උසාවිය තුළ වෙඩි තැබීම ඇතුළු නොබෝදා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා මහජනයා අතර භීතිය මතු වී තිබේ. බොහෝ දෙනා මේ සිද්ධි ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස විග්‍රහ කරන අතර, පසුගිය දිනවල සිදු වූ අපරාධවලට වගකිව යුත්තන් සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන එන බවට ආණ්ඩුව සහතික වෙයි.
කෙසේ වුව ද, අත්දැකීම්ලත් හමුදා නිලධාරියකුගේ අදහස වන්නේ, ජාතික ආරක්ෂාව වනාහි ඒකාබද්ධ ප්‍රවේශයකින් විසඳුම් සෙවිය යුතු පුළුල් සංකල්පයක්ය යන්නයි. වන්නි ප්‍රදේශයේ සහ නැගෙනහිර පළාතේ හිටපු ආරක්ෂක හමුදා අණ දෙන නිලධාරි, මේජර් ජනරාල්, ආචාර්ය බොනිෆස් පෙර්රාගේ අදහස වන්නේ, ජාතික ආරක්ෂාව හා ජාතික ආර්ථිකය එකිනෙක හා බැඳුණු ඉදිරියට යන කාරණයක්ය යන්නයි. ආචාර්ය පෙරේරා පාබල හමුදා නිලධාරියකු ලෙස යුද්ධය මෙහෙයවූ අයකු වන අතර, වසර 20ක් පුරා ක්‍රියාකාරිව යුද්ධය වෙනුවෙන් කැපවෙමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ අවුරුදු 26ක් සේවය කළ අයෙකි. ආර්ථික විද්‍යාවෙන් සිය ආචාර්ය උපාධිය (PhD) ලබා ඇති ඔහු කීර්තිමත් ජාත්‍යන්තර පර් යේෂකයකු, රචකයකු හා ව්‍යවසායකයකු ද වන අතර, ජාතික ආරක්ෂාව, ආර්ථික විද්‍යාව හා දේශපාලනය සම්බන්ධ විශේෂඥ දැනුම ඇති ජාත්‍යන්තර විමර්ශකයකු ද වෙයි. ‘ඩේලි මිරර්’ පුවත්පත සමඟ තතු නොසඟවා සම්මුඛ සාකච්ඡාවක නියැළුණ ආචාර්ය පෙරේරා, බලයට පැමිණි ආණ්ඩු ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවට විසඳුම් සොයද්දී සිදු කළ වැරැදි සිහිපත් කරමින් එම ගැටලුවට විසඳුම් සොයන විට ජාතික ආරක්ෂාවට අදාළ යාන්ත්‍රණයේ පවතින දුර්වලතා පිළිබඳ දීර්ඝ ලෙස කතා කළේය. එම සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.
ප්‍ර පසුගිය මාස දෙක ඇතුළත වෙඩි තැබීමේ සිද්ධි කිහිපයක් සිදු වූ අතර, 11 දෙනකුට වඩා ඒවායේදී මියගියා. මෙම සිද්ධි ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස විග්‍රහ වී තිබෙනවා. ඒ ගැන ඔබගේ නිරීක්ෂණ මොනවා ද?
පිළිතුර: ජාතික ආරක්ෂාව යනු විශාල දැවැන්ත විෂයයක්. සන්නද්ධ හමුදාවල ප්‍රධාන අණ දෙන්නා සහ ආරක්ෂක අමාත්‍යවරයා ද වන ජනාධිපතිවරයා, ජාතික ආරක්ෂක කවුන්සලයේ සභාපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරි හා ආරක්ෂක ලේකම්වරයා ජාතික ආරක්ෂාව යන්න පුළුල් අර්ථයෙන් වටහාගෙන නැහැ.
ජාතික එකමුතු බවෙන් තොරව ජාතික ආරක්ෂාව වැඩි කරගත නොහැකි බව අප වටහාගත යුතුයි. ජාතික සංවර්ධනයෙන් තොරව ජාතික ආරක්ෂාව නැංවිය නොහැකියි. විරැකියා අනුපාතය ඉහළ ගියහොත්, තරුණයන් සිටින්නේ අසහනයෙන් නම්, අධිකරණයෙන් යුක්ති සහගත තීන්දු නොදේ නම්, පොලිසිය ජනතාව සමග මිත්‍රශීලි නොවේ නම්, එවිට මෙම සියලුම කාරණා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරනු ලබනවා. අනෙක් අතට රාජ්‍ය අංශය අකර්මණ්‍ය විට, දරිද්‍රතාව හා දුර්වල සෞඛ්‍ය තත්වය පවා ජාතික ආරක්ෂාව දුර්වල කරනු ලබනවා. එම නිසා ජාතික ආරක්ෂාවට මේ සියල්ල ඒකාබද්ධ වෙනවා. අප කෙතැන සිටිනේනේ ද යන්න අප නොදන්නේ නම්, අප කොතැන සිටින්නේ යන්න අප නොදන්නේ නම්, අප කොතැනට යා යුත්තේ ද යන්නත් අප දන්නේ නෑ. ජල ප්‍රහාර එල්ල කිරීමෙන් හෝ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් හෝ ටික දෙනෙක් අත්අඩංගුවට ගැනීමෙන් හෝ මිනීමරුවන් ආයුධ සෙවීමට රැගෙන යාමෙන් හෝ ඒ අතර ඔවුන් මරා දැමීමෙන් හෝ ජාතික ආරක්ෂාව නැංවිය නොහැකියි. ඒවා කෙටි කාලීන උපක්‍රම. අධිකරණ අමාත්‍යාංශය, ආර්ථික සංවර්ධන, විදේශ කටයුතු හා සංස්කෘතික කටයුතු ආදි අමාත්‍යාංශ ඒකාබද්ධ කළ යුතුයි. නිදහස ලැබූ දා පටන් මා සිතන අයුරු එසේ සිදු වී නැහැ. නිදහස ලබන තුරු අපට ගැටලුවක් ඇති වුණේ නෑ. ඊට හේතුව මෙම රට පාලනය කළේ විදේශිකයන් වීමත්, ලෝකය ඒ වන විට සංවර්ධිතව නොතිබීමත්ය.
ප්‍ර උදාහරණයකට පශ්චාත් යුද සමයේ වාතාවරණය ගනිමු. යුද්ධය නිමා වූ පසු අප ආරක්ෂිත වේ යයි අපි සිතුවා. ඉන් අනතුරුව පාස්කු ඉරිදා ප්‍රහාර සිදු වූ විට ජාතික ආරක්ෂාව යන වචනය ප්‍රචාරාත්මක වචනයක් වුණා. මිනිසුන්ට කුඩා අවි ආයුධ ලබාගත හැකි බව පෙනී ගියා. මෙම සිද්ධි අතර රටාවක් පැවැතිය හැකි බව ඔබේ අත්දැකීමෙන් පෙනෙන්නේ ද?
පිළිතුර: යුද්ධයෙන් පසු අප ආරක්ෂිත යයි අපි සිතුවා. එහෙත් මගේ පිළිතුර නැත යන්නයි. යුද්ධය සිදු වූයේ ඇයි දැයි අප වටහාගත යුතුයි. ඕනෑම සිද්ධියක මූලික හේතුව තේරුම් ගැනීම වැදගත්. උතුර සහ නැගෙනහිර පළාත්වල යම් ගැටලු හට ගත්තා. ඒ සියල්ල දේශපාලනික ගැටලු. එහෙත් පිළිතුර වූයේ යුදමය පිළිතුරක්. එම නිසා ගැටලුව එසේම පවතිනවා. ඊට ප්‍රතිකර්ම යෙදිය යුතුයි. ඒ ආකාරයටම ත්‍රස්තවාදින් 30,000ක් සිටියා. ඔවුන්ගෙන් සමහරු මරුමුව වැටුණා. සමහරු යටත් වුණා. එහෙත් ඔවුන්ගේ ආයුධවලට සිදු වූයේ කුමක් ද? රොකට් ප්‍රචාලක තුවක්කු (RPG) ඔවුන් සතුව තිබුණා. ඔවුන් ගුවන් යානාවලට මිසයිල එල්ල කළා. ඔවුන් සතුව කුඩා අවි 30,000ක් පමණ තිබුණා. බෙදී ගිය කොටස් 2ක් තිබුණ අතර කරුණාගේ පාර්ශ්වය සතුව ආයුධ තිබුණා. එහෙත් එම ආයුධ භාර දුන්නේ නෑ. එම ආයුධ වැළලුවා, නැතහොත් සැඟවුවා. ශ්‍රී ලංකාවේ කිසිම අධිකාරියක් ඔවුන් සතුව තිබූ ආයුධ ගණන් කර නැහැ. කෙතරම් ආයුධ අල්ලා ගත්තා ද කෙතරම් ආයුධ ඉතිරිව ඇත් ද ඒ ගැන කිසිදු පරීක්ෂණයක් සිදු කර නෑ. අප පර් යේෂණ සංවර්ධනය අතින් අතිශය දුර්වලයි. එහි ප්‍රඵලයක් ලෙස සැම තැනම ආයුධ තිබෙනවා. T56 රයිෆල් මාරක ආයුධයක් වන අතර පිස්තෝල පවා ඒ අතර තිබෙනවා. එම ආයුධ අල්ලා ගැනීමට කිසිදු නිසියාකාර සැලසුමක් ක්‍රියාත්මක කර නැහැ. එම නිසා පෙෂාවෝර් හා ඇෆ්ගනිස්ථානය වගේ තත්වයක්. ඇත්තේ බලපත්‍ර සහිත තුවක්කු නම් ගැටලුවක් නැහැ. එම නිසා බලපත්‍ර රහිත තුවක්කු හෝ ප්‍රකාශයට පත් නොකළ ආයුධ ඇත්නම් ඒවායින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති වෙනවා. පාතාලය සතුව ප්‍රකාශයට පත් නොකළ ආයුධ තිබෙනවා. එතැන කෙතරම් ආයුධ තිබේදැයි කවුරු දනිත් ද? ඔබ පාස්කු ඉරිදා ප්‍රහාරය සැලකිල්ලට ගතහොත් එවැනි සිද්ධියක් ඇති වේ යයි අප කිසි කෙනෙක් සිතුවේ නෑ. අපගේ ජාතික බුද්ධි පද්ධතිය ඉතාමත් දුර්වලයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ, නවසීලන්තයේ, මැදපෙරදිග බෝම්බ ප්‍රහාරයක් හෝ ප්‍රහාරයක් සිදු වුවහොත් එය අපගේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේ ද යන්න අප විග්‍රහ කරගත යුතුයි. උදාහරණයකට ක්‍රයිස්චර්ච් ප්‍රහාරය අපගේ ආරක්ෂක නිලධාරින් විශ්ලේෂණය කර තිබිය යුතුයි.
ප්‍ර ත්‍රස්තවාදින් විසින් අත්හැර දැමුණු එම ආයුධ හමුදා සතුව දැන් නැත යන්න ඔබට කෙතරම් සහතික ද?
පිළිතුර: ඇතැම් ආයුධ හමුදාවෙන් ලබා ගත්තා. එහෙත් ඒ ගැන විස්තර මා ළඟ නෑ. එම ආයුධ LTTEය නම් තවදුරටත් භාවිත කරන්නේ නම් නැති බව ස්ථිරයි. අප කුඩා රටක්. ඕනෑම කෙනකුට උතුරේ සිට දකුණට හෝ නැගෙනහිරට පැය 8ක් ඇතුළත යා හැකියි. LTTE ආයුධවලින් සමහර ඒවා දකුණට ප්‍රවාහනය කර තිබිය හැකියි. ඒ අතර ඒවා පාතාලයේ අතට අවසානයේ පත්වූවා විය හැකියි. මේ සියල්ල කරන්නේ මුදල් වෙනුවෙන්.
ප්‍ර පාස්කු ඉරිදා ප්‍රහාරය රටේ ජාතික ආරක්ෂාවට මරු පහරක් වුණා. එහෙත් ප්‍රහාරයට කලින් සිදු විය හැකි ප්‍රහාරයක් පිළිබඳව බුද්ධි වාර්තා හා තොරතුරු අපට ලැබුණා. එහෙත් ඒවා මත කිසිදු අයෙක් ක්‍රියා කළේ නෑ. රාජ්‍ය ආරක්ෂක මෙහෙයුම් ගැන ඔබේ නිරීක්ෂණ මොනවා ද?
පිළිතුර: පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයා වෙන කවුරුත් නෙවෙයි, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි. එසේ වන්නේ ඔහු ජනාධිපති පදවියට පත්වූ විට ඔහු සන්නද්ධ හමුදාවේ අණ දෙන්නා ලෙසත්, ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, නීතිය හා සාමය පවත්වා ගැනීමේ අමාත්‍යවරයා ලෙසත්, ජාතික ආරක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් ඉබේම පත් වන නිසා. ව්‍යවස්ථාව අනුව රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම දරන්නා ඔහු. ඒ නිසා මම දන්නේ නෑ කියා ඔහුට බේරෙන්න බෑ. මුල්ම චූදිතයා ලෙස ඔහු ජනාධිපතිවරයාව සිටියදීම අධිකරණයට ගෙන ගොස් ඔහුට දඬුවම් පැමිණවිය යුතුව තිබුණා. විධායක ජනාධිපතිවරයා ලෙස මූලික අයිතිවාසිකම් ඔහුගෙන් උල්ලංඝණය වූ විට ඔහුට ජනාධිපති මුක්තිය බුක්ති විඳින්නට බෑ. ඔහු කළේ මියගිය අයගේ මූලික අයිතින් උල්ලංඝණය කිරීමක්. ජනාධිපති කොමිසම ඔහු වරදකරු බවට තීරණය කළා. එහෙත් අධිකරණය වන්දි ලෙස රුපියල් මිලියන කිහිපයක් ගෙවන ලෙස අපරාධ දඬුවමක් නියම කළා.
එහෙත් නීතිය හැමට එක සමාන විය යුතුයි. ප්‍රහාරය සිදු වන විට ඔහු සිංගප්පූරුවේ සිටියත් ජනාධිපතිවරයා ලෙස මිනිසුන් මිලියන 22කගේ ජීවිතවලට වගකීම භාර ඔහු ප්‍රහාරය සිදු වීමෙන් පසුවත් පැමිණියේ නැහැ. ගුවන් යානා ප්‍රමාද වූ නිසා ඔහු ප්‍රමාද වූ බව වාර්තා වූ අතර, ඔහු පැමිණියේ අවසාන මොහොතේ. එයින් පෙනී යන්නේ වගකීම් විරහිත බවයි. එහෙත් වර්තමාන ආණ්ඩුව පවා පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට හා රටවැසියන්ට යුක්තිය ඉටු කිරීමට අසමත්ව තිබෙනවා. ඉතින් අපි කෙසේ අනාගත ජාතික ආරක්ෂාවේ ප්‍රගතියක් බලාපොරොත්තු වන්නෙමු ද? රාජාණ්ඩු පැවැති කාලයේ පවා නායකයන් නිතරම බුද්ධිමතුන් පැත්තකට තල්ලුකොට නූගත් අදක්ෂ ජනයා ඇසුරු කිරීමේ ප්‍රවණතාවක් පැවැතුණා. වර්තමානයේ දේශපාලකයන් අතරත් එවැනිම ප්‍රවණතාවක් පවතිනවා. ගෝඨාභය රාජපක්ෂට සිදු වූ දේ ඊට කදිම උදාහරණයක්.
ප්‍ර නොබෝදා සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ආණ්ඩුව හමුදා හැර ගිය අයට යටත් වන ලෙස නිවේදනය කර තිබෙනවා. හමුදා හැර ගියවුන් සහ මෙම වර්ගයේ අරපාධ අතර යම් සම්බන්ධතාවක් පවතී යයි ඔබ සිතන්නේ ද?
පිළිතුර: ඔව්, එසේ වීමේ හැකියාවක් තිබෙනවා. ඊට හේතුව මිනිසුන් විවිධ හේතු නිසා හමුදාවට බැඳීමයි. ඇතැමුන් රට බේරා ගැනීමට හමුදාවට බැඳෙනවා. ඇතැමුන් ආදායම් උපයා ගැනීමට හමුදාවට බැඳෙන අතර, ඇතැමුන් අසල්වැසියන්ගෙන් හෝ සතුරන්ගෙන් පලිගැනීමට හමුදාවට බැඳෙනවා. හමුදා පුහුණුව ලැබූ පසු ඔවුන්ට තම ආයුධ රැගෙන වෙඩි තබන්න පුළුවන්. එම නිසා සොල්දාදුවන් බඳවා ගන්නේ ඇයි ද යන්න ගැන අප පරෙස්සම් විය යුතුයි. යුද්ධය පැවැති සමයේ සහ ඊට පසුව පවා ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම, උස හා පසුබිම නොබලා පුද්ගලයන් හමුදාවට බඳවාගෙන තිබෙනවා. මේ විදිහේ ක්‍රියාකාරකම් නැවත සිදු විය හැකියි. එම නිසා හමුදාව හැර ගියවුන්ව දේශපාලකයන් විසින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සහ ව්‍යාපාරිකයන් විසින් ඔවුන්ගේ සතුරන් හෝ එදිරිවාදින් මරා දැමීම සඳහා භාවිතයට ගත හැකියි. එසේ වන්නේ ඔවුන් ආයුධ භාවිතයට පුහුණු කර තිබෙන නිසා.
ප්‍ර මේ අවස්ථාවේ ද, හමුදාවේ හිටපු සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීමේ නිසි යාන්ත්‍රණයක් ගොඩනැගීමේ ගැටලුව බලපානවා නේද?
පිළිතුර: මගේ ආචාර්ය උපාධිය උදෙසා (PhD)
පර් යේෂණය කරන විට විශ්‍රාම යාමෙන් අනතුරුව කුමක් කරන්නට බලාපොරොත්තු වන්නේ ද යන ප්‍රශ්නය මා සොල්දාදුවන්ගෙන් විමසුවා. තමන් ත්‍රිරෝද රථ රියැදුරන් වන බව සමහරු කිව්වා. ආරක්ෂක නිලධාරින් හෝ ගොවිතැන් කරන බව සමහරු පැවැසුවා. කිසි දෙයක් සිතාගෙන නොමැති බව කියමින් අනෙක් අය මට ප්‍රතිචාර දැක්වූවා. විශ්‍රාම ගිය පසු කොහේ යන්න ද කියාවත් සමහරු දැන සිටියේ නැහැ. එම නිසා සමාජයේ එතැන පරතරයක් හිටිනවා. සොල්දාදුවකු අවුරුදු 18දී බඳවා ගනු ලබන අතර, වයස 55දී විශ්‍රාම යා යුතුයි. වසර 20ක සේවයෙන් පසු ඔවුන් විශ්‍රාම යා යුතුයි. ඔවුන් රටට ඉතා හොඳ සම්පතක්. එහෙත් උත්ප්‍රාසයට කාරණය නම්, පූර්ණ කාලීන සිසුන්, ගෘහණියන්, විශ්‍රාමිකයන් හෝ ආබාධිතයන් ශ්‍රම වෙළෙඳපොළේ පෙනෙන්නට නැහැ. එය සෑහෙන්න වැරැදියි. අවුරුදු 40දී මෙම විශ්‍රාමිකයන් ශ්‍රම වෙළෙඳපොළට උරාගත යුතුයි. එම නිසා සොල්දාදුවාට දෙවැනි රැකියා තෝරා ගැනීමක් අවශ්‍යය යන කාරණය තහවුරු කරගැනීම අවශ්‍යයි. ඔවුන් ලබන විශ්‍රාම වැටුප ප්‍රමාණවත් නොවන්නේ බොහෝ වියදම් දැරීමට ඔවුන්ට තිබෙන නිසා. පුනරුත්ථාපනයකින් ඔවුන්ගේ ආර්ථිකය ඉහළ යන්නේ නෑ. විශ්‍රාම යෑමෙන් පසු හිටපු සොල්දාදුවකු සංක්‍රාන්ති සමයකට/ පරිවර්තනීය කාලයකට මුහුණ දෙනවා. ඔවුන්ට තම නිල ඇඳුම ඉවතලා පුරවැසියෙකු බවට පත් වෙන්නට සිදු වෙනවා. ඔවුන්ට පශ්චාත් චිත්තවේගී ආතතිය අත්විඳින්නට සිදු වෙනවා. හමුදාව හැර ගිය උදවියට සහ හමුදාවෙන් විශ්‍රාම ගත් අයට මගේ විසඳුම වන්නේ ව්‍යවසායකයන් ලෙස ඔවුන් පුහුණු කිරීමයි. මෙය බොහෝ සංවර්ධිත රටවල් අනුගමනය කරන්නක්. හමුදාවේ රෙජිමේන්තු 25ක් පමණ තිබෙන අතර, අපට විශ්‍රාමලත් සොල්දාදුවන්ට හා හමුදා හැර ගිය අයට මාස තුනක ව්‍යවසායකත්ව පුහුණුවක් ලබා දිය හැකියි. ඔවුන්ට නිසි වෙළෙඳපොළ සොයා ගැනීමට තාක්ෂණික දැනුම සැපැයීම ද කළ හැකියි. හමුදා හැර ගිය අය අල්ලා ගැනීමෙන් ඵලක් නෑ. එය කෙටි කාලීන විසඳුමක්. මා කළ පර් යේෂණ අනුව විශ්‍රාම ගිය සොල්දාදුවන්ගෙන් සියයට 68ක් ව්‍යවසායකයන් වීමට උනන්දු වෙනවා. රටේ පසුගිය පාලකයන් සියලු දෙනාටත් වර්තමාන පාලකයන්ටත් මගේ යෝජනා ඉදිරිපත් කර තිබුණත් ඒ කිසිවකු ඒ ගැන උනන්දු නොවීම ශෝචනීය තත්වයක්.
ප්‍ර රට වටා වෙරළ ඇති රටක් ලෙස, මුහුදුබඩ ආරක්ෂාවට ඇති තර්ජන හමුවේ ශ්‍රී ලංකාව එහි සාගර කලාප සීමා මායිම් ආරක්ෂා කරගත යුතු වේ දැයි ඔබ නොසිතන්නේ ද?
පිළිතුර: ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම ආර්ථිකය ඉවතලා කළ හැකි වන්නේ නෑ. අපගේ සංස්කෘතිය ජාතික ආරක්ෂාව පිළිබඳව වැදගත් කාරණයක්. බොහෝ ප්‍රහාරක ගුවන් යානා සහ ආයුධ තිබුණත් ඇමෙරිකා එක්සත් ජනපදය, ඇෆ්ගනිස්ථානය, වියට්නාමය හා ඉරාකය හමුවේ අසමත් වුණා. ඊට හේතුව කිසිම අයකුට සංස්කෘතියට පහර දීමට නොහැකි වීමයි. එල්ටීටීඊය අසමත් වුණේ ඔවුන් අපගේ සංස්කෘතියට ප්‍රහාර එල්ල කළ නිසයි. ඔවුන් ශ්‍රී මහා බෝධියටත්, දළදා මාලිගාවටත් පහර දුන්නා. අපගේ සංස්කෘතිය අප විශ්වාසය තබන්නා වූ ආගමයි. රටේ සියයට 71ක් සිටින්නේ බෞද්ධයන්. බුද්ධාගමේ මූලික තේමාව කරුණාව (අහිංසාව) හා මෛත්‍රියත්, මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමත්. අපගේ විදේශ ප්‍රතිපත්තිය ගොඩනැගී ඇත්තේ මධ්‍යම ප්‍රතිපදාවෙන්. එම නිසා අප නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. එම නිසා අප හැම දෙනා සමඟම මිශ්‍රශීලි වන අතර කිසිවකු සමඟ සතුරු බවක් නැහැ. අප හොඳ සංස්කෘතියක් සහිත නිදහස් ජාතියක් නිසා අප ඒ බව ක්‍රියාවෙන් පෙන්විය යුතුයි. එම නිසා අප තවත් අයකුගේ සුපිරි බලයක් සමඟ සටන් වැදීම ගැන කනස්සලු විය යුතු නැහැ. එම නිසා අපගේ දේශයේ ආරක්ෂාව පිණිස භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරී බව තහවුරු කරගත යුතුයි. අප අපගේ අහස් සීමාව සහ මුහුදු සීමා ආරක්ෂා කරගත යුතු වෙනවා. පළාත් නවයක් ආරක්ෂා කරගැනීම සඳහා අපට හමුදාවක් අවශ්‍යයි. අප රුසියාවට වඩා 257 ගුණයකින් කුඩායි. අපට විශාල හමුදාවක් තිබේ නම් හොඳයි. ඒත් කොහොම ද අපි එවැන්නකට පඩි ගෙවන්නේ.
ප්‍ර පසුගිය අයවැයේදී වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන් වුණේ ආරක්ෂාවටයි. ඉතින් ඔබ තවදුරටත් ඒ තරම් අවශ්‍ය නොවේ යයි කියන්නේ ද?
පිළිතුර: ඉහළ ප්‍රතිපාදන ආරක්ෂාව සඳහා වෙන් කළ යුතු වන්නේ රජයට හමුදා නිලධාරින් සඳහා වැටුප් ගෙවිය යුතුව තිබෙන නිසා. ඒ සඳහා අතරමැදි සන්නද්ධ හමුදා නිසි ප්‍රමාණය දක්වා ගෙන ආ යුතුයි. ඇතැම් විට රජයට බඳවා ගැනීමේ වයස එහා මෙහා කළ හැකියි. එවිට විශ්‍රාම ගන්නා වයස පැමිණි විට සොල්දාදුවකුට ප්‍රජා සාමාජිකයකු බවට පත්ව ව්‍යවසායකයකුගේ තත්වයට පරිවර්තනය විය හැකියි. අපට මෙම රටට නායකත්වය දෙන්නට නිසි දැක්මකින් යුතු නායකයෙක් කිසිදාක සිටියේ නෑ. බලයට පත් වුණු සෑම කෙනෙක්ම තමන්ගේ ආර්ථිකයත්, ඔවුන්ගේ ඥාති මිත්‍රාදින්ගේ ආර්ථිකයත් සංවර්ධනය කරගත්තා මිස රටේ ආර්ථිකය සංවර්ධනය කළේ නැහැ.
ප්‍ර ජාතික ආරක්ෂාව උදෙසා මතු වන තර්ජනවලට රටක් ලෙස අපට මුහුණ දීමට සූදානම් විය හැක්කේ කෙසේ ද?
පිළිතුර: ඔබ ආර්ථිකය වර්ධනය කරගෙන අලුත් රැකියා අවස්ථා නිර්මාණය කරගතහොත් එවිට ඇති වන ගැටලුව කුමක් ද? එවිට ලක්ෂ දෙකට මිනී මරන මිනිසුන්ට තවත් කොන්ත්‍රාත් ලැබෙන්නේ නෑ. එකම පිළිතුර වන්නේ ව්‍යවසායකත්වයෙන් හෙබි සංස්කෘතියක් නිර්මාණය කිරීමයි. ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීමට අධිකරණ පද්ධති ඉතා වැදගත්. පොලිසි සහ උසාවි ජනතාවට මිත්‍රශීලි ආයතන විය යුතුයි. රාජ්‍ය ආයතනයක රැකියාවක් ලබා ගන්නට අවශ්‍ය වූ විට මිනිසුන් කාලය නාස්ති කරනවා. පිරිසුදු ශ්‍රී ලංකාවක් වැඩසටහනේදීත් මෙම ගැටලුවලට ප්‍රමුඛතාව ලැබිය යුතුයි. අපගේ නායකයන් වැදගත් වැඩ ස්වල්පයක් නොසලකා හැර සුළු සුළු වැඩවල නිරත වුණා. මං කියන දේ ඔවුන්ට වැටහේ ද යන්නත් මට සැකයි.
ප්‍ර වර්තමාන ආණ්ඩුවට මෙම ගැටලුවලට විසඳුම් දෙන්නට හැකි වේ යයි ඔබ සිතන්නේ ද?
පිළිතුර: මගේ නිරීක්ෂණ අනුව වර්තමාන ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ කළ වැරැදිම නැවත නැවත කරන බව මට සිතෙනවා. ගෝඨාභය රාජ්‍ය අංශයට මිනිසුන් ලක්ෂයක් බඳවා ගැනීමට උත්සාහ කළා. එහෙත් එය ප්‍රායෝගික පියවරක් වුණේ නෑ.
මා ලබාගත් සංඛ්‍යා ලේඛනවලට අනුව අවුරුදු 5-6ක් ඇතුළත අප අමතර කාර්යාල සහායකයන් 163,000ක් හා අමතර රියැදුරන් 100,000ක් සේවයේ රඳවාගෙන තිබෙනවා. ඒ ආකාරයට අප අමතර සේවකයන් 250,000ක් රාජ්‍ය අංශයේ රඳවාගෙන තිබෙනවා. 2009න් පසු ඒ හා සමාන සංඛ්‍යාවක් සන්නද්ධ හමුදාවලත් රඳවාගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය රටවල් 52ක් පාලනය කළා. එහෙත් අද දවසේ ඔවුන්ගේ රටේ යුද හමුදාව අප රටේ හමුදාවට වඩා කුඩායි. 2009න් පසුව අප ක්‍රමයෙන් නිවැරැදි සංඛ්‍යාවට හමුදාව ගෙන ආ යුතුව තිබුණා. රාජ්‍ය අංශය ගතහොත් එහි සියයට 40ක සියයට 50ක අතිරික්ත සේවකයන් සිටිනවා. එතරම් අමතර සේවකයන් සමඟ අපට වැඩක් කළ හැකි වන්නේ නෑ. එම නිසා රජය රාජ්‍ය අංශයේ සේවකයන් අඩු කිරීම වඩාත් බරපතළ ලෙස ගත යුතුයි. වර්තමාන රජය නිසි කාර්යසාධන ඉටු කළත් නැතත් ඊළඟ මැතිවරණයේදී ඔවුන් පරීක්ෂාවට ලක් වෙනවා. මගේ පුරෝකථනයේ හැටියට ඔවුන්ගේ ජනප්‍රියත්වය සෑහෙන්න පසුබැස තිබෙනවා. තමන් පොරොන්දු වූ දේ තර්කයෙන් නොව ක්‍රියාවෙන් ඔවුන් ඉටුකොට පෙන්විය යුතුයි.
(***)
සාකච්ඡා කළේ
කමන්ති වික්‍රමසිංහ
2025 මාර්තු 04 Daily Mirror හි පළ වූ ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ
ලබුගම සහ කලටුවාවේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන කැලණි ගඟට තඹ සහ පිත්තල නිස්සාරණ සමාගමක බැර ලෝහ එකතු වන බවට අපි පසුගිය පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා වාර්ත
දිළිඳු බව ලෝකය පුරා දක්නට ලැබෙන්නකි. බුදුදහම එය අනුමත නොකරන අතර එය පිටුදැකිය යුතු බව දේශනා කරයි. ජන සමාජය දුර්වල වීම, අස්ථාවර වීම, සදාචාරාත්මක වශයෙන් දු
2018 න් පසුව පළාත් පාලන මැතිවරණයක් නැවත පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 වර්ෂයේ වුවද, ආර්ථික අර්බූදය සහ ආර්ථික අවපාතය හමුවේ පළාත් පාලන මැතිවරණය වරින් වර කල් ද
ශ්රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් 12 වැනිදාය. ඉන් දින දෙකකට පසු, ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය නව ගුවන් යානා 21 ක් බද්දට ගැනීමේ සැ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ජසීරා රූපවාහිනි නාලිකාවේ ආරාධනයකට අනුව සහභාගි වූ රූපවාහිනි සාකච්ඡාව එම නාලිකාව විකාශනය කිරීමෙන් පසු එය රට
උසාවිය තුළ වෙඩි තැබීම ඇතුළු නොබෝදා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා මහජනයා අතර භීතිය මතු වී තිබේ. බොහෝ දෙනා මේ සිද්ධි ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස විග්‍රහ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
යුද්ධයෙන් පසු ආයුධවලට මොකද වුණේ?