IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


මේ පාර නම් ආණ්ඩුවට කල් මරන්න ඉඩ නෑ

එජාප ඇතුලේ අර්බුදය, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා එළියට ඒම සහ ඒ වෙනුවෙන් දේශපාලන ලෙස කරන බලපෑම ඇතුළු කරුණු ගැන එජාප මහලේකම්වරයා කරන විග‍්‍රහයයි මේ.   ප‍්‍රශ්නය: ”රටේ ආර්ථිකය අනාථයි, ජනතාවට ජීවන බර අධිකයි, ආණ්ඩුව විසින් ලෝකය තුළ රට අනාථ කළා, විරැකියාව ඉහළයි, රට තුළ නීතිය හරිහැටි ක‍්‍රියාත්මක වෙන්නේ නෑ” යැයි කියමින් සිටි එජාපය එකපාරටම ජනාධිපති හමුවෙලා ආපසු කෝපි බිව්වේ ඇයි? පිළිතුර: මේ පාර නම් බිව්වේ කෝපි නෙවෙයි තේ. ආණ්ඩුවට එරෙහිව අප කරන විවේචන වැඩි කරනවා මිසක් අඩුකරන්නෙ නෑ. රටේ ප‍්‍රශ්න විසඳන්න ආණ්ඩුව කිසිම දෙයක් කරන්නෙත් නෑ. ආණ්ඩුවට එවැනි හැකියාවකුත් නැහැ. ඉතිහාසයේ ජනතාවට අමාරුම ජීවන බර කරමත පැටෙව්වේ මේ ආණ්ඩුවයි. ජනතා දුක මෙයාලට ගානක් නෑ. අපි ජනතාවට මොන අසාධාරණය කළත් ඡන්ද දිනනවානේ කියන තැනයි ඔවුන් ඉන්නේ. උතුරේ දේශපාලන විසඳුමකට යම් ක‍්‍රියාමාර්ගයක් ගන්නවා නම් ඊට මැදිහත්වීමේ වගකීමක් විපක්ෂය ලෙස අපට තියෙනවා. අනාගත පරපුර වෙනුවෙන් ඒ සඳහා ආණ්ඩුවට උදව් කළ යුතු බවත් අපි හිතනවා. ඒ සඳහා ජනාධිපතිතුමා කළ ඇරයුම අනුවයි අපි ගියේ. දේශපාලන විසඳුමක් ලබාදීමේ තේරීම් කාරක සභාවට එජාපයට එන්න කියලයි ආණ්ඩුව ඉල්ලන්නේ. ඒත් ඒ ගැන අපට ලොකු ගැටලූ තියෙනවා. මීට කලින් විසඳුම් සොයන්න කියලා ආණ්ඩුව අවස්ථා කීපයකදී බොරු කළා. මේ කාරක සභාවට අපි යනවා මෙන්ම විපක්ෂයේ සෙසු පක්ෂත් පැමිණීම අත්‍යවශ්‍යයි. දෙමළ සන්ධානය, ජවිපෙ ආදිය මූලිකයි. අනික තේරීම් කාරක සභාවට එන්න නම් ඒ පරිසරය හදලා විශ්වාසනීයත්වය ඇති කළ යුතුයි. මොකද මීට කලින් තිබූ මෙවැනි දේ ආණ්ඩුව විසින්ම බිඳ වට්ටලා තිබෙනවා. ඊට අදාළ පොරොන්දු ඉටුකරලත් නෑ. ඒ නිසා අවංක බව හා විනිවිද බව රකින බව ආණ්ඩුව ක‍්‍රියාවෙන් පෙන්නුම් කිරීම අවශ්‍යයි.   ප‍්‍රශ්නය: ආණ්ඩුව මෙවර අවංකව මේ වැඬේට අතගසා තිබේ නම් ඔවුන් එය තහවුරු කිරීමට ගතයුතු මූලික ක‍්‍රියාමාර්ග මොනවාද? පිළිතුර: උගත් පාඩම් නිර්දේශවලින් විපක්ෂයට හා ආණ්ඩුවට එකඟ විය හැකි කරුණු ක‍්‍රියාත්මක කිරීම තුළින් ආණ්ඩුවේ අවංක බව ප‍්‍රදර්ශනය කළ හැකියි. තේරීම් කාරක සභාව ඉදිරියට යන පොදු න්‍යාය පත‍්‍රයක් හදලා ආණ්ඩුව අපට පෙන්වීමත් අවශ්‍යයි. හා දැන් කතා කරමු කිව්වට හරියන්නෙ නෑ. කෝපි බිබී සැන්විචස් කකා මීට කලිනුත් ජනතා මුදල් කාබාසිනියා කරමින් ආණ්ඩුව බොරුවට කල්මැරුවා කාටත් මතකයි. අනික ආණ්ඩුව හා දෙමළ සන්ධානය අතර මාස ගණනක් තිබූ සාකච්ඡා මේ කතාබහේ පදනමක් ලෙස යොදාගත හැකි බවත් අපි පෙන්වා දුන්නා. එජාපය සද්භාවයෙනුයි මේවා කිව්වේ. එහෙම නැතුව බොරුවට පවත්වන තේරීම් කාරක සභාවල කාලය කා දමන්න නම් අපට අවශ්‍ය නැතය යන පණිවිඩයක් අපි ලබාදුන්නා. අප කී පදනම තුළ අවංකව මේ සාකච්ඡා යනවා නම් දෙමළ සන්ධානයත් ඊට ගෙන්වා ගැනීමට උදව් කළ හැකි බවත් අපි කිව්වා. මේක රටේ ජාතික ප‍්‍රශ්නය විසඳීමට අනාගත පරපුර වෙනුවෙන් කරනා වගකිවයුතු මැදිහත්වීමක් මිසක කිසිසේත්ම ආණ්ඩුවට සහාය දීමක් නෙවෙයි.   ප‍්‍රශ්නය: මීට කලින් පැවැති මෙවැනි සාකච්ඡාවලින් පසුව ඇති කරගත් එකඟතා හා සම්මුතීන්ට පසුව ආණ්ඩුව කළේ එජාපයෙන් මන්ත‍්‍රීවරු පදාසයක් ගලවලා ආණ්ඩුවට ගැනීමයි. මෙවර එවැනි අනතුරක් නැද්ද? පිළිතුර: මේ ආණ්ඩුව ඉතිහාසයේ කළේ එවැනි තුට්ටු දෙකේ පහත් වැඩ තමයි. අද හැමෝම මේ ගැන අපෙන් ප‍්‍රශ්න කරන්නෙ ඒකයි. ආණ්ඩුවේ ඒ පහත් හැසිරීම්වලට සදාචාරාත්මක බවක් නෑ. හැමෝම සැකෙන් බලන්නෙ ඒකයි. ඒත් ජාතික ප‍්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව ඇත්තට හෝ බොරුවට උත්සාහ කරන විට එජාප සහාය ඉල්ලනවිට බෑ කියන්න අපට හැකියාවක් නෑ. අන්තිමට එජාපය හා විපක්ෂය කරඇරපු නිසා විසඳුම දෙන්න බැරිවුණා වගේ පහත් කතාවක් වුණත් මේ ආණ්ඩුව කියන්න බැරි නෑ. මේ අන්තිම අවස්ථාවත් ගේම් ගහන්න ගිහින් ආණ්ඩුව අමාරුවේ වැටෙනවා. අපිට ඒකට කමක් නෑ. රටයි ජනතාවයි පවා අමාරුවේ දැමීමයි අපට ගැටලූව වෙන්නේ. රට ලෝකය තුළ තවත් හිරවේවි. ජිනීවාවලදී ලංකාවට එරෙහිව දැවැන්ත යෝජනාවක් සම්මත වුණා. ඒක සැහැල්ලූවෙන් හිතුවොත් අනිසි ප‍්‍රතිඵල එන්නේ ඔක්තෝබර් හා ලබන මාර්තු ආදී කාලවල හා ඉන්පසුවයි. ආණ්ඩුවට රටට බලපෑම් හා අවාසි සිදුවුණාම ඒවා පාලකයන්ට නෙවෙයි ජනතාවටයි දැනෙන්නේ. ජී.එස්.පී.ප්ලස් රු.කෝටි 5000ක් විතර මේ ආණ්ඩුව වසරකට රටට අහිමි කරගත්තා. ඒ අවාසි තමයි දැන් ජනතාව පිට පටවලා තියෙන්නේ. ළඟදී ඇමෙරිකානු ජී.එස්.පී. සහනයටත් මොනවා වේවිද දන්නේ නෑ. අපි මේ දඟලන්නේ මේ ආණ්ඩුව රකින්න නෙවෙයි රට හා ජනතාව රැකගන්නයි. ආණ්ඩුව මේ පාරත් බොරු කළොත් රටටත් ජනතාවටත් දරුණු විපාක විඳින්න වේවි.   ප‍්‍රශ්නය: ආණ්ඩුව ජාතික හා ජාත්‍යන්තරව හිරවූ හැමවිටම ඔවුන් කළේ විපක්ෂය ගෙන්නලා සාකච්ඡා කරලා අන්දලා දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් රට හා ලෝකය පුරා දියත් කිරීමයි. එවැනි දෙයක් මෙවර සිදුනොවේවිය යන්න ගැන එජාපයට ඇති සහතිකය මොකද්ද? පිළිතුර: මේ ආණ්ඩුව ගැන අපට නම් කිසිම විශ්වාසයක් නැහැ. ජාත්‍යන්තරය මෙන්ම දේශීයවත් තිබෙන්නේ එවැනි ඉතා නරක තත්ත්වයක්. දෙමළ සන්ධානය ආණ්ඩුව එක්ක සාකච්ඡුාවලින් ළඟදී ඉවත් වුණේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැති නිසයි. මේ ආණ්ඩුව උතුර ගැන දරන්නේ යම් විරෝධාකල්පයක්ද කියලයි කවුරුත් අහන්නේ. උතුර නඟා සිටුවීමට ආණ්ඩුව ක‍්‍රියාමාර්ග ගත්තත් ඒවා ඉතා මන්දගාමීයි. උතුරේ ජනතාව නොවිඳිනා දුක් විඳිනවා. යුද්ධය නිමවෙලා වසර 03යි. උතුරට මීට වඩා සංවර්ධනයක් හා විසඳුමක් ආණ්ඩුවට අවශ්‍ය නම් දෙන්න තිබුණා. ඒවා මඟඇරලා නිකම් ඉන්න ගිහිනුයි ආණ්ඩුව මේ සියලූ අවුල් රටට ඇති කළේ. ඒත් වගකිවයුතු විපක්ෂයක් ලෙස කුහකකමකින් තොරව අපි මේ පාරවත් අවංක වෙන්න. අපේ සහාය දෙන්නම් කියල ආණ්ඩුවට කියනවා. මේ කතාබහවල අවංක හා විනිවිද රැකීම අත්‍යවශ්‍ය බව අපි දැඩි සේ අවධාරණය කරනවා. මේ පාරත් හරි මග නොගියොත් රට තුළ මෙන්ම ලෝකය තුළ මේ ආණ්ඩුව රැවටිලිකාර එකක් බවට දැඩි ලෙස වර්ග වේවි. එජාපය ජාතික අර්බුදයට විසඳුම් දීපු පක්ෂයක්. අපි මේක දේශපාලන වාසි ගන්න පාවිච්චි කරන්නෙ නෑ. අපි හදන්නේ ප‍්‍රශ්නයට විසඳුම් දීමටයි. ඒත් මේ ආණ්ඩුව ගැන අපට විශ්වාසයක් නෑ.   ප‍්‍රශ්නය: තවත් අය කියන්නේ දැන් ජනාධිපති හා ආණ්ඩුව ජාත්‍යන්තරවත් ආර්ථික හා සෙසු සියලූ ඉසව්වලදී බෙල්ලටම හිරවී ඇති නිසා සමගි සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේ මූලික අඩිතාලම පසුගියදා සිදුවූ හමුවේ යටි අරමුණ බවයි. ඔබේ ප‍්‍රතිචාර...? පිළිතුර: එවැනි පසුබිමක් තිබුණාය කියල මම විශ්වාස කරන්නෙ නෑ. 2005 ඉඳලා ජනාධිපතිතුමා හා ආණ්ඩුව ආපු ගමන ගැන අපි හොඳට දන්නවා. මේ අය තරම් එජාපයට හා විපක්ෂයට රිදවපු සදාචාරයෙන් තොරව ඇතැම් විට ලජ්ජා නැති දේශපාලනයක් පවා කරපු වෙනත් පිරිසක් මේ රටේ ඉඳලා නෑ. එජාපයේ හුඟ දෙනෙක් තනතුරු වරප‍්‍රසාද හා නොයෙක් දේවල් දීල බිලිබෑවා. එවැනි අය එක්ක හවුල් ආණ්ඩු හදන්න හෝ ජනාධිපතිතුමා විශ්වාස කරලා බලය බෙදාගැනීමේ වැඩවලට යාම ගැන එජාපයට හිතන්නවත් බැහැ. ඔබ කිව්වා වගේම අද ආණ්ඩුව පුදුමාකාර අමාරුවක වැටිලා හිරවෙලා ඉන්නේ. ආර්ථික හා ජාත්‍යන්තර ලෙස මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැළලීම අතින් මේ ආණ්ඩුව නන්නත්තාරයි. ඇමති ජී.එල්. මේ දිනවල ඇමෙරිකාවේ ඉන්නේ. ඒ ඇයි? මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡාව ජිනීවාවල යන කාලේ ආණ්ඩුව කළේ ඇමෙරිකාවට විරුද්ධව ජනතාව උසිගැන්වීමයි. බිත්තිවලත් තුට්ටු දෙකේ ඒවා ලිව්වා. ඒ තානාපති කාර්යාලය වටලලා ඔබාමාගේ පිංතූර පිච්චුවා. වීරවංශ ඇමති ඇමෙරිකානු බඩු වර්ජනය කරන්න කිව්වා. ඇමෙරිකාව ළඟ ලංකාව දණින් වැටුණොත් ඇමතිකමෙන් අයින් වෙනවා කිව්වා. ඒත් ජී.එල්. ගේ ඇමෙරිකානු සංචාරයේ මූලික අරමුණ තමයි හිලරි ක්ලින්ටන් හමුවෙලා ජිනීවාවලදී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාවේ තිබූ කරුණු ලංකාව ඉටුකරන ආකාරය ගැන ක‍්‍රියාකාරී සැලැස්ම ඇමෙරිකාවට පිළිගන්වලා වැඳලා එන්නයි ගියේ. ඒත් ලංකාවේ ජනතාව මෝඩයාට අන්දන්න ආණ්ඩුව කාඞ්බෝඞ් වීරයාගේ චරිතය රට ඇතුළෙදි රඟපානවා.   ප‍්‍රශ්නය: එජාපය ජනමාධ්‍යවලත් පාර්ලිමේන්තුවේදීත් වීදිවලත් ජනතාව අද පෙළන අධික ජීවන බර, විරැකියාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නීතිය වල්වැදීම ආදිය ගැන ආණ්ඩුවට චෝදනා කළත් ජනාධිපති ඉදිරියේ එම අවශ්‍යතා ගැන දැඩි ඉල්ලීම් කළේ නැද්ද? පිළිතුර: අපි ජනාධිපතිතුමාට බලකළේ උගත් පාඩම් නිර්දේශ ක‍්‍රියාත්මක කරන්න කියලා ඔබ මතු කළ අවශ්‍යතා සඳහා තමයි. ඒ වාර්තාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැළලීම, සුදු වෑන් සංස්කෘතිය, ස්වාධීන කොමිෂන් ඇති කිරීම, අවි දරන අය නිරායුධ කිරීම, නීතියේ ස්වාධීන බව රැකීම ආදී කරුණු රැසක් ඉටුකළ යුතු බව කියනවා. පොලිසිය රාජ්‍ය සේවය ස්වාධීන කිරීමේ වැදගත්කමත් ඉන් කියනවා. ඒකයි එජාපය කියන්නේ ආණ්ඩුව අවංක නම් ඒ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමෙන් මේ ක‍්‍රියාවලිය පටන් ගන්න කියලා. ආණ්ඩුවට යළි රට හා ලෝකය තුළ විශ්වාසය ඇති කරගන්න නම් මේ නිර්දේශ ක‍්‍රියාත්මක කරලා පෙන්නන්න වෙනවා. ආරම්භයක් ලෙස මේ ප‍්‍රවේශය ගනිමු කියලා අපි ආණ්ඩුවට කියන්නේ ඒකයි.   ප‍්‍රශ්නය: අලූත්ම ආරංචිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු හරහා සරත් ෆොන්සේකාට නිදහස ලැබීමේ ඉඩකඩ තිබෙන බවයි. ඒ ගැන එජාපය මොකද කියන්නේ? පිළිතුර: එදා හමුවේදී ෆොන්සේකා මහතාගේ නිදහස්වීම ගැන ජෝන් අමරතුංග ජනාධිපතිතුමාගෙන් ඇහුවා. ජනාධිපතිතුමා හිනාවුණා මිසක් ලිස්සල ගියා මිසක් නිශ්චිත දෙයක් කිව්වේ නෑ. කරන්න  ඕන වැඩ කරන්න මම ඔය පත්තරවල පළවෙන විදියට එක එක්කෙනා එනකම්වත් කියනකම්වත් බලන් ඉන්නෙ නෑ කියලයි එතුමා කිව්වේ. පසුගිය දිනවල මේ ගැන විවිධ වාර්තා පළවුණා. එජාප නායකතුමා මීට කලින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලූවා දේශපාලන හිරකරුවෙකු ලෙස සලකලා නිදහස දෙන්න කියලා. ආණ්ඩුව සමාව ඉල්ලන්න කිව්වා. ඒක බෑ කීවා. නමුත් විශාල කොන්දේසි සහිතව ජෙනරල් නිදහස් කරන බවට දැන් වාර්තා පළවෙනවා. වැලිකඩ හිටපු එතුමා හා එළියට ආපු එතුමා අතර වෙනසක් නැති බවට විග‍්‍රහ කරන අයත් ඉන්නවා. එතුමාට අනිවාර්යයෙන්ම ඇප ලැබී හිරෙන් එළියට ඒමේ ප‍්‍රවණතාවක් තිබෙන බව ආණ්ඩුවට තේරුණු නිසා ඊට කලින් නිදහසදීම ගැන හිතූ බවටත් විග‍්‍රහ තිබෙනවා. එජාපය මේ කරුණු සියල්ල ගැඹුරින් හදාරනවා.   ප‍්‍රශ්නය: එජාපය නිල වශයෙන් යාපනයේ මැයි රැළිය පවත්වද්දී තවත් එජාප පිරිසක් ප‍්‍රසිද්ධියේ පක්ෂයට අභියෝග කරමින් කොළඹදී මැයි රැළියක මුවාවෙන් ගුණසමරුවක් තිබ්බා. හිටපු හමුදාපතිවරයාගේ බිරිඳ අනෝමාත් එජාප මන්ත‍්‍රී පිරිසකුත් එහි ගියා. ජෙනරල් එළියට ආ විට එජාපය සමග නොව එජාපය දෙකඩ කරමින් ආණ්ඩුවට වාසි සලසන පිල හා ගමන් කරාවිද යන සැකය මතු කරන අයට ඔබ දෙන පිළිතුර කුමක්ද? පිළිතුර: මේ සියල්ල සැලසුම් කරන්නේ ආණ්ඩුවද කියලා සැක කරන අයත් ඉන්නවා. එජාපයට තිබුණේ යාපනේ මැයි රැලිය විතරයි. ඒත් අපේම හා පිටස්තර ඇතැම් කණ්ඩායම් එජාප මැයි රැලියට බාධා කරමින් විවිධ ප‍්‍රචාර ගෙනිච්චා. කොටි ලේබල් පවා ඇලෙව්වා. යාපනේ ජනතාවට විශාල අපහාසයක් කළේ. ඒත් ආණ්ඩුවේ බුද්ධි අංශ වාර්තා අනුවම යාපනේ මැයි රැළියට දකුණින් 15,000ක් ගිහින් තියෙනවා. යාපනේදී සිංහල දෙමළ සටන් පාඨ කියමින් අපේ පෙළපාලිය ගියේ. එජාප නායකතුමා හා දෙමළ සන්ධානයේ නායකයා එකට ජාතික කොඩිය එසවීමත් රට ලැබූ විජයග‍්‍රහණයක්. මීට පෙරත් එජාප මැයි දිනය හා පේ‍්‍රමදාස ගුණසමරුව තිබුණා. මේවා එකට හැප්පීමේ කුමන්ත‍්‍රණයක් දියත් වුණේ මේ පාරයි. මේ කොන්තරත් එක කළේ ආණ්ඩුවට වාසි කරලා ඔවුන් සතුටු කරන්නයි. අපි යාපනේ කොටි එක්ක එකතුවෙලා මැයි රැළි තියන බව ඇමති ඩලස් කිව්වාම පේ‍්‍රමදාස ගුණසමරුවක් කරන බව කියපු අයත් ඒකම කිව්වා. දැන් කුමන්ත‍්‍රණය පැහැදිලියිනේ. පක්ෂයක් දිගටම මෙහෙම ගෙනියන්න බෑ. කඩිනම් පියවරක් අරන් එජාප විනය රැක්කෙ නැත්නම් මීට වඩා ලොකු ගැටලූ පක්ෂයට ඇතිවේවි. එදා ගුණසමරුවේදී සජිත් මහතා කළ කතාවේත් ගැටලූ සහගත තැන් තිබෙනවා. මේ මොන ගැටලූ ආවත් එජාපයේ ගමන යනවා. ජනතාවට එජාපය හැර විකල්පයක් නෑ. ඒත් පක්ෂයට ප‍්‍රසිද්ධියේ වින කරන ආණ්ඩුවට වාසි සලසන ගේම් ගහන අය ගැන නම් කඩිනම් පියවර ගන්න වෙනවා. මොකද ජනතාවට විකල්පයක් වෙනසක් අත්‍යාවශ්‍යයි. ඒ සඳහා ඇති එකම පක්ෂය එජාපය පමණක් බව ජනතාව දන්නවා. ජනතාව වෙනුවෙන් හා වසර 17ක් දුක් විඳින පාක්ෂිකයා වෙනුවෙන් අපි උපරිම ලෙස මැදිහත් වෙනවා. ඒක වළකන්න ඔය කුමන්ත‍්‍රණවලට බෑ. ජනබලයට ඔය සියලූ කුමන්ත‍්‍රණ යටයි. කුමන්ත‍්‍රණකරුවන් ඉවත් කරනවාද නැත්නම් ඔවුන් හා සමගි වෙනවාද කියල අහන සමහරු කියන්නේ එජාපය මේ දෙකම නොකරන බවයි. ඒත් පක්ෂයට වඩාත් වාසිදායක දේ ඉක්මණින් කිරීම එජාප අපේක්ෂාවයි. සමගිය වෙනුවෙන් අපි උපරිම කැපවීම කළා. ඒත් ඒවා අපේ දුබලතා ලෙස හිතලා දිගටම ආණ්ඩුවට වාසි ලෙස වැඩ කරන්න කාටවත් ඉඩ දෙන්න බෑ. ජනතාව කියන්නේ ආණ්ඩුවට ප‍්‍රහාර එල්ල කරලා පෙරළලා ජනතාවට සෙත ලබාදෙන්න කියලා මිසක් ආණ්ඩුවට වාසි සහගත දේ කරන්න කියලා නෙවෙයි. ජනතාව වෙනුවෙන් ගත හැකි හොඳම හා ජයග‍්‍රාහී ක‍්‍රියාමාර්ගයට එජාපය යනවා. මොකද ජනතාව පෙළන මේ ආණ්ඩුව ගැනත් එජාප කඩාකප්පල්කාරීන් ගැනත් ඉවසුවා ඇති.

එජාප මහ ලේකම් තිස්ස අත්තනායක

සංවාද මෙහෙවර - අශෝක ජයතුංග



අදහස් (0)

මේ පාර නම් ආණ්ඩුවට කල් මරන්න ඉඩ නෑ

ඉන්දු Tuesday, 22 May 2012 11:53 AM

පිස්සු නැත්නම් ෂෝක්

:       0       0

අලිබබා Monday, 21 May 2012 09:51 PM

මෙි පාර ආණ්ඩුවට කාව මරන්නද ඉඩදෙන්නෑ කිවුවේ?. මේක දැන් පොට පැටලිලා තියෙන්නේ. මටනම් තේරුන්නෑ.

:       0       0

දොන් Thursday, 24 May 2012 07:49 PM

පුළුවන්නම් ඇත්තම ඡන්දෙන් දිනලා පාර්ලිමේන්තුවට එන්න.ඒකයි අපේ ඉල්ලීම

:       0       0

ශාන් Thursday, 24 May 2012 03:26 PM

පුලුවන් නම් ලිස්ට් එකෙන් නැතුව ඡන්දෙන් දිනලා එන්නකෝ පාර්ලිමේන්තුව පැත්තේ

:       0       0

ප්‍රදීප් Friday, 25 May 2012 02:39 PM

මෙයාලා තමයි රට කෑවේ.දැන් බොරුවට බයිලා ගහනවා

:       0       0

රාජ් Wednesday, 23 May 2012 02:24 PM

බයිලා පම්පෝරි නම් තාමත් අඩුවක් නෑ වගේ.පුළුවන් නම් මොකක් හරි වැඩක් කරලා පෙන්වන්න

:       0       0

රොමේෂ් Saturday, 26 May 2012 12:52 PM

මෙයා මේ නයෙක් ගැනනේ කියන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 120 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 229 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


ශ්‍රී දළදා පූජා - ප්‍රදර්ශන ඉතිහාසය
2025 අප්‍රේල් මස 17 151 0

දළදා වහන්සේ කේන්ද්‍ර කරගත් විවිධ පූජා අතර ඇසළ පෙරහර ප්‍රධාන පූජාව ලෙස සැලකේ. එහි ඇරැඹුම ක්‍රිව 310 ට පමණ අයත් වෙයි එනම් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජදවස ඉන්දිය


අධ්‍යාපන පරමාර්ථ සාර්ථකද?
2025 අප්‍රේල් මස 17 38 0

රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් පහ වසර ශිෂ්‍යත්වය පිළිබඳව සලකා බලන බවත් මාධ්‍යවලින් දැක්වේ. කුමන තත්වයක් යටතේදී හෝ එය සා


සිංහල අලුත් අවුරුද්ද හා චාරිත්‍ර විධි
2025 අප්‍රේල් මස 13 223 0

වසරක් ගෙවී නව වසරක් උදා වීමෙන් එළඹෙන අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත.


හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 646 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1083 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site