ඔහු නමින් විමල් නයනානන්ද ය. ශ්‍රී ලාංකේය මුද්‍රා නාට්‍ය ඉතිහාසයේ නල කුමරු ලෙස කිරුළුපළන් ඔහු තමන් උපන් දේශයට, ඔබ අපට ලබාදෙන්නට නොහැකි අන්දමේ ඉමහත් කීර්තියක් ලබා දුන් අති දක්‍ෂ නර්තන ශිල්පියෙකි. හැටේ දශකයේ දේශීය මුද්‍රා නාට්‍ය කලාවේ නොමැකෙන සලකුණක් සටහන් කළ විත්‍රසේන නම් කලාකරුවා හා එක්ව දෙස් විදෙස් කලා රසිකයන් නොමඳව පිනවූ ඔහු තම අසූ අටවැනි විය පසු කරමින් මාතලේ තම දියණියකගේ නිවසක විවේකීව පසුවෙයි, මේ ලිපිය ඒ නිමිත්තෙනි.
විමල් නයනානන්දයන් සිය මූලික අධ්‍යාපනය ලබාගත්තේ හුණුමුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙනි. පාසැල් අවදියේ සිටම නර්තනයට උපන් හපන්කම් දැක්වූ ඔහු, එකල අති දක්‍ෂ නැටුම් ගුරුවරයකුගේ ගුරුහරුකම් ලබාගන්නට තරම් වාසනාවන්ත විය. අල්ගම ගුරු පරම්පරාවේ කැපී පෙනෙන නිර්මාණශීලි පාරම්පරික ශාස්ත්‍රීය උඩරට නැටුමේ අග මුල හැඩතල සියල්ල මැනවින් දත් ජී. රංගනාථ මහතා හුණුමුල්ල මැදි විදුහලේ නැටුම් ගුරුවරයා ලෙස පත්ව ආවේ විමල් නයනානන්දයන්ගේ ජාත්‍යන්තර කීර්තියට පත් ජීවිතයට අඩිතාලමක් දමමිනි.
කුඩා විමල්ගේ රංගන කුසලතා මැනවින් අවබෝධ කරගත් රංගනාථ ගුරු පියා විමල්ට අවශ්‍ය සියලු ගුරුහරුකම් නොමසුරුව ලබා දුන්නේ කවදා හෝ විමල් කීර්තිමත් නර්තන ශිල්පියකු බවට පත්ව දෙස් විදෙස් දස දහස් රසිකයන් පිනවීමට සමත්වන බවට ඔහු තුළ වූ අවබෝධය නිසාමය.
මෙම කාල වකවානුව මීරිගම අවට ප්‍රදේශය සුප්‍රසිද්ධ කලා තරු කිහිප පළකගේ නිජ භූමිය බවට පත්ව තිබිණ. පනහ දශකයේ අග භාගයේ සිටම මීරිගම අවට පැතිර ගිය කලා ප්‍රබෝධයට රංගනාථ ගුරු පියා මෙන්ම අප රටේ රංග ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ ආචාර්ය පණීභාරත සූරීන් ද නොමසුරුව දායක විය.
එදා කලාකරුවන් අතර වූ එකමුතුව විමල් වැනි නර්තන ශිල්පීන්ගේ ඉදිරි ගමනට ලබා දුන්නේ ඉමහත් පිටිවහලකි. රංගනාථ සූරීන් ආචාර්ය පණීභාරත වෙත තම අති දක්‍ෂ සිසුවා භාර කරන්නේ කලාකරුවන් අතර වූ මේ සංහිඳියාවේ ප්‍රතිඵලයක් වශයෙනි. ආචාර්ය පණීභාරතයන් එවකට මීරිගම ඉංග්‍රීසි ජ්‍යෙෂ්ඨ පාඨශාලාවේ නැටුම් ගුරුවරයා විය. ඔහු එම පාසලෙහි දක්‍ෂ සිසු සිසුවියන් යොදා 'දිට්ඨ මංගලිකා' නමින් 1953 වසරේ මුද්‍රා නාට්‍යයක් වේදිකාගත කළේය. විමල් නයනානන්දයන් තම රංගන හැකියාව ප්‍රථම වරට මුද්‍රා නාට්‍යයක් තුළින් එළිදැක්වූයේ මෙම මුද්‍රා නාට්‍යය තුළිනි.
දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලය බවට පත්ව ඇති එකල "හේවුඩ්" කලායතනයට විමල් නර්තනය හැදෑරීම සඳහා යොමු වුණේ මෙම කාලයේමය. එම කලායතනයේ ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමට අයත් වූ විමල් එහි නර්තනය හදාරන අතරතුර උඩුගම්පල, පීල්ලවත්තේ එම්.ඩී. ද සිල්වා නම් වූ දානපති කලා රසිකයකු විසින් පවත්වාගෙන ගිය පැරකුම් කලායතනයේ නර්තනය උගන්වමින්, තවදුරටත් නර්තනය ප්‍රගුණ කරන්නට විය. විමල්ගේ නර්තන හැකියාව මැනවින් හඳුනාගත් එම්.ඩී. ද සිල්වා මහා භාරතයේ ශාන්ති නිකේතනයෙහි නැටුම් ශිල්පය හැදෑරීම සඳහා ඔහුට ශිෂ්‍යත්වයක් ප්‍රදානය කළේය. ඒ 1954 වසරේය.
ශාන්ති නිකේතනයේ ඔහු ප්‍රගුණ කළේ කතකලි නැටුම් සම්ප්‍රදාය වුවද, මනිපුරී හා වෙනත් නැටුම් කලාවන් මෙන්ම සංගීතය ද හැදෑරීමට ඔහු අමතක නොකළේ ලද මහඟු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබාගැනීම සඳහා ය. ශාන්ති නිකේතනයේ නැටුම් පිළිබඳ මහාචාර්ය ධුරය දැරූ හරිදාස් නායර් මහතා එහිදී විමල්ගේ ගුරුවරයා විය. එකල භාරතයේ තැනින් තැන පවත්වන ලද විවිධ සංදර්ශනවලට සහභාගිවීමට විමල්ට සිදුවුණේ, ඔහු එවකට ශාන්ති නිකේතනයේ දක්‍ෂතම නර්තන ශිල්පියකු බවට පත්ව සිටි හෙයිනි. මෙම සංදර්ශනවලදී රවි ශංකර්, අලි උස්තාදි ඛාන් වැනි ලෝ ප්‍රකට සංගීතඥයින් හමුවීමට අවස්ථාව ලැබුණි. එම අය විසින් පවත්වන ලද සංගීත වැඩසටහන් සඳහා නර්තනය ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවේ විමල් නයනානන්දයන්ට අවස්ථාව ලැබිණි. ඔහු මේ අතරතුර භාරතයේ එවකට සුප්‍රසිද්ධ නර්තන ශිල්පිනියක් වූ රීටා ගංගුලි සමඟ "භගවත් ගීතා" ඉඟිනළුවේ ප්‍රධාන චරිතය වන ක්‍රිෂ්ණාට තෝරාගත් අතර, ඒ භාග්‍යය ඔහු ලබාගත්තේ එදා ශාන්ති නිකේතනයේ සිටි දක්‍ෂතම නර්තන ශිල්පියකු ලෙස නම් දරා සිටි හෙයිනි. වරෙක ශාන්ති නිකේතනයේ නැටුම් කණ්ඩායම පාකිස්ථානයට ගියේ රවින්ද්‍රනාත් තාගෝරයන්ගේ "ශාමා" ඉඟිනළුව රඟ දැක්වීම සඳහාය. එහි කතානායක 'වජිර' චරිතය රඟපෑවේ විමල් ය.
වරෙක ශ්‍රී නේරු හමුවේ ඉදිරිපත් කළ රංගනයකට පැහැදුණු ශ්‍රී නේරුගෙන් විමල් සම්මාන ලබාගත්තේය. ශාන්ති නිකේතනයේ අධ්‍යාපන කටයුතු නිමකර පෙරළා දිවයිනට පැමිණි විමල් ගිරිඋල්ල, පරණගම මහා විද්‍යාලයේ නැටුම් උපදේශකයකු වශයෙන් රජයේ පත්වීමක් ලබාගත්තේය.
මේ අතරතුර, චිත්‍රසේනයන් හා එක් වූ ඔහු 'කරදිය' ඉඟිනළුවේ සුළු කොටසකට පෙනී සිටියද, එම රංගනය දුටු චිත්‍රසේනයන් ඉන් මහත් ප්‍රසාදයට පත්ව 1963 වසරේ 'කරදිය' ඔස්ට්‍රේලියා - තැස්මේනියා සංචාරයේ දී විමල් එහි ප්‍රධාන චරිතය රඟපෑමට තෝරාගන්නා ලදී. චිත්‍රසේනයන්ගෙන් එබඳු වරප්‍රසාදයක් හිමිවීම විමල් ලද ජයග්‍රහණයක් වූ අතර, ඒ හේතුවෙන්ම චිත්‍රසේනයන්ගේ ලොව පතළ වූ 'නල දමයන්ති' ඉඟිනළුවේ නල කුමරුගේ චරිතයට විමල් නයනානන්දයන් තෝරාගන්නා ලදී.
'නල දමයන්ති' සෝවියට් රුසියාව, පෝලන්තය, චෙකොස්ලොවේකියාව, නැගෙනහිර ජර්මනිය වැනි රටවල් රාශියක රඟදැක්වූ අතර, එම අවස්ථාවන් හිදී විමල්ගේ රංගනය පිළිබඳව විශේෂ ඇගැයීම් එම රටවල ප්‍රධාන පුවත්පත්වල පළවිය.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර 'එලිසබීනියන්" රංග ශාලාවේ අතුරු සිදුරු නැති ප්‍රේක්‍ෂක සමූහයක් මැද චිත්‍රසේනයන්ගේ 'නල දමයන්ති' වේදිකාගත වූ අවස්ථාවෙහි ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පුවත්පතක් වූ 'ද හැරල්ඩ් නිව්ස්' විමල්ගේත් චිත්‍රසේනයන්ගේත් රංග කුසලතාව අගය කර තිබුණේ මේ අන්දමටය.
"විමල් නයනානන්ද නමැති රංග ශිල්පියා නල නමින් වූ කුලවත් කුමාරයාගේ චරිතය රාජකීය ගාම්භීරත්වය හා කුමාරයකුගේ සියමැලි බව කැටිකර පිළිබිඹු කළ රංගනය විශ්මයජනක විය."
නයනානන්දයන් ලාංකේය රසිකයන් අතර එවකට වඩාත් ප්‍රකටව සිටියේ ඔහුගේ විශේෂිත "මොණර නැටුම" සඳහා ය. එය කෙතරම් අලංකාර ලෙස රඟදැක්වීමට ඔහු සමත්වී ද යත් වරෙක සිඩ්නි නුවර, ලෝකප්‍රකට සිඩ්නි හවුස් හි එම රංගනය ඉදිරිපත් කර සිඩ්නි නගරයෙන් පිටත්ව නැව් නගින විට සුභ පතන්නට ආ ඕස්ට්‍රේලියානු ජාතිකයින් ඔහුට සුභ පතමින් මොණර නැටුම අනුකරණය කර පෙන්වන්නට විය.
මුද්‍රා නාට්‍ය කලාව දැන් අප රට තුළ පරිහානියට යමින් පවතී. නල දමයන්ති, කරදිය වැනි ඉඟිනළු පමණක් නොව අප රටේ විශිෂ්ට කලාකරුවන් විසින් නිර්මාණය කරන ලද මුද්‍රා නාට්‍යය නැවත පණගන්වා නූතන රසිකයන් අතට පත්කිරීම මහඟු කාර්යයක් වන බව විමල්ගේ අදහස ය.
විමල්ගේ නර්තන ජීවිතය අගය කරමින් 1993 වසරේ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙන් ඔහු "කලා භූෂණ" සම්මානය ද 2015 වසරේ පවත්වන වයඹ සාහිත්‍ය කලා ප්‍රසාදිනී හි "දේශනෙතෘ" සම්මානයෙන්ද පිදුම් ලැබීය.
(*** සෙනරත් බණ්ඩාර සුබසිංහ)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රංගනයෙන් ලොව මවිත කළ නල කුමරු