ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහැදිලිවම අවශ්‍ය ය. ට්‍රම්ප් පාලනය විසින් පනවන ලද විනාශකාරී තීරු ගාස්තු මගින් වත්මන් වාතාවරණයෙහි අවදානම් සහගත තත්වය විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන අතර එමගින් අප රටෙන් ඇමෙරිකා එක්සත් ජනපද වෙත යැවෙන අපගේ අපනයන “විශේෂයෙන්ම ඇඟලුම් හා රබර් නිපැයුම්’’ ඉතාමත් අනතුරු සහගත තත්වයකට පත්ව තිබේ.
මෙම පසුබිම තුළ යුරෝපා සංගමයේ විශාල වෙළෙඳපොළ වෙත ප්‍රමුඛතා ප්‍රවිෂ්ටය ලබා දෙන ජී.එස්.පී. ප්ලස් පහසුකම (සාමාන්‍ය වරණිය පද්ධතිය - විශේෂ අනුග්‍රහ) අපගේ අපනයන සඳහා ප්‍රාණ වායුව බවට පත් වෙයි. නිෂ්පාදන ගණනාවක් එම රටවල ආනයන තීරුබදුවලින් නිදහස් කිරීම මගින් විශාල වටිනාකමකින් යුතු වාසියක් අත් වේ.
කෙසේ වුවත් මෙය අයිතිවාසිකමක් හෝ හිමිකමක් නොවන අතර එය සදාකාලිකව අපට තිබෙනු ඇතැයි සහතික කරන ලද දෙයක් ද නොවේ. එය අඛණ්ඩව භුක්ති විඳීම රඳා පවතින්නේ, ජාත්‍යන්තර ගිවිසුම් 27 ක අන්තර්ගත, මූලික වශයෙන් සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ අන්තර්ගත, විධිවිධාන පිළිපදිනවා ය යන කොන්දේසිය මතයි. මේවායේ යම් කොටස් ව්‍යවස්ථා සම්පාදන මගින් ශ්‍රී ලංකාවේ දේශීය නීති පද්ධතියට අන්තර්ග්‍රහණය වී තිබේ. අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා වශයෙන් 2007 දී මම ඒ සම්බන්ධයෙන් මූලික කාර්යභාරයක් ඉටු කළෙමි.
ශ්‍රී ලංකාව සඳහා වන ජී.එස්.පී. ප්ලස් පහසුකම පිළිබඳව සමාලෝචනය නුදුරේ එළඹෙන අතර ඉතා කෙටිකලකින් ඒ සඳහා බ්‍රසල්ස් හි සිට දූත පිරිසකගේ පැමිණීම අපේක්ෂා කෙරේ.
සමස්ත ක්ෂේත්‍රය සිසාරා ඇති දේශපාලනික පක්ෂවල, මාධ්‍ය නියෝජිතයන්ගේ සහ සිවිල් සමාජයේ මහත් විරෝධයට ලක් වූ, මාධ්‍ය නිදහස කෙරෙහි නිර්දය ප්‍රහාරයක් වූ, 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හරයාත්මක වශයෙන් සංශෝධනය කිරීම ද ඒ සඳහා ශ්‍රී ලංකාව බැඳී සිටින වගකීමකි. මෙම පනතෙහි අවිචාරවත් විධිවිධාන අඩංගුව පැවතියත්, මේ දක්වා මෙම පනත සංශෝධනය කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
මෙම තත්වය අඛණ්ඩව පැවතීමට ඉඩ හැරියහොත්, අපගේ ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධයෙන් වූ වැදගත් අභිලාෂයන්ට බාධක පැමිණෙනු නිසැක ය. සැබවින්ම, කෙටිකාලීනව යුරෝපා සංගමය වෙත කෙරෙන අපනයනවල අගය ඩොලර් බිලියන 3.6 ක් බවට වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවට ප්‍රකාශ කර ඇති රජයේ චේතනාව හුදෙක් මනඃකල්පිත අපේක්ෂාවක් බවට පත් වනු ඇත. එම නිසා, මෙම නීතියෙහි වඩාත්ම කර්කශ ලක්ෂණ හඳුනාගෙන, ඒවා පරිච්ඡින්න කරනු පිණිස හෝ විශාල වශයෙන් වෙනස් කරනු පිණිස හෝ අවශ්‍ය වන ව්‍යවස්ථාදායක ක්‍රියාපටිපාටි ක්‍රියාගැන්වීම හදිසි හා වැදගත් ප්‍රායෝගික අවශ්‍යතාවකි.
වැරැදි පිළිබඳ ඕනෑවට වඩා පුළුල් නිර්වචන
මෙම ව්‍යවස්ථා සම්පාදනයෙහි ගැඹුරටම කිඳා බසින දෝෂයක් වන්නේ “අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම මගින්, ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට හෝ මහජන සාමයට තර්ජනයක් ඇති කරවන හෝ විවිධ පන්තිවලට අයත් තැනැත්තන් අතර එදිරිවාදී සහ වෛරී හැඟීම් ප්‍රවර්ධනය කරන ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සිටින හෝ යම් තැනැත්තෙක් වරදක් සිදුකරයි” යන පමණට වඩා පුළුල් හා ඉතාමත් අපැහැදිලි නිර්වචනයයි. (12 වගන්තිය)
මෙහි කේන්ද්‍රික නිර්ණායකය පවා ප්‍රජාතන්ත්‍රවාදී මූලික වටිනාකම් මත එල්ල කෙරෙන ප්‍රහාරයකි. යථාර්ථය සම්බන්ධයෙන් “නිදහස් විවාදය තුළ දෝෂ සහගත ප්‍රකාශ නොවැළැක්විය හැකිය” යනුවෙන් වූ අධිකරණමය පිළිගැනීමක් ද පවතී. (නිව්ෙයා්ර්ක් ටයිම්ස් එදිරිව සලිවන් නඩුව, 376 එ.ජ. 254 හි පිටු අංක 270 - 1 (1964)) ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් තුළ මෙයට ඇති විසඳුම වන්නේ මර්දනය කිරීම නොව, වඩා වැඩි නියැළීම හා අභියෝගය හරහා අසත්‍යය බිඳ හෙළීමයි.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික පරමාදර්ශ උල්ලංඝනය කරනු ලබන්නේ අවශ්‍ය අනුසීමා නියම කිරීමක් නොමැතිකම විසිනි. එම නිසා, අත්‍යවශ්‍ය සීමා කිරීම්වලින් තොරව ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට හා මහජන සාමයට “තර්ජනය” යන්න නිදහස් භාෂණය හා සන්නිවේදනය මත සීමා පැනවීමේ පදනමක් වශයෙන් නොගැළපේ. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පරීක්ෂණය වන “පැහැදිලි හා විද්‍යමාන අන්තරාය” යන්න (ශෙංක් එදිරිව එක්සත් ජනපදය, 249 එ.ජ. 47 හි පිටු අංක 52 (1919)) කිසිදු අයුරකින් අනුසීමා පනවන සංරචකයක් ලෙස මෙම ශ්‍රී ලාංකික ව්‍යවස්ථා සම්පාදනය තුළ පිළිබිඹු වී නොමැත.
කොමිෂන් සභාවේ අනභිභවනීය අධිකාරි බලය
ප්‍රධාන වරදෙහි වැදගත්ම කොටස වන්නේ “අසත්‍ය ප්‍රකාශයකි”. පැමිණිලි කිරීමට මුල් වන ප්‍රකාශය සත්‍ය ද, අසත්‍ය ද යන්න නිර්ණය කෙරෙනුයේ නීතිය මගින් ඇති කරනු ලබන මධ්‍යම බලාධිකාරය වන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාවෙහි නිර්බාධිත අභිමතය අනුව ය. එම කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකඟත්ව ඇතිව පත් කරනු ලබන සාමාජිකයන් 5 දෙනකු ගෙන් සමන්විත වේ.
මෙහි ඇති වැදගත් කාරණයක් වන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාවෙහි සාමාජිකයන් නිර්දේශ කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ස්ථාපිත වෙනත් කොමිෂන් සභා සම්බන්ධයෙන් මෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නොවීමයි. මෙහි මූලිකත්වය ජනාධිපතිවරයාගේ විනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නොවන අතර, එම සභාවේ කාර්යය “අනුමැතිය” ලබා දීමට පමණක් සීමා වේ. මෙය ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම පාලනය කරන්නා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානවල රටාව කෙරෙන් කැපී පෙනෙන, එමෙන්ම මූලික වශයෙන් පිළිගත නොහැකි, බැහැර යාමකි.
ප්‍රවේශය පිළිබඳ මෙම විපර්යාසය කොමිෂන් සභාවේ කාර්යයන් පූර්ණ ස්වාධීන හැඟීමකින් යුතුව ඉෂ්ට කරතැයි යන ජනතා අපේක්ෂණය මත නිශ්චිතව ම බලපෑමක් එල්ල කරන අතර, කොමිෂන් සභාව මත පවරා ඇති පුළුල් බලතල සලකා බලන කල එය ඉතාමත් පසුතැවිය හැකි ප්‍රතිඵලයකි. මේවාට හුදෙක් කොමිෂන් සභාවේ ආඥාව මත භෞතික සුරක්ෂිතතාව, වාර්ගික හා ආගමික සමාදානය, රජය කෙරෙහි විරෝධතාව, පුද්ගල යහපැවැත්ම හා පෞද්ගලිකත්වය සහ සාංගමික අයිතියට අකුල් හෙළීම වැනි විවිධ කාරණා රාශියක් සම්බන්ධයෙන් වූ ප්‍රකාශ තහනම් කිරීම ද ඇතුළත් ය.
කෙසේ වෙතත්, කොමිෂන් සභාවේ බලතල ක්‍රියාවේ යෙදවීමෙහි ඍජු ප්‍රතිවිපාකයක් වශයෙන් මූලික අයිතිවාසිකම් හා නිදහස් අයිතීන් අතික්‍රමණය වීම හමුවේ, අන්තර්ජාල සේවා සපයන්නන්, අන්තර්ජාල අතරමැදියන් හා මාධ්‍ය ආයතනවල නියෝජිතයන් මෙන්ම, වෘත්තීයවේදීන්, ව්‍යාපාරික හා විද්වත් ප්‍රජාව ඇතුළු විවිධ පාර්ශ්වයන්ගේ අදහස් විමසීමේ ක්‍රියාවලියක් තිබීම යෝග්‍ය යැයි කල්පනා කිරීම සාධාරණ වේ.
මෙම පනතෙහි විධිවිධාන ප්‍රකාරව වූ අපරාධ වගකීමෙහි මූලික පදනම වන “අසත්‍ය ප්‍රකාශය” යන්නට 52 වගන්තිය තුළ දී ඇති නිර්වචනයෙහි, එනම් “අසත්‍ය ප්‍රකාශය යන්නෙන් යම් ප්‍රකාශයක්, එය වැරැදි බව හෝ අසත්‍ය බව එය සිදු කරන්නා දන්නා වූ ද, විශේෂයෙන්ම රැවටීමේ හෝ නොමග යැවීමේ චේතනාවෙන් සිදු කරන්නා වූ ද ප්‍රකාශයක් අදහස් වන නමුත් ඊට සද්භාවයෙන් කරන ලද අනතුරු ඇඟවීමක්, සද්භාවයෙන් පළ කරන ලද මතයක් හෝ සද්භාවයෙන් කරන ලද අධ්‍යාරෝපණයක් ඇතුළත් නොවේ” ය යන්නෙහි බලපෑම් මගින් මෙම අන්තරායෙහි යථාර්ථය තවදුරටත් ශක්තිමත් වේ. මෙය සකස් කර ඇති ආකාරයෙන් ගම්‍ය වන්නේ මෙහි අවසාන වාක්‍යාංශය අපරාධ වගකීමට ව්‍යතිරේකයක ස්වභාවයෙන් පවතින බවත්, මේ සම්බන්ධයෙන් ඔප්පු කිරීමේ වගකීම චුදිතයාගේ කර මත පැටවෙන බවත් ය. ව්‍යවහාරයේදී මෙය උසුලා ගත නොහැකි තරම් භාරදූර වගකීමකි.
සමස්තයක් ලෙස කොමිෂන් සභාවේ විශාල බලය සිවිල් නිදහසෙහි පදනම කෙරෙහි හානිකර ය.
හේතු-ඵල සම්බන්ධතාවෙහි දුරස් බව
මෙම නීතියෙහි ක්‍රියාකාරිත්වය සාධාරණීකරණය කළ නොහැකි තරම් පුළුල් යැයි සැලකීමට එක් හේතුවක් වන්නේ එමගින් චූදිතගේ ක්‍රියාකලාපයට සමීප ලෙස සම්බන්ධ නොමැති ප්‍රතිවිපාක සඳහා ඔහු මත අපරාධ වගකීම පැටවීමයි. “ප්‍රකෝප කරවීමෙන් හෝ පෙළඹවීමෙන් කැරලි ගැසීමේ වරද සිදුවිය හැකි බවට වූ චේතනාවෙන් ම හෝ ඒ බව දැන දැන ම, යම් තැනැත්තකු ප්‍රකෝප කරවන හෝ පොළඹවන ප්‍රකාශයක්” සන්නිවේදනය කිරීම 14 වගන්තිය තුළ වරදක් ලෙස ප්‍රකාශ කෙරේ.
මෙහි කල්පිත වාතාවරණය තුළ, කැරලි ගැසීම සන්නිවේදනය කරනු ලබන්නේ තුන්වැනි පාර්ශ්වයක් විසිනි. මාර්ගගත ගිණුමක් හෝ මාර්ගගත ස්ථානයක් හරහා සන්නිවේදනය කරන තැනැත්තාගේ අපරාධ වගකීම සම්පූර්ණයෙන්ම පදනම් වන්නේ තුන්වැනි පාර්ශ්වයේ ක්‍රියාකලාපය මත ය. සැබැවින්ම කැරලි ගැසීමේ ප්‍රතිවිපාකය ඇති නොවූවද, සන්නිවේදකයාගේ අපරාධ වගකීම ස්ථාපිත වන අතර, එකම වෙනස වන්නේ 14 (ඊ) වගන්තිය තුළ සඳහන් පරිදි දණ්ඩනය අඩු වීම පමණි. එමෙන්ම, චූදිතගේ ක්‍රියාව හා සිදුවන කැරලි ගැසීම අතර කිසිදු පැහැදිලි සම්බන්ධතාවක් තිබිය යුතු බව පැවසීමකින් තොරව, ආගමික රැස්වීමකට බාධා සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයේ සන්නිවේදකයා අපරාධ වගකීමට යටත් කරයි (15 වගන්තිය).
මෙම ප්‍රවේශය මගින් අපරාධ වගකීම නමැති දැල ඕනෑවට වඩා පුළුල්ව එලනු ලබන අතර මෙහි පාදක දෝෂය බවට පත් වන්නේ ප්‍රමාණවත් ලෙස පැහැදිලි හේතු-ඵල සම්බන්ධයක් නොමැතිකමයි.
නීති විරෝධී බවට පත් කිරීමේ නිම් වළලු පුළුල් කිරීම
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ ප්‍රමුඛ ලක්ෂණයක් වන්නේ එහි අරමුණු ඉටු කර ගැනීම සඳහා වගවිභාගයකින් තොරව අපරාධ විධිවිධාන භාවිත කිරීමයි. එම ව්‍යවස්ථා සම්පාදනයෙහි III කොටස තුළ පුළුල් වැරැදි මාලාවක් සංස්ථාපනය කර ඇත. මේවායින් බොහොමයක් අනියත විෂය ක්ෂේත්‍රයකින් යුතු වන අතර ඒවායේ සම්පාදක ධාතු නිශ්චිත නිර්වචනයකින් තොර ය. නිදසුන් ලෙස, කැරලි ඇති කිරීම පිණිස අසත්‍ය ප්‍රකාශයක් මගින් “නිකරුණේ ප්‍රකෝපනය කිරීම” (14 වගන්තිය), ආගමික රැස්වීමකට “ස්වේච්ඡාවෙන්” බාධා පැමිණවීම (15 වගන්තිය) සහ ආගමික හැඟීම් කුපිත කරවීම පිණිස වූ අසත්‍ය ප්‍රකාශයක් “ද්වේෂ සහගත” ලෙස සන්නිවේදනය කිරීම (16 වගන්තිය) යන මේවා දැක්විය හැකි ය. “මහජන නිස්කලංකත්වය” පිළිබඳ වරදෙහි විෂය සීමාව ද ඒ සමානව ම නොපැහැදිලි ය (19 වගන්තිය). මේ සියල්ල සෑහෙන දඩයකට අමතර වශයෙන් හෝ විකල්පයක් වශයෙන් අවුරුදු 3 සිට 7 දක්වා නිවර්තක බන්ධනාගාරගත කිරීම් පනවනු ලබන වැරැදි වේ.
සංස්ථාපිත ආයතන මත තැති ගන්වනසුලු ලෙස බරපතළ දණ්ඩන ප්‍රතිවිපාක ඇති කෙරේ. සෑම අධ්‍යක්ෂවරයකු හෝ වෙනත් ප්‍රධාන නිලධාරියකු අපරාධ වගකීමට භාජන කෙරේ (44(අ) වගන්තිය). අදාළ වරදකරු ආයතනයක් නම්, එහි සෑම හවුල්කරුවකු මත අපරාධ වගකීම පැනවෙන අතර (44(ආ) වගන්තිය), සංස්ථාපිත ආයතනයක් නොවන විට, පාලක සාමාජිකයකු වන සෑම පුද්ගලයකු ම සහ කළමනාකරණය හා පාලනය සඳහා වගකිව යුතු සෑම ප්‍රධාන නිලධාරියකු ම අපරාධ දණ්ඩනවලට නිරාවරණය වේ (44(ඇ) වගන්තිය). නොදැනුවත්කම හෝ නිසි සැලකිල්ල යොමු කිරීම වරදෙන් නිදහස් කෙරෙන අවස්ථා ලෙස පිළිගෙන ඇති නමුදු පොදු සාක්ෂි මූලධර්මවලට අනුව යමින්, එය ඔප්පු කිරීමේ වගකීම චුදිත දැරිය යුතු ය.
නීතියේ බිය දනවන ඵලය
“තහනම් ප්‍රකාශ” සම්බන්ධයෙන් කටයුතු කරනු පිණිස වූ ක්‍රියාමාර්ග රාශියක් ව්‍යවහාරයේ යෙදීමට කොමිෂන් සභාවට ලබා දී ඇති බලතල මෙම ව්‍යවස්ථාපිතයේ හරය වෙයි (II කොටස). “එවැනි ප්‍රකාශ සන්නිවේදනය කිරීම නතර කරන ලෙස” (11(ආ) වගන්තිය), “මාර්ගගත ස්ථානයකට ප්‍රවේශ වීම අක්‍රීය කරන ලෙස” (11(ඇ) වගන්තිය) සහ “තහනම් ප්‍රකාශ ඉවත් කරන ලෙස” (11(ඉ) වගන්තිය) නියෝග කිරීමේ බලතල ඒවාට ඇතුළත් ය. චකිතයට පත් කරවනසුලු සාධකයක් වන්නේ “තහනම් ප්‍රකාශ” යන්නට නිසි නිර්වචනයක් නොමැති වීමයි. අදාළ නිර්වචනය (52 වගන්තිය) හුදෙක් පනතේ ඇති විධිවිධානයන් දැක්වීමකින් පමණක් සමන්විත වෙයි.
අදාළ ස්ථානයෙහි තහනම් ප්‍රකාශ තුනක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ අවසාන පරිශීලකයන් වෙත සන්නිවේදනය වී ඇත්නම්, යම් මාර්ගගත ස්ථානයක් “ප්‍රකාශයට පත් කරන ලද ස්ථානයක්” ලෙස නම් කිරීමේ බලය කොමිෂන් සභාවට ඇත (28(i) වගන්තිය). කොමිෂන් සභාව විසින් එවැනි ප්‍රකාශයට පත් කිරීමක් කළ විට, අන්තර්ජාල සේවා සපයන්නා හෝ අන්තර්ජාල අතරමැදියා ක්ෂණිකව සන්නිවේදනය නැවතිය යුතු වන අතර, එසේ නොකළහොත් වසර 7ක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමට හෝ රුපියල් මිලියන 10 කට දඩයකට යටත් වන අතර ඉන් අනතුරුව එම වරදම කළහොත් එම දඬුවම දෙගුණ වේ (29(6) වගන්තිය).
විශේෂයෙන්ම, “ව්‍යාජ මාර්ගගත ගිණුම”, “අන්තර්ජාල සේවා සපයන්නා”, “අන්තර්ජාල අතරමැදියා” සහ “අන්තර්ජාල අතරමැදි සේවාව” යන මේවායෙහි පුළුල් නිර්වචනය (52 වගන්තිය) දෙස බලන කල මෙම නීතියෙහි බිය දනවන ඵලය විද්‍යාමාන වේ.
එම නිසා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රමුඛ අන්තර්ජාල සහ තාක්ෂණ සමාගම් මෙම ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව සිය ප්‍රතිචාර දැක්වීමේදී අනතුරු අඟවන ස්වරයක්, ඇතැම් විට අප රට තුළ සිය මෙහෙයුම්වලින් ඉවත් වීමේ අවදානම පවා අඟවමින්, සංඥා කර තිබීම මවිතයට කරුණක් නොවේ.
මෙම පනත කෙටුම්පතක අදියරේ පවතිද්දී ඒ පිළිබඳව අදහස් පළ කරමින් ජාත්‍යන්තර ස්වරූපයේ සමාගම් 13කින් සමන්විත ඒසියන් ඉන්ටනෙට් කෝවලිශන් (AIC) නමැති සමාගම මෙසේ ප්‍රකාශ කර තිබේ.
“අපගේ සාධනීය සහයෝගය මධ්‍යයේ වුවද, පනත්කෙටුම්පතට යෝජිත සංශෝධන පිළිබඳව අපි නොදනිමු. අපි පැහැදිලිව ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත්කෙටුම්පත එහි වත්මන් ස්වරූපයෙන් ප්‍රායෝගික නොවන අතර එය ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය තුළට විදේශීය ඍජු ආයෝජන ගලා ඒම සහ විභව්‍ය වර්ධනය අනතුරේ හෙළන්නේ ය යන අපගේ ස්ථාවරයේ පසු වෙමු. මෙම පනත්කෙටුම්පත ගෝලීය ව්‍යවහාර සමග දිශාගත වීම සඳහා එයට තදබල ප්‍රතිශෝධනයන් කිරීම අත්‍යවශ්‍ය බව අපි තදින් ම විශ්වාස කරමු” (2024 ජනවාරි 23 වැනි දින හදිසි මාධ්‍ය ප්‍රකාශය).
මෙය කිසිසේත් උඩඟුකමින් යුතුව නොසලකා හැරිය නොහැකි ය. රජය අවධාරණය කර ඇති පරිදි, ආර්ථිකය සංවර්ධනය සඳහා මෙන්ම ඒ සමානව ම වැදගත්කමකින් යුතු ප්‍රගතියේ ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදී යාම සහතික කිරීම සඳහා වූ වත්මන් සැලසුම්වලට ඩිජිටල්කරණය සහ වෙනත් තාක්ෂණ නව්‍යකරණ කේන්ද්‍රික වශයෙන් වැදගත් වෙයි. වත්මන් උපායමාර්ගවල සාර්ථකත්වය සඳහා වෙළෙඳපොළ තොරතුරු වෙත ඉක්මනින් හා පහසුවෙන් ප්‍රවිෂ්ට වීම “ගොවියන්, ධීවර ප්‍රජාව, කාර්මික නිපැයුම් නිෂ්පාදකයන්, සේවා සපයන්නන් සහ විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ අංශය යන කා හට වුව ද නැතිවම බැරි අවශ්‍යතාවකි. ෆෙස්බුක්, ගූග්ල් එක්ස්, ඇපල්, ඇමසොන්, ක්ලවුඩ්ෆ්ලෙය සහ යාහූ වැනි සමාගම් නීතියේ පීඩාකාරී ස්වභාවය හේතුවෙන් සිය සේවා අත්හිටුවීමට කල්පනා කළ හොත්, ආර්ථික සංවර්ධනය දියුණුවනු වෙනුවට පසුගාමී වනු නිසැක ය.
අනිවාර්ය වෙනස සඳහා ඇති අවශ්‍යතාව
පාර්ලිමේන්තුව 2024 ජනවාරි 23 හා 24 දින මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත්කෙටුම්පත පිළිබඳව පූර්ණ දින දෙකක විවාදයක් පැවැත්වීය. මෙම අර්ථවත් හා වැදගත් විවාදය තුළ මෙම නීතිය පුරා පැතිරුණු ඌනතා පිළිබඳව මැනවින් හඳුනා ගන්නා ලදී. මෙම පනත්කෙටුම්පත පිළිබඳව කොන්දේසි විරහිතව හෙළාදැකීම හා එය ඉවත් කර ගන්නා ලෙස දැඩි හඬක් නැගීම අංශයෙන් විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව ඇමතූ වත්මන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය තරම් ඍජු ලෙස කථා කළ කෙනෙක් සිටියේ නැත.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත විමුක්තිහරණයේ සිහිවටනයක් ලෙස සහ සිවිල් නිදහසේ හරය උල්ලංඝණය කරන රාජ්‍ය යන්ත්‍රයේ පදනමක් ලෙස පවතී. එය අප රටේ ව්‍යවස්ථාපිත නීතියෙන් ඉවත් කිරීම තවත් ප්‍රමාද නොකළ යුතු තදබල අවශ්‍යතාවකි.
(***)
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර
ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ
2023 සැප්තැම්බර් 5 වැනිදා අඟහරුවාදා බ්‍රිතාන්‍යයේ “චැනල් 4” රූපවාහිනී නාළිකාව ඔවුන්ගේ “ඩිස්පැචස්” වැඩසටහන ඔස්සේ “ශ්‍රී ලංකාවේ පාස්කුදා බෝම්බ ප්‍රහාර”
ඉන්දියාවට අයත් දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රදේශයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් මේ වනවිට
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?