IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


යුද ගිනි දැල් මැද පැවැති නැගෙනහිර ඡන්දය

පළාත් සභා ස්ථාපිත කිරීමේ දී උතුරු සහ නැගෙනහිර පළාත් දෙක තාවකාලිකව ඒකාබද්ධ කොට ඒ දෙපළාතට එක ම පළාත් සභාවක් පිහිටුවීමට කටයුතු යොදා තිබුණි. නාම යෝජනා කැඳවුණු අවස්ථාවේ උතුරු පළාතට වර්ධරාජා පෙරුමාල්ගේ ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ මන්ත‍්‍රීවරු නිතරගයෙන් පත් වූහ. නැගෙනහිර පළාත් මන්ත‍්‍රීවරුන් තෝරා ගැනීම සඳහා මැතිවරණයක් පැවැත්වීම තියෙන්නට තිබිණි. නැගෙනහිර පළාතේ ප‍්‍රථම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සිදුවූයේ 1988 අවුරුද්දේය.

මේ වකවානුව එවක දිවයින පුරා මහත් කලබලකාරී, අර්බුදකාරී වාතාවරණයක් පැවැති බිහිසුණු කාල පරිච්ඡේදයක් විය. උතුරේත් නැගෙනහිරත් යුද ගිනි ඇවිලෙමින් පවතිද්දී දකුණේ රට පුරා පැතිර පැවතියේ ඇෙඟ් හිරිගඩු නංවන භීතියකි. දෛනික කටයුතු පවා අඩපණ ව පැවතුණි.

රටේ දෙකොණම ගිනි ඇවිලී තිබූ උණුසුම් වකවානුවක නැගෙනහිර පළාත් සභා ඡුන්දයේ මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවයේ සිටි අප කැඳවා තිබුණි.
”ඔය ඡන්දෙට නම් යන්න එපා. ගියොත් එහෙන් මරණය, ගිහින් ආවොත් මෙහෙන් මරණය. ”මර උණ ගත්තෝ බයෙන් වෙවුලමින් ම කීහ. එය සපුරා බොරුවක් ද නොවිණි. භීෂණය ඒ තරමට ම දරුණු ව පැවතුණි.

එහෙත් අපි හිත හදා ගත්තෙමු. රාජකාරියට මුල් තැනය යන ආකල්පයෙන් හිත දැඩි කර ගත්තෙමු. මැතිවරණ දිනය යෙදී තිබුණේ 1988 නොවැම්බර් 19 දාටය. ඊට දෙදිනක් තිබිය දී අප මැතිවරණ රාජකාරියට කැඳවා තිබුණි. නැගෙනහිර පළාතට ගොඩබිමින් නම් යා හැකි තත්ත්වයක් නොතිබිණි. එහෙයින් නිසැකව ම ගුවනින් යා යුතු විය. අපි උදෑසනින් ම රත්මලාන ගුවන්තොටුපොළට පැමිණියෙමු. ගාලූ පාරේ සිට ගුවන්තොට දක්වා යාමට පවා ආරක්ෂා සහිත විශේෂ වාහන විය. අප පිළිගෙන කැඳවාගෙන යෑමට ගුවන්තොටේ සිටි හමුදා නිලධාරීන්ගේ ද අනෙකුත් නිලධාරීන්ගේ ද මුහුණුවල එතරම් සතුටක් නොවීය. මන්දයත් රාජකාරි සඳහා කැඳවා තිබූ නිලධාරීන්ගෙන් පැමිණ සිටියේ අතලොස්සක් දෙනකු පමණක් වූ බැවිනි.

මෙරටට පැමිණ සිටි ඉන්දීය හමුදා සමග ඉන්දීය ගුවන්යානා සහ හෙලිකොප්ටර් ද විය. අප කැඳවාගෙන ගියේ එවැනි ඉන්දීය ගුවන්යානයක් වෙතය. එය මගී ප‍්‍රවාහන ගුවන්යානයක් නොව බඩු ප‍්‍රවාහනය කරන ගුවන්යානයක් විය. එබැවින් එහි ඇතුළත ආසන තිබුණේ නැත. ගුවන්යානයේ රිසි තැනක සිටීමටත් රිසි සේ හැසිරීමටත් හැකියාව තිබුණි. ගුවන් නියමුවාගේ කුටියට පවා ඇතුළු වීමට බාධාවක් නොවිණි. ඒ යානය ගොරහැඩි ලෙස තනා තිබුණක් බව බැලූ බැල්මටම පෙනුණි. උදෑසන නමය වන විට ගුවන්යානය මහ හඬ නගමින් ගුවනට නැගී ගමන් ඇරඹීය. එය පළමුකොට ගාලූ පාර උඩින් මුහුද දෙසට ගොස් මුහුද මැද දී ආපසු කරකැවී හැරවීය. එවිට පහතින් පෙනුණේ මහ මුහුද පමණි.

ඉන්දීය ගුවන්යානය රත්මලානේ සිට රට හරහා ත‍්‍රිකුණාමලය දෙසට ගමන් අරඹද්දී කැලණි ගඟ සිහින් දිය රේඛාවක් සේ දර්ශනය විය. තවත් ඉහළට හා ඈතට යද්දී සීගිරි පර්වතය ගිනි පෙට්ටියක් තරම කුඩාවට පෙනුණි. පහළ පරිසරය කෙමෙන් පෙනී නොපෙනී යද්දී අප මේවා දකින අන්තිම වාරය මෙය වේ දැයි අපට සිතුණි. ගමන පිටත්වීමට පෙරාතුව කාර්යාලයේ රැුඳී සිටි අප හිතමිතුරන්ට අප කීවේ රාජකාරි වශයෙන් අපගේ පවුල්වලට ඉටු විය යුතු යුතුකම් ඉටු කර දීමට වග බලා ගන්නා ලෙසය. ඒ, ගමනේ තිබූ භයානකකම නිසා ආපසු පැමිණීම හෝ පැමිණි පසු හෝ කුමකින් කුමක් වේ දැයි යන්න නිශ්චය කරගත නොහැකි අවදානමක අප සිටි බැවිනි.

බස්නාහිර මුහුදෙන් ගමන් ඇරඹූ අපට විනාඩි විස්සක් ගතවෙද්දී නැගෙනහිර මුහුද දර්ශනය විය. නැගෙනහිර මුහුද මතින් හැරී ත‍්‍රිකුණාමල ගුවන්තොටුපළට ගොඩබසිද්දී උදේ 09.25 පමණ විය. පැය භාගයක් ඇතුළත අපි රටේ බටහිර මුහුදත් නැගෙනහිර මුහුදත් දැක ගත්තෙමු. අප යානයෙන් බසිද්දී ඒ ළඟට පැමිණි උසස් හමුදා නිලධාරීහූ ආචාරශීලීව සිනාමුසු සුහද බවින් අප පිළිගත්හ. අප කීපදෙනා හෝ මෙසේ නොපැමිණියේ නම් මේ ඡුන්දය පවත්වන්නේ කෙසේ දැයි ඔවුන් ඇතුළු වගකිවයුත්තන් වික්ෂිප්තව සිටි බැව් අපට හෙළිදරව් විණි.

ගුවන්තොටුපොලේ සිට ආරක්ෂා සහිතව අප කැඳවාගෙන ගියේ ත‍්‍රිකුණාමලයේ ”මන්කිබි‍්‍රජ්” හමුදා කඳවුර වෙතය. අපට නවාතැන් පහසුකම් සලසා තිබූ ස්ථානය එය විය. වෙනත් කිසිදු තැනක නවාතැන් පහසුකම් සැලසීම ආරක්ෂිත නොවන බැව් තීරණය වී පැවති බැවින් එසේ උපරිම ආරක්ෂාව සහිතව මැතිවරණ නිලධාරීන් රඳවා තැබීමට කටයුතු යොදා තිබිණි. එහි කෑම් බීම් ඇතුළු පහසුකම් ඉතා ඉහලින් ම සැපයිණි. එහෙත් ඉන් පිටත පරිසරයෙහි පැවැති භීතිය අපට හොඳින් දැනිණි. ප‍්‍රහාරයකට මුහුණ දීමටත් ප‍්‍රහාර එල්ල කිරීමටත් සූදානම්ව කඳවුර නිරන්තරව පැවති බව අපට හැඟුණි.

රාත‍්‍රිය පුරා අසන්නට ලැබුණේ මෝටාර් බෝම්බ හඬ සහ වෙඩි හඬ ය. බොහෝ ආසන්නයේම වාගේ වැටී පුපුරා මහ හඬ නැගූ මෝටාර් බෝම්බ නිසා වරින් වර අඩ නින්දෙන් අපි තිගැස්සී ඇහැරුණෙමු. එල්.ටී.ටී.ඊ.ය විසින් එල්ල කරන ලද එවැනි බෝම්බයක් කොයි වෙලේ අප ළඟට කඩා වැටේදෝ යන සාධාරණ සැකයෙන් අපි තැති ගෙන සිටියෙමු. ඒ රැය පුරා අපට හරි නින්දක් ලැබුණේ නැත.

 

 

පසුදා පැවති රැස්වීමේදී ඡුන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳ උපදෙස් දෙන ලදී. හදිසි අවස්ථාවක දී ක‍්‍රියා කළ යුතු ආකාරය ගැන ද දැඩි ලෙස අවධාරණය කෙරිණි. සියලූ උපදෙස් මැද පැහැදිලි නොවූ කරුණක් වූ බැවින් ඡුන්ද මධ්‍යස්ථානයකට නිලධාරින් කී දෙනෙකු ලබා දෙන්නේ දැයි මම ප‍්‍රශ්න කළෙමි. එහිදී ලැබුණ පිළිතුර නම් එක් ඡුන්ද මධ්‍යස්ථානයක සියලූ කටයුතු සඳහා එක් නිලධාරියකු පමණක් යෙදවීමට සිදුවන බවයි. පැමිණ සිටි නිලධාරීන් ප‍්‍රමාණය සුළු නිසාත් ඡුන්දය කෙසේ හෝ පැවැත්විය යුතු නිසාත් එසේ කිරීමට සිදුවන බව පැහැදිලි කෙරිණි.

අප අන්දමන්ද වීමු. මන්ද සාමාන්‍යයෙන් ඡුන්ද මධ්‍යස්ථානයකට ජ්‍යෙෂ්ඨ ඡුන්ද ස්ථානාධිපති සමග කනිෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් දෙදෙනකු ද ලිපිකරුවන් හත් අට දෙනකු ද කාර්ය සහායකවරයකු ද පත් කෙරෙන අතර එහි ඇති වැඩ රාජකාරි කොටස කෙසේ ද යන්න අපි අත්දැකීමෙන් දැන සිටියෙමු. එසේම ඡුන්ද ස්ථානාධිපතිවරයකුට ඇති වගකීම ද අපි දන්නෙමු. එහෙත් පැවතුණු තත්ත්වය අනුව වෙනත් කළ හැකි කිසිවක් නොමැති බව පැහැදිලිය. එහෙයින් අපි තවදුරටත් තර්ක කිරීමට නොගියෙමු. ප‍්‍රශ්නයට නිසැකව මුහුණ දිය යුතුව තිබුණි.

අපි අභියෝගය භාර ගතිමු. එදා දිවා ආහාරයෙන් පසු මංකිබි‍්‍රජ් කඳවුරේ සිට අප ගුවන්තොටුපොළ දක්වා ගිය පසු එතැන් සිට හෙලිකොප්ටර් මගින් අප ඡුන්ද මධ්‍යස්ථාන කරා රැුගෙන යෑමට කටයුතු යොදා තිබිණි. ගොඩබිම වාහනවලින් ඡන්ද මධ්‍යස්ථාන කරා යා හැකි වාතාවරණයක් කොහෙත්ම නොතිබිණි. ත‍්‍රිකුණාමල කච්චේරිය ඇතුළු රජයේ කාර්යාලවල ද කටයුතු අඩාලව පැවතුණි. මුතූර් මුස්ලිම් විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට අදාළ ලියකියවිලි හා ඡුන්ද පති‍්‍රකා මා වෙත භාර දෙන ලදී.

හෙලිකොප්ටරයෙන් මුතූර් කරා ගොස් එදින රාත‍්‍රි නවාතැන්පළට යන විට 18 දා සවස් භාගය එළඹ තිබිණි. මුතූර් පොලිස් ස්ථානය ඉදිරිපිට තදාසන්න ඡුන්ද මධ්‍යස්ථාන භාරව සිටි අප කීප දෙනකුට නවාතැන් පහසුකම් සපයා තිබුණේ පොලිසියේ ආරක්ෂාව යටතේය. ඒ හැර ප‍්‍රදේශය පුරා බහුලව සිටියේ ඉන්දීය සාම හමුදා සේනාංකයට අයත් ඉන්දීය භටයෝය. අපගේ නවාතැන වටා ද ඔවුහු සිටියහ. ඉන්දියාවේ පස්වැනි සේනාංකයට අයත් මේ සෙබළුන් වැඩි දෙනකු ඉංග‍්‍රීසි වචනයක්වත් දැන නොසිටි බැවින් අදහස් හුවමාරු කර ගැනීම ද අසීරු කරුණක් විය. සිංහල නිලධාරියකු වූ මුතූර් පොලිස් ස්ථානාධිපතිවරයා වරින් වර පැමිණ අපගේ දුක සැප විමසුවේය. රාත‍්‍රී ආහාරයට පෙර ඔහු රම් බෝතලයක් ද අපට පිරිනැමීය.

පාන්දර තේ කෝප්පය පානය කළ සැණින්ම අපට ඡුන්ද මධ්‍යස්ථානය බලා පිටත් වීමට සිදු විණි. උදෑසන හතට කලින් මා මුතූර් මුස්ලිම් විද්‍යාලයට ගෙන ගොස් හැරලන විට එහි ඇතුළත පාළුවට ගොස් තිබිණි. ඡුන්ද පොළ ඇතුළත ආරක්ෂාවටත් මගේ තනි නොතනියටත් උදව් උපකාරයටත් සිටියේ එකම එක තරුණ පොලිස් රාලහාමි කෙනෙකි. ඔහු ඡුන්ද පොළ සකස් කර ගැනීමට මට උදව් වූයේය. මම ඔහු මා අසලින්ම වාඩි කරවා ගතිමි. ඡුන්ද පෙට්ටිය මා ඉදිරියේ තබාගෙන ඡුන්ද පති‍්‍රකා පොත් ළඟට ගෙන සූදානම් වීමි.

ඡන්ද මධ්‍යස්ථානයට වරින් වර එකා දෙන්නා ආවෝය. ඡන්ද ලැයිස්තුව පරිදි මා නිකුත් කළ ඡන්ද පත‍්‍රිකා ඔවුහු ලකුණු කොට ඡන්ද පෙට්ටියට දැමූහ. කෙමෙන් දහවල් වෙද්දී ඡන්ද දායක සංඛ්‍යාව වැඩි වන්නට විය. ඔවුන් සියල්ලෝම පාහේ මුස්ලිම් ජාතිකයෝ වූහ. ද්‍රවිඩ හෝ සිංහල අයකු සිටියේ නම් කලාතුරකිනි. ඡුන්දය ඇරඹුණු මොහොතේ සිට මට කිසිදු ඉස්පාසුවක් නොවිණි. උදෑසන කෑම පාර්සලය මා වෙත රැුගෙන ආ නමුත් එය අසල මේසයක් මත රැුඳුණු විනා එහි මොනවා තිබුණා දැයි කියාවත් මම නොදන්නෙමි.

ටිකෙන් ටික දික් වූ පෝලිම කිසි විටෙක අඩු නොවී වැඩි වන්නට විය. දහවල් කෑම පාර්සලය ද පැමිණි අතර එය ද උදේ කෑම පාර්සලය අසලම රැඳුණා විනා අල්ලා බැලීමටවත් මට ඉඩන් නොලැබුණි. වරින් වර ඈතින් ද මෑතින් ද වෙඩි හඬ ද මෝටාර් හඬ ද ඇසුණි. ඒත් ඒ ගැන සිතීමටවත් මට විවේකයක් අස්වැසිල්ලක් තිබුණේ නැත. මගේ සා පිපාසාව යන්තමින් හෝ නිවුනේ පොලිස් භටයා වරින් වර ගෙනැවිත් දුන් වතුර බෝතල් හා පැණි බීම බෝතල්වලින් පමණි. මා සිටි තැනට නුදුරින් පැවති ඊළඟ ඡන්ද මධ්‍යස්ථානයට මෝටාර් බෝම්බයක් වැටී පිපිරී ගොඩනැගිල්ලට අලාභහානි වූ බව ද නිලධාරියා බිම දිගා වී සැඟ වී සිටි බව ද ඡන්ද පොළ බොහෝ වේලා අක‍්‍රියව පැවති බව ද පසුව ආරංචි විය.

හවස් වන විට මම මහත් කුසගින්නෙන් ද වෙහෙසින් ද කිව නොහැකි තරම් පීඩාවට පත්ව සිටියෙමි. මා එතරම් දුෂ්කරතාවකට වූ දවසක් තවත් නැති තරම්ය. දිගින් දිගටම තිබූ පෝලිමේ පැය ගණන් රැඳී සිටි ඡන්ද දායකයෝ කිසිවකුත් කිසිදු මැසිවිල්ලක් නොකීහ. එවැන්නක් කීවත් මට ඒ කිසිත් ඇසුණේ ද නැත. මා තනිවම මුහුණ දී සිටි කාර්යබහුල වෙහෙසකාරී රාජකාරිය ඔවුන් තේරුම්ගෙන සිටිතැයි යන්න පමණක් මට හැඟුණි.

සවස ඡන්දය අවසන් කොට ඒ වෙහෙස මතම මම ලියකියවිලිවල වාර්තා සහ දත්ත සකස් කරමින් සිටිය දී ඉන්දීය හමුදා සේනාංකයේ ප‍්‍රධානියා මා සිටි ඡන්දපොළට පැමිණියේය. ඔහු පැහැදිලි ඉංග‍්‍රීසියෙන් මා සමග කතා කළ අතර මා පිළිතුරු දුන්නේ මගේ රාජකාරිය කරමින්මය. මගේ රාජකාරි නිම වන්නටත් පෙර සිටම මාත් ඡන්ද පෙට්ටියත් ලියකියවිලිත් රැගෙන යෑමට පැමිණි ජීප් රථය නොඉවසිල්ලෙන් බලා සිටියේය. මට ද මේ රාජකාරිය නිම කර බාර දෙන තුරු කිසිදු ඉවසිල්ලක් නොවිණි.

මා හා ඡන්ද පෙට්ටිය රැගත් ජීප් රථය මහත් වේගයෙන් දිව ගොස් නතර වූයේ ආසන්නයේම පිහිටි ඉන්දීය හමුදා කඳවුරේ ය. හෙලිකොප්ටරය පිටත් වීටම නියමිතව තිබුණේ එතැනිනි. දවස පුරා කුසගින්නෙන් ද වැඩ කිරීමෙන් ද හෙම්බත්ව සිටි මට පණ යන තරමේ අමාරුවක් දැනුණ ද මම ඡුන්ද පෙට්ටිය ළඟ තබාගෙන එය රැකගෙන සිටියෙමි.

මාගේ වාසනාවකට මෙන් ඉන්දීය භටයෝ එවේලේ ඔවුන්ගේ කඳවුරේ ආහාරවලින් කොටසක් අප වෙත රැගෙන ආහ. එය ඔවුන්ගේම ආහාරයෙනි. එක් ඉන්දීය භටයෙක් බත් හැන්දක් පමණ ද චපාති රොටි කීපයක් ද හොදි ගංගාවක් සමග මා වෙත පිරිනැමීය. මම රසක් ගුණක් කිසිවක් නොබලා නොසිතා ඒ කෑම තැටිය කලබලයෙන් ගිල දැමුවෙමි. සරුසාර හොද්ද නිසා කෑම උගුරේ හිර නොවීම වාසනාවක් විය. ප‍්‍රියමනාප රසක් නොතිබුණ ද වෙලාවේ හැටියට ඒ කෑම වේල දිව්‍ය භෝජනයක් බඳු විය. ඉන්දීය හමුදා භටයන්ගේ ඒ කෑම වේල නිසා මා පියවි ලොවට ආවේ එලොව ගොස් මෙලොව ආවාක් මෙනි.

හෙලිකොප්ටරයෙන් ත‍්‍රිකුණාමලයට ගොස් කච්චේරිය වෙත ගිය අප ඡන්ද පෙට්ටි භාර දී ලියකියවිලි අත්සන් කර නිමා කළේ යුද ජයක් ලැබුවාක් මෙනි. ඒත් රාජකාරිය එතැනින් අවසන් නොවිණි. රෑ පුරා කච්චේරියේ රැඳී සිටිමින් ඡන්ද ගණන් කරන්නට පැවරී තිබුණේ ද අපටමය. කෙතරම් වෙහෙස දැනුණ ද පසුදා එළිවෙන තුරු ඡුන්දය ද ඉන්පසු සවස් වනතුරු මනාප ද ගණන් කර නැගෙනහිර ප‍්‍රථම ඡුන්දය මැනවින් අවසන් කිරීමට අපි දායක වීමු.

එදා රාත‍්‍රි කච්චේරි භූමියේ හමුදා කඳුවුරේ ගත කළ අපි පසුදා කොළඹ බලා පිටත් වීමු. අපට ත‍්‍රිකුණාමලයේ සිට රත්මලානට ඒම සඳහා නම් සුවපහසු මගී ගුවන්යානයක් සපයා තිබුණි.
 

 

 

ආචාර්ය පේ‍්‍රමදාස ශ්‍රී අලවත්තගේ

 



අදහස් (0)

යුද ගිනි දැල් මැද පැවැති නැගෙනහිර ඡන්දය

නලීන් Monday, 16 September 2013 04:06 PM

දැනුත් එපා වෙලා තියෙන්නේ පෝස්ටර් ගහලා. (ස)

:       0       0

ජයී තිසර Tuesday, 17 September 2013 02:11 AM

එකල උතුරු සහ නැගෙනහිර පළාත්වල පැවති මාරාන්තික දරුණු තත්වය මේ ලිපිය කියවීමෙන් හොඳින් වැටහේ. තම ජීවිතය ගැන නොතකමින් එවැනි කලක එවැනි පළාතක තම රාජකාරිය නොපිරිහෙලා ඉටුකළ ඔබට මගේ ගෞරවය පිරිනමමි. (නි)

:       0       0

දිසානායක Sunday, 15 September 2013 07:55 PM

වීර නව කතාවක් කියෙව්වා සේ මට දැනුනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 256 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 46 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 101 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 194 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 229 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 886 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 510 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 291 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site