන්නේ පාර්ලිමේන්තුව මාර්ගයෙන් බව අමුතුවෙන් කිවයුතු නොවේ. මන්ද ජනාධිපති ධුරය සඳහා පුරවැසියා ඡන්දය ප්‍රකාශ කිරීමේ දී, අදාළ අපේක්ෂකයා සම්බන්ධයෙන් තිබෙන කැමැත්තට වඩා ඇතැම් විට වෙනත් අපේක්ෂකයකු පිළිබඳ තිබෙන අකැමැත්ත ද බලපාන තත්වයක් තිබේ.

පෙනී සිටින අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව ඉතා සීමාසහිත හෙයින් හා රටම එකම ඡන්ද කොට්ඨාසයක් ලෙස ක්‍රියා කරන බැවින් ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේදී ජනතා කැමැත්ත ප්‍රකාශ වීම ප්‍රශ්නගත ක්‍රියාවලියකි. ඇමරිකාව වැනි රටවල විධායකය සඳහා ඍජු ඡන්දයකට නොගොස්, මැතිවරණ කොලේජ හරහා මෙය කරනු ලබන්නේ ඉහත තත්වය සැලකිල්ලට ගනිමිනි.

එම තත්වය තුළ, පාර්ලිමේන්තුව සඳහා පැවැත්වෙන මහමැතිවරණ යනු වඩාත් කුඩා කලාපයක සිදුවන ක්‍රියාවලියකි. එහි දී ජනාධිපතිවරයා තෝරාගැනීමේ දී මෙන් නොව, රට දිස්ත්‍රික්ක වශයෙන් 25කට බෙදෙන අතර ඒ සෑම දිස්ත්‍රික්කයක් සඳහා ම ඉදිරිපත්වන අපේක්ෂකයන් සිය ගණනකි. එකම පක්ෂයෙන් පවා අපේක්ෂකයෝ රැසක් ඉදිරිපත් වෙති. ඔවුන් තෝරා ගැනීමේ දී ද මනාප තුන බැගින් ලබා දීමේ හැකියාව ද ජනතාවට ලැබේ. මේ තත්වය සලකා බැලීමේ දී, පළමුව රට දිස්ත්‍රික් 25කට බෙදීම පිළිබඳ කාරණයම වඩාත් හොඳින් හා නිරවද්‍ය ලෙස ජනතා කැමැත්ත නියෝජනය කිරීමක් ලෙස සිතිය හැකිය. මීළඟට එකම පක්ෂයකින් අපේක්ෂකයන් රැසක් ඉදිරිපත් වීම හා ඔවුන්ට මනාප එකේ සිට 3 දක්වා ලබා දීමට හැකිවීමෙන් තවදුරත් නියෝජිතත්වය මහජන පරීක්ෂාවට ලක් කරනු දැකිය හැකි ය.

ඒ අනුව පෙනී යන්නේ ජනාධිපතිවරණයකට වඩා මහමැතිවරණයක් හරහා වඩාත් ප්‍රශස්ත ලෙස ජනතා නියෝජනය නිරූපණය වන බවයි.

මේ වන විට ලංකාවේ මැතිවරණ දෙකක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ය. ඒ ජනාධිපතිවරණය හා මහමැතිවරණයයි. වඩාත් සමීප මැතිවරණය ජනාධිපතිවරණය වේ. බොහෝ පක්ෂ මේ වන විට ඊට සූදානම් වන බවක් ද පෙනීයයි.  

කෙසේ වෙතත්, වත්මන් මැතිවරණ පසුබිම ලංකාවේ මීට පෙර නොතිබූ තත්වයකි. විශේෂයෙන් ම ගෝඨභය ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පැවති අරගල දේශපාලනය හා එහි ප්‍රතිඵලයක් ලෙස පත් වූ ජනාධිපතිවරයෙක් එම ධුරය හොබවයි. මීට පෙර ද ජනාධිපතිවරයකුගේ ධුරකාලයක් අතරමැද එය හිස් වුණි. එහෙත් එය අද වැනි තත්වයක් නොවේ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ඝාතනය වීමෙන් පසු ඩී.බී. විජේතුංග එම ධුරයට පත්විය. වර්තමාන තත්වයේ දේශපාලන සංවේදී බව හා බැරෑරුම්කම ඊට වඩා වෙනස් ය. ගෝල්ෆේස් අරගලය තුළ විවිධ කූට අරමුණු සහිත පිරිස් තිරය පිටුපස සිට එය මෙහෙයවූව ද මුහුණතින් එය ජනතා අරගලයකි. අවම වශයෙන් එසේ පෙනී සිටීමට එය උත්සාහ කොට තිබේ. ඒ නිසා ම අරගලයට සම්බන්ධ නොවූ පිරිස් අතර ද කිසියම් පෙර නොවූ විරූ දේශපාලන සවිඥානිකත්වයක් හටගෙන ඇත. වඩාත් හොඳින් විවිධ දේශපාලන ධාරා තුළ දෘෂ්‍යමාන වන ලෙස ක්‍රියාකාරකම් වැඩි වී ඇත.

ඒ අනුව, ඉහත සියලු‍ සාධක වඩාත් හොඳින් මැතිවරණයක දී නියෝජනය වීමට නම් වඩාත් සුදුසු ක්‍රමය වන්නේ මහමැතිවරණයකි. එවිට අලු‍තින් සක්‍රිය වී ඇති හා විවර වී ඇති දේශපාලන ගතිකත්වය වඩාත් ප්‍රමාණිකව හා ගුණාත්මකව පිළිබිඹු වනු ඇත. ජනාධිපතිවරණයක් සමග එය සැලකිල්ලට ගැනීමේදී කිව යුත්තේ, උක්ත නව තත්වය විකෘති වනු ඇති බවයි.

පසුගිය ඉතිහාසය පුරාම පාහේ, විශේෂයෙන් විධායක ජනාධිපතිධුරය මෙරටට හඳුන්වා දීමෙන් පසු ජනාධිපතිවරණයට පසුව මහමැතිවරණය පවත්වා තිබේ. කෙසේ වෙතත්, එහි ගැටලු‍ව වන්නේ, ජනාධිපතිධුරය ජයග්‍රහණය කරනු ලබන පාර්ශවයට මහමැතිවරණයේ දී ද ස්වභාවිකව ම විශාල බලයක් නිර්මාණය වීමට අවශ්‍ය වටපිටා සැලසීමයි. එය ආකාර කීපයකින් විය හැකි ය. කැපී පෙනෙන ම ආකාරය වන්නේ, ජනාධිපතිවරයා පත්ව සිටින පාර්ශවය, මහමැතිවරණය ද ජයගන්නා ප්‍රවණතාවකට නිතැතින්ම යාමයි. කොටින්ම ජනාධිපතිවරණය ජයගැනීම යනු මහමැතිවරණය කොහොමත් ජයගැනීමක් යන මතය නිර්මාණය වී තිබේ. එහි යම් භූමිගත සත්‍යතාවක් ද තිබිය හැකි ය. එහෙත් එය ඉක්මවා, මහමැතිවරණ ජයග්‍රහණය ‘‘හෝදලාම’’ විධායක ජනාධිපති ධුරය දෙසට ගමන් කරයි.

එය එසේ වන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා ය. පළමුවැන්න ඉහත කී ලෙස ගොඩනැගෙන ප්‍රවණතා රැල්ලයි. දෙක නම් තමාගේ බලය ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවක් පත් කර එවන ලෙස සියුම් බලපෑමක් කිරීමට අලු‍තින් පත් වූ ජනාධිපතිවරයාට ලැබෙන හැකියාවයි. එම ඉල්ලීම ඉටුකිරීම සඳහා පුරවැසියා බැඳී සිටින සෙයක් වැනි පසුබිමක් ද නිර්මාණය වේ. මන්ද එය එසේ නොවුවහොත් ජනාධිපතිවරයා පත් කිරීම නිෂ්ඵලදායක යැයි පුරවැසියාගේ සිතට නැගෙන සිතුවිල්ලකි. අනිත් අතින් ජනාධිපතිවරයාට පත්වීමත් සමගම විශාල භෞතිකමය බලයක් ඔහුට ද ලැබේ. රාජ්‍ය ආයතන හා නිලධාරීන් පමණක් නොව, පෞද්ගලික ආයතන හා හිමිකරුවන් සම්බන්ධයෙන් ම එම බලය ව්‍යාප්ත වනු ඇත. ඒ සියල්ල හරහා මහමැතිවරණය යනු කිරිකජු කෑමකි.

මෙහි අයහපත දැනටමත් ඔබ වටහාගෙන ඇතිවාට සැක නැත. මහමැතිවරණ ජයග්‍රහණය යනු ජනාධිපති ධුරය සඳහා ලැබෙන ත්‍යාගයක් වැනි තත්වයක් නම්, රුපියල් බිලියන ගණනක් වියදම් කරමින් මැතිවරණයක් පවත්වන්නේ ඇයි? ජනාධිපතිවරයාටම තම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කළ හැකි ය. කොහොමත් සිදුවන්නේ ඊට ආසන්න තත්වයක් නම්, රාජ්‍ය මුදල් වැයකිරීමට වඩා එය අගනේ ය.

ජනාධිපතිවරණයට පසු තබන මැතිවරණයක දී නිර්මාණය වන ජනාධිපතිවරයා සතු වන අගතිගාමි මතය තුළ, පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන්ගේ ගුණාත්මක තත්වය මීළඟ ගැටලු‍වයි. එවැනි තත්වයක දී බලය සහිත පක්ෂය නියෝජනය කරන ඕනෑම අයකුට ඉතා පහසුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය හැකි ය. විශේෂයෙන් ම පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් තම මැතිවරණ ව්‍යාපාරය දියත් කරනු ලබන්නේ ම, ඔවුන්ගේ හැකියාව හෝ කුසලතාව හෝ මත නොව, ජනාධිපතිවරයාගේ හැකියාව, කීර්තිය හෝ බලය මත ය. ඒ අනුව, මන්ත්‍රී ධුර අපේක්ෂකයන්ගේ ගුණාත්මය වෙනුවට ජනතාව සිතන්නේ වෙනත් ඊට එපිටින් ඇති සාධක පිළිබඳවයි. ඇතැමුන් කීවේ “ඒ සැරේ පොල් ලෙල්ලක් දැම්මත් දිනන” බවයි.

ලංකාවේ පාර්ලිමෙන්තුවේ ගුණාත්මක බව පිළිබඳ ප්‍රශ්නය ජනතාව අතර පසුගිය කාලයේ දැඩි ලෙස සාකච්ඡාවට බඳුන් විය. පාර්ලිමේන්තු සභා ගර්භය තුළ හා ඉන් පිටත ඔවුන්ගේ හැසිරීම පිළිබඳ ද දැනටත් මහජනයා තුළ කලකිරීම් තිබේ. පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත්කර එවන්නේ මහජනතාව නම්, මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳ වගකීමට ද ඔවුන් බැඳී සිටින බව ජනප්‍රිය තර්කයකි. එහෙත් එය අර්ධ සත්‍යක් බව කිව යුතු ය. මහජනතාව විසින් මන්ත්‍රීවරු පත් කර එවන බව සෑබෑ ය. ඔවුන් විසින් මන්ත්‍රීවරුන් පත්කර එවනු ලබන වාස්තවික සාධක සඳහා මහජනයා වගකිව යුතු නැත. විශේෂයෙන් ම, ජනාධිපතිවරයාගේ බලය වෙනුවෙන් බව කියමින් කරන ප්‍රචාරය තුළ සිදුවන බලපෑම නිසා ම ඡන්දදායකයන්  තම හෘදය සාක්ෂියට එරෙහි තීන්දු ගන්නවා විය හැකි ය. එහි දී මන්ත්‍රීවරයාගේ ගුණාත්මයට වඩා, තමා පත්කළ ජනාධිපතිවරයාගේ ඉල්ලීම තීරණාත්මක විය හැකි ය. එම තත්වය මත, පාර්ලිමේන්තුවට නොගැළපෙන පුද්ගලයන්ට පවා, ඉතා සූක්ෂම ලෙස ජනතා ඡන්දයෙන් ම තේරී පත්විය හැකිය.

පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ඇතැම් චර්යා සලකා බලන විට මේ තත්වය පැහැදිලි වේ. ඔවුන් නිසි පරිදි ජනතා පරීක්ෂණයට ලක් වී නැත. වෙට්ටුවක් දමා ඊට තේරී පත්වී ඇති සෙයකි.

අනෙක නම් ඉහත තත්වය තුළ විධායකය හිමි පාර්ශවයට අසීමාන්තික බලයක් ද ලැබීමයි. තුනෙන් දෙක හෝ එය ඉක්මවා යන බලයක් ඊට ලැබෙනු ඇත. පූර්ව උදාහරණ ගෙන බලට විට, අසීමිත බලයක් ලැබුණු සෑම අවස්ථාවක ම එය ඉතා ඉක්මනින් පිරීහීමට ද ලක්ව තිබේ. අඩු බලයක් හෝ සාපේක්ෂව බලවත් විපක්ෂයක් තිබෙන විට ආණ්ඩු විසින් කැපී පෙනෙන ලෙස රට වෙනුවෙන් වැඩ කර ඇත. ලංකාවේ ත්‍රස්තවාදය විනාශ කරන අවස්ථාවේ එවක මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තිබුණේ ඉතා අවම බලයකි. ඇතැම් අවස්ථාවක එහි අයවැය පරාජය වීමේ අනතුර පවා මතුවිය. එහෙත් ඒ සියලු‍ අභියෝග මැද එම ආණ්ඩුවට රටේ නිදහසින් පසු කළ භාරධූරම කාර්ය කිරීමට හැකි විය. කෙසේ වෙතත්, ඉන්පසු පත් වූ විශාල ජනවරමක් සහිත මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වඩාත් ඉක්මනින් ජනතා මතය තුළ පිරිහීමට ලක්විය. පසුගිය ගෝඨාභය ආණ්ඩුවට ද බලපෑවේ එම තත්වයම බව කෙනකුට තර්ක කළ හැකිය.

මේ තත්වය තුළ, නිසැකයෙන් ම කිව හැක්කේ, මහමැතිවරණය කලින් පවත්වා පසුව ජනාධිපතිවරණය පැවැත්වීමෙන් ඉහත දුර්වලතා සැලකිය යුතු ලෙස අවම කරගත හැකිබවයි. විශේෂයෙන් ම වඩාත් ගුණාත්මක, එසේම අන් අයකුගේ පිහිටෙන් පත් නොවන, තමාගේ ම හැකියාව මතින් පත්වන පාර්ලිමේන්තුවක් අපට දැකබලාගත හැකිවනු ඇත. එය පක්ෂ විපක්ෂ සියලු‍ දෙනාට යුක්තිසහගත තත්වයකි. සාධාරණ නීති යටතේ ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රීඩාවකි.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ



අදහස් (6)

​මුලින්ම ජනපතිවරණයද? මහ මැතිවරණයද?

J R Randeniya Friday, 10 May 2024 01:33 PM

“හඬ ජාකොබ් ගේය; අත ඊසොප් ගේය.” අපි කැමැති ස්වාධීන මතයන් කියැවීමටයි.

:       1       13

SAMAN Friday, 10 May 2024 04:59 PM

මුලින්ම ජනපතිවරණය පැවතුවහොත් රට / පුරවැසියන් දිනුම් ​මුලින්ම මහ මැතිවරණය පැවැත් වුවහොත් හොරු දිනුම්...!

:       1       12

චන්ද්‍රපාල Friday, 10 May 2024 05:26 PM

කථිකාචාර්ය කෙනෙක් වුණත් මැතිවරණ පැවැත්වීම ගැන කිසිවක් නොදන්නා බව හෝ හිතවත් දේශපාලුවෙකුට වචනයෙන් හෝ උදව්වක් කිරීමට අදහස් කරන බව පෙන්නුම් කරනවා සාමාන්‍යයෙන් මැතිවරණයක් පැවැත්වීමට මාස තුනක් පමණ ගතවෙනවා... ඉතින් අද පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් මැතිවරණය අගෝස්තුවේ පැවැත්වීම නිසා රටේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පැවැත්වීමට කාලයක් නැති වෙනවා. එය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් වෙනවා. පාර්ලිමේන්තුවේ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2025 වර්ෂයේ නිසා එක් එක් අයගේ පුද්ගලික ලාභ ප්‍රයෝජනයකට මිස මේ වර්ෂයේ පැවැත්වීමට කිසිම අවශ්‍යතාවක් නැහැ..

:       1       7

CHANDIMA Friday, 10 May 2024 05:31 PM

කථිකාචාර්ය තුමා මේ ලිපිය ලිව්වේ කොහොමද?

:       1       4

Deepal Nirosh Friday, 10 May 2024 08:33 PM

මේ කථිකාචාර්ය වරයා මැතිවරණ කොමිසමේ උපදේශකයෙක් ද නැතිනම් මොන දේශපාලන පක්ෂයක උපදේශකයෙක්ද?

:       1       2

Jayarathna Saturday, 11 May 2024 12:30 PM

පොහොට්ටුවේ මිස වෙන කාගේද ජනාධිපතිවරණයට පස්සේ. පොහොට්ටුව කුජීතම වෙලා යන වෙලාවේ ජරාපස්ස පිරිසිදු කරන්න කරන උප්පරවැට්ටියක් කියන්න පුළුවන්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1070 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4556 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 412 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1679 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site