මහින්ද රාජපක්ෂ නිල නිවාස ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියෙන් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති ආකාරය පිළිබඳ විශ්වාසදායක තොරතුරු “ඩේලි මිරර්” පුවත්පතට ලැබී තිබේ. ඒ “ඩේලි මිරර්” පුවත්පත ඉල්ලා සිටින තොරතුරු නිකුත් කරන ලෙසට, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව විසින් එම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු වන ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට දැඩි නියෝග කිරීමෙන් අනතුරුවය. “ඩේලි මිරර්” පුවත්පත සතුව ඇති ලේඛනවලට අනුව මෙම නිවසේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බදු ගෙවන්නන්ගේ මුදල්වලින් රුපියල් මිලියන 421.93 ක් වියදම් කර ඇත.
කෙසේ වෙතත් ඉල්ලා සිටින සියලුම අදාළ ලියකියවිලි 2024 ඔක්තෝබර් 15 වැනි දින හෝ ඊට පෙර අභියාචකයාට (ඩේලි මිරර් පුවත්පත) භාර දෙන බවට ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් 2024 අගෝස්තු 2 වැනි දින තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවට පොරොන්දු වුවද, එම අධිකාරිය ඔවුන්ගේ වචනයට ගරු කළේ නැත. එබැවින් 2024 නොවැම්බර් 27 වැනි දින එම නොසලකා හැරීමේ ගැන ඩේලි මිරර් පුවත්පත හෙළිදරව් කළේය. ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ තොරතුරු නිලධාරී දිමුතු විතානගේ “ඩේලි මිරර්” පුවත්පතට අවශ්‍ය ලියකියවිලි ලබා දුන්නේ ඉන් අනතුරුවය.
ව්‍යාපෘතිය සඳහා ද්‍රව්‍ය මිලදී ගැනීමට සම්බන්ධ වූ නිලධාරීන් සමඟ කතා කිරීමට මෙම වාර්තාකරු පසුගියදා ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව වෙත ගිය අතර එහිදී අනාවරණය වූයේ, මගී සෝපානය, ආලෝකකරණ, ආලෝකකරණ පාලන පද්ධතිය, විදුලි ස්ථාපනය, නාන කාමර උපාංග, සම්මන්ත්‍රණ, පරිවර්තන, බහුමාධ්‍ය සහ මහජන ඇමැතීමේ පද්ධති, වායු සමීකරණ පද්ධතිය, සිවිලිම, වානේ වහලය, අධි සහ අඩු පීඩන ගෑස් මාර්ග, දත්ත, වයිෆයි පද්ධතිය යනාදිය ඇතුළුව සියලුම මිල අධික භාණ්ඩ එම ව්‍යාපෘතියේ නඩත්තු ඉංජිනේරු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ඩබ්ලිව්. අයි. ඊ. අරවින්ද සහ අගමැති කාර්යාලය විසින් තෝරාගත් සැපයුම්කරුවන්ගෙන් මිලදී ගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, ලුතිනන් කමාන්ඩර් අරවින්ද විසින් මෙම සැපයුම්කරුවන්ගේ නම් තෝරාගෙන ඇත්තේ කාගේ උපදෙස් මතද යන්න දැනගැනීමට නැත.
රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මගහැරීම
රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නොසලකා හැර තෝරාගත් පාර්ශවයන්ගෙන් මෙම අයිතම මිලදී ගැනීමට ව්‍යාපෘති නඩත්තු ඉංජිනේරුවරයා ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව වෙත නියෝග කිරීමට හේතුව ගැටලුසහගතය. ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ආරංචි මාර්ගවලට අනුව, ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් සමහරක් තම සේවාදායකයා මිල ගණන් ලබා නොගෙන උපකරණ මිලදී ගැනීමට විරුද්ධ වී ඇත. එහෙත් වාණිජ අංශය විසින් අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ව්‍යාපෘති ඉංජිනේරුවරයා විසින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කරනු ලැබ තිබේ.
ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා එවකට අගමැති මහින්ද රාජපක්ෂ විසින් කැබිනට් අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බොහෝ කලකට පෙර, ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මෙම ව්‍යාපෘතිය සඳහා ද්‍රව්‍ය මිලදී ගැනීම සහ සේවා ලබා ගැනීම ආරම්භ කර ඇති ආකාරය කම්පනයට කරුණකි.
2021 ජනවාරි 5 දිනැති පළමු කැබිනට් සංදේශයේ (අංක: PMO/CM/03/2021& ) මහින්ද රාජපක්ෂ මෙසේ සඳහන් කර ඇත, “ශ්රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍යවරයා ලෙස මගේ නව ධුර කාලය 2020 අගෝස්තු 9 වැනි දින ආරම්භ වී ඇති අතර, කොළඹ 7, විජේරාම මාවතේ අංක 117 දරණ ස්ථානයේ පිහිටි නිල නිවස ද අග්‍රාමාත්‍යවරයා විසින් ඉටු කරනු ලබන නිල රාජකාරි සහ රාජ්‍ය තාන්ත්‍රික රැස්වීම් වැනි නිල කාර්යයන් සඳහා නිතිපතා භාවිත කරයි. ඒ අනුව, මෙම නිල නිවස ද අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසක් බැවින්, එය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය වූ නඩත්තු සහ අලුත්වැඩියා වියදම් ද අග්‍රාමාත්‍ය කාර්යාලය දැරිය යුතු බවට යෝජනා කෙරේ.
“ඉහත සඳහන් කරුණු අනුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් ශීර්ෂය යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන හෝ අවශ්‍ය පරිදි භාණ්ඩාගාරයෙන් ලබාගත් අතිරේක ප්‍රතිපාදන මගින් එය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් දැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කෙරේ. කොළඹ 7, විජේරාම මාවතේ අංක 117 දරණ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස ද අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසක් ලෙස පවතින බැවින් එය මගේ වත්මන් ධුර කාලයට පමණක් සීමා වේ.”
මෙම ඉල්ලීමට කැබිනට් මණ්ඩලය විසින් 2021 ජනවාරි 25 වැනි දින අනුමැතිය (අංක: CP 21/0084/302/002) ලබා දී ඇත. මෙම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන්නේ, “අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම සඳහා අරමුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් 2021 ජනවාරි 5 වැනි දින නිකුත් කරන ලද සංදේශය. ඉහත සංදේශය මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සමඟ සලකා බලන ලදී. සාකච්ඡාවලින් පසු, යෝජනාවට අනුමැතිය ලබා දෙන මෙන් කැබිනට් මණ්ඩලයට නිර්දේශ කිරීමට තීරණය කරන ලදී.
එහෙත් රාජපක්ෂ විසින් ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව වෙතින් ගොඩනැගිලි ද්‍රව්‍ය මිලදී ගැනීමට අනුමැතිය ඉල්ලා සිටින්නේ 2021 සැප්තැම්බර් 27 දිනැති ඔහුගේ දෙවන කැබිනට් සංදේශය (අංක: PMO/CM/19/2021) මගිනි.
එම කැබිනට් සංදේශයේ සඳහන් වන්නේ, “අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශය අනුව, මා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට 2021 ජනවාරි 25 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
“ඒ අනුව, අග්‍රාමාත්‍යවරයාගේ සහ පස් වැනි විධායක ජනාධිපතිවරයාගේ නිල නිවස ලෙස භාවිත කරන අංක 117, විජේරාම මාවත පිහිටි නිවසේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ආරම්භ කරන ලද අතර, එය දැනට සාර්ථකව සිදුවෙමින් පවතී. මෙම ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය සහ උපකරණ මෙන්ම අනෙකුත් සියලුම ද්‍රව්‍ය රජයට අයත් ආයතනයක් වන ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා මිලදී ගැනීම වඩාත් කාර්යක්ෂම හා ඵලදායී වනු ඇති බව නිරීක්ෂණය වී ඇත. එබැවින්, අංක 117, විජේරාම මාවත, කොළඹ 7 හි පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ / පස් වැනි විධායක ජනාධිපතිවරයාගේ නිල නිවස ප්‍රතිසංස්කරණය සහ නවීකරණ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය යටතේ සිදු කිරීමටත්, නවීකරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සහ සැපයුම් ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව වෙතින් සෘජුවම මිලදී ගැනීමට සහ වාස්තු විද්‍යාත්මක හා අභ්‍යන්තර සැලසුම් උපදේශන සේවාද ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව වෙතින් ලබා ගැනීමට සහ ඒ සඳහා ගෙවීම් කිරීමට සහ අවශ්‍ය පරිදි ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අමාත්‍යවරුන්ගේ අනුමැතිය අපේක්ෂා කෙරේ.”
මෙම දෙවැනි කැබිනට් සංදේශය සඳහා 2021 ඔක්තෝබර් 10 වැනි දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අනුමැතිය හිමිව ඇත (යොමු අංකය: MF/ NB/ CM/ 09/2021/002/01). මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණයේ සඳහන් වන්නේ “මම කැබිනට් සංදේශයේ යෝජනා සමඟ එකඟ වෙමි” යනුවෙනි.
මතු කරන ලද ප්‍රශ්න
එබැවින්, නවීකරණ ව්‍යාපෘතිය සඳහා ද්‍රව්‍ය සහ සැපයුම් සෘජුවම මිලදී ගැනීමට සහ ඔවුන්ගෙන් වාස්තු විද්‍යාත්මක හා අභ්‍යන්තර සැලසුම් උපදේශන සේවා ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලබා දීමට බොහෝ කලකට පෙර, ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව ද්‍රව්‍ය මිලදී ගැනීම ආරම්භ කර, මෙම ව්‍යාපෘතිය සඳහා ගෘහ නිර්මාණ ශිල්පියෙකු, අභ්‍යන්තර නිර්මාණකරුවෙකු සඳහා පත්වීම් ලිපියක් නිකුත් කළේ කාගේ නියෝගයක් මතද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වී තිබේ.
ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සේවකයන්ට අනුව, මෙම ආයතනය වර්ථමානයේදී ආරක්ෂිත පින් එකක්වත් ආනයනය නොකරන නමුත් කොන්ත්‍රාත්තුව ඔවුන්ට ලබා දුන් නිසා, එය රාජ්‍ය ආයතනයක් බැවින්, සියලුම ද්‍රව්‍ය දේශීය වෙළඳපොළෙන් මිලදී ගැනීමට ඔවුන්ට සිදු විය.
“අපි මොන දේ මිලට ගත්තත්, ඊට අපි අපගේ ලාභය ලෙස සියයට 8 සිට සියයට 10 දක්වා එකතු කර ඉන්වොයිසි අගමැති කාර්යාලයට යැව්වා” යැයි එම ආරංචි මාර්ග පවසයි.
මිලදී ගැනීම්වලට අදාළ සියලුම ලියකියවිලිවල පිටපත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසමට භාර දිය යුතු බවත්, එසේ නොකළහොත් ඔවුන්ගේ නිලධාරීන්ට නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවන බවත් දැනුම් දුන් විට ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ වාණිජ අංශය භීතියට පත් වූ බව එම ආරංචි මාර්ග තවදුරටත් පැවසීය.
“මෙම මිලදී ගැනීම් පිළිබඳ විස්තර ලබා ගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ඉල්ලීම ඉදිරිපත් කළ විට, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කළ බවට ඔප්පු කිරීමට සාක්ෂි නොමැති බැවින් වාණිජ අංශය භියට පත් වුණා. දැන් වාණිජ අංශය පවසන්නේ ඔවුන් අලෙවිකරුවන්ට කෙටි පණිවුඩ යවා ඔවුන්ගෙන් මිල ගණන් ලබා ගත් නමුත්, පුවත්පත් දැන්වීම් පළ නොකර මිල ගණන් කැඳවූ බවයි. විජේරාම මාවතේ නිවසේ පිහිනුම් තටාකයක් ඉදිකිරීමට ඉල්ලීමක් තිබුණද, පසුව අරමුදල් නොමැතිකම හේතුවෙන් එය අවලංගු කළා” යනුවෙන් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
වාණිජ කළමනාකරු අසේල සහබන්දු පවසන්නේ, කොරෝනා පැතිරීමේ උච්චතම අවස්ථාව සහ හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, ඔවුන් පුවත්පත් දැන්වීම් හරහා මිල ගණන් කැඳවීම නොකළ බවත්, උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට කෙටි පණිවුඩ යවා මිල ගණන් ලබාගෙන අඩුම ලංසුකරු තෝරා ගත් බවත්ය.
කෙසේ වෙතත්, මෙම සියලු මිලදී ගැනීම් සිදු කර ඇත්තේ 2020 වසරේදී කොවිඩ් 19 උච්චතම අවස්ථාව තුළ නොව, 2021 වසරේ රට වසා දැමීමේ කාලය අවසන් වීමෙන් පසුව බව මූලාශ්‍රවලින් හෙළි විය.
“ඩේලි මිරර්” පුවත්පත සතුව ඇති ලේඛනවල පිටපත්වලට අනුව, 2021 ජනවාරි 18 වැනි දින ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් ගෘහ නිර්මාණ ශිල්පියකු, අභ්‍යන්තර නිර්මාණකරුවකු සමඟ ගිවිසුමකට එළඹ තිබෙන අතර, පසුව යෝෂිත රාජපක්ෂ දන්නා ගෘහ නිර්මාණ ශිල්පියකු, අභ්‍යන්තර නිර්මාණකරුවකු පෞද්ගලිකව තෝරාගෙන ඇති බවට චෝදනා එල්ල වේ.
ගෘහ නිර්මාණ ශිල්පියා, අභ්‍යන්තර නිර්මාණකරු සඳහා වන කොන්ත්‍රාත් ලිපිය එවකට සාමාන්‍යාධිකාරී දිලුම් රත්නායක අත්සන් කළත්, එය මානව සම්පත් කළමනාකරු හරහා යා යුතුව තිබූ බවද ආරංචි මාර්ග චෝදනා කරයි.
“අංක: 27, සුචරිතෝදය පාර, පමුණුව පාර, මහරගම ලිපිනයේ පදිංචි ගෘහ නිර්මාණ ශිල්පී / අභ්‍යන්තර නිර්මාණකරු චාමික ශමල් ද අල්විස් (වරලත් ගෘහ නිර්මාණ ශිල්පී) තෝරා ගත්තේ යෝෂිත රාජපක්ෂගේ නියෝගය මතයි. ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව වෙතින් වාස්තු විද්‍යාත්මක හා අභ්‍යන්තර සැලසුම් ලබා ගැනීම සඳහා 2021 ඔක්තෝබර් මාසයේදී කැබිනට් අනුමැතිය ලබා දුන්නද, මෙම තේරීම සිදු කළේ 2021 ජනවාරි මාසයේදී ය. ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ගෘහ නිර්මාණ ශිල්පීන් හෝ අභ්‍යන්තර නිර්මාණකරුවන් නොමැති බැවින්, සුදුසු පාර්ශවයන්ගෙන් මිල ගණන් කැඳවීමකින් තොරව, නඩත්තු ඉංජිනේරුවරයාගේ නියෝග සමඟ සාමාන්‍යාධිකාරීවරයාගේ නියෝග මත තෝරාගත් පුද්ගලයාට ලිපියක් යවා ඇත්තේ මානව සම්පත් කළමනාකරුගේ අනුදැනුමකින් තොරවයි. පත්වීමක් සිදු කරන විට, එම ලිපියට මානව සම්පත් කළමනාකරු අත්සන් කළ යුතු නමුත්, 2021 ජනවාරි 18 වැනි දින මෙම ලිපිය නිකුත් කළේ සාමාන්‍යාධිකාරීවරයා විසින්” යැයි ආරංචි මාර්ග චෝදනා කරයි.
2021 ජනවාරි 18 දිනැති ලිපියක් මගින්, සාමාන්‍යාධිකාරී දිලුම් රත්නායක අග්‍රාමාත්‍ය ලේකම් වෙත ලිපියක් යවමින්, “ගරු අග්‍රාමාත්‍යතුමාගේ නිල නිවසේ වාස්තු විද්‍යාත්මක සේවා සඳහා පත්වීම් ලිපිය/කොන්ත්‍රාත් ගිවිසුම. මෙය ඉහත විෂය සම්බන්ධයෙන් 2021 ජනවාරි 13 දිනැති ඔබගේ ලිපියට යොමු වේ. යොමුව:PMO/ 2/ 3/ BM/ VR’
“ගරු අග්‍රාමාත්‍යතුමාගේ නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස චාමික ෂමල් ද අල්විස් මහතා පත් කිරීමට කටයුතු යොදා ඇත. ඔබගේ දැනගැනීම සඳහා සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ද අල්විස් මහතා වෙත නිකුත් කරන ලද ලිපිය මේ සමඟ අමුණා ඇත”.
එදිනම, සාමාන්‍යාධිකාරීවරයා විසින් කොන්ත්‍රාත් ලිපිය චාමික ෂමල් ද අල්විස් වෙත යවා ඇත. එහි මෙසේ සඳහන් වේ, “හිතවත් චාමික මහත්මයානෙණි, අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස ඉදිකිරීමේ ව්‍යාපෘතියේදී අප සමඟ වැඩ කිරීමට කැමැත්ත පළ කර ඇති ඔබගේ ලිපිය අපි පරීක්ෂා කළෙමු. අප සමඟ වැඩ කිරීම සඳහා වන ඔබගේ යෝජනාව අපි පිළිගන්නා බව සතුටින් ප්‍රකාශ කරමු.
“2021 පෙබරවාරි 10 වැනි දින සිට ඔබට එම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කළ හැකි නම් අපි කැමැත්තෙමු. අපෙන් එක් අයකු විසින් දින හතකට පෙර ලිඛිතව එය අවසන් නොකළහොත් අප සමඟ ඔබගේ සම්බන්ධතාව දිගටම පවතිනු ඇත.
“ඔබේ මුළු ගෘහ නිර්මාණ ගාස්තුව ව්‍යාපෘතියේ සිදු කරන ලද සත්‍ය කාර්යයෙන් සියයට 2.5 ක් වනු ඇත.
“ඔබේ ගිවිසුමේ නියමයන් වෙන වෙනම ලබා දෙනු ඇත - දිලුම් රත්නායක”.
මේ අතර, “ඩේලි මිරර්” පුවත්පත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන, එවකට මානව සම්පත් කළමනාකරු දිමුතු විතානගේ මහතාගෙන් මෙම පත්වීම පිළිබඳව දැන සිටියේ දැයි විමසූ විට, මෙම ලිපිය නිකුත් කිරීමේදී තමා ඒ ගැන දැනුවත්ව නොසිටි බවත්, පත්වීම සිදු කර සති කිහිපයකට පසු ඒ බව දැනගත් බවත් ඔහු පැවසීය.
“මෙම පුද්ගලයා තෝරා ගත්තේ කෙසේදැයි මම දැන සිටියේ නැහැ. දිලුම් රත්නායක මහතා මෙම ලිපිය ටයිප් කර ද අල්විස් වෙත යවා තිබුණා. මෙම පත්වීම සම්බන්ධයෙන් මානව සම්පත් දෙපාර්තමේන්තුව කිසිදු ලිපි ගොනුවක් පවත්වාගෙන යන්නේ නැහැ” යැයි විතානගේ මහතා පවසයි.
ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා භාණ්ඩ මිලදී ගැනීමේදී ටෙන්ඩර් කැඳවීමට පියවර නොගත්තේ ඇයි සහ ගෘහ නිර්මාණ ශිල්පියා, නිර්මාණකරු තෝරා ගත්තේ කාගේ උපදෙස් මතද යන්න සොයා බැලීමට හිටපු සාමාන්‍යාධිකාරී දිලුම් රත්නායක මහතා සම්බන්ධ කර ගත් විට, ඇමතුම ලබා දෙන පුද්ගලයාගේ අනන්‍යතාව නොදන්නා බව පවසමින් කිසිදු අදහසක් දැක්වීම ඔහු ප්‍රතික්ෂේප කළේය.
“මේ කතා කරන කෙනා කවුද කියලා දන්නේ නැතුව මම කොහොමද මේ රහස්‍ය තොරතුරු ඔයාට හෙළි කරන්නේ” රත්නායක ඇසුවේය.
තවද, ව්‍යාපෘති නඩත්තු ඉංජිනේරු ලුතිනන් කමාන්ඩර් ඩබ්ලිව්. අයි. ඊ. අරවින්ද මෙම ව්‍යාපෘතියට අනුයුක්ත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නිලධාරීන්ට සමාලෝචන රැස්වීමක් සඳහා 2021 අගෝස්තු 25 වැනි දින විජේරාම භූමියට කැඳවීම සහ ඔහු එක් එක් ගොනුව සඳහා නමක් සහ සම්බන්ධතා අංකයක් සහිත ලිපිගොනු කට්ටලයක් භාර දෙමින්, ලබා දී ඇති නම් සඳහන් ආයතනවලින් භාණ්ඩ මිලදී ගැනීමට උපදෙස් ලබා දී ඇති බවද අනාවරණය විය. මේ සියල්ල මිල අධික භාණ්ඩ විය. දෙවැනි කැබිනට් සංදේශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සහ මුදල් අමාත්‍යවරයාගෙන් අනුමැතිය ලැබීමට පෙර මෙම මිලදී ගැනීමේ උපදෙස් ලබා දී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න මතු කරයි.
“අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමේ සමාලෝචන රැස්වීමක් සඳහා 2021 අගෝස්තු 21 වැනි දින, විජේරාම වැඩිබිමට පැමිණෙන ලෙස අපෙන් ඉල්ලා සිටියා. අපි හතර දෙනෙක් මෙම රැස්වීමට ගියා. ලුතිනන් කොමාර් ඩබ්ලිව්. අයි. ඊ. අරවින්ද මහතා ලිපිගොනු කිහිපයක් අපට භාර දෙමින් එක් එක් ගොනුවේ දක්වා ඇති නම් වලින් මෙම මිල අධික භාණ්ඩ මිලදී ගැනීම කළ යුතු බව දැනුම් දුන්නා. එම ඉල්ලීම පරිදි, අපි මිල ගණන් කැඳවන්නේ නැතිව ඔවුන්ගෙන් කෙලින්ම භාණ්ඩ මිලදී ගත්තා” යැයි මෙම රැස්වීමට සහභාගී වූ සාමාජිකයකු නිර්නාමිකව “ඩේලි මිරර්” පුවත්පතට පැවසීය.
රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය නොකර තෝරාගත් පාර්ශවයන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමට ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට අවශ්‍ය වූයේ මන්දැයි දැන ගැනීමට “ඩේලි මිරර්” පුවත්පත ලුතිනන් කමාන්ඩර් අරවින්ද මහතා සම්බන්ධ කර ගත් විට, නාවික හමුදාපතිවරයාගේ අනුමැතියකින් තොරව තමාට මාධ්‍ය සමඟ කතා කළ නොහැකි බව ඔහු පැවසීය.
එබැවින්, නාවික හමුදාපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කොමදෝරු බුද්ධික සම්පත් මහතා සම්බන්ධ කර ගත් අතර, ඔහුගේ ඉල්ලීම පරිදි, ලුතිනන් කමාන්ඩර් ඩබ්ලිව්. එල්. ඊ. අරවින්ද මහතාට “ඩේලි මිරර්” පුවත්පතට අදහස් දැක්වීමට අවසර ඉල්ලා විද්‍යුත් තැපෑලක් පෙබරවාරි 3 වැනි දින යවන ලදී.
“මම නාවික හමුදාපතිවරයාගේ අනුමැතිය ලබා ගන්නම්. පසුව අපි ආරක්ෂක ලේකම්වරයාගේ අවසරය ලබා ගත යුතුයි. මෙම අවසරයන් දින කිහිපයක් ඇතුළත ලබා ගත හැකි බව මට සහතික විය හැකියි” යැයි කොමදෝරු සම්පත් මහතා පැවසීය.
පළමු විද්‍යුත් තැපෑලෙන් පසුව, මෙම ලියුම්කරු පෙබරවාරි 6 වැනි දින මාධ්‍ය අධ්‍යක්ෂ සම්බන්ධ කර ගත්තේය. 2025 පෙබරවාරි 10 වැනි දින ඔහුට නැවත වරක් විද්‍යුත් තැපෑලක් යවන ලද නමුත් එයින් පලක් නොවීය. මෙම ලිපිය “ඩේලි මිරර්” පුවත්පතේ පළ වන තෙක්, මේ කාරණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අනුමැතිය ලබා දී නොතිබුණි.
මෙම ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ විස්තර තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා දෙන ලෙස ඩේලි මිරර් පුවත්පත 2023 ජූලි 24 වැනි දින ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් “ගයාන්” වික්‍රමසූරිය සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ (නීති) කපිතාන් අසංක කරුණාරත්න යන අයගෙන් ඉල්ලා සිටි විට, ඔවුන්ද එම තොරතුරු ලබා දුන්නේ නැත.
එසේ වුවද, මෙම පුවත්පත සතුව ඇති ලේඛනවල පිටපත්වලට අනුව, මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 421.93 ක් (සැබෑ පිරිවැය රුපියල් 421,930,701.56) වැය කර ඇත.
නාන කාමර උපාංග සඳහා රුපියල් මිලියන 15.415 ක් වැය කර ඇති අතර, ආලෝකකරණ පාලන පද්ධති සඳහා රුපියල් මිලියන 16.807 ක් වැය කර ඇත.
විජේරාම නිවස ග්‍රැනයිට් අතුරා සකස් කිරීම සඳහා රුපියල් මිලියන 15.874 ක් සහ ගෘහ නිර්මාණ හා භූමි අලංකරණ සැලසුම් සඳහා රුපියල් මිලියන 10 ක් වැය කර ඇත. විදුළු බුබුළු මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 12.488 ක් වැය කර ඇති අතර, මෙම ව්‍යාපෘතියේ විදුලි වැඩ සඳහා රුපියල් මිලියන 31.595 ක් වැය කර ඇත. ප්‍රතිසංස්කරණය කරන ලද පරිශ්‍රය සඳහා දත්ත, දුරකථන සහ වයි-ෆයි පද්ධතිය ස්ථාපනය කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2.357 කි.
මාබල් සඳහා වැය කර ඇති අරමුදල් ප්‍රමාණය රුපියල් මිලියන 4.5 ක් වූ අතර, ටයිල් සඳහා තවත් රුපියල් 4.680 ක් වැය කර තිබේ. දැවමය බිම් සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 21.271 කි.
ඉහත සඳහන් මුදලට අමතරව, ග්‍රැනයිට් සඳහා තවත් රුපියල් මිලියන 4.801 ක් වැය කර ඇත.
සම්මන්ත්‍රණ, පරිවර්තන, මහජන ඇමැතීමේ උපකරණ සහ බහු මාධ්‍ය පද්ධති ස්ථාපනය කිරීම සඳහා බදු ගෙවන්නන් විසින් දරා ඇති පිරිවැය රුපියල් මිලියන 16.312 කි.
VEFවර්ගයේ වායු සමීකරණ පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 44.874 ක් වැය වී ඇත. මගී සෝපානය සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 15.093 කි.
විජේරාම නිල නිවසේ සුපිරි නම්‍යශීලී සිවිලිම සඳහා බදු ගෙවන්නන් විසින් දරන ලද වියදම රුපියල් මිලියන 37.345 ක් වන අතර, වානේ වහලය සඳහා රුපියල් මිලියන 32.760 ක් ද, ජල ආරක්ෂණය සඳහා රුපියල් මිලියන 1.336 ක් ද, අධි සහ අඩු පීඩන ගෑස් මාර්ගයක් සවි කිරීම සඳහා රුපියල් මිලියන 3.923 ක් ද, පීඩන බූස්ටර් පද්ධතිය සඳහා රුපියල් මිලියන 4.361 ක් ද, සූර්ය ජල තාපන පද්ධතිය සඳහා රුපියල් මිලියන 1.012 ක් ද වැය කර ඇත.
රෙඩි-මික්ස් කොන්ක්‍රීට් සඳහාද රුපියල් මිලියන ගණනක් වැය කර ඇත. ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා රෙඩි-මික්ස් කොන්ක්‍රීට් සැපයීමේ අරමුණ කුමක්දැයි විමසූ විට, ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථා ආරංචි මාර්ග පැවසුවේ විජේරාම නිවසට විශාල දෙමහල් ගොඩනැගිල්ලකට සමාන කොටසක් අලුතින් එකතු කළ බවයි.
“රෙඩි-මික්ස් කොන්ක්‍රීට් යොදා ගත්තේ එම ඉදිකිරීම සඳහායි. මේ නිසා සිමෙන්ති බෑග් දහස් ගණනක් සපයන්න සිදුවුණා. අලුතින් ඉදිකරන ලද කොටස පැරණි නිවස තරම්ම විශාලයි” යැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
මිලදී ගැනීමේ ඇණවුම් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොවූ බැවින් රජයේ නිවාඩු දිනවල, සති අන්තවල පවා ඇණවුම් ලබා දී ඇති බව ආරංචි මාර්ග තවදුරටත් පවසයි.
“හදිසි අවශ්‍යතාවක් බව ප්‍රකාශය කරමින් සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල පවා ඇණවුම් ලබා දුන් බවට උදාහරණ තියෙනවා. බොහෝ විට වාණිජ අංශය විසින් සැපයුම්කරුවන්ගෙන් මිලදී ගැනීමේ ඇණවුමක් නොමැතිව සපයන ලෙස ඉල්ලා සිටි භාණ්ඩ වෙන්නේ සිමෙන්ති, වැලි සහ අනෙකුත් භාණ්ඩයි. මෙම භාණ්ඩ විජේරාම වැඩ බිමට හෝ වෙනත් ස්ථානයකට සපයා තිබේද යන්න පැවසීමට අප සතුව කිසිදු වාර්තාවක් නැහැ. එවැනි බොහෝ මිලදී ගැනීම් සඳහා අප සතුව කිසිදු සාක්ෂියක් නැහැ. ඔවුන් රජයේ නිවාඩු දිනවල මෙම භාණ්ඩ ඇණවුම් කළේ ඇයි කියන එක කවුරුත් දන්නා රහසක්” යනුවෙන් ඉහත ආරංචි මාර්ග චෝදනා කරයි.
ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා මිල අධික ද්‍රව්‍ය මිලදී ගැනීමේදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කර නොමැති බව ඔහු දැන සිටියේ දැයි දැන ගැනීමට, මිල අධික ද්‍රව්‍ය බොහොමයක් මිලදී ගැනීමේදී ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සමඟ ලිපි හුවමාරු කළ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරී නිලන්ත ප්‍රනාන්දු මහතා සම්බන්ධ කරගත් විට ඔහු පැවැසුවේ සියලුම ද්‍රව්‍ය කැබිනට් අනුමැතියට අනුව ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා මිලදී ගත් බවයි. මෙම පුවත්පත විසින් අසන ලද ප්‍රශ්නයට තමාට පිළිතුරු දිය නොහැකි බවත්, එවැනි විමසීම්වලට පිළිතුරු දිය හැකි ජ්‍යෙෂ්ඨ නිලධාරියා වන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී වයි. එම්. එස්. ගුණසේකර මහතා බවත් ඔහු තවදුරටත් පැවසීය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා සම්බන්ධ කරගත් විට, අවශ්‍ය තොරතුරු ලබා දීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ ඉල්ලීමක් එවන්නැයි ඔහු “ඩේලි මිරර්” පුවත්පතෙන් ඉල්ලීමක් කළේය.
2023 පෙබරවාරි 6 වැනි දින සහ 2023 පෙබරවාරි 24 වැනි දින පිළිවෙළින් තොරතුරු නිලධාරී මාෂංක ලියනගේ සහ නම් කරන ලද නිලධාරී හර්ෂ විජේවර්ධන යන අයගෙන් මෙම තොරතුරු ලබා ගැනීමට “ඩේලි මිරර්” පුවත්පත ඉල්ලීමක් කළ විට, මෙම නිලධාරීන්ගෙන් කිසිවකු අවශ්‍ය තොරතුරු ලබා දුන්නේ නැත. ඉල්ලා සිටි තොරතුරු තමන් සතුව නොමැති බව කියමින් ඔවුහු එම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළහ. විජේරාම නිවසේ සියලුම නඩත්තු කටයුතු ජනාධිපති කාර්යාලය විසින් සිදු කරනු ලබන බැවින් ලිපිගොනු ජනාධිපති කාර්යාලයට යවා ඇති බවත්, මේ සම්බන්ධයෙන් තමාටද කිසිදු අදහසක් පළ කළ නොහැකි බවත් ප්‍රධාන මූල්‍ය නිලධාරී ගුණසේකර මහතා පැවැසීය.
“ප්‍රතිසංස්කරණය සඳහා ඔවුන්ගේ අවශ්‍යතා මොනවාදැයි ව්‍යාපෘති ඉංජිනේරුවරයා අපට දැනුම් දුන් විට, එම භාණ්ඩ මිලදී ගෙන වවුචර් අගමැති කාර්යාලයට යවන ලෙසට අපි ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව වෙතින් ඉල්ලීම් කළා. අපට වවුචර් ලැබුණු පසු, අපි ගෙවීම් කළා. ඒ හැර ඔවුන් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළාද නැද්ද යන්න අපි දැන සිටියේ නැහැ” යැයි ගුණසේකර වැඩි දුරටත් පැවසීය.
(***)
නිර්මලා කන්නන්ගර විසිනි
“ඩේලි මිරර්” පුවත්පතේ පළවූ ලිපිය
සිංහලට පරිවර්තනය කළේ
අනිල් කරුණාරත්න
මහින්ද රාජපක්ෂ නිල නිවාස ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියෙන් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති ආකාරය පිළිබඳ විශ්වාසදායක තොරතුරු “ඩේලි මිරර්” පුවත්පතට ලැබ
මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු
ලබුගම සහ කලටුවාවේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන කැලණි ගඟට තඹ සහ පිත්තල නිස්සාරණ සමාගමක බැර ලෝහ එකතු වන බවට අපි පසුගිය පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා වාර්ත
දිළිඳු බව ලෝකය පුරා දක්නට ලැබෙන්නකි. බුදුදහම එය අනුමත නොකරන අතර එය පිටුදැකිය යුතු බව දේශනා කරයි. ජන සමාජය දුර්වල වීම, අස්ථාවර වීම, සදාචාරාත්මක වශයෙන් දු
2018 න් පසුව පළාත් පාලන මැතිවරණයක් නැවත පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 වර්ෂයේ වුවද, ආර්ථික අර්බූදය සහ ආර්ථික අවපාතය හමුවේ පළාත් පාලන මැතිවරණය වරින් වර කල් ද
ශ්රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් 12 වැනිදාය. ඉන් දින දෙකකට පසු, ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය නව ගුවන් යානා 21 ක් බද්දට ගැනීමේ සැ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මහින්දගේ නිල නිවෙස අලුත්වැඩියාවේ ඇත්ත නැත්ත