IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මහ රෑ මහ පාරේදී තරුණියකට බයවූ තරුණයාගේ ඉරණම

 17_SLTK_P6_Back  

 

“රෑ දෙගොඩ හරිජාමේ කොල්ලෝ තුන් දෙනෙක් සුදු ඇඳගත්තු ගැහැණු කෙනෙකුගේ හොල්මනක් දැකලා. ඒ ගෑණියේ ඔලුව පේන්න තිබුණේ නැහැ කියලයි කියන්නේ. හිසක් නැති මේ හොල්මන දැකපු එක කොල්ලෙක් බය වෙච්ච පාරට මැරිලා වැටිලා”


මේ කතාව ලැව්ගින්නක් සේ අම්බලන්ගොඩ හා ඒ අවට ගම් දනව් පුරා පැතිර යන්නට වැඩි වේලාවක් නම් ගතවූයේ නැත. 


ඇතැමුන් පැතිර ගිය මේ කතාව අසා බියෙන් සංත්‍රාසයට පත්ව ඇතැයි කියන්නේ ඒ ගැන හරිහැටි සොයා බැලීමකින් තොරව විශ්වාස කිරීමට යාම නිසාය. 
සුදු පාට ගවුමකින් සැරසී සිටි හිසසුන් හොල්මනක් බවට පැවසුනු කාන්තා රුවක් දැකීම නිසා බියට පත්ව මිය ගියා යැයි පැවසුනු තරුණයා සම්බන්ධව සොයා බැලීමට මා තීරණය කළේ මේ කතාවේ සත්‍ය අසත්‍යතාවය ඇත්ත ඇති සැටියෙන් හෙළිකර ප්‍රදේශවාසීන් තුළ පවතින බිය හා සැක සංකා දුරුකිරීම සඳහාය. 

2
මියගොස් තිබුණේ අම්බලන්ගොඩ පොලිස් වසමට අයත් කුලීගොඩ, දිඹුල්දූවේ පදිංචිව සිටි මුකදන්ගේ රුවන් මධුශංක සිල්වා නමැති 19 හැවිරිදි තරුණයෙකි. 


මධුශංඛ තරුණයා හා ගමේ හිතවත් තරුණයින් පිරිසක් සමග එක්වී පොහොය දිනය වෙනුවෙන් දන්සලක් දීමට ලක ලැහැස්ති වී ඇත්තේ ප්‍රදේශවාසීන්ගේද ආධාර උපකාර ඇතිවය. 


ඔහු හිතමිතුරන්ද සමග එක්වී ගමේ ගෙයක් ගෙයක් ගානේ පසුගිය දවස්වල ගොස් ඇත්තේ පොහොය දිනය වෙනුවෙන් පැවැත්වෙන දන්සලට ආධාර සොයාගෙනය. 


තරුණ කැල එක්වී කරන මේ සද්ක්‍රියාව වෙනුවෙන් ගම්මුන් ද නොමසුරුව ආධාර කළෝය. 


ගමේ දන්සල පැවැත්වෙන ස්ථානයේ තරුණයින් එක්වී ටෙන්ට් එකක්ද කල්තියාම ගසා ඇති අතර ඒ වැඩ කටයුත්ත අවසන්වන විට හොඳටෝම රෑබෝවී තිබිණි. 


“මචං මට ඉන්න හිටින්න බැහැ. ලොකු බඩගින්නක් තියෙනවා. වරෙල්ලා අපේ ගෙදර ගිහින් බත් ටිකක් කාලා එමු” කියා යෝජනාකර ඇත්තේ වෙන කවුරුවත් නොව මධුශංඛය. 


“ඒක හොඳ අදහස. අපිටත් යකෙක් කන්න තරම් බඩගිනියි. එහෙම නම් යමු” කියා මධුශංක සමග ඔහුගේ ගෙදර යාමට අයේෂ්, දිනේෂ් සහ දිමුතුද පැමිණ ඇත. 


එතැනින් එහාට සිදුවූ ලොමු ඩැහැගන්වන සිද්ධිය කීමට මුලින්ම ඉදිරිපත් වුණේ එච්.එම්. අයේෂ් (19) නමැති තරුණයාය. 


මේ අයේෂ් කී කතාවයි. 


“දන්සල දෙන්න හදපු ටෙන්ට් එක යටට වෙලා අපි කට්ටිය ඉද්දී මධුශංක කිව්වා මට හරි බඩගිනියි, මම බත් ටිකක් කාලා එන්න ගෙදර යන්න ඕනෑ. ඔය ගොල්ලොත් මාත් එක්ක ගෙදර යන්න එන්න කියා. මධුශංඛ එක්ක මමත්, දිනේශ් හා දිමුතුද ගියා. අපි හතර දෙනා තුන්මංහංදිය ළඟට යද්දී ලස්සන ගැහැණු ළමයෙක් අපි දිහෑ බලාගෙන ඉන්නවා දැක්කා. එතකොට තුන්මංහන්දිය ගාව තිබුණ ලයිට් කනුවේ ලයිට් එක දැල්වෙමින් තිබුණා. ගැහැණු ළමයා කොණ්ඩය කඩා දාගෙන වගේ හිටියා මතකයි. මමයි මුලින්ම ඒ ගැහැණු ළමයාව දැක්කේ. ඒ ලයිට් කණුව එක්කම තාප්පයක්ද තියෙනවා. ලයිට් කණුවයි ඒ තාප්පයයි අතර තියන හිඩැස අතරේ තමා ගැහැණු ළමයා හිටියේ. සුදු පාට දිග ගමුවක් හා සුදු පාට බ්ලවුස් එකක් ඒ ගැහැණු ළමයා ඇඳගෙන හිටියා. 


මේ ගැහැණු ළමයා දැක්ක ගමන් මගෙත් එක්කම හිටිය යහළුවෝ තුන්දෙනා කිව්වා අන්න මචං අතන ලස්සන කෙල්ලක් ඉන්නවා කියා. එහෙම කිව්වට පස්සෙ මගේ යහළුවෝ තුන්දෙනා ඒ කෙල්ලව දැක්කේ. කෙල්ල දැක්ක ගමන් අපි තුන් දෙනා හිටිය තැනම නැවතුනා. කෙල්ලත් අපි දිහා කිසිම හැලහොල්මනක් නැතිව බලාගෙන ඉන්නවා. අපි හතර දෙනායි ඒ කෙල්ලයි අතර පරතරය මීටර් 100 ක් විතර තියෙන්න ඇති. අපිත් හිටිය තැනටම වෙලා කෙල්ල දිහා බලාගෙන ඉන්නවා. කෙල්ලත් හෙල්ලෙන්නෙවත් නැතිව ඇස්පිය ගහන්නෙවත් නැතිව අපේ දිහෑ බලාගෙන ඉන්නවා. මගේ මතකයේ හැටියට පැය කාලක් විතර මේ විදිහට ඉන්න ඇති. අපි මේ ගැහැණු ළමයා දකිනකොට වෙලාව රෑ 12.00 විතර වෙලා තිබුණා.” 

SLD_20160717_B006


ඊට පස්සේ මොකද වුණේ කියා ඇසූ ප්‍රශ්නයට අයේෂ් දුන්නේ මෙවැනි පිළිතුරකි. 


අපි හතර දෙනා ඇය ළඟට ගිහින්ම කතා කරන්න තීරණය කළා. එහෙම තීරණය කරලා අඩියක් දෙකක් ඉස්සරහට යනවාත් එක්කම මෙච්චර වෙලාවක් කිසිම කතා බහක් නැතිව ගල් පිළිමයක් වාගේ හිටගෙන හිටිය ඒ ලස්සන කෙල්ල එක පාරටම නොපෙනී ගියා. අපි හතර දෙනා හොඳටම බය වුණා. කොච්චර බය වුණාද කියනවා නම් යන්න ගිය ගමන නතර කරලා ආපහු ටෙන්ට් එක ළඟටම දුවගෙන ආවා. 

තුන් දෙනාගේ නිරීක්‍ෂණ පරස්පරයි

 

මනෝ වෛද්‍ය ෆර්ඩිනන් පෙරේරා

 

මෙම සිදුවීම සම්බන්ධව අයේශ් හා දිනේශ් යන තරුණයින් දෙදෙනා සමග මා සවිස්තරාත්මකව කතා කළා. මෙම තරුණයින් සිව් දෙනා එදින මධ්‍යම රාත්‍රී 12 ට පමණ බඩගිනි වීම නිසා නිවසකට ගමන් කළ බවත් මීටර් 300 ක් පමණ පැමිණි පසු හමු වූ තුන්මං හන්දියේදී අදාළ කාන්තා රුව දුටු බවත් පැවසුවා.


මෙහිදී තරුණයින් තිදෙනාගේ නිරීක්ෂණයන් පරස්පර වීම විශේෂයි.  


අයේශ් තරුණයා මුලින්ම මෙම රුව දැක අන් තිදෙනාට පෙන්වා තිබුණා. ඔහුට අනුව මීටර් 100ක් දුරින් ලයිට් කණුව හා තාප්පය අතර හිඩැසින් රූමත් කාන්තාවක් ඔවුන් දෙස බලා ගෙන සිට තිබෙනවා. 


මෙම දුර පිළිබඳව පෙන්වා දී නැවත විමසීමේදී ඇයගේ ඇස්, නාසය හා කට පැහැදිලිව නොපෙනුන බවත් ඇය හැඳ සිටියේ සුදු පැහැ ගවුමක් විය හැකි බවත් ඔහු පැවසුවා. 


දිනේශ්ට අනුව ඔහු ඇයව මීටර් 50ක් 70 ක් තරම් දුරින් දුටු බවත් ඇය රූමත් බවත්, ඇයගේ මුහුණේ සියලුම ලක්‍ෂණ පැහැදිලිවම දුටු බවත් ඇය හැඳ සිටි ගවුමේ රතු මල් තිබූ බවත් ඔහුට පෙනී ගොස් තිබුණා. 


අනිත් තරුණයාට අනුව කාන්තා රූපයට හිසක් තිබී නැත. 
අයේෂ්ට අනුව එදෙසට පියවර කීපයක් යාමේදී ඇය ක්ෂණිකව අතුරුදන්වී ඇති අතර දිනේෂ්ට අනුව ඇය පියවර කීපයක් පසුපසට ගොස් අතුරුදන්වී ඇත. 


මෙම නිරීක්‍ෂණයන්ගේ වෙනසට හේතුව අපි බලමු. මෙම තරුණයින් බොරුවක් පවසනවා නොවේ. එසේම අයේශ්ට අනුව ඔවුන් මත්ද්‍රව්‍ය කිසිවක් ගන්නා අයද නොවේ. 
ඔවුන් සිව් දෙනා ඒ මොහොතේදී සිටි ආකාරය කරුණු 4 ක් නිසා වැදගත් වේ. 


1. වෙහෙසයි, දවස පුරාම දන්සලට වැඩ කළා
2. නිදි මතයි, රෑ 12 ට අඳුරුයි, බයයි
3. බඩගිනියි
4. ඉක්මන් තීරණ - අවු. 18-19 නව යෞවනයින් 


මෙය ඔවුන්ගේ පරිසර සංවේදන දෝෂ සහිත කරවන්න පුළුවන්. ප්‍රතිඵලය මායාකාරී දෘෂ්ටි සංවේදනයක් ඇතිවීම. සිවු දෙනාම දුටු දේ ගැන එකඟතාවයකට ඇවිල්ලත් තියෙනවා. දෘෂ්ටි මායාවක් ඇතිවීමේදී අපේ අවධානය අඩු වීම, හැඟීම්වල ස්වභාවය හා සිතේ ඇතිවන චිත්ත රූප වැදගත් වෙනවා.

 
රාත්‍රී කාලය නිදිමත, බියජනක බව හා නිරායාසයෙන් සිතේ මැවෙන චිත්ත රූප සාමාන්‍ය දේ අද්භූත ලෙස හඳුනා ගැනීමට අපව යොමුකරන්න පුළුවන්. හොල්මන් හා අවතාර බොහොමයක් රාත්‍රී කාලයටම ඇතිවීමට හේතුවත් එයයි. 


මෙහිදී සිදුවූ අවාසනාවන්ත මරණය භූත බලවේගයක් නිසා සිදුවූවක් බවටද ගම පුරා රාවයක් පැතිර ගොස් තිබුණා.
අයේශ්ට අනුව ඔවුන් හිඳගෙන සිටි තැනට මා-පිය යුවලක් පැමිණීමේදී මියගිය තරුණයා පුටුවක වාඩිවී තවත් පුටුවකට කකුල් තබාගෙන ජංගම දුරකතනය ඔබමින් සිටින විට ක්ෂණිකව හැරී පැමිණි මාපිය යුවළ දෙස බැලීමට උත්සාහ කර තිබුණා. 


අයේෂ්ට අනුව එහිදී පසුපසට කරණමක් ආකාරයෙන් ඔහුව පෙරළී ගොස් තිබුණා. 


දිනේශ්ට අනුව භූත බලවේගයක් තල්ලු කිරීම ඔහුව කරණමක් ආකාරයෙන් පසුපසට පෙරළීමට හේතුවයි. මේ නිසා මිතුරන් දෙදෙනාත් පසුව එතැනට පැමිණි පිරිසත් මෙය භූත බලවේගයක් විසින් සිදුකළ ක්‍රියාවක් බවට නිගමනය කළා. 
නමුත් පශ්චාත් මරණ පරීක්‍ෂණය අනුව මෙය සුසුම්නාව බිඳීම නිසා සිදුවූ මරණයකි. මෙය පැහැදිලි කර ගනිමු. 


මිය ගිය තරුණයා කකුල් දෙක උඩ තබා වාඩිවී සිටින විට පසුපසට පෙරළීමේ දී කකුල් දෙක ඉහළට එසවීම සිදුවෙනවා. එවිට සිරුර පොළවට පතිත වන ස්ථානය වන හිස හා ගෙල මූලික කරගෙන කරකැවීමේ බලයක් ඇතිවීම නිසා කරණමක් ගසන ආකාරයෙන් චලනය වීම තේරුම් ගත හැකියි. 


ගෙල හා හිස සම්බන්ධවන තැන ඇති සුසුම්නා ශීර්ෂකය අපේ හුස්ම ගැනීම හා හෘද ස්පන්ධනය පාලනය කරයි. මෙවන් චලනයකදී එයට හානි විය හැකි අතර ප්‍රතිඵලය ක්ෂණික මරණය විය හැක.


සම්ප්‍රදායිකව මෙවන් සිදුවීම් මිත්‍යා මතවලින් පැහැදිලි කිරීම අපේ සමාජයේ තවමත් සිදු වෙනවා. මෙහි හානිය තමයි මෙවන් සිදුවීම්වලට මුහුණ දෙන පුද්ගලයන් කල් පවතින මානසික ව්‍යාකූලතාවලට ලක්වීමට ඇති අවදානම. අන්න ඒ නිසයි නිවැරදි විද්‍යාත්මක මතය සමාජගත කිරීම වැදගත් වෙන්නෙ.


ටෙන්ට් එක යට තිබුණු පුටුවල අපි හතරදෙනා වාඩිවෙලා හිටියා. මධුශංඛගේ මල්ලි නුවන් ද අපි එතනට එනකොට ඇවිත් හිටියා. එයාටත් අපි දැකපු දේවල් කිව්වා. මධුශංක ටෙන්ට් එක යට තිබුණ ප්ලාස්ටික් පුටුවක වාඩිවෙලා හිටියේ ඒ පුටුව උඩ කකුල් දෙකත් තියාගෙනයි. මධුශංඛ එයාගේ හෑන්ඞ්ෆෝන් එකේ නම්බර ඔබමින් තමා ඒ වෙලාවේ හිටියේ.”


සුදු සරමකින් හා සුදු කමිසයකින් සැරසුණු පිරිමි කෙනෙක් හා සුදු සායක් හා සුදු හැට්ටයක් හැඳගත් කාන්තාවක් ටෙන්ට් එක ළඟට පැමිණ ඇත්තේ මේ තරුණයන් පස් දෙනා ටෙන්ට් එක යට තිබූ පුටුවල වාඩිවී සිටි අතරවාරයේය.


සුදු හැඳගෙන ආ මේ යුවළ ගැන මෙන්ම ඊට පසු සිදුවූ දේවල් ගැනත් සිය මතකය අවදි කරමින් අයේෂ් මෙසේ පැවසීය. 


සුදු ඇඳගෙන ආපු දෙන්නා දැකපු ගමන්ම අපි හොඳටම බය වුණා. මධුශංඛ පුටුවත් එක්කම බිම පෙරළුනා. ඒත් එක්කම මධුශංඛගේ කටින් සෙම දාන්න පටන් ගත්තා. දිවත් එළියට ඇවිත් තිබුණා. එයාට මුත්‍රා පහවී තිබෙන අයුරුත් මම දැක්කා. මධුශංඛගේ මල්ලීවන නුවන් අයියේ අයියේ කියා කෑ ගැසුවා. ඒත් මධුශංක කිසිවක් කතා කළේ නැහැ. දත කට පූට්ටුවෙලා වාගේ තිබෙන බව පෙනී ගියා. මධුශංඛගේ ගෙදර අයට ඒ වෙලාවෙම සිද්ධිය ගැන දැනුම් දුන්නා. පස්සේ ඒ ගොල්ලොත් ඇවිත් මධුශංඛ බලපිටිය රෝහලට අරගෙන ගියා.”


සුදු ඇඳගෙන මධුශංඛලා හිටිය ටෙන්ට් එක ළඟට ආවේ කවුද? කියන එක ගැන ඔබට ලොකු කුතුහලයක් දැන් ඇතිවී තිබෙන බව අපි හොඳාකාරවම දන්නෙමු. 


සුදු හැඳගෙන ආවේත් වෙන කවුරුවත් නොව හොල්මන්, එහෙමත් නැතිනම් අවතාර දෙකක් බව ඔබ සිතා සිටින බව නම් නිසැකයෙන්ම අපට කීමට පුළුවන. 


හොඳයි අපි ඒ ගැනත් අයේෂ්ගේ වචනවලින්ම අසා දැන ගනිමු. 


“ටෙන්ට් එක ළඟට සුදු හැඳගෙන ඇවිත් තිබුණේ වෙන කවුරුවත් නම් නොවේ. අපේ ගමේම ඉන්න සුගත් මාමයි, එයාගේ නෝනයි. ඒ මාමයි නැන්දයි අපි හිටිය තැනට ඇවිත් තිබුණේ එයාගේ පුතාත් අපිත් එක්ක ඉන්නවාද කියා බලන්නයි. ඒ දෙන්නා මළ ගෙදරක ගිහින් ගෙදර යන ගමන් තමා අපි ඉන්න තැනට ඇවිත් තියෙන්නේ. ඒ දෙන්නා අපිට ඒ බව කිව්වා. කලිනුත් බය වෙලා හිටිය මධුශංඛ මේපාර හොල්මන් දෙකක්ම ඇවිත් කියා බය වෙච්ච පාරට එයා ඉඳගෙන හිටිය පුටුවත් එක්කම බිම පෙරළෙන්න හේතුව වෙන්න ඇති කියා සිතනවා. 


මේ සිද්ධිය වෙන කොට පාන්දර 3.00 ට විතර ඇති. ඒ වෙලාවේ මධුශංඛගේ මල්ලි හිටිය නිසා හොඳට ගියා. මොකද ඔහු වෙච්ච දේවල් සේරම දැක්ක නිසා. ඔහු නොසිටින්නට අපි තුන්දෙනාව මධුශංඛගේ මරණය ගැන සැක කරලා පොලිස් අත්අඩංගුවට ගන්නත් ඉඩ තිබුණා. එහෙම වුණා නම් අපි ලොකු කරදරයක වැටෙනවා” යැයි අයේෂ් කියා සිටියේ ඉදිරියේදී සිදුවීමට ඉඩ තිබූ අවදානමක් ගැනද සිහිපත් කරමිනි. 


හම්බුවත්ත කුලීගොඩ පදිංචි තුෂාර දිනේශ් (18) තරුණයාද කිව්වේ අයේෂ් කී කතාවමය. 


තුංමන්හන්දියේ දී එදින රෑ 12.00 ට විතර දුටු සුදු හැඳගෙන හිටියේ තරුණියකගේ අවාතරයක් බවට තමා විශ්වාස කරන බව තුෂාර දිනේෂ් කීවේ ඒ අවතාරයට වෙච්ච බයට කට්ටඩින් ගෙන්වා මතුරා තුන්දෙනාට නූල් පවා ගැට ගැසූ බවයි. 


කේ. ඩබ්ලිව්. දිමුතු සඳරුවන් (19) තරුණයා පැවසූ ආකාරයට විදුලි පහන් කණුව ළඟදී ඔහු දැක ඇත්තේ සුදු සාරියකින් සැරසී සිටි හිස නොමැති තරුණියකි. 


“තරුණියගේ අවතාරය දැකලා බය වෙලා ටෙන්ට් එක ළඟට ආවාට පස්සේ ඒ බය යන්නත් එක්ක අපි සින්දුත් කිව්වා. ටෙන්ට් එක ළඟට ආවේ ගමේ අපි දන්නා හඳුනන අන්කල් කෙනෙක් හා ඇන්ටි කෙනෙක්. මළ ගෙදරක ගිහින් ගෙදර යන ගමන් ඒ දෙන්නා අපි ඉන්න තැනට ආවේ එයාලාගේ පුතා අපිත් එක්ක ඉන්නවාද කියා බලන්නයි. ඒ දෙන්නා ආවේ සුදු ඇඳගෙනයි. මධුශංඛ හිටියේ ඒ දෙන්නාට පිටුපාලයි. මධුශංඛ පිටුපස හැරිලා බලනකොටම ඒ අන්කල්වයි, ඇන්ටිවයි දැක්කා. ඔවුන් දෙන්නා දැක්ක ගමන් බියවී මධුශංඛ බිම ඇදගෙන වැටුණා” යැයි සඳරුවන් තරුණයා කීය. 


“මේ සිද්ධිය දැන ගත්තට පස්සේ අපි එතැන්ට දුවගෙන ගියා. පුතාට කතා කළත් ඔහු කිසිවක් කතා කළේ නැහැ. පුතා මියාගොස් ඇති බව මට තේරුම් ගියා. ඒත් ත්‍රීවීල් එකක දාගෙන පුතාව බලපිටිය රෝහලට අරගෙන ගියා. දොස්තර මහත්තයෙක් පරීක්‍ෂාකර බලා කිව්වා පුතා මියගොස් ඇතැයි කියා. පුතාට මොනවා වුණාද කියා කියන්න මා දන්නේ නැහැ. අපි දන්නෙත් එයාගේ යහළුවෝ කියන කතාව පමණක්” යැයි මධුශංඛගේ මව වන එච්. අජන්තා මහත්මිය පැවසුවේ කඳුළින් පිරි දෙනෙතින් යුතුවය. 


මියගිය මධුශංඛගේ මරණ පරීක්‍ෂණය සිදු කළේ වතුගෙදර හදිසි මරණ පරීක්‍ෂක කරුණාසේන මලවිගේ මහතාය.


පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇත්තේ ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා විසිනි. 
ඉදිරිපත්වූ සාක්කි සහ අධිකරණ වෛද්‍ය විශේෂඥ චන්න පෙරේරා මහතාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්‍ෂකවරයා මෙය බිම ඇදවැටීම නිසා ගෙල ප්‍රදේශයට ඇතිවූ කම්පනයෙන් සුසුම්නාව කැඩීයාමෙන් සිදුවූ මරණයක් බවට තීන්දු කළේය. 


පොලිස් සැරයන් ඩී. සල්පගේ මහතා (58442) මෙම මරණ පරීක්‍ෂණයේ සාක්කි මෙහෙයවනු ලැබීය. 


මෙම මරණ පරීක්‍ෂණයේ සාක්කි විභාගය අවසානයේ මට පෙනීගියේ මේ තරුණ ළමයි දැක ඇත්තේ අවතාරයක් නොවන බවයි. මහ රෑ ජාමයේ අනවශ්‍ය ගමනක් යන්න ගිය කාන්තාවක් දකින්න ඇති. මේ ළමයින්ව දැක්කාම ඇය එක පාරටම යන්න ඇති. ඒක නිසා තමා මේ ළමයි කියන්නේ ඇය එක පාරටම අතුරුදන්වූවා යැයි කියා. ඒ හරියේ ගෙවල් තියනවා. මේ ළමයි හතර දෙනා බය වෙන්නේ නැතිව තවදුරටත් සොයා බැලුවා නම් ඔවුන් අවතාරයක් යැයි කියා බියට පත්වූ තරුණිය හෝ කාන්තාව අල්ලා ගන්න තිබුණා. එතකොට ඔවුන්ගේ සිත්වල තිබුණ බය සැකසංකා නැතිකර ගන්න තිබුණා. එහෙම වුණා නම් මෙවැනි අවාසනාවන්ත මරණයක් සිදුවෙන්නෙත් නැහැ. 


මම නම් මෙය හොල්මනක් කියා කිසිසේත්ම පිළිගන්නේ නැහැ. තරුණ ළමයි ටික දැක්කාට පස්සේ ඇය තරමක් වෙලා බලාගෙන ඉඳලා ඔවුන් ඇය ළඟට එනවාත් එක්කම එතැනින් ඉක්මණට යන්න ඇති. කොහොම හරි ගෙදරකට යන්න ඇති කියා සැක කරන්නත් පුළුවනි.”


ඒ හදිසි මරණ පරීක්‍ෂක මලවිගේ මහතා මේ මරණය සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපයට අදහස් දක්වමින් කී කතාවයි. 


ඔය තරුණයින් හතර දෙනා සුදු හැඳගත් කාන්තාවකගේ අවතාරයක් දුටුවා යැයි කියන ප්‍රදේශයේ ඉන්න අයගෙන්ද මම මේ ගැන තොරතුරු සොයා බැලුවා. ඔවුන් කිසිම කෙනෙක් මීට පෙර කිසිම අවතාරයක් දැකලා නැහැ. එහෙම අවතාරයක් ඔය කියන ප්‍රදේශයේ රෑට සැරි සැරුවානම් ප්‍රදේශවාසීන්ගෙන් එක්කෙනෙක් දෙන්නෙක් හරි අවතාරය දකින්න ඕනෑ. ඕනෑතරම් අය මහ රෑට ඔය තුන්මං හංදිය පහුකරගෙන ගමන් බියන් යනවා. කිසිම කෙනෙක් මේවනතෙක් අවතාරයක් දැකලා නැහැ” යැයි හදිසි මරණ පරීක්‍ෂකවරයා අවසාන වශයෙන් කීය. 


“අපිත් මහ රෑ ඔය තුන්මංහන්දිය ළඟින් ගමන් බිමන් යනවා. ඒත් කිසිම දවසක අවතාරයක් මුණගැහිලා නැහැ” යැයි ඒ අවට පදිංචිකරුවෝ රැසක්ම පැවසූහ. 


සිය පුතා සිටින්නේද කියා සොයා බැලීමට පැමිණි අඹු-සැමි යුවළක් දැක ඒ දෙදෙනා හොල්මනක් යැයි සිතා වරදවා තේරුම්ගෙන අධික ලෙස බියට පත්වීම නිසා පුටුවෙන් ඇදවැටී සුදුම්නාවට හානි සිදුවීම නිසා අවසානයේ භද්‍ර යොවුන් වියේ පසුවූ තරුණයෙක් මිය ගියේ ඔහුගේ මුළු පවුලටම සදාකාලික කඳුළක් උරුමකර දෙමින්ය. 


හොල්මන්, අවතාර, භූතයන් හා යක්‍ෂයින් කියා අදෘශ්‍යමාන බලවේග නොමැත. ඒවා මිනිසුන් විසින්ම අනාදිමත් කාලයක සිට නිර්මාණය කරගත් සංකල්පයන්ය. 


මෙවැනි මිත්‍යා විශ්වාස පවතින තාක්කල් මේවගේ අවාසනාවන්ත සිද්ධීන් වැළැක්වීමට හැකියාවක් නොමැති බවද කිව යුතුව ඇත. 


කොළඹ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ රෙජිස්ට්‍රාර්, මනෝ වෛද්‍ය ෆර්ඩිනර් පෙරේරා මහතා මේ තරුණයින් සමග කතාබහ කර ඔවුන්ගේ සිත් තුළ පවතින බිය හා සැක සංකා දුරු කිරීමට පියවරගත් අතර මේ හා සම්බන්ධව මනෝ වෛද්‍යවරයා කරන විග්‍රහයද මේ සමගම වෙනම පළකර ඇත.

m



අදහස් (0)

මහ රෑ මහ පාරේදී තරුණියකට බයවූ තරුණයාගේ ඉරණම

කෙවින් Monday, 25 July 2016 03:16 AM

මම මේ කතාව බොරුවක් කියලා 100% විශ්වාස කරන්නේවත්, අැත්තක් කියලා 100% විශ්වාස කරන්නේවත් නැහැ? එ්ත්...? (නි)

:       0       0

අසෝකා Thursday, 21 July 2016 04:08 PM

හොල්මන කියන්නේ සෙලවෙන මනස කියලා බොහෝ අය අපට පහද දී තිබුනා. එත් මම මගේ ඇස් වලින්ම අවතාර දුටුවට පසුව එය බොරු බව තේරුම් ගත්ආ. මම හොල්මන් සහ අවතාර ගැන විස්වාස කරනවා.(හේ)

:       0       0

බණ්ඩාර Thursday, 21 July 2016 04:41 PM

තිබෙන බවට ඔප්පු වෙනතුරු, හැම දෙයක්ම නැහැ තමයි. බටහිර පරීක්ෂණ කරලා තිබුනාට ඔප්පු කරලා තියෙනවද? පිළිගත් පර්යේෂණ වාර්තා තිබෙනවද? තිබේ නම්, එය නැවත ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් වියයුතුය. (නි)

:       0       0

නුමා Friday, 22 July 2016 10:56 AM

අනේ මන්දා අපේ මිනිස්සු කිසි දෙයක් හොයනේ බලන්නේ නැතුව නිකරුනේ නැතිනාස්ති වෙනවා. අද පිරිමි හතර දෙනෙක් මහ රෑ දැක්කම මොන කෙල්ලද බය නොවෙන්නේ. මේ ළමයින්ට උනත් හිතෙන්න ඕන මහ රෑ ඉන්න කෙල්ලෙක්ට කතා කරලා බලන්න මොකද කරන්නේ කියලා. (ර)

:       0       0

ඩී.උපුල් Friday, 22 July 2016 11:45 AM

වර්තමාන එඩිතර තරුණ පරම්පරාව. (ර)

:       0       0

කළ්‍යාණතිස්ස Monday, 25 July 2016 06:28 AM

විශ්වාස කරන්න එපා හොල්මන් (නි)

:       0       0

සංජීව Monday, 25 July 2016 08:16 AM

කෙවින් ඔයා පිරිමිද ? ගැහැණුද ? (බ)

:       0       0

අතුල Wednesday, 20 July 2016 09:17 AM

මෙම සිද්දියේ හොල්මන් හෝ අවතාරයක් හිටියද කියා කියන්න බැහැ.නමුත් මෙම සිද්දිය පාදක කොට 100% එවැනි දේ නැත කීම අනුවණ ක්‍රියාවකි මොකද බටහිර ලෝකයේ මෙවැනි දේ පිළිබද ගවේෂණාත්මක පර්යේෂණ තවමත් සත්‍ය සිදුවීම් පාදක කොටගෙන සිදු වන නිසා! (හේ)

:       0       0

අශික Thursday, 21 July 2016 07:02 AM

හොල්මන් නැහැ කියන්න එපා,,(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 1783 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 295 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 931 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 82 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 175 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 230 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site